Sunday, July 2, 2023

අබ්ද් අල්-රහ්මන්

 

ක්‍රි.ව. 661 ඉඳන් 750 වෙනකං ඉස්ලාමීය රාජ්‍යය පාලනය කළේ උමයියා වංශයට අයත් කලීෆා වරු. ඔවුන් ගේ අගනුවර පිහිටා තිබුනේ සිරියාවේ දමස්කස් නගරයේ. මේ කාලයේ ඉස්ලාමීය රාජ්‍යය බටහිරින් අල්-අන්දලූස් (ස්පාඤ්ඤය) සිට නැගෙනහිරින් ඇෆ්ගනිස්ථානය දක්වා විහිදුනු දැවැන්ත අධිරාජ්‍යයක්. ඒක ලෝකයේ ධනවත්ම, විශාලම සහ බලවත්ම රාජ්‍යය වුනා.

ක්‍රි.ව. 731 දී උමයියා කලීෆා වරයා වුනේ "හිෂාම් ඉබ්න් අබ්ද් අල්-මාලික්". ඔහුට "මුආවියා ඉබ්න් හිෂාම්" නමින් පුතෙක් හිටියා. මුආවියා ගේ එක් බිරිඳක් උතුරු අප්‍රිකාවේ බර් බර් ජාතික කාන්තාවක්. මේ බර් බර් කුමාරියට පුතෙක් ලැබුනා. මුආවියා ඔහුට "අබ්ද් අල්-රහ්මන්" කියල නම තිබ්බා.

ක්‍රි.ව. 748 දී අබ්බාසි වාංශිකයන් උමයියා කලීෆා වරුන්ට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කළා. අබ්බාසි වංශය පැවත එන්නේ මුහම්මද් තුමාගේ මාමා කෙනෙක් වුනු අබ්බාස් ගෙන්. මේ නිසා ඔවුන්ට විශාල ජනතා සහයෝගයක් ලැබුනා. කැරැල්ල දරුණු විදිහට පැතිරිලා ගියා. ක්‍රි.ව. 750 වෙද්දී අබ්බාසි කැරලිකාරි හමුදාවන් දමස්කස් නගරය අල්ලා ගත්තා.

මේ වෙද්දී අබ්ද් අල්-රහ්මන් අවුරුදු 20 ක තරුණයෙක්. ඔහුට යහියා නම් 14 හැවිරිදි සොහොයුරෙක් සහ සොහොයුරියන් කීප දෙනක් හිටියා.

බලය අල්ලා ගත් අබ්බාසි කැරලි කරුවන් ඉතාමත් කෲර විදිහට උමයියා වංශයේ සියළුම පිරිමි සහ පිරිමි දරුවන් ඝාතනය කලා. ඒ පසුව ඇතිවිය හැකි කැරැල්ලකට බියෙන්. උමයියා වංශයට අයත් අය සොයන්න අබ්බාසි හමුදා කණ්ඩායම් මුළු සිරියාව පුරාම සැරිසැරුවා. ඔවුන්ට හමුවුන සියළුම උමයියා වාංශිකයන් කිසිම අනුකම්පාවකින් තොරන එතැනම මරා දැම්මා.

අබ්ද් අල්-රහ්මන් තමාගේ සොහොයුරා, සොහොයුරියන් සහ ග්‍රීක ජාතික සේවකයා වුනු බෙදර් සමඟ සිරියාවෙන් පලා ගියා. ඔවුන් ගැන ඉව වැටුනු අබ්බාසි හමුදා කණ්ඩයක් ඔවුන්ව ලුහුබැන්දා. අබ්ද් අල්-රහ්මන් යුප්‍රටීස් ගඟ අසබඩ තිබුණු කුඩා ගමක හැංගුනා. අබ්බාසි හමුදා සෙබළු ඔහු සොයාගෙන එන අතරේ මේ ගමටත් ආවා.

අනතුර ගැන ඉව වැටුනු අබ්ද් අල්-රහ්මන්, යහියා සහ බෙදර් යුප්‍රටීස් ගඟට පැනලා එහා ඉවුරට පීනන්න පටන් ගත්තා. යුප්‍රටීස් ගඟ විශාල ගඟක්. එහි වතුර පාර සැරයි. ඒත් මරණ බිය නිසාම ඔවුන් ඉතා අපහසුවෙන් එහා ඉවුර බලා පීනුවා. එතකොට අබ්බාසි සෙබළු ගං ඉවුරට ආවා. ඔවුන් පලායන අයට නැවත එන ලෙසත් ඉල්ලා සිටියේ අනතුරක් නොකරන බවට පොරොන්දු වෙමින්.

14 හැවිරිදි යහියා හිටියේ අධික ලෙස වෙහසට පත් වෙලා. ඔහු ආපසු හැරී මෙහා ඉවුර කරා පීනුවා. මේ බව දැකපු අබ්ද් අල්-රහ්මන් "මල්ලියේ, මම ළඟට එන්න, මම ළඟට එන්න" කියා කෑ ගැහුවා. ඒත් යහියාට එහා ඉවුරට පීනන්න තරම් ශක්තියක් තිබුනේ නෑ. ඔහු මෙහා ඉවුරට ගොඩ වුනා. ඔහු ගොඩට ආ සැනින් අබ්බාසි සෙබළු ඔහු අල්ලාගෙන හිස සිඳ දැම්මා.

යහියා ගේ හිස සුන් මල කඳ ගං ඉවුරේ දාපු අබ්බාසි සෙබළු ගඟ ඉහළට ගියේ ගඟ තරණය කරන්න සුදුසු තැනක් හොයාගෙන. ඒ අතරේ අබ්ද් අල්-රහ්මන් සහ බෙදර් එහා ඉවුරට ගොඩ වී හැකි තරම් වේගයෙන් පයින්ම පලා ගියා. අබ්බාසි සෙබළුන්ට ඔවුන්ව අල්ලා ගන්න බැරි වුනා.

මුළු මහත් උමයියා වංශයෙන්ම පණපිටින් ඉතිරි වුනේ අබ්ද් අල්-රහ්මන් පමණයි. අනෙක් සියළුම අය අබ්බාසි සෙබළුන්ගේ කඩු පතට ගොදුරු වුනා.

යුප්‍රටීස් නදිය තරණය කළ අබ්ද් අල්-රහ්මන් බෙදර් එක්ක ඉරාකය හරහා පලස්තීනයට ආවා. ඒ දුප්පත් වෙළෙන්දන් විදිහට වෙස්වලාගෙන. පලස්තීනයෙන් ඊජිප්තුවට ආපු ඔවුන් දෙදෙනා එතැනින් ගියේ "ඉෆ්‍රිකියා" ප්‍රාන්තයට (ටියුනීසියාව). අබ්ද් අල්-රහ්මන් ගේ මව නෆ්සා නම් බර් බර් ගෝත්‍රයේ කාන්තාවක්. නෆ්සා ගෝත්‍රිකයන් වාසය කලේ ඉෆ්‍රිකියා ප්‍රාන්තයේ.

ඉෆ්‍රිකියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා උමයියා වරුන්ගේ හිතවතෙක්. මේ නිසා එහිදී තමා ආරක්ෂිත වෙයි කියලා අබ්ද් අල්-රහ්මන් හිතුවා. අවුරුදු පහක දුෂ්කර ගමනකට පස්සෙ අබ්ද් අල්-රහ්මන් නෆ්සා ගෝත්‍රය වෙත ආවා. නෆ්සා ගෝත්‍රයේ නායකයෙක් ඔවුන්ට තමාගේ කූඩාරමේ නවාතැන් දුන්නා.

ඒත් ඉෆ්‍රිකියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා මේ "රාජද්‍රෝහී පලායන්නා" තමාගේ ප්‍රාන්තයේ සිටීම තමාගේ ආරක්ෂාවටත් තර්ජනයක් කියලා හිතලා රහසින්ම සෙබළ පිරිසක් නෆ්සා ගෝත්‍රය වෙත යැව්වේ අබ්ද් අල්-රහ්මන් මරා දාන්න. ඒත් ගෝත්‍ර ප්‍රධානියාගේ බිරිඳ කල්තියා සෙබළුන් පිරිස දැකලා අබ්ද් අල්-රහ්මන් සහ බෙදර් ව ඇයගේ රෙදි ගොඩක් අස්සේ හැංගුවා. සෙබළුන්ට ඔහුව හොයා ගන්න බැරි වුනා.

අබ්ද් අල්-රහ්මන් එතැනින් පලා ගියේ මොරොක්කෝවේ සෙවුටා නගරයට. සෙවුටා නගරය තියෙන්නේ මොරොක්කෝව අල්-අන්දලූස් හෙවත් ස්පාඤ්ඤයෙන් වෙන් කෙරෙන සමුද්‍ර සන්ධියේ කෙලවර. අබ්ද් අල්-රහ්මන් අදහස් කළේ අල්-අන්දලූස් කරා පලා යන්න.

අල්-අන්දලූස් කරා පලා යන්න කලින් එහි තත්වය සුරක්ෂිත කරන්න බෙදර් ව එහි යවන්න අබ්ද් අල්-රහ්මන් තීරණය කලා. මේ වන විට අල්-අන්දලූස් ප්‍රාන්තය තිබුනේ දේශපාලනික වශයෙන් අස්ථාවර තත්වයක.

අල්-අන්දලූස් ප්‍රාන්තයේ පාලකයන් සහ හමුදාවෙන් කොටසක් සමන්විත වුනේ අරාබි ජාතිකයන් ගෙන්. මේ අරාබීන් ක්වයිස් සහ යෙමනි ලෙස කඳවුරු දෙකකට බෙදී හිටියා. ඒ ඔවුන් ගේ මුල් ගෝත්‍ර වල නිජබිම් අනුව. ක්වයිස් ගෝත්‍රිකයන් ගේ නිජබිම වුනේ සිරියාව. ඔවුන් සාමාන්‍යයෙන් උමයියා වාංශිකයන්ට පක්ෂපාතී වුනා. යෙමනි ගෝත්‍රිකයන් ගේ නිජබිම වුනේ යෙමනය. ඔවුන් සාමාන්‍යයෙන් අබ්බාසි වාංශිකයන්ට පක්ෂපාතී වුනා. ඒ අතරේ හමුදාවෙන් වැඩි පිරිස සමන්විත වුනේ උතුර් අප්‍රිකානු බර් බර් ජාතිකයන් ගෙන්.

අල්-අන්දලූස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වුනේ යූසුෆ්. ඔහු සහ ඔහුගේ පුරෝහිතයා වුනු සුමයිල් අතර බලය වෙනුවෙන් සීතල යුද්ධයක් හටගෙන තිබුනා. මෙහිදී ක්වයිස් කඳවුරේ සහය සුමයිල්ට ලැබුණු අතර යෙමනි කඳවුරේ සහය ලැබුනේ ‍යූසුෆ්ට.

ක්වයිස් ගෝත්‍රිකයන් සාමාන්‍යයෙන් උමයියා වරුන්ට පක්ෂපාත නිසා බෙදර් මුලිම ගියේ ක්වයිස් ගෝත්‍රික හමුදා ප්‍රධානීන් ළඟට. හමුදා ප්‍රධානීන් තුන් දෙනෙක් අබ්ද් අල්-රහ්මන්ට ආරක්ෂාව සපයන්න කැමති වුනා. ඊළඟට බෙදර් ඔවුන් සමඟ සුමයිල් හමුවට ගියා.

ඒත් නොසිතූ විදිහට සුමයිල් ඔවුන්ට ආරක්ෂාව දෙන්න ප්‍රතික්ෂේප කලා. ඒ අබ්ද් අල්-රහ්මන් තමාගේ දේශපාලන අභිලාෂයන්ට හරස් වෙයි කියලා බයෙන්. ඒ විතරක් නෙවෙයි, අබ්ද් අල්-රහ්මන් අල්-අන්දලූස් ප්‍රාන්තයට ගොඩ බැස්සොත් ඔහුව වහාම මරා දමන බවට සුමයිල් තර්ජනය කලා.

මේ නිසා බෙදර් අකැමැත්තෙන් යෙමනි ගෝත්‍රික හමුදා ප්‍රධානීන් හමුවට ගියා. යෙමනි ගෝත්‍රිකයන් අබ්බාසි වරුන්ට පක්ෂපාත නිසා බෙදර් ගත්තේ විශාල අවදානමක්. ඒත් සුමයිල් ගේ බලය මැඩපවත්වන්න යූසුෆ් අපොහොසත් වුනු නිසා යෙමනි හමුදා ප්‍රධානින් හිටියේ යූසුෆ් ගැන නොසතුටෙන්. අබ්ද් අල්-රහ්මන්ට ආරක්ෂාව දුන්නොත් ඒ හරහා සුමයිල් බලයෙන් ඉවත් කරන බව බෙදර් ඔවුන්ට පොරොන්දු වුනා. නොසිතූ විදිහට අබ්බාසි හමුදා ප්‍රධානින් අබ්ද් අල්-රහ්මන්ට ආරක්ෂාව දෙන්න කැමති වුනා.

ආපසු සෙවුටා වෙත පැමිණි බෙදර් තමාගේ සැලසුම් අබ්ද් අල්-රහ්මන්ට කියා සිටියා. ඉතාම සතුටු වුනු අබ්ද් අල්-රහ්මන් වහාම අල්-අන්දලූස් බලා යන්න සූදානම් වුනා.

ඒත් ඔවුන් බෝට්ටුවට නගිද්දිම ඒ ප්‍රදේශයේ සිටි බර් බර් ගෝත්‍රිකයන් පිරිසක් බෝට්ටුව වටකරලා ඔවුන්ට පිටත් වෙන්න දෙන්න බැරි බවත්, පිටත් වෙන්න අවශ්‍යය නම් මුදල් ලබා දිය යුතු බවටත් තර්ජනය කලා. අබ්ද් අල්-රහ්මන් සතුව තිබුනේ සුළු මුදල් ප්‍රමානයක්. ඒ සියල්ලම බර් බර් ගෝත්‍රිකයන්ට දෙන්න ඔහුට සිදු වුනා. ඒ පිරිස ඉවත්ව යනවාත් සමඟම තවත් ගෝත්‍රිකයන් පිරිසක් ආයෙත් බෝට්ටුව වට කලේ ඔවුන්ටත් මුදල් ලබා දිය යුතු බව කියමින්. අබ්ද් අල්-රහ්මන් ළඟ මුදල් නොතිබුනු නිසා ඔහු බලෙන්ම බෝට්ටුව දියත් කලා. එක් බර් බර් ගෝත්‍රිකයෙක් බෝට්ටුව තදින් අල්ලා ගත්තේ ඔවුන්ට පිටත් වෙන්න බැරි විදිහට. අබ්ද් අල්-රහ්මන් කඩුව අරගෙන බර් බර් ජාතිකයාගේ දෑත වෙන්වී යන පරිදි කපා දැම්මා. දෑතම සිඳී ගිය බර් බර් ජාතිකයා වෙරළේ ඉතුර් වෙද්දී බෝට්ටුවේ සවි වී තිබූ ඔහුගේ අත් දෙකත් එක්කම අබ්ද් අල්-රහ්මන් ගේ බෝට්ටුව අල්-අන්දලූස් බලා ගියා.

අල්-අන්දලූස් වලදී අබ්ද් අල්-රහ්මන්ට උදාවුනේ වාසනාවක්. ඒ උතුරේ ඇතිවුනු කැරැල්ලක් මැඩ පවත්වන්න යූසුෆ් සහ සුමයිල් දෙදෙනාම උතුරට ගිය නිසා. ඔවුන් නැති වුනු අවසරයෙන් අබ්ද් අල්-රහ්මන් ඔහු සමඟ එක්වුනු ක්වයිස් හමුදා ප්‍රධානීන් තිදෙනා සහ යෙමනි හමුදා ප්‍රධානීන් සමඟ හමුදාවක් එක් රැස් කලා.

මෙහිදී අබ්ද් අල්-රහ්මන්ට වාසියකට හිටියේ ඔහුගේ මව බර් බර් ජාතිකයෙක් වීම. පාලක අරාබීන් ගැන නොසතුටෙන් සිටි බර් බර් ජාතිකයන් මේ බාගයක් බර් බර් වුනු කුමාරයා ගේ හමුදාවට කැමැත්තෙන්ම එක් වුනා.

උතුරේ සිට ආපසු පැමිනි යූසුෆ් සහ සුමයිල් තමාගේ එදිරිවාදිකම් අමතක කර පොදු සතුරා වුනු අබ්ද් අල්-රහ්මන්ට එරෙහිව සටනට පැමිණියා. ගුවාඩල්කුයිවීර් ගඟ අසලදී හමුදාවන් දෙක මුණ ගැසුනා.

අබ්ද් අල්-රහ්මන් ගේ හමුදාව කුසගින්නේ සිටින බව දැනගත් යූසුෆ් ඔවුන්ට පෙනෙන විදිහට තමාගේ හමුදාවට විශාල භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. මේ "සන්දර්ශනයෙන්" සිද්ධ වුනේ අබ්ද් අල්-රහ්මන්ගේ හමුදාව කෝපයට පත් වීම.

ඒ අතරේ අබ්ද් අල්-රහ්මන් සමඟ සිටි යෙමනි හමුදා ප්‍රධානීන් අබ්ද් අල්-රහ්මන් ඉස්තරම්ම ස්පාඤ්ඤය අසෙකු පිට නැගී සිටිම ගැන සිටියේ නොසතුටෙන්. "ඒ අශ්වයා පළා යන්න කදිම සතෙක්" ඔවුන් කියා සිටියා.

මේ ගැන කණ වැටුනු අබ්ද් අල්-රහ්මන් කොටළුවෙක් පිට නැගී සිටි යෙමනි හමුදා ප්‍රධානියෙක් වෙත තම අසු එලවාගෙන ගියා.

"යාළුවා, මේ අශ්වයා ටිකක් මුරණ්ඩුයි වගේ. මට ඌව පාලනය කරන්න අමාරුයි. තමුසෙ මේ අශ්වයා ගන්නවා. තමුසෙගෙ කොටළුවා මට දෙනවා."

මුළු හමුදාවම බලාගෙන සිටියදී අබ්ද් අල්-රහ්මන් කොටළුවා පිට නැගී හමුදාවේ පෙරමුණ ගත්තා. මේ ක්‍රියාවෙන් යෙමනි හමුදා ප්‍රධානීන් සහ හමුදාව අබ්ද් අල්-රහ්මන් ගැන අතිශයින් පැහැදුනා. ඔවුන් එකාමෙන් ඉදිරියට ගිහින් යූසුෆ් ගේ හමුදාවට දරුණු පරාජයක් අත් කර දුන්නා.

සුමයිල් අල්ලා ගැනුනු අතර, ඔහු සිරගත කෙරුනා. පලා ගිය යූසුෆ් ටොලේඩෝ නගරය වෙත ගියා. එහිදී ඔහු අල්ලා ගත් නාගරිකයෝ ඔහුගේ හිස කපා අබ්ද් අල්-රහ්මන් වෙත එව්වා. අබ්ද් අල්-රහ්මන් එය කොර්දෝබා නගරයේ පාලමක තබා ඇණ ගැසුවා.

අල්-අන්දලූස් ප්‍රාන්තයේ පාලනය අතට ගත් අබ්ද් අල්-රහ්මන් එය අබ්බාසි පාලනය යටතේ පැවති ඉස්ලාමීය රාජ්‍යයෙන් වෙන් කර වෙනම රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශ කොට තමාව එහි එමීර් වරයා ලෙස පත් කර ගත්තා. මෙය ඉස්ලාමීය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වෙන්නේ කලීෆා වරයාගේ පාලනයෙන් ගිලිහුනු ස්වාධීන ඉස්ලාමීය රාජ්‍යයක් ඇතිවුනු පළමු අවස්ථාව මෙය නිසා.

අබ්ද් අල්-රහ්මන් මිය ගියේ ක්‍රි.ව. 788 දී. ඔහු වසර 32 ක් "කොර්දෝබා හි එමීර්" තනතුර දරමින් ස්වාධීන රාජ්‍යයක් ලෙස අල්-අන්දලූසය පාලනය කළා. ඔහුගෙන් පසුව උමයියා වාංශිකයන් ක්‍රි.ව. 1031 වන තුරු "කොර්දෝබා හි එමීර්" තනතුර දැරුවා. ඔවුන්ගේ පාලන සමයේදී අල්-අන්දලූසය බලයෙන්, ධනයෙන් සහ දැණුම ගවේෂනය අතින් ඉස්ලාමීය ලෝකයේ ඉතාම ඉදිරි තැනක් ඉසිලුවා. ඉබ්න් අරාබි, ඉබ්න් රුෂ්ද්, ඉබ්න් තුෆයිල් වගේ ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයන් රැසක් අල්-අන්දලූසයෙන් බිහි වුනා.

අබ්බාසි කලීෆා වරුන්ට කිසිම දිනෙක අල්-අන්දලූසයේ තමාගේ බලය පවත්වන්න නොහැකි වුනා.

No comments:

Post a Comment