Saturday, July 1, 2023

ඔයිඩිපස්

 

ක්‍රි.පූ. 6 වන සියවසේ ග්‍රීසියේ හිටපු නාට්‍යකරුවෙක් වුනු සොෆොක්ලස් ගේ නාට්‍යයක් තමයි "ඔයිඩිපස් රෙක්ස්" (ඔයිඩිපස් රජතුමා) කියන්නේ. මේක සෑහෙන ජවනිකා සහ කතාංග තියෙන දිග නාට්‍යයක්.
 

මේකෙ එක කතාංගයක් තමයි ඔයිඩිපස් ගේ අනාවැකිය සම්බන්ධ කතාව.
 

ග්‍රීසියේ තීබ්ස් නුවර රජතුමා වුනු ලයිසස් සහ ඔහුගේ බිසව වුනු ජොකස්ටා ට පුතෙක් ඉපදෙනවා. අනාවැකි කරුවෙක් (ඔරකල් කෙනෙක්) මේ ළදරුවා ගැන අනාවැකියක් පළ කරනවා. ඒ කවදාහරි ඔහු තම පියා මරලා මව විවාහ කර ගන්නවා කියන එක. මේ නිසා ලයිසස් රජතුමා සහ ජොකස්ටා බිසව ළදරුවාට දණගාන්න බැරි වෙන්න ඔහුගේ විළුඹ දෙක විදලා, එකට ගැටගහලා කැලයේ අතහැරලා එන්න සේවිකාවකට දෙනවා.
 

ඒත් සේවිකාව ළදරුවා ගැන අනුකම්පාවෙන් ඔහුව කොරින්තයේ එඬේරෙක්ට ලබා දෙනවා. කොරින්තයේ රජු වන පොලිබස් සහ ඔහුගේ බිසව වන මෙරෝපි ට දරුවන් නැති නිසා එඬේරා ළදරුවාව ඔවුන්ට හදාගන්න දෙනවා. ප්ලොබස් රජතුමා සහ මෙරෝපි බිසව ළදරුවා නම් කරන්නේ "ඔයිඩිපස්" කියලා. ඒකෙ තේරුම "ඉදිමුණු කකුල". ඒ විළුඹ විදපු තුවාල පැසවලා ඔහුගේ කකුල ඉදිමිලා තිබුණ නිසා.
 

ඔයිඩිපස් තරුණ වයසට ආවම ඔහුට අර අනාවැකිය ගැන දැනගන්න ලැබෙනවා. මේ අනාවැකියෙක් භීතියට පත් වෙන ඔහු කොරින්තය හැරදාලා පළා යනවා. ඒ අනාවැකිය බොරු කරන්න හිතාගෙන (ඔයිඩිපස් හිතාගෙන ඉන්නෙ පොලිබස් සහ මෙරෝපි තමාගේ දෙමාපියන් කියල නෙ).
 

ඔයිඩිපස් ඇවිදගෙන යද්දි ඔහුට කරත්තයක එන මිනිහෙක් මුණගැහෙනවා. පාර ඉඩදීම ගැන ඇතිවන කතාබහක් දුරදිග ගිහිල්ලා දෙන්නා අතර ගැටුමක් ඇති වෙනවා. ඔයිඩිපස් කරත්තයේ එන මිනිහා මරල දානවා.
 

ඔයිඩිපස් එනවා තීබ්ස් නුවරට. ඒ කාලෙයේ තීබ්ස් නුවරට එන පාරේ ස්පින්ක්ස් කෙනෙක් (මිනිස් ඔළුවක් සහ සිංහ ඇඟක් තියෙන සතෙක් - අර ඊජිප්තුවේ පිරමීඩ ඉස්සරහ ඉන්න එකා) ඉන්නවා. මේ ස්පින්ක්ස් පාරෙ යන අයගෙන තේරවිල්ලක් අහනවා. තෝරන්න බැරි වුනොත් මරල දානවා.
 

තේරවිල්ල තමයි "උදේට කකුල් හතරෙන් යන, දවල්ට කකුල් දෙකෙන් යන, හවසට කකුල් තුනෙන් යන සතා මොකාද?" මේ තේරවිල්ල කවුරුවත් තෝරන්නේ නෑ. මිනිස්සු ගොඩ දෙනෙක් ස්පින්ක්ස් ගෙන් මැරුම් කනවා. මේ නිසා තීබ්ස් නුවර මිනිස්සු ජීවත් වුනේ බොහෝම කරදරයෙන්.
 

ඔයිඩිපස් ස්පින්ක්ස් ළඟට ආවම ස්පින්ක්ස් තේරවිල්ල අහනවා. ඔඩිපස් උත්තර දෙනවා "මිනිහා" කියලා. මිනිහා ජීවිතේ මුල් කාලෙ කකුල් හතරෙන් දණ ගානවා. තරුණ කාලෙ කකුල් දෙකෙන් ඇවිදිනවා. මහළු කාලේ හැරමීටියෙන් යනවා. උත්තරේ හරි නිසා ස්පින්ක්ස් ඔයිඩිපස් ට යන්න දෙනවා.
 

ඔයිඩිපස් තීබ්ස් නුවරට එද්දි තීබ්ස් නුවර රජු වුන ලයිසස් අතුරුදහන් වෙලා. බිසව වුනු ජොකස්ටා ගේ සොහොයුරා තාවකාලිකව රාජ්‍ය පාලනය කරනවා. ඔහු කියනවා ස්පින්ක්ස් ව මරන්න පුළුවන් වෙන කෙනෙක්ට ජොකස්ටා විවාහ කරගෙන රජ වෙන්න පුළුවන් කියලා.
 

ඔයිඩිපස් ස්පින්ක්ස් ව මරනවා. ඊට පස්සෙ ජොකස්ටා ව විවාහ කරගෙන තීබ්ස් නුවර රජ වෙනවා. පස්සෙ ඔහුට දැන ගන්න ලැබෙනවා ඔහු එදා පාරේ දී මරා දාන කරත්තයේ ආපු මිනිහා ලයිසස් රජතුමා කියලා.
ඔයිඩිපස් නොදැනුවත්වම අනාවැකිය සම්පූර්න වෙනවා.
 

මේ කතාව පුරාණ ග්‍රීසියේ භාවිතා වුනේ කෙනෙක් ගේ ඉරණම වෙනස් කරන්න කොච්චර උත්සහ කළත්, "වෙන්න තියෙන දේ වෙනවා" කියන්න.
 

හැබැයි සිග්මන් ෆ්‍රොයිඩ් ඔයිඩිපස් කියන නම පාවිච්චි කළේ ඉතාම පිළිකුල් සහගත මනෝ විකාරයක් සඳහා. ඒක සිග්මන් ෆ්‍රොයිඩ් වගේ විපරිත මනසක් තියෙන එකෙක් ගෙ මනසේ විතරක් පහළ වෙන්න පුළුවන් විකෘති අදහසක්.

No comments:

Post a Comment