Sunday, July 2, 2023

ඒබ්‍රහමික ආගම්

 


ඒබ්‍රහමික ආගම් කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් කියන ආගම් තුනට (තව සුළු ආගම් කීපයක් තියෙනවා ඒබ්‍රහමික ගණයට වැටෙන. ඒවා නොසලකා හැරිය හැකි තරම් කුඩායි.)
 

අතීත සහ වර්තමාන ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් අදහන්නේ ඒබ්‍රහමික ආගම් නිසා මේක ලෝක ඉතිහාසය පැත්තෙන් බැළුවම ඉතාම වැදගත් සංසිද්ධියක්. ඒ වගේම ලෝක ඉතිහාසයේ වඩාත්ම වැඩි බලපෑමක් කළ අදහස් පද්ධතියක්.
 

මේවා "ඒබ්‍රහමික" ආගම් කියල හඳුන්වන්නේ මේ ඇදහීම් ක්‍රමය පටන් ගත්ත පුද්ගලයා විදිහට ඒ ආගම් වල සැලකෙන්නේ ඒබ්‍රහම් කියන පුද්ගලයා නිසා. ඒබ්‍රහම් කියන්නේ ඇත්තටම ජීවත් වුනු කෙනෙක්ද කියන එක විවාදාත්මකයි.
 

ඒබ්‍රහමික ආගම් වල පදනම් අදහස තමයි "ලෝකය මවපු සහ පවත්වාගෙන යන සර්ව බලධාරී එක දෙවියෙක් සිටී" කියන එක. ඒ දෙවියන් නැමදීම සහ ඒ දෙවියන් විසින් පනවන ලද නීති වලට අනුව ජීවත් වීම ඒබ්‍රහමික ආගම් වලින් බලාපොරොත්තු වෙනවා. ඒ දෙවියන් ගේ පණිවුඩ මිනිස් වර්ගයාට ලබා දෙන දිවැසිවරු පිළිබඳ විශ්වාසයකුත් ඒබ්‍රහමික ආගම් වල තියෙනවා.
 

යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් මේ මූලික අදහස් වලින් බොහෝ දුරට සමානයි. ඒත් තවත් බොහෝ කරුණු වලින් වෙනස්.


දෙවියන් ගේ නම

යුදෙව් ආගමේ දෙවියන් හඳුන්වන්නේ "එලොහීම්" කියන හීබෲ වචනයෙන්. එලොහීම් කියන්නේ දෙවියන් ගේ තනතුර හෙවත් ටයිටල් එක. දෙවියන් ගේ පුද්ගලික නම උච්චාරනය කිරීමට කිසිවෙකුටත් අවසර නෑ. ඒක "යහ්වෙහ්" කියන හීබෲ අකුරු හතරෙන් සංකේතවත් කෙරෙනවා.

බයිබලය ග්‍රීක් බසට පර්වර්තනය වෙද්දී එලොහීම් යන්න "තියොස්" ලෙසත්, යහ්වෙහ් යන්න "කුරියොස්" ලෙසත් පරිවර්තනය කෙරිලා තියෙනවා. ලතින් බසට එද්දි තියොස් "දෙවුස්" විදිහටත්, යහ්වෙහ් "ජෙහෝවා" විදිහටත් පරිවර්තනය වෙනවා. ඉංග්‍රීසියට එද්දි දෙවුස් "ගෝඩ්" වෙන අතර, යහ්වෙහ්
"ලෝර්ඩ්" වෙනවා.

ඉස්ලාමයේ දෙවියන් හඳුන්වන්නේ පාවිච්චි වෙන්නේ "අල්ලාහ්" යන අරාබි වචනය. මේක "අල්-ඉලාහා" හෙවත් "එක දෙවියන්" (the God) කියන එකේ කෙටි වීමක්. දෙවියන් ගේ පුද්ගලික නමක් ඉස්ලාමයේ එන්නේ නෑ.


දෙවියන් ගේ සොබාවය

යුදෙව් ආගමේ එන දෙවියන් බොහෝ දුරට සං‍යුක්ත දෙවි කෙනෙක්. දෙවියන් මිනිසා (ආදම් සහ මෝසස්) එක්ක කතා කරනවා. දෙවියන් ගේ අඩි ශබ්ධය ආදම්ට ඇහෙනවා. දෙවියන් ගේ ස්වරූපයක් වලා සහ අකුණු විදිහට මිනිසාට පේනවා.

ක්‍රිස්තියානියේ එන දෙවියන් ඊට වඩා වියුක්තයි. ක්‍රිස්තියානියට අනුව දෙවියන් ගේ ස්වරූපයන් තුනක් තියෙනවා (පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මය). මෙහිදී පියා ලෝකයත් එක්ක ගනුදෙනු වෙන ස්වරූපය වෙන අතර, පුත්‍රයා කියන්නේ ජේසුස් වහන්සේ විදිහට මනුෂ්‍ය වෙසින් ලෝකයට එන ස්වරූපය. ශුද්ධාත්මය කියන්නේ දෙවියන් ගේ අතිශය වියුක්ත ස්වරූපය.

ඉස්ලාමයේ එන දෙවියන් අතිශයින් වියුක්තයි. කිසිම අවස්ථාවක දෙවියන් මිනිසා සමඟ "එකට එක" ගනුදෙනු කරන්නේ නෑ. මුහම්මද් තුමාට පවා පණිවුඩ ලැබෙන්නේ ජිබ්‍රායීල් නම් දේව දූතයා හරහා. ඉස්ලාමයට අනුව දෙවියන් ගේ ස්වරූපයක් සිතේ මවා ගැනීමට උත්සහ කිරීම පවා නිෂ්ඵලයි.


ආගමික ශුද්ධ ග්‍රන්ථ

යුදෙව් ආගමේ ශුද්ධ ග්‍රන්ථය විදිහට සැලකෙන්නේ "තනකා" ලෙස හැඳින්වෙන ග්‍රන්ථ එකතුව. මේවා (බොහෝ විට ක්‍රිස්තියානින් විසින්) "යුදෙව් බයිබලය" සහ "පැරණි තෙස්තමේන්තුව" යන නම් වලිනුත් හැඳින්වෙනවා. තනාකා ලියල තියෙන්නේ හීබෲ භාෂාවෙන්.

ක්‍රිස්තියානි ආගමේ ශුද්ධ ග්‍රන්ථට විදිහට සැලකෙන්නේ බයිබලය. බයිබලය කියන්නේ යුදෙව් බයිබලය සහ ඒකට පසුව එකතු කළ කොටස් කීපයක්. යුදෙව් බයිබලය "පැරණි තෙස්තමේන්තුව" ලෙසත්, පසුව එකතු කළ කොටස් "නව තෙස්තමේන්තුව" ලෙසත් හැඳින්වෙනවා. බයිබලය මුලින් ග්‍රීක බසින් ලියලා පසුව ලතින් සහ වෙනත් භාෂා වලට පරිවර්තනය කෙරිලා තියෙනවා.

ඉස්ලාම් ආගමේ ශුද්ධ ග්‍රන්ථය වෙන්නේ කුරානය. කුරානය ලියලා තියෙන්නේ අරාබි බසින්. ක්‍රිස්තියානින් විසින් තනකාව සම්පූර්ණයෙන්ම පිළිගත්තත් මුස්ලිමුන් බයිබලය හෝ තනකාව සම්පූර්ණයෙන් පිළිගන්නේ නෑ.


දිවැසිවරු

යුදෙව් ආගමේ දිවැසිවරු විශාල ප්‍රමානයක් ඉන්නවා. ඔවුන් ගේ පණිවුඩ තනකාවේ සඳහන් වෙනවා.

ක්‍රිස්තියානින් යුදෙව් දිවැසිවරු සියල්ලන්ම පිළිගන්නවා. ඊට අමතරව ජේසුස් වහන්සේ අවසාන දිවැසිවරයා ලෙස පිළිගන්නවා. ජේසුස් වහන්සේ දෙවියන්ගේ එක් ස්වරූපයක් කියල සලකන නිසා එතුමන්ට අනෙක් දිවැසිවරුන්ට වඩා සුවිශේෂී තැනක් හිමිවෙනවා.

මුස්ලිමුන් යුදෙව් දිවැසිවරු සහ ජේසුස් වහන්සේව පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ පණිවුඩ ලෙස තනකාවේ සහ බයිබලයේ ඇති දේ පිළිගන්නේ නෑ. ඒ ඒවා විකෘති වී ඇතැයි ඔවුන් සලකන නිසා. ඉස්ලාම් ආගමේ ජේසුස් වහන්සේට සුවිශේෂී තැනක් දෙන්නේ නෑ. එතුමාත් තවත් එක් දිවැසිවරයෙක් පමණයි. අවසාන දිවැසිවරයා වශයෙන් මුහම්මද් තුමා පිළිගැනෙන අතර ඔහුට සුවිශේෂී තැනක් නොලැබුනත්, වඩාත්ම ගරු කරන දිවැසිවරයා වෙන්නේ මුහම්මද් තුමා.


ආගමේ ප්‍රභවය සහ විකාශය

යුදෙව් ආගම උපත ලබන්නේ එකල කනානය ලෙස හැඳින්වුන වර්තමාන පලස්තීනය/ඊශ්‍රායලය අයත් ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ එකල පැවතුනු ආගම වුනු "කනානීන ආගම" නම් බහුදේව වාදී ආගම ඒක දේව වාදී ආගමක් බවට පරිවර්තනය වීමෙන් යුදෙව් ආගම උපත ලබනවා. යුදෙව් ආගම සොබාවයෙන් "මැදපෙරදිග ආගමක්".

ක්‍රිස්තියානි ආගම උපත ලබන්නේ "යෙහෙෂුවා" නම් යුදෙව් ආගමික ගුරුවරයෙක් ගේ ඉගැන්වීම් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ශිෂ්‍යයන් විසින් විකාශයන කිරීමෙන්. රෝම පාලකයන් යොහොෂුවා කුරුසියේ ඇණ ගසා මරා දැමූ පසු ඔහුගෙ ගෝලයන් යොහොෂුවා දෙවියන්ගේ එක් ස්වරූපයක් බව සහ මනුෂ්‍ය වර්ගයාගේ සියළු පව් වෙනුවෙන් ඔහු දිවිපිදූ බව අදහස් නිර්මාණය කළා. මේ ක්‍රිස්තියානි ආගමේ උපතයි. ක්‍රිස්තියානි ආගම උපත ලබන්නේ ඊශ්‍රායලයේ වුනාට වර්ධනය වෙන්නේ මුලින් ග්‍රීසිය ආශ්‍රිත නැගෙනහිර යුරෝපයේ සහ පසුව රෝමය ආශ්‍රිත බටහිර යුරෝපයේ. මේ නිසා ග්‍රීක/රෝම පූර්ව ක්‍රිස්තියානි ආගම් වල ආභාෂය ඒකට තදින් ලැබිලා තියෙනවා. ක්‍රිස්තියානි ආගම සොබාවයෙන් "යුරෝපීය ආගමක්".

ඉස්ලාම් ආගම උපත ලබන්නේ අරාබියේ. මේ කාලයේදී අරාබියේ පැවති ප්‍රධාන ආගම ඒක දේව වාදයේම විකෘතියක්. ඒ වගේම ඒ කාලයේ අරාබියේ (වර්තමානයෙ දක්නට නොලැබෙන) විවිධ ක්‍රිස්තියානි නිකායන් පැතිර තිබුනා. ඉස්ලාම් ආගම සොබාවයෙන් "මැදපෙරදිග ආගමක්".


තෝරා ගත් ජනවර්ගයක් පිළිබඳ අදහස

යුදෙව් ආගමේ පදනම වෙන්නේ යුදෙව්වන් කියන්නේ දෙවියන් විසින් තෝරාගත් ජනවර්ගයක් කියන අදහස. දෙවියන් ගේ තෝරාගත් ජනවර්ගය විදිහට ඔවුන්ට විශේෂ වරප්‍රසාද වගේම විශේෂ වගකීම් තියෙනවා. මේ තෝරාගත් ජනවර්ගයට වාසය කිරීම සඳහා ඊශ්‍රායලය නම් පොරොන්දු දේශයක් දෙවියන් විසින් ලබා දෙනවා.

ක්‍රිස්තියානි ආගම තෝරාගත් ජනවර්ගයක් ගැන සලකන්නේ නෑ. ඇත්තෙන්ම ක්‍රිස්තියානි ආගම කියන්නේ සියළුම ජනවර්ගයන්ට ගැලපෙන ලෙස සකස් කරගත් යුදෙව් ආගම කියල සලකන්න පුළුවන්. ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් කිසිම ජනවර්ගයකට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑ.

ඉස්ලාම් ආගමටත් තෝරාගත් ජනවර්ගයක් ගැන සලකන්නේ නෑ. ඉස්ලාමයේ පණිවුඩය අරාබි ජනවර්ගය අතරට අරාබි භාෂාවෙන් පැමිණියත්, ආගම සහ දෙවියන් ඉදිරියේ සියළු ජනයා සැලකෙන්නේ සමානව.


ආගමික නීති රීති

යුදෙව් ආගමට අනුව දෙවියන් නීති රීති 613 ක් පනවා තියෙනවා. මින් ප්‍රධාන නීති 10 ක් "දස පනත" ලෙස හැඳින්වෙනවා. සියළුම යුදෙව්වන් තදින්ම මේ නීති වලට අනුව ජීවත් විය යුතු බව විශ්වාස කෙරෙනවා. මේ දෙවියන් සහ මිනිසා අතර ඇති කරගත් ගිවිසුමක්. නමුත් සමහර පසුකාලීන යුදෙව් නිකායන් මේ නීති ලිහිල් කරලා ඒ අනුව ජීවත් වීම අනිවාර්‍යය නොවන බව සඳහන් කරනවා.

ක්‍රිස්තියානි ආගම යුදෙව් ආගමේ නීති *සාමාන්‍යය වශයෙන්* පිළිගත්තත් (විශේෂයෙන්ම දස පනත) සියළුම නීති අකුරටම පිළිපදින්න අවශ්‍යය යැයි විශ්වාස කරන්නේ නෑ. ඒ ජේසුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම මගින් දෙවියන් සහ මිනිසා අතර නව ගිවිසුමක් ඇති කරගත් බව ඔවුන් විශ්වාස කරන නිසා. මේ නව ගිවිසුමට අනුව ජේසුස් වහන්සේගේ දිවි පිදීම විශ්වාස කිරීම සහ "යහපත් ජීවිතයක්" ගත් කිරීම ප්‍රමානවත්.

ඉස්ලාම් ආගම යුදෙව් නීති පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් මුහම්මද් තුමා හරහා දෙවියන් ලබාදුන් නව නීති සමුදායක් පිළිපදිනවා (නමුත් බොහෝ ඉස්ලාමීය නීති යුදෙව් නීති වලට ගොඩක් සමානයි). ඉස්ලාමයට අනුව මේ නීති සියල්ලම අකුරටම පිළිපැදීම අවශ්‍යයි.


දේශපාලනික සං‍රචකය

යුදෙව් ආගම ඉතා දැඩි ලෙස දේශපාලනිකයි. යුදෙව් ආගමේ පදනම් සංකල්පයක් වෙන්නේ දෙවියන් විසින් යුදෙව්වන්ට "ඊශ්‍රායලය" නම් දේශයක් ලබා දීම. මේ දේශය පවත්වාගෙන යාම පිළිබඳ උපදෙස් යුදෙව් ආගමට ඇතුළත් වෙනවා.

ක්‍රිස්තියානි ආගම දේශපාලනික වෙන්නේ නෑ. ක්‍රිස්තියානි ආගමේ සම්පූර්න අවධානය යොමු වෙන්නේ පුද්ගලයා පිළිබඳව. මේ නිසා ක්‍රිස්තියානිය "පුද්ගලික ආගමක්" කියලා සලකන්න පුළුවන්.

ඉස්ලාමයේත් මූලික අවධානය යොමු වෙන්නේ පුද්ගලයා පිළිබඳව. නමුත් ඉස්ලාමීය අදහස් මත රාජ්‍යයක් පිහිටුවීම සහ ඒ රාජ්‍යය පවත්වාගෙන යාම පිළිබඳ අදහස් ඉස්ලාමයට ඇතුළත්. නමුත් යුදෙව් ආගමේ වගේ ඒක අනිවාර්‍යය අංගයක් හෝ නිශ්චිත දේශයක් පිළිබඳ අදහසක් නෙවෙයි.


ගැලවීම

යුදෙව් ආගමට අනුව තනි පුද්ගලයාගේ ගැලවීමට වඩා අවධානය ලැබෙන්නේ රාජ්‍යයක් වශයෙන් ඊශ්‍රායලයේ පැවැත්ම පිළිබඳ. තනි පුද්ගලයාගේ ගැලවීම තියෙන්නේ දෙවියන් ගේ නීති වලට අනුව ඊශ්‍රායලය පවත්වාගෙන යාම තුළ.

ක්‍රිස්තියානියට අනුව ගැලවීම සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ ජේසුස් වහන්සේ විසින් කුරුසිය මත සිදුකළ කැපකිරීම පිළිබඳ විශ්වාසය තැබීම මත. ඒ අනුව යමෙක් තමා කළ පාපයන් පිළිබඳ සැබැවින්ම පසුතැවී ජේසුස් වහන්සේ පිළිබඳ විශ්වසය තැබීමෙන් ඔහුගේ පව් වලට සමාව ලැබෙනවා.

ඉස්ලාමයට අනුව ගැලවීම සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ තමා මෙලොව ජීවත් වන ආකාරය අනුව. තමා සිදු කරන සෑම පාපයකටම අවසන් විනිශ්චය අවස්ථාවේ වගකීමට සිදුවන අතර, පාපයන්ට සමාව ලැබීමට ඇති එකම ක්‍රමය ඒ වෙනුවට යහපත් ක්‍රියා කිරීම.


සංස්කෘතික සං‍රචකය

යුදෙව් ආගම යුදෙව් සංස්කෘතිය සමඟ ඉතා තදින් බැඳී තියෙනවා. මේ බැඳීම කොතරම් ප්‍රභලද යතොත්, සංස්කෘතික යුදෙව්වෙක් නොවී කෙනෙක්ට යුදෙව් ආගම අදහන්න බෑ.

ක්‍රිස්තියානිය සංස්කෘතියෙන් සම්පූර්නයෙන්ම වාගේ ස්වායත්තයි. ඕනෑම සංස්කෘතියක කෙනෙක්ට ක්‍රිස්තියානි ආගම අදහන්න පුළුවන්.

ඉස්ලාම් ආගමත් මූලධාර්මිකව සංස්කෘතියෙන් ස්වායත්තයි. නමුත් ප්‍රායෝගිකව ඉස්ලාම් ආගම ඇදහීමේදී අරාබි සංස්කෘතික බලපෑම යම් දුරකට ඇතිවෙනවා. ඒ ඉස්ලාමයේ ආගමික නීති මගින් අරාබි සංස්කෘතිය දැඩි ලෙස හැඩගස්වා ඇති නිසා ඒ දෙක වෙන් කර ගත නොහැකි ලෙස එකට බැඳී ඇති හෙයින්.


සාරාංශගත කිරීමක් විදිහ ගත්තොත්, ඉස්ලාමය කියන්නේ යුදෙව් ආගමේම දිගුවක් විදිහට සලකන්න පුළුවන් අතර, ක්‍රිස්තියානිය කියන්නේ යුදෙව් ආගමේ අපගමනයක් (offshoot) විදිහට සලකන්න පුළුවන්.

No comments:

Post a Comment