Showing posts with label මාලදිවයින. Show all posts
Showing posts with label මාලදිවයින. Show all posts

Sunday, July 2, 2023

මිනිකා රාජ්ජේ

 

මාලදිවයින කියන්නේ ලංකාවට බටහිරින් තියෙන දූපත් 2000 ක විතර එකතුවක්. මාලදිවයින ස්වාධීන රාජ්‍යයක්. මාලදිවයිනේ ඉන්න ජනවර්ගය "දිවෙහි". ආගම ඉස්ලාම. ඔවුන් ගේ භාෂාවත් "දිවෙහි". දිවෙහි කියන්නේ ලෝකයේ සියළු භාෂා අතරින් සිංහල භාෂාවට වඩාත්ම සමාන භාෂාව. දිවෙහි භාෂාවෙන් මාලදිවයින හඳුන්වන්නේ "දිවෙහි රාජ්ජේ" කියලා.

ලංකාවට බටහිරින් ඉන්දියන් සාගරයේ තියෙන එකම දූපත් සමූහය මාලදිවයින නෙවෙයි. මාලදිවයිනට උතුරින් තවත් දූපත් 36 ක් තියෙනවා. ඒවා මාලදිවයිනට අයිති නෑ. ඒවා අයිති ඉන්දියාවට. මේ දූපත් හඳුන්වන්නේ "ලක්ෂ්‍යද්වීප්" කියලා. මේ දූපත් වලින් බහුතරයක ඉන්න ජනතාව මලයාලම් ජනවර්ගයට අයත්. ඔවුන් ගේ ආගමත් ඉස්ලාම්. කතා කරන්නේ මලයාලම් භාෂාව.

හැබැයි ලක්ෂ්‍යද්වීප් දූපත් වල වඩාත් දකුණින් තියෙන දූපත, ඒ කියන්නේ මාලදිවයිනට ළඟින්ම තියෙන දූපත, ටිකක් වෙනස්. ඒ දූපතේ ඉන්නේ දිවෙහි මිනිස්සු. ඔවුන් කතා කරන්නේ දිවෙහි භාෂාව. හැබැයි ඔවුන් දේශපාලනිකව අයිති වෙන්නේ ඉන්දියාවට, මාලදිවයිනට නෙවෙයි.

මේ දූපතේ දිවෙහි නම "මහිලාදූ". ඒ කියන්නේ කාන්තාවන් ගේ දූපත. අරාබි වෙළෙන්දෝ මේ දූපත හැඳින්වූයේ "ජසීරාත් අල්-මාලිකු" කියලා. ඒකෙ තේරුම "රජතුමා ගේ දූපත". මේ නම් දෙකම දූපතට අතීතයේ ඉඳලා භාවිතා වුනා.

ඒත් සුද්දො ඇවිල්ලා මේ දූපතේ නමයි, දූපතේ ඉන්න මිනිස්සුන් කතා කරන භාෂාවේ නමයි දෙකම අවුල් කරලා දැම්මා. ඒ මෙහෙමයි:

දූපත මැනලා සිතියම් ගත කරන්න ආපු සුද්දෝ, දූපතේ ඉන්න මිනිහෙක් ගෙන් ඇහුවලු "මේ දූපතේ නම මොකද්ද? උඹලාගේ භාෂාව මොකද්ද?" කියලා. මේ මිනිහා වෙළෙන්දෙක්. ඔහු ඉපදිලා හැදුනෙ වැඩුනෙ මහිලාදූ වල වුනාට, වෙළඳාම් කළේ ඉන්දියන් සාගරයේ අනික් පැත්තේ තියෙන අන්දමන් දූපත් වල. ඒ නිසා ඔහු වැඩිපුර කාලය ගත කළේ අන්දමන් දූපත් වල.

අන්දමන් දූපත් වල ආදිවාසී ජනතාව ගොඩක් ඉන්නවා. දිවෙහි මිනිස්සු මේ ආදීවාසීන්ට බය වුනා. ඔවුන් හිතුවේ ඒ මිනිස්සු මිනී මස් කන අය කියලා. ඒ නිසා දිවෙහි මිනිස්සු අන්දමන් දූපත් වලට කිව්වේ "මිනිකා රාජ්ජේ" කියලා. ඒකෙ තේරුම "මිනීමස් කන මිනිස්සු ඉන්න රාජ්‍යය".

ඉතින් අර මිනිහා සුද්දට උත්තර දුන්නලු, "මේ දූපතේ නම මහිලාදූ, හැබැයි මම ඉන්නෙ මෙහෙ නෙවෙයි මිනිකා රාජ්ජේ. අපේ භාෂාව දිවෙහි" කියලා". සුද්දා මොකක් හරි හේතුවකට කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා මේක තේරුම් අරගෙන තියෙන්නේ "භාෂාව මහිලාදූ, දූපතේ නම මිනිකා රාජ්ජේ" කියලා.
ඉතින් සුද්දා ඉංග්‍රීසියෙන් පොතේ ලියා ගත්තලු "දූපතේ නම මිනිකෝයි, භාෂාවේ නම මහල්" කියලා.

අදටත් දූපතේ නිල නාමය මිනිකෝයි (Minicoy). මිනිකෝයි දූපතේ මිනිස්සු කතා කරන භාෂාව නිල වශයෙන් හඳුන්වන්නේ "මහල්" (Mahl) කියලා.