හීබෲ භාෂාවෙන් "ටෙල්" කියලා හඳුන්වන්නේ දීර්ඝ කාලයක් මිනිස් වාසයන් පැවතීම නිසා ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වූ තැනකට. මේ වගේ තැනක් හැදෙන්නේ තැනි බිමක තියෙන මිනිස් ජනාවාසයක් දීර්ඝ කාලයක් තිස්සේ එක මත එක ගොඩනැගිලි ඉඳි කිරීමෙන් ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වීමෙන්. අවුරුදු දහස් ගානක් තිස්සේ ජනාවාස පැවතුනු ඊශ්‍රායලයේ මේ වගේ "ටෙල්" කියල හඳුන්වන තැන් රාශියක් තියෙනවා. වර්තමාන ඊශ්‍රායලයේ අගනුවර වන "ටෙල් අවිව්" නගරයත් ඊට උදාහරණයක්.
ඊශ්‍රායලයේ උතුරට වෙන්න තියෙනවා "ටෙල් මෙගීඩෝ" කියල හඳුන්වන පැරණි නගරයක්. මේ නගරය ඉතාම වැදගත් වෙන්නේ ඊජිප්තුව සහ ආසියාව යා කළ වෙළඳ මාර්ගය මේ නගරය අසලින් වැටී තිබීම නිසා. ටෙල් මෙගිඩෝ නගරය ක්‍රි.පූ. 5000 පමණ සිට අඛන්ඩ මිනිස් ජනාවාසයක්ව පැවතුනා.
ටෙල් මෙගීඩෝ නගරය අවට පිහිටි තැනි බිම් වලින් ඉහලට එසැවුනු තරමක් විශාල කඳු ගැටයක ස්වරූපයෙන් වර්තමානයේ දකින්න පුළුවන්.
නව තෙස්තමේන්තුව හෙවත් ක්‍රිස්තියානි බයිබලයේ අවසාන පොත වෙන්නේ "එළිදරව්ව" (Book of Revelation). මේ පොතේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෝක විනාශය ගැන. එහිදී ලෝකාවසාන සමයේ සිදුවන බිහිසුණු යුද්ධයක් ගැන කියැවෙනවා.
එළිදරව්වේ 16 වැනි පරිච්ඡේදයේ 12 සිට 16 දක්වා වන වාක්‍යයන් වෙන් වෙන්නේ මේ යුද්ධය ගැන කියන්න. එහි කියැවෙන අන්දමට,
"සය වැනි දේව දූතයා තමා අත වූ බඳුන යුප්‍රටීස් ගංගාව වෙත හැලීය. එවිට එහි ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගියේය. ඒ පෙරදිග සිට පැමිණෙන රජවරුන්ට [තමාගේ හමුදාව ගඟ තරණය කරවීමට] මග සූදානම් කළ හැකි ලෙසය." (16:12)
"මම එවිට ගෙම්බන් වැනි අශුද්ධ ආත්මයන් තුනක් මකරාගේ, මෘගයාගේ සහ ව්‍යාජ දිවැසිවරයාගේ මුවින් නික්මෙනු දුටුවෙමි." (16:13)
"ඔවුන් යක්ෂයන් ගේ ආත්මයන් ය. ඔවුන් නොයෙකුත් ප්රාතිහාර්යයන් පෑ අතර, ඒවා ලෝකයේ රජවරුන් සහ මිනිසුන් අතරට ගොස් දෙවියන් වහන්සේ ගේ විශිෂ්ඨ [යේසුස් වහන්සේ නැවත පැමිණෙන] දිනයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් ඒකරාශි කරවීය." (16:14)
"බලනු, මම සොරෙක් ලෙස ඔබ වෙත පැමිණෙමි. සූදානමින් බලාසිටින්නා සහ තමාගේ වස්ත්‍රයන් ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලද්දෝය. එසේ නොවන්නා නිරුවතින් ඇවිද යනු ලබන අතර, ඔහුගේ ලජ්ජාව ප්‍රදර්ශනය කරයි" [යේසුස් වහන්සේ කීය]." (16:15)
"එවිට ඔවුන් සියල්ලෝම හීබෲ බසින් ආමෙගඩන් නමින් හැඳින්වෙන ස්ථානයට එක් රැස් වූහ." (16:16)
මේ කියැවෙන ආකාරයට යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට ලෝකයේ සියළුම රටවල පාලකයන් එතුමන්ට එරෙහිව හමුදා රැස් කොට යුප්‍රටීස් ගංගාව තරණය කොට "ආමෙගඩන්" නමින් හැඳින්වෙන තැනකට රැස් වෙනවා. හොඳ සහ නරක අතර බිහිසුණු සටනක් මෙතැනදී සිදුවන අතර, එහිදී යේසුස් වහන්සේ තමාට එරෙහිව එන සේනාව පරදවා ජය ගැනීමට සමත් වෙනවා.
මේ "ආමෙගඩන්" නමින් ග්‍රීක් බසට පරිවර්තනය කරල තියෙන්නේ "හර් මෙගීඩෝ" කියන හීබෲ වචනය. ඒ කියන්නේ "මෙගීඩො කන්ද". එහෙම නැත්තම් ටෙල් මෙගීඩෝ නගරය.
No comments:
Post a Comment