ඊශ්‍රායලයේ ජෙරුසෙලම් නගරයට යාබදව තියෙන නිම්නයක් හැඳින්වෙන්නේ "වදි අර්-රබාබි" නමින්. වදි අර්-රබාබි කියන අරාබි නමේ තේරුම "රෙබාබ් නිම්නය". රෙබාබ් කියන්නේ අරාබි ජාතිකයන් අතර භාවිතා වෙන වයලීනයකට සමාන සංගීත භාණ්ඩයක්. මේ නිම්නයට මේ නම ලැබුණේ පලස්තීනය අරාබි රාජ්‍යයක්ව පැවති කාලයේ.
ඒත්, ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ව පැවති අතීතයේ මේ නිම්නය හැඳින්වුනේ "ගේ බෙන් හින්නොම්" නැතිනම් "ගේ හින්නොම්" කියන නම් වලින්. මේ හීබෲ නමේ තේරුම "හින්නොම් ගේ පුතාගේ නිම්නය" නැත්නම් "හින්නොම් ගේ නිම්නය".
හින්නොම් නිම්නය තියෙන්නේ පැරණි ජෙරුසෙලම් නගරයට දකුණින් නගරයට යාබදව. නිම්නය සහ පැරණි ජෙරුසෙලම් නගරය අතර තමයි සයොන් කන්ද පිහිටලා තියෙන්නේ.
හින්නොම් නිම්නය බයිබලයේ සඳහන් වෙන්නේ ඉතාම බිහිසුණු කටයුත්තක් වෙනුවෙන්. ඒ කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කළ ස්ථානයක් විදිහට.
මේ සිරිත පටන් ගන්නේ ජුදා රාජධාණියේ අහාස් රජතුමා විසින්. අහාස් රජතුමා ඇසිරියානු අධිරාජ්‍යය සමඟ මිත්‍ර සන්ධානයකට එළැඹී, ඇසිරියානු ආගම අනුව යුදෙව් ආගම වෙනස් කිරීමට උත්සහ කළ කෙනෙක්. ඔහු තමාගේ ප්‍රධාන බිරිඳගේ පුතා හැර අනෙක් පුතුන් හින්නොම් නිම්නයේදී මොලොක් නම් දෙවියාට ගින්නෙක් දවා පූජා කළ බව සඳහන්. සමහරවිට මෙය කරන්න ඇත්තේ ඔහුගෙන් පසු සිහසුනට ඇතිවිය හැකි ආරවුල් වලින් මිදීමට වෙන්න ඇති. මේ සිරිත ඔහුගේ මුණුපුරා වූ මනාස්සේ රජු ගේ කාලයේත් දිගටම පැවතුනු බව බයිබලයේ සඳහන් වෙනවා.
මේ නිසා හින්නොම් නිම්නයේදී කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කිරීම ක්‍රි.පූ. 730-640 අතර කාලයේ යුදෙව්වන් අතර පැවති සිරිතක් බව හිතන්න පුළුවන්. මේ සිරිත බයිබලයේ දැඩි ලෙස පිළිකෙව් කරමින් හෙළා දකින අතර, දෙවියන් ගේ ශාපය යුදෙව්වන්ට සහ හින්නොම් නිම්නයට එල්ල වූ බව සඳහන් වෙනවා.
මුල් කාලීන යුදෙව් ආගමේ මරණින් මතු ජීවිතයක් හෝ ජීවත්ව සිටි කාලයේ සිදු කරන අයහපත් ක්‍රියා වෙනුවෙන් දඬුවම් ලැබීමක් ගැන සඳහන් වෙන්නේ නෑ. මිය ගිය අයගේ ආත්ම "ෂෙඕල් (Sheol)" නමින් හැඳින්වුන ස්ථානයකට යන බව සඳහන් වුනත්, ඔවුන්ව විනිශ්චය කිරීමක් හෝ අපායක්, දිව්‍යලෝකයක් ගැන සඳහන් වෙන්නේ නෑ.
නමුත් බැබිලෝනියානු පිටුවහල් කාලයේදී විනිශ්චය, මරණින් මතු ජීවිතය, අපාය සහ දිව්‍ය ලෝකය පිළිබඳ අදහස් යුදෙව් ආගමේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහිදී අපාය වෙනුවෙන් ඔවුන් යොදා ගන්න නම වෙන්නේ "ගෙහින්නොම්". දෙවියන්ගේ ශාපයට ලක් වූ හින්නොම් නිම්නය සහ එහි සිදු කළ බිහිසුණු බිලි පූජාවන් පිළිබඳ අඳුරු මතකයන් මේ සඳහා පාදක වෙන්න ඇති.
ක්‍රිස්තියානි ආගම බිහි වෙනවිට, "ගෙහින්නොම්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "ගෙහෙන්නා (Gehenna)" විදිහට. "ෂෙඕල්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "හේඩ්ස් (Hades)" විදිහට. හේඩ්ස් කියන්නේ මළවුන්ට අධිපති ග්‍රීක දෙවියා. බයිබලය ඉංග්‍රීසි බසට පරිවර්තනය වෙද්දී "ගෙහෙන්නා" පරිවර්තනය වුනේ "හෙල් (Hell)" විදිහට.
ඒ විතරක් නෙවෙයි. ඉස්ලාම් ආගමේ අපාය හැඳින්වෙන්නේ "ජහන්නම් (Jahannam)" නමින්. ඒ වචනයේ මූලයත් "ගෙහෙන්නා" කියන හීබෲ වචනයමයි.
අතීතයේ සිදුවුනු බිලි පූජාවන්ගේ බිහිසුණු මතකයන් රඳවා ගත් නිරයේ නිම්නය හෙවත් "ගේ හින්නොම්" නිම්නය අදටත් ජෙරුසෙලම් නගරයේදී දකින්න පුළුවන්. බිලි පූජා සඳහා භාවිතා කළා යැයි සිතිය හැකි අල්තාරයන්ගේ නටබුන් අදටත් දකින්න පුළුවන්.
No comments:
Post a Comment