Friday, June 30, 2023

යහපත් ක්‍රියාවක ආනිසංශ

 


මුහම්මද් තුමා ඉස්ලාමයේ පණිවුඩය ලබා දුන්න මුල් දවස් වල එතුමාට සහ අනුගාමිකයන්ට මක්කා නගර වැසියන් ගෙන් විවිධ හිරිහැර වලට මූණ දෙන්න සිද්ධ වුනා. සමහරු මරණයට පත් වෙන්න තරම් මේ හිරිහැර දරුණු වුනා.

මේ හිරිහැර නිසා මුහම්මද් තුමා තම අනුගාමිකයන් සමඟ මක්කා නගරය අතහැර යාත්‍රිබ් (මදීනා) නගරය කරා සංක්‍රමනය වෙන්න තීරණය කළා. ඒ කාලයේ අරාබි සංස්කෘතිය අනුව පවුලට සහ ගෝත්‍රයට විශාල වැදගත් කමක් ලැබුණු නිසා තම ගෝත්‍රය අතහැර වෙනත් නගරයකට යාම අපිට හිතා ගන්න බැරි තරමේ විශාල කැප කිරීමක්.

ඒ වගේම තමාගේ පවුලේ/ගෝත්‍රයේ අය පවුල/ගෝත්‍රය හැර දමා යාම ඒ පවුලට/ගෝත්‍රයට කරන විශාල නිග්‍රහයක් වශයෙන් සැලකුනේ. ඒ නිසා මේ සංක්‍රමනය වෙන අයට පවුලේ/ගෝත්‍රයේ සාමාජිකයන් ගෙන් හිරිහැර එල්ල වුනා.

මේ විදිහට මක්කාව අත් හැරලා යන්න මුලින්ම ඉදිරිපත් වුනේ අබු සලමා, ඔහුගේ බිරිඳ වුනු උම්මි සලමා සහ ඔවුන් ගේ දෙහැවිරිදි බිළිදා.

එක් දවසක් උදේ අබු සලමා තමාගේ පවුලේ අයත් ඔටුවන් දෙදෙනෙක් මත නංවාගෙන මක්කාවෙන් පිටත් වෙන්න සැරසුනා. ඒත් නගරයෙන් පිට වෙන්න කලින් උම්මි සලමා ගේ පවුලේ (clan) අය ඔවුන් ව අල්ලා ගත්තා.

"උඹ යන තැනක පලයන්. ඒත් උම්මි සලමා අපේ කෙනෙක්. ඇයව ගෙනියන්න දෙන්න බෑ." 

ඔවුන් අබු සලමාට තර්ජනය කළා. ඔවුන් බලෙන්ම උම්මි සලමා සහ බිළිඳා මක්කාවේ නවතා ගත්තා. අබු සලමාට තම බිරිඳ සහ දරුවා හැරදමා තනියම පිටත් වෙනවා හැර කරන්න වෙනත් දෙයක් තිබුනේ නෑ.

උම්මි සලමා පවුලේ අයත් එක්ක ආපහු හැරුනා.

ඒත් සිද්ධ වුනු දෙය ගැන අබු සලමා ගේ පවුලේ අයට ආරංචි වුනාම ඔවුන් දැඩි කෝපයට පත් වුනා. අරාබි සංස්කෘතිය අනුව දරුවෙක් අයත් වෙන්නේ පියාගේ පවුලට. උම්මි සලමා ගේ පවුලේ අය අබු සලමා ගේ දරුවා බලෙන් රඳවා ගැනීම ඔවුන් දැක්කේ තමාගේ පවුලට කළ අපහාසයක් විදිහට. ඔවුන් වහාම උම්මි සලමා ගේ පවුලේ අය සොයාගෙන ඇවිත් දරුවා තමන්ට ලබා දෙන්න කියා තර්ජනය කළා. ඒත් උම්මි සලමා ගේ පවුලේ අය ඒක ප්‍රතික්ෂේප කරා.

පවුල් දෙකේ අය දරුවා අල්ලා දෙපැත්තට අදින්න පටන් ගත්තා. ඔවුන් වෛරයෙන් කොයිතරම් අන්ධ වෙලා හිටියාද කිව්වොත් දරුවාට වෙන හානිය කිසි කෙනෙක් දැක්කේ නෑ. අන්තිමේදී අවුරුදු දෙකක් වයස දරුවාගේ අතක් විසන්ධි වුනා.

දරුවා වේදනාවෙන් මොර දෙද්දී උම්මි සලමා හඬා වැටෙමින් දරුවා ගෙන යන්න අබු සලමා ගේ පවුලේ අයට ඉඩ දෙන්න කියා ඉල්ලා හිටියා. ඒ දරුවාට හානියක් වේ යැයි බයෙන්. අබු සලමා ගේ පවුලේ අය දරුවා ගෙන ගියා.

පැය කීපයක් ඇතුළත උම්මි සලමාට තම සැමියා සහ දරුවා දෙන්නම අහිමි වුනා.

එතැන් සිට උම්මි සලමා ගේ ජීවිතය අපායක් වුනා. ඇය කළ එකම දෙය මක්කා නගරයේ පිටතින් යාත්‍රිබ් දෙසට ඇති කුඩා වැලි පරයක් මතට නැගී හඬා වැළපීම.

මේ විදිහට සති දෙකක් ගත වුනා. පවුල් දෙකේම අයට උම්මි සලමා ගැන අනුකම්පාවක් ඇති වුනා. අබු සලමා ගේ පවුලේ අය ඇයට ආපහු දරුවා ලබා දුන්නා. උම්මි සලමා ගේ පවුලේ අය ඇයව මක්කාවෙන් පිට වීම වළක්වන්නේ නැති බවට පොරොන්දු වුනා.

උම්මි සලමා දරුවාත් එක්ක සැමියා ඉන්න යාත්‍රිබ් නගරය බලා පිටත් වුනා.

ඒත් දුප්පත් ඇයට ඔටුවෙක් හිටියේ නෑ. ඇය පිටත් වුනේ පයින්. මක්කාවේ සිට යාත්‍රිබ් බලා ඔටුවෙක් පිටේ යන්න සතියක් ගත වෙනවා. පයින් යන්න සමහර විට සති දෙක තුනක් ගත වෙයි. කාන්තාවක්. කුඩා දරුවෙක් එක්ක. තනිවම. කාන්තාරය මැදින්. කවදාවත් නොගිය ගමනක්.

ඒත් සැමියා ගැන තිබුණු ආදරය සහ ආගම ගැන තිබුණු භක්තිය නිසා උම්මි සලමා පිටත් වුනා.

එදා හවස් වෙද්දී ඇයට දඩයමේ ගිහින් ආපහු මක්කා නගරය බලා එන තරුණයෙක් මුණ ගැසුනා. ඒ උත්මාන් ඉබ්න් තල්හා.

උත්මාන් ඉබ්න් තල්හා මේ වෙද්දී ඉස්ලාම් ආගම වැළඳගෙන හිටියේ නෑ. නමුත් ඔහු දැකලා තිබුනා උම්මි සලමා පහුගිය සති දෙක ගත කළ ආකාරය.

"ඔබ කොහෙද මේ තනිවම යන්නේ?"

තමන් යාත්‍රිබ් බලා යන බව උම්මි සලමා ඔහුට කිව්වා.

"ඔබ තනිවම යවන්න මට බෑ. මම එන්නම් ඔබව ඇරලවන්න."

උත්මාන් තමාගේ ඔටුවා උම්මි සලමාට සහ ඇගේ දරුවාට ලබා දීලා ඔටුවාගේ පටියත් අතින් අරගෙන පයින්ම යාත්‍රිබ් බලා ගමන් කළා.

උම්මි සලමා පසු කාලයක මේ සිද්ධිය විස්තර කරද්දී උත්මාන් ඉබ්න් තල්හා ගැන කිව්වේ මෙහෙම:

"මම අරාබි ජාතිකයන් අතර ඔහු තරම් සංවර කෙනෙක් දැක්කේ නෑ. ඔහු ඔටුවාගේ පටිය අල්ලාගෙන අපිත් එක්ක පයින් ගමන් කළා. නවතින්න වෙලාව ආවම ඔහු ගහක් යටට ඇවිත් අපිව ඔටුවා පිටින් බස්සලා ඔටුවත් එක්ක ටිකක් ඈතට ගියා. අපි ගහ යට නිදා ගද්දි ඔහු නිදා ගත්තේ ඔටුවත් එක්ක. ආපහු පිටත් වෙද්දී ඔහු ඔටුවා අපි ළඟට ගෙනැවිත් මම ඔටුවා පිට නගින තුරු අහක බලාගෙන හිටියා. ආයෙත් ඔහු ඔටුවා ගේ පටිය අතින් අරගෙන අපිත් එක්ක පයින් ගමන් කළා."

මේ විදිහට ඔවුන් සතියක් පුරා කාන්තාරය මැදින් ආවම යාත්‍රිබ් නගරය ඈතින් පේන තෙක් මානයට ආවා.

"අර පේන්නේ යාත්‍රිබ් නගරය. මට එහෙට ඇතුල් වෙන්න බෑ. ඔබට මේ ටික තනිවම යන්න පුළුවන්."

උත්මාන් ඔටුවා උම්මි සලමා ට දීලා තනිවම පයින් ආපහු මක්කාව වෙත ගියා.

වසර ගණනාවක් ගත වුනා. ඉස්ලාමය බලවත් වුනා. උත්මාන් ඉබ්න් තල්හා ත් ඉස්ලාමය වැළඳ ගත්තා. මුහම්මද් තුමාට මක්කා නගරයේ බලය හිමි වුනා.

මක්කාවේ බලය හිමිවුනාට පසුව මුහම්මද් තුමා එක් එක් කාර්‍යය සඳහා වගකිව යුතු අය පත් කළා. එහිදී ඔහු කාබාවේ නඩත්තු කටයුතු භාර තනතුර හෙවත් "කාබාවේ යතුරු හිමිකරු" තනතුර ලබා දුන්නේ උත්මාන් ඉබ්න් තල්හාට.

"සාදින්" නමින් හැඳින්වෙන මේ තනතුර දරන්නා කාබාවේ යතුරේ හිමිකරුවා වන අතර සියළු නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ ඔහුගේ මෙහෙයවීම යටතේ. මේක ඉතාම ගරු කටයුතු තනතුරක්.

මුල් කාලයේ සිට ඉස්ලාමය වැළඳගත් තමාට ඉතාම සමීප අනුගාමිකයන් කොතෙක් හිටියත් මුහම්මද් තුමා සාදින් තනතුර ලබා දුන්නේ උත්මාන් ඉබ්න් තල්හාට. 

ඒ විතරක් නෙවෙයි, එදා සිට ලෝකාවසානය දක්වා ඒ තනතුර දැරීමට හිමිකම ඇත්තේ ඔහුගෙන් පැවතැන එන අයට පමණක් බවත්, කවුරුන් හෝ පාලකයෙක් ඒ තනතුර ඔහුගෙන් පැහැර ගත්තොත් ඔහු අසාධාරන ඒකාධිපතියෙක් බවත් මුහම්මුද් තුමා ප්‍රකාශ කළා.

එදා සිට අද දක්වා ඒ තනතුර දැරුවේ උත්මාන් ඉබ්න් තල්හා සහ ඔහුගෙන් පැවත එන අය.

ඒ ඔහු එදා කළ යහපත් ක්‍රියාවට කළගුණ සැලකීමක් ද?

No comments:

Post a Comment