ඊශ්‍රායලය බිහිවීම
දෙවෙනි ලෝක යුධ සමය පලස්තීනයට සාමකාමී කාලයක් වුනා. මුළු ලෝකයම යුරෝපය සහ නැගෙනහිර ආසියාව දිහා අවධානය යොමු කළ නිසා පලස්තීනය කාගේවත් අවධානයට යොමු වුනේ නෑ. 1939 ධවල පත්‍රිකාවෙන් යුදෙව් සංක්‍රමන සීමා වුනු නිසා අරාබීන් සන්සුන් වුනා. තම ප්‍රධාන සතුරා වුනු ජර්මනිය සමඟ බ්‍රිතාන්‍යය යුධ වැදුනු නිසා බ්‍රිතාන්‍යයට සහය දෙන ප්‍රතිපත්තියක සිටි යුදෙව්වන් කලබල ඇති කිරීමෙන් බ්‍රිතාන්‍යයට හිරිහැර කිරීමෙන් වැළකුනා.
පලස්තීනය සාමකාමී වුනත් යුරෝපය අතිශය අමානුෂික අරගලයක පැටලී සිටියා. විශේෂයෙන්ම යුරෝපීය යුදෙව්වන්‍ට මේ කාලය අතිශය බිහිසුණු කාලයක් වුනා. නාසි ජර්මනිය සහ ඔවුන් ගේ මිතුරු නැගෙනහිර යුරෝපීය රටවල් වුනු හන්ගේරියාව, රුමේනියාව, ක්‍රොයේෂියාව, යුක්‍රේනය වැනි රටවල් ඉතිහාසයේ නොවී විරූ දැවැන්ත යුදෙව් සංහාරයක නිරත වුනා. 1938-1945 වකවානුව තුල යුරෝපීය යුදෙව්වන් මිලියන 6 ක් ඝාතනය වුනු බව ඇස්තමේන්තු කර තියෙනවා. මේ ගණනය කළ ක්‍රමවේදය එතරම් විශ්වාසනීය නොවුනත්, ඇදහිය නොහැකි තරම් විශාල යුදෙව්වන් පිරිසක් මරා දැමුණු බව අවිවාදිතයි.
මේ යුදෙව් සංහාරය නිසා යුදෙව් දේශපාලනයේ වැදගත් වෙනස් කම් කීපයක් සිදු වුනා.
1. මේ වන තුරු යුදෙව්වන් දෙස සතුරු ඇසකින් බැලූ යුරෝපීයයන් යුදෙව්වන් දෙස සානුකම්පිත ඇසකින් බැලීමට පටන් ගත්තා.
2. මෙතෙක් කල් යුදෙව් ආගමික මනෝ රාජික සිහිනයක් වශයෙන් පැවතුනු යුදෙව් රාජ්‍යයක් පිළිබඳ සංකල්පය ලෝකය පුරාම පිළිගත් සංකල්පයක් බවට පත් වුනා.
3. අෂ්කනාසි යුදෙව්වන් විශාල ප්‍රමානයක් මරණයට පත් වුනු නිසා යුදෙව්වන් අතර සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන් ගේ බලය වැඩි වුනා.
4. දක්ෂිණාංශික සයොන්වාදය බලවත් වෙන්න පටන් ගත්තා.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම පලස්තීනය නැවතත් ගිනියම් වෙන්න පටන් ගත්තා. යුද්ධය නිසා දුර්වල වුනු බ්‍රිතාන්‍යය කොයි මොහෙතේ හරි පලස්තීනයට නිදහස ලබා දෙන බව දැනගත් යුදෙව්වන්, ඒ නිදහස 1939 ධවල පත්‍රිකාවට අනුව සිදු වුනොත් යුදෙව් රාජ්‍යයක් පිළිබඳ සිහිනය බොඳ වන බව දැක්කා. ඒ නිසා ඔවුන් ඊට පෙර තමාට අවශ්‍යය ආකාරයේ නිදහසක් වෙනුවෙන් සටන් කිරීම ඇරඹුවා.
යුදෙව් කැරැල්ල
යුදෙව්වන් මුලින්ම කළේ සමාජවාදී හගනා මිලිෂියා සහ දක්ෂිණාංශික එට්සෙල් මිලිෂියා එක් කර සන්ධානගත වීම. මේ නව මිලිෂියාව හැඳින්වුනේ "හීබෲ විප්ලවකාරී ව්‍යාපාරය" නමින්. 30,000 ක මපණ සාමාජිකත්වයකින් යුතු මේ නව මිලිෂියාව බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ඇරඹුවා. ඒ අතර යුරෝපය පුරා "බ්‍රිහා" (පළායාම) නමින් හැඳින්වුනු ව්‍යාපාරයක් බිහි වුනා. බ්‍රිහා ව්‍යාපාරය මගින් කළේ යුරෝපයේ සංහාරයෙන් බේරුනු යුදෙව්වන් රහසිගතව පලස්තීනය කරා එවීමට පටන් ගත්තා.
බ්‍රිතාන්‍යය මේ දෙකටම එරෙහිව බලය යොදා මැඩ පැවැත්වීමට උත්සහ කළත්, එය සාර්ථක වුනේ නෑ. 1948 වන විට ලක්ෂ තුනකට අධික යුදෙව්වන් ප්‍රමානයක් පලස්තීනයට රහසිගතව ඇතුළු වුනා. ඒ අතර යුදෙව් මිලිෂියා වල ප්‍රචණ්ඩ ක්‍රියා එන්න එන්නම උත්සන්න වුනා. ඒ මැඩපැවැත්වීමට 100,000 ක හමුදාවක් පලස්තීනයට යැවීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වුනා.
![]() |
යුදෙව්වන් ගේ බෝම්බ ප්‍රහාරයකින් විනාශ වුනු දුම්රියක් |
1947 වන විට පලස්තීනය දිගටම යටත් විජිතයක් ලෙස පවත්වා ගැනීම අපහසු බව බ්‍රිතාන්‍යයන්ට වැටහී ගියා. නමුත් එයට නිදහස ලබා දිය යුතු ආකාරය ගැන ඔවුන්ට වැටහීමක් තිබුනේ නෑ. ඒ නිසා ඔවුන් කළේ පලස්තීනය පිළිබඳ ප්‍රශ්නය අළුතෙන් නිර්මාණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දී අත පිහිදා ගැනීම.
නිදහස
එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන බලවතුන් දෙදෙනා වුනේ සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය. මේ වන විට ඇමරිකාවේ විශාල යුදෙව් ජනගහණයක් වාසය කළ අතර ඔවුන් ඇමරිකන් දේශපාලනයේ තීරණාත්මක බලවේගයක් වුනා. ඒ අතර සෝවියට් දේශය සමාජවාදීන්ට වැඩි බලයක් තිබූ පලස්තීන යුදෙව්වන් දැක්කේ සහෝදර සමාජවාදීන් විදිහට. මේ නිසා එක්සත් ජාතීන් ප්‍රශ්නය දිහා බැලුවේ යුදෙව්වන්ට වඩාත් වාසි සහගත ආකාරයට.
මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතර තුර යුදෙව්වන් දිගටම එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් වැඩ කළත්, අරාබීන් එම සාකච්ඡා වර්ජනය කළා. ඔවුන් පලස්තීනයට කෙලින්ම නිදහස අපේක්ෂා කළ අතර "සාකච්ඡා කිරීමට දෙයක් නැති බව" විශ්වාස කළා.
මේ වන විට පලස්තීනයේ යුදෙව් ජනගහණය 33% ක්. අරාබීන් සංඛ්‍යාවෙන් වැඩි වුනත්, යුදෙව්වන් සංවිධානාත්මකව ඔවුන්ට වඩා ඉතා ඉදිරියෙන් සිටියා. පලස්තීනයේ සියළු ඉඩම් වලින් 8% පමණ යුදෙව්වන් සතු වුනා. ජනගහණයෙන් 67% වූ අරාබීන් (ක්‍රිස්තියානි සහ මුස්ලිම් දෙකොටසම) ඉඩම් වලින් 20% කට පමණ හිමිකම් කීවා. ඉතුරු ඉඩම් කිසිවෙක් විසින් ප්‍රදිංචි නොවුනු ඉඩම්.
![]() |
1947 දී පලස්තීනයේ යුදෙව් ජනාවාස |
මේ වන විට පලස්තීන අරාබීන්ට නායකත්වය ලැබුනේ "අරාබි උත්තරීතර කමිටුව" නම් සංවිධානයකින්. විවිධ අරාබි දේශපාලන කණ්ඩායම් සහ ගෝත්‍ර වල එකතුවක් වූ මේ කමිටුවේ නායකත්වය දැරුවේ ජෙරුසෙලමේ මුෆ්ති වරයා වූ මුහම්මද් අමීන්. මුහම්මද් අමීන් දැඩි යුදෙව් විරෝධියෙක් වුනු අතර දෙවන ලෝක යුධ සමයේදී නාසි ජර්මනිය සමඟ සමීප සබඳතා පැවැත්වීමට තරම් මේ විරෝධය ප්‍රභල වුනා.
පලස්තීනයේ අසල්වැසි අරාබි රාජ්‍යයන් මේ වන විට අරාබි ලීගය පිහිටුවාගෙන තිබුණා. අරාබි ලීගයේ සහය පලස්තීන අරාබින්ට ලැබුනා. ඒ එක්කම අරාබි ලීගයේ නායකත්වය ගැනීමට ජෝර්දානය, ඊජිප්තුව සහ සිරියාව අතර තිබුණේ දැඩි තරගයක්. එනමුත් මේ අරාබි රටවල් හෝ පලස්තීන අරාබීන් සංවිධානාත්මක හැකියාව අතින් හිටියේ පලස්තීන යුදෙව්වන්ට වඩා ගව් ගණනක් පිටුපසින්. සුපුරුදු අසමඟිය තමයි අරාබීන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය.
එක්සත් ජාතීන් ගේ යෝජනාව වුනේ පලස්තීනය දෙකඩ කරලා යුදෙව්වන්ට එක රටක් සහ අරාබීන්ට තවත් රටක් ලෙස රටවල් දෙකක් බිහි කරන්න. ජෙරුසෙලම නගරය රටවල් දෙකටම අයත් නොවී එක්සත් ජාතීන් යටතේ තැබීමට යෝජනා වුනා. යෝජිත යුදෙව් රාජ්‍යයට සම්පූර්ණ ඉඩම් වලින් 56% ක් අයිති වුනු අතර, මුහුදු වෙරළෙන් වැඩි පංගුව අයත් වුනේත් එයට.
මේ යෝජනාව 1947 නොවැම්බර් 29 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත වුනා. රාජ්‍යය දෙකේ විසඳුම හෙවත් Two State Solution කියලා හැඳින්වෙන්නේ මේ විසඳුම.
![]() |
"රාජ්‍යය දෙකේ විසඳුම" |
අරාබි-ඊශ්‍රායල යුද්ධය (1947)
පළමු අදියර
මේ යෝජනාව සම්මත වීම පලස්තීන අරාබීන්ගේ දැඩි කෝපයටත්, පලස්තීන යුදෙව්වන් ගේ දැඩි සතුටටත් හේතු වුනා. 1947 නොවැම්බර් 30 වැනිදා අරාබීන් සහ යුදෙව්වන් අතර ප්‍රචන්ඩ ක්‍රියා පටන් ගත්තා.
යුදෙව් පාර්ශවය සමන්විත වුනේ වාමාංශික හගනා මිලිෂියාවන් සහ දක්ෂිනාංශික එට්සෙල් සහ ලෙහි මිලිෂියාවන් ගෙන්. මොවුන් සංඛ්‍යාවෙන් 35,000 ක් පමණ වුනා. ඊට අමතරව විදේශයන්ගෙන් පැමිණි යුදෙව් සහ යුදෙව් නොවන සටන් කරුවන් 4000 ක් පමණ ඔවුන්ට එක් වුනා. යුදෙව් පාර්ශවයේ නායකයා වුනේ සමාජවාදී මපායි පක්ෂයේ ඩේවිඩ් බෙන්-ගුරියොන්.
අරාබි පාර්ශවය ඒ තරම් සංවිධානාත්මක වුනේ නෑ. ඔවුන්ට හිටියේ ප්‍රාදේශීය සන්නද්ධ කල්ලි. මේ කණ්ඩායම් අතර ඒ තරම් සන්නිවේදනයක් තිබුනේ නෑ. අරාබි සන්නද්ධ කල්ලි යුදෙව් ජනාවාස වලට පහර දී යුදෙව්වන් මරා දැමූ අතර, යුදෙව් මිලිෂියාවන් ජනාකීර්න තැන්වල ස්ථානගත කළ බෝම්බ වලින් අරාබීන් මරා දැමුවා.
1948 ජනවාරි මාසයේදී පලස්තීන අරාබි නායකයෙක් වුනු අබ්දුල් කදීර් ඊජිප්තුවේ සිට පලස්තීන අරාබීන් 400 කගෙන් පමණ සමන්විත වුනු හමුදාවක් සමඟ පලස්තීනයට ඇතුල් වුනා. මේ හමුදාව හැඳින්වුනේ "ජායිස් අල්-ජිහාද්" (ශුද්ධ වූ යුද්ධයේ හමුදාව). ඔහු ගමන් කළේ ජෙරුසෙලම දෙසට. අතරමග පලස්තීන අරාබි ජනාවාස වලින් සටන්කාමීන් එක් කරගනිමින් ජෙරුසෙලමට ළඟා වන විට මේ හමුදාව 10,000 ක පමණ විශාලත්වයෙන් යුක්ත වුනා. ඔවුන් යුදෙව්වන් 100,000 පමණ ජීවත් වූ ජෙරුසෙලම වටලෑවා.
![]() |
අබ්දුල් කදීර් |
ඊට සමගාමීව අරාබි ලීගය මගින් සිරියාවේ ස්වේච්ඡා හමුදාවක් ගොඩ නැගුවා. මේ හමුදාව ප්‍රධාන වශයෙන් සමන්විත වුනේ සිරියානු, ජෝර්දාන, ඉරාක සහ ලෙබනන හමුදා සෙබළුන්ගෙන්. තවමත් නිල වශයෙන් පලස්තීනය බ්‍රිතාන්‍යය යටත් විජිතයක් නිසා අරාබි ලීගයට තම නිල යුද්ධ හමුදාව පලස්තීනයට එවීමට නොහැකි වුනා. මේ ස්වේච්ඡා හමුදාව බිහි කළේ ඊට විසඳුමක් ලෙස. අරාබි විමුක්ති හමුදාව ලෙස හැඳින්වුනු මේ හමුදාව සෙබළු 6000 කගෙන් සමන්විත වුනා.
![]() |
අරාබි විමුක්ති හමුදාව |
මේ අරාබි හමුදා දෙකේ ආගමනයත් සමඟ එතෙක් ගරිල්ලා යුද්ධයක ස්වරූපයෙන් පැවති යුද්ධය නියම යුද්ධයක් බවට පත් වුනා.
යුද්ධයේ මුල අවධිය අරාබීන්ට වාසි සහගත වුනා. විශේෂයෙන්ම අබ්දුල් කදීර් ගේ ජායිෂ් අල්-ජිහාද් හමුදාව ජෙරුසෙලම වටලෑම නිසා ඒ වට විසූ යුදෙව්වන් දැඩි අපහසුතාවයට පත් වුනා. ඒ අතර ලෙස දක්ෂිණාංශික යුදෙව් මිලිෂියා අරාබි ජනාවාස වල ඝාතන රැල්ලක් ඇරඹුවා. යුදෙව් බහුතරයක් විසූ ප්‍රදේශ වල සිටි අරාබීන් 100,000 පමණ අරාබි බහුතරයක් විසූ ප්‍රදේශ වලට පළා ගියා. මෙය වාර්ගික ශුද්ධ කිරීමක් ලෙස සලකන්න පුළුවන්.
අප්‍රේල් මාසයේදී ඩේවිඩ් බෙන්-ගුරියන් තමාගේ හගනා මිලිෂියාවන් සංවිධානගත කරලා ප්‍රතිප්‍රහාර දීම ඇරඹුවා. ඔවුන් මුලින්ම කළේ ජෙරුසෙලම මුදා ගැනීම. මේ ප්‍රහාරයේදී අබ්දුල් කදීර් මිය ගිය අතර ජෙරුසෙලම මුදා ගන්න යුදෙව්වන් සමත් වුනා. ඒ අතර උතුරු පලස්තීනයේ සිදු වූ සටන් කීපයකින්ම අරාබි විමුක්ති හමුදාවට තීරණාත්මක පරාජයන් අත් වුනා.
සටන් දරුණු වත්ම දෙපාර්ශවයම සිවිල් වැසියන් ඝාතනය කිරීම් උත්සන්න කළා. ස්ථාන කීපයකදීම සිවිල් වැසියන් සිය ගණන් අවි ගත් කල්ලි විසින් මරා දැමුනා. ඒ අතර දක්ෂිණාංශික යුදෙව් මිලිෂියාවන් ක්‍රමයෙන් යුදෙව් ප්‍රදේශ වල සිටි අරාබීන් ඉන් පළවා හරිමින් වාර්ගික ශුද්ධකරණය දිගටම ගෙන ගියා. මැයි මස වන විට මෙසේ පළාගිය අරාබීන් ගණන 350,000 පමණ වුනා. මෙය අරාබීන් හැඳින්වූයේ "නක්බා" (ව්‍යසනය) නමින්.
![]() |
යුදෙව් මිලිෂියා හමුවේ පලා යන පලස්තීන අරාබි වැසියන් |
බ්‍රිතාන්‍යය හමුදාව මේ ගැටුම් වලට කෙලින්ම මැදිහත් වුනේ නෑ. ඒ වෙනුවට ඔවුන් ක්‍රමයෙන් තම හමුදාවන් පලස්තීනයෙන් ඉවත් කර ගත්තා. 1948 මැයි 14 වැනිදා බ්‍රිතාන්‍යය හමුදාව සිය අවසන් කඳවුර ඉවත් කර ගැනීමත් සමඟම යුදෙව්වන් නිදහස් යුදෙව් රාජ්‍යයක් ඊශ්‍රායලය නමින් ප්‍රකාශ කළා. එය සමන්විත වුනේ එක්සත් ජාතීන්ගේ යෝජනාවේ යුදෙව් ප්‍රදේශ ලෙස වෙන් කළ ප්‍රදේශ වලින්.
නව ඊශ්‍රායල් රාජ්‍යය මුලින්ම පිළිගනු ලැබුවේ සෝවියට් දේශය විසින්. ඊට ටික දිනකට පසු ඇමරිකාවත් එය පිළිගත්තා.
දෙවන අදියර
බ්‍රිතාන්‍යය පලස්තීනයෙන් ඉවත් වීමත් සමඟම අරාබි ලීගයට කෙලින්ම යුද්ධයට මැදිහත් වීමේ අවස්ථාව ලැබුනා. ඒ අනුව ඊජිප්තුව දකුණෙන්, ජෝර්දානය සහ ඉරාකය නැගෙනහිරින්, සිරියාව සහ ලෙබනනය උතුරින් පලස්තීනයට ඇතුළු වුනා.
![]() |
අරාබි ලීගයේ හමුදා මෙහෙයුම් |
අරාබි රටවල් නිදහස් රාජ්‍යයන් ලෙස පැවතුනත්, ඒවා තවමත් නූතන බටහිර පන්නයේ රාජ්‍යයන් ලෙස හැඩ ගැසී තිබුනේ නෑ. ඒවායේ ශක්තිමත් මධ්‍ය පාලනයක් හෝ විධිමත් හමුදාවන් තිබුනේ නෑ. බටහිර පන්නයේ සංවිධානත්මක හමුදාවක් තිබුනේ බ්‍රිතාන්‍යය උපදේශකයන්ගෙන් සමන්විත වුනු ජෝර්දානයට පමණයි. නමුත් ඊශ්‍රායලයට නොතිබුනු එක් වාසියක් අරාබි ලීගයට තිබුනා. ඒ ඔවුන් සතුව යුධ ටැංකි සහ කාලතුවක්කු ඇතුළු බර අවි තිබීම.
එතෙක් මිලිෂීයාවන් ලෙස පැවතුනු යුදෙව් හමුදාවන්ට තිබුනේ සැහැල්ලු අවි පමණයි. ඊශ්‍රායලය මුලින්ම කළේ සියළුම මිලිෂීයා කණ්ඩායම් එක කර "ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව" (IDF) නමින් හමුදාවක් තැනීම. ඉන් පසු සියළුම වැඩිහිටි පිරිමි යුදෙව්වන්ට අනිවාර්‍ය යුද සේවය නියම වුනා. එමගින් ප්‍රමාණාත්මකව විශාල හමුදාවක් ගොඩ නැගීමට ඔවුන්ට හැකි වුනා. නව හමුදාවට ඇමරිකාවේ සහ යුරෝපයේ සිටි යුදෙව්වන් මූල්‍යමය ආධාර කළා. නමුත් බර අවි ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වුනේ අරාබි සරණාගත ප්‍රශ්නය නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දෙපාර්ශවයටම අවි විකිණීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම නිසා. නමුත් සෝවියට් දේශය චෙකොස්ලොවැකියාව හරහා බර අවි ඊශ්‍රායලයට ලබා දුන්නා. නමුත් අරාබි හමුදා ගිනි බලය අතින් සිටියේ බොහෝ ඉදිරියෙන්.
දකුණින් 11,000 ක ඊජිප්තු හමුදාවක් බලඇණි දෙකක් විදිහට උතුරට ගමන් කිරීම ඇරඹුවා. ඔවුන්ගේ ඉලක්කය වුනේ ඊශ්‍රායලයේ අගනුව වූ ටෙල් අවිවි නගරය. ඉතාම සාර්ථකව තම ඉලක්කය කරා ගමන් කිරීමට ඔවුන් සමත් වුවත්, ගුවන් ප්‍රහාර සහ ඉතා දුෂ්කර පාබල සටන් කිහිපයකින් පසු ඊජිප්තු හමුදාවේ ගමන නවතාලීමට ඊශ්‍රායලයට හැකි වුනා. නමුත් ඔවුන් පසු බැස්සවීමට හැකි වුනේ නෑ.
යුද්ධයේ දරුණුම සටන් ඇති වුනේ නැගෙනහිරින් ඇතුල් වුනු 5000 ක ජෝර්දාන් හමුදාව සහ ඊශ්‍රායල් හමුදා අතර. ජෝර්දාන් හමුදාව සටන් කීපයකින්ම ජය ගෙන ජෙරුසෙලමට පහර දුන්නා. ඉතා දරුණු සටනකින් පසු ජෙරුසෙලමේ නැගෙනහිර කොටස අල්ලා ගන්න ඔවුන් සමත් වුනා. නමුත් බටහිර ජෙරුසෙලම තම ග්‍රහණයේ පවත්වා ගන්න ඊශ්‍රායලය සමත් වුනා.
![]() |
ඊශ්‍රායල් හමුදාව |
ඒ අතර උතුරු ඊශ්‍රායලයේ ටයිබීරියස් විල අවට නගර වලට පහර දුන් 7000 ක ඉරාක හමුදාවක් සම්පූර්නයෙන්ම පරාජය කිරීමට ඊශ්‍රායලයට හැකි වුනා.
උතුරින් 4000 ක සිරියන් හමුදාවක් සහ 2000 ක ලෙබනන් හමුදාවක් ඊශ්‍රායලයට පහර දුන්නා. මේ හමුදා නගර කීපයක්ම අල්ලා ගැනීමට සමත් වුනත්, දරුණු සටන් කීපයකින් පසු ඔවුන්ගේ ප්‍රහාර නවතාලීමට ඊශ්‍රායල් හමුදා සමත් වුනා. ලෙබනන් හමුදා තමා අල්ලා ගත් නගර පලස්තීන අරාබි සටන්කරුවන්ට භාර දී නැවත ලෙබනනයට පසු බැස්සා.
අරාබි හමුදාවල ඉදිරි ගමන නවතන්න ඊශ්‍රායලයට හැකි වුනත්, ඔවුන් පළවා හරින්න හැකි වුනේ නෑ. අරාබි හමුදාවන්ටත් ඊශ්‍රායල් හමුදාවේ ආරක්ෂිත සටන් බිඳ හෙලා ඉදිරියට යන්න හැකි වුනේ නෑ. මාස කීපයක "එක තැන පල් වීමකට" පසු එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති වුනා.
![]() |
ඊශ්‍රායල් හමුදාව |
1948 ජූලි මාසයේ 8 සිට 18 දක්වා දින 10 ක කාලය තුල නැවතත් දරුණු සටන් ඇති වුනා. මේ සටන් වලින් දෙපිළටම පැහැදිලි ජයක් අත් වුනේ නෑ. නැවතත් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති වුනා.
මේ සටන් විරාමය ඇතුළත ස්වීඩන් ජාතික රාජ්‍ය තන්ත්‍රිකයෙක් වූ ෆෝක් බර්නඩට් නව විසඳුමක් යෝජනා කළා. එයට අනුව ඊශ්‍රායලය ගැලීලිය ප්‍රදේශයට සීමා කරන්නත්, අනෙක් ප්‍රදේශ පලස්තීනයට ලබා දෙන්නත් යෝජනා වුනා. දෙපාර්ශවයම මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ අතර, දක්ෂිණාංශික සයොන්වාදීන් ෆෝක් බර්නඩට් ඝාතනය කළා.
1948 ඔක්තෝබර් මාසයේදී නැවත සටන් ඇවිළුණු අතර, සටන් විරාමයේදී හොඳින් සංවිධානය වී සිටි ඊශ්‍රායල හමුදා අරාබි හමුදාවන්ට දරුණු ප්‍රහාර එල්ල කරන්නට සමත් වුනා. දුෂ්කර සටන් වලින් පසු උතුරෙන් සිරියන් හමුදා සම්පූර්නයෙන්ම පළවා හැරුනා. දකුණේ ඊජිප්තු හමුදා බොහෝ දුරට පසු බැස ගිය අතර, ඔවුන්ට අල්ලා ගැනීමට හැකි වුනේ වෙරළබඩ කුඩා තීරුවක් පමණයි. නමුත් නැගෙනහිරින් ජෝර්දාන හමුදා වඩා සාර්ථකත්වයක් ලැබුණු අතර, නැගෙනහිර ජෙරුසෙලමෙන් ඔවුන් පළවා හැරීමට ඊශ්‍රායලය අපොහොසත් වුනා. මළ මුහුදේ බටහිර වෙරළබඩ විශාල ප්‍රදේශයක් ජෝර්දාන හමුදා යටතේ තිබුනා.
1949 පෙබරවාරි-ජූලි කාලයේ දී එක්සත් ජාතීන් ගේ මැදිහත් වීමෙන් ඒ වන විට ඊශ්‍රායලය සහ අරාබි හමුදා විසින් අල්ලාගෙන සිටි ප්‍රදේශ ඒ ඒ පාර්ශවයන්ට ලැබෙන පරිදි සටන් නැවැත්වීමේ ගිවිසුම් මාලාවක් අත්සන් කෙරුනා.
ඒ අනුව පලස්තීනයේ භූමියෙන් වැඩි ප්‍රමානයක් ඊශ්‍රායලය යටතට පත් වුනා. අරාබීන්ට ලැබුනේ ඊජිප්තු දේශ සීමාවේ කුඩා බිම් තීරුවක් (ගාසා තීරය) සහ මළ මුහුදේ බටහිර වෙරළ ආශ්‍රිත ප්‍රදේශය (බටහිර ඉවුර) පමණයි.
![]() |
1947 එක්සත් ජාතීන් ගේ යෝජනාව සහ 1949 යුද්ධය අවසානයේදී තත්වය |
සටන් වලින් ඊශ්‍රායල් පාර්ශවයෙන් මිය ගිය ගණන 6000 ක්. මෙය පලස්තීනයේ සමස්ත යුදෙව් ජනගහණයෙන් 1% ක්. අරාබි පාර්ශවයෙන් 10,000 පමණ මිය ගියා. ඊට අමතරව අරාබීන් 350,000 කට අධික ප්‍රමානය අවතැන් වුනා. මේ අය ජෝර්දානයේ සහ ඊජිප්තුවේ සරණාගත කඳවුරු වල රඳවා තැබුනා.
සටනේ අවසන් ප්‍රතිඵලය වූයේ
1. ඊශ්‍රායලය නමින් යුදෙව් රාජ්‍යයක් බිහි වීම
2. පලස්තීනයේ භූමියෙන් වැඩි පංගුවක් ඊට අයිති වීම
3. පලස්තීනය නමින් එතෙක් පැවත් රාජ්‍යය අහෝසි වී යාම
4. පලස්තීන අරාබීන් විශාල ප්‍රමානයක් සරණාගතයක් වීම
![]() |
යුද්ධය අවසානයේ ඊශ්‍රායල ධජය ඔසවන ඊශ්‍රායල් සෙබළුන් |
1949 දී නිදහස් ඊශ්‍රායලයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනු අතර, ආසන 120 කින් ආසන 71 ක් සමාජවාදී පක්ෂ විසින් දිනා ගත්තා. ආගමික සයොන්වාදීන් ආසන 16 ක් දිනාගත් අතර, දක්ෂිණාංශික සයොන්වාදීන් ආසන 15 ක් දිනා ගත්තා. ලිබරල් වාදීන්ට ආසන 13 ක් හිමිවුනු අතර, සෙෆාර්ඩි යුදෙව් පක්ෂ ආසන 5ක් දිනා ගත්තා.
මේ ගැටුම් නිසා අරාබීන් සහ මුස්ලිමුන් තුළ තම රටවල වාසය කළ යුදෙව්වන් පිළිබඳ තිබූ සහනශීලී ආකල්පය සම්පූර්නයෙන්ම නැතිවී ගියා. මුස්ලිම් රටවල වාසය කළ යුදෙව්වන් විශාල ප්‍රමානයක් ඊළඟ අවුරුදු කීපය තුල ඊශ්‍රායලයට සංක්‍රමනය වුනා. එහි ප්‍රතිඵලය වුනේ එතෙක් අෂ්කනාසි යුදෙව්වන් බලවත්ව උන් ඊශ්‍රායලයේ සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන්ට තීරණාත්මක තැනක් ලැබීම. යුරෝපීය සංස්කෘතියක හැඩ ගැසී උන් අෂ්කනාසි යුදෙව්වෝ පෙරදිග සංස්කෘතියක හැඩගැසී උන් සෙෆාර්ඩි යුදෙව්වන් දැක්කේ පසුගාමී නොදියුනු "ගමේ බයියන්" විදිහට. මේ නිසා සෙෆාර්ඩි යුදෙව්වන්ට එරෙහිව වර්ගවාදී ආකල්ප අෂ්කනාසි යුදෙව්වන් අතර ඇති වුනා.
1949 මාර්තු 8 වැනිදා සමාජවාදී මාපායි පක්ෂයේ නායක ඩේවිඩ් බෙන්-ගුරියන් ඊශ්‍රායලයේ ප්‍රථම අගමැති ලෙස තේරී පත් වුනා.
ඒත් මේ නව රාජ්‍යය බිහිවුනේ වෛරයේ ගිනිදැල් මැද. එයට කවදාවත් වෛරයේ ගිනිදැල් වලින් මිදීමට හැකි වුනේ නෑ.
අර්බුදය වර්තමානය දක්වා...
අළුතින් බිහිවන ඊශ්‍රායල් රාජ්‍යය 1950 දී නව නීතියක් හඳුන්වා දුන්නා. ඒ ලෝකයේ ඕනෑම තැනක වෙසෙන යුදෙව්වෙක්ට ඊශ්‍රායලයට සංක්‍රමනය වෙලා එහි පුරවැසිකම ගන්න පුළුවන් කියලා. නවීන ලෝකයේ වාර්ගික-ආගමික පදනමකින් මෙවැන්නක් කරපු එකම අවස්ථාව ඒක.
ඒත් එක්කම අති විශාල සංක්‍රමන රැල්ලක් ඊශ්‍රායලය වෙත සිද්ධ වුනා. ලක්ෂ තුනක පමණ සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන් ප්‍රමානයක් උතුරු අප්‍රිකාවේ සහ ආසියාවේ සිට සංක්‍රමනය වුනා. මේකට අරාබියේ වාසය කළ යෙමනි යුදෙව් ප්‍රජාවෙන් 99% පමණ අන්තර්ගතයි. සමස්තයක් වශයෙන් සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන් ගෙන් 90% පමණ ඊශ්‍රායලයට සංක්‍රමනය වුනා. ඊට ප්‍රධාන හේතුව වෙන්නේ අරාබි-ඊශ්‍රායල් යුද්ධයත් එක්ක මුස්ලිම් රටවල ජන මතය යුදෙව්වන්ට එරෙහි එකක් බවට පත් වීම. ඒ එක්කම ලක්ෂ 5 කට අධික අෂ්කනාසි යුදෙව්වන් ප්‍රමානයකුත් නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයේ ඉඳලා ආවා.
1948 දී ඊශ්‍රායලයේ යුදෙව් ජනගහණය වෙන්නේ ලක්ෂ 7 ක්. 1955 වෙද්දී එය මිලියන 1.6 ක්.
ඒ අතර අවතැන් වුනු අරාබීන් ජෝර්දානයේ, ලෙබනනයේ, සිරියාවේ සහ ඊජිප්තවේ අනාථ කඳවුරු වල පදිංචි වුනා. මොවුන් හැඳින්වෙන්නේ පලස්තීන අරාබීන් නමින්. මේ අනාථයන් සහ පලස්තීන අර්බුදය ඒ රටවල ප්‍රධානම දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුනා.
සුවස් අර්බුදය (1956)
1953 දී ගමල් අබ්දුල් නසාර් ගේ ප්‍රධානත්වයෙන් ඊජිප්තුවේ විප්ලවයක් ඇති වෙලා විප්ලවකාරීන් රටේ බලය අල්ලා ගත්තා. මේ විප්ලවයේ සාර්ථකත්වයට එක හේතුවක් වෙන්නේ පැවතුනු රජය පලස්තීනයට ප්‍රමානවත් තරම් සහයක් ලබා දෙන්න අසමත් වීම. සමාජවාදී සහ අරාබි ජාතිකවාදී ප්‍රතිපත්ති වලින් යුතු නව රජය කටයුතු කරන්නේ ඊජිප්තුව අරාබි ලෝකයේ නායකයා කරන අරමුණෙන්. ඒ නිසා ඔවුන් ඊශ්‍රාලයල කෙරෙහි දැඩි සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ එක්කම බටහිර රටවල අධිරාජ්‍යවාදයට දැඩි ලෙස එරෙහි වුනා. විශේෂයෙන්ම ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය කෙරෙහි නසාර් දක්වන්නේ දැඩි විරෝධයක්.
සෝවියට් දේශය තමාගේ සහය ඊජිප්තුව දෙසට යොමු කරන නිසා ඊශ්‍රායලයට එතෙක් තමාට සිටි ලොකුම ජාත්‍යන්තර මිතුරා අහිමි වුනා. මේ නිසා ඊශ්‍රායලය බටහිර දෙසය නැඹුරු වුනා. මෙතැන් සිට ඊශ්‍රායලයේ හොඳම මිතුරා වුනේ ප්‍රංශය.
1956 දී නසාර් එතෙක් බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ භාරය යටතේ තිබූ සුවස් ඇළ ජනසතු කළා. මේක බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ දේශපාලන අභිලාෂයන්ට එල්ල කළ මරු පහරක්. ඒත් ඊජිප්තුවට එරෙහිව කෙලින්ම යමක් කරන්න බැරි නිසා ඔවුන් ඒ සඳහා ඊශ්‍රායලය බළල් අතක් ගත්තා.
නසාර් සුවස් ඇළ ඊශ්‍රායල් නැව් වලට තහනම් කළා. මෙය අවසරයක් කරගෙන ඊශ්‍රායලය ඊජිප්තුව ආක්‍රමනය කළා. නමුත් සැබෑ අරමුණ වෙන්නේ බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට සුවස් ඇළ අල්ලා ගැනීමට අවකාශයක් ලබා දීම. ප්‍රංශ ගුවන් යානා සහ යුද්ධ ටැංකි වලින් සන්නද්ධ වුනු නවීන ඊශ්‍රායල් හමුදාව දින හතක් ඇතුළත ක්ෂනික ප්‍රහාර මාලාවක් දියත් කරමින් ඊශ්‍රායල දේශ සීමාව සහ සුවස් ඇළ අතර ඇති සිනායි අර්ධ ද්වීපය සම්පූර්නයෙන්ම යටත් කරගනිමින් සුවස් ඇළ වෙත පැමිණුනා. ඒ අවස්ථාවේදී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සුවස් ඇළ ආරක්ෂා කිරීමේ මුවාවෙන් සුවස් ඇළ අවට ප්‍රදේශයට තම හමුදාව යවා එය අල්ලා ගත්තා.
![]() |
බ්‍රිතාන්‍යය හමුදාව සුවස් ඇළ අසල |
ඊජිප්තු හමුදාවට අවමන් සහගත පරාජයක් අත් වුනත්, නොසිතූ ලෙස සෝවියට් දේශය සහ ඇමරිකාව යන දෙරටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඊජිප්තුවට සහ දීම නිසා බ්‍රිතාන්‍යය-ප්‍රංශ-ඊශ්‍රායල හමුදාවන්ට සුවස් ඇළ ඊජිප්තුවට බාර දීලා නැවත තම දේශ සීමා කරා යන්න සිදු වුනා.
දේශ සීමා වෙනසක් සිදු නොවුනත් සුවස් අර්බුධයේදී නව ඊශ්‍රායල් හමුදාවේ කාර්‍යක්ෂම බව සහ ගිනි බලයේ ප්‍රභලත්වය මනාව ප්‍රදර්ශනය වුනා. මේ නිසා ඊශ්‍රායලයට තම අරාබි ප්‍රතිවාදීන්ට මුහුණ දීමට මනා විශ්වාසයක් ඇති වුනා.
ෆෙදායීන්
මේ කාලයේදී අවතැන් වූ පලස්තීන අරාබීන් අනාථ කඳවුරු වලදීම සන්නද්ධ සංවිධාන රැසක් පිහිටුවා ගන්නවා. මේ සංවිධාන සියල්ලම පාහේ සමාජවාදී-කොමියුනිස්ට්-වාමාංශික නැඹුරුවක් සහිත සංවිධාන. මේ කාලය වන විට අරාබි-ඊශ්‍රායල් ගැටුම් වලදී සෝවියට් දේශයේ සහය කෙලින්ම අරාබීන්ට ලැබුනා.
මේ සංවිධාන පලස්තීන අරාබීන් හැඳින්වූයේ "ෆෙදායීන්" නමින්. ෆෙදායීන් සංවිධාන රාශියක් තිබුණු අතර, ඒ අතරින් ප්‍රධාන වුනේ,
1. පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරය (ෆතා)
2. පලස්තීන විමුක්තිය සඳහා මහජන පෙරමුණ (PFLP)
3. පලස්තීන විමුක්තිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (DFLP)
මේ සංවිධාන බොහොමයක මූලස්ථාන පිහිටා තිබුනේ වැඩිම පලස්තීන සරණාගතයක් පිරිසක් සිටි ජෝර්දානයේ.
1964 දී මේ සංවිධාන සියල්ලම එක් වී පොදු සන්ධානයක් ගොඩ නගා ගත්තා. එය නම් කෙරුණේ "පලස්තීන විමුක්ති සංවිදානය (PLO)" නමින්. එහි නායකත්වය දැරුවේ ෆතා සංවිධානයේ නායක යසර් අර්ෆත්. ක්‍රමයෙන් යසර් අර්ෆත් පලස්තීන විමුක්ති අරගලයේ ප්‍රධාන චරිතය බවට පත්වුනා.
![]() |
යසර් අර්ෆත් |
PLO තනි සන්ධානයක් හැටියට ක්‍රියාත්මක වුනත්, ඒ ඇතුළත විවිධ සංවිධාන ස්වාධීනව ක්‍රියාත්මක වුනා. ඒ සංවිධාන මතවාදීමය වශයෙන් සහ උපක්‍රමික අතින් විවිධ අදහස් දැරුවා. මේ සංවිධාන ඊශ්‍රාලයට එරෙහිව විවිධ ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වුනා.
මේ කාලයේදී සමාජවාදී කඳවුරේ සහ තුන්වන ලෝකයේ රටල සහය සහ අනුකම්පාව හිමිවුනේ පලස්තීන අරාබීන්ට. බටහිර ලෝකයේ සහය හිමිවුනේ ඊශ්‍රායලයට. බටහිර ලෝකය යුරෝපීය අෂ්කනාසි යුදෙව් සංස්කෘතියක බිහිවුනු ඊශ්‍රායලය දැක්කේ තවත් බටහිර රටක් විදිහට. තමා වටකරගෙන ඇති "ආසියානු ම්ලේච්ඡත්වයට" එරෙහිව බටහිර ශිෂ්ඨාචාරය වෙනුවෙන් සටන් වදින රටක් විදිහට ඊශ්‍රායලය දේශපාලන ප්‍රචාරන වලදී නිරූපනය කෙරුනා.
සය දින යුද්ධය (1967)
ජෝර්දානයේ සිට ක්‍රියාත්මක වන ෆෙදායීන් ගරිල්ලන් ඊශ්‍රායලයේ ප්‍රචන්ඩ ක්‍රියා කිරීමෙන් පසු ඊශ්‍රායල් හමුදාව ඊට ප්‍රතිචාර ලෙස ජෝර්දානයේ පිහිටි ෆෙදායීන් කඳවුරු වලට පහර දීම නිසා 1967 දී තත්වය නැවතත් උණුසුම් වුනා. ඊශ්‍රායලය සිරියානු දේශසීමාවේ හමුදා රැස් කරන බවට ලැබුණු බුද්ධි වාර්තා නිසා (පසුව දැනගන්නට ලැබුනේ මේ බුද්ධි වාර්තා සාවද්‍ය බව) ඊජිප්තුව සිරියාව සහ ජෝර්දානය යුද්ධයට සූදානම් වුනා. ඊජිප්තු හමුදාව ඊශ්‍රායල් දේශ සීමාවේ එක් රැස් වෙන්න පටන් ගත්තා.
මේ අවස්ථාවේදී ලෝක යුධ ඉතිහාසයේ දක්නට ලැබුණු විශිෂ්ඨම ප්‍රහාරයක් ඊශ්‍රායලය එල්ල කළා.
1967 ජූනි 5 වැනිදා ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා 200 ක් ඊජිප්තු ගුවන් කඳවුරු වලට හදිසි ප්‍රහාරයක් එල්ල කළා. සම්පූර්න ඊජිප්තු ගුවන් හමුදාවම පොළවේදීම විනාශ කර දමන්න ඔවුන්ට හැකි වුනා. එදිනම සවස සිරියානු සහ ජෝර්දාන ගුවන් කඳවුරු වලටත් එවැනිම ප්‍රහාරක් එල්ල වුනු අතර, එයින් සිරියාවේ සහ ජෝර්දානයේ ගුවන් හමුදාවල ප්‍රහාරක හැකියාව සම්පූර්නයෙන්ම අඩාල වී ගියා. මේ ප්‍රහාර වලින් විනාශ වුනු ගුවන් යානා ගණන 450 ක්.
ඊළඟට ඊශ්‍රායල් පාබල හමුදාව ඊජිප්තු-ඊශ්‍රායල් දේශසීමාවේ රැස් වී උන් ඊජිප්තු හමුදාවට පහර දුන්නා. ගුවන් ආවරණයක් නොමැති නිසා ඊජිප්තු හමුදාව දරුණු පරාජයක් ලැබුවා. දින තුනකදී සම්පූර්න ඊජිප්තු හමුදාවම පසු බස්වමින් සිනායි අර්ධද්වීපය සම්පූර්නයෙන්ම අල්ලා ගැනීමට ඊශ්‍රායලය සමත් වුනා.
![]() |
ඊශ්‍රායල් හමුදාව සිනායි අර්ධද්වීපයේ |
ඒ අතර ඊට සමගාමීව ජෝර්දාන හමුදා යටතේ තිබූ බටහිර ඉවුරට ඊශ්‍රායල් හමුදා පහර දුන්නා. දින දෙකක් ඇතුළත ජෙරුසෙලම් නගරයත් ඇතුළුව බටහිර ඉවුරෙන් ජෝර්දාන් හමුදා සම්පූර්නයෙන්ම පළවා හරින්න ඊශ්‍රායලය සමත් වුනා.
ජූනි 6 වැනිදා සිරියානු හමුදා උතුරින් ඊශ්‍රායලයට පහර දුන්නා. ඒ ප්‍රහාරය මැඩ පැවැත්වූ ඊශ්‍රායල් හමුදාව, සිරියානු දේශසීමාව තුලට ගමන් කරමින් ඊශ්‍රායල්-සිරියානු දේශසීමාවේ තිබූ ගෝලාන් කඳුරකය අල්ලා ගත්තා. මේ ගෝලාන් කඳු ෆෙදායීන් සටන්කාමීන් ගේ කඳවුරු පිහිටා තිබූ ප්‍රදේශයක්.
දින හයක් ඇතුළත අරාබි හමුදා වලට අවමන් සහගත පරාජයක් අත් වුනා. ඔවුන්ට සාම ගිවිසුමක් අත්සන් කරනාවා හැරෙන්න වෙනත් විකල්පයක් තිබුනේ නෑ. ජූනි 11 වැනිදා සාම ගිවිසුමක් අත්සන් කෙරුනා. සටනින් මිය ගිය ඊජිප්තු සෙබළු ගණන 15,000 ක්. සිරියානු සෙබළු 2000 ක් සහ ජෝර්දාන සෙබළු 700 කුත් මිය ගියා. මිය ගිය ඊශ්‍රායල් සෙබළු ගණන 900 ක්. අරාබි රටවල් සතු ගුවන් යානා, යුධ ටැංකි සහ වෙනත් උපකරණ රාශියක් මේ සටන් වලින් විනාශ වුනා.
සටන් අවසානයේ ඊශ්‍රායලයට විශාල භූමි ප්‍රමානයක් අත් වී තිබුනා. ගාසා තීරය සහ සීනායි අර්ධ ද්වීපය ඊජිප්තුවෙනුත්, බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසෙලම ජෝර්දානයෙනුත්, ගෝලාන් කඳුකරය සිරියාවෙනුත් අල්ලා ගන්න ඔවුන් සමත් වුනා. වසර 2000 කට පමණ පසු ජෙරුසෙලමේ යුදෙව් ආගමේ වැදගත් සිද්ධස්ථාන යුදෙව් පාලනයක් යටතට පත් වුනා. ඒ එක්කම කුරුස යුද්ධ සමයෙන් පසු අල්-අක්සා පල්ලිය මුස්ලිම් පාලනයෙන් ගිලිහුනා.
![]() |
සයදින යුද්ධයේදී ඊශ්‍රායලය විසින් අල්ලා ගත් ප්‍රදේශ |
පලස්තීන වැසියන් ලක්ෂ හතරක් පමණ අළුතෙන් අවතැන් වුනා. ඒ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පදිංචිව සිටි අය. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පදිංචිව හුන් අවතැන් නොවූ පලස්තීන අරාබීන් ලක්ෂ 7 ක් පමණ ඊශ්‍රායල් පාලනය යටතට පත් වුනා. ගෝලාන් කඳුකරයේ සහ නැගෙනහිර ජෙරුසෙලමේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල් පුරවැසිකම ලබා දුන්නත්, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන්ට පුරවැසිකම ලැබුනේ නෑ.
සුවල් ඇළ දක්වාම ඊශ්‍රායල් හමුදාවන්ට අත් වීම ඊජිප්තුවේ කීර්තියට විශාල කැළලක් වුනා. සුවස් ඇළ දෙපසේ සිට දෙරටේ හමුදා නිරතුරුවම සුළු ගැටුම් වල නිරත වුනා.
යුද්ධයෙන් වැඩිම බලපෑම වුනේ පලස්තීන අරාබීන් සහ අරාබි රටවල් අතර සබඳතා වලට. පලස්තීන අරාබීන් අරාබි රටවල් තම ආරක්ෂකයා ලෙස දැකීම නවතා දැමුවා. තමන් ආරක්ෂා කිරීමට ඔවුන්ට නොහැකි බවත්, තම අරගලය තමා විසින්ම කළ යුතු බවත් ඔවුන් විශ්වාස කළා. මේ විශ්වාසය වඩාත් තහවුරු වූයේ 1968 ජෝර්දානයේ පිහිටි ෆතා කඳවුරකට ඊශ්‍රායල් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායල් හමුදාවට දරුණු අලාභානි කිරීමට ෆතා සටන් කරුවන් සමත් වීමෙන් පසු. මේ ප්‍රහාරයෙන් පසු ෆතා සංවිධානය ප්‍රධානම පලස්තීන සටන්කාමී සංවිධානය ලෙස ඉදිරියට ආවා.
මේ තත්වය ක්‍රමයෙන් උත්සන්න වෙත්ම ජෝර්දාන රජය සහ ෆෙදායීන් සටන්කාමීන් අතර සබඳතා බිඳ වැටෙන්න පටන් ගත්තා. ජෝර්දානයේ පිහිටි කඳවුරු වලට ඊශ්‍රායල් හමුදා පහරදීම ජෝර්දාන් රජය දැක්කේ තම රටේ ස්වාධීනත්වයට කෙරෙන අභියෝගයක් විදිහට. ඒ එක්කම ෆෙදායීන් සටන්කරුවන් දිගින් දිගටම ජෝර්දාන් රජයේ හමුදා නොසලකා හරින්න පටන් ගත්තා. මේ තත්වය 1970 දී පුපුරා ගිය අතර, ජෝර්දාන් හමුදාව තම රටේ පිහිටි ෆෙදායීන් කඳවුරු වලට පහර දී ෆෙදායීන් සටන් කාමීන් එළවා දැමුවා. එතැන් සිට ෆෙදායීන් සටන්කාමීන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වුනේ ලෙබනනය. දකුණු ලෙබනනයේ ඔවුන්ට සීමිත ස්වයංපාලනයක් සහිත කොටසක් ලබා දෙන්න ලෙබනන් රජය කටයුතු කළා.
![]() |
ලෙබනනයේ ෆෙදයීන් සටන්කාමීන්ගේ පෙළපාලියක් |
යොම්-කිපූර් යුද්ධය (1973)
1973 දී සිරියාව සහ ඊජිප්තුව තමාට සය දින යුද්ධයෙන් අහිමි වුනු ප්‍රදේශ අල්ලා ගැනීමේ අරමුණෙන් ඊශ්‍රායලයට පහර දුන්නා. එකම දවසක සිදු කෙරුනු මේ පහර දීම් දෙක කෙරුනේ යුදෙව්වන් ගේ ආගමික නිවාඩු දිනයක් වූ යොම්-කිපූර් දිනයේදී.
ලක්ෂයක දැවැන්ත ඊජිප්තු හමුදාවක් සුවස් ඇළ තරණය කර ඇළට නැගෙනහිරින් උන් ඊශ්‍රායල් හමුදාවන්ට පහර දුන්නා. මුලදී ඊශ්‍රායල් හමුදා පසුබැසීමකට ලක් වුනත්, නැවත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඔවුන් සමත් වුනා. දින 20 කට පසු සටන් නවතිද්දී දෙපිළම විශාල ජයග්‍රහණයන් අත් කරගෙන තිබුනේ නෑ සුවස් ඇළ දිගට උතුරින් ඊජිප්තු හමුදා ඇළට නැගෙනහිරින් තිබූ ඊශ්‍රායල් ප්‍රදේශ අල්ලාගෙන තිබූ අතර, දකුණින් ඊශ්‍රායල් හමුදා ඇළට බටහිරින් තිබූ ඊජිප්තු ප්‍රදේශ අල්ලාගෙන තිබුනා.
30,000 සිරියානු හමුදාවක් ගෝලාන් කඳුකරයට පහර දුන් අතර, එහි දකුණු කොටසින් ඊශ්‍රායල් හමුදා පළවා හරින්න ඔවුන් සමත් වුනා. නමුත් ඊශ්‍රායල් හමුදා නැවත ප්‍රතිසංවිධානය වී සිරියානු හමුදා පළවා හරිමින් සිරියානු දේශසීමාව තුළට ගමන් කළා. දමස්කස් නගරයට කිලෝමීටර 30 ක දුරකට ළං වෙන්න ඔවුන් සමත් වුනා. මේ අවස්ථාවේදී ජෝර්දාන සහ ඉරාක හමුදා සිරියානු සහයට තම හමුදා සිරියාවට එව්වා, ඊශ්‍රායල් ගුවන් හමුදාව ඒවාට පහර දුන්නා. තවත් අරාබි සහ මුස්ලිම් රටවල් සිරියාවට සහ ඊජිප්තුවට සහය පළ කරමින් හමුදා සූදානම් කළා.
![]() |
ඊශ්‍රායල් හමුදාව |
සටන් උත්සන්න වෙත්ම ඇමරිකාව සහ සෝවියට් දේශය මැදිහත් වී සටන් නවත්වන්න සමත් වුනු අතර, සියළු පාර්ශවයන් සාකච්ඡා කරන්න එකඟ වුනා. සටන් වලින් ඊජිප්තු සෙබළුන් 5000 ක් සිරියානු සෙබළුන් 3000 ක් සහ ඊශ්‍රායල් සෙබළුන් 2800 ක් මිය ගියා.
![]() |
සිරියානු හමුදාව විසින් හිර භාරයට ගත් ඊශ්‍රායල් සෙබළු |
යොම් කිපූර් යුද්ධය නිසා වැදගත් ප්‍රතිඵල කීපයක් ම අත් වුනා. කලින් වතාවේදී මෙන් අරාබි හමුදා වලට තීරණාත්මක පරාජයක් අත් කරදෙන්න ඊශ්‍රායල් හමුදා අසමත් වුනා. ඒ වගේම අරාබි හමුදා වල සංග්‍රාමික හැකියාව වර්ධනය වී තිබුනා. ඒ වගේම ඔපෙක් සංවිධානය විසින් ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කරන රට වලට තෙල් සැපයීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලෝක ආර්ථික අර්බුධයක් ඇති වුනා. නොබැඳි ජාතීන්ගේ රටවල් ඊශ්‍රායලය වර්ජනය කරන ප්‍රතිපත්තියකට ගියා. ආසියානු ක්‍රීඩා තරග වලින් ඊශ්‍රායලය ඉවත් කෙරුනා.
ඊශ්‍රායලයේ දක්ෂිණාංශික දේශපාලනය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණා. ඇමරිකාව සමඟ සමීප සබඳතා පැවැත්වීම, සෝවියට් දේශය අරාබි රටවලට සහ දීම ෆෙදයීන් ගරිල්ලන්ගේ ප්‍රහාර සහ අරාබි ආක්‍රමනයක අනතුර මීට හේතු වුනා. 1948 සිට ඊශ්‍රායලය පාලනය වුනේ සමාජවාදී රජයන් ගෙන් වුනත් 1977 මැතිවරණයේදී පළමු වරට දක්ෂිණාංශික ලිකුද් පක්ෂය ජයග්‍රහණය කළා.
ඊශ්‍රායල්-ඊජිප්තු සාම සාකච්ඡා
ඇමරිකාවේ මැදිහත් වීමෙන් 1978 දී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර සාම සාකච්ඡා ඇති වුනා. ඩේවිඩ් කඳවුරේ එකඟතාවය ලෙස හැඳින්වෙන්නේ මෙය. මේ එකඟතාව පදනම් කරගෙන ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර සාකච්ඡා ගණනාවක් ඇති වුනා. මේ සාකච්ඡා වල අවසන් ප්‍රතිඵල තුනක් දකින්න පුළුවන්.
1. ඊශ්‍රායලයට රාජ්‍යයක් ලෙස පැවතීමට ඇති අයිතිය ඊජිප්තුව විසින් පිළිගැනීම
2. සය දින යුද්ධයේදී අල්ලාගත් සීනායි අර්ධද්වීපය ඊජිප්තුවට භාර දීමට ඊශ්‍රායලය එකඟ වීම
3. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පදිංචි පලස්තීන අරාබීන්ට ස්වයං පාලනයක් සහිත ප්‍රදේශයක් ලබා දීමට ඊශ්‍රායලය එකඟ වීම
මේ එකඟතාවය නිසා ඊජිප්තුවට අරාබි ලෝකයේ නායකයා වශයෙන් 1947 සිට පැවති තත්වය නැතිවී ගියා. ඊශ්‍රායල රාජ්‍යය පිළිගැනීම නිසා එය අනෙකුත් අරාබි රටවල් අතර ද්‍රෝහියෙක් ලෙස නම් කෙරුනා. ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් දැඩිමතධාරී ජාතිකවාදීන් විසින් ඝාතනය කෙරුනා. 1979 දී ඊජිප්තුව අරාබි ලීගයෙන් ඉවත් කෙරුනා. එතැන් සිට අරාබි ලෝකයේ නායකයා ලෙස සැලකුනේ සවුදි අරාබිය. සවුදි අරාබියේ සලාෆි නිකායේ ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත වීමට එයත් එක හේතුවක් විදිහට දකින්න පුළුවන්.
1983 දී ලෙබනනය ෆෙදායීන් සටන්කාමීන්ට ලෙබනනයෙන් ඉවත්වන ලෙස දැන්වුවා. ඒ අනුව ෆතා සංවිධානය තම මූලස්ථානය ටියුනීසියාවට ගෙනගියා. ඒ එක්කම ලෙබනනයේ ක්‍රිස්තියානි සටන්කාමීන් පිරිසක් පලස්තීන සරණාගත කදවුරු කීපයකට පහරදීලා 3500 ක් පමණ පලස්තීන අරාබීන් පිරිසක් මරා දැම්මා. මේ ඝාතනයට ඊශ්‍රායල විදේශ ඇමති සම්බන්ධ බව හෙළි වීමත් සමඟම ඊට එරෙහිව ටෙල් අවිව් නගරයේ දැවැන්ත උද්ඝෝෂනයක් ඇති වුනා. ඊශ්‍රායල් අගමැතිට ඉල්ලා අස්වෙන්න සිදු වුනා. 1984 මැතිවරණයෙන් දක්ෂිණාංශික ලිකුද් පක්ෂය පරාජය වෙලා සමාජවාදීන් ජය ගත්තා.
ජනාවාස ප්‍රශ්නය සහ ඔස්ලෝ සම්මුතිය
1985 න් පමණ පස්සේ පලස්තීන අර්බුධය බොහෝ විට විදේශීය අත පෙවීම් වලින් මිදිලා ඊශ්‍රායලය සහ පලස්තීන අරාබීන් අතර ගැටුමක් බවට පත් වුනා. එතැන් සිට ප්‍රශ්නයේ වැදගත්ම අංගය වෙන්නේ ජනාවාස ප්‍රශ්නය.
මේ වන විට පලස්තීන අරාබීන් බහුතරයක් වාසය කළ ප්‍රදේශ වුනේ ගාසා තීරය සහ බටහිර ඉවුර. ඊශ්‍රායලය විසින් ක්‍රමිකව මේ ප්‍රදේශ වල යුදෙව්වන් පදිංචි කරා. ඒ සඳහා විවිධ උපක්‍රම යොදාගෙන අරාබීන් තම නිවෙස් වලින් ඉවත් කරන්න කටයුතු කරා. සමහර අවස්ථා වලදී අවුරුදු 100 පමණ පරණ ඔප්පු මේ සදහා යොදා ගත්තා. මේ ඔප්පු වල නීතිමය තත්වය සැක සහිතයි.
ෆෙදායීන් සටන්කාමීන් මේකට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රචන්ඩ ක්‍රියා උත්සන්න කිරීමෙන්. 1987 සිට 1993 දක්වා පැවතෙන මේ ප්‍රචන්ඩ ක්‍රියා රැල්ල හඳුන්වන්නේ පළමු ඉන්තිෆ්හාදය කියලා.
![]() |
පලස්තීන සටන්කාමීන් |
පළමු ඉන්තිෆාදය අවසන් වෙන්නේ ඇමරිකාව මැදිහත් වී කරන එකගතාවයකින්. ඊශ්‍රායල් අගමැති යිට්ෂැක් රාබින් සහ PLO නායක යසර් අර්ෆත් එළැඹෙන මේ එකඟතාවය හඳුන්වන්නේ ඔස්ලෝ සම්මුතිය කියලා.
ඔස්ලෝ සම්මුතියට අනුව පලස්තීන අරාබීන්ට ස්වයං පාලනයක් ලබා දෙන්න ඊශ්‍රායලය එකඟ වුනා. නමුත් ඔවුන්ට ස්වාධීන රටක තත්වය හිමි වන්නේ නෑ. මේ ස්වයංපාලිත ප්‍රදේශයට ගාසා තීරය සහ බටහිර ඉවුරේ සමහර ප්‍රදේශ අයත්. මේ ප්‍රදේශ වලින් ඊශ්‍රායලය තම හමුදාව ඉවත් කර ගත්තා. ඒ ප්‍රදේශ පාලනයට පලස්තීන ජාතික අධිකාරිය (PNA) නම් කමිටුවක් පත් කෙරුනා. එයට නියෝජිතයන් තෝරා ගත්තේ මහජන ඡන්දයෙන්.
![]() |
ඔස්ලෝ සම්මුතිය |
මේ සම්මුතියට දෙපාර්ශවයේම අන්තවාදීන් දැඩි විරෝධය දැක්වූවා. පලස්තීන අරාබීන් අතර හමාස් නම් සංවිධානයක් බිහි වුනා. මේ සංවිධානය ඉස්ලාමීය ජාතිකවාදයක් වෙනුවෙන් පෙනී සිටින අතර, එහි සමහර කොටස් ඉස්ලාමීය අන්ත්වාදීන්. ඒ අතර 1995 දී ඊශ්‍රායල් අගමැති ඊශ්‍රායල් න්තවාදී සයොන්වාදීන් විසින් ඝාතනය කෙරුනා.
1996 පැවැත්වෙන පළමු පලස්තීන මැතිවරණයෙන් ජය ගන්නේ ෆතා පක්ෂය. යසර් අර්ෆත් පළමු අගමැති වරයා ලෙස තේරී පත් වුනා.
ඊශ්‍රාලයේ සහ පලස්තීනයේ දක්ෂිණාංශයේ නැගීම
2000 න් පමණ පසු දක්ෂිණාංශික දේශපාලනයේ පැහැදිලි වර්ධනයක් දකින්න පුළුවන්. ඊශ්‍රායලයේ අවසන් වරට සමාජවාදීන් බලය ලබා ගන්නේ 1996 දී. ඉන් පසු දිගටම මැතිවරණ වල ජය හිමි වෙන්නේ දක්ෂිණාංශිකයන්ට හෝ මධ්‍ය දක්ෂිණාංශිකයන්ට.
ඒ අතර යසර් අර්ෆත් ගේ මරණයෙන් පසු ෆතා සංවිධානය අභිබවා හමාස් සංවිධානය පලස්තීනයේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත් වුනා. 2006 පැවැත්වෙන මැතිවරණයෙන් ජය ගන්නේ ඔවුන්. ඔවුන්ට වැඩි බලය තියෙන්නේ ගාසා තීරයේ. හමාස් සංවිධානය සහ ෆතා සංවිධානය අතර ඇතිවන මතභේද නිසා පලස්තීනයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අඩාල වෙනවා. නියමිත කලට මැතිවරණ තියන්න හැකි වෙන්නේ නෑ.
වර්තමානය
ප්‍රචන්ඩ ක්‍රියා දිගටම සිදු වෙනවා. ඊශ්‍රායලය විසින් අරාබීන් ගේ ඉඩම් අල්ලා ගැනීම්, අරාබීන් නිවෙස් වලින් පළවා හැරීම්, පලස්තීන ප්‍රදේශ වල සීමාවේ විශාල බැමි ඉඳි කිරීම්, ආර්ථික සම්බාධක පැනවීම් ආදී ක්‍රියා මගින් පලස්තීනයට හිරිහැර කරනවා. හමාස් සංවිධානය බෝම්බ සහ රොකට් ප්‍රහාර මගින් ඊශ්‍රායලයට හිරිහැර කරනවා. ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර, මිසයිල සහ යුධ ටැංකි වලින් ප්‍රතිචාර දක්වනවා.
ඉතින් ඕක තමයි ඊශ්‍රායල්-පලස්තීන අර්බුධය. අවුරුදු 3000 කට වැඩි ඉතිහාසයක් සහිත ඉතාම සංකීර්ණ අර්බුධයක්.
එක පැත්තකින් අවුරුදු 3000 කට වැඩි ඉතිහාසයක් හිමි, ආගමික, සංස්කෘතික පුරාවෘත වලින් භූමිය සමඟ වෙන් කළ නොහැකි සේ බැඳුනු, ඉතිහාසය පුරාම අසාධාරන වලට ලක් වුනු, තම ජාතියේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් ජාතියක්.
අනික් පැත්තෙන් අවුරුදු 2000 කට පෙර හිස් භූමියකට ඇවිත් පදිංචි වුනු, අවුරුදු 2000 ක් පුරා ඒ භූමියේ සහජීවනයෙන් වාසය කළ, හදිසියේම පැමිණි පිටස්තරයන් පිරිසකගේ බලහත්කාරයෙන් තම වාසභූමිය අහිමි වූ නොයෙක් අඩන්තේට්ටම් මැද මව් බිමේ අනාථයන් වූ ජාතියක්.
හරි කවුද වැරදි කවුද? තීරණය කිරීම ඔබ සතුයි.
No comments:
Post a Comment