Saturday, July 1, 2023

යුරෝපයේ පවුල් සංවිධාන ක්‍රම

 

යුරෝපීය රටවල සාම්ප්‍රදායික පවුල් සංවිධාන ක්‍රම ප්‍රධාන මාදිලි හතරකට බෙදන්න පුළුවන්.

1. න්‍යෂ්ටික
2. සමානාත්මවාදී
3. අධිපතිවාදී
4. සාමූහික

මේවා හුදෙක් පවුල් සංවිධාන ක්‍රම විතරක් නෙවෙයි. ඒ ඒ සංස්කෘතීන්ට ආවේනික චින්තන ක්‍රම වල පිළිබිඹුවක් වෙනවා වගේම ඒ ඒ රටවල ඉතිහාසය දිහා බලද්දි පවුල් සංවිධාන ක්‍රමය සහ ඉතිහාසය අතර පැහැදිලි සම්බන්ධකම් හඳුනා ගන්නත් පුළුවන් (ඒ කියන්නෙ ඉතිහාසය හැඩ ගහන්නෙත් චින්තනය නිසා).

මේ වර්ගීකරනය කරල තියෙන්නෙ ඒ ඒ රටවල සාම්‍ප්‍රදායික සංස්කෘතියේ පවතින පවුල් සංවිධාන ක්‍රමය අනුව. වර්තමානයේ මේවා වෙනස් වෙලා ඇති. විශේෂයෙන් නාගරිකව.

 

1. න්‍යෂ්ටික පවුල

න්‍යෂ්ටික පවුලක් සමන්විත වෙන්නේ මව, පියා සහ වැඩිහිටි වයසට පත් නොවූ ළමයින් ගෙන්. ළමයි වැඩිහිටි වයසට පත් වෙනකොට පවුලෙන් වෙන් වෙලා වෙනම තමාගේ පවුල් ඒකක හදා ගන්නවා. පියා තමාගේ දේපල බෙදන්නේ තමාට අභිමත පරිද්දෙන්.

මේ ක්‍රමය තියෙන්නේ එංගලන්තය, ඩෙන්මාකය සහ නෙදර්ලන්තය කියන රටවල. ප්‍රධාන වශයෙන් ඇංග්ලෝ-සැක්සන් සංස්කෘතිය සහිත රටවල්. ඉංග්‍රීසින් ගේ පූර්වජයන් වෙන ඇංග්ලෝ, සැක්සන් සහ ජූට් ගෝත්‍රිකයන් එංගලන්තයට ආවේ වර්තමාන ඩෙන්මාකයේ සහ නෙදර්ලන්තයේ ඉඳලා.

මේ ක්‍රමයේදී සාමූහිකතවයට වඩා පුද්ගලත්වයට තැන ලැබෙනවා. ඒ වගේම "පුද්ගලික දේපල කෙරෙහි සාමූහික අයිතියක් නැත" කියන අදහස (පියා තමාගේ දේපල බෙදන්නෙ තමාගේ අභිමතය පරිදි) තහවුරු කෙරෙනවා.
නූතන ලිබරල්වාදී/ධනවාදී/ප්‍රජාතන්ත්‍රවාදී අදහස් මුලින්ම වර්ධනය වුනේ එංගලන්තයේ සහ නෙදර්ලන්තයේ වීම අහම්බයක් නෙවෙයි. ඒ වගේම එංගලන්තය විසින් බිහි කරන ලද කොලනි (ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව) ලිබරල් ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්.


2. සමානාත්මවාදී පවුල

මේ ක්‍රමයේදී පවුලක් සමන්විත වෙන්නේ මව, පියා සහ වැඩිහිටි වයසට පත් නොවූ ළමයින් ගෙන්. ළමයි වැඩිහිටි වයසට පත් වෙනකොට පවුලෙන් වෙන් වෙලා වෙනම තමාගේ පවුල් ඒකක හදා ගන්නවා. න්‍යෂ්ටික පවුලෙන් මේ ක්‍රමය වෙනස් වෙන්නේ දේපල බෙදීමේදී. පියාගේ දේපල අඩු වැඩි වශයෙන් සමාන විදිහට පුතුන් අතරේ බෙදී යනවා.

මේ ක්‍රමය තියෙන්නේ ඉතාලිය, ප්‍රංශය, දකුණු ස්පාඤ්ඤය, පෘතුගාලය, පෝලන්තය සහ රුමේනියාව කියන රටවල. මේ ක්‍රමයේ මූලය වුනේ රෝම සංස්කෘතිය. මේවා තමයි රෝම අධිරාජ්‍යයේ සහ පසු කාලීනව රෝමානු කතෝලික පල්ලියේ සංස්කෘතික බලපෑම වඩාත් තදින් තිබුණු රටවල්.
මේ ක්‍රමයේදී පුද්ගලත්වයට තැන ලැබුනත්, ඒ එක්කම දේපල සඳහා සමාන අයිතිය තහවුරු කෙරෙනවා. ඒ නිසා සමාජයේ සාමූහිකත්වය සහ සමානාමතාවය පිළිබඳ යම්කිසි අදහසක් ඇති වෙනවා. ඒ වගේම දේපල සමානව බෙදීමෙන් සමාජයේ ඇති-නැති පරතරය සැලකිය යුතු දුරකට පාලනය කෙරෙනවා. රෝම අධිරාජ්‍යය මුල සමයේ ජනරජයක් බවත්, පසු කාලීනව අධිරාජ්‍යයන් යටතේ පාලනය වෙද්දී පවා අධිරාජ්‍යයා ගේ බලය වෙනත් අධිරාජ්‍යයන්ට සාපේක්ෂව අඩු වුනු බවත් අමතක කරන්න බෑ. ඒ වගේම කතෝලික සංස්කෘතියේ එන සමානාත්මතාවය පිළිබඳ අදහස් වලටත් මේක පෑහෙනවා.

පසුකාලීනව බටහිර යුරෝපයේ සාර්ථකම සමාජවාදී සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර ඇති වුනේ ප්‍රංශයේ, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී සමාජවාදී පාර්ශවය තමාගේ බලය පිහිටවූයේ දකුණේ. ඒ වගේම ස්පාඤ්ඤය විසින් බිහි කල කොලනි (ලතින් ඇමරිකාව) සමාජවාදයට සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා සරු බිම් වුනා.


3. අධිපතිවාදී පවුල

මේ ක්‍රමයේදීත් පවුලක් සමන්විත වෙන්නේ මව, පියා සහ වැඩිහිටි වයසට පත් නොවූ ළමයින් ගෙන්. ළමයි වැඩිහිටි වයසට පත් වෙනකොට පවුලෙන් වෙන් වෙලා වෙනම තමාගේ පවුල් ඒකක හදා ගන්නවා. නමුත් දේපල බෙදී යාමේ ක්‍රමය පැහැදිලිවම වෙනස්. මෙහිදී පවුලේ වැඩිමල් පුතාට පියාගේ සම්පූර්න ධනය හෝ සැලකිය යුතු වැඩි පංගුවක් හිමි වෙනවා

මේ ක්‍රමය තියෙන්නේ ජර්මනිය, ඕස්ට්‍රියාව, ග්‍රීසිය, ස්වීඩනය, නෝර්වේ, චෙකියාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශයේ වයඹ කෙලවර (බ්‍රිටනිය), දකුණු ප්‍රංශය, උතුරු ස්පාඤ්ඤය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ අයිස්ලන්තය කියන රටවල. මේ ක්‍රමයේ තනි මූලයක් නිර්නය කරන්න අපහසුයි. පැරණි ග්‍රීක සංස්කෘතිය සහ පැරණි යුරෝපයේ ජර්මැනික්-සෙල්ටික් සංස්කෘතිය කියන දෙකම මේකේ මූලයන් වෙන්න පුළුවන්. ඒ වගේම යුදෙව් සංස්කෘතියේ පවුල් සංවිධානයේ ධනය බෙදී යාමේ ක්‍රමයත් මේ ක්‍රමයම වීම සැලකිය යුතු කරුණක්.

මේ ක්‍රමයේදී පුද්ගලත්වයට තැන ලැබෙන්නේ කලින් ක්‍රම දෙකට වඩා අඩුවෙන්. ඒ ධනය බෙදී යාමේ අසමානතාවය නිසා සහ පියාගේ ධනයට වැඩිමල් පුතාට ඇති වැඩි අයිතිය පිළිබඳ සංකල්පය නිසා. මේ ධනය බෙදී යාමේ ක්‍රමය නිසා ප්‍රධාන ආර්ථික වර්ධනය වීම් දෙකක් මේ රටවල ඉතිහාසයෙන් හඳුනාගන්න පුළුවන්.

එක, පරම්පරාවෙන් පරම්පරාවට පවුලේ ධනය විශාල වශයෙන් බෙදී නොයාම නිසා ධනවත් සහ මධ්‍යම පාන්තික පවුල් විශාල වශයෙන් බිහිවීම. දෙක, ධනයට අඩු හිමිකමක් සහිත බාල පුතුන් සාපේක්ෂව දිළිඳු වීම.

මෙහිදී පියා, සහ වැඩිමල් පුතා පවුල තුළ අධිපතිවාදී ස්වරූපයකින් ක්‍රියා කිරීම, සහ බාල පුතුන් ඒ අධිපතිවාදය පිළිගැනීම මේ රටවල දේශපාලන ක්‍රමය තුලත් දකින්න පුළුවන්. ශක්තිමත්, ‍රණකාමී සහ ඒකාධිපති පාලන ක්‍රමයන් මේ රටවල සුලභයි. ජර්මනිය, ස්පාඤ්ඤය, වයිකිං රාජ්‍යයන් සහ ග්‍රීසිය උදාහරණ. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ඒකාධිපති පාර්ශවය තමාගේ බලය පිහිටවූයේ උතුරේ.

විශේෂයෙන්ම ජර්මනියේදී ධනය අහිමි වුනු බාල පුතුන් වැඩි වශයෙන් හමුදා සේවයට නැඹුරු වීම නිසා අනෙක් යුරෝපීය රටවලට වඩා ශක්තිමත් හමුදාවන් ගොඩ නැංවීමට ජර්මනියට හැකිවුන බව කියැවෙනවා.


4. සාමූහික පවුල

සාමූහික පවුල අනෙක් ක්‍රම වලින් පැහැදිලිවම වෙනස්. මෙහිදී පවුලක් සමන්විත වෙන්නේ මව, පියා, වැඩිහිටි වියට පත් නොවූ දරුවන්, වැඩිහිටි වියට පත්වුනු පුතුන්, ඔවුන් ගේ බිරිඳන් සහ ඔවුන් ගේ දරුවන් ගෙන්. මෙහිදී විශාල සාමූහික පවුලක් ඇති අතර පියා එහි මූලිකත්වය දරනවා. පියා මියගිය පසු පුතුන් අඩු වැඩි වශයෙන් සමාන ලෙස දේපල බෙදා ගනිමින් වෙනම පවුල් ඒකක බිහි කරන්න වෙන්වී යනවා.

මේ ක්‍රමය තියෙන්නේ රුසියාව, යුක්‍රේනය, බෙලරූස්, බෝල්ටික් රටවල්, ෆින්ලන්තය, බල්ගේරියාව, හන්ගේරියාව, ස්ලොවැකියාව සහ බෝල්කන් රටවල් වල. මේ ක්‍රමයේ මූලය විදිහට ස්ලාව සංස්කෘතිය සලකන්න පුළුවන්. මේ රටවල් බොහොමයක් ස්ලාව් ජනවර්ග සහිත රටවල්. ස්ලාව් වරුන්ට මේ ක්‍රමය ලැබුනේ මොංගෝලියානු ආක්‍රමනිකයන් ගෙන් වෙන්න ඉඩ තියෙනවා. චීනයේ සහ ආසියානු ස්ටෙප්ස් සංක්‍රමනික ගෝත්‍රිකයන් ගේ පවුල් සංවිධානයත් මේ ක්‍රමයට සමානයි.

මේ ක්‍රමයේදී පුද්ගලත්වය යටපත් කරලා සාමූහිකත්වයට තැන ලැබෙනවා. ඒ වගේම පියාට ඉතා විශාල බලයක් සහ පිළිගැනීමක් ලැබෙනවා. පවුල් ඒකකය සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ පියාට ඇති පිළිගැනීම මත. ඒ වගේම දේපල පිළිබඳ සාමූහික අයිතිය සහ සමානාත්මතාවය මේ ක්‍රමයේදී තහවුරු කෙරෙනවා.

තවත් වැදගත් වෙනසක් වෙන්නේ කාන්තාවට ලැබෙන තැන. කලින් ක්‍රම වලදී එක පවුලක සිටින්නේ එක කාන්තාවක් (මව) පමණක් නිසා ඇයට සැලකිය යුතු වටිනාකමක් පවුල් ඒකකය තුල ලැබෙනවා. නමුත් සාමූහික පවුල තුල කාන්තාවන් කීප දෙනක් (මව සහ ලේලියන්) සිටින නිසා කාන්තාවට ලැබෙන්නේ අඩු වටිනාකමක්. ඒ වගේම ගැටුම් අවම කර ගැනීම සඳහා කාන්තාවන් පිරිමින්ට අවනත ස්වරූපයකින් කටයුතු කිරීම අවශ්‍යතාවයක්.
මේ ක්‍රමය පවතින රටවල ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය සහ ධනවාදය පැතිර ගියේ අඩුවෙන්. ඒ වෙනුවට ප්‍රවේනිදාස ක්‍රමය සහිත රාජාණ්ඩු සහ පසු කාලීනව සමාජවාදී-කොමියුන්ස්ට්වාදී පාලන ක්‍රමයන් දකින්න පුළුවන්. මෙහිදී පියාට අවනත වීමේ සංකල්පය සහ රාජ්‍යයට (හෝ පක්ෂයට) අවනත වීම අතර සමානකම් දකින්න පුළුවන්.

No comments:

Post a Comment