අලී ඉබ්න් අබු තාලිබ් කියන්නේ රෂිදුන් කිලාෆාතයේ හතරවැනි කලීෆා වරයා. ඔහු ප්‍රසිද්ධ වුනේ ඉතාම බුද්ධිමත් සහ ඉතාම සාධාරන කලීෆා වරයෙක් විදිහට.
=====================================
පබළු
දවසක් මිනිස්සු දෙන්නෙක් කාන්තාරය මැදින් ගමනක් ගියා. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ළඟ පාන් ගෙඩි (ගෙඩි කිව්වට ඒ කාලයේ අරාබි ජාතිකයන් කෑවේ පැතලි පාන් වර්ගයක්) පහක් තිබුණා. අනෙක් කෙනා ළඟ පාන් ගෙඩි තුනක් තිබුණා.
ඔවුන් දෙන්නා කෑම වෙලාව ආවම ගමන නතර කරලා, ඔටුවන් ගැට ගහලා, හෙවන ඇති තැනක පලසක් එලලා කෑමට වාඩි වුනා. එතකොටම ඔවුන් දැක්කා තවත් මගියෙක් ඔටුවෙක් පිටේ ඒ මගම එන හැටි. ඔවුන් තුන්වැනි මගියාටත් කෑමට ආරාධනා කළා. තුන්වැනියාත් ඔවුන් එක්ක කෑමට වාඩි වුනා.
ඔවුන් තමන් ළඟ තිබුණ පාන් ගෙඩි අට සමානව බෙදා ගන්නේ කොහොමද කියලා කල්පනා කළා. අට තුනට බෙදන්න බෑ නොවැ. අන්තිමේ ඔවුන් තීරණය කළා හැම පාන් ගෙඩියම සමාන කොටස් තුනකට කඩන්න. ඒ විදිහට පාන් ගෙඩි අට කෑලි විසි හතරකට කඩපු ඔවුන් එක් අයෙක් කෑලි අට බැගින් කෑවා.
කෑම වේල ඉවර කරලා තුන්වැනි මගියා ඔවුන්ට ස්තූති කරලා යන්න පිටත් වුනා. යන්න කලින් ඔහු තමාගේ සත්කාරකයන් දෙන්නට තෑග්ගක් දෙන්න කල්පනා කළා.
"මම ළඟ තමුසෙලට දෙන්න කෑම මොකුත් නෑ. ඒ නිසා කෑම වේල වෙනුවෙන් තෑග්ගක් විදිහට මේ පබළු අට තියා ගන්න."
ඔහු අලංකාරව ඔප දැමූ පාට පබළු අටක් දීලා තමන්ගේ ගමන යන්න ගියා.
දැන් මේ පබළු අට බෙදා ගන්නේ කොහොමද? යාළුවෝ දෙන්නා අතරේ වාදයක් ඇති වුනා.
"මම පාන් ගෙඩි පහක් කෑමට දැම්මා. තමුසෙ දැම්මෙ තුනයි. ඒ නිසා මට පබළු පහක් ඕනෙ. තමුසෙ තුනක් ගන්නවා."
"එහෙම හරියන්නේ නෑ. අපි දෙන්නම ආගන්තුක සත්කාරය කරා. ඒ නිසා අපි පබළු හතර ගානෙ බෙදා ගමු."
ඔවුන් අතරේ දිගටම වාදය ගියා. කූෆා නගරයට එනතුරුම එකඟතාවයකට එන්න බැරි වුනා. අන්තිමේදි ඔවුන් තීරණය කළා කලීෆා වරයාට මේ නඩුව කියන්න. ඔවුන් අලී හමුවට ගිහිල්ලා, අලී සහ රැස්ව සිටි පිරිස ඉදිරියේ තමාගේ කතාව කිව්වා.
අලී සාවධානව ඔවුන්ගේ කතාවට ඇහුම් කන් දුන්නා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළා. රැස්ව සිටි පිරිස මුණු මුණු හඬින් තමාගේ අදහස් පළ කරන්න පටන් ගත්තා.
අලී අතක් ඔසවලා පිරිස නිහඬ කළා. ඔහු තීන්දුව දෙන්න සූදානම්.
"පළමුවැන්නාට පබළු හතක් හිමි වෙන්න ඕනේ. දෙවැන්නාට එක පබළුවයි."
පිරිසට විමතියෙන් එකිනෙකාගේ මූණු බැළුවා. අලීට වැරදුනාවත් ද?
"කලීෆා තුමනී, අපිට මේ තීන්දුව තේරෙන්නේ නෑ"
අනුගාමිකයෙක් කිව්වා.
"පාන් කෑලි විසි හතරක් තිබුණා. තුන් දෙනාම පාන් කෑලි අට බැගින් කෑවා. පාන් කෑළි විසි හතරෙන් කෑලි පහළොවක් පළමුවැන්නා ගේ. නවයක් දෙවැන්නාගේ. ඒ කියන්නේ පළමුවැන්නා තමාගේ කෑලි හතක් ආගන්තුකයාට දීලා තියෙනවා. දෙවැන්නා දීලා තියෙන්නේ එකයි."
=====================================
බෙදිල්ල
දවසක් අලී ගේ අනුගාමිකයෙක් ඔහුට ගණිත ගැටළුවක් ඉදිරිපත් කළා.
"කලීෆාතුමනී, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 යන සංඛ්‍යයා වලින් ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකද්ද?
අලී තමාගේ රැවුල අතගාලා උත්තර දුන්නා.
"අවුරුද්දකට තියෙන දවස් ගාන සතියකට තියෙන දවස් ගානෙන් වැඩි කරන්න. ඔබට පිළිතුර ලැබෙයි."
(අරාබි කැලැන්ඩරයට අනුව අවුරුද්දකට තියෙන්නේ දවස් 360 යි. එතකොට උත්තරය වෙන්නේ 360 x 7 = 2520)
=====================================
ඔටුවන් බෙදපු හැටි
දවසක් නගරයේ වෙළඳපොළේ මහ කලබගෑනියක්. ඔටුවන් විකුණන වෙළෙන්දෝ තුන් දෙනෙක් ඔටුවන් බෙදා ගන්න බැරුව වාද කරනවා.
වෙළඳාමට කලින් ඔවුන් ඇති කර ගත්ත එකඟතාවය අනුව ඔටුවන් බෙදා ගන්න ඕනේ පළවැනියාට ඔටුවන්ගෙන් බාගයකුත්, දෙවැනියාට ඔටුවන්ගෙන් තුනෙන් එකකුත්, තුන්වැනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකකුත් ලැබෙන විදිහට. ඒත් ඔවුන් ළඟ හිටියේ ඔටුවන් දහ හතක්. එකඟතාවයට අනුව ඔටුවන් බෙදාගන්න හැටි තමයි ඔවුන් වාද කළේ.
මේ වෙලාවේ අලී තමාගේ ඔටුවා පිටින් එතැනින් යන්න ගියා. කලබගෑනිය දැකලා ඔහු එතැනට ගියා. හැමෝම අයින් වෙලා කලීෆාවරයාට ඉඩ දුන්නා.
අලී මුලින්ම සාවධානව වෙළෙන්දන්ගේ කතාවට ඇහුම්කන් දුන්නා. ඊට පස්සෙ ඔහු ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළා. ඊට පස්සෙ ඔහු හිස ඔසවලා වෙළෙන්දන් තුන් දෙනා දිහා බැළුවා.
"මට අද ත්‍යාගශීලී බවක් දැනෙනවා. මම කැමතියි මගේ ඔටුවා ඔබට තෑගි දෙන්න."
ඔහු තමාගේ ඔටුවා ඔටුවන් රැළට එක් කළා. දැන් ඔටුවන් දහ අටක් ඉන්නවා.
"පළවෙනියට ඔටුවන්ගෙන් බාගයයි. ඔහුට ඔටුවන් නවයක් හිමියි."
අලී පළවෙනි වෙළෙන්දාට ඔටුවන් නවයක් දුන්නා.
"දෙවෙනියාට ඔටුවන් ගෙන් තුනෙන් එකයි. ඔහුට ඔටුවන් හයක් හිමියි."
අලී දෙවෙනි වෙළෙන්දාට ඔටුවන් හයක් දුන්නා.
"තුන්වෙනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකක්. ඔහුට ඔටුවන් දෙන්නෙක් හිමියි."
අලී තුන්වෙනි වෙළෙන්දාට ඔටුවන් දෙන්නෙක් දුන්නා.
9+6+2=17. දැන් එක ඔටුවෙක්, අලීගේ ඔටුවා, ඉතුරුයි.
"ආ, එහෙනං මම මේ ඔටුවා ගන්නම්."
අලී තමාගේ ඔටුවා පිට නැගලා තමාගේ ගමන යන්න පිටත් වුනා.
=====================================
මේ කතා ඇත්තද, හදපු කතාද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් වැදගත් වෙන්නේ මේ කතා ඇත්ත වුනත් හදපු කතා වුනත්, මේ කතා අරාබි ජන සාහිත්‍යයේ නිර්මානය වීම සහ පැවත ඒම. ඊටත් වඩා වැදගත් ඔවුන් මේ කතා කලීෆා වරයාට ආරෝපණය කිරීම. අරාබි සංස්කෘතියේ ගණිතයට තිබුණු තැන ඒකෙන් අපිට පේනවා.
No comments:
Post a Comment