ක්‍රි.ව. 700 දි පමණ ඉස්ලාමීය අධිරාජ්‍යය පාලනය කරේ උමයියා වාංශික කලීෆා වරු. ඔවුන් එතරම් ආගමික භක්තියක් තිබුණු අය නෙවෙයි. බලය සහ ධනය තමයි ඔවුන් ගේ මූලික අරමුණ වුනේ.
මේ කලීෆා වරුන්ට හිටියා පුද්ගලික හමුදාවක්. කලීෆා වරයාට එරෙහි වෙන ඔහුව විවේචනය කරන දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් කිරීම තමයි මේ පුද්ගලික හමුදාවේ රාජකාරිය වුනේ. මේ "දඬුවම්" විදිහට තර්ජනය කිරීම, බිය වැද්දීම, පැහැරගෙන යාම, වධ හිංසා පැමිණවීම සහ සමහර විට මරා දැමීම පවා සිදු වුනා.
මේ පුද්ගලික හමුදාවේ සේවය කළා මාලික් ඉබ්න් දීනාර් කියල සෙබළෙක්. මාලික් ජීවත් වුනේ උමයියා කලීෆා වරුන් ගේ අගනුවර වුණු දමස්කස් නගරයේ. ඔහු ගත කළේ පවින් පිරි දිවියක්. උමයියා වාංශික පාලකයන් ගේ අණ අනුව මිනිසුන්ට හිරිහැර කිරීමට අමතරව මත්පැන් පානයටත් ඔහු තදින්ම ඇබ්බැහි වෙලා හිටියා.
මාලික් ට හිටියා වයස අවුරුදු දෙකක කුඩා දියණියක්. මාලික් මේ ලෝකයේ ආදරය කළ එකම දේ දියණිය. ඒත් අවාසනාවන්ත විදිහට එක් දවසක් රෝගාතුර වීමෙන් දියණිය මිය ගියා.
එතැන් සිට මාලික් ගත කළේ යක්‍ෂයෙකුගේ වගේ ජීවිතයක්. ඔහුගේ මත්පැන් ඇබ්බැහිය තවත් වැඩි වුනා. මත්පැනින් මත් වුණු මාලික් තමාගේ රාජකාරියේදී හැසිරුණේ රකුසෙක් වගේ. මිනිස්සු ඔහුට බිය වුනා.
එක දවසක් රෑ අධිකව මත්පැන් පානය කළ මාලික් තද නින්දකට වැටී සිටියා. ඔහු දැක්කා සිහිනයක්.
ඔහු හිටියේ විශාල ගිනි ජාලාවක් අසල. ඒකෙන් එන උණුසුම නිසා ඔහුගේ හම පිච්චෙන්න වගේ වේදනාවක් ඔහුට දැනෙන්න ගත්තා. ඔහු ගින්නෙන් ඈතට ගියේ උණුසුම අඩු කර ගන්න. ඒත් ගිනි ජාලාවත් ඔහු පසු පසම ආවා. ඔහු දුවන්න පටන් ගත්තා. ඒත් ගිනි ජාලාවත් ඔහු එක්කම ඔහු පසුපසම ආවා. දැන් ඔහු හතර වටින්ම ගිනි. ඔහුට කරගන්න දෙයක් නෑ. ඔහුට හිතුනා ඔහු පිළිස්සී මිය යයි කියලා.
එතකොටම ඔහු දැක්කා සුදු අසෙක් පිට නැගගත් ඉතාම කඩවසම් පෙණුමක් තියෙන අසරුවෙක්. ඔහු අසරුවාට කතා කරලා කිව්වා ඔහුව බේර ගන්න කියලා. ඒත් අසරුවා පිළිතුරු දුන්නේ "මාලික්, මම දුර්වලයි. ඔබව බේර ගන්න තරම් මම ශක්තිමත් නෑ" කියලා.
එතකොට ඔහු දැක්කා පුංචි ගෑණු ළමයෙක් ගිනි දැල් අතරින් එනවා. ඒ ඔහුගේ මිය ගිය දියණිය. ඔහුට ඇස් අදහා ගන්න බැරි වුනා.
"දුවේ ඒ ඔයාද?"
"ඔව්" ගෑණු ළමයා පිළිතුරු දුන්නා.
"ඔයාට කතා කරන්න පුළුවන් ද?" අවුරුදු දෙකක ළමයෙක් කතා කරන එක ගැන මාලික් ට පුදුමයි.
"තාත්තේ, මේ ලෝකයේදී අපිට කතා කරන්න පුළුවන්."
ඊට පස්සේ ඇය කුරාන පාඨ කීපයක් ඉතාම ලස්සනට කිව්වා.
"දුවේ, මේ ගිනි ජාලාව මොකද්ද? අර සුදු පාට අශ්වයෙක් පිට හිටියේ කවුද?"
"තාත්තේ, මේ ගිනි ජාලාව තමයි ඔබේ පාපයන්. සුදු අශ්වයෙක් පිට හිටියේ ඔබේ යහපත් ක්‍රියා. ඔබව ඔබේ පාපයන් ගෙන් බේරා ගන්න තරම් ඔබේ යහපත් ක්‍රියා ශක්තිමත් නෑ."
මාලික් ට එතකොටම ඇහැරුනා. සිහිනය ගැන මතක් වෙනකොට ඔහුගේ මුහුණ සුදුමැලි වෙලා ගියා. වහාම ගෙදර තිබුණු සියළුම මත්පැන් බෝතල් කුඩු කරල දැම්ම මාලික් උදේම ගෙදරින් පිටත් වෙලා ගියේ සදහටම දමස්කස් නගරය අත හැරලා දමලා.
ඔහු නැවතුනේ ඉරාකයේ බස්රා නගරයේ. එහිදී ඔහු ඉතාම ප්‍රසිද්ධ ආගමික විද්වතෙක් වුනු හසන් අල්-බස්රි යටතේ ආගම ඉගෙන ගන්න පටන් ගත්තා. කෙටි කලකින්ම ඔහු ප්‍රසිද්ධ වුනේ හසල් අල්-බස්රි ගේ හොඳම ගෝලයෙක් සහ ඉතාමත් සරළ ජීවිතයක් ගත කළ අයෙක් විදිහට. හසන් අල්-බස්රි ගේ මරණයෙන් පසු බස්රා නගරයේ සිටි ප්‍රසිද්ධම ආගමික විද්වතුන් හය දෙනා අතරේ මාලික් ඉබ්න් දීනාර් ගේ නමත් කියැවුනා.
මාලික් ගේ විශේෂත්වය වුනේ බාහිරයට වඩා අභ්‍යන්තරයට යොමු වුනු ආගමික භක්තියක් පැවතීම. ඔහු සැමවිටම උත්සහ කළේ තමාගේ සිත දමනය කරගෙන හැකි තරම් පාපයන් ගෙන් වැළකී සිටීමට. පසු කළෙක සූෆි ඉස්ලාමයේ එන "අභ්‍යන්තර ජිහාදය" හෙවත් "තමාගේ සිතට එරෙහිව කරන අරගලය" පිළිබඳ අදහස් වල ආරම්භකයෙක් විදිහට මාලික් ව සැලකෙනවා.
ඒ වගේම ඔහු ගත කලේ භෞතික සැප සම්පත් වලින් තොර ඉතාම සරළ ජීවිතයක්. මේකත් සූෆි ඉස්ලාමයේ එන වැදගත් අදහසක්. මාලික් ජීවිකාව සකසා ගත්තේ කුරානය පිටපත් කිරීමෙන්. සම්පූර්න කුරානයක් අළුතෙන් පිටපත් කිරීමට ඔහුට මාස හතරක් ගත වුනා. ඔහු ඊළඟ මාස හතර ගෙව්වේ ඒ පිටපත විකුණා ලැබෙන මුදලෙන්. මුදල් ලැබුණු වහාම ඔහු කලේ ඔහු නිතර ගනුදෙනු කළ වෙළඳසැල් වල ඒ මුදල තැන්පතුවක් විදිහට තැබීම. ඒ නිතර මුදල් පරිහරණය කිරීමෙන් වැළකෙන්න.
එක දවසක් හොරෙක් මාලික් ගේ ගෙදරට ඇතුළු වුනේ ඔහුගේ ගෙදර ඇති වටිනා දේ සොරකම් කිරීමට. ඒත් හොරකම් කිරීමට තරම් වටිනා කිසිම දෙයක් ගෙදර තිබුනේ නෑ. අන්තිමේදී බලාපොරොත්තු කඩ කරගෙන ගෙදරින් පිටවෙන්න හදපු හොරාට මාලික් ව මුණ ගැසුනා.
"සහෝදරයා ඔබ ආවේ මේ ලෝකයේ දෙයක් බලාපොරොත්තුවෙන් නේද? මම ඔබට දෙන්නම් ඊට වඩා වටිනා දෙයක්."
වික්‍ෂිප්ත වුනු හොරා "ඒ මොකද්ද?" කියලා ඇහුවා.
හොරාට කතා කළ මාලික් තමා සමඟ ඉඳගෙන දෙවියන් නමදින්න අරාධනා කළා. හොරා ආරාධනාව පිළිගත්තා. ටික වේලාවක් දෙවියන් නැමදූ පසු උදෑසන දේව නමැදුමට වෙලාව ආවා. මාලික් හොරාට තමා සමඟ පල්ලියට එන්න ආරාධනා කළා. ඔවුන් දෙදෙනා මගට බැහැලා පල්ලිය බලා යද්දි මගදි හමුවුනු මිනිස්සු මාලික් ගෙන් ඔහුගේ "අළුත් සගයා" ගැන විමසුවා.
"මෙයා මගෙන් යමක් හොරකම් කරන්න ආව කෙනෙක්. ඒත් අන්තිමේදී මම මෙයාගෙන් යමක් (නරක පුරුදු) හොරකම් කළා."
තවත් දවසක් මාලික් බස්රා නගරයේ වීදියක සිටියදී බස්රා හි ආණ්ඩුකාර වරයා වීදිය දිගේ ඇවිදගෙන ආවා. ඔහු ඉස්තරම්ම ඇඳුමෙන් සැරසී වටිනා ආභරණ පැලඳ බොහොම උජාරුවෙන් ගමන් කළා. ආණ්ඩුකාරයා තමන් පසු කර යද්දී මාලික් ඔහුට කතා කළා.
"ඔබ දෙවියන්ට බය නැද්ද? ඔහොම තමාගේ ධනය බලය ප්‍රදර්ශනය කිරීම සුදුසු වැඩක් නෙවෙයි. දෙවියන්ට බය වෙන්න."
වීදියේ කෙළවර සිටි හිඟන්නෙක් වැනි මේ පුද්ගලයා කළ අපහාසයෙන් ආණ්ඩුකාරයා කෝපයෙන් රතු වුනා.
"තමුසෙ කවුද? තමුසෙ දන්නවද මම කවුද කියලා?"
මාලික් කලබල වුනේ නෑ. ඔහු බොහෝම සන්සුව පිළිතුරු දුන්නා.
"ඔව් මම දන්නවා ඔබ කවුද කියලා. ඔබ ඉපදුනේ මිනිස්සු ප්‍රසිද්ධියේ කතා කරන්නවත් ලැජ්ජා දෙයකින්. ඔබ මිය ගියාම ඉතිරි වන දේ කොයිතරම් අප්‍රසන්නද කිව්වොත් මිනිස්සු ඒ දිහා බලන්නෙ වත් නෑ. ඔය දෙක අතරේ පවතින ඔබ කියන්නේ ඔබේම මල මූත්‍රා පුරෝගෙන එහෙ මෙහෙ යන මල්ලක්."
ජීවිතයේ අන්තිම කාලයේදී මාලික් ඉන්දියාවට ගියා. ඒ ධර්ම ප්‍රචාරක කණ් ඩායමක සාමාජිකයෙක් විදිහට. ඔහු ආවේ දකුණු ඉන්දියාවේ බටහිර වෙරළට හෙවත් වර්තමාන කේරළයට.
සමහර වාර්තා වල කියැවෙන පරිදි මාලික් ඉන්දියාවේදීම මිය ගියා. සමහර වාර්තා වල කියැවෙන්නේ ඔහු ආපහු බස්රා නගරයට ආපු බව. ඒ කොහොම වුනත් "මාලික් දීනාර් මස්ජීදය" නමින් හැඳින්වෙන මස්ජීදයක් අදටත් කේරළයේ කසරාගොද් නගරයේ තියෙනවා. ඒ තමයි ඉන්දියාවේ දෙවැනියට පැරණි මුස්ලිම් පල්ලිය.
No comments:
Post a Comment