ඉස්ලාම් ආගමේ මුල් කාලයේ, ඒ කියන්නෙ මුහම්මද් තුමා ජීවත් ව හිටපු කාලයේ ඉස්ලාමය පිළිබඳ දැනුම ලැබුනේ එකම ක්‍රමයකට. ඒ දෙවියන් ගේ දැනුම ජිබ්‍රායීල් නමින් හැඳින්වුනු දේව දූතයෙක් හරහා මුහම්මද් තුමාට ලබා දීමෙන්. මුහම්මද් තුමා මේ දැනුම තම අනුගාමිකයන්ට කෙලින්ම ලබා දුන්නා.
ඒත් මුහම්මද් තුමා දෙවියන් ගේ අවසාන දිවැසිවරයා වූ නිසා එතුමා මියගිය පසු මේ විදිහට දැනුම ලබා ගැනීම සම්පූර්නයෙන්ම නැවතුනා. ඊට පසුව දැනුම ලබා ගැනීම සඳහා වෙනත් ක්‍රම භාවිතා කරන්න මුස්ලිමුන්ට සිදු වුනා. මේ විදිහට ලබා ගන්න අවශ්‍ය වුනු දැනුම කියන්නේ ප්‍රධාන වශයෙන් ධර්මය (theology), නීතිය (religious law) සහ ආධ්‍යාමිකත්වය (spirituality) පිළිබඳ අපැහැදිලි තැන් නිරාකරනය කර ගැනීම.
මුහම්මද් තුමා මිය ගියාට පසුව ඉස්ලාමීය දැනුමේ ප්‍රධාන මූලාශ්‍රය වුනේ කුරානය. මුහම්මද් තුමා මිය ගිහිල්ලා වසර කීපයක් ඇතුලත කුරානය ග්‍රන්ථාරූඪ කෙරුනු නිසා එහි විශ්වාසනීයත්වය සුරැකුනා. නමුත් කුරානයට අමතරව දැනුම් මූලාශ්‍ර අවශ්‍ය වුනා.
මුල්ම කාලයේ දැනුම ලබා ගැනීම කෙරුනේ මුහම්මද් තුමාගේ ළඟම අනුගාමිකයන් තමා කෙලින්ම මුහම්මද් තුමාගෙන් ලබා ගත් දැනුම අනෙක් අයට ඉගැන්වීම මගින්. මේ මුල් ආගමික ගුරුවරු අතර අලී ඉබ්න් අබු තාලිබ්, අබ්දුල්ලා ඉබ්න් මස්'ඌද්, අබ්දුල්ලා ඉබ්න් උමර්, ආයිෂා බින්ටි අබු බකර්, අබ්දුල්ලා ඉබ්න් අබ්බාස්, හසන් අල් බස්රි වගේ අය කැපී පේනවා.
මුහම්මද් තුමා මිය ගිය පසෙ පරම්පරා තුනක් යනතුරු දැනුම ලබා ගැනීම සිද්ධ වුනේ මේ ක්‍රමයට. මේ පරම්පරා තුන පිළිවෙලින් සහාබා, තාබී'ඌන්, තබ අල්-තාබයීන් ලෙස හැඳින්වෙනවා. පරම්පරා තුනම එකට ගත්තම හැඳින්වෙන්නේ "සලෆ්" නමින්.
සලෆ් පරම්පරා තුනේ නිමාවත් සමඟම මේ විදිහට දැනුම ලබා ගැනීමේ විශ්වාසනීයත්වය ක්‍රමයෙන් අඩු වී ගියා. දැනුම ලබා ගැනීම සඳහා වඩා විධිමත් ක්‍රමවේදයන් ගේ අවශ්‍යතාවය ඇති වුනා.
මේ කියන කාලය වෙන්නේ ක්‍රි.ව. 8 වන සියවසේ මැද කාලය. ඉස්ලාම් ආගමේ ඥාන විභාගය වර්තමාන තත්වයට පත් වීම ඇරඹෙන්නේ මේ කාලයේදී.
මේ කාලයේ සිටි ආගමික විද්වතුන් දැනුම ලබා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම 6 ක් භාවිතා කළා.
1. හදීත
2. මදීනා නගරයේ සජීවී සම්ප්‍රදායන්
3. සුවිශේෂී පුද්ගලයන් සතු වුනු සුවිශේෂී දැනුම
4. සහේතුකත්වය
5. තර්කය
6. අන්තර්ඥානය
ඉස්ලාම් ආගමේ විවිධ ගුරුකුල බෙදීම සිද්ධ වුනේ මූලිකවම මේ ක්‍රම භාවිතා කළ ආකාර අනුව.
හදීත - traditions
හදීත කියන්නේ මුහම්මද් තුමා ජීවත්ව සිටි කාලයේදී එතුමා කළ ප්‍රකාශ සහ කරපු දේවල් අඩංගු කුඩා කතාන්දර. මේ කතාන්දර ඉදිරියට ගෙනාවේ මුඛ පරම්පරාගතව. අටවන සියවසේ මැද දී ඉස්ලාමීය විද්වතුන් මේවා ග්‍රන්ථාරූඪ කිරීම ඇරඹුවා. මේ සඳහා මූලිකත්වය ගත්තේ මාලික් ඉබ්න් අනස් විද්වතා. ඔහු "මුවත්තා" නමින් හැඳින්වූ හදීත ග්‍රන්ථයක් සම්පාදනය කරලා හදීත මගින් දැනුම ලබා ගැනීම විධිමත් කරන්න මුල් පියවර තැබුවා.
මාලික් ඉබ්න් අනස් ගේ ගෝලයෙක් වුනු මුහම්ම්ද් ඉබ්න් ඉදිරිස් අල්-ෂාෆයී සහ ඔහුගේ ගෝලයෙක් වුනු අහ්මඩ් ඉබ්න් හන්බල් විසින් මේ හදීත වේදය තවත් දියුණු කරා. ඔවුන් දෙදෙනා හදීත මගින් දැනුම ලබා ගැනීමට වඩාත් වැඩි වටිනාකමක් දුන්නා.
ක්‍රි.ව. 9 වෙනි සියවසේ සිටි විද්වතෙක් වුනු මුහම්මද් ඉබ්න් ඉස්මයිල් අල්-බුකාරි විසින් හදීත වේදය ඉතා විධිමත් විද්‍යාවක් බවට පත් කළ අතර ඉන් පසුව එය සුන්නි ඉස්ලාමයේ ප්‍රධාන ධාරාව බවට පත් වුනා. අද ඉස්ලාමයේ ප්‍රධාන (කුරානය ළඟට) දැනුම ලබා ගැනීමේ ක්‍රමය වෙන්නේ හදීත.
සජීවී සම්ප්‍රදායන් ('අමල්) - practices and customs
මාලික් ඉබ්න් අනස් විද්වතා ජීවත් වුනේ මදීනා නගරයේ. මදීනා නගරය මුහම්ම්ද් තුමා ජීවත් වුනු නගරය නිසා එකල එහි සිටි ජනයා සලෆ් පරම්පරාවලින් කෙලින්ම පැවත එන අය. මේ නිසා ඔවුන් ඉස්ලාමය ඇදහූ ආකාරය ඉස්ලාමය පිළිබඳ දැනුම ලබා ගැනීමට විශ්වාසනීය මාර්ගයක් බව මාලින් ඉබ්න් අනස් නිගමනය කළා.
9 වන සියවසේ දී ඉස්ලාමයේ කේන්ද්‍රස්ථානය මදීනා නගරයෙන් බග්දාද් නගරය දක්වා මාරු වීමත් සමඟම මේ ක්‍රමයෙන් දැනුම ලබා ගැනීම අභාවයට ගියා.
සුවිශේෂී පුද්ගලයන් සතු වුනු සුවිශේෂී දැනුම (ඉමාමියා) - imams
මේ කාලයේදී මුහම්මද් තුමාගේ ළඟම ඥාතියෙක්, කිට්ටුම අනුගාමිකයෙක් සහ ඔහුගේ දියණිය වුනු ෆාතිමා ගේ සැමියා වුනු අලී ඉබ්න් අබු තාලිබ් ට මුහම්මද් තුමාගෙන් පසුව ඉස්ලාමීය සමාජයේ නායකත්වය හිමිවිය යුතු බව විශ්වාස කළ පිරිසක් සිටියා. මුල් කාලයේදී දේශපාලන බෙදීමක් ලෙස පමණක් පැවතුනු මේ පිරිස දැනුම ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී වෙනම පිළිවෙතක් අනුගමනය කළ නිසා වෙනම ගුරුකුලයක් ලෙස බෙදී ගියා. ෂියා ඉස්ලාම් නිකාය ලෙස අද හැඳින්වෙන්නේ ඔවුන්.
ඔවුන් විශ්වාස කළ අන්දමට අලී සහ ෆාතිමාගෙන් පැවත එන අය දෙවියන් විසින් තෝරාගත්ත් සුවිශේෂී පුද්ගලයන් වූ අතර, ඔවුන්ට දෙවියන් ගෙන් සුවිශේෂී දැනුමක් ලැබුනා. මේ අය ඉමාම් වරු (නායකයන්) ලෙස හැඳින්වුනා. අලී සහ ෆාතිමාගෙන් පැවත් ආ අය අතර විශිෂ්ඨ ආගමික විද්වතුන් රැසක් සිටීම මේ විශ්වාසය තහවුරු කරන්න හේතුවක් වුනා. මේ අතරින් ඉමාම් ජාෆර් අල්-සදීක්, ඉමාම් මුහම්ම්ද් අල්-බාකිර්, ඉමාම් අලී සෙයින් අල්-ආබිදීන් වැන්නවුන් ප්‍රධානයි.
ඉමාම් වරුන්ට දැනුම ලබාදීම අතින් මුහම්මද් තුමාට සමාන කාර්‍ය්යක් කළ හැකි බව මේ ක්‍රමවේදයේ විශ්වාසයයි. මේ නිසා ජීවමාන ඉමාම් වරයාගෙන් ඍජුවම දැනුම ලබාගැනීම මේ ක්‍රමයේදී සිදු වුනා. කුරානයේ මතුපිට අර්ථයට (සහීර්) යටින් ඇති සැඟවුනු අර්ථයන් (බාතින්) කියැවීම මේ ක්‍රමවේදයේ අංගයක්.
ෂීයා මුස්ලිම් ගුරු කුලයන් අතර දැනුම ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය බවට පත් වුනේ මේ ක්‍රමය.
සහේතුකත්වය (රා'යි) - rationalism
මාලික් ඉබ්න් අනස් සහ ඉමාම් ජාෆර් අල්-සදීක් මදීනා නගරයේ සිටි කාලයේදී ඔවුන් ගේ සමකාලීන් විද්වතෙක් වුනු ඉරාකයේ සිටි අබු හනීෆා විසින් දැනුම ලබා ගැනීමේ ක්‍රමයක් ලෙස සහේතුකත්වය හඳුන්වාදුන්නා.
මේ ක්‍රමයේදී සිදු කෙරුනේ දැනටමත් තහවුරු වුනු දැනුම මත පිහිටා සහේතුකව (rationally) සිතා බැලීමෙන් සහ සදෘශ්‍යක අපෝහනයෙන් (analogical deduction) නිගමන වලට පැමිණීම. උදාහරණයකට එක් නීතිමය ගැටළුවකට පිළිතුරු ලෙස ඊට සමාන වෙනත් ගැටළුවකට ලබා දුන් පිළිතුරක් ඇසුරෙන් පිළිතුර අපෝහනය කර ගැනීම ගන්න පුළුවන්.
නව වන සියවසේදී හදීත මගින් දැනුම ලබා ගැනීම ප්‍රධාන ධාරාව බවට පත් වීමත් සමඟම මේ ක්‍රමවේදයේ ප්‍රමුඛත්වය අඩු වී ගියා. එය සුන්නි ඉස්ලාමයේ උප ධාරාවක් ලෙස අද පවතින්නේ හදීත මගින් විසඳාගත නොහැකි ගැටළු වලට පිළිතුරු සෙවීමේ ක්‍රමයක් ලෙස.
තර්කය (කලාම්) - speculation & logical reasoning
මූලාශ්‍ර මත පදනම් නොවී හුදෙක් තර්කය මත පදනම්ව දැනුම ගොඩ නැංවීම මේ ක්‍රමවේදයට අඩංගු වුනා.
අටවන සියවසේදී මේ ක්‍රමවේදය මූලික වශයෙන් භාවිතා කලේ මු'අතසිලා ගුරුකුලය විසින්. ඔවුන් හදීත දැනුම සඳහා යොදා ගත්තේ ඉතාමත් අඩුවෙන්. ඒ වෙනුවට තාර්කිකත්වය මත පදනම්ව දැනුම ගොඩ නැංවීම ඔවුන් ගේ ක්‍රමවේදය වුනා.
දහවන සියවසේදී සුන්නි ගුරුකුලයේ විද්වතුන් වුනු අබු හසන් අල්-අෂාරි සහ අබු මන්සූර් අල්-මාතුරීදි විසින් මේ ක්‍රමවේදය සුන්නි ගුරුකුලයටත් හඳුන්වා දුන්නා. අද එය සුන්නි ඉස්ලාමයේ ධර්මය පිළිබද දැනුම ලබා ගැනීම සඳහා භාවිතා කෙරුනත්, නීතිය සම්බන්ධ කරුනු වලදී යෙදෙන්නේ අඩුවෙන්.
අන්තර්ඥානය - intuition
අන්තර්ඥානය මගින් දැනුම ලබා ගැනීම ප්‍රධාන වශයෙන් සිදු කලේ සූෆි ගුරුකුලයන් විසින්. ඉබ්න් අරබි මේ ක්‍රමය යොදා ගත් විද්වතුන් අතර ප්‍රධානයි.
මේ ක්‍රමයේදී විවිධ ක්‍රම මගින් ධ්‍යාන වලට සමවැදීම සිදු කෙරෙන අතර, එහිදී දෙවියන් සමඟ ඒකාත්මීය වීම හරහා දැනුම ලබා ගත හැකි බව මේ ක්‍රමය අනුගමනය කරන්නවුන් විශ්වාස කරනවා. ධ්‍යාන වලට සමවැදීම සඳහා (බෞද්ධ ධ්‍යාන වලට වෙනස්) භාවනාව, සංගීතය, නැටුම්, ආගමික පාඨ සච්ඡායනය වැනි ක්‍රමවේද අනුගමනය කෙරෙනවා.
මේ ක්‍රමවේදයේ මුල් මුහම්මද් තුමා වෙත දිව යනවා. මුහම්මද් තුමා මක්කා නගරය අසල ඇති කඳු ගැට මත හුදෙකලාව භාවනා කළ සඳහන්. ඔහුට දෙවියන් ගේ මුල්ම පණිවුඩය ලැබෙන්නේත් මෙවැනි අවස්ථාවක.
මේ ක්‍රමය වර්තමානය දක්වාම සූෆී ගුරුකුලයන් විසින් භාවිතා කෙරෙනවා.
No comments:
Post a Comment