Showing posts with label ඉස්ලාමය. Show all posts
Showing posts with label ඉස්ලාමය. Show all posts

Saturday, July 22, 2023

අලී ගේ ගණිත දැණුම

 

අලී ඉබ්න් අබු තාලිබ් කියන්නේ රෂිදුන් කිලාෆාතයේ හතරවැනි කලීෆා වරයා. ඔහු ප්‍රසිද්ධ වුනේ ඉතාම බුද්ධිමත් සහ ඉතාම සාධාරන කලීෆා වරයෙක් විදිහට.
 

=====================================

පබළු

දවසක් මිනිස්සු  දෙන්නෙක් කාන්තාරය මැදින් ගමනක් ගියා. ඔවුන් දෙදෙනාගෙන් එක්  අයෙක් ළඟ පාන් ගෙඩි (ගෙඩි කිව්වට ඒ කාලයේ අරාබි ජාතිකයන් කෑවේ පැතලි පාන්  වර්ගයක්) පහක් තිබුණා. අනෙක් කෙනා ළඟ පාන් ගෙඩි තුනක් තිබුණා.
 

ඔවුන්  දෙන්නා කෑම වෙලාව ආවම ගමන නතර කරලා, ඔටුවන් ගැට ගහලා, හෙවන ඇති  තැනක පලසක් එලලා කෑමට වාඩි වුනා. එතකොටම ඔවුන් දැක්කා තවත් මගියෙක් ඔටුවෙක්  පිටේ ඒ මගම එන හැටි. ඔවුන් තුන්වැනි මගියාටත් කෑමට ආරාධනා කළා. තුන්වැනියාත් ඔවුන් එක්ක කෑමට  වාඩි වුනා.
 

ඔවුන් තමන් ළඟ තිබුණ පාන් ගෙඩි අට සමානව බෙදා ගන්නේ  කොහොමද කියලා කල්පනා කළා. අට තුනට බෙදන්න බෑ නොවැ. අන්තිමේ ඔවුන් තීරණය කළා  හැම පාන් ගෙඩියම සමාන කොටස් තුනකට කඩන්න. ඒ විදිහට පාන් ගෙඩි අට කෑලි විසි  හතරකට කඩපු ඔවුන් එක් අයෙක් කෑලි අට බැගින් කෑවා.
 

කෑම වේල ඉවර කරලා  තුන්වැනි මගියා ඔවුන්ට ස්තූති කරලා යන්න පිටත් වුනා.  යන්න කලින් ඔහු  තමාගේ සත්කාරකයන් දෙන්නට තෑග්ගක් දෙන්න කල්පනා කළා.
 

"මම ළඟ තමුසෙලට දෙන්න කෑම මොකුත් නෑ. ඒ නිසා කෑම වේල වෙනුවෙන් තෑග්ගක් විදිහට මේ පබළු අට තියා ගන්න."
 

ඔහු අලංකාරව ඔප දැමූ පාට පබළු අටක් දීලා තමන්ගේ ගමන යන්න ගියා.
 

දැන් මේ පබළු අට බෙදා ගන්නේ කොහොමද? යාළුවෝ දෙන්නා අතරේ වාදයක් ඇති වුනා.
 

"මම පාන් ගෙඩි පහක් කෑමට දැම්මා. තමුසෙ දැම්මෙ තුනයි. ඒ නිසා මට පබළු පහක් ඕනෙ. තමුසෙ තුනක් ගන්නවා."
 

"එහෙම හරියන්නේ නෑ. අපි දෙන්නම ආගන්තුක සත්කාරය කරා. ඒ නිසා අපි පබළු හතර ගානෙ බෙදා ගමු."
ඔවුන්  අතරේ දිගටම වාදය ගියා. කූෆා නගරයට එනතුරුම එකඟතාවයකට එන්න බැරි වුනා.  අන්තිමේදි ඔවුන් තීරණය කළා කලීෆා වරයාට මේ නඩුව කියන්න. ඔවුන් අලී හමුවට  ගිහිල්ලා, අලී සහ රැස්ව සිටි පිරිස ඉදිරියේ තමාගේ කතාව කිව්වා.
 

අලී  සාවධානව ඔවුන්ගේ කතාවට ඇහුම් කන් දුන්නා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන  මොහොතක් කල්පනා කළා. රැස්ව සිටි පිරිස මුණු මුණු හඬින් තමාගේ අදහස් පළ  කරන්න පටන් ගත්තා.
 

අලී අතක් ඔසවලා පිරිස නිහඬ කළා. ඔහු තීන්දුව දෙන්න සූදානම්.
 

"පළමුවැන්නාට පබළු හතක් හිමි වෙන්න ඕනේ. දෙවැන්නාට එක පබළුවයි."
 

පිරිසට විමතියෙන් එකිනෙකාගේ මූණු බැළුවා. අලීට වැරදුනාවත් ද?
"කලීෆා තුමනී, අපිට මේ තීන්දුව තේරෙන්නේ නෑ"
 

අනුගාමිකයෙක් කිව්වා.
 

"පාන්  කෑලි විසි හතරක් තිබුණා. තුන් දෙනාම පාන් කෑලි අට බැගින් කෑවා. පාන් කෑළි  විසි හතරෙන් කෑලි පහළොවක් පළමුවැන්නා ගේ. නවයක් දෙවැන්නාගේ. ඒ කියන්නේ  පළමුවැන්නා තමාගේ කෑලි හතක් ආගන්තුකයාට දීලා තියෙනවා. දෙවැන්නා දීලා  තියෙන්නේ එකයි."
 

===================================== 

බෙදිල්ල

දවසක් අලී ගේ අනුගාමිකයෙක් ඔහුට ගණිත ගැටළුවක් ඉදිරිපත් කළා.
 

"කලීෆාතුමනී, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 යන සංඛ්‍යයා වලින් ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකද්ද?
 

අලී තමාගේ රැවුල අතගාලා උත්තර දුන්නා.
 

"අවුරුද්දකට තියෙන දවස් ගාන සතියකට තියෙන දවස් ගානෙන් වැඩි කරන්න. ඔබට පිළිතුර ලැබෙයි."
 

(අරාබි කැලැන්ඩරයට අනුව අවුරුද්දකට තියෙන්නේ දවස් 360 යි. එතකොට උත්තරය වෙන්නේ 360 x 7 = 2520)
 

=====================================

ඔටුවන් බෙදපු හැටි

දවසක් නගරයේ වෙළඳපොළේ මහ කලබගෑනියක්. ඔටුවන් විකුණන වෙළෙන්දෝ තුන් දෙනෙක් ඔටුවන් බෙදා ගන්න බැරුව වාද කරනවා.
 

වෙළඳාමට කලින් ඔවුන් ඇති කර ගත්ත එකඟතාවය අනුව ඔටුවන් බෙදා ගන්න ඕනේ පළවැනියාට ඔටුවන්ගෙන් බාගයකුත්, දෙවැනියාට ඔටුවන්ගෙන් තුනෙන් එකකුත්, තුන්වැනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකකුත් ලැබෙන විදිහට. ඒත් ඔවුන් ළඟ හිටියේ ඔටුවන් දහ හතක්. එකඟතාවයට අනුව ඔටුවන් බෙදාගන්න හැටි තමයි ඔවුන් වාද කළේ.
 

මේ වෙලාවේ අලී තමාගේ ඔටුවා පිටින් එතැනින් යන්න ගියා. කලබගෑනිය දැකලා ඔහු එතැනට ගියා. හැමෝම අයින් වෙලා කලීෆාවරයාට ඉඩ දුන්නා.
 

අලී මුලින්ම සාවධානව වෙළෙන්දන්ගේ කතාවට ඇහුම්කන් දුන්නා. ඊට පස්සෙ ඔහු ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළා. ඊට පස්සෙ ඔහු හිස ඔසවලා වෙළෙන්දන් තුන් දෙනා දිහා බැළුවා.
 

"මට අද ත්‍යාගශීලී බවක් දැනෙනවා. මම කැමතියි මගේ ඔටුවා ඔබට තෑගි දෙන්න."
 

ඔහු තමාගේ ඔටුවා ඔටුවන් රැළට එක් කළා. දැන් ඔටුවන් දහ අටක් ඉන්නවා.
 

"පළවෙනියට ඔටුවන්ගෙන් බාගයයි. ඔහුට ඔටුවන් නවයක් හිමියි."
 

අලී පළවෙනි වෙළෙන්දාට ඔටුවන් නවයක් දුන්නා.
 

"දෙවෙනියාට ඔටුවන් ගෙන් තුනෙන් එකයි. ඔහුට ඔටුවන් හයක් හිමියි."
 

අලී දෙවෙනි වෙළෙන්දාට ඔටුවන් හයක් දුන්නා.
 

"තුන්වෙනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකක්. ඔහුට ඔටුවන් දෙන්නෙක් හිමියි."
 

අලී තුන්වෙනි වෙළෙන්දාට ඔටුවන් දෙන්නෙක් දුන්නා.
 

9+6+2=17. දැන් එක ඔටුවෙක්, අලීගේ ඔටුවා, ඉතුරුයි.
 

"ආ, එහෙනං මම මේ ඔටුවා ගන්නම්."
 

අලී තමාගේ ඔටුවා පිට නැගලා තමාගේ ගමන යන්න පිටත් වුනා.
 

=====================================
 

මේ කතා ඇත්තද, හදපු කතාද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් වැදගත් වෙන්නේ මේ කතා ඇත්ත වුනත් හදපු කතා වුනත්, මේ කතා අරාබි ජන සාහිත්‍යයේ නිර්මානය වීම සහ පැවත ඒම. ඊටත් වඩා වැදගත් ඔවුන් මේ කතා කලීෆා වරයාට ආරෝපණය කිරීම. අරාබි සංස්කෘතියේ ගණිතයට තිබුණු තැන ඒකෙන් අපිට පේනවා.

උමර් ගේ අවසාන ඉල්ලීම

 

මුහම්මද් තුමා මිය ගියේ ක්‍රි.ව. 632 දී. එතුමාගේ නිවස පිහිටා තිබුණේ මදීනා නගරයේ පිහිටි "දිවැසිවරයාගේ මස්ජීදය" (අල්-මස්ජීද් අන්-නබවි) ට යාබදව. නිවස කිව්වට ඒක තාප්පයකින් වටවුනු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටි ගණනාවක්. මේ එක් එක් කුටියේ මුහම්මද් තුමාගේ බිරින්දෑවරු සහ එතුමාගේ දියණිය වුනු ෆාතිමා සහ ඇගේ සැමියා වුනු අලී වාසය කළා.
 

මුහම්මද තුමා මිය ගියේ ඔහුගේ එක් බිරිඳක් වුනු ආයිෂාගේ කුටියේදී. ඔහුගේ අනුගාමිකයන් ඔහුව මිහිදන් කළේ ඔහු මියගිය තැනමයි (ඒ කියන්නේ ආයිෂා ගේ කුටිය තුළ). මුහම්මද් තුමාගේ සොහොන් ගැබ තිබියදීම ආයිෂා මේ කුඩා කුටියේ දිගටම වාසය කළා.
 

මුහම්ම්ද් තුමාගෙන් පසුව ඉස්ලාමීය රාජ්‍යයේ නායකත්වයට පත් වුනේ ආයිෂා ගේ පියා වුනු අබු බක්ර්. ඔහු කලීෆා තනතුර දැරුවේ අවුරුදු දෙකක් පමණයි. 634 දී ඔහුත් මිය ගියා. ආයිෂාගේ ඉල්ලීම අනුව ඔහුවත් මිහිදන් කෙරුනේ මුහම්මද් තුමාගේ සොහොන් ගැබ අසලින්මයි. කුඩා කුටියේ සොහොන් දෙකකට ඉඩ වෙන්වුනු පසු ආයිෂාට ඉතිරි වුනේ කුඩා බිම් තීරුවක් විතරයි. ඇය ඒ බිම් කොටසේ දිගටම වාසය කළා. ඇගේ බලාපොරොත්තුව වුනේ ඇය මිය ගිය පසු ඒ බිම් කොටසේ ඇගේ සැමියා සහ පියා අසලින්ම මිහිදන් වෙන්න.
 

අබු බක්ර් ගෙන් පසු කලීෆා තනතුරට පත් වුනේ උමර් ඉබ්න් අල්-කත්තාබ්. උමර් අවුරුදු 10 ක් කලීෆා තනතුර දැරුවා. ඔහු ගේ පාලන සමයේදී ඉස්ලාමීය රාජ්‍යය ලෝකයේ විශාලම, ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය බවට පත් වුනා.
 

උමර් මරණ මංචකයේ සිටියදී ඔහුගේ අවසාන කැමැත්ත වුනේ මුහම්මද් තුමා සහ අබු බක්ර් ගේ අසලින් මිහිදන් වෙන්න. ඒත් එතැන ඉඩ තිබුණේ තවත් එක් සොහොන් ගැබකට පමණක් බවත්, ආයිෂා ඒ ඉඩ තමා වෙනුවෙන් වෙන් කරගෙන සිටි බවත් ඔහු දැන සිටියා.
 

කලීෆා වරයා විදිහට ඔහුට තිබුණේ අණක් නිකුත් කරන්න විතරයි. ඒත් ඔහු තමාගේ අවසාන අණ එවැන්නක් වීම ප්‍රිය කළේ නෑ. මේ නිසා ඔහු තමාගේ පුතා වුනු අබ්දුල්ලා ඉබ්න් උමර් කැඳවා ඔහුට උපදෙස් දුන්නා.
 

"ආයිෂා වෙත ගිහින් ඇයගෙන් මගේ අවසාන ඉල්ලීම කරන්න. ඒත් ඉල්ලීම කරන්නේ "කලීෆා උමර්" කියල කියන්න එපා. ඉල්ලීම කරන්නේ "මගේ පියා උමර්" කියලා කියන්න. ඇය ප්‍රතික්ෂේප කළොත් හෝ පැකිළුනොත් වචනයක් වත් නොකියා අපහු හැරිලා එන්න. ඇය එකඟ වුනොත් ගෞරවයෙන් එය පිළිගන්න."
 

අබ්දුල්ලා තමාගේ පියාගේ ඉල්ලීමත් සමඟ ආයිෂා වෙත ගියා.
 

"මම උමර් ඇර වෙන කිසිම කෙනෙක් මේ ඉල්ලීම කළා නම් එකඟ වෙන්නේ නෑ. ඒත් උමර් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මට බෑ"
 

ආයිෂා එයට එකඟ වුනා. ඒ අනුව උමර් ඉබ්න් අල්-කත්තාබ් මුහම්මද් තුමා සහ අබු බක්ර් අසලින්ම මිහිදන් කෙරුනා.
 

එතෙක් ආයිෂා ගේ කුටියේ තිබුණේ ඇගේ සැමියාගේ සහ සහ පියාගේ සොහොන් පමණයි. ඒත් උමර් කියන්නේ ඇගේ නෑයෙක් නෙවෙයි. ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවකට තම නෑයෙක් නොවන පිරිමියෙක් ඉදිරියේ සිරුර ආවරණය නොකර ඉන්න බෑ. මේ නිසා ආයිෂා සොහොන් තුන ආවරණය වෙන විදිහට ඇගේ කුටිය හරහා තිරයක් එල්ලුවා.
 

සොහොන් ගැබ් තුනකට ඉඩ වෙන්වූ පසු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටියෙන් ආයිෂාට ඉතිරි වුනේ ඉතා කුඩා ඉඩක් පමණයි. නමුත් ඇය මේ කුඩා කුටියේ තවත් අවුරුදු 34 ක් ජීවත් වුනා.
 

678 දී ඇය මිය ගිය පසු ඇයව මදීනා නගරයේ පොදු සුසාන භූමියේ මුහම්මද් තුමාගේ අනෙක් බිරින්දෑ වරුන් අසලින් මිහිදන් කෙරුණා.

Tuesday, July 4, 2023

ශුද්ධ වූ ග්‍රන්ථ

 


ඒබ්‍රහමික ආගම් වල පොදු ලක්ෂණයක් තමයි ඒ හැම එකකම ආගමික කරුණු අඩංගු ශුද්ධ ග්‍රන්ථ තිබීම. ඒබ්‍රහමික ආගම් තුනේ ශුද්ධ ග්‍රන්ථ මේවා :

1. යුදෙව් ආගම - තනාක්

2. ක්‍රිස්තියානි ආගම - බයිබලය

3. ඉස්ලාම් ආගම - කුරානය

මේවායේ සමාන ලක්ෂණය තමයි මේ සියල්ලේම අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාට ලබා දුන් ආගමේ කරුණු වීම. හැබැයි සමානකම එතනින් ඉවරයි.


තනාක් 

තනාක් හෙවත් යුදෙව් බයිබලය හෙවත් පැරණි තෙස්තමේන්තුව කියන්නේ අවුරුදු දාහක විතර කාල පරිච්ඡේදයක් පුරා යුදෙව් ආගමේ විවිධ දිවැසිවරුන් සහ පූජකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.

යුදෙව් බයිබලයේ මූලික වශයෙන් තියෙන්නේ දෙවියන් ලෝකය මවපු කතාව, දෙවියන් සහ ඒබ්‍රහම් අතර ඇති කරගත් ගිවිසුම (තෙස්තමේන්තුව), යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය සහ විවිධ දිවැසිවරයන් (Prophets) විසින් ඉදිරිපත් කළ දේවල්.

ඒ වගේම යුදෙව් ආගමේ සියළු ලියැවිලි තනාක් හෙවත් යුදෙව් බයිබලයට ඇතුල් කරලා නෑ. ඊට ඇතුල් නොකළ වෙනත් ආගමික ලියැවිලි විශාල ප්‍රමානයක් යුදෙව් ආගමේ තියෙනවා. මේවායින් සමහරක් මුඛ පරම්පරාගතව දීර්ඝ කාලයක් ආව ඒවා. සමහරක් සාපේක්ෂව පසු කාලීනව ආපු දේවල්. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකට වෙනස්.

යුදෙව් බයිබලය ලියැවී ඇත්තේ හිබෲ භාෂාවෙන්.


බයිබලය

බයිබලය හෙවත් ක්‍රිස්තියානි බයිබලය හෙවත් නව තෙස්තමේන්තුව කියන්නේ

අවුරුදු දෙතුන් සීයක කාල පරිච්ඡේදයක් පුරා ක්‍රිස්තියානි ආගමේ මුල් කාලීන නායකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.

සියළුම ක්‍රිස්තියානි බැතිමතුන් යුදෙව් බයිබලයත් තමාගේ ආගමික ග්‍රන්ථයක් විදිහට පිළිගන්නවා. ඊට අමතරව නව තෙස්තමේන්තුව එයට එක් කරනවා. මේ නිසා ක්‍රිස්තියානි බයිබලය පැරණි තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව විදිහට කොටස් දෙකකින් සමන්විතයි.

ක්‍රිස්තියානින් ගේ පැරණි තෙස්තමේන්තුවට යුදෙව් බයිබලයේ අඩංගු කරුණු සියල්ලම ඇතුළත් වෙනවා. ඊට අමතරව සමහර ක්‍රිස්තියානි නිකායන් යුදෙව්වන් තමාගේ බයිබලයට ඇතුල් නොකළ යුදෙව් ආගමික ලියැවිලි සමහරකුත් පැරණි තෙස්තමේන්තුවට ඇතුල් කරනවා. පෙරදිග පල්ලිය (Church of the East) ප්‍රාචීන ඕතඩොක්ස් පල්ලිය (Oriental Orthodox Church) සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලිය (Eastern Orthodox Church) මේ අතරින් ප්‍රධානයි.

නව තෙස්තමේන්තුව සමන්විත වෙන්නේ යේසුස් වහන්සේගේ ජීවිත කතාව, එතුමාගේ ඉගැන්වීම් සහ මුල් කාලීන ක්‍රිස්තියානියේ සිදු වූ වැදගත් සිදුවීම් වලින්. යුදෙව් බයිබලයට වගේම නව තෙස්තමේන්තුවටත් අඩංගු නොවුනු මුල් කාලීන ක්‍රිස්තියානි ආගමික ලියැවිලි රාශියක් තියෙනවා. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකින් වෙනස්.

නව තෙස්තමේන්තුව මුලින්ම ලියැවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන්. පසුව එය ලතින් ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වුනා.


කුරානය

කුරානය මේ දෙකට වඩා වෙනස්. කුරානය කියන්නේ එක් කතුවරයෙක් විසින් ලියන ලද පොතක්. ඉස්ලාම් බැතිමතුන්ට අනුව මේ කතුවරයා දෙවියන් වහන්සේ. අනෙක් අයට අනුව මුහම්මද් තුමා. කුරානයේ අඩංගු සියළු කරුණු අවුරුදු තිහක විතර කාලයකදී එකතු වූ ඒවා.

ඒ වගේම යුදෙව් සහ ක්‍රිස්තියානි බයිබලයන් ගේ තියෙන්නේ මිනිස්සු ලියපු දේවල් වුනාට කුරානයේ තියෙනවා කියල අපේක්ෂා කරන්නේ (meant to be) කෙලින්ම දෙවියන් ගේ වචන. මේ නිසා අනෙක් පොත් දෙකට වඩා කුරානය වඩා සංවිධානාත්මක සහ සංගතික ස්වරූපයක් ගන්නවා.

කුරානයේ අනෙක් විශේෂත්වය වෙන්නේ මුහම්මද් තුමාගේ ජීවිත කාලය තුලදීම කුරානයේ අඩංගු කරුණු ග්‍රන්ථාරූඪ වීම සහ එතුමාගේ මරණයෙන් අවුරුදු 12 ක් වැනි කෙටි කාලයකදී එය සම්මතකරණය (standardize) වීම. මේ නිසා කුරානය එහි මූලික ස්වරූපයෙන්ම හෝ ඊට ඉතාම ආසන්න තත්වයෙන් පවතින බවට හිතන්න පුළුවන්.

ක්‍රිස්තියානින් යුදෙව් බයිබලය පිළිගත්තත්, මුස්ලිමුන් යුදෙව් හෝ ක්‍රිස්තියානි බයිබල පිළිගන්නේ නෑ. ඉස්ලාම් ආගමට යුදෙව් ආගමේ එන සියළුම දිවැසිවරයන් සහ යේසුස් වහන්සේ සත්‍ය දිවැසිවරයන් ලෙස පිළිගත්තත්, බයිබලයේ අඩංගු කරුණු මිනිසුන් අතින් විකෘති වී ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

නමුත්, කුරානයේ අඩංගු කරුණු බයිබලයේ අඩංගු කරුණු වලට බොහෝ සෙයින් සමානයි. නමුත් සමහර වැදගත් වෙනස්කමුත් දකින්න පුළුවන්.

කුරානයේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් වරින් වර මුහම්මද් තුමාට සහ එතුමා හරහා පොදුවේ මිනිස් වර්ගයාට ලබා දුන් පණිවුඩ. මේ පණිවුඩ ආගමික නීතිය, සදාචාරය, ආගමික වතාවත් සහ ආගමික මූලධර්ම වලින් සමන්විත වෙනවා.

කුරානය ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙන්.

ඒබ්‍රහමික ආගම් වල එන මාංශ අනුභවය පිළිබඳ ස්ථාවරය

 


ගොඩක් දෙනෙක් අතර තියෙන මතයක් තමයි සත්තු මරලා මස් කෑම පිළිබඳ ඒ ආගම් වල ස්ථාවරය වෙන්නේ "සත්තු කියන්නෙ මිනිස්සුන්ගේ පරිභෝජනයට දෙවියන් විසින් මවපු දෙයක්, ඒ නිසා උන්ව මරලා මස් කන එක කිසිම අවුලක් නෑ" කියන එක.

ඒත් මේක සම්පූර්ණයෙන්ම වැරදියි.

බයිබලයේ එන උප්පත්ති කතාව අරගෙන බැලුවම, දෙවියන් වහන්සේ ලෝකය මවද්දී මිනිසා විතරක් නෙවෙයි, සියළුම සත්තු මවන්නේ ශාක භක්ෂකයන් (vegetarian) විදිහට.

"බලන්න, මම නුඹට (මිනිසාට) පොළව මත ඇති සියළුම ධාන්‍ය හටගන්නා පැලෑටි සහ පළතුරු හටගන්නා ගස් දෙමි; ඒවා නුඹේ ආහාරය වනු ඇත" දෙවියන් පැවසීය."
(උප්පත්‍ති 1:29)

"God said, "See, I give you (man) every seed-bearing plant that is upon all the earth, and every tree that has seed bearing fruit; they shall be yours for food."
(Genesis 1:29)

"පොළව මත සිටින සියළුම සතුන්ට, අහසේ සිටින සියළුම පක්ෂීන්ට සහ පොළව මත බඩ ගා යන, ප්‍රාණයක් සහිත, සියළුම ජීවීන්ට සියළුම හරිත ශාකයන් ආහාර වශයෙන් (මම දෙමි). එය එසේම විය."
(උප්පත්‍ති 1:30)

"And to all the animals on land, to all the birds of the sky, and to everything that creeps on earth, in which there is the breath of life, (I give) all the green plants for food." And it was so."
(Genesis 1:30)


මේ බයිබල් පාඨයන්ට අනුව දෙවියන් ලෝකය මවද්දී කිසිම සතෙකුට, මිනිසා ඇතුළුව, වෙනත් සතෙක් ආහාරයට ගන්න අවසර නෑ. ඔවුන්ට කෑමට අවසර දී ඇත්තේ ශාකමය දේ පමණයි.

ඒ දෙවියන් විසින් තමා මැවූ ජීවය ශුද්ධ වූ දෙයක් කොට සලකන නිසා.

ඒත් මිනිසාගේ දෙවෙනි පරම්පරාවේදීම කේන් විසින් තම සොහොයුරා වන ඒබල් ව මරා දමා මේ ශුද්ධත්වය කෙලසනවා.

මිනිසාට වෙනත් සතුන් ආහාරයට ගන්න අවසර ලැබෙන්නේ ගොඩක් පස්සෙ, මහා ජලගැල්මෙන් පසුව. 

දෙවියන් මහා ජලගැල්ම ඇති කරන්නේ මිනිසාගේ නපුරු දුෂ්ඨකම් වලින් ලෝකය මුදවාගෙන ලෝකයට නව ආරම්භයක් දීම සඳහා. මහා ජලගැල්මෙන් අනතුරුව දෙවියන් කියන දේ අනුව, මිනිසා සොබාවයෙන්ම දුෂ්ඨ බවත්, ඔහු ජීවය ශුද්ධ කොට නොසලකන බවත්, දෙවියන් වටහා ගත් බව ඇඟවෙනවා.

"සමිඳානන් සිත්කළු සුගන්ධය ආග්‍රණය කොට තමාටම මෙසේ පැවසීය: "මම නැවත කිසි දිනෙක මිනිසා නිසා ලෝකය විනාශ නොකරමි. මක් නිසාද, මිනිසාගේ සැලසුම් ඔහුගේ ආරම්භයේ සිටම දුෂ්ඨ වන බැවිනි. මම මේ වර කළ ලෙස නැවත කිසිම දිනෙක සියළුම ජීවීන් විනාශ නොකරමි."
(උප්පත්ති 8:21)

"The LoRD smelled the pleasing odor, and the LoRD said to Himself: "Never again will I doom the earth because of man, since the devisings of man's mind are evil from his youth; nor will I ever again destroy every living being, as I have done."
(Genesis 8:21)


මිනිසාගේ දුෂ්ඨ බව වටහා ගන්න දෙවියන් ඔහුට සත්තු මරලා මස් කන්න අවසර දෙනවා. ඒත් එක කොන්දේසියක් උඩ. ඒ ජීවයේ සලකුණ වන ලේ සියල්ල මළ සිරුරෙන් ඉවතට ගලා යන්න සැලැස්වීමෙන් තොරව මස් කෑම තහනම් කිරීමෙන්.

"ජීවත් වන සෑම ප්‍රාණියෙක්ම නුඹට කෑමට හැක; හරිත තණකොළත් සමඟ මේ සියල්ල මම නුඹට දෙමි."
(උප්පත්ති 9:3)

"Every creature that lives shall be yours to eat; as with the green grasses, I give you all these."
(Genesis 9:3)

"එනමුත්, නුඹ ජීව-රුධිරය අඩංගු මස් නොකෑ යුතුය."
(උප්පත්ති 9:4)

"You must not, however, eat flesh with its life-blood in it."
(Genesis 9:4)


යුදෙව් සහ ඉස්ලාම් ආගම් වල මස් කෑම සඳහා සතුන් මරන්න ඉතාම සංකීර්ණ නීති පද්ධතියක් හඳුන්වාදීලා තියෙන්නේ මේ හේතුව නිසා. දෙවියන් විසින් මවන ලද ජීවය ශුද්ධ වූ බවත්, ආහාරය සඳහා ජීවය විනාශ කරන්නේ නම් ජීවය ශුද්ධ වූ බව පිළිගත යුතු බවත් මේ නීති බව අදහසයි.

පසුව බයිබලයේ තවත් නීති මාලාවක් හඳුන්වා දීමෙන් ආහාරයට ගන්න පුළුවන් සතුන් වර්ග ගණන දැඩිව සීමා කරනවා.


ඉස්ලාම් ආගමේ ආහාර කෑමට අනුමත (හලාල්) වෙන ආකාරය බැලුවම මේ සංකල්පය ඉතාම පැහැදිලි වෙනවා.

ඉස්ලාමීය නීති අනුව, සියළුම ආහාර කෑමට අනුමත (හලාල්) බව තමයි සාමාන්‍යය (default) තත්වය. ආහාරයක් අනුමත නොවෙන්නේ මොකක් හරි ක්‍රමයකින් එය දූෂ්‍ය වී ඇති බව සහතිකයෙන්ම දැගත්තොත් විතරයි.

නමුත් මස් වලට විතරක් මේ තත්වය අනිත් පැත්ත.

සියළුම මස් කෑමට අනුමත නොවන බව තමයි සාමාන්‍යය (default) තත්වය. මස් කෑමය අනුමත (හලාල්) වෙන්නේ ඒ මස් නියමිත ක්‍රමයට සකස් කර ඇති බව සහතිකයෙන්ම දැනගත්තොත් විතරයි.

නමුත් ඒබ්‍රහමික ආගම් වල ප්‍රධාන ධාරාවේ අපගමනයක් (offshoot) විදිහට සලකන්න පුළුවන් ක්‍රිස්තියානි ආගමේ මේ සංකල්පය තදින් දකින්න ලැබෙන්නේ නෑ. ඒ ග්‍රීක-රෝම බලපෑම නිසා වෙන්න පුළුවන්. 

වර්තමාන නූතන සංස්කෘතියේ එන "සත්තු කියන්නේ මිනිසාගේ පරිභෝජනය සඳහා තියෙන දෙයක්" කියන එකේ මූලය ඒබ්‍රහමික ආගම් වලට වඩා ග්‍රීක-රෝම සංස්කෘතියෙන් එන දෙයක් කියන එක වඩා නිවැරදියි.

බයිබලයේ මැවීමේ කතාව

 


බයිබලයේ එන මැවීමේ කතාව යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වල මූලිකම පදනමක්. යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් මේ මැවීමේ කතාව බයිබලයේ ඇති ආකාරයට කෙලින්ම පිළිගන්නවා. මුස්ලිමුන් ඒ කතාවේ සාරයෙන් සමාන, ඒත් ඊට මදක් වෙනස් කුරානයේ ඇති මැවීමේ කතාව පිළිගන්නවා.

හැබැයි "බයිබලයේ එන මැවීමේ කතාව" කීයල කිව්වට බැයිබලයේ මැවීමේ කතා දෙකක් තියෙනවා. මේ කතා දෙක එක ළඟින්ම තියෙන නිසා බොහෝ දෙනා මේක සලකන්නේ එකම කතාව විදිහට. ඒත් සැලකිල්ලෙන් කියවලා බැලුවම මේ දෙක කතා දෙකක් බව ඉතාම පැහැදිලියි.

පළවෙනි මැවීමේ කතාව තියෙන්නේ Genesis 1:1 සිට 2:4 දක්වා. ඒ කියන්නේ බයිබලයේ මුල්ම පරිච්ඡේද කීපය. දෙවෙනි මැවීමේ කතාව Genesis 2:5 සිට 2:24 දක්වා තියෙනවා.

ඊට පස්සේ Genesis 2:25 ඉඳලා දෙවෙනි කතාවේම දිගුවක් විදිහට ආදම් සහා ඒවා ගේ කතාව දිවෙනවා.

මේ කතා දෙකේ ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා.


1. කතා දෙකේදී දෙවියන් හඳුන්වන නම් වෙනස්. පළවෙනි කතාවේ දෙවියන් හැඳින්වෙන්නේ "Elohim/God/දෙවියන්" (හීබෲ/ඉංග්‍රීසි/සිංහල) විදිහට. 

දෙවෙනි කතාවේ දෙවියන් හැඳින්වෙන්නේ "YHWH/Lord/සමිඳානන්" විදිහට.


2. පළවෙනි කතාවේ දෙවියන් අහස, පොළව, වතුර, ගස්වැල් නිර්මානය කර හැටි ගැන විස්තරාත්මකව සඳහන් වෙනවා. ඒ සඳහා පරිච්ඡේද කීපයක්ම වැය කරලා තියෙනවා. දෙවියන් දවස් හයකින් ලෝකය මවලා හත් වෙනි දවසේ විවේක ගත්ත කතාව තියෙන්නේ පළවෙනි කතාවේ. 

දෙවෙනි කතාවේ ඒ ගැන සඳහන් වෙන්නේ ඉතාම කෙටියෙන්, එක වාක්‍යයකින්.


3. පළවෙනි කතාවේ දින හයක් තිස්සේ එක් එක් දිනයේදී කළ නිර්මාන වෙන වෙනම විස්තරාත්මකව දක්වලා තියෙනවා. හත් වෙනි දවසේ දෙවියන් විවේක ගන්නවා.

දෙවෙනි කතාවේ එහෙම එකක් නෑ. දෙවියන් ලෝකය නිර්මානය කළා කියල විතරයි සඳහන් වෙන්නේ.


4. පළවෙනි කතාවේ මිනිසා මවපු හැටි ගැන විස්තරාත්මකව සඳහන් වෙන්නේ නෑ. මිනිහව නිර්මානය කරා කියලා විතරයි තියෙන්නේ. 

"And God created man in His image, in the image of God He created him;"
(Genesis 1:27)

දෙවෙනි කතාවේ ඒක ඊට වඩා විස්තරාත්මකයි. දෙවියන් දූවිලි වලින් මිනිහාගේ රූපය නිර්මානය කරලා ඊට ජීවන හුස්ම පිඹින හැටි තියෙන්නේ දෙවෙනි කතාවේ.


5. පළවෙනි කතාවේ මිනිහා නිර්මානය කරාට පස්සෙ ඔහුව කෙළින්ම ලෝකයට මුදා හරිනවා.

දෙවෙනි කතාවේ මිනිහාව තියන්නේ ඔහු සඳහාම නිර්මානය කළ විශේෂ උයනක. මිනිහා ලෝකයට යන්නේ තහනම් ගහේ ගෙඩි කෑවට පස්සෙ.


6. පළවෙනි කතාවේ මිනිහා සහ ගැහැණිය නිර්මානය කරන්නේ එකට. 

"Male and female He created them"
(Genesis 1:27)

දෙවෙනි කතාවේ මිනිහාව කලින් නිර්මානය කරනවා. පස්සේ ඔහුට උදව් කාරයෙක් (helper) සතුන් අතරින් හොයාගන්න බැරි වෙන නිසා උදව් කාරයෙක් විදිහට ඔහුගේ ඉළ ඇටයකින් ගැහැණිය නිර්මානය කරනවා. 

"So the LORD God cast a deep sleep upon the man; and, while he slept, He took one of his ribs and closed up the flesh at that spot. And the LORD God fashioned the rib that He had taken from the man into a woman;"
(Genesis 2:21, 2:22)


7. පළවෙනි කතාවේ මිනිහාගේ සහ ගැහැණියගේ නමක් සඳහන් වෙන්නේ නෑ.

දෙවෙනි කතාවේ මිනිසා සහ ගැහැණිය ආදම් සහ ඒවා විදිහට නම් කරනවා.


8. පළවෙනි කතාව බොහොම සංවිධානාත්මක ස්වරූපයක් ගන්නවා. ඒ වගේම ඒකෙ එන විස්තරය සාමාන්‍යයකරනය කළ (generic) වියුක්ත (abstract) එකක්.

දෙවෙනි කතාව විසුරුනු ස්වරූපයක් ගන්නවා. ඒක ළං වෙන්නේ ජනකතාවක ස්වරූපයට. ඒකෙ එන විස්තරයත් විශේෂ (specific) සං‍යුක්ත (compound) එකක්.


9. පළවෙනි කතාවේ එන දෙවියන් ඉතාම වියුක්ත සංකල්පයක්. දෙවියන් ගේ ස්වරූපයක් ගැන හෝ ඔහු මිනිහා එක්ක කෙලින්ම සම්බන්ධවීමක් ගැන සඳහන් වෙන්නේ නෑ.

දෙවෙනි කතාවේ එන දෙවියන් සං‍යුක්ත සංකල්පයක්. ඔහු මිනිහා එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. ඔහු උයනේ ඇවිදින හඬ මිනිහාට ඇහෙනවා. ඔහු මිනිහා එක්ක කතා කරනවා.


10. පළවෙනි කතාවේ දෙවියන් මිනිසා මවන අරමුණ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ ගහකොල සහ අනෙකුත් සත්තු පාලනය කරන්න. ඒ කියන්නේ දෙවියන් වෙනුවෙන් දෙවියන් ගේ කාර්‍යය ලෝකයේ ඉෂ්ඨ කරන්න.

"And God said, "Let us make man in our image, after our likeness. They shall rule the fish of the sea, the birds of the sky, the cattle, the whole earth,......."
(Genesis 1:26)

දෙවෙනි කතාවේ ඒ වගේ විශේෂ අරමුණක් සඳහන් වෙන්නේ නෑ.


මෙහෙම කතා දෙකක් තියෙන්නේ ඇයි?

යුදෙව් ආගම කියන්නේ ආගමික ශාස්තෲවරයෙක් විසින් බිහිකළ ආගමක් (බුද්ධාගම, ඉස්ලාමය) හෝ ආගමික නායකයෙක් වටා බිහිවුන ආගමක් (ක්‍රිස්තියානිය) නෙවෙයි. ඒක අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ අයගේ සහ විවිධ මූලාශ්‍ර වලින් ආපු අදහස් එකතු කර ගනිමින් ස්වාභාවිකව පරිනාමය වුනු ආගමක්. ඒ අතින් ඒක සමීප වෙන්නේ හින්දු ආගමට. මේ කතා දෙක යුදෙව් ආගමේ පරිනාමයේ කාල දෙකකදී බිහිවුනු කතා දෙකක් බව තමයි බයිබල් විශේෂඥයන් ගේ මතය.

දෙවෙනි කතාව මුල්කාලීන යුදෙව් ආගමේ පැවතුනු උප්පත්ති කතාව කියලා ඔවුන් අනුමාන කරනවා. පළවෙනි කතාව ඊට පසු කාලීනව යුදෙව් ආගම වඩාත් සංවිධානාත්මක සහ ඒකදේවවාදී ආගමක් බවට පත් වුනාට පස්සේ දෙවෙනි කතාවට ලියන ලද ඌන පූරණයක් බවයි ඔවුන් ගේ අදහස.


විකල්ප ප්‍රවාදයක්

සාමාන්‍යයෙන් ආගමික නොවන කෝණයකින් බයිබලය අධ්‍යයනය කරන බයිබල් වේදීන් ගේ මතය මේක කතා දෙකක් කියලා.

හැබැයි මේක එකම කතාවක් වෙන්න බැරිද​?

පළවෙනි කතාවේ කියන්නේ දෙවියන් ලෝකය​, අහස පොළව ඉර හඳ තාරකා, ලෝකයේ තියෙන ගහ කොළ​, සත්තු සහ අවසානයට මිනිසා මවපු හැටි. දෙවෙනි කතාවේ ආපහු මිනිසා මවපු හැටි ගැන කියනවා.

පළවෙනි කතාවේ "මිනිසා" කියල අදහස් වෙන්නේ සාධාරන (generic) අරුතකින්, ඒ කියන්නේ "මිනිස් වර්ගයා". එතැන තියෙන්නේ දෙවියන් මිනිස් වර්ගයා මවපු හැටි. ඒ කතාව අවසන් වෙන්නේ "අහස සහ පොළොව මැවීමේ කතාව එසේය​" කියලා.

"such is the story of heaven and earth when they were created"
(Genesis 2:4)

දෙවෙනි කතාව පටන් ගන්නේ "දෙව් සමිඳානන් පොළොව සහ අහස මැවූ පසු" කියලා. ඒ කියන්නේ දෙවෙනි කතාව පළවෙනි කතාවට පස්සෙ එන එකක් බවට සාධකයක් තියෙනවා.

"when the Lord God made earth and heaven"
(Genesis 2:5)

ඊට පස්සේ ආදම් නමින් මිනිහෙක් "තමාගේ ස්වරූපයට අනුව​" මැවූ හැටි සහ ඒවා නමින් ගැහැණියක් මැවූ හැටි විස්තර කෙරෙනවා.

මෙතැන කියන්නේ කලින් වගේ මිනිස් වර්ගයා මැවූ හැටි නෙවෙයි ආදම් කියලා එක මිනිහෙක් මවපු හැටි වෙන්න බැරිද​? ඒ කියන්නේ දෙවියන් මුලින් මිනිස් වර්ගයා මවනවා, ඊට පස්සේ ආදම් කියලා එක් සුවිශේෂී මිනිහෙක් මවනවා.


මේ ප්‍රවාදයට සාක්‍ෂි බයිබලයෙන් හමුවෙන්නේ නෑ. නමුත් කුරානයේ එන මැවීමේ කතාවේ මීට අනුබලයක් හොයාගන්න පුළුවන්.

කුරානයේ එන මැවීමේ කතාවට අනුව දෙවියන් ආදම් මවන්නේ පොළව මත "අනුප්‍රාප්තිකයෙක්" (කලීෆා) විදිහට​. එතැනදී දේවදූතයන් (angels) සහ දෙවියන් වහන්සේ අතර මේ වගේ සංවාදයක් ඇතිවෙනවා.

"මම පොළව මත අනුප්‍රාප්තිකයෙක් මවමි"

"ඔබ වහන්සේ පොළොව මත දූෂනය සහ මරණය ඇති කරන කෙනෙක් පිහිටුවන්නේ ද​? අපි ඔබ වහන්සේට නිරතුරුව වන්දනා නොකරන්නේද​?"

"මම ඔබ නොදන්නා දේ දනිමි"

"And [mention, O Muhammad], when your Lord said to the angels, “Indeed, I will make upon the earth a successive authority.” They said, “Will You place upon it one who causes corruption therein and sheds blood, while we declare Your praise and sanctify You?” Allah said, “Indeed, I know that which you do not know.”

(Surah al-Baqarah, Ayat 30 - Quran 2:30)


දැන් මෙතැන සංවාදය ඇති වෙන්නේ දෙවියන් මුලින්ම මිනිහෙක් මවන තැනදී නම්, මිනිසා පොළව මත දූෂනය සහ මරණය ඇති කරන කෙනෙක් කියලා දේවදූතයන් දන්නෙ කොහොමද​? දේවදූතයන් මිනිසා ගැන කලින් දැනගෙන හිටි බවට එතැනදී ඉඟි කෙරෙනවා. දේවදූතයන් මිනිසා ගැන දැනගෙන ඉන්නේ ආදම් මවදදී වෙනත් මිනිස්සු මවලා තිබුණු නිසාද​?

මේ කතාවට තවත් වඩා පැහැදිලි සාක්‍ෂියක් තියෙනවා ෂියා ඉස්ලාමයේ හදීතයක​. ඒ හදීතය කියන්නේ ඉමාම් ජාෆර් අල්-සදීක්. ජාෆර් අල්-සදීක් කියන්නේ මුහම්මද් තුමාගේ මී මුණුපුරෙක්, ෂියා ඉස්ලාමයේ එන ඉතා වැදගත් ඉමාම් වරයෙක් වගේම මුළු මහත් ඉස්ලාමීය ඉතිහාසයේම එන විශිෂ්ඨතම ආගමික විද්වතෙක්.

"මේ ආදම්ට පෙර දස දහස් ගණන් ආදම් ලා සිටිහය​."

"Before this Adam, there were a thousand thousand Adams."

(Bihar Al Anwar, Volume 2)

"සමහරවිට ඔබ සිතනවා ඇති දෙවියන් වහන්සේ ඔබට පෙර​මිනිසුන් නිර්මානය කළේ නෑ කියා. නැත​! මම දෙවියන් ගේ නාමයෙන් දිවුරා කියමි දෙවියන් ඔබට පෙර දස දහස් ගනන් මිනිසුන් නිර්මානය කලේය​. ඔබ එයින් අවසාන මනුෂ්‍යය පරපුරයි."

"Perhaps you think God has not created a humanity other than you. No! I swear to God that He has created thousands upon thousands of mankinds and you are the last among them."

(Behar al-Anwar, volume 14, page 79)


මේ හදීත වලින් පේන්නේ ආදම්ට පෙර පොළව මත මනුෂ්‍යයන් සිටි බවට ඔවුන් විශ්වාස කළ බව​. මිනිසාට පෙර පොළව මත "අර්ධ මිනිසුන්" සිටි බව සමහර ඉස්ලාමීය විද්වතුන් විශ්වාස කරන දෙයක්. විශේෂයෙන් ෂියා සහ සූෆි ඉස්ලාමීය විද්වතුන් අතර මේ විශ්වාසය පවතිනවා.

ඒ කියන්නේ දෙවියන් වහන්සේ මිනිසා මවලා යම්කිසි කාලයක් ගත වුනාට පසුව​, ආදම් නමින් විශේෂ මනුෂ්‍යයෙක් "ඔහුගේ ස්වරූපයට අනුව​" මවලා පොළවට එව්වාද​? ඒ එව්වේ බයිබලයේ එන ආකාරයට "පොළව පාලනය කිරීමට" සහ කුරානයේ එන ආකාරයට "අනුප්‍රාප්තිකයෙක්" විදිහට ද​?

ඒ කියන්නේ එතෙක් සතුන්ට වඩා වැඩි වෙනසක් නොමැතිව ජීවත් වුන මිනිසුන් "ශිෂ්ඨාචාර" කිරීමේ අරමුණෙන් ආදම් ව මැව්වාද​? ආදම්ට "දැණුම ලබා දීම" බයිබලයේ වගේම කුරානයේ දැඩිව අවධාරනය කරන දෙයක්. මිනිසා අනෙක් සතුන් ගෙන් වෙන් වෙලා සුවිශේෂී වෙන්නේ ආදම්ට ලබා දෙන මේ දැණුම නිසා.


සාමාන්‍යයෙන් ඒබ්‍රහමික ආගම් වල සැලකෙන්නේ ආදම් බිහිවෙන්නේ අවුරුදු 10,000 කට විතර කලින් කියලා. නව ශිලා යුගයේ බිහිවීම සහ මිනිසුන් කෘෂිකර්මාන්තයට යොමු වෙන්නේ අවුරුදු 10,000 කට විතර කලින් කියල තමයි පුරා විද්‍යාඥයන් සලකන්නේ.

Sunday, July 2, 2023

ගබ්සාව සහ ඉස්ලාමීය නීතිය​

 

මේ කියන්න යන්නේ ගබ්සාව පිළිබඳ ඉස්ලාමීය නීතියේ සඳහන් වන දේ ගැන​.

මුලින්ම "ඉස්ලාමීය නීතිය​"කියන එක ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්න ඕනෙ. "ඉස්ලාමීය නීතිය​" කියල කිව්වට එහම "එක ඉස්ලාමීය නීතියක්" නෑ. ඉස්ලාමීය නීතිය අර්ථ දැක්වීම ඒ පිළිබඳ ප්‍රමානවත් දැනුමක් තියෙන ඉස්ලාමීය නීතිය පිළිබඳ විද්වතෙකුට (මුෆ්ති වරයෙකුට​) කරන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු විය හැකි ආකාරයට විවිධ විද්වතුන් අතර එකම කාරණය ගැන විවිධ අර්ථ දැක්වීම් තියෙනවා.

ඊළඟට​, ඉස්ලාමීය නීති සම්ප්‍රදායන් තියෙනවා. මේ සම්ප්‍රදායන් කරන්නේ නීතිය අර්ථ දැක්වීම පිළිබඳ ක්‍රමවේදයන් හඳුන්වා දීම​. ඒ නිසා *බොහෝ විට​* එකම සම්ප්‍රදායකට අයත් විද්වතුන් ගේ අර්ථ දැක්වීම් සමානයි. ඒත් සම්ප්‍රදායක් තුළත් වෙනස් අර්ථ දැක්වීම් තියෙන අවස්ථා තියෙනවා.

වර්තමාන ලෝකයේ ප්‍රධාන ඉස්ලාමීය නීති සම්ප්‍රදායන් පහක් තියෙනවා. ඒ හනෆි, මාලිකි, ෂාෆයී, හන්බලි සහ ජාෆරි. මේවා අතරින් පළමුවෙනි හතර සුන්නි මුස්ලිමුන් අතරත්, ජාෆරි සම්ප්‍රදාය ෂියා මුස්ලිමුන් අතරත් තියෙනවා. (ලංකාවේ මුස්ලිමුන් බහුතරය අනුගමනය කරන්නේ ෂාෆයී සම්ප්‍රදාය​).

ඒ මූලික දැනුම එක්ක ගබ්සාව පිළිබඳ ඉස්ලාමීය නීතිය ගැන කතාවට යමු.

මූලිකවම ඉස්ලාමීය නීතිය ගබ්සාවට විරුද්ධයි. ඒ දෙවියන් විසින් ලබා දෙන ජීවයක් නැති කිරීමට මිනිසෙකුට අයිතියක් නැති නිසා. නමුත්, මේකට ව්‍යාතිරේඛයන් ගණනාවක් තියෙනවා.

වැදගත්ම කරුණ වන්නේ, කළලය මනුෂ්‍ය ජීවිතයක් වන්නේ මොන අවස්ථාවේදී ද කියන එක​. මෙහිදී ඉස්ලාමීය විද්වතුන් ප්‍රධාන මත දෙකක් දරනවා. මේ අවස්ථාව වැදගත් වන්නේ එයින් පසු කළලය මනුෂ්‍ය ජීවිතයක් කියලා සැලකෙන නිසා ගබ්සාව මනුෂ්‍ය ඝාතනයකට සමාන කොට සැලකීම හේතුවෙන්.

සමහරු කළලය මනුෂ්‍ය ජීවිතයක් බවට පත් වන්නේ එයට ජීවය (රූහ්) ඇතුළු වන අවස්ථාවේ, හෙවත් පිළිසිඳ ගැනීමෙන් දින 120 කට පසු, කියලා සළකන අතර​, සමහරු කළලය මනුෂ්‍ය ජීවිතයක් බවට පත් වන්නේ එහි අංග (ඉන් ද්‍රීයයන් සහ අවයව​) වර්ධනය වන අවස්ථාවේ, හෙවත් පිළිසිඳ ගැනීමෙන් දින 40 කට පසු කියලා සලකනවා.
මෙහිදී මාලිකි සහ හන්බලි සම්ප්‍රදායන් දින 40 සීමාව පිළිගන්නා අතර​, ෂාෆයි, හනෆි සහ ජාෆරි සම්ප්‍රදායන් දින 120 සීමාව පිළිගන්නවා.

කළලය මනුෂ්‍ය ජීවිතයක් ලෙස සලකන අවස්ථාවෙන් පසු කිසිම විද්වතෙක් ගබ්සාව සඳහා අවසර ලබා දෙන්නේ නෑ, එකම හේතුවකට හැර​. ඒ මවගේ ජීවිතයට නියත තර්ජනයක් එල්ල වී ඇති අවස්ථාවක​. එවැනි අවස්ථාවක මවගේ ජීවිතයට කළලයේ ජීවිතයට වඩා ප්‍රමුඛත්වය ලැබෙනවා. එවැනි අවස්ථාවක "ගස බේරා ගැනීමට අත්තක් කපා දමන්නාක් මෙන්" මවගේ ජීවිතය බේරා ගැනීමට කළලය ගබ්සා කිරීමට අවසර ලැබෙනවා.

දැන් අපි එක් එක් නීති සම්ප්‍රදාය ගබ්සාව ගැන දරන මතය විස්තරාත්මකව බලමු.

 
මාලිකි සම්ප්‍රදායේ බහුතරයක් විද්වතුන් කිසිම අවස්ථාවක ගබ්සාව සඳහා අවසර ලබා දෙන්නේ නෑ. ඔවුන් අවසර ලබා දෙන එකම අවස්ථාව මවගේ ජීවිතයට තර්ජනයක් ඇති විටෙක පමණයි.


මාලිකි සම්ප්‍රදායේ සුළුතරයක් සහ හන්බලි සම්ප්‍රදායේ විද්වතුන් ගබ්සාව සඳහා දින 40 ක් යනතුරු අවසර ලබා දෙනවා. නමුත් ඒ සඳහා "ප්‍රමානවත් හේතුවක්" තිබිය යුතුයි. ප්‍රමානවත් හේතුවක් කියලා ගන්න පුළුවන් හේතු කීපයක් පහත දැක්වෙනවා:

1. ස්ත්‍රී දූෂනයක් නිසා වුනු පිළිසිඳ ගැනීමක්
2. කළලයේ බරපතල විකෘති වීමක් නිසා ලැබෙන දරුවා බරපතල ආබාධිතයෙක් වීම​
3. මව මවක් වීම සඳහා සුදුසු මානසික තත්වයක නොසිටීම​
4. දරුවෙක් හදාවඩා ගැනීමට අපහසු තත්වයක් පැවතීම (උදා : දැනටමත් දරුවන් කීප දෙනෙක් සිටීම​)

මෙහිදී ගබ්සාව සඳහා දරුවාගේ මව සහ පියා (ස්ත්‍රී දූෂනයක් නොවන අවස්ථාවක​) දෙදෙනාම එකඟ වීම සහ ආගමික විද්වතෙක් විසින් එය ප්‍රමානවත් හේතුවක් ලෙස පිළිගැනීම ප්‍රමානවත්.

දින 40 පසුවුනු පසු ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ මවගේ ජීවිතයට තර්ජනයක් ඇතිනම් පමණයි.

 

ෂාෆයි, හනෆි සහ ජාෆරි සම්ප්‍රදායන් දින 40 ක් යනතුරු  මත ගබ්සාව සඳහා අවසර ලබා දෙනවා. ඒ සඳහා "ප්‍රමානවත් හේතුවක්" තිබිය යුතුයි (ප්‍රමානවත් හේතු ලෙස ගැනෙන්නේ ඉහත දැක්වූ හේතු).
දින 40 ත් 120 ත් අතර කාලයේදී ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ "බරපතල හේතුවක්" ඇතිනම් පමණයි. බරපතල හේතුවක් ලෙස ගැනෙන්නේ ස්ත්‍රී දූෂනයක් නිසා ඇතිවුනු පිළිසිඳගැනීමක් සහ කළලයේ බරපතල විකෘති වීමක්.

මෙහිදී ගබ්සාව සඳහා දරුවාගේ මව සහ පියා (ස්ත්‍රී දූෂනයක් නොවන අවස්ථාවක​) දෙදෙනාම එකඟ වීම සහ ආගමික විද්වතෙක් විසින් එය බරපතල/ප්‍රමානවත් හේතුවක් ලෙස පිළිගැනීම ප්‍රමානවත්. හනෆි සම්ප්‍රදායේ සුළුතරයක් විද්වතුන් මෙහිදී මවගේ කැමැත්ත පමණක් ප්‍රමානවත් කියලා සලකනවා.

දින 120 පසුවුනු පසු ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ මවගේ ජීවිතයට තර්ජනයක් ඇතිනම් පමණයි.



 

මෙහිදී සඳහන් කළයුතු වැදගත් කරුණක් වන්නේ දිළිඳුකම කිසිම අවස්ථාවක ගබ්සාව සඳහා ප්‍රමානවත් හේතුවක් කියලා සැලකෙන්නේ නෑ. ඒ එහිදී දෙමාපියන් විසින් දෙවියන් ගේ කරුණාව (රහ්මා) පිළිබඳ සැක පහළ කිරීමක් සිදුවන නිසා. ඒ කියන්නේ දරුවා බලාගැනීම සඳහා අවශ්‍ය සම්පත් දෙවියන් විසින් ලබා නොදේ යන්න සැක කිරීමක් සිදුවන නිසා.

දිළින්දන්ට අධාර කිරීම ඉස්ලාමයේ ඉතාම වැදගත් කොට සලකන නිසා මෙහි සාධාරනත්වයක් ඇත කියා සිතන්නට පුළුවන්.

ඉබ්න් රුෂ්ද්, බුද්ධියේ ඒකීය බව සහ බටහිර ඓහිකවාදයේ මුල්

 

"අබ්දුල් වලීඩ් මුහම්මද් ඉබ්න් අහ්මද් ඉබ්න් රුෂ්ද්" කියන්නේ 12 වෙනි සියවසේ අල්-අන්දලූස් (වර්තමාන ස්පාඤ්ඤය​) හි ජීවත් වුන ඉස්ලාමීය දාර්ශනිකයෙක් සහ ආගමික විද්වතෙක්. ඔහු ඉස්ලාමීය ලෝකයේ ප්‍රසිද්ධ වෙන්නේ "ඉබ්න් රුෂ්ද්" කියන නමින්. ඉබ්න් රුෂ්ද් කියන එක ලතින් බසට පෙරලෙන්නේ "අවේරෝයීස්" කියලා. ඒ නිසා බටහිර ලෝකයේ ඔහු ප්‍රසිද්ධ අවේරෝයීස් නමින්.

ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ මේ සමයේදී දැණුම ලබාගැනීම පිළිබඳ මූලික ක්‍රම තුනක් අනුගමනය කළා.

පළමුවැන්න​, හෙළිදරව්ව (revelation) ප්‍රධාන දැණුම ලබාගන්නා ප්‍රභවය කරගත් ගුරුකුලය​. මොවුන් "හදීතවාදීන්" (traditionalists) ලෙස හැඳින්වුනු අතර "ඉබ්න් තයිමියියා" මේ ගුරුකුලයේ ප්‍රමුඛම විද්වතා වුනා.

දෙවැන්න​, අන්තර්ඥානය (intuition) හරහා ප්‍රධාන වශයෙන් දැණුම ලබා ගත් ගුරුකුලය​. මොවුන් ප්‍රධාන වශයෙන් සූෆි සම්ප්‍රදායට අයත් වුනු අතර​, "ඉබ්න් අරාබි" සහ "ෆකර් අද්-දීන් ඉරාකි" වැන්නවුන් මේ ගුරුකුලයේ ප්‍රමුඛ විද්වතුන් වුනා.

තුන්වැන්න​, තර්කය (logic) සහ සහේතුක බුද්ධිය (rationality) හරහා ප්‍රධාන වශයෙන් දැණුම ලබාගත් ගුරුකුලය​. මොවුන් "දාර්ශනිකයන්" (ෆලාසිෆා) නමින් හැඳින්වුනු අතර​, "ඉබ්න් සීනා" (ලතින්: ඇවිසෙනා) සහ "අල් ෆරාබි" වැන්නවුන් ඔවුන් අතර ප්‍රධාන වුනා.

ඉබ්න් රුෂ්ද් අයත් වුනේ මින් තුන්වැනි ගුරුකුලයට​. මේ ගුරුකුලයේ ඉබ්න් සීනා වැනි දාර්ශනිකයන් මූලිකවම අනුගමනය කළේ ප්ලේටෝ ගේ දාර්ශනික සම්ප්‍රදාය​. නමුත් ඉබ්න් රුෂ්ද් ඊට පටහැනිව යමින් ඇරිස්ටෝටල් ගේ දාර්ශනික සම්ප්‍රදාය අනුගමනය කළා. මේ නිසා ඉස්ලාමීය විද්වතුන් අතර​, වඩාත්ම තර්කන බුද්ධියට වටිනාකමක් දුන් විද්වතා වන්නේ ඉබ්න් රුෂ්ද්.

ඉබ්න් රුෂ්ද් ගේ අදහස් අතර වැදගත්ම අදහසක් වුනේ "බුද්ධියේ ඒකීය බව​" (unity of intellect) පිළිබඳ ඔහුගේ අදහස්. මේ අදහස් ඇරිස්ටෝටල් ගේ අදහස් නැවත කියැවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙහිදී ඔහු දක්වන්නේ "බුද්ධිය​" පුද්ගලානුබද්ධ දෙයක් නොව​, පොදු එක් භූතාර්ථයක් බව​. ඔහු මේ පොදු බුද්ධිය "ක්‍රියාකාරී බුද්ධිය​" (active intellect) ලෙස හැඳින්වුවා. ක්‍රියාකාරී බුද්ධිය ඇසුරෙන් පවතින, එක් එක් මිනිසාට පාවිච්චි කළ හැකි තවත් පොදු බුද්ධියක් ඇති බව වැඩිදුරටත් සඳහන් කරන ඉබ්න් රුෂ්ද්, මේ දෙවන පොදු බුද්ධිය "භෞතික බුද්ධිය​" (material intellect) ලෙස හැඳින්වුවා.

"සිතීම​" (cogitation) යන ක්‍රියාවලිය හරහා මිනිසුන් භෞතික බුද්ධිය භාවිතා කරන අතර​, එමගින් භෞතික බුද්ධියේ අඩංගු පොදු දැණුම ඔවුන් ලබා ගන්නා බව ඉබ්න් රුෂ්ද් කියා සිටියා.

සිතීම​ (cogitation), ඉඳුරන් පහ හරහා ලැබෙන සංවේදන​ (senses), මතකය (memory) සහ තර්කන බුද්ධිය (reasoning) යන අංග හතරෙන් මනුෂ්‍යය ආත්මය සමන්විත වන බව ඉබ්න් රුෂ්ද් ගේ අදහස් වල දැක්වෙනවා. අවසාන වශයෙන් ඉබ්න් රුෂ්ද් සඳහන් කරන්නේ භෞතික දැණුම පරිපූර්ණ වශයෙන් ලබා ගැනීම මිනිස් ආත්මයට ලබාගත හැකි පරම තත්වය බව​.

භෞතික බුද්ධිය සියලුම මිනිසුන්ට පොදුවේ භාවිතා කළ හැකි නිසා "ලෝකයේ පවතින්නේ එක් පොදු නොවෙනස් සත්‍යයකි" යන අදහස ඉබ්න් රුෂ්ද් ගේ ලෝක දැක්මේ තදින්ම පවතින අංගයක්.

ඉබ්න් රුෂ්ද් ජීවත් වුනු කාලට සියවසකට පමණ පෙර සමයේදී ඉස්ලාමීය ශිෂ්ඨාචාරය තුළ ඉහත සඳහන් කළ ගුරුකුළ තුන අතර දැඩි වාද විවාද ඇති වුනා. නමුත් එකොළොස්වන සියවසේ අග භාගයේ ජීවත් වුනු "අල්-ගසාලි" නම් විද්වතා මේ ගුරුකුල තුනටම මැද මාවතක් අනුගමනය කරමින් නව ගුරුකුලයක් හඳුන්වාදුන් අතර​, එම ගුරුකුලය අනෙකුත් ගුරුකුල තුන මතවාදීමව පරාජය කරමින් ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ ප්‍රධාන ධාරාව බවට පත්වුනා. වර්තමානයේදීත් ඉස්ලාමයේ ප්‍රධාන ධාරාව වන්නේ අල්-ගසාලි ගේ ගුරුකුලය​.

විශේෂයෙන්ම තර්කය සහ සහේතුක බුද්ධිය උපයෝගී කරගත් ගුරුකුලය අල්-ගසාලි ගේ දැඩි විවේචනයට ලක් වුනු අතර​, එම ගුරුකුලය සම්පූර්ණයෙන්ම වාගේ අභාවයට ගියා.

ඉබ්න් රුෂ්ද් ජීවත් වුනේ අල්-ගසාලිට වසර 70 කට පමණ පසු. ඒ නිසා ඉබ්න් රුෂ්ද් ගේ කාලයේදී තර්කය සහ සහේතුක බුද්ධිය උපයෝගී කරගත් ගුරුකුලයට එතරම් වැදගත් තැනක් ලැබුනේ නෑ. මේ නිසා ඉබ්න් රුෂ්ද් ගේ අදහස් ඉස්ලාමීය ලෝකයේ ප්‍රචලිත වුනේ නෑ. ඔහු ඉස්ලාමීය ලෝකයේ සැලකෙන්නේ එතරම් වැදගත් චරිතයක් ලෙස නෙවෙයි.

නමුත්, 14 වන සහ 15 වන සියවස් වලදී ඉබ්න් රුෂ්ද් ඇරිස්ටෝටල් ගේ අදහස් ගැන ලියූ විචාර බටහිර යුරෝපයේ, විශේෂයෙන්ම ඉතාලියේ, ක්‍රිස්තියානි සහ යුදෙව් විද්වතුන් අතර අතිශය ප්‍රසිද්ධියට පත් වුනා. සමහරු ඔහුව තදින් විවේචනය කළ අතර​, සමහරු ඔහුගේ අදහස් වලින් ආභාෂයක් ලැබුවා. ඇත්තෙන්ම බටහිර ශිෂ්ඨාචාරයට වැඩිම බලපෑමක් කළ ඉස්ලාමීය විද්වතා ලෙස ඉබ්න් රුෂ්ද් හැඳින්වුවොත් එය නිවැරදියි (මේ අදහස් වලින් සැලකිය යුතු කොටසක් ඇරිස්ටෝටල් ගේ අදහස් වුනත්, ඒවා බටහිර ලෝකයට යන්නේ ඉබ්න් රුෂ්ද් හරහා).

"විශේෂයෙන්ම පුද්ගලානුබද්ධ නොවුනු ලෝකයටම පොදු එක දැණුමක් තිබේ සහ ඒ දැණුම ලබා ගැනීම මිනිසාට ලඟාවිය හැකි පරම තත්වය වේ" යන අදහස බටහිර විද්වතුන් අතර තදින්ම පැතිරගිය අදහසක්. එහිම දිගුවක් ලෙස "සියලුම මිනිසුන් එක පොදු දැණුමක් ලබා ගැනීම හරහා ලෝකයට පොදු වූ එක් දේශපාලන ආධිපත්‍යයක් ඇති කිරීම සහ එමගින් ලෝක සාමය උදා කර ගැනීම​" පිළිබඳ අදහස් ඔවුන් අතර බිහි වෙනවා.

මේ අදහස් වලින් ආභාෂය ලබන ඉතාලි ජාතික කවියෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විචාරකයෙක් වන "දාන්තේ" 1313 දී "රාජ්‍යත්වය​" (Da Monarchia) නමින් තීසිසයක් ඉදිරිපත් කරනවා. මේ තීසිසයෙන් දාන්තේ උත්සහ කරන්නේ ඔහු වාසය කළ ඉතාලියේ ෆ්ලොරස්න් නගරය එවකට පාප් වහන්සේ ගේ දේශපාලන ආධිපත්‍යයෙන් මිදීමට කළ අරගලයට මතවාදීමය පදනමක් සකස් කිරීමට​.

එවකට යුරෝපයේ තිබූ ප්‍රධාන ධාරාවේ අදහස වූයේ රාජ්‍යත්වය සඳහා අවශ්‍යය වල අධිකාරීත්වය (authority) දෙවියන් වහන්සේ ගෙන් පාප් වහන්සේ වෙත ලැබෙන බවත්, පාප් වහන්සේ එය රජවරුන්ට ලබා දෙන බවත්. මෙහිදී පාප් වහන්සේ ඉරටත්, රජු සඳටත් උපමා කෙරුනා. සඳට ආලෝකයක් නොමැති අතර, එය කරන්නේ ඉරේ ආලෝකය පරාවර්තනය කිරීම​.

නමුත් දාන්තේ රජතුමා සහ පාප් වහන්සේ යන දෙදෙනාටම වෙනස් ආකාරයක අධිකාරීත්වයක් දෙවියන් ගෙන් ලැබෙන බව ප්‍රකාශ කර සිටියා. එහිදී පාප් වහන්සේට ආගමික අධිකාරීත්වය ලැබෙන බවත්, රජතුමාට දේශපාලන අධිකාරීත්වය ලැබෙන බවත් ප්‍රකාශ කළ දාන්තේ, මේ දෙක වෙනම පැවතිය යුතු බවට අදහස් පල කළා.

භක්තිමත් කතෝලිකයෙක් වූ දාන්තේ පාප් වහන්සේ ගේ ආගමික අධිකාරීත්වය වඩා ශුද්ධ වූ උසස් එකක් බව ප්‍රකාශ කළත්, තමාගේ දේශපාලන අධිකාරීත්වයට අභියෝග කළ නිසා පාප් වහන්සේ දාන්තේ ගේ තීසිසය තහනම් කළා.

දාන්තේ ගේ මේ අදහස් පුනරුද සමයේ රජතුමා (රාජ්‍යය​) සහ පාප්වහන්සේ (ආගම​) අතර දේශපාලන බලය වෙන් කළ යුතු බවට විධිමත් ලෙස පළවූ ප්‍රථම අදහස ලෙස සැලකෙනවා.

මේ වර්තමාන බටහිර නූතනත්වයේ පදනම් සංකල්පයක් වූ ඓහිකත්වයේ (secularism) ආරම්භයයි.

ඉබ්න් අරබි සහ පැවැත්මේ ඒකාත්මීය භාවය

 


ඉස්ලාම් ආගමේ දැනුම ලබා ගන්න ප්‍රධාන ක්‍රම තියෙන්නෙ දෙකයි.

පළවෙනි එක හෙළිදරව්ව (revelation). ඒ කියන්නේ මුහම්මද් තුමා හරහා දෙවියන්ගෙන් ලැබෙන දැණුම. ඒක අරාබි භාෂාවෙන් "නකල්" කියල හඳුන්වනවා.

දෙවෙනි එක තර්ක බුද්ධිය (intellect). ඒ කියන්නෙ මිනිස්සු තමාගේ බුද්ධියෙන් තර්ක කරලා ලබා ගන්න දැණුම. ඒක අරාබි භාෂාවෙන් "අකල්" කියලා හඳුන්වනවා.

ඉස්ලාමීය සංස්කෘතිය පුරාවටම දැණුම ලබා ගැනීමේදී අකල් සහ නකල් කොයි ප්‍රමාන වලින් යොදා ගන්න ඕනෙද, කියන එක පිළිබඳ විශාල සංවාදයන් රාශියක් ඇති වෙලා තියෙනවා. ඒක මුස්ලිම් ඉතිහාසයේ ප්‍රධානම අංගයක්.
නමුත් දොළොස් වන සහ දහතුන්වන සියවස් වල හිටපු අරාබි විද්වතෙක්, කවියෙක් සහ දාර්ශනිකයෙක් මේකට තුන්වන ක්‍රමයක් විදිහට අන්තර්ඥානය (intuition) හඳුන්වලා දෙනවා. ඒ අබු අබ්දුල්ලා මුහම්මද් ඉබ්න් අල්-අරාබි හෙවත්, ඉබ්න් අරාබි.

 

ඉබ්න් අරබි


12 වෙනි සියවසේදී වර්තමාන ස්පාඤ්ඤය පාලනය වුනේ "ටයිෆා" නමින් හැඳින්වුන ඉස්ලාමීය රාජ්‍යය ගණනාවක් විසින්. මේවා ඉස්ලාමීය-අරාබි ශිෂ්ඨාචාරයේ කොටසක් වශයෙන් පැවතුනු ස්වාධීන රාජ්‍යය. සම්පූර්න ස්පාඤ්ඤයම අරාබි ලෝකයේ හැඳින්වුනේ "අල්-අන්දලූස්" නමින්. අල්-අන්දලූස් ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ ධනවත්ම ප්‍රදේශයක් වුනු අතර, ඒ නිසාම බුද්ධිමතුන් විශාල ප්‍රමානයක් බිහි කළ බිමක් වුනා.

අල්-අන්දලූස් හි නැගෙනහිර වෙරළබඩ පැවතුනු කුඩා ටයිෆාවක් හැඳින්වුනේ එහි ප්‍රධාන නගරය වුනු "මුරිකා" නමින්. මේ නගරයේ වාසය කළ එක පවුලක පිය පාර්ශවය අරාබියේ සිට සංක්‍රමනය වුනු අරාබි ජාතිකයන් වුනු අතර, මව් පාර්ශවය උතුරු අප්‍රිකානු බර්බර් ජාතිකයන්.

1165 දී මේ පවුලේ උපත ලැබුවා "මුහම්මද් ඉබ්න් අලී". ඔහුගේ පියා මුරිකා හි සුල්තාන් වරයාගේ හමුදාවේ නිලධාරියෙක්. මුහම්මද් ඉබ්න් අලී පසු කාලයක ප්‍රසිද්ධ වුනේ "ඉබ්න් අරාබි" නමින් (ඉබ්න් අරාබි කියන එකේ තේරුම "අරාබි ජාතිකයාගේ පුතා"). 1172 දී උතුරු අප්‍රිකානු අල්මොහාද් වාංශික සුල්තාන් වරු මුරිකා රාජ්‍යය යටත් කරගත් පසුව ඉබ්න් අරාබි සහ පවුල දකුණු ස්පාඤ්ඤයේ සෙවිල් නගරයට සංක්‍රමනය වුනා. ඉබ්න් අරාබි හැදී වැඩුනේ සෙවීල් නගරයේ.

සෙවිල් නගරයේ ආණ්ඩුකාරයා යටතේ ඉබ්න් අරාබි ගේ පියා උසස් තනතුරක් දැරූ නිසා ඉබ්න් අරාබි තරුණ කාලයේ ගත කලේ ධනවත් තරුණයෙක් ගේ සෙල්ලක්කාර ජීවිතයක්. ඔහු අධ්‍යාපනය හෝ ආගම ගැන කිසිම උනන්දුවක් දැක්වූයේ නෑ.

එක දවසක් රෑ ඉබ්න් අරාබි සහ ඔහුගේ ධනවත් මිතුරන් පිරිසක් භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සිටියා. එහිදී හැමෝම වයින් පානය කළ අතර, ඉබ්න් අරාබිත් යහමින් වයින් පානය කරමින් සතුටු වුනා. තවත් වයින් වීදුරුවක් මුවට ඔසවද්දී ඔහුට එක පාරටම හඬක් ඇසුනා.

"මුහම්මද්, ඔබව නිර්මාණය කළේ මේ සඳහා නොවේ"

අධික භීතියට සහ කම්පනයට පත් ඉබ්න් අරාබි භෝජන සංග්‍රහයෙන් පලා ගියා. පැය කීපයක් ඉබාගාතේ ගිය ඔහු සේන්දු වුනේ සෙවිල් නගරයේ කනත්ත වෙත. එහිදී භාවනා කිරීමට පටන් ගත් ඔහු දින කීපයක්ම කනත්තේ භාවනා කරමින් ගත කලා (මේ භාවනා කියන්නේ බෞද්ධ භාවනා අර්ථයෙන් නෙවෙයි, ඉස්ලාමීය සංස්කෘතියේ එන භාවනා ක්‍රමයක් - ඒක බෞද්ධ භාවනා ක්‍රම වලට සමාන වෙන්න අවශ්‍යය නෑ).

මෙහෙම භාවනා කිරීමේදී ඔහුට දිගටම විවිධ දර්ශන පෙනෙන්නට සහ අන්තර්ඥානය හරහා දැණුම ලැබෙන්න පටන් ගත්තා. ඔහු පසුව සඳහන් කළ ආකාරයට ඒවා ඔහුට ලැබුනේ ඊසා (ජේසුස් වහන්සේ) හරහා. ඔහු පසුව සඳහන් කරන්නේ ඔහුගේ පළමු ගුරුවරයා ඊසා බව.

මෙහිදී ඔහුට විශ්වය පිළිබඳ පුළුල් දර්ශනයක (grand vision) දැණුමක් අන්තර්ඥානය හරහා ලැබෙනවා. ඉබ්න් අරාබි තම මුළු ජීවිත කාලයම ගත කරන්නේ මේ පුළුල් දර්ශනය වඩා හොඳින් වටහා ගන්න සහ එය ලේඛනගත කරන්න.

තම ධනවත් සෙල්ලක්කාර දිවිය අතහරින ඉබ්න් අරාබි ජීවත් වීමට අත්‍යාවශ්‍ය දේවල් කීපයක් පමණක් රැගෙන ගම් නගර පුරා සැරිසරන්නේ දැණුම සොයා යමින්. ඔහුට එහිදී ඉබ්න් රුෂ්ද් නම් සුෆී ගුරුවරයා හමුවෙනවා. ඉබ්න් රුෂ්ද් සමඟ හැදෑරීම් කරන ඉබ්න් අරාබි සූෆි දර්ශනය වෙත සමීප වෙනවා.

ඔහුගේ සංචාරයන් ඔහුව අන්දලූස්, මොරොක්කෝව සහ ටියුනීසියාව කරා ගෙන යනවා. 1202 දී ඉබ්න් අරාබි හජ් වන්දනාව සඳහා මක්කා නගරය වෙත පැමිණෙනවා. මක්කා හිදී ඔහුට තවත් දර්ශන ගණනාවක් හරහා දැණුම ලැබෙනවා. ඔහු අවුරුදු තුනක් මක්කාවේ ගත කරන අතර ඔහුගේ වඩාත්ම ප්‍රසිධ පොත වුනු "අල්-ෆුතුහත් අල්-මක්කීයා" (මක්කාවේ ප්‍රදීපන) ලියන්නේ එහිදී ලබාගත් දැණුම ඇසුරෙන්.

1205 දී මක්කාවෙන් පිටවන ඉබ්න් අරාබි සිරියාව, ජෙරුසෙලම, තුර්කිය සහ ඉරාකය ආදී ප්‍රදේශ වල සංචාරය කරනවා. මෙහිදී ඔහු සමකාලීන ඉස්ලාමීය විද්වතුන් සමඟ හැදෑරීම් වල නිරත වෙනවා. මේ හැදෑරීම් ඔහුව ඉස්ලාමීය ලෝකයේ විශිෂ්ඨතම බුද්ධිමතකුගේ සහ දාර්ශනිකයකුගේ මට්ටමට ඔසවා තබනවා.

ඉබ්න් අරාබි ගොඩනැගූ දැණුම පසු කාලීනව "වහ්දත් අල්-වුජූද්" හෙවත් පැවැත්මේ ඒකීයභාවය (Unity of Being) නම් සංකල්පය වෙත කැටි වෙනවා. එහිදී ඔහු කියා සිටින්නේ පවතින එකම පැවැත්ම දෙවියන් පමණක් බවත්, අනෙකුත් සියල්ල ඒ පැවැත්මේ ප්‍රතිබිම්බයක් පමණක් බවත්. මේ සංකල්පය සහ බෞද්ධ ලෝක දැක්මේ විශාල සමීපතාවයක් පවතිනවා.

ඔහුගේ අදහස් ඉස්ලාමීය දැණුම් පද්ධතියේ මධ්‍යයට දුරින් පිහිටන නිසා ඉබ්න් අරාබි සැකලෙන්නේ විවාදාත්මක චරිතයක් විදිහට. සමහරු (විශේෂයෙන් සුෆී දර්ශනය අනුගමනය කරන විද්වතුන්) ඔහුව විශිෂ්ඨයෙක් ලෙස දකින අතර, වඩා සාම්ප්‍රදායික විද්වතුන් ඔහුව දැඩි විවේචනයට ලක් කරනවා.

1240 දී ඉබ්න් අරාබි දමස්කස් නගරයේදී මිය යනවා.


පැවැත්මේ ඒකීය බව හෙවත් වහ්දත් අල්-වුජූද්

ඩිස්ක්ලේමර් 1 : ඉබ්න් අරාබි කිසිම විටෙක තමාගේ අදහස් හඳුන්වන්න "වහ්දත් අල්-වුජුද්" කියන යෙදුම පාවිච්චි කරලා නෑ. ඒ යෙදුම ඔහුගේ අනුගාමිකයන් පසු කාලයකදී ඔහු විසින් පෝෂණය කළ දැණුම හඳුන්වන්න නිර්මාණය කළ එකක්.

ඩිස්ක්ලේමර් 2 : මේ පෝස්ට් එකෙන් දක්වන්නේ ඉබ්න් අරාබි ගේ අදහස් වල ඉතාම සංෂික්ප්ත විස්තරයක්. ඉබ්න් අරාබි අවම වශයෙන් පොත් 16 ක් ලියලා තියෙනවා. ඉන් ප්‍රසිද්ධම පොත වෙන අල්-ෆුතුහාත් අල්-මක්කීයා විතරක් වෙළුම 9 කින් යුත් විශාල පොතක්.

"දෙවියන් වහන්සේ සැඟවුනු නිධානයක් ලෙස පැවතුනහ. උන් වහන්සේට තමා පිළිබඳ දැනීමක් ඇතිවීමට අවශ්‍යය විය. එමනිසා උන්වහන්සේ ලෝකය නිර්මාණය කළහ"

I was a hidden treasure. I wished to be known. So I created the creation in order to be known.


ඉබ්න් අරාබි ගේ ලෝක දැක්ම ඉහත ප්‍රකාශයෙන් කැටි කරලා දක්වන්න පුළුවන්. එමගින් දෙවියන් ගේ සොබාවය, නිර්මිතයේ (ලෝකයේ) සොබාවය සහ දෙවියන් විසින් ලෝකය නිර්මාණය කළ අරමුණ ප්‍රකාශ වෙනවා.

දෙවියන් (creator) ගේ සොබාවය

ඉබ්න් අරාබි ඉස්ලාමයේ එන ඒක දේව වාදය තවත් පියවරක් ඉදිරියට ගෙනියනවා. ඔහු කියන්නේ පවතින්නේ එක දෙවියෙක් පමණක් නෙවෙයි, පවතින එකම දේ දෙවියන් කියලා. ඉබ්න් අරාබි දෙවියන් හඳුන්වන්න "වුජුද්" (පැවැත්ම - the being) කියන වචනය පාවිච්චි කරනවා.

ඉබ්න් අරාබි දක්වන ආකාරයට, දෙවියන් වහන්සේ සීමා රහිතයි (Infinite), ලෞකික ගුණාංග වලින් තොරයි (transcendent), අමරණීයයි (immortal). මේ නිසා අපට දෙවියන්ගේ "නියම ස්වරූපය" කිසිවිටෙකත් දකින්න බෑ.
නමුත් අපි දෙවියන් සමග කරන අන්තර්ක්‍රියා වලින් දෙවියන් ගේ ගුණාංග අත්විඳිනවා. මේ ගුණාංග මිනිසුන් අත්විඳින ආකාරය අනුව ඔවුන් දෙවියන්ට විවිධ නම් භාවිතා කරන බව ඉබ්න් අරාබි කියනවා. උදාහරණ විදිහට, "රබ්" (අධිපතියා, Lord), "රහ්මාන්" (දයාන්විත, compassionate) "රහීම්" (කාරුණික, merciful) සහ "අල් හක්" (සත්‍යය, truth) දක්වන්න පුළුවන්. ඉබ්න් අරාබි දක්වන ආකාරයට දෙවියන් ගේ ගුණාංග අනන්තයක් ඇති නිසා දෙවියන්ට අනන්තයක් නම් තියෙනවා.

ඒ අනුව දෙවියන් ගේ සොබාවයන් දෙකක් ඉබ්න් අරාබි දක්වනවා.

1. සාරය (essence) හෙවත්, අල්-දත්. මේ අපිට අත්විඳිය නොහැකි දෙවියන් ගේ "සැබෑ" පරම සොබාවය
2. අන්තර්ක්‍රියා හරහා අපි අත්විඳින සොබාවය.

නිර්මිතයේ (created) සොබාවය

පවතින එකම දේ දෙවියන් නම්, ලෝකය මොකද්ද කියන ප්‍රශ්නය ඊළඟට එනවා.

"ලෝකය මායාවකි. එයට සැබෑ පැවැත්මක නැත. මේ පරිකල්පනයේ (කයාල්) අරුතයි. ඔබ ලෝකය වෙනම පැවැත්මක් සහිත, දෙවියන් ගෙන් පරිබාහිර දෙයක් ලෙස පරිකල්පනය කරයි. නමුත් සැබැවින්ම එය එසේ නොවේ"
- ඉබ්න් අරාබි


ලෝකයට දෙවියන් ගෙන් පරිබාහිර පැවැත්මක් නැතිනම් ලෝකය කියන්නේ දෙවියන් ද? ඉබ්න් අරාබි මෙයත් ප්‍රතික්ෂේප කරනවා. ලෝකය සොබාවයෙන්ම සීමිතයි (finite), ලෞකිකකයි (creaturely), නැසෙන සුළුයි (mortal).

ඉබ්න් අරාබි දක්වන ආකාරයට ලෝකය (පණැති, පණනැති සියළු දේ) කියන්නේ දෙවියන් ගේ නිරූපනයක් (manifestation). මෙහිදී ඔහු ප්‍රිස්මයක උදාරණය ගන්නවා.

සුදු ආලෝකය ප්‍රිස්මයක් හරහා යද්දී රතු, කහ ආදී වර්ණ හතකට කැඩෙනවා. මෙහිදී ඉබ්න් අරාබි සුදු ආලෝකය දෙවියන් ලෙසත්, වර්ණ හත ලෝකය ලෙසත් උපමා කරනවා.

රතු පාට හෝ කහ පාට වෙනම ගත්තම සුදු පාට නෙවෙයි. ඒ වගේම පාට හතම එකට ගත්තත් සුදු පාට නෙවෙයි. නමුත් සුදු ආලෝකයෙන් තොරව රතු සහ කහ ආලෝකයන් පවතින්නේ නෑ.

දෙවියන් සහ නිර්මිතය අතර සබඳකම හරියටම වැටහෙන්නේ නිර්මාණයේ සොබාවය දිහා බැලීමෙන්.

නිර්මාණයේ (creation) සොබාවය

"ඔබ කුමන දෙසට හැරුණත්, දෙවියන් ගේ මුහුණ එහි ඇත"
(කුරාණය 2:115)

Which ever way you turn, there is the face of God

(Al-Quran 2:115)

ඉබ්න් අරාබි විස්තර කරන ආකාරයට දෙවියන් සීමා රහිත නිසා දෙවියන් ගේ ගුණාංගත් (attributes) සීමා රහිතයි. දෙවියන්ගේ මේ ගුණාංග වල නිරූපණයක් විදිහට ලෝකය නිර්මාණය වෙනවා.

මේ නිර්මාණය ඉතිහාසයේ එක මොහොතක කරලා "පවතින" දෙයක් ලෙස ගැනීම ඉබ්න් අරාබි ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ දෙවියන් ගේ ගුණාංග වල නිරූපනයක් විදිහට සෑම මොහොතකම ලෝකය අළුතෙන් නිර්මාණය වන බව. එනම් ලෝකයට දෙවියන් ගෙන් පරිබාහිර පැවැත්මක් නැති අතර, දෙවියන් ගේ ගුණාංග වල නිරූපනයක් පමණක් ලෙස ගත යුතු බව (සරළව කිව්වොත් හැම මොහොතකම අළුතෙන් නිර්මානය වන දෙයක "පැවැත්මක්" නැත).

මේ නිර්මාණය සිදු වන්නේ දෙවියන් ගේ සාරය (essence), දෙවියන් ගේ දැණුම  සමග ගැටීමෙන්. ඉබ්න් අරාබි මේ "දෙවියන් ගේ දැණුම" කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ "අයියාන් අත්-තාබිතා" ලෙස ඔහු හඳුන්වන භූතාර්ථ (entities) උපයෝගී කරගෙන.

අයියාන් අත්-තාබිතා කියන්නේ දෙවියන් ගේ දැණුම කැටි කරගත් "නිර්මාණයේ අච්චු" කියල හඳුන්වන්න පුළුවන්. දෙවියන් ගේ සාරය අයියාන් අත්-තාබිතා සමඟ ගැටීමෙන් සිදුවන නිරූපනය ලෝකය හෙවත් නිර්මිතය ලෙස එළි දකිනවා.

ඉබ්න් අරාබි මේ නිරූපනය සෙවනැල්ලකට සමාන කරනවා. දෙවියන් ගේ සාරය ආලෝකයක් නම්, අයියාන් අත්-තාබිතා මොකක් හරි වස්තුවක් නම් වස්තුව මගින් ඇති කරන සෙවනැල්ල තමයි නිර්මිතය.

නමුත් අයියාන් අත්-තාබිතා කියන්නේ සැබැවින්ම "පවතින දෙයක්" නෙවෙයි. එමගින් ඇති කරන සෙවනැල්ල හෙවත් නිර්මිතයත් සැබැවින්ම "පවතින දෙයක්" නෙවෙයි. සැබැවින්ම පවතින්නේ දෙවියන් පමණයි.

නිර්මාණයේ (creation) සොබාවය තව දුරටත්

මේක වඩා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් සිනමා ප්‍රොජෙක්ටරයක් උපමා කරගැනීමෙන්.

සිනමා ප්‍රොජෙක්ටරයේ බල්බයෙන් නිකුත් වෙන්නේ සුදු ආලෝකයක්. ඒ තමයි දෙවියන්. ඒක සිනමා පටිය (film) හරහා යනවා. මේ සිනමා පටිය තමයි අයියාන් අත්-තාබිතා කියලා අබ්න් අරාබි හඳුන්වන්නේ. සිනමා පටිය හරහා යද්දී සුදු ආලෝකය විවිධ වර්ණ වලට කැඩෙනවා. මේ වර්ණ තිරය මත වැටුනු පසු තිරය මත විවිධ රූප නිර්මානය වෙනවා. මේ නිර්මානය වෙන රූප තමයි නිර්මිතය  හෙවත් අපි අත්දකින ලෝකය.

අපි චිත්‍රපටිය එක දිගට දිවෙන දෙයක් විදිට අත් වින්දාට ඇත්තටම එතැන තියෙන්නේ වේගයෙන් මාරු වෙන නිශ්චල රූප සමූහයක්. ඒ වගේ නිර්මිතයත් හැම මොහොතේම අළුතෙන් නිර්මාණය වෙනවා. අපි එය එක දිගට ගලා යන "පවතින දෙයක්" කියන මායාව අත්විඳිනවා.

චිත්‍රපටියේ ඉන්න නළු නිළියන්ට ප්‍රොජෙක්ටරය අත් විඳින්න බෑ වගේම අපිට දෙවියන් අත් විඳින්න බෑ. නමුත් චිත්‍රපටියේ හැම මොහොතක්ම ප්‍රොජෙක්ටරයේ ආලෝකයේ සහ සිනමා පටියේ ගැටීමක ප්‍රතිඵලයක්.

පරිපූන මිනිසා

ඉබ්න් අරාබි පරිපූර්න මිනිසා ලෙස දකින්නේ දෙවියන් ගේ සහ නිර්මිතයේ සොබාවය ඉතාම නිවැරදිව අවබෝධකරගත් මිනිසෙකු.

පරිපූර්න මිනිසකුගේ තත්වය ළඟා කරගැනීමට නම්, ලෝකයේ සියළුම දේ, තමා (හෙවත් මම) ඇතුළුව, "සැබැවින්ම නොපවතින" බව සහ "දෙවියන් ගේ නිරූපනයක්" බව වටහා ගත යුතුයි. මම නොපවතින බවත්, මම යනු දෙවියන් ගේ නිරූපනයක් බවත් වටහා ගත් පසු මිනිසා පරිපූර්ණ වශයෙන් දෙවියන් කෙරෙහි කැපවන බව ඉබ්න් අරාබි ප්‍රකාශ කලා.

ඔහු මේ "පවතින මම" පිළිබඳ මායාව නැති කරගත් පරිපූර්න මිනිසා "ඉන්සාන් අල්-කමිල්" කියලා හැඳින්වුවා.



"ඔබ ගැන දැන ගන්න. දෙවියන් ගැන දැනගැනීමට ඔබට හැකිවනු ඇත."

Know yourself, you will know your Lord

ඒබ්‍රහමික ආගම්

 


ඒබ්‍රහමික ආගම් කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් කියන ආගම් තුනට (තව සුළු ආගම් කීපයක් තියෙනවා ඒබ්‍රහමික ගණයට වැටෙන. ඒවා නොසලකා හැරිය හැකි තරම් කුඩායි.)
 

අතීත සහ වර්තමාන ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් අදහන්නේ ඒබ්‍රහමික ආගම් නිසා මේක ලෝක ඉතිහාසය පැත්තෙන් බැළුවම ඉතාම වැදගත් සංසිද්ධියක්. ඒ වගේම ලෝක ඉතිහාසයේ වඩාත්ම වැඩි බලපෑමක් කළ අදහස් පද්ධතියක්.
 

මේවා "ඒබ්‍රහමික" ආගම් කියල හඳුන්වන්නේ මේ ඇදහීම් ක්‍රමය පටන් ගත්ත පුද්ගලයා විදිහට ඒ ආගම් වල සැලකෙන්නේ ඒබ්‍රහම් කියන පුද්ගලයා නිසා. ඒබ්‍රහම් කියන්නේ ඇත්තටම ජීවත් වුනු කෙනෙක්ද කියන එක විවාදාත්මකයි.
 

ඒබ්‍රහමික ආගම් වල පදනම් අදහස තමයි "ලෝකය මවපු සහ පවත්වාගෙන යන සර්ව බලධාරී එක දෙවියෙක් සිටී" කියන එක. ඒ දෙවියන් නැමදීම සහ ඒ දෙවියන් විසින් පනවන ලද නීති වලට අනුව ජීවත් වීම ඒබ්‍රහමික ආගම් වලින් බලාපොරොත්තු වෙනවා. ඒ දෙවියන් ගේ පණිවුඩ මිනිස් වර්ගයාට ලබා දෙන දිවැසිවරු පිළිබඳ විශ්වාසයකුත් ඒබ්‍රහමික ආගම් වල තියෙනවා.
 

යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් මේ මූලික අදහස් වලින් බොහෝ දුරට සමානයි. ඒත් තවත් බොහෝ කරුණු වලින් වෙනස්.


දෙවියන් ගේ නම

යුදෙව් ආගමේ දෙවියන් හඳුන්වන්නේ "එලොහීම්" කියන හීබෲ වචනයෙන්. එලොහීම් කියන්නේ දෙවියන් ගේ තනතුර හෙවත් ටයිටල් එක. දෙවියන් ගේ පුද්ගලික නම උච්චාරනය කිරීමට කිසිවෙකුටත් අවසර නෑ. ඒක "යහ්වෙහ්" කියන හීබෲ අකුරු හතරෙන් සංකේතවත් කෙරෙනවා.

බයිබලය ග්‍රීක් බසට පර්වර්තනය වෙද්දී එලොහීම් යන්න "තියොස්" ලෙසත්, යහ්වෙහ් යන්න "කුරියොස්" ලෙසත් පරිවර්තනය කෙරිලා තියෙනවා. ලතින් බසට එද්දි තියොස් "දෙවුස්" විදිහටත්, යහ්වෙහ් "ජෙහෝවා" විදිහටත් පරිවර්තනය වෙනවා. ඉංග්‍රීසියට එද්දි දෙවුස් "ගෝඩ්" වෙන අතර, යහ්වෙහ්
"ලෝර්ඩ්" වෙනවා.

ඉස්ලාමයේ දෙවියන් හඳුන්වන්නේ පාවිච්චි වෙන්නේ "අල්ලාහ්" යන අරාබි වචනය. මේක "අල්-ඉලාහා" හෙවත් "එක දෙවියන්" (the God) කියන එකේ කෙටි වීමක්. දෙවියන් ගේ පුද්ගලික නමක් ඉස්ලාමයේ එන්නේ නෑ.


දෙවියන් ගේ සොබාවය

යුදෙව් ආගමේ එන දෙවියන් බොහෝ දුරට සං‍යුක්ත දෙවි කෙනෙක්. දෙවියන් මිනිසා (ආදම් සහ මෝසස්) එක්ක කතා කරනවා. දෙවියන් ගේ අඩි ශබ්ධය ආදම්ට ඇහෙනවා. දෙවියන් ගේ ස්වරූපයක් වලා සහ අකුණු විදිහට මිනිසාට පේනවා.

ක්‍රිස්තියානියේ එන දෙවියන් ඊට වඩා වියුක්තයි. ක්‍රිස්තියානියට අනුව දෙවියන් ගේ ස්වරූපයන් තුනක් තියෙනවා (පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මය). මෙහිදී පියා ලෝකයත් එක්ක ගනුදෙනු වෙන ස්වරූපය වෙන අතර, පුත්‍රයා කියන්නේ ජේසුස් වහන්සේ විදිහට මනුෂ්‍ය වෙසින් ලෝකයට එන ස්වරූපය. ශුද්ධාත්මය කියන්නේ දෙවියන් ගේ අතිශය වියුක්ත ස්වරූපය.

ඉස්ලාමයේ එන දෙවියන් අතිශයින් වියුක්තයි. කිසිම අවස්ථාවක දෙවියන් මිනිසා සමඟ "එකට එක" ගනුදෙනු කරන්නේ නෑ. මුහම්මද් තුමාට පවා පණිවුඩ ලැබෙන්නේ ජිබ්‍රායීල් නම් දේව දූතයා හරහා. ඉස්ලාමයට අනුව දෙවියන් ගේ ස්වරූපයක් සිතේ මවා ගැනීමට උත්සහ කිරීම පවා නිෂ්ඵලයි.


ආගමික ශුද්ධ ග්‍රන්ථ

යුදෙව් ආගමේ ශුද්ධ ග්‍රන්ථය විදිහට සැලකෙන්නේ "තනකා" ලෙස හැඳින්වෙන ග්‍රන්ථ එකතුව. මේවා (බොහෝ විට ක්‍රිස්තියානින් විසින්) "යුදෙව් බයිබලය" සහ "පැරණි තෙස්තමේන්තුව" යන නම් වලිනුත් හැඳින්වෙනවා. තනාකා ලියල තියෙන්නේ හීබෲ භාෂාවෙන්.

ක්‍රිස්තියානි ආගමේ ශුද්ධ ග්‍රන්ථට විදිහට සැලකෙන්නේ බයිබලය. බයිබලය කියන්නේ යුදෙව් බයිබලය සහ ඒකට පසුව එකතු කළ කොටස් කීපයක්. යුදෙව් බයිබලය "පැරණි තෙස්තමේන්තුව" ලෙසත්, පසුව එකතු කළ කොටස් "නව තෙස්තමේන්තුව" ලෙසත් හැඳින්වෙනවා. බයිබලය මුලින් ග්‍රීක බසින් ලියලා පසුව ලතින් සහ වෙනත් භාෂා වලට පරිවර්තනය කෙරිලා තියෙනවා.

ඉස්ලාම් ආගමේ ශුද්ධ ග්‍රන්ථය වෙන්නේ කුරානය. කුරානය ලියලා තියෙන්නේ අරාබි බසින්. ක්‍රිස්තියානින් විසින් තනකාව සම්පූර්ණයෙන්ම පිළිගත්තත් මුස්ලිමුන් බයිබලය හෝ තනකාව සම්පූර්ණයෙන් පිළිගන්නේ නෑ.


දිවැසිවරු

යුදෙව් ආගමේ දිවැසිවරු විශාල ප්‍රමානයක් ඉන්නවා. ඔවුන් ගේ පණිවුඩ තනකාවේ සඳහන් වෙනවා.

ක්‍රිස්තියානින් යුදෙව් දිවැසිවරු සියල්ලන්ම පිළිගන්නවා. ඊට අමතරව ජේසුස් වහන්සේ අවසාන දිවැසිවරයා ලෙස පිළිගන්නවා. ජේසුස් වහන්සේ දෙවියන්ගේ එක් ස්වරූපයක් කියල සලකන නිසා එතුමන්ට අනෙක් දිවැසිවරුන්ට වඩා සුවිශේෂී තැනක් හිමිවෙනවා.

මුස්ලිමුන් යුදෙව් දිවැසිවරු සහ ජේසුස් වහන්සේව පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ පණිවුඩ ලෙස තනකාවේ සහ බයිබලයේ ඇති දේ පිළිගන්නේ නෑ. ඒ ඒවා විකෘති වී ඇතැයි ඔවුන් සලකන නිසා. ඉස්ලාම් ආගමේ ජේසුස් වහන්සේට සුවිශේෂී තැනක් දෙන්නේ නෑ. එතුමාත් තවත් එක් දිවැසිවරයෙක් පමණයි. අවසාන දිවැසිවරයා වශයෙන් මුහම්මද් තුමා පිළිගැනෙන අතර ඔහුට සුවිශේෂී තැනක් නොලැබුනත්, වඩාත්ම ගරු කරන දිවැසිවරයා වෙන්නේ මුහම්මද් තුමා.


ආගමේ ප්‍රභවය සහ විකාශය

යුදෙව් ආගම උපත ලබන්නේ එකල කනානය ලෙස හැඳින්වුන වර්තමාන පලස්තීනය/ඊශ්‍රායලය අයත් ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ එකල පැවතුනු ආගම වුනු "කනානීන ආගම" නම් බහුදේව වාදී ආගම ඒක දේව වාදී ආගමක් බවට පරිවර්තනය වීමෙන් යුදෙව් ආගම උපත ලබනවා. යුදෙව් ආගම සොබාවයෙන් "මැදපෙරදිග ආගමක්".

ක්‍රිස්තියානි ආගම උපත ලබන්නේ "යෙහෙෂුවා" නම් යුදෙව් ආගමික ගුරුවරයෙක් ගේ ඉගැන්වීම් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ශිෂ්‍යයන් විසින් විකාශයන කිරීමෙන්. රෝම පාලකයන් යොහොෂුවා කුරුසියේ ඇණ ගසා මරා දැමූ පසු ඔහුගෙ ගෝලයන් යොහොෂුවා දෙවියන්ගේ එක් ස්වරූපයක් බව සහ මනුෂ්‍ය වර්ගයාගේ සියළු පව් වෙනුවෙන් ඔහු දිවිපිදූ බව අදහස් නිර්මාණය කළා. මේ ක්‍රිස්තියානි ආගමේ උපතයි. ක්‍රිස්තියානි ආගම උපත ලබන්නේ ඊශ්‍රායලයේ වුනාට වර්ධනය වෙන්නේ මුලින් ග්‍රීසිය ආශ්‍රිත නැගෙනහිර යුරෝපයේ සහ පසුව රෝමය ආශ්‍රිත බටහිර යුරෝපයේ. මේ නිසා ග්‍රීක/රෝම පූර්ව ක්‍රිස්තියානි ආගම් වල ආභාෂය ඒකට තදින් ලැබිලා තියෙනවා. ක්‍රිස්තියානි ආගම සොබාවයෙන් "යුරෝපීය ආගමක්".

ඉස්ලාම් ආගම උපත ලබන්නේ අරාබියේ. මේ කාලයේදී අරාබියේ පැවති ප්‍රධාන ආගම ඒක දේව වාදයේම විකෘතියක්. ඒ වගේම ඒ කාලයේ අරාබියේ (වර්තමානයෙ දක්නට නොලැබෙන) විවිධ ක්‍රිස්තියානි නිකායන් පැතිර තිබුනා. ඉස්ලාම් ආගම සොබාවයෙන් "මැදපෙරදිග ආගමක්".


තෝරා ගත් ජනවර්ගයක් පිළිබඳ අදහස

යුදෙව් ආගමේ පදනම වෙන්නේ යුදෙව්වන් කියන්නේ දෙවියන් විසින් තෝරාගත් ජනවර්ගයක් කියන අදහස. දෙවියන් ගේ තෝරාගත් ජනවර්ගය විදිහට ඔවුන්ට විශේෂ වරප්‍රසාද වගේම විශේෂ වගකීම් තියෙනවා. මේ තෝරාගත් ජනවර්ගයට වාසය කිරීම සඳහා ඊශ්‍රායලය නම් පොරොන්දු දේශයක් දෙවියන් විසින් ලබා දෙනවා.

ක්‍රිස්තියානි ආගම තෝරාගත් ජනවර්ගයක් ගැන සලකන්නේ නෑ. ඇත්තෙන්ම ක්‍රිස්තියානි ආගම කියන්නේ සියළුම ජනවර්ගයන්ට ගැලපෙන ලෙස සකස් කරගත් යුදෙව් ආගම කියල සලකන්න පුළුවන්. ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් කිසිම ජනවර්ගයකට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑ.

ඉස්ලාම් ආගමටත් තෝරාගත් ජනවර්ගයක් ගැන සලකන්නේ නෑ. ඉස්ලාමයේ පණිවුඩය අරාබි ජනවර්ගය අතරට අරාබි භාෂාවෙන් පැමිණියත්, ආගම සහ දෙවියන් ඉදිරියේ සියළු ජනයා සැලකෙන්නේ සමානව.


ආගමික නීති රීති

යුදෙව් ආගමට අනුව දෙවියන් නීති රීති 613 ක් පනවා තියෙනවා. මින් ප්‍රධාන නීති 10 ක් "දස පනත" ලෙස හැඳින්වෙනවා. සියළුම යුදෙව්වන් තදින්ම මේ නීති වලට අනුව ජීවත් විය යුතු බව විශ්වාස කෙරෙනවා. මේ දෙවියන් සහ මිනිසා අතර ඇති කරගත් ගිවිසුමක්. නමුත් සමහර පසුකාලීන යුදෙව් නිකායන් මේ නීති ලිහිල් කරලා ඒ අනුව ජීවත් වීම අනිවාර්‍යය නොවන බව සඳහන් කරනවා.

ක්‍රිස්තියානි ආගම යුදෙව් ආගමේ නීති *සාමාන්‍යය වශයෙන්* පිළිගත්තත් (විශේෂයෙන්ම දස පනත) සියළුම නීති අකුරටම පිළිපදින්න අවශ්‍යය යැයි විශ්වාස කරන්නේ නෑ. ඒ ජේසුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම මගින් දෙවියන් සහ මිනිසා අතර නව ගිවිසුමක් ඇති කරගත් බව ඔවුන් විශ්වාස කරන නිසා. මේ නව ගිවිසුමට අනුව ජේසුස් වහන්සේගේ දිවි පිදීම විශ්වාස කිරීම සහ "යහපත් ජීවිතයක්" ගත් කිරීම ප්‍රමානවත්.

ඉස්ලාම් ආගම යුදෙව් නීති පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් මුහම්මද් තුමා හරහා දෙවියන් ලබාදුන් නව නීති සමුදායක් පිළිපදිනවා (නමුත් බොහෝ ඉස්ලාමීය නීති යුදෙව් නීති වලට ගොඩක් සමානයි). ඉස්ලාමයට අනුව මේ නීති සියල්ලම අකුරටම පිළිපැදීම අවශ්‍යයි.


දේශපාලනික සං‍රචකය

යුදෙව් ආගම ඉතා දැඩි ලෙස දේශපාලනිකයි. යුදෙව් ආගමේ පදනම් සංකල්පයක් වෙන්නේ දෙවියන් විසින් යුදෙව්වන්ට "ඊශ්‍රායලය" නම් දේශයක් ලබා දීම. මේ දේශය පවත්වාගෙන යාම පිළිබඳ උපදෙස් යුදෙව් ආගමට ඇතුළත් වෙනවා.

ක්‍රිස්තියානි ආගම දේශපාලනික වෙන්නේ නෑ. ක්‍රිස්තියානි ආගමේ සම්පූර්න අවධානය යොමු වෙන්නේ පුද්ගලයා පිළිබඳව. මේ නිසා ක්‍රිස්තියානිය "පුද්ගලික ආගමක්" කියලා සලකන්න පුළුවන්.

ඉස්ලාමයේත් මූලික අවධානය යොමු වෙන්නේ පුද්ගලයා පිළිබඳව. නමුත් ඉස්ලාමීය අදහස් මත රාජ්‍යයක් පිහිටුවීම සහ ඒ රාජ්‍යය පවත්වාගෙන යාම පිළිබඳ අදහස් ඉස්ලාමයට ඇතුළත්. නමුත් යුදෙව් ආගමේ වගේ ඒක අනිවාර්‍යය අංගයක් හෝ නිශ්චිත දේශයක් පිළිබඳ අදහසක් නෙවෙයි.


ගැලවීම

යුදෙව් ආගමට අනුව තනි පුද්ගලයාගේ ගැලවීමට වඩා අවධානය ලැබෙන්නේ රාජ්‍යයක් වශයෙන් ඊශ්‍රායලයේ පැවැත්ම පිළිබඳ. තනි පුද්ගලයාගේ ගැලවීම තියෙන්නේ දෙවියන් ගේ නීති වලට අනුව ඊශ්‍රායලය පවත්වාගෙන යාම තුළ.

ක්‍රිස්තියානියට අනුව ගැලවීම සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ ජේසුස් වහන්සේ විසින් කුරුසිය මත සිදුකළ කැපකිරීම පිළිබඳ විශ්වාසය තැබීම මත. ඒ අනුව යමෙක් තමා කළ පාපයන් පිළිබඳ සැබැවින්ම පසුතැවී ජේසුස් වහන්සේ පිළිබඳ විශ්වසය තැබීමෙන් ඔහුගේ පව් වලට සමාව ලැබෙනවා.

ඉස්ලාමයට අනුව ගැලවීම සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ තමා මෙලොව ජීවත් වන ආකාරය අනුව. තමා සිදු කරන සෑම පාපයකටම අවසන් විනිශ්චය අවස්ථාවේ වගකීමට සිදුවන අතර, පාපයන්ට සමාව ලැබීමට ඇති එකම ක්‍රමය ඒ වෙනුවට යහපත් ක්‍රියා කිරීම.


සංස්කෘතික සං‍රචකය

යුදෙව් ආගම යුදෙව් සංස්කෘතිය සමඟ ඉතා තදින් බැඳී තියෙනවා. මේ බැඳීම කොතරම් ප්‍රභලද යතොත්, සංස්කෘතික යුදෙව්වෙක් නොවී කෙනෙක්ට යුදෙව් ආගම අදහන්න බෑ.

ක්‍රිස්තියානිය සංස්කෘතියෙන් සම්පූර්නයෙන්ම වාගේ ස්වායත්තයි. ඕනෑම සංස්කෘතියක කෙනෙක්ට ක්‍රිස්තියානි ආගම අදහන්න පුළුවන්.

ඉස්ලාම් ආගමත් මූලධාර්මිකව සංස්කෘතියෙන් ස්වායත්තයි. නමුත් ප්‍රායෝගිකව ඉස්ලාම් ආගම ඇදහීමේදී අරාබි සංස්කෘතික බලපෑම යම් දුරකට ඇතිවෙනවා. ඒ ඉස්ලාමයේ ආගමික නීති මගින් අරාබි සංස්කෘතිය දැඩි ලෙස හැඩගස්වා ඇති නිසා ඒ දෙක වෙන් කර ගත නොහැකි ලෙස එකට බැඳී ඇති හෙයින්.


සාරාංශගත කිරීමක් විදිහ ගත්තොත්, ඉස්ලාමය කියන්නේ යුදෙව් ආගමේම දිගුවක් විදිහට සලකන්න පුළුවන් අතර, ක්‍රිස්තියානිය කියන්නේ යුදෙව් ආගමේ අපගමනයක් (offshoot) විදිහට සලකන්න පුළුවන්.

ඉස්ලාම් ආගමේ ඥාන විභාගය.


ඉස්ලාම් ආගමේ මුල් කාලයේ, ඒ කියන්නෙ මුහම්මද් තුමා ජීවත් ව හිටපු කාලයේ ඉස්ලාමය පිළිබඳ දැනුම ලැබුනේ එකම ක්‍රමයකට. ඒ දෙවියන් ගේ දැනුම ජිබ්‍රායීල් නමින් හැඳින්වුනු දේව දූතයෙක් හරහා මුහම්මද් තුමාට ලබා දීමෙන්. මුහම්මද් තුමා මේ දැනුම තම අනුගාමිකයන්ට කෙලින්ම ලබා දුන්නා.
 

ඒත් මුහම්මද් තුමා දෙවියන් ගේ අවසාන දිවැසිවරයා වූ නිසා එතුමා මියගිය පසු මේ විදිහට දැනුම ලබා ගැනීම සම්පූර්නයෙන්ම නැවතුනා. ඊට පසුව දැනුම ලබා ගැනීම සඳහා වෙනත් ක්‍රම භාවිතා කරන්න මුස්ලිමුන්ට සිදු වුනා. මේ විදිහට ලබා ගන්න අවශ්‍ය වුනු දැනුම කියන්නේ ප්‍රධාන වශයෙන් ධර්මය (theology), නීතිය (religious law) සහ ආධ්‍යාමිකත්වය (spirituality) පිළිබඳ අපැහැදිලි තැන් නිරාකරනය කර ගැනීම.
 

මුහම්මද් තුමා මිය ගියාට පසුව ඉස්ලාමීය දැනුමේ ප්‍රධාන මූලාශ්‍රය වුනේ කුරානය. මුහම්මද් තුමා මිය ගිහිල්ලා වසර කීපයක් ඇතුලත කුරානය ග්‍රන්ථාරූඪ කෙරුනු නිසා එහි විශ්වාසනීයත්වය සුරැකුනා. නමුත් කුරානයට අමතරව දැනුම් මූලාශ්‍ර අවශ්‍ය වුනා.
 

මුල්ම කාලයේ දැනුම ලබා ගැනීම කෙරුනේ මුහම්මද් තුමාගේ ළඟම අනුගාමිකයන් තමා කෙලින්ම මුහම්මද් තුමාගෙන් ලබා ගත් දැනුම අනෙක් අයට ඉගැන්වීම මගින්. මේ මුල් ආගමික ගුරුවරු අතර අලී ඉබ්න් අබු තාලිබ්, අබ්දුල්ලා ඉබ්න් මස්'ඌද්, අබ්දුල්ලා ඉබ්න් උමර්, ආයිෂා බින්ටි අබු බකර්, අබ්දුල්ලා ඉබ්න් අබ්බාස්, හසන් අල් බස්රි වගේ අය කැපී පේනවා.
 

මුහම්මද් තුමා මිය ගිය පසෙ පරම්පරා තුනක් යනතුරු දැනුම ලබා ගැනීම සිද්ධ වුනේ මේ ක්‍රමයට. මේ පරම්පරා තුන පිළිවෙලින් සහාබා, තාබී'ඌන්, තබ අල්-තාබයීන් ලෙස හැඳින්වෙනවා. පරම්පරා තුනම එකට ගත්තම හැඳින්වෙන්නේ "සලෆ්" නමින්.
 

සලෆ් පරම්පරා තුනේ නිමාවත් සමඟම මේ විදිහට දැනුම ලබා ගැනීමේ විශ්වාසනීයත්වය ක්‍රමයෙන් අඩු වී ගියා. දැනුම ලබා ගැනීම සඳහා වඩා විධිමත් ක්‍රමවේදයන් ගේ අවශ්‍යතාවය ඇති වුනා.
 

මේ කියන කාලය වෙන්නේ ක්‍රි.ව. 8 වන සියවසේ මැද කාලය. ඉස්ලාම් ආගමේ ඥාන විභාගය වර්තමාන තත්වයට පත් වීම ඇරඹෙන්නේ මේ කාලයේදී.
 

මේ කාලයේ සිටි ආගමික විද්වතුන් දැනුම ලබා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම 6 ක් භාවිතා කළා.

1. හදීත
2. මදීනා නගරයේ සජීවී සම්ප්‍රදායන්
3. සුවිශේෂී පුද්ගලයන් සතු වුනු සුවිශේෂී දැනුම
4. සහේතුකත්වය
5. තර්කය
6. අන්තර්ඥානය
 

ඉස්ලාම් ආගමේ විවිධ ගුරුකුල බෙදීම සිද්ධ වුනේ මූලිකවම මේ ක්‍රම භාවිතා කළ ආකාර අනුව.

හදීත - traditions

හදීත කියන්නේ මුහම්මද් තුමා ජීවත්ව සිටි කාලයේදී එතුමා කළ ප්‍රකාශ සහ කරපු දේවල් අඩංගු කුඩා කතාන්දර. මේ කතාන්දර ඉදිරියට ගෙනාවේ මුඛ පරම්පරාගතව. අටවන සියවසේ මැද දී ඉස්ලාමීය විද්වතුන් මේවා ග්‍රන්ථාරූඪ කිරීම ඇරඹුවා. මේ සඳහා මූලිකත්වය ගත්තේ මාලික් ඉබ්න් අනස් විද්වතා. ඔහු "මුවත්තා" නමින් හැඳින්වූ හදීත ග්‍රන්ථයක් සම්පාදනය කරලා හදීත මගින් දැනුම ලබා ගැනීම විධිමත් කරන්න මුල් පියවර තැබුවා.
 

මාලික් ඉබ්න් අනස් ගේ ගෝලයෙක් වුනු මුහම්ම්ද් ඉබ්න් ඉදිරිස් අල්-ෂාෆයී සහ ඔහුගේ ගෝලයෙක් වුනු අහ්මඩ් ඉබ්න් හන්බල් විසින් මේ හදීත වේදය තවත් දියුණු කරා. ඔවුන් දෙදෙනා හදීත මගින් දැනුම ලබා ගැනීමට වඩාත් වැඩි වටිනාකමක් දුන්නා.  
 

ක්‍රි.ව. 9 වෙනි සියවසේ සිටි විද්වතෙක් වුනු මුහම්මද් ඉබ්න් ඉස්මයිල් අල්-බුකාරි විසින් හදීත වේදය ඉතා විධිමත් විද්‍යාවක් බවට පත් කළ අතර ඉන් පසුව එය සුන්නි ඉස්ලාමයේ ප්‍රධාන ධාරාව බවට පත් වුනා. අද ඉස්ලාමයේ ප්‍රධාන (කුරානය ළඟට) දැනුම ලබා ගැනීමේ ක්‍රමය වෙන්නේ හදීත.

සජීවී සම්ප්‍රදායන් ('අමල්) - practices and customs

මාලික් ඉබ්න් අනස් විද්වතා ජීවත් වුනේ මදීනා නගරයේ. මදීනා නගරය මුහම්ම්ද් තුමා ජීවත් වුනු නගරය නිසා එකල එහි සිටි ජනයා සලෆ් පරම්පරාවලින් කෙලින්ම පැවත එන අය. මේ නිසා ඔවුන් ඉස්ලාමය ඇදහූ ආකාරය ඉස්ලාමය පිළිබඳ දැනුම ලබා ගැනීමට විශ්වාසනීය මාර්ගයක් බව මාලින් ඉබ්න් අනස් නිගමනය කළා.
 

9 වන සියවසේ දී ඉස්ලාමයේ කේන්ද්‍රස්ථානය මදීනා නගරයෙන් බග්දාද් නගරය දක්වා මාරු වීමත් සමඟම මේ ක්‍රමයෙන් දැනුම ලබා ගැනීම අභාවයට ගියා.


සුවිශේෂී පුද්ගලයන් සතු වුනු සුවිශේෂී දැනුම (ඉමාමියා) - imams

මේ කාලයේදී මුහම්මද් තුමාගේ ළඟම ඥාතියෙක්, කිට්ටුම අනුගාමිකයෙක් සහ ඔහුගේ දියණිය වුනු ෆාතිමා ගේ සැමියා වුනු අලී ඉබ්න් අබු තාලිබ් ට මුහම්මද් තුමාගෙන් පසුව ඉස්ලාමීය සමාජයේ නායකත්වය හිමිවිය යුතු බව විශ්වාස කළ පිරිසක් සිටියා. මුල් කාලයේදී දේශපාලන බෙදීමක් ලෙස පමණක් පැවතුනු මේ පිරිස දැනුම ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී වෙනම පිළිවෙතක් අනුගමනය කළ නිසා වෙනම ගුරුකුලයක් ලෙස බෙදී ගියා. ෂියා ඉස්ලාම් නිකාය ලෙස අද හැඳින්වෙන්නේ ඔවුන්.
 

ඔවුන් විශ්වාස කළ අන්දමට අලී සහ ෆාතිමාගෙන් පැවත එන අය දෙවියන් විසින් තෝරාගත්ත් සුවිශේෂී පුද්ගලයන් වූ අතර, ඔවුන්ට දෙවියන් ගෙන් සුවිශේෂී දැනුමක් ලැබුනා. මේ අය ඉමාම් වරු (නායකයන්) ලෙස හැඳින්වුනා. අලී සහ ෆාතිමාගෙන් පැවත් ආ අය අතර විශිෂ්ඨ ආගමික විද්වතුන් රැසක් සිටීම මේ විශ්වාසය තහවුරු කරන්න හේතුවක් වුනා. මේ අතරින් ඉමාම් ජාෆර් අල්-සදීක්, ඉමාම් මුහම්ම්ද් අල්-බාකිර්, ඉමාම් අලී සෙයින් අල්-ආබිදීන් වැන්නවුන් ප්‍රධානයි.
 

ඉමාම් වරුන්ට දැනුම ලබාදීම අතින් මුහම්මද් තුමාට සමාන කාර්‍ය්යක් කළ හැකි බව මේ ක්‍රමවේදයේ විශ්වාසයයි. මේ නිසා ජීවමාන ඉමාම් වරයාගෙන් ඍජුවම දැනුම ලබාගැනීම මේ ක්‍රමයේදී සිදු වුනා. කුරානයේ මතුපිට අර්ථයට (සහීර්) යටින් ඇති සැඟවුනු අර්ථයන් (බාතින්) කියැවීම මේ ක්‍රමවේදයේ අංගයක්.
 

ෂීයා මුස්ලිම් ගුරු කුලයන් අතර දැනුම ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය බවට පත් වුනේ මේ ක්‍රමය.

සහේතුකත්වය (රා'යි) - rationalism

මාලික් ඉබ්න් අනස් සහ ඉමාම් ජාෆර් අල්-සදීක් මදීනා නගරයේ සිටි කාලයේදී ඔවුන් ගේ සමකාලීන් විද්වතෙක් වුනු ඉරාකයේ සිටි අබු හනීෆා විසින් දැනුම ලබා ගැනීමේ ක්‍රමයක් ලෙස සහේතුකත්වය හඳුන්වාදුන්නා.
මේ ක්‍රමයේදී සිදු කෙරුනේ දැනටමත් තහවුරු වුනු දැනුම මත පිහිටා සහේතුකව (rationally) සිතා බැලීමෙන් සහ සදෘශ්‍යක අපෝහනයෙන් (analogical deduction) නිගමන වලට පැමිණීම. උදාහරණයකට එක් නීතිමය ගැටළුවකට පිළිතුරු ලෙස ඊට සමාන වෙනත් ගැටළුවකට ලබා දුන් පිළිතුරක් ඇසුරෙන් පිළිතුර අපෝහනය කර ගැනීම ගන්න පුළුවන්.
 

නව වන සියවසේදී හදීත මගින් දැනුම ලබා ගැනීම ප්‍රධාන ධාරාව බවට පත් වීමත් සමඟම මේ ක්‍රමවේදයේ ප්‍රමුඛත්වය අඩු වී ගියා. එය සුන්නි ඉස්ලාමයේ උප ධාරාවක් ලෙස අද පවතින්නේ හදීත මගින් විසඳාගත නොහැකි ගැටළු වලට පිළිතුරු සෙවීමේ ක්‍රමයක් ලෙස.
 

තර්කය (කලාම්) - speculation & logical reasoning

මූලාශ්‍ර මත පදනම් නොවී හුදෙක් තර්කය මත පදනම්ව දැනුම ගොඩ නැංවීම මේ ක්‍රමවේදයට අඩංගු වුනා.
අටවන සියවසේදී මේ ක්‍රමවේදය මූලික වශයෙන් භාවිතා කලේ මු'අතසිලා ගුරුකුලය විසින්. ඔවුන් හදීත දැනුම සඳහා යොදා ගත්තේ ඉතාමත් අඩුවෙන්. ඒ වෙනුවට තාර්කිකත්වය මත පදනම්ව දැනුම ගොඩ නැංවීම ඔවුන් ගේ ක්‍රමවේදය වුනා.
 

දහවන සියවසේදී සුන්නි ගුරුකුලයේ විද්වතුන් වුනු අබු හසන් අල්-අෂාරි සහ අබු මන්සූර් අල්-මාතුරීදි විසින් මේ ක්‍රමවේදය සුන්නි ගුරුකුලයටත් හඳුන්වා දුන්නා. අද එය සුන්නි ඉස්ලාමයේ ධර්මය පිළිබද දැනුම ලබා ගැනීම සඳහා භාවිතා කෙරුනත්, නීතිය සම්බන්ධ කරුනු වලදී යෙදෙන්නේ අඩුවෙන්.

අන්තර්ඥානය - intuition

අන්තර්ඥානය මගින් දැනුම ලබා ගැනීම ප්‍රධාන වශයෙන් සිදු කලේ සූෆි ගුරුකුලයන් විසින්. ඉබ්න් අරබි මේ ක්‍රමය යොදා ගත් විද්වතුන් අතර ප්‍රධානයි.
 

මේ ක්‍රමයේදී විවිධ ක්‍රම මගින් ධ්‍යාන වලට සමවැදීම සිදු කෙරෙන අතර, එහිදී දෙවියන් සමඟ ඒකාත්මීය වීම හරහා දැනුම ලබා ගත හැකි බව මේ ක්‍රමය අනුගමනය කරන්නවුන් විශ්වාස කරනවා. ධ්‍යාන වලට සමවැදීම සඳහා (බෞද්ධ ධ්‍යාන වලට වෙනස්) භාවනාව, සංගීතය, නැටුම්, ආගමික පාඨ සච්ඡායනය වැනි ක්‍රමවේද අනුගමනය කෙරෙනවා.
 

මේ ක්‍රමවේදයේ මුල් මුහම්මද් තුමා වෙත දිව යනවා. මුහම්මද් තුමා මක්කා නගරය අසල ඇති කඳු ගැට මත හුදෙකලාව භාවනා කළ සඳහන්. ඔහුට දෙවියන් ගේ මුල්ම පණිවුඩය ලැබෙන්නේත් මෙවැනි අවස්ථාවක.
මේ ක්‍රමය වර්තමානය දක්වාම සූෆී ගුරුකුලයන් විසින් භාවිතා කෙරෙනවා.

Saturday, July 1, 2023

රටකජු ඇටයේ නාමයෙන්

 

ක්‍රි.ව​. අටවෙනි සියවස වෙද්දී ලෝකයේ බලවත්ම රාජ්‍යය වුනේ ඉස්ලාමීය රාජ්‍යය. එය වර්තමාන මොරොක්කෝවේ ඉඳලා ඇෆ්ගනිස්ථානය දක්වා විහිදී ගිය විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළා. එහි පාලකයන් වුනේ අරාබි ජාතික අබ්බාසි වාංශික කලීෆා වරු. ඔවුන් මුහම්මද් තුමාගේ මාමා කෙනෙක් වුනු අබ්බාස් ගෙන් පැවත එන කීර්තිමත් පරපුරකට උරුමකම් කී අය​.

මේ කාලයේදී අබ්බාසි කලීෆා වරුන් ගේ පුරෝහිතයන් විදිහට කටයුතු කළේ පර්සියන් ජාතික බර්මකී වංශය​. ඔවුන් වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පදිංචිව උන් ධනවත් සහ බලවත් පවුලක්. අබ්බාසි කලීෆා වරුන් ගේ හොඳ හිත දිනාගත් ඔවුන් පුරෝහිත තනතුර තම පවුලේ රඳවා ගන්න සමත් වුනා. මුළු ඉස්ලාමීය රාජ්‍යයේම හිටපු ධනවත්ම පවුල වුනේ බර්මකී වරු.

ධනවත් කමින් වගේම නැණවත් කමිනුත් ත්‍යාගශීලී බවෙනුත් බර්මකී වරු ප්‍රසිද්ධ වුනා.

ක්‍රි.ව​. 760 පමණ වෙද්දී කලීෆා වරයාගේ අග්‍ර පුරෝහිත වුනේ "යහියා ඉබ්න් කාලිද් අල්-බර්මකී". ඔහු බර්මකී පවුලේ ප්‍රධානියා වුනා. ඔහුගේ පුතා වුනේ "ජාෆර් ඉබ්න් යහියා අල්-බර්මකී" ජාෆර් හැදී වැඩුනේ කලීෆා ගේ මාළිගයේ. කලීෆා ගේ පුතා වුනු හරූන් අල්-රෂීඩ් සහ ජාෆර් අතර වයස පරතරය වුනේ අවුරුදු හතරක් පමණයි. හරූන් අල්-රෂීඩ් කුඩා කාලයේ ඔහුගේ කිරි මව වුනේ ජාෆර් ගේ මව​. මේ නිසා හරූන් සහ ජාෆර් හැදී වැඩුනේ සහෝදරයන් වගේ. ඔවුන් වයසින් වැඩෙනකොට මේ සහෝදර බැම්ම තවත් ශක්තිමත් වුනා.

ක්‍රි.ව​. 786 දී 23 හැවිරිදි තරුණ හරූන් කලීෆා තනතුරට පත් වුනා. ඔහු තමාගේ අග්‍ර පුරෝහිත තනතුරට ජාෆර් ව පත් කළා. හරූන් සහ ජාෆර් ඉතා හොඳින් සහ බුද්ධිමත්ව රට පාලනය කළා. ඉස්ලාමීය රාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ හරූන් අල්-රෂීඩ් ගේ පාලන සමය​.

ජාෆර් අනෙක් බර්මකී වරු වගේම ධනවත් කම, නැණවත් කම සහ ත්‍යාගශීලී කම ගැන මුළු අධිරාජ්‍යය පුරාම නමක් දිනා ගත්තා. ඔහු කවියන්ට සහ බුද්ධිමතුන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වුවා. කවියන් සහ බුද්ධිමතුන් ගණනාවකට අවුරුද්දකට සැරයක් මුළු අවුරුද්දම ජීවත් වෙන්න තරම් සෑහෙන මුදලක් තෑගි දෙන්න ඔහු පුරුදු වෙලා හිටියා.

මේ විදිහට සෑහෙන කාලයක් ගත වුනා. එක පාරටම හරූන් ගේ හිත වෙනස් වෙන්න යම්කිසි දෙයක් සිද්ධ වුනා. ඒ මොකද්ද කියලා කවුරුත් හරියටම දන්නෙ නෑ. ඒත් ක්‍රි.ව​. 803 එක රාත්‍රියක හරූන් ගේ අනින් ක්‍රියාත්මක වුනු යුධ සෙබළු මුළු බර්මකී පවුලම, ජාෆර් ඇතුළුව​, අත් අඩංගුවට ගත්තා. පසුවදා කලීෆා ගේ අණින් ඔවුන් සියළු දෙනාටම මරණ දඬුවම හිමි වුනා. ජාෆර් ගේ සිරුර බග්දාද් නගරයේ පාලමක් අසල කණුවක එල්ලා දැමුණා.

ජාෆර් ට අත්වුනු ඉරණම ගැන ආරංචි වුණු ඔහුගෙන් අවුරුදු පතා රන්කාසි තුන්සීයක් තෑගි ලැබුණු අරාබි ජාතික දුප්පත් කවියෙක් ඉතාමත් ශෝකයට පත් වෙලා බග්දාද් නගරයට ආවේ ඔහුගේ සිරුර බලා ගන්න. තමාගේ අනුග්‍රාහකයාට අත් වෙලා තිබුණු ශෝක ජනක ඉරණම දුටු ඔහු ශෝකයෙන් මුසපත් වෙලා ඔහුගේ සිරුර එල්ලා තිබුණු පාලම මත හඬා වැළපුනා. හඬමින් කවි පබඳිමින් බොහෝ වෙලා පාලම මත සිති ඔහුට පාලම උඩම නින්ද ගියා.

සිහිනෙන් ජාෆර් ඔහු වෙත පැමිණියා. කවියා හඬා වැළපෙමින් "දැන් දුප්පත් මාව බලාගන්නේ කවුදැ"යි විමසා සිටියා. එතකොට ජාෆර් ඔහුට මෙහෙම කිව්වා.
"බස්‍ රා නගරයට යන්න. එහි සේද රෙදි වෙළඳාම් කරන ධනවත් වෙළෙන්දෙක් ඉන්නවා. ඔහු හමුවෙලා 'රටකජු ඇටයේ නාමයෙන්' මට උදව් කරන්න යි කියන්න​."

කවියා නින්දෙන් අවදි වෙලා සිහිනය ගැන පුදුම වුනා. ඔහුට හිතුනේ එය කිසිම තේරුමක් නැති හීනයක් කියලා. ඒත් ඔහු ජාෆර් ගැන තිබුණු ගෞරවය නිසාම බස් රා නගරයට ගිහින් සේද රෙදි වෙළෙන්දා ගැන විමසා සිටියා. මිනිස්සු ඔහුව නගරයේ සිටි ධනවත්ම වෙළෙන්දෙක් ගේ නිවස වෙත යැව්වා. ඒ නිවස ඉතාම විශාල කිව නොහැකි තරම් වටිනා එකක්. කවියා පැකිලීමට පත් වුනත්, සිහිනය ගැන සිහි කරගෙන දිරිය වඩාගෙන වෙළෙන්දා හමුවට ගියා.

වෙළෙන්දා කරුණාවන්ත අයෙක්. ඔහු කවියා පිළිගෙන ඔහුට කෑම බීම වලින් සංග්‍රහ කළා.

"ඉතින් යාළුවා ඔබ මාව හමුවෙන්න ආවේ ඇයි?"

"මම දුප්පත් කවියෙක්. රටකජු ඇටයේ නාමයෙන් මට උදව් කරන්න​."

කවියා ගැහෙන හදවතින් කියා සිටියා. ඔහු හිතුවේ ඔහු පිස්සෙක් කියලා වෙළෙන්දා ඔහුව එළවා දමයි කියලා.

ඒත් ඔහුව පුදුම කරමින් වෙළෙන්දා හඬා වැළපෙන්න පටන් ගත්තා. වෙළන්දා ඔහුගේ කතාව කිව්වා.

"මම ඉස්සර දුප්පතෙක්. මම ජීවත් වුනේ රටකජු විකුණලා. දවසක් මම රටකජු විකුණද්දී ජාෆර් ඔහුගේ බිරිඳ එක්ක නගරයේ සංචාරය කරනවා. ඔහු මාව දැකලා කරත්තය නවත්තලා මගෙන් විස්තර ඇහුවා. ඊට පස්සෙ මම ළඟ තිබුණු රටකජු සියල්ලම මිලදී ගත්තා.

මම රටකජු ඔක්කොම ඔහුට විකුණුවා. ඊට පස්සේ ඔහු දැක්කා මගේ රටකජු මල්ල පතුලේ එක රටකජු ඇටයක් ඉතුරු වෙලා තියෙනවා. ඔහු ඒක අතට අරගෙන දෙකට පැළුවා. ඒක රටකජු පළුවක් අල්ල උඩ තියාගෙන ඒක මට පෙන්නලා 'මේ රටකජු පළුව මම ඔබෙන් මිලදී ගන්නවා' කියලා ඔහු මට රත්තරන් කාසි පුරවපු මල්ලක් දුන්නා. මට අදහ ගන්න බැරි වුනා. ඊට පස්සෙ ඔහු අනිත් පළුව ඔහුගේ බිරිඳට දුන්නා. ඇය ඒ රටකජු පළුව වෙනුවෙන් මට රත්තරන් කාසි පුරවපු මළු දෙකක් දුන්නා.

මම මේ සේද රෙදි වෙළඳාම පටන් ගත්තේ ඒ මුදලෙන්. අද මම බස් රා නගරයේ ධනවත්ම වෙළෙන්දා"

ඔහු කවියාට රත්තරන් කාසි හයසීයක් තෑගි කළා. ඒ තෑග්ග ඔහු හැම අවුරුද්දකම කවියාට දුන්නා

ඒබ්‍රහමික දෙවියන් ගේ නම

 

"ඒබ්‍රහමික දෙවියන් හඳුන්වන නම" බැලූ බැල්මට සරළ වගේ පෙනුනට ඉතාමත් සංකීර්න මාතෘකාවක්.

 

යුදෙව් ආගම

ඒබ්‍රහමික ආගම් වල මූලය වෙන යුදෙව් ආගමේ දෙවියන් හඳුන්වන ආකාර කීපයක් තියෙනවා.

එලෝහිම්

මූලික ස්වරූපය තමයි "එලෝහිම්". එලෝහිම් කියන්නේ හීබෲ භාෂාවෙන් "දෙවියන්" කියන තේරුම ඇති "එල්" කියන වචනයේ බහුවචන ස්වරූපය. මේක බහුවචන ස්වරූපයෙන් දක්වලා තියෙන්නේ ගෞරවාර්ථයෙන්. ඒ නිසා "එලෝහිම්" කියන එක "දෙවියන්" කියලා සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.

හීබෲ භාෂාවෙන් ඕනෑම දෙවි කෙනෙක් හඳුන්වන්නේ "එල්" නමින්. උදාහරණයකට රෝම දෙවියෙක් වෙන ජුපිටර්ව හීබෲ භාෂාවෙන් "එල්" කියලා හඳුන්වන්න පුළුවන්. මේ නිසා "එලෝහිම්" කියන්නේ යුදෙව් ආගමේ එන එක දෙවියන් හඳුන්වන පදවි නාමය හෙවත් title එක.


යහ්වෙහ්

බයිබලයේ එන කතාවට අනුව දෙවියන් මුල් කාලයේදී හැඳින්වන්නේ එලෝහිම් කියලා පමණයි. ඊශ්‍රායල් වැසියන් සමඟ ඊජිප්තුවෙන් පලා එන අතරමගදී මෝසෙස් දෙවියන් ගෙන් මෙහෙම අහනවා.

"මම ඊශ්‍රායල් වැසියන් අමතා 'ඔබලාගේ පියවරුන් ගේ දෙවියන් මා එවන ලදී' යැයි කියද්දී 'ඒ දෙවියන් ගේ නම කුමක්දැ?' ඔවුහු මගෙන් අසති. මම ඔවුන්ට පිළිතුරු දිය යුත්තේ කෙසේද?"
(නික්මයාම 3:13)


"When I come to the Israelites and say to them, 'The God of your fathers has sent me to you,' and they ask me, 'What is His name?' what shall I say to them?"
(Exodus 3:13)


දෙවියන් ඔහුට දෙන උත්තරය ඉතාම සිත්ගන්නා සුළුයි.

"'ඒයේ-අෂෙර්-ඒයේ' දෙවියෝ ඔහුට පැවසූහ. උන්වහන්සේ තවදුරටත් කතා කරමින් 'ඒ නිසා ඔබ ඊශ්‍රායල් වරුන්ට ඒයේ විසින් මා ඔබ වෙත එවන ලදී කියා කියන්න'" යැයි පැවසූහ.
(නික්මයාම 3:14)


And God said to Moses, "Ehyeh-Asher-Ehyeh." He continued, "Thus shall you say to the Israelites, 'Ehyeh sent me to you.' "
(Exodus 3:14)


මෙතැන "ඒයේ-අෂෙර්-ඒයේ" කියන හීබෲ පදයේ නියම තේරුම විවාදාත්මකයි. වඩාත්ම පිළිගන්නා තේරුම "මම පත්වන දේ බවට මම පත්වේවි" (I will be what I will be). ඒකෙන් අර්ථවත් වෙන්නේ "මගේ සොබාවය කුමක්දැයි කියා මගේ ක්‍රියාවන් ගෙන් ඔබට වැටහේවි" කියන එක.

ඊළඟට දෙවියන් තමාගේ නම හඳුන්වාදෙන්නේ "ඒයේ" කියලා (ඒ නිසා ඔබ ඊශ්‍රායල් වරුන්ට "ඒයේ" විසින් මා ඔබ වෙත එවන ලදී කියා කියන්න). ඒයේ කියන එකේ තේරුම "මම පත්වේවි" (I will be). ඒක "ඒයේ-අෂෙර්-ඒයේ" කියන එකේ කෙටි ස්වරූපය.

ඊළඟට දෙවියන් මෝසෙස් ට තවත් විධානයක් දෙනවා.

"දෙවියෝ තවදුරටත් මෝසෙස් ට මෙසේ පැවසූහ. "එබැවින් ඔබ ඊශ්‍රායල් වරුන්ට මෙසේ පවසන්න: ' יהוה, ඔබේ පියවරුන්ගේ දෙවියන්, ඒබ්‍රහම් ගේ දෙවියන්, අයිසැක් ගේ දෙවියන්, යාකොබ් ගේ දෙවියන් මාව ඔබ වෙත එවන ලදී. මෙය සදාකාලයටම මාගේ නම වේවා!"
(නික්මයාම 3:15)


5 And God said further to Moses, "Thus shall you speak to the Israelites: The LoRD/ the God of your fathers, the God of Abraham, the God of Isaac, and the God of Jacob, has sent me to you: This shall be My name forever, This My appellation for all eternity"
(Exodus 3:15)


මෙතැන දෙවියන් තමාගේ නම විදිහට සඳහන් කරන්නේ හීබෲ අකුරු හතරක් (יהוה). ඒවා ශබ්ධ කරන විදිහ අනුව "යහවහ (YHWH)" කියලා පරිවර්තනය කරන්න පුළුවන්.

හීබෲ භාෂාවේ ප්‍රානාක්ෂර නෑ. තියෙන්නෙ ගාත්‍රාක්ෂර පමණයි. ප්‍රානාක්ෂර එකතු කරන්නේ උච්චාරනය කරද්දී. මේ නිසා YHWH කියන එකේ නියම උච්චාරනය කවුරුවත් දන්නේ නෑ. ඒක "යහ්වෙහ්" කියලා අනුමාන කරනවා.

යහ්වෙහ් කියන්නේ දෙවියන් ගේ නම. එලෝහිම් කියන්නෙ දෙවියන් ගේ තනතුර. (ජනාධිපති - තනතුර; ජෝ බයිඩන් - නම වගේ).


අදොනායි

දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට දස පනත (ten commandments) ඉදිරිපත් කරද්දී හත්වැනි පනත විදිහට දක්වන්නේ "මාගේ නම නිකරුනේ භාවිතා නොකරනු" යන්න. මේ නිසා "යහ්වෙහ්" නම උච්චාරනය කිරීමට දැඩි සීමාවක් පැනවෙනවා.

මේ සම්ප්‍රදාය පසු කාලීනව වඩාත් තීව්‍ර වීමෙන් "යහ්වෙහ්" යන්න උච්චාරනය කිරීම යුදෙව්වන් සම්පූර්නයෙන්ම නවතා දමනවා. එය උච්චාරනය කරන්නේ ඔවුන්ගේ පූජ්‍යස්ථාන වලදී විශේෂ දේව මෙහෙයන් අතරතුරදී පමණයි. ඒ දෙවියන්ට ඇති ගෞරවයේ සංකේතයක් විදිහට.
ඒ වෙනුවට යුදෙව්වන් එදිනෙදා ව්‍යවහාරයේදී "යහ්වෙහ්" වෙනුවට "අදොනායි" කියන වචනය භාවිතා කරන්න පටන් ගන්නවා. උදාහරණයකට බයිබලය කියවද්දී යුදෙව්වෙක් "YHWH" යන්න කියවන්නේ "අදොනායි" ලෙසින්.

"අදොනායි" කියන්නෙ "අදොන්" කියන හීබෲ වචනයේ බහුවචන ස්වරූපය. අදොන් කියන එකේ තේරුම "මාගේ ස්වාමියා".


ක්‍රිස්තියානිය

ක්‍රිස්තියානි ආගමේ ආගමික ග්‍රන්ථ මුලින්ම ලියැවෙන්නේ ග්‍රීක භාෂාවෙන්. පසුකාලීනව ඒවා ලතින් බසට පරිවර්තනය කෙරෙන අතර, ඊටත් පසුව ඉංග්‍රීසියට සහ වෙනත් යුරෝපියානු භාෂා වලට පරිවර්තනය කෙරෙනවා.

මේ පොත් වලදී "එලොහිම්" කියන එක පරිවර්තනය කෙරෙන්නේ "තියොස්" (Theos) කියලා. ඒකෙ තේරුම "දෙවියන්". තියොස් ලතින් බසට එද්දී "තියෝ" (Theo) වෙනවා. ඉංග්‍රීසියට එද්දී "ගෝඩ්" God වෙනවා. සිංහල බයිබල වල මේක පර්වර්තනය කරල තියෙන්නේ "දෙවියන්" කියලා.

YHWH කියන එක ග්‍රීක බසට පරිවර්තනය වෙන්නේ "කූරියොස්" (Kurios) කියලා. ඒකෙ තේරුම "ස්වාමියා". ඇත්තටම මේක "අදොනායි" කියන එකේ පරිවර්තනය. කූරියොස් කියන එක ලතින් බසට පරිවර්තනය කරන්නේ "ඩොමිනස්" (Dominus) කියලා. ඒක ඉං‍ග්‍රීසියට එද්දී "ලෝඩ්" (Lord) වෙනවා. සිංහල බයිබල වල මේක පර්වර්තනය කරල තියෙන්නේ "සමිඳානන්" කියලා.

සමහර ලතින් කතුවරු ඩොමිනස් වෙනුවට ග්‍රීක "කූරියොස්" කියන එකෙන් බිඳ ගත්ත "කයිරී" කියන වචනය පාවිච්චි කරල තියෙනවා. තවත් සමහරු කෙලින්ම මූලයටම ගිහින් YHWH කියන එක "යෙහෝවා" නැත්තම් "ජෙහෝවා" කියල පරිවර්තනය කරලා තියෙනවා. ඒ ඇසුරෙන් යෙහෝවා/ජෙහෝවා කියන එක ඉංග්‍රීසියට සහ වෙනත් භාෂා වලට ඇවිල්ලා තියෙනවා.

ක්‍රිස්තියානින් දෙවියන් ගේ නම උච්චාරනය නොකිරීමේ නීතිය නිසාදෝ "යෙහෝවා" කියලා යොදන්නේ ඉතාම කළාතුරකින්. ඒ වෙනුවට ගෝඩ් කියන වචනය තමයි සුලභව භාවිතා කරන්නේ. සමහරු "ගෝඩ්" වෙනුවට "ගෝෂ්" වගේ ආදේශක වචන (oh my gosh) භාවිතා කරන්නේත් ඒ නීතිය නිසාවෙන්.


ඉස්ලාමය

ඉස්ලාමයේ දෙවියන්ට ඇත්තේ එකම වචනයක් පමණයි. ඒ "අල්ලාහ්".

අරාබි බසින් "දෙවියන්" කියන අරුත ඇති "ඉලාහ්" කියන වචනය සහ අරාබියේ definite article එක (ඉංග්‍රීසියේ නම් the) වෙන "අල්" කියන වචන දෙක එකතුවීමෙන් (අල්-ඉලාහ් -> අල්ලාහ්) අල්ලාහ් හැදිලා තියෙනවා. ඒකෙ තේරුම "එකම දෙවියන්" (the God).

දෙවියන්ට කියන පුද්ගලික නමක් (YHWH වැනි) ඉස්ලාමයේ එන්නේ නෑ. ඒ වෙනුවට දෙවියන් ගේ ගුණ නිරූපනය වන විරුද නම් අනූ නවයක් ඉස්ලාමයේ තියෙනවා. ඒවා හැඳින්වෙන්නේ "අස්මා උ ඉල්ලහි ඉ-හුස්නා" (දෙවියන් ගේ අලංකාර නම්) කියලා.

ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ නම් කීපයක් පහතින්:
අර්-රහ්මාන් : දයාන්විත (compassionate)
අර්-රහීම් : කාරුණික (merciful)
මාලික් : රජු (king)
අස්-සලාම් : සාමය උදා කරන්නා (giver of peace)
අල්-කුද්දුස් : ශුද්ධ වූ (holy)
අල්-මූමින් : ආරක්ෂාව සපයන්නා (provider of security)
අල්-මුහයිමින් : පාලකයා (controller)
අල්-ජබ්බාර් : සර්වබලදාරී (omnipotent)
අල්-කාලික් : නිර්මානකරු (creator)
අර්-රසාක් : සපයාදෙන්නා (provider)

ගිනි ජාලාවෙන් ආලෝකයට

 

ක්‍රි.ව​. 700 දි පමණ ඉස්ලාමීය අධිරාජ්‍යය පාලනය කරේ උමයියා වාංශික කලීෆා වරු. ඔවුන් එතරම් ආගමික භක්තියක් තිබුණු අය නෙවෙයි. බලය සහ ධනය තමයි ඔවුන් ගේ මූලික අරමුණ වුනේ.

මේ කලීෆා වරුන්ට හිටියා පුද්ගලික හමුදාවක්. කලීෆා වරයාට එරෙහි වෙන ඔහුව විවේචනය කරන දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් කිරීම තමයි මේ පුද්ගලික හමුදාවේ රාජකාරිය වුනේ. මේ "දඬුවම්" විදිහට තර්ජනය කිරීම, බිය වැද්දීම, පැහැරගෙන යාම, වධ හිංසා පැමිණවීම සහ සමහර විට මරා දැමීම පවා සිදු වුනා.

මේ පුද්ගලික හමුදාවේ සේවය කළා මාලික් ඉබ්න් දීනාර් කියල සෙබළෙක්. මාලික් ජීවත් වුනේ උමයියා කලීෆා වරුන් ගේ අගනුවර වුණු දමස්කස් නගරයේ. ඔහු ගත කළේ පවින් පිරි දිවියක්. උමයියා වාංශික පාලකයන් ගේ අණ අනුව මිනිසුන්ට හිරිහැර කිරීමට අමතරව මත්පැන් පානයටත් ඔහු තදින්ම ඇබ්බැහි වෙලා හිටියා.

මාලික් ට හිටියා වයස අවුරුදු දෙකක කුඩා දියණියක්. මාලික් මේ ලෝකයේ ආදරය කළ එකම දේ දියණිය​. ඒත් අවාසනාවන්ත විදිහට එක් දවසක් රෝගාතුර වීමෙන් දියණිය මිය ගියා.

එතැන් සිට මාලික් ගත කළේ යක්‍ෂයෙකුගේ වගේ ජීවිතයක්. ඔහුගේ මත්පැන් ඇබ්බැහිය තවත් වැඩි වුනා. මත්පැනින් මත් වුණු මාලික් තමාගේ රාජකාරියේදී හැසිරුණේ රකුසෙක් වගේ. මිනිස්සු ඔහුට බිය වුනා.

එක දවසක් රෑ අධිකව මත්පැන් පානය කළ මාලික් තද නින්දකට වැටී සිටියා. ඔහු දැක්කා සිහිනයක්.

ඔහු හිටියේ විශාල ගිනි ජාලාවක් අසල​. ඒකෙන් එන උණුසුම නිසා ඔහුගේ හම පිච්චෙන්න වගේ වේදනාවක් ඔහුට දැනෙන්න ගත්තා. ඔහු ගින්නෙන් ඈතට ගියේ උණුසුම අඩු කර ගන්න​. ඒත් ගිනි ජාලාවත් ඔහු පසු පසම ආවා. ඔහු දුවන්න පටන් ගත්තා. ඒත් ගිනි ජාලාවත් ඔහු එක්කම ඔහු පසුපසම ආවා. දැන් ඔහු හතර වටින්ම ගිනි. ඔහුට කරගන්න දෙයක් නෑ. ඔහුට හිතුනා ඔහු පිළිස්සී මිය යයි කියලා.

එතකොටම ඔහු දැක්කා සුදු අසෙක් පිට නැගගත් ඉතාම කඩවසම් පෙණුමක් තියෙන අසරුවෙක්. ඔහු අසරුවාට කතා කරලා කිව්වා ඔහුව බේර ගන්න කියලා. ඒත් අසරුවා පිළිතුරු දුන්නේ "මාලික්, මම දුර්වලයි. ඔබව බේර ගන්න තරම් මම ශක්තිමත් නෑ" කියලා.

එතකොට ඔහු දැක්කා පුංචි ගෑණු ළමයෙක් ගිනි දැල් අතරින් එනවා. ඒ ඔහුගේ මිය ගිය දියණිය​. ඔහුට ඇස් අදහා ගන්න බැරි වුනා.

"දුවේ ඒ ඔයාද​?"

"ඔව්" ගෑණු ළමයා පිළිතුරු දුන්නා.

"ඔයාට කතා කරන්න පුළුවන් ද​?" අවුරුදු දෙකක ළමයෙක් කතා කරන එක ගැන මාලික් ට පුදුමයි.

"තාත්තේ, මේ ලෝකයේදී අපිට කතා කරන්න පුළුවන්."

ඊට පස්සේ ඇය කුරාන පාඨ කීපයක් ඉතාම ලස්සනට කිව්වා.

"දුවේ, මේ ගිනි ජාලාව මොකද්ද​? අර සුදු පාට අශ්වයෙක් පිට හිටියේ කවුද​?"

"තාත්තේ, මේ ගිනි ජාලාව තමයි ඔබේ පාපයන්. සුදු අශ්වයෙක් පිට හිටියේ ඔබේ යහපත් ක්‍රියා. ඔබව ඔබේ පාපයන් ගෙන් බේරා ගන්න තරම් ඔබේ යහපත් ක්‍රියා ශක්තිමත් නෑ."

මාලික් ට එතකොටම ඇහැරුනා. සිහිනය ගැන මතක් වෙනකොට ඔහුගේ මුහුණ සුදුමැලි වෙලා ගියා. වහාම ගෙදර තිබුණු සියළුම මත්පැන් බෝතල් කුඩු කරල දැම්ම මාලික් උදේම ගෙදරින් පිටත් වෙලා ගියේ සදහටම දමස්කස් නගරය අත හැරලා දමලා.

ඔහු නැවතුනේ ඉරාකයේ බස්රා නගරයේ. එහිදී ඔහු ඉතාම ප්‍රසිද්ධ ආගමික විද්වතෙක් වුනු හසන් අල්-බස්රි යටතේ ආගම ඉගෙන ගන්න පටන් ගත්තා. කෙටි කලකින්ම ඔහු ප්‍රසිද්ධ වුනේ හසල් අල්-බස්රි ගේ හොඳම ගෝලයෙක් සහ ඉතාමත් සරළ ජීවිතයක් ගත කළ අයෙක් විදිහට​. හසන් අල්-බස්රි ගේ මරණයෙන් පසු බස්රා නගරයේ සිටි ප්‍රසිද්ධම ආගමික විද්වතුන් හය දෙනා අතරේ මාලික් ඉබ්න් දීනාර් ගේ නමත් කියැවුනා.

මාලික් ගේ විශේෂත්වය වුනේ බාහිරයට වඩා අභ්‍යන්තරයට යොමු වුනු ආගමික භක්තියක් පැවතීම​. ඔහු සැමවිටම උත්සහ කළේ තමාගේ සිත දමනය කරගෙන හැකි තරම් පාපයන් ගෙන් වැළකී සිටීමට​. පසු කළෙක සූෆි ඉස්ලාමයේ එන "අභ්‍යන්තර ජිහාදය​​" හෙවත් "තමාගේ සිතට එරෙහිව කරන අරගලය​" පිළිබඳ අදහස් වල ආරම්භකයෙක් විදිහට මාලික් ව සැලකෙනවා.

ඒ වගේම ඔහු ගත කලේ භෞතික සැප සම්පත් වලින් තොර ඉතාම සරළ ජීවිතයක්. මේකත් සූෆි ඉස්ලාමයේ එන වැදගත් අදහසක්. මාලික් ජීවිකාව සකසා ගත්තේ කුරානය පිටපත් කිරීමෙන්. සම්පූර්න කුරානයක් අළුතෙන් පිටපත් කිරීමට ඔහුට මාස හතරක් ගත වුනා. ඔහු ඊළඟ මාස හතර ගෙව්වේ ඒ පිටපත විකුණා ලැබෙන මුදලෙන්. මුදල් ලැබුණු වහාම ඔහු කලේ ඔහු නිතර ගනුදෙනු කළ වෙළඳසැල් වල ඒ මුදල තැන්පතුවක් විදිහට තැබීම​. ඒ නිතර මුදල් පරිහරණය කිරීමෙන් වැළකෙන්න​.

එක දවසක් හොරෙක් මාලික් ගේ ගෙදරට ඇතුළු වුනේ ඔහුගේ ගෙදර ඇති වටිනා දේ සොරකම් කිරීමට​. ඒත් හොරකම් කිරීමට තරම් වටිනා කිසිම දෙයක් ගෙදර තිබුනේ නෑ. අන්තිමේදී බලාපොරොත්තු කඩ කරගෙන ගෙදරින් පිටවෙන්න හදපු හොරාට මාලික් ව මුණ ගැසුනා.

"සහෝදරයා ඔබ ආවේ මේ ලෝකයේ දෙයක් බලාපොරොත්තුවෙන් නේද​? මම ඔබට දෙන්නම් ඊට වඩා වටිනා දෙයක්."

වික්‍ෂිප්ත වුනු හොරා "ඒ මොකද්ද?" කියලා ඇහුවා.

හොරාට කතා කළ මාලික් තමා සමඟ ඉඳගෙන දෙවියන් නමදින්න අරාධනා කළා. හොරා ආරාධනාව පිළිගත්තා. ටික වේලාවක් දෙවියන් නැමදූ පසු උදෑසන දේව නමැදුමට වෙලාව ආවා. මාලික් හොරාට තමා සමඟ පල්ලියට එන්න ආරාධනා කළා. ඔවුන් දෙදෙනා මගට බැහැලා පල්ලිය බලා යද්දි මගදි හමුවුනු මිනිස්සු මාලික් ගෙන් ඔහුගේ "අළුත් සගයා" ගැන විමසුවා.

"මෙයා මගෙන් යමක් හොරකම් කරන්න ආව කෙනෙක්. ඒත් අන්තිමේදී මම මෙයාගෙන් යමක් (නරක පුරුදු) හොරකම් කළා."

තවත් දවසක් මාලික් බස්රා නගරයේ වීදියක සිටියදී බස්රා හි ආණ්ඩුකාර වරයා වීදිය දිගේ ඇවිදගෙන ආවා. ඔහු ඉස්තරම්ම ඇඳුමෙන් සැරසී වටිනා ආභරණ පැලඳ බොහොම උජාරුවෙන් ගමන් කළා. ආණ්ඩුකාරයා තමන් පසු කර යද්දී මාලික් ඔහුට කතා කළා.

"ඔබ දෙවියන්ට බය නැද්ද​? ඔහොම තමාගේ ධනය බලය ප්‍රදර්ශනය කිරීම සුදුසු වැඩක් නෙවෙයි. දෙවියන්ට බය වෙන්න​."

වීදියේ කෙළවර සිටි හිඟන්නෙක් වැනි මේ පුද්ගලයා කළ අපහාසයෙන් ආණ්ඩුකාරයා කෝපයෙන් රතු වුනා.

"තමුසෙ කවුද​? තමුසෙ දන්නවද මම කවුද කියලා?"

මාලික් කලබල වුනේ නෑ. ඔහු බොහෝම සන්සුව පිළිතුරු දුන්නා.

"ඔව් මම දන්නවා ඔබ කවුද කියලා. ඔබ ඉපදුනේ මිනිස්සු ප්‍රසිද්ධියේ කතා කරන්නවත් ලැජ්ජා දෙයකින්. ඔබ මිය ගියාම ඉතිරි වන දේ කොයිතරම් අප්‍රසන්නද කිව්වොත් මිනිස්සු ඒ දිහා බලන්නෙ වත් නෑ. ඔය දෙක අතරේ පවතින ඔබ කියන්නේ ඔබේම මල මූත්‍රා පුරෝගෙන එහෙ මෙහෙ යන මල්ලක්."

ජීවිතයේ අන්තිම කාලයේදී මාලික් ඉන්දියාවට ගියා. ඒ ධර්ම ප්‍රචාරක කණ් ඩායමක සාමාජිකයෙක් විදිහට​. ඔහු ආවේ දකුණු ඉන්දියාවේ බටහිර වෙරළට හෙවත් වර්තමාන කේරළයට​.

සමහර වාර්තා වල කියැවෙන පරිදි මාලික් ඉන්දියාවේදීම මිය ගියා. සමහර වාර්තා වල කියැවෙන්නේ ඔහු ආපහු බස්රා නගරයට ආපු බව​. ඒ කොහොම වුනත් "මාලික් දීනාර් මස්ජීදය​" නමින් හැඳින්වෙන මස්ජීදයක් අදටත් කේරළයේ කසරාගොද් නගරයේ තියෙනවා. ඒ තමයි ඉන්දියාවේ දෙවැනියට පැරණි මුස්ලිම් පල්ලිය.

අපූරු මතකයක් සහිත තරුණයා

 

ක්‍රි.ව. 9 වන සියවසේදී ඉස්ලාමීය රාජ්‍යයේ අගනුවර වුනේ බග්දාද් නගරය. එහි ඉතාම ප්‍රසිද්ධ ආගමික විද්වතුන් රාශියක් තමාගේ අධ්‍යයන සහ ඉගැන්වීම් කටයුතු කළා. විශාල මද්‍රාසා (ඉස්ලාමීය ආගමික පාසල්) ගණනාවක් බග්දාද් නගරයේ තිබුනා.

ක්‍රි.ව. 830 දී විතර කුරාසාන් ප්‍රාන්තයේ (වර්තමාන ඉරානයේ නැගෙනහිර ප්‍රදේශය සහ මධ්‍යම ආසියාව) ඉඳලාඅවුරුදු 20 ක විතර තරුණයෙක් ආගමික හැදෑරීම් කරන්න බග්දාද් නගරයට ආවා. ඔහු පර්සියානු ජාතිකයෙක්. ඔහුගේ නම වුනේ "මුහම්මද ඉබ්න් ඉස්මයිල්". මේ තරුණයා වැඩිපුරම යොමු වුනේ හදීත ගැන අධ්‍යයනයට. කෙටි කලකින්ම මේ තරුණයාගේ දැණුම, බුද්ධිය සහ මතක ශක්තිය ගැන මුළු බග්දාද් නගරයේම පැතිරී ගියා.

බග්දාද් නගරයේ එවකට හිටපු ප්‍රසිද්ධ හදීත විද්වතුන් දහ දෙනෙක් එකතු වෙලා මේ තරුණයාව පරික්ෂා කරන්න තීරණය කලා. ඒ සඳහා ඔවුන් විශේෂ පරික්ෂනයක් සූදානම් කළා.

හදීතයක් කියන්නේ මුහම්මද් තුමාගේ ජීවිතයේ එතුමා කියපු දෙයක් හෝ කරපු ක්‍රියාවක් අඩංගු කතන්දරයක්. මේ කතන්දර වල තියෙන වැදගත් කම වුනේ ඉස්ලාමීය නීතිය සහ ධර්මය පිළිබඳ කරුණු අඩංගු වීම. ඉස්ලාම් ආගමේ කුරාණය ළඟට වැදගත් මූලාශ්‍රය වෙන්නේ හදීත.

හදීත ඉදිරියට ගෙන ගියේ "කතන්දර කියන්නන්" (narrators) මුඛ පරම්පරා ගතව. මේ කියන කාලය වනවිට මුහම්මද් තුමා මිය ගිහින් අවුරුදු 200 විතර ගත වෙලා නිසා හදීතයකට "කතන්දර කියන්නන් පරම්පරා" (chain of narrators) හතරක් පහක් විතර හිටියා. හැම හදීතයක් ම නිවැරදි ලෙස පිළිගැනුනේ නෑ. කන්තදර කියන්නන් පරම්පරා කීපයක් ඔස්සේ හදීතය ගලා එන විට සමහර හදීත විකෘති වුනා. හදීත පිළිබඳ හැදෑරූ විද්වතුන් ගේ කාර්‍ය භාරය වුනේ විකෘති හදීත සහ විකෘති නොවූ හදීත තෝරාබේරා ගෙන වෙන් කර ගැනීම.

සෑම හදීතයක්ම කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ "කතන්දර කියන්නන් පරම්පරාව" (chain of narrators) හෙවත් "ඉස්නාද්" සහ කතන්දරය හෙවත් "මතන්". විදිහට. හදීතය විකෘතිද නැද්ද කියල තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන් ඉස්නාදය මත නිසා මේ කොටස් දෙකම එක වගේ වැදගත්.

අර විද්වතුන් දහදෙනා මුහම්මද් ඉබ්න් ඉස්මයිල් තරුණයාව පරික්ෂා කරන්න අදහස් කලේ ඉස්නාද් සහ මතන් පිළිබඳ ඔහුගේ දැණුම පිරික්සීමෙන්. නියමිත දවසට බග්දාද් නගරයේ විශාලම මස්ජීදයට ආගමික විද්වතුන් සහ ශිෂ්‍යයන් විශාල ප්‍රමානයක් එක් රැස් වුනා. විද්වතුන් දහ දෙනා තරුණයාව තමා ඉදිරියට කැඳෙව්වා.

මුලින්ම පළමුවෙනි විද්වතා ප්‍රසිද්ධ හදීත දහයක් ප්‍රකාශ කළා. ඊට පස්සෙ ඔහු තරුණයාගෙන් ඇහුවා මේ හදීත ගැන ඔබ දන්නවද කියලා. මුහම්මද් ඉබ්න් ඉස්මයිල් කියා සිටියේ ඔහු ඒ එක හදීතයක් වත් නොදන්නා බව. ඒවා ඉතාම ප්‍රසිද්ධ හදීත. රැස්ව සිටි පිරිස සිනාසුනේ තරුණයාට සමච්චලයට වගේ.

දෙවැනි විද්වතාත් තවත් හදීත දහයක් ඉදිරිපත් කළා.

"මම මේ හදීත එකක් වත් දන්නෙ නෑ"

ඔහ විදිහට විද්වතුන් දහ දෙනාම හදීත දහය බැගින් හදීත 100 ක් ඉදිරිපත් කළා. මුහම්මද් ඉබ්න් ඉස්මයිල් තරුණයා කියා සිටියේ ඒ එක හදීතයක් වත් නොදන්නා බව.

රැස්ව සිටි පිරිස හිස සැලුවේ කනස්සල්ලෙන්. මේ තරුණයා ගැන පැතිර ගිය කතා බොරුද? සාමාන්‍යය මනුස්සයෙක් තරම්වත් ඔහුට දැණුමක් නැති පාටයි.

ඒත් පරික්ෂනය කළ විද්වතුන් දහ දෙනා එකිනෙකා දිහා බලලා හිස සැලුවේ ඉතාම තෘප්තියෙන්.

විද්වතුන් දහ දෙනා පොඩි උප්පරවැට්ටියක් කරලා තිබුනේ තරුණයාව අමාරුවේ දාන්න. ඔවුන් තමාගේ හදීත ඉදිරිපත් කලේ ඉස්නාද් සහ මතන් කලවම් කරලා. උදාහරණයකට පළවෙනි හදීතයේ ඉස්නාදය තුන්වෙනි හදීතයේ මතනය සමඟ. තුන්වෙනි හදීතයේ ඉස්නාදය හයවෙනි හදීතයේ මතනය සමඟ. ඔය විදිහට හදීත 100 ම ඉදිරිපත් කරලා තිබුනේ කලවම් කරලා. මුහම්මද් ඉබ්න් ඉස්මයිල් තරුණයා ඒ බව නිවැරදිව හඳුනාගෙන හදීත එකක් වත් නොදන්නා බව ප්‍රකාශ කලා. ඔහු පරික්ෂනය සමත්.

ඒත් තරුණයා පරික්ෂනය අවසන් කළේ නෑ.

"ඔබේ ප්‍රශ්න විමසීම ඉවරද?" ඔහු විද්වතුන් ගෙන් ඇහුවා.

"ඔව්"

තරුණයා පළවෙනි විද්වතා දෙසට හැරුනා.

"ඔබ කියපු හදීත දහයේ ඉස්නාදය සහ මතන් කලවම් වෙලා තිබුනේ. ඒවා නිවැරදිව කිව්වොත් මෙහෙමයි."

ඔහු හදීත දහයම නිවැරදි පිළිවෙලට කියාගෙන කියාගෙන ගියා.

ඊළඟට ඔහු දෙවැනි විද්වතා දෙසට හැරුනා. ඔහුගේ හදීත දහයත් නිවැරදි පිළිවෙලට කියාගෙන කියාගෙන ගියා. මේ විදිහට ඔහු හදීත 100 ම එකක් වත් නොවරද්දා නිවැරදි පිළිවෙලට ආපහු කිව්වා.

විද්වතුන් දහ දෙනා සහ රැස්ව සිටි පිරිස තරුණයා දෙස බලාගෙන හිටියේ කට ඇරගෙන. ඔහුගේ දැණුම, බුද්ධිය සහ මතක ශක්තිය ගැන කිසිම කෙනෙක් කවදාවත් කිසිම විදිහකින් ප්‍රශ්න කලේ නෑ.

මේ තරුණයා ගේ නම මුහම්මද් ඉබ්න් ඉස්මයිල් වුනාට ඔහු ප්‍රසිද්ධ වුනේ ඔහු උපන් නගරයේ නමින්. ඔහු ඉපදුනේ බුකාරා නගරයේ.

අද හැමෝම ඔහු හඳුනන්නේ "ඉමාම් බුකාරි" (බුකාරා හි විද්වතා) නමින්.

ඔහු විසින් රචිත "සහීහ් අල්-බුකාරි" නම් හදීත ග්‍රන්ථය ඉස්ලාමීය ඉතිහාසයේම ලියැවුනු විශිෂ්ඨතම හදීත ග්‍රන්ථය ලෙස සැලකෙනවා. ඒ පොතේ අඩංගු හදීත ඉස්ලාමයේ නීතිය, සිරිත්-විරිත්, ධර්මය, යාඥා ආදී හැම අංශයකටම විශාල වශයෙන් යොදා ගැනෙනවා.

සමහරවිට ඉස්ලාම් ආගමට මුහම්මද් තුමා ළඟට වැඩිම බලපෑමක් කළ පුද්ගලයා විදිහට ඉමාම් අල්-බුකාරි සලකන්න පුළුවන්)