පසුබිම
යේසුස් වහන්සේ උපත ලැබූ කාලයේ වර්තමාන ඊශ්‍රායලයේ තිබුණේ "ජුදේයා රාජධාණිය" (Kingdom of Judea) නමින් හැඳින්වුනු රාජ්‍යයක්. මේ රාජ්‍යය වර්තමාන ඊශ්‍රායලයේ උතුරු කොටස සහ ජෝර්දාන් ගඟෙන් නැගෙහිර ප්‍රදේශත් අයත් ටිකක් විශාල රාජ්‍යයක්. මේ රාජ්‍යය පිහිටුවන්නේ මහා හෙරෝද් රජු. ඒ ක්‍රි.පූ. 37 දී ඒ කාලයේ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ සුපිරි බලවතා වුනු රෝම අධිරාජ්‍යයේ අවනත රාජ්‍යයක් (client state) විදිහට.
![]() |
ජුදේයා රාජධාණිය |
මහා හෙරෝද් රජු ගේ පියා වංශවත් යුදෙව්වෙක්. ඔහුගේ මව නැබටියානු කුමාරිකාවක් (නැබටියාව කියන්නේ වර්තමාන ජෝර්දානයේ පිහිටලා තිබුණු අරාබි ජාතිකයන් විසින් පිහිටවූ රාජ්‍යයක්). ඔහුට පුතුන් හත් දෙනෙක් හිටියා.
1. ඇන්ටිපේටර්
2. ඇලෙක්සැන්ඩර්
3. ඇරිස්ටොබියුලස්
4. හෙරොද් බීතස්
5. ආකිලෙයස්
6. ඇන්ටිපාස්
7. ෆිලිප්
මේ අයගේ නම් ග්‍රීක නම් වෙන්නේ මේ කාලයේදී යුදෙව්වන්ගේ වංශවතුන් ග්‍රීක සංස්කෘතිය වැළඳගත් අය වීම නිසා. ඒ කාලේ පොෂ් වෙන්න නම් සංස්කෘතියෙන් ග්‍රීක වෙන්න ඕනෙ.
මහා හෙරෝද් රජු ගේ ජීවිතයේ අවසන් කාලයේදී ඔහු යම්කිසි දරුණු මානසික ව්‍යාධියකින් පෙළුණු බව පේනවා. තමාගේ සිහසුනට සහ ජීවිතයට තර්ජනයක් එල්ලවෙයි කියන නිරන්තර බයෙන් ඔහු පෙළුනා. මේ නිසාම ඔහු ක්‍රි.පූ. 7 දී තමාගෙන් පසු රජකමට වඩාත් සුදුස්සන් වූ පුතුන් දෙදෙනා වන ඇලෙක්සැන්ඩර් සහ ඇරිස්ටොබියුලස් මරා දැම්මා. ඒ ඔවුන් ඔහුට වඩා ජනප්‍රිය වුනු නිසා. ඉන්පසු ඔටුන්න හිමි කුමරා ලෙස නම් කෙරුනේ ඇන්ටිපේටර්. නමුත් ඇන්ටිපේටර් ක්‍රි.පූ. 4 දී පියා මරා දැමීමට කුමන්ත්‍රනය කළා යන චෝදනාව යටතේ රෝම වරුන් විසින් මරණ දඬුවමට ලක් කෙරුණා. ඊට අනුබල දීම නිසා හෙරෝද් බීතස් රෝමයට පිටුවහල් කෙරුණා.
හෙරෝද් රජු ඊට පසුව කළේ තමාගෙන් පසුව ජුදේයා රාජධාණිය කොටස් හතරකට බෙදා තමාගේ ඉතිරි පුතුන් තිදෙනා වුනු ආකිලෙයස්, ඇන්ටිපාස්, ෆිලිප් සහ සොහොයුරිය වුනු සැලොමේ අතර බෙදී යන ලෙස අන්තිම කැමැත්ත ලිවීම. නමුත් මෙහිදී සම්පූර්න ස්වාධීන රාජ්‍යයන් හතරක් බිහි වීම වෙනුවට සිදු කෙරුනේ තනි රාජ්‍යය කොටස් හතරකට බෙදා ඒ ඒ කොටසට පාලකයන් පත් කිරීම.
![]() |
ජුදේයා රාජධාණිය බෙදී ගිය ආකාරය |
ඒ අනුව ප්‍රධාන, විශාලම සහ දේශපාලනිකව වැදගත්ම කොටස "ජුදියාව" නමින් ආකිලෙයස් ට ලැබුණා. අගනුවර වුනු ජෙරුසෙලම අයත් වුනේ මේ කොටසට.
ජුදියාවේ උතුරින් පිහිටි ගැලලී මුහුද ආශ්‍රිත ප්‍රදේශය සහ ජෝර්දාන් ගඟට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශය "ගැලලී" නමින් ඇන්ටිපාස් ට ලැබුණා. ගැලලී ප්‍රදේශය ඉතාම ශශ්‍රීක ප්‍රදේශයක් වුණු අතර, සාම්ප්‍රදායිකව ආගමික විද්වතුන්, දිවැසිවරුන්ට සහ රණශූරයන්ට නිජබිමක් වුනා.
ගැලලීයට නැගෙනහිරින්පිහිටි ප්‍රදේශය "බතානිය" නමින් ෆිලිප් ට ලැබුණා. බතානිය ඈත පිහිටි දේශසීමා ප්‍රදේශයක් (frontier) වුනු අතර දේශපාලනිකව හෝ ආර්ථිකව එතරම් වැදගත් වුනේ නෑ.
සැලොමේට ලැබුනේ "යම්නියාව". යම්නියාවට අයත් වුනේ වෙරළබඩ නගර කීපයක් අයත් කුඩා ප්‍රදේශයක්.
මේ කොටස් හතරම පැවතුනේ ජුදියා රාජධාණිය වගේම රෝම අධිරාජ්‍යයේ අවනත රාජ්‍යයන් (client state) විදිහට. කොටස් හතරේම පාලකයන් ජෙරුසෙලමේ පිහිටි "නෙසෙට්" නැතිනම් "සැන්හීඩ්‍රම්"
නමින් හැඳින්වුනු ආයතනයේ බලයට යටත් කෙරුණා. නෙසෙට් කියල හැඳින්වුනේ ආගමික
විද්වතුන් සහ උගතුන්ගෙන් 120 කගෙන් සමන්විත වුනු පාර්ලිමේන්තුවක්. ජුදියාවේ
නීති සම්පාදනය කළේ ඔවුන්.
ඒත් අවාසනාවන්ත විදිහට අවුරුදු හතළිහක් වගේ සුළු කාලයක් තුළ මේ රාජ්‍යයන් හතරම විනාශ වෙලා ගියා. ඒකට ප්‍රධාන හේතුවක් වුනේ ගෑණු හුටපට.
ජුදියාව
ප්‍රධානම, විශාලම සහ දේශපාලනිකව වැදගත්ම කොටස වුනේ ජුදියාව. අගනුවර වුන ජෙරුසෙලම ඇතුළු විශාල ප්‍රදේශයක් ඊට අයත් වුනා. මේ කොටසේ පාලකයා වුනේ හෙරෝද් රජුගේ හතරවැනි පුතා වුනු ආකිලෙයස්. ඔහුගේ මව සමාරිටන් ජාතික කාන්තාවක් වීම නිසා යුදෙව්වන් අතර ඔහුට හොඳ පිළිගැනීමක් තිබුණේ නෑ.
ආකිලෙයස් ගේ රාජ්‍යය පාලනය ආරම්භ වුනේම ලෙයින්. හෙරෝද් රජු මිය ගිය වහාම ඔහු විසින් මරණ දඬුවම දුන් ආගමික විද්වතුන් දෙදෙනෙක් සහ ඔවුන් ගේ ශිෂ්‍යයන් 40 දෙනෙකුගේ මරණයන් වෙනුවෙන් ශෝක වීම සඳහා විශාල පිරිසක් ජෙරුසෙලමේ ප්‍රධාන දේවස්ථනය වෙත පැමිණියා. මේ තත්වය කැරැල්ලක් දක්වා වර්ධන වෙතැයි බිය වුනු ආකිලෙයස් පිරිස පළවා හැරීමට තම හමුදාවට අණ දුන්නා. ඇති වුනු ගැටුමින් රැස්වුනු පිරිසේ 3000 ක් පමණ මිය ගියා. මේ ඝාතනය නිසා පාර්ලිමේන්තුවේ දැඩි අප්‍රසාදය ආකිලෙයස් වෙත එල්ල වුනා.
හෙරෝද් රජු විසින් මරා දැමුණු ඔහුගේ පුතෙක් (ආකිලෙයස් ගේ වැඩිමල් සොහොයුරෙක්) වුනු ඇලෙක්සැන්ඩර් ගේ බිරිඳ වුනේ ග්ලෙෆයිරා නම් කුමාරිකාවක්. ඇය ග්‍රීක-පර්සියන්-ආමේනියන් සම්භවයක් සහිත කාන්තාවක්. ඇලෙක්සැන්ඩර් ගේ මරණයෙන් පසු ඇය මොරිටෑනියාවේ රජු සමඟ විවාහ වී සිටියා.
යුදෙව් සම්ප්‍රදායට අනුව සොහොයුරෙක් මිය ගිය විට ඔහුගේ බිරිඳ විවාහ කර ගැනීම අනෙක් සොහොයුරන්ගේ වගකීමක්. ඒ අනුව යමින් ආකිලෙයස් ග්ලෙෆයිරා විවාහ කරගැනීමට අදහස් කළා. ඊට එකඟ වුනු ග්ලෙෆයිරා මොරිටෑනියාවේ රජු දික්කසාද කර ජුදියාව වෙත පැමිණියා. නමුත් ආකිලෙයස් නොසිතූ ආකාරයට පාර්ලිමේන්තුවේ දැඩි විරෝධය මෙයට එල්ල වුනා. ඒ ග්ලෙෆයිරා යුදෙව් කාන්තාවක් නොවීම සහ දික්කසාද වූ කාන්තාවකගේ කලින් සැමියා ජීවත්ව සිටියදී ඇය වෙනත් විවාහයක් කරගැනීම යුදෙව් නීතියට පටහැණි වීම නිසා. ඒ නිසා ග්ලෙෆයිරා සමඟ විවාහ වීමට අවශ්‍යය නම් සිහසුන අතහරින ලෙස පාර්ලිමේන්තුව ආකිලෙයස් ට දැණුම් දුන්නා. ඔහු ක්‍රි.ව. 6 දී සිහසුන අතහැර ග්ලෙෆයිරා සමඟ ගෝල් දේශයේ පදිංචියට ගියා.
ආකිලෙයස් සිහසුන අතහැරීමත් සමඟම ජුදියාව රෝම අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් බවට පත් වුනා. ජුදියාවේ පාලනය රෝම අධිරාජ්‍යයා විසින් පත් කළ රෝම ජාතික ආණ්ඩුකාරයෙක්ට පැවරුනා.
රෝම ජුදියාව
ජුදියා ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාර ධූරයට පත් වුනේ සිරියා ප්‍රාන්තයේ රෝම ආණ්ඩුකාරයා වුනු පබ්ලියස් කුරිනියස්. ඒ ජුදියාවට වෙනම ආණ්ඩුකාරයෙක් පත් කර එවන තුරු.
ජුදියාව රෝම අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් වීමත් සමඟම එහි බදු ක්‍රමයේ වැදගත් වෙනසක් සිදු වුනා. යුදෙව්වන් ගේ බදු ක්‍රමය වුනේ ආදායම් බද්දක් (income tax). නමුත් රෝම අධිරාජ්‍යයේ බදු ක්‍රමය වුනේ වත්කම් බද්දක් (property tax). මේ නිසා ජුදියාවේ වැසියන්ගේ ඉඩම් සහ වෙනත් වත්කම් ලේඛනගත කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුනා. ඒ සඳහා පබ්ලියස් කුරිනියස් ක්‍රි.ව. 6 දී ජුදියාවේ සියළු වැසියන් ගේ සංගණනයක් පැවැත්වීමට අණ කළා.
නමුත් මේ නව බදු ක්‍රමය යුදෙව් නීතියට පටහැණි වුනා. යුදෙව් නීතිය අනුව කෙනෙකුට ඉඩම් පුද්ගලික අයිතියට පත් වෙන්නේ නෑ. ඔහු ඒවා ප්‍රයෝජනයට ගන්නවා පමණයි. මේ නිසා ඉඩම් මත බදු පැනවීම යුදෙව් නීතියට පටහැනි වුනා.
යුදෙව් පාර්ලිමේන්තුවේ සිටි දැඩි මතධාරීන් පිරිසක් නව බද්ද ගෙවන අය යුදෙව් නීතියට හා ආගමට පටහැණිව යන්නන් බවට ප්‍රකාශ කළා. මේ පිරිසේ නායකත්වය ගත්තේ ගමාලා හි ජුදාස් (ගැලලී හි ජුදාස්). නමුත් මොවුන් සුළු පිරිසක් පමණක් වූ බැවින් කුරිනියස් සංගණනය පැවැත්වීම නැවැත්වුයේ නෑ. එවිට ගමාලා හි ජුදාස් සහ ඔහුගේ සහචරයන් ගම්බද ප්‍රදේශ වලට පළා ගොස් සංගණනයට සහභාගී වූ සහ නව බදු ගෙවූ යුදෙව්වන්ගේ ගොවිපළ ගිනි තැබීමට පටන් ගත්තා. කුරිනියස් තමාගේ රෝම හමුදා රෙජිමේන්තුව මෙහෙයවා කැරැල්ල ඉක්මනින් මැඩ පැවැත්වූ නමුත් ජුදාස් සහ ඔහුගේ සහචරයන් රැසක් දිගටම ගරිල්ලා උපක්‍රම යොදාගෙන රෝම වරුන්ට එරෙහිව කටයුතු කළා. ඔවුන් හැඳින්වුනේ "සෙලට්" නමින්.
යම්නියාව
වෙරළබඩ නගර කීපයකින් සමන්විත කුඩා ප්‍රදේශයක් වූ යම්නියාව දේශපාලනිකව වැදගත් වුනේ නෑ. එහි පාලනය හිමි වුනේ හෙරෝද් රජුගේ සොහොයුරිය වුනු සැලොමේ ට.
සැලොමේ ක්‍රි.ව. 10 දී මිය ගිය අතර යම්නියාව ජුදියා ප්‍රාන්තයේ කොටසක් ලෙස රෝම අධිරාජ්‍යයට ඇඳා ගැණුනා.
බතානියා
බතානියා එතරම් වැදගත් තැනක් නොඉසිලූ දේශසීමා ප්‍රදේශයක් (frontier) වුනු අතර එහි වැසියන් ගෙන් බහුතරයද සමන්විත වුනේ යුදෙව්වන් නොවුනු අය ගෙන්. මෙහි පාලනය හිමි වුනේ හෙරෝද් රජුගේ බාල පුතා වුනු ෆිලිප්ට.
ෆිලිප් ක්‍රි.ව. 34 දී මිය ගිය අතර බතානියාව රෝම අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් වුනු සිරියාවට ඈඳාගනු ලැබුවා.
ගැලලී
ගැලලී මුහුද ආශ්‍රිත ප්‍රදේශය සහ ජෝර්දාන් ගඟෙන් නැගෙනහිර ප්‍රදේශ වල පාලනය හිමි වුනේ හෙරෝද් රජුගේ පුතෙක් වුනු ඇන්ටිපාස් ට. ගැලලී ප්‍රදේශය සාම්ප්‍රදායිකව ආගමික විද්වතුන්, දිවැසිවරුන් සහ රණශූරයන්ට නිජබිමක් වුනු අතර, ජුදියා රාජධාණියේ ආධ්‍යාත්මික කේන්ද්‍රයක් වුනා.
හෙරෝද් රජු විසින් මරා දැමුණු ඔහුගේ අනෙක් පුතා (ඇන්ටිපාස් ගේ වැඩිමල් සොහොයුරෙක්) වුනු ඇරිස්ටොබියුලස් ගේ දියණිය වුනේ හෙරොඩායස්. හෙරොඩායස් හෙරෝද් රජුගේ තවත් පුතෙක් වුනු හෙරෝද් බීතස් සමඟ විවාහ වී සිටියා. හෙරෝද් බීතස් පියාට එරෙහිව කුමන්ත්‍රනය කිරීමේ වරදට රෝමයට පිටුවහල් කර සිටියා.
ඇන්ටිපාස් ගේ බිරිඳ වුනේ අසල්වැසි නැබටියානු රාජධාණියේ රජුගේ දියණිය. ඇන්ටිපාස් රෝමයට ගිය අවස්ථවක හෙරොඩායස් දැක ඇයට වශී වී ඇයට විවාහ යෝජනා කළා. ඇය මීට කැමත්ත පළ කළ නිසා ඔහු නැබටියානු කුමාරිකාව දික්කසාද කර හෙරොඩායස් විවාහ කරගෙන නැවත ගැලලී වෙත පැමිණියා.
මේ සිද්ධියෙන් දැඩි ලෙස කුපිත වුනු නැබටියානු රජු ගැලලීයට එරෙහිව යුධ ප්‍රකාශ කළා. ඔහුගේ හමුදාව ගැලලීයට අයත් ජෝර්දාන ගඟෙන් නැගෙනහිර ප්‍රදේශය ආක්‍රමනය කළ අතර අසල්වැසි බතානියාවෙන් යුධ ආධාර ලැබුණත් ගැලලී හමුදා මේ යුද්ධයෙන් පසුබෑමකට ලක් වුනා.
හෙරොඩායස් සමඟ සිදු කළ ප්‍රශ්නකාරී විවාහයත්, නැබටියාන්ව සමඟ ඇතිවුනු යුද්ධයත් නිසා ගැලලී වැසියන් අතර ඇන්ටිපාස්ට එරෙහිව විශාල අප්‍රසාදයක් ඇතිවුනා. මුළුමහත් ගැලලී ප්‍රදේශයම දේශපාලන විරෝධයෙන් ගිනියම් වුනා. ජුදියාවේ සිට පැමිණි සෙලොට් ගරිල්ලන් මේ විරෝධය තවත් තීව්‍ර කළා.
නැබටියානු රාජධාණියත් මේ වන විට පැවතුනේ රෝමයේ අවනත රාජ්‍යයක් (client state) විදිහට. මේ නිසා රෝම වරුන්ට මේ යුද්ධයේදී පැතතක් ගැනීමට හැකි වුනේ නෑ. මුළු ප්‍රදේශයේම දේශපාලනය අස්ථාවර කිරීම නිසා රෝමවරු අතර ඇන්ටිපාස් අප්‍රසාදයට ලක් වුනා. මේ නිසා ලැබුණු පළමුවෙනි අවස්ථාවේදීම රෝම අධිරාජ්‍යයාට එරෙහිව කුමන්ත්‍රනයකට හවුල් වීම ගැන චෝදනා කරමින් ක්‍රි.ව. 39 දී ඇන්ටිපාස් සහ ඔහුගේ බිරිඳ හෙරොඩායස් ස්පාඤ්ඤයට පිටුවහල් කළ රෝමවරු ගැලලීය ජුදියා ප්‍රාන්තයටම ඈඳා ගත්තා.
මේ අනුව හෙරෝද් රජුගේ මරණයෙන් අවුරුදු හතළිස් තුනක් ඇතුළත මුළුමහත් ජුදියාවම රෝම අධිරාජ්‍යයේ පාලනයට නතු වුනා. යුදෙව්වන්ට නැවත වරක් තම දේශපාලන නිදහස මුළුමනින්ම නැති වුනා.
ජේසුස් වහන්සේ ගේ උපත, ආගමික දේශනා කිරීම සහ මරණය සිදුවෙන්නේ මේ පසුබිම තුළ.
යෙහොෂුවා
යේසුස් වහන්සේගේ දෙමාපියන් ජීවත් වෙන්නේ ගැලලීයට අයත් "නසරෙත්" නම් ගමේ. නසරෙත් ජනගහණය 400 ක් පමණ වුනු මධ්‍යම ප්‍රමානයේ ගමක්. ඔහුගේ පියා වඩුවෙකි වුනු යෝසෙෆ් (ජෝශප්). මව මරියම් (මේරි). යෝසෙෆ් ඩේවිඩ් රජතුමාගේ පෙළපතින් පැවත එන අයෙක්. මේක පසුකාලීනව ඉතාම වැදගත්.
යේසුස් වහන්සේ ගේ නියම හීබෲ නම වෙන්නේ "යෙහොෂුවා". ඒකෙ කෙටි විදිහ "යෙෂුවා". යෙෂුවා ග්‍රීක සහ ලතින් භාෂා වලට හැරවීමේදී විකෘති වෙන්නේ ඉයේසුස්, ඉයේසු, යේසුස්, ජීසස් යන ආකාර වලට.
උපත
යේසුස් වහන්සේගේ උපන් දිනය කවද්ද?
දෙන්න පුළුවන් සරළම උත්තරය වර්ෂ බින්දුවේ දෙසැම්බර් 25 වැනිදා. අපේ සම්මත වර්ෂ ගණනය කරන එක පදනම් වෙන්නෙම යේසුස් වහන්සේගේ උපන් දිනය මත නම් ඊටත් වඩා සරළ දෙයක් තියෙන්න පුළුවන් ද?
ඒත් ඇත්ත කතාව එච්චර සරළ නෑ.
මුලින්ම, වර්ෂ බින්දුව කියල එකක් නෑ. ක්‍රි.පූ. 1 ට පස්සෙ එන්නෙ ක්‍රිස්තු වර්ෂ 1. ඒක වෙන්නෙ කොහොමද කියල අහල තේරුමක් නෑ. ඒක සම්මත කරගෙන තියෙන්නෙ ඒ විදිහට තමයි.
ඓතිහාසික කරුණු මත පදනම් වෙලා යේසුස් වහන්සේ ඉපදුනු වර්ෂය හරියටම නිගමනය කරන එක එච්චර ලේසි නෑ.
අපිට මෙතනදි එන ප්‍රධානම ප්‍රශ්නය තමයි බයිබලයෙන් බාහිරව යේසුස් වහන්සේ ගැන කිසිම සඳහනක් නැති වීම. ඒ එක්කම බයිබලය කියන්නෙ ඉතිහාස පොතක් නෙවෙයි. ඒ නිසා බයිබලය ලියපු අය දෙයක් සිද්ධ වුනේ මොන අවුරුද්දෙද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා බයිබලයේ යේසුස් වහන්සේගේ උපත එක්ක බැඳුනු වෙනත් ඓතිහාසික සිදුවීම් වල දින වකවානු අනුව යේසුස් වහන්සේ ඉපදුනු වසර නිගමනය කරන්න.
වාසනාවකට වගේ මේ කාලයේ යුදාව පාලනය කළ රෝම වරු ඓතිහාසික සටහන් තැබීම අතින් විශිෂ්ඨයන්. ඒ වගේම ජොසෙෆස් කියන යුදෙව් ඉතිහාස වේදියා මේ කාලයේ යුදාවේ ඉතිහාසය ගැන හොඳ විස්තරයක් කරලා තියෙනවා.
මෙතනදී අපිට යොදා ගන්න පුළුවන් ප්‍රධාන ඓතිහාසික සිදුවීම් දෙක තමයි,
1. යේසුස් වහන්සේ ඉපදෙන විට යුදාවේ රජු.
2. යේසුස් වහන්සේගේ ඉපදෙන දවස් වල පැවතුනා යයි කියපු සංගණනය.
මැතිව් ගේ ශුභාරංචියේ සඳහන් වන විදිහට යේසුස් වහන්සේ ඉපදිලා "යම්කිසි කාලයකට පස්සේ" පෙරදිග ඉඳන් එන "නුවණැති පුද්ගලයන්" කීප දෙනෙක් එවකට යුදාවේ රජු වුනු හෙරෝද් හමුවෙලා යුදෙව්වන් ගේ රජු ඉපදුනු බව ඔහුට පැවසීම (ජනප්‍රිය කතාවේ අන්දමට නුවණැති පුද්ගලයන් තිදෙනෙක් යේසුස් වහන්සේ ඉපදුනු ගවලෙනට තෑගි සමඟ පැමිණීම බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැණියි). මේ කතාවෙන් කලබල වෙන හෙරෝද් රජු අවුරුදු දෙකකට අඩු සියළුම පිරිමි දරුවන් මරා දාන්න නියෝග කරනවා. ඊට ටික කලකට පස්සෙ හෙරෝද් රජු මිය යනවා.
මේ කතාවේ එන හෙරෝද් රජු ක්‍රි,පූ. 37 ඉඳලා ක්‍රි.පූ. 4 දක්වා යුදාවේ රජු වුන මහා හෙරෝද් වෙන්නත් පුළුවන්, ක්‍රි.පූ. 4 ඉඳලා ක්‍රි.ව. 6 දක්වා යුදාවේ රජු වුන ඔහුගේ පුතා වුනු හෙරෝද් අකීලියස් වෙන්නත් පුළුවන්. නමුත් හෙරෝද් අකිලියස් සාමාන්‍යයෙන් හැඳින්වුනේ ඔහුගේ ග්‍රීක නම වුනු අකිලියස් නමින් නිසා සහ, ළමයි මරනවා වගේ කෲර වැඩ වලට ප්‍රසිද්ධියක් ඉසිලුවේ මහා හෙරෝද් රජු නිසා මේ කියන්නේ මහා හෙරෝද් රජු ගැන කියල හිතන එක වඩා සාධාරනයි.
හෙරෝද් රජු වයස අවුරුදු දෙකකට අඩු සියළු පිරිමි ළමයි මරන්න නියෝග කරන නිසා යේසුස් වහන්සේගේ වයස මේ වෙද්දි අවුරුදු දෙකකට අඩු වුනා කියල හිතන්න පුළුවන්. මේ නිසා මැතිව් ගේ ශුභාරංචියට අනුව යේසුස් වහන්සේ ඉපදුනේ ක්‍රි.පූ. 6 - ක්‍රි.පූ. 4 අතර කාලයක කියල නිගමනය කරන්න පුළුවන්.
ඊළඟට අපි දෙවෙනි සාධකයට ගියොත්, ලූක් ගේ ශුභාරංචියට අනුව ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයා සංගණනයක් කරන්න අණ දෙනවා. යේසුස් වහන්සේ ගේ මව්පියන් නසාරෙත් සිට බෙත්ලෙහෙම දක්වා එන්නේ ඒ අනුව.
මේ සිද්ධිය ඓතිහාසික සත්‍යයක්. බදු ගණනය කිරීමේ කටයුතු සඳහා මේ කාලයේදී රෝමවරු යුදාවේ සංගණනයක් කරලා තියෙනවා. රෝම වාර්තා වලට අනුව ඒ ක්‍රි.ව. 6 දී. මේ නිසා ලූක් ගේ ශුභාරංචියට අනුව යේසුස් වහන්සේ ඉපදුනේ ක්‍රි.ව. 6 දී කියල නිගමනය කරන්න පුළුවන්.
නමුත් මේ සංගණනය පැවැත්වුනේ ජුදියා ප්‍රාන්තයේ බදු එකතු කිරීමේ කටයුතු සඳහා ඉඩම් අයිතිය දැන ගැනීමට. ගැලලී හි වැසියෙක් වුනු යෝසෙෆ් ජුදියා ප්‍රාන්තයේ බදු එකතු කිරීමකට සම්බන්ධ වෙන්න හේතුවක් නෑ. යෝසෙෆ්ට බෙත්ලෙහෙමේ හෝ ජුදියාවේ ඉඩම් තිබුණු බවක් කියැවෙන්නෙත් නෑ.
ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව කිතු උපත අවස්ථාවේ අහසේ වල්ගා තරුවක් දිස් වුන බව කියැවෙනවා. මේක ඓතිහාසික සත්‍යයක් කියලා සැලකුවොත්, ඒ සමයේ ජුදියාව අවට දිස් වුනු වල්ගාතරුවක් අනුව කිතු උපත සිදුවූ අවුරුද්ද ක්‍රි.පූ. 5 කියලා ගන්න පුළුවන්.
මේ නිසා යේසුස් වහන්සේ ඉපදුන වසර හරියටම තීරණය කරන එක අමාරු කටයුත්තක්. අපිට ඒක ක්‍රි.පූ. 6 සහ ක්‍රි.ව. 6 අතර කාලයේ දිනයක් කියල සලකන්න පුළුවන්.
ඊළඟට, උපන් තැන.
ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව යෙහොෂුවා උපත ලබන්නේ ජෙරුසෙලමට කිලෝමීටර් 10 ක් දකුණින් පිහිටි "බෙත්ලෙහෙම්" නගරයේ. නමුත් ගැලලීයේ නසරෙත් හි වැසියන් වුනු යෝසෙෆ් සහ මරියම් කිලෝමීටර් 130 ක් ඈතින් පිහිටි බෙත්ලෙහෙමේ මොකද කරන්නේ? ලූක් ශුභාරංචිය මේකට දෙන හේතුව තමයි රෝම පාලකයන් සංගණනයක් පැවැත්වූ බවත්, යෝසෙෆ් ගේ උපන් ගම බෙත්ලෙහෙම නිසා ඔවුන්ට බෙත්ලෙහෙමට එන්න සිද්ධ වුනු බවත්.
නමුත් කලිනුත් කියපු විදිහට මේ පැහැදිලි කිරීම එච්චර විශ්වාසනීය නෑ.
නසරෙත් ගමට කිලෝ මීටර 10 ක් වයඹ දෙසින් තියෙනවා බෙත්ලෙහෙම් කියලා කුඩා ගමක්. යෝසෙෆ් සහ මරියම් කිසියම් කටයුත්තකට නසරෙත් නගරයෙන් බැහැරට ගිය බවත්, නසරෙත් අසල පිහිටි බෙත්ලෙහෙම් ගමේ ඔවුන්ට නවාතැන් ගන්න සිදුවුනු බවත්, යෙහොෂුවා උපත ලැබුවේ මේ බෙත්ලෙහෙමේ දී බවත් සිතීම වඩා සාධාරණයි.
යොහාන් බව්තීස්ත
මේ කාලයේදී සාමාන්‍යය යුදෙව් ජනතාව වගේම ආගමික විද්වතුන් අතර ඔවුන්ගේ පාලකයන් ගැන තිබුණේ ඉතාම දැඩි අප්‍රසාදයක්. රෝම වරුන් ගේ දේශපාලන බලපෑම්, පාලකයන් ගේ නොපනත් හැසිරීම සහ ඔවුන්ගේ ප්‍රශ්නකාරී විවාහ වීම් මේ අප්‍රසාදයට හේතු වුනා.
ඒ අතර සෙලට් සංවිධානයේ නායකයා වුනු ගමලා හි ජුදාස් රෝම හමුදාවෙන් පළා ගොස් දිගින් දිගටම රෝම වරුන්ට එරෙහිව දේශපාලනයේ නිරත වුනා. ගමලා හි ජුදාස් ගැලලී හි වැසියෙක් නිසා ඔහු පළා ගියේ ගැලලියට කියල හිතන්න පුළුවන්. මේ නිසා ගැලලිය සෙලොට් වරුන්ගේ දේශපාලනයට හොඳ තෝතැන්නක් වුනා.
ගමලා හි ජුදාස් ඩේවිඩ් රජුගේ පරම්පරාවෙන් පැවත එන අයෙක්. මේ නිසා ඔහු ගේ කැරැල්ලත් සමඟම ඩේවිඩ් ගේ පරම්පරාවෙන් එන මසායා වරයෙක් නැවත යුදෙව් රාජ්‍යය පිහිටුවන බවට යුදෙව්වන් අතර පැවති විශ්වාසය අළුත් වුනා. මසායා ලෙස හඳුන්වාගත් පුද්ගයල රැසක් ජුදියාව සහ ගැලලීය පුරා බිහි වුනා. ඔවුන් රෝම වරුන්ට සහ නොපනත් යුදෙව් පාලකයන්ට එරෙහිව ජනතාව සංවිධානය කළා.
මේ කාලයේදී නැබටියන් හමුදාව ගැලලීයට අයත් ජෝර්දාන් ගඟෙන් නැගෙනහිර ප්‍රදේශය ආක්‍රමණය කළා. මේ නිසා ඒ ප්‍රදේශයේ සිටි යුදෙව්වන් අතර ඇන්ටිපාස් කෙරෙහි විශාල විරෝධයක් ඇති වුනා. මේ ප්‍රදේශයේ සිටි "යොහානන්" නම් යුදෙව් ආගමික දේශකයෙක් යුදෙව්වන් ව ජෝර්දාන් ගඟේ ගිල්වීමෙන් ඔවුන්ව "ශුද්ධ කිරීමට" පටන් ගත්තා. මේ වතුර මගින් "ශුද්ධ කිරීමේ" පිළිවෙත සමහර යුදෙව්වන් අතර පැවති සම්ප්‍රදායක්. යොහානන් ක්‍රිස්තියානි සම්ප්‍රදායේ හැඳින්වෙන්නේ "ජෝන් බව්තීස්ත" (John the Baptist) නමින්.
යොහානන් දේශනා කළේ තමා ඉදිරියේ එන මසායා වරයෙක් වෙනුවෙන් ජනතාව සූදානම් කරන බව. ගැලලීයේ යොහානන් ගේ ජනප්‍රියත්වය වේගයෙන් වර්ධනය වුනු අතර, ගැලලීයේ හතර අතින් යුදෙව්වන් ඔහු සොයා ජෝර්දාන් ගඟ වෙත ඇදෙන්න පටන් ගත්තා.
එහෙම ආපු එක් තරුනයෙක් තමයි යෙහොෂුවා.
යොහානන් තමාගේ දේශනා වලදී ගැලලීයේ පාලකයා වුනු ඇන්ටිපාස් සහ විශේෂයෙන් හෙරොඩායස් සමඟ ඔහු සිදුකළ විවාහය දැඩි විවේචනයට ලක් කළා. යොහානන් ගේ ජනප්‍රියත්වය සහ නැබටියන් හමුදාවේ ආක්‍රමනය පිළිබඳ තැති ගැන්මට ලක් වුනු ඇන්ටිපාස් යොහානන් අල්ල්ලා මරා දැම්මා. ඒ ක්‍රි.ව. 30 දී.
ධර්ම ප්‍රචාරය
යොහානන් හෙවත් ජෝන් බෞතීස්ත අතින් ජෝර්දාන් නදියේදී බෞතීස්මය ලැබීම යෙහොෂුවා ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. මේ සිදුවීම වුනේ ක්‍රි.ව. 27-29 අතර කාලයක කියලා අනුමාන කරන්න පුළුවන්.
මේ වන විට යෙහොෂුවා යුදෙව් ආගමික විද්වතෙක් හෙවත් රබායි වරයෙක් ලෙස කටයුතු කළ බව තමයි පේන්න තියෙන්නේ. පසු කාලීන ක්‍රිස්තියානි ආගමික විද්වතුන් යේසුස් වහන්සේව යුදෙව් ආගමෙන් දුරස් කිරීම සඳහා මෙය යටපත් කළත්, බයිබලයේම කිහිප තැනකම නොයෙක් දෙනා ඔහුට "රබායි" ලෙස ආමන්ත්‍රනය කළ බව සඳහන්. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව යෙහොෂුවා වඩුවෙක්. මේ නිසා ඔහු පියාගේ කර්මාන්තය වන වඩු කර්මාන්තයේද නියැලුනු බව සිතන්න පුළුවන්.
බෞතීස්ම ලැබීමෙන් පසු යෙහොෂුවා ගැලලීය පුරා ගමන් කරමින් ආගමික දේශනා වල යෙදුනා. යුදෙව්වන් ඔහු මසායා වරයෙක් ලෙස සැලකුවා. ඔහු ඩේවිඩ් රජු ගේ පෙළපතින් පැවත එන්නෙක් වීම එයට අනුබලයක් වුනා. ඔහු සමඟ නිතරම ගමන් කළ 12 දෙනෙකුගේ අනුගාමිකයන් කණ්ඩායමක් බිහි වුනා. මේ අය හැඳින්වුනේ අපෝස්තුළු වරයන් ලෙස.
මුල් කාලයේදී යෙහොෂුවා ගේ ආගමික කටයුතු ගැලලී මුහුද අවට ප්‍රදේශ වලට සීමා වුනා. කන්ද උඩ දේශනාව (Sermon on the Mount) නමින් හැඳින්වුනු ප්‍රසිද්ධ දේශනාවට පසු යෙහොෂුවාගේ කීර්තිය ඉහළ නැගුනා. ක්‍රමයෙන් ඔහුගේ අනුගාමිකයන් පිරිස වැඩි වුනු අතර මේ අය ගැලලීයේ විවිධ ගම්-නගර වලට යැවීමට යෙහොෂුවා කටයුතු කළා.
නමුත් මේ කාලයේ ගැලලීයේ සහ ජුදියාවේ සිටි එකම මසායා වරයා හෝ රැඩිකල් ආගමික-දේශපාලනයක යෙදුනු රබායි වරයා යෙහොෂුවා නොවේ. ඇත්තෙන්ම යෙහොෂුවා සාපේක්ෂව අඩු වැදගත්කමකින් යුත් කෙනෙක් බව තමයි පේන්න තියෙන්නේ.
කෙසේ නමුත් යෙහොෂුවා අළුත් ආගමක් හඳුන්වා දුන් අයෙකුට වඩා යුදෙව් ආගමේ ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටි අයෙක් ලෙස ගැනීම වඩා නිවැරදියි. යුදෙව් ආගමේ නීති රීති අකුරටම පිළිපැදි යෙහොෂුවා තමාගේ ආගමික ඉගැන්වීම් වලදී යුදෙව් ආගමේ දේව ධර්මයට පටැහැණි දෙයක් දේශනා කළේ නෑ. මේ කාලයේ කටයුතු කළ අනෙක් මසායා වරුන් ගේ වගේම යෙහොෂුවා ගේත් අරමුණ වුනේ යුදෙව් ආගමික පුනරුදයක් මගින් ධාර්මික යුදෙව් රාජ්‍යයක් නැවත ගොඩනැංවීම.
ක්‍රි.ව. 30 දී යොහානන් හෙවත් ජෝන් බෞතීස්ත ගැලලීයේ පාලකයා වුනු ඇන්ටිපාස් ගේ අණින් මරණයට පත් කිරීම යෙහොෂුවා ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුනා. ක්‍රමයෙන් යෙහොෂුවා තමාගේ ආගමික කටයුතු ගැලලීයෙන් බාහිර ප්‍රදේශ වලටත් යොමු කරන්න පටන් ගත්තා.
යෙහොෂූවා ගේ අනුගාමිකයන්
යෙහොෂුවාගේ ප්‍රධාන අනුගාමිකයන් දොළොස් දෙනා හැඳින්වුනේ අපෝස්තුළු වරු නමින්. ඒ අය වුනේ:
1. සිමියොන් (සයිමන්). යෙහොෂුවා මොහුට සෙෆාස් යන නම දුන්නා (සෙෆාස් ග්‍රීක බසට පරිවර්තනය වන්නේ පීටර් ලෙස). ඔහු ගැලලී මුහුද අසබඩ තිබුණු බෙත්සයිඩා ගමේ වැසියෙක්.
2. අන්ද්‍රෙවුස් (ඇන්ඩෲ). සිමියොන් ගේ සොහොයුරා. බෙත්සයිඩා ගමේ වැසියෙක්.
3. යාකොව් (ජේම්ස්). ගැලලී මුහුද අසබඩ විසූ අයෙක්.
4. යොහාන් (ජෝන්). යාකොබ් ගේ සොහොයුරා. ගැලලී මුහුද අසබඩ විසූ අයෙක්.
5. ෆිලිප්පස් (ෆිලිප්). ගැලලී මුහුද අසබඩ තිබුණු බෙත්සයිඩා ගමේ වැසියෙක්.
6. බාර්තොල්මේ (බර්තොලමියු). ගැලලීයේ සානා ගමේ වැසියෙක්.
7. තෝමා (තෝමස්). ගැලලීයේ පන්සාදා ගමේ වැසියෙක්.
8. මතියාහු (මැතිව්). ගැලලී මුහුද අසබඩ තිබුණු ක්ෆාර්නේහම් ගමේ වැසියෙක්.
9. යාකොව් (ජේම්ස්). ගැලලීයේ වැසියෙක්.
10. යෙහූදා (ජුදස්). ගැලලීයේ වැසියෙක්.
11. සිමියොන් (සයිමන්). ගැලලීයේ සානා ගමේ වැසියෙක්. සෙලොට් සංවිධානයේ සාමාජිකයෙක්.
12. යෙහූදා ඉස්ක්‍රියොත් (ජූදස් ඉස්ක්‍රියොත්).
මේ අය අතරින්යෙහූදා ඉස්ක්‍රියොත් හැර අනෙක් සියළු දෙනා ගැලලීයේ වැසියෙන් වීම විශේෂයි. ඒ අතරිනුත් බොහෝ අය ගැලලී මුහුද අසබඩ ගම් වල වැසියන්.
මේ හැර යෙහොෂුවාගේ තවත් අනුගාමිකයන් ගැන සඳහන් වෙනව. ගැලලී මුහුද අසබඩ මග්දලා ගමේ මරියම් (මේරි මැග්දලේන්) ඒ අතරින් විශේෂයි. මග්දලා ගම රෝම සහ යුදෙව් පාලකයන්ට එරෙහිව සටන් කළ රැඩිකල් යුදෙව්වන්ගේ ප්‍රධානම මධ්‍යස්ථානයක් වුනා.
ජෙරුසෙලමේ දේශපාලන තත්වය
උතුරින් පිහිටි ගැලලීයේ යෙහොෂුවා තමාගේ ආගමික කටයුතු වල නිරත වෙද්දි ජෙරුසෙලමේ දේශපාලනය උණුසුම් වෙමින් පැවතුනා. ක්‍රි.ව. 6 දී ජුදියාව රෝම අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් වීමෙන් පසු එය පාලනය වුනේ රෝම ආණ්ඩුකාරයෙක් අතින්.
ජුදියවේ වගේම ගැලලීය ඇතුළු අනෙක් යුදෙව් පාලන ප්‍රදේශ වල නීති සම්පාදනය කළේ සැන්හීඩ්‍රම් නම් යුදෙව්වන් ගේ පාර්ලිමේන්තුව මගින්. මේ පාර්ලිමේන්තුව ආගමික විද්වතුන් 120 කගෙන් සමන්විත වුනා.
රෝම ආණ්ඩුකාරයන් තමාගේ බලය වැඩි කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ජෙරුසෙලමේ ප්‍රධාන දේවස්ථානයේ අග්‍ර පූජක තනතුර සඳහා තමන්ට අවනත අය පත් කරන්න පටන් ගත්තා. මෙය යුදෙව්වන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වුන කරුණක්.
සැන්හීඩ්‍රම් පාර්ලිමේන්තුව රෝම බලයට අවනත වීම සංකේතවත් කිරීමට එහි කටයුතු කෙරෙන අවස්ථා වලදී රෝම අධිරාජ්‍යයා ගේ පිළිරුවක් එහි තැබීමට රෝම ආණ්ඩුකාරයා වන පොන්ටියස් පිලාටස් පාර්ලිමේන්තුවට අණ කළා. නමුත් පාර්ලිමේන්තුව රැස් වුනේ දේවස්ථානය තුළ නිසා සහ දේවස්ථානයේ පිළිරූ තැබීම යුදෙව් නීතියට දැඩිව පටහැනි නිසා යුදෙව්වන් එය තරයේ ප්‍රතික්ෂේප කළා. එවිට පිලාටස් කළේ පාර්ලිමේන්තුවට දේවස්ථානයෙන් පිටතදී රැස්වීමට අණ කිරීම. මෙය යුදෙව්වන් ගේ නීතිය පැහැදිලිවම අවමානයට ලක් කිරිමක් වුනා.
ක්‍රි.ව 30 දී ප්‍රධාන දේවස්ථානයේ මුදල් ඉඳිකිරීම් කටයුත්තක් සඳහා නිසි අවසරයකින් තොරව යොදා ගැනීම නිසා පිලාටස් ට එරෙහිව ජෙරුසලමේ යුදෙව්වන් උද්ඝෝෂනයක් කළා. පිලාටස් උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලු වලින් පහර දෙන ලෙස තම රෝම හමුදා සෙබළුන්ට අණ කළා. පොලු පහර කෑමෙන් සහ අශ්වයන්ට පෑගීමෙන් විශාල පිරිසක් මිය ගියා.
මේ සිදුවීම් නිසා ජෙරුසෙලමේ දේශපාලන තත්වය පැවතුනේ ඉතාම අස්ථාවර මට්ටමක.
යෙහොෂුවා ජෙරුසෙලමට පැමිණීම
යුදෙව්වන්ගේ ප්‍රධානම ආගමික උත්සවක් වුනේ හැග් හැප්-පෙසා (Passover) මංගල්‍යය. මෙය යුදෙව්වන් ඊජිප්තුවේ වහල් මෙහෙයෙන් මිදී පළා ඒම සැමරීමට කෙරෙන උත්සවයක්. මෙම උත්සවයට සහභාගී වීම සඳහා ජුදියාවේ සහ ගැලලීයේ සියළුම ප්‍රදේශ වලින් යුදෙව්වන් ජෙරුසෙලමට පැමිණීම සිරිතක් ව තිබුණා.
ක්‍රි.ව. 33 (සමහර වාර්තා වලට අනුව ක්‍රි.ව. 30) හැග් හැප්-පෙසා උත්සවයට සහභාගී වීම සඳහා යුදෙව්වන් ජෙරුසෙලමට පැමිණියා. ලක්ෂ හතරක් පමණ බැතිමතුන් නගරයට එක් රැස් වීමෙන් නගරය අතුරු සිදුරු නැතිව පිරී ගියා.
ඊට සමගාමීට පොන්ටියස් පිලාටස් සැසරියා හි රඳවා තිබූ නව හමුදා සේනාංකයක් ජෙරුසෙලම වෙත කැඳවූවා. ජෙරුසෙලම තුබුණේ පිපිරීමට ඔන්න මෙන්න තිබූ බෝම්බයක තත්වයෙන්.
හැග් හැප්-පෙසා උත්සවයට සහභාගී වීම සඳහා පැමිණි පිරිස අතර ගැලලීයේ සිට පැමිණි යෙහොෂුවා සහ ඔහුගේ අනුගාමිකයනුත් සිටියා.
ආගමික වතාවත් සඳහා දේවස්ථානයට ගිය විට යෙහොෂුවා දුටුවේ එය විවිධ ව්‍යාපාරික කටයුතු කළ අයගෙන පිරී තිබුණු බව. මෙය දේවස්ථානයේ ශුද්ධ බව කෙළසීමක් බව සිතූ ඔහු ඔවුන්ව එතැනින් පළවා හැරියා. ආගමික වැදගත් කමට අමතරව දේවස්ථානයේ සිටි මුදල් ණයට දෙන්නන් නිසා දුප්පතුන් ගේ ඉඩම් ණයට සින්න වීමත් මේ පළවා හැරීමට හේතුවක් වෙන්න පුළුවන්. මේ පළවා හැරීම රැස්ව සිටි යුදෙව්වන් ගේ ප්‍රීතියට හේතු වුනා.
යෙහොෂුවා ගේ ක්‍රියාවෙන් පොන්ටියස් පිලාටස්, දේවස්ථානයේ පූජකයන් සහ නගරයේ යුදෙව් නායකයන් තැති ගත්තා. නමුත් එතැනදීම යෙහොෂුවාට එරෙහි වුවහොත් තත්වය කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකි බව දුටු ඔවුන් කිසිවක් කළේ නෑ.
යෙහොෂුවා සහ අනුගාමිකයන් සතියක පමණ කාලයක් ජෙරුසෙලමේ රැඳී සිටිමින් ආගමික වතාවත් වල යෙදීම සහ දේශනා පැවැත්වීම සිදු කළා. මේ කාලයේදී යුදෙව් නායකයන් යෙහොෂුවා අත් අඩංගුවට ගැනීමට හේතුවක් හොයා ගැනීමට තැත් කළත් ඔවුන් සාර්ථක වූයේ නෑ. අවසානයේදී ඔහුව පාවා දීම සඳහා ඔහුගේ අනුගාමිකයෙක් වූ යෙහූදා ඉස්ක්‍රියොත් සමඟ රහසේ එකඟතාවයක් ඇති කරගැනීමට යුදෙව් නායකයන් සමත් වුනා.
හීබෲ කැලැන්ඩරයට අනුව නිසාන් මාසයේ 15 වැනිදා රාත්‍රියේ හැග් හැප්-පෙසා උත්සවය වෙනුවෙන් විශේෂ ආහාර වේලක් අනුභව කළ යුතු වෙනවා. මෙය හැඳින්වෙන්නේ "සෙයිඩා" (seider) නමින්. යෙහොෂුවා සහ අනුගාමිකයන් නගරයෙන් පිට තැනකදී මේ ආහාර වේල ගත්තා. එය ක්‍රිස්තියානි සම්ප්‍රදායේදී හැඳින්වෙන්නේ "අවසාන භෝජනය" නමින්.
රාත්‍රී භෝජනයෙන් පසු රැය ගත කිරීම සඳහා යෙහොෂුවා සහ අනුගාමිකයන් නගරයට මදක් පිටතින් ඇති ගෙත්සෙමනි නම් ස්ථානයේ පිහිටි උද්‍යානයක් වෙත පැමිණියා. එවිට එතැනට කඩා වැදුණු පිරිසක් යෙහොෂුවා අත් අඩංගුවට ගත්තා. මේ සඳහා පැමිණියේ යුදෙව් නායකයන් ගේ පොලිස් භට පිරිසක්. සමහර වාර්තා වල කියැවෙන පරිදි රෝම හමුදා සෙබළුනුත් මීට සහභාගී වී තියෙනවා. ඔහුට එරෙහිව නැගුනු චෝදනා වූයේ සබත් දිනයේ රෝගීන් සුවපත් කිරීම (සබත් දිනයේ වැඩ කිරීම යුදෙව් නීතියට පටහැණියි) සහ මසායා ලෙස පෙනී සිටීම.
නඩු ඇසීම සහ මරණ දඬුවම
එදා රාත්‍රියේම යෙහොෂුවාව සැන්හීඩ්‍රම් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණවූ අතර ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වුනා. එහිදී සමහර නියෝජිතයන් ඔහුට පක්ෂව ඡන්දය දුන්නත් ඔහු වැරදිකරු බවට වැඩි ඡන්දයෙන් නිගමනය වුනා. නමුත් දඬුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට නොතිබුණු බැවින් යුදෙව් නායකයන් පසුවදා උදෑසනම පිලාටස් වෙත භාර දුන්නා.
යුදෙව්වන් ගේ රජු ලෙස පෙනී සිටිමින් රෝම පාලනයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවීම යන චෝදනාව යෙහොෂුවාට එල්ල වුනු අතර, පිලාටස් ඔහු වැරදි කරු ලෙස තීරණය කර කුරුසියේ ඇණ ගැසීමෙන් මරණයට පත් කිරීමට අණ දුන්නා.
ඒ අනුව ජෙරුසෙලම් නගරයට මදක් පිටින් පිහිටි ගොල්ගොතා හෙවත් කල්වාරි නම් කුඩා කඳුගැටය මත කුරුසියේ ඇණ ගැසීමෙන් යෙහොෂුවා මරණ දඬුවමට ලක් කෙරුනා.
ක්‍රිස්තියානි සම්ප්‍රදායේ මේ සිදුවීම ලියැවෙන්නේ යුදෙව් නායකයන්ට වැඩි බරක් තබමින් සහ පිලාටස්ව නිදොස් කරමින්. නමුත් කොහොමත් ගිනියම් වී තිබුණු ජෙරුසෙලමේ ලක්ෂ ගණනක ජනකායක් රැස්ව සිටියදී ගැලලීයෙන් පැමිණි පිරිසක් දේවස්ථානයේ කලබගෑනියක් ඇති කිරීම පිලාටස් සුළුකොට තකන්නට ඇතියි කියා සිතිය නොහැකියි. යෙහොෂුවාට මරණ දඬුවම දීමට යුදෙව් නායකයන්ට වඩා උවමනාවක් පිලාටස්ට තිබුණු බව සිතීම වඩා සාධාරණයි.
කුරුසිපත් කිරීම
අපි කවුරුත් දන්න විදිහට ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගහලා තමයි රෝම පාලකයන් විසින් මරා දාන්නේ. කුරුසියේ ඇණ ගැසීම පැරණි මධ්‍යධරනී මුහුද ආශ්‍රිත ශිෂ්ඨාචාර ගණනාවක තිබුනු දඬුවම් ක්‍රමයක්.
බොහොමයක් නිරූපන වල මේක සිදු කරපු විදිහ දක්වන්නේ අත් වල අල්ලටත්, කකුල් වල පිට පතුලටත් ඇණ ගහපු ආකාරයට. ගොඩක් තැන් වල කකුල් දෙක තියන්න අධාරකයක් විදිහට පොඩි ලෑල්ලක් තියලා තියෙනවා. ශරීරයේ බර දරන්නේ ඒ ලෑල්ල. මෑතකදි හදපු ලෝක ප්‍රසිද්ධ The Passion of the Christ චිත්‍රපටයේත් ඒක දක්වන්නේ එහෙමයි.
![]() |
කුරුසිපත් කිරීම දැක්වෙන ජනප්‍රිය ආකාරය |
ඒත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඒක එහෙම නෙවෙයි.
1968 දී ඊශ්‍රායලයෙන් හොයා ගන්නවා තරුණයෙක් ගේ ඇට සැකිල්ලක කොටස්. ඔහුගේ නම "යෙහෝහනොන් බෙන් හග්කොල්". මේ තරුණයාගේ කකුලේ විළුඹ අස්ථිය හරහා ගිය යකඩ ඇණයක් අදටත් දකින්න පුළුවන්. ඒක තමයි කුරුසියේ ඇණ ගසා මරා දැමුණු බවට තියෙන එකම පැහැදිලි පුරා විද්‍යාත්මක සාක්ෂිය.
ඒ අනුව පේන්නේ කුරුසියේ ඇණ ගහද්දි අත් වල ඇණ ගහන්නේ අල්ලට නෙවෙයි මැණික් කටුවට කියන එක. ඒ වගේම කකුල් වල විළුඹ පසාරු කරගෙන කුරුසියට කකුල හිර වෙන විදිහට තමයි ඇණ ගහල තියෙන්නේ. කකුල් වලට ආධාරකයක් තියලා නෑ. ශරීරයේ බර දරාගන්නේ අර විළුඹ පසාරු කරගෙන යන ලෙස ගහපු ඇණ දෙකෙන්. ඇණ ගැලවීම වළක්වන්න ඇණය සහ සිරුර අතරින් ලෑලි කෑල්ලකුත් තියල තියෙනවා.
![]() |
ඓතිහාසික සාධක වලට අනුව කුරුසිපත් කළ ආකාරය |
කුරුසියේ ඇණ ගැසීමෙන් මරා දැමීම ඉතාම ම්ලේච්ඡ දඬුවම් ක්‍රමයක්. මෙහිදී ඇණ ගැසීමට ලක් වූ පුද්ගලයා ඉතාම සෙමින් සිදුවන අතිශය වේදනාකාරී මරණයකට ලක් වෙනවා. අත්ල සහ විළුඹ පසාරු කරගෙන යන ලෙස ගසන ඇණ වලින් පුද්ගලයා කුරුසියට සවි වන අතර, ඔහුගේ සිරුරේ සම්පූර්ණ බර වැටෙන්නේ මේ ඇණ හතරට. මිය යාමට හේතුව වෙහෙස, හාමත් වීම, පිපාසය, හිරු එළියට නිරාවරණය වීම, තුවාල පැසවීම වගේ දේවල්. සමහර විට ගිජුලිහිණියන් මිය යාමට ආසන්න වුනු, ඒත් පණපිටින් සිටින අයගේ මස් ඉරා කෑ බවට වාර්තා තියෙනවා.
සමහර වෙලාවට කුරුසියේ ඇණ ගැසූ අය මිය යන්නේ නැතිනම් කකුල් වල ජංඝාස්ථිය (shin bone) යකඩ පොළු වලින් ගහලා කඩලා තියෙනවා. එතකොට ශරීරයේ බර සම්පූර්ණයෙන්ම අත් දෙකට ඇවිල්ලා පෙනහළු තද වීමෙන් හුස්ම හිර වී මිය යනවා. බයිබලයේ සඳහන් අන්දමට ජේසුස් වහන්සේ කුරුසිය මත මිය ගිය පසු උන්වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගැසූ සොරුන් දෙදෙනා මරා දාන්නේ මේ විදිහට කකුල් කඩා දැමීමෙන්.
උට්ඨානය
මේ ආකාරයෙන් කුරුසියේ ඇණ ගැසූ කෙනෙක් මිය යාමට දින තුනක් පමණ ගත වෙනවා. නමුත් ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව එදිනම සවස යෙහොෂුවා කුරුසිය මත මිය
ගියා. ඔහුගේ සිරුර අනුගාමිකයන් විසින් සොහොන් ගැබක තැන්පත් කෙරෙන අතර, දින
තුනකට පසු ඔහු නැවත මලවුන් ගෙන් උට්ඨානය වී අනුගාමිකයන් අතරට පැමිණුනා. දින
හතළිහක් පමණ අනුගාමිකයන් සමඟ ගත කළ ඔහු ජෙරුසෙලමට කිලෝ මීටර් 3 ක් පමණ
නුදුරින් පිහිටි බෙතනි නම් ගමේ දී දිව්‍ය ලෝකය වෙත ඔසවනු ලැබුවා.
යොහොෂුවා කුරුසිය මත මිය යන්න පෙර ඔහු කෙරෙහි අනුකම්පාව දැක්වූ යුදෙව් නායකයන් පිරිසක් ඔහුව කුරුසියෙන් ඉවත් කර රහසිගත ස්ථානයක සැඟවුවාද? දින තුනකට පසු නැවත අනුගාමිකයන් මුණ ගැසීමට තරම් ඔහු සුවපත් වූවාද? නමුත් කුරුසිපත් කිරීම නිසා ඇතිවූ තුවාල හේතුවෙන් දින හතළිහකට පසු ඔහු බෙතනියේදී මිය ගියාද? මේ කිසිවක් නිශ්චිත වශයෙන් කිව නොහැකියි.
No comments:
Post a Comment