"ඒබ්‍රහමික දෙවියන් හඳුන්වන නම" බැලූ බැල්මට සරළ වගේ පෙනුනට ඉතාමත් සංකීර්න මාතෘකාවක්.
යුදෙව් ආගම
ඒබ්‍රහමික ආගම් වල මූලය වෙන යුදෙව් ආගමේ දෙවියන් හඳුන්වන ආකාර කීපයක් තියෙනවා.
එලෝහිම්
මූලික ස්වරූපය තමයි "එලෝහිම්". එලෝහිම් කියන්නේ හීබෲ භාෂාවෙන් "දෙවියන්" කියන තේරුම ඇති "එල්" කියන වචනයේ බහුවචන ස්වරූපය. මේක බහුවචන ස්වරූපයෙන් දක්වලා තියෙන්නේ ගෞරවාර්ථයෙන්. ඒ නිසා "එලෝහිම්" කියන එක "දෙවියන්" කියලා සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.
හීබෲ භාෂාවෙන් ඕනෑම දෙවි කෙනෙක් හඳුන්වන්නේ "එල්" නමින්. උදාහරණයකට රෝම දෙවියෙක් වෙන ජුපිටර්ව හීබෲ භාෂාවෙන් "එල්" කියලා හඳුන්වන්න පුළුවන්. මේ නිසා "එලෝහිම්" කියන්නේ යුදෙව් ආගමේ එන එක දෙවියන් හඳුන්වන පදවි නාමය හෙවත් title එක.
යහ්වෙහ්
බයිබලයේ එන කතාවට අනුව දෙවියන් මුල් කාලයේදී හැඳින්වන්නේ එලෝහිම් කියලා පමණයි. ඊශ්‍රායල් වැසියන් සමඟ ඊජිප්තුවෙන් පලා එන අතරමගදී මෝසෙස් දෙවියන් ගෙන් මෙහෙම අහනවා.
"මම ඊශ්‍රායල් වැසියන් අමතා 'ඔබලාගේ පියවරුන් ගේ දෙවියන් මා එවන ලදී' යැයි කියද්දී 'ඒ දෙවියන් ගේ නම කුමක්දැ?' ඔවුහු මගෙන් අසති. මම ඔවුන්ට පිළිතුරු දිය යුත්තේ කෙසේද?"
(නික්මයාම 3:13)
"When I come to the Israelites and say to them, 'The God of your fathers has sent me to you,' and they ask me, 'What is His name?' what shall I say to them?"
(Exodus 3:13)
දෙවියන් ඔහුට දෙන උත්තරය ඉතාම සිත්ගන්නා සුළුයි.
"'ඒයේ-අෂෙර්-ඒයේ' දෙවියෝ ඔහුට පැවසූහ. උන්වහන්සේ තවදුරටත් කතා කරමින් 'ඒ නිසා ඔබ ඊශ්‍රායල් වරුන්ට ඒයේ විසින් මා ඔබ වෙත එවන ලදී කියා කියන්න'" යැයි පැවසූහ.
(නික්මයාම 3:14)
And God said to Moses, "Ehyeh-Asher-Ehyeh." He continued, "Thus shall you say to the Israelites, 'Ehyeh sent me to you.' "
(Exodus 3:14)
මෙතැන "ඒයේ-අෂෙර්-ඒයේ" කියන හීබෲ පදයේ නියම තේරුම විවාදාත්මකයි. වඩාත්ම පිළිගන්නා තේරුම "මම පත්වන දේ බවට මම පත්වේවි" (I will be what I will be). ඒකෙන් අර්ථවත් වෙන්නේ "මගේ සොබාවය කුමක්දැයි කියා මගේ ක්‍රියාවන් ගෙන් ඔබට වැටහේවි" කියන එක.
ඊළඟට දෙවියන් තමාගේ නම හඳුන්වාදෙන්නේ "ඒයේ" කියලා (ඒ නිසා ඔබ ඊශ්‍රායල් වරුන්ට "ඒයේ" විසින් මා ඔබ වෙත එවන ලදී කියා කියන්න). ඒයේ කියන එකේ තේරුම "මම පත්වේවි" (I will be). ඒක "ඒයේ-අෂෙර්-ඒයේ" කියන එකේ කෙටි ස්වරූපය.
ඊළඟට දෙවියන් මෝසෙස් ට තවත් විධානයක් දෙනවා.
"දෙවියෝ තවදුරටත් මෝසෙස් ට මෙසේ පැවසූහ. "එබැවින් ඔබ ඊශ්‍රායල් වරුන්ට මෙසේ පවසන්න: ' יהוה, ඔබේ පියවරුන්ගේ දෙවියන්, ඒබ්‍රහම් ගේ දෙවියන්, අයිසැක් ගේ දෙවියන්, යාකොබ් ගේ දෙවියන් මාව ඔබ වෙත එවන ලදී. මෙය සදාකාලයටම මාගේ නම වේවා!"
(නික්මයාම 3:15)
5 And God said further to Moses, "Thus shall you speak to the Israelites: The LoRD/ the God of your fathers, the God of Abraham, the God of Isaac, and the God of Jacob, has sent me to you: This shall be My name forever, This My appellation for all eternity"
(Exodus 3:15)
මෙතැන දෙවියන් තමාගේ නම විදිහට සඳහන් කරන්නේ හීබෲ අකුරු හතරක් (יהוה). ඒවා ශබ්ධ කරන විදිහ අනුව "යහවහ (YHWH)" කියලා පරිවර්තනය කරන්න පුළුවන්.
හීබෲ භාෂාවේ ප්‍රානාක්ෂර නෑ. තියෙන්නෙ ගාත්‍රාක්ෂර පමණයි. ප්‍රානාක්ෂර එකතු කරන්නේ උච්චාරනය කරද්දී. මේ නිසා YHWH කියන එකේ නියම උච්චාරනය කවුරුවත් දන්නේ නෑ. ඒක "යහ්වෙහ්" කියලා අනුමාන කරනවා.
යහ්වෙහ් කියන්නේ දෙවියන් ගේ නම. එලෝහිම් කියන්නෙ දෙවියන් ගේ තනතුර. (ජනාධිපති - තනතුර; ජෝ බයිඩන් - නම වගේ).
අදොනායි
දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට දස පනත (ten commandments) ඉදිරිපත් කරද්දී හත්වැනි පනත විදිහට දක්වන්නේ "මාගේ නම නිකරුනේ භාවිතා නොකරනු" යන්න. මේ නිසා "යහ්වෙහ්" නම උච්චාරනය කිරීමට දැඩි සීමාවක් පැනවෙනවා.
මේ සම්ප්‍රදාය පසු කාලීනව වඩාත් තීව්‍ර වීමෙන් "යහ්වෙහ්" යන්න උච්චාරනය කිරීම යුදෙව්වන් සම්පූර්නයෙන්ම නවතා දමනවා. එය උච්චාරනය කරන්නේ ඔවුන්ගේ පූජ්‍යස්ථාන වලදී විශේෂ දේව මෙහෙයන් අතරතුරදී පමණයි. ඒ දෙවියන්ට ඇති ගෞරවයේ සංකේතයක් විදිහට.
ඒ වෙනුවට යුදෙව්වන් එදිනෙදා ව්‍යවහාරයේදී "යහ්වෙහ්" වෙනුවට "අදොනායි" කියන වචනය භාවිතා කරන්න පටන් ගන්නවා. උදාහරණයකට බයිබලය කියවද්දී යුදෙව්වෙක් "YHWH" යන්න කියවන්නේ "අදොනායි" ලෙසින්.
"අදොනායි" කියන්නෙ "අදොන්" කියන හීබෲ වචනයේ බහුවචන ස්වරූපය. අදොන් කියන එකේ තේරුම "මාගේ ස්වාමියා".
ක්‍රිස්තියානිය
ක්‍රිස්තියානි ආගමේ ආගමික ග්‍රන්ථ මුලින්ම ලියැවෙන්නේ ග්‍රීක භාෂාවෙන්. පසුකාලීනව ඒවා ලතින් බසට පරිවර්තනය කෙරෙන අතර, ඊටත් පසුව ඉංග්‍රීසියට සහ වෙනත් යුරෝපියානු භාෂා වලට පරිවර්තනය කෙරෙනවා.
මේ පොත් වලදී "එලොහිම්" කියන එක පරිවර්තනය කෙරෙන්නේ "තියොස්" (Theos) කියලා. ඒකෙ තේරුම "දෙවියන්". තියොස් ලතින් බසට එද්දී "තියෝ" (Theo) වෙනවා. ඉංග්‍රීසියට එද්දී "ගෝඩ්" God වෙනවා. සිංහල බයිබල වල මේක පර්වර්තනය කරල තියෙන්නේ "දෙවියන්" කියලා.
YHWH කියන එක ග්‍රීක බසට පරිවර්තනය වෙන්නේ "කූරියොස්" (Kurios) කියලා. ඒකෙ තේරුම "ස්වාමියා". ඇත්තටම මේක "අදොනායි" කියන එකේ පරිවර්තනය. කූරියොස් කියන එක ලතින් බසට පරිවර්තනය කරන්නේ "ඩොමිනස්" (Dominus) කියලා. ඒක ඉංග්‍රීසියට එද්දී "ලෝඩ්" (Lord) වෙනවා. සිංහල බයිබල වල මේක පර්වර්තනය කරල තියෙන්නේ "සමිඳානන්" කියලා.
සමහර ලතින් කතුවරු ඩොමිනස් වෙනුවට ග්‍රීක "කූරියොස්" කියන එකෙන් බිඳ ගත්ත "කයිරී" කියන වචනය පාවිච්චි කරල තියෙනවා. තවත් සමහරු කෙලින්ම මූලයටම ගිහින් YHWH කියන එක "යෙහෝවා" නැත්තම් "ජෙහෝවා" කියල පරිවර්තනය කරලා තියෙනවා. ඒ ඇසුරෙන් යෙහෝවා/ජෙහෝවා කියන එක ඉංග්‍රීසියට සහ වෙනත් භාෂා වලට ඇවිල්ලා තියෙනවා.
ක්‍රිස්තියානින් දෙවියන් ගේ නම උච්චාරනය නොකිරීමේ නීතිය නිසාදෝ "යෙහෝවා" කියලා යොදන්නේ ඉතාම කළාතුරකින්. ඒ වෙනුවට ගෝඩ් කියන වචනය තමයි සුලභව භාවිතා කරන්නේ. සමහරු "ගෝඩ්" වෙනුවට "ගෝෂ්" වගේ ආදේශක වචන (oh my gosh) භාවිතා කරන්නේත් ඒ නීතිය නිසාවෙන්.
ඉස්ලාමය
ඉස්ලාමයේ දෙවියන්ට ඇත්තේ එකම වචනයක් පමණයි. ඒ "අල්ලාහ්".
අරාබි බසින් "දෙවියන්" කියන අරුත ඇති "ඉලාහ්" කියන වචනය සහ අරාබියේ definite article එක (ඉංග්‍රීසියේ නම් the) වෙන "අල්" කියන වචන දෙක එකතුවීමෙන් (අල්-ඉලාහ් -> අල්ලාහ්) අල්ලාහ් හැදිලා තියෙනවා. ඒකෙ තේරුම "එකම දෙවියන්" (the God).
දෙවියන්ට කියන පුද්ගලික නමක් (YHWH වැනි) ඉස්ලාමයේ එන්නේ නෑ. ඒ වෙනුවට දෙවියන් ගේ ගුණ නිරූපනය වන විරුද නම් අනූ නවයක් ඉස්ලාමයේ තියෙනවා. ඒවා හැඳින්වෙන්නේ "අස්මා උ ඉල්ලහි ඉ-හුස්නා" (දෙවියන් ගේ අලංකාර නම්) කියලා.
ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ නම් කීපයක් පහතින්:
අර්-රහ්මාන් : දයාන්විත (compassionate)
අර්-රහීම් : කාරුණික (merciful)
මාලික් : රජු (king)
අස්-සලාම් : සාමය උදා කරන්නා (giver of peace)
අල්-කුද්දුස් : ශුද්ධ වූ (holy)
අල්-මූමින් : ආරක්ෂාව සපයන්නා (provider of security)
අල්-මුහයිමින් : පාලකයා (controller)
අල්-ජබ්බාර් : සර්වබලදාරී (omnipotent)
අල්-කාලික් : නිර්මානකරු (creator)
අර්-රසාක් : සපයාදෙන්නා (provider)
No comments:
Post a Comment