ක්‍රිස්තියානි ආගමේ දේව ධර්මයේ එන ප්‍රධාන කරුණක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සොබාවය. මේ විෂය ක්‍රිස්තුවේදය (Christology) නමින් හැඳින්වෙනවා.
ක්‍රිස්තියානි ආගම සම්පූර්නයෙන්ම පදනම් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය, උන්වහන්සේගේ මරණය සහ නැවත උට්ඨානය වීම කියන කරුණු තුන මත. මේක ක්‍රිස්තියානි ආගම අනෙක් ඒබ්‍රහමික ආගම් දෙක වෙන යුදෙව් සහ ඉස්ලාම් ආගම් වලින් වෙනස් වෙන ප්‍රධාන කරුණ. යුදෙව් සහ ඉස්ලාම් ආගම් දෙක පදනම් වෙන්නේ දෙවියන් විසින් දිවැසිවරුන්ට (prophets) ලබා දුන් දැණුම සහ නීති රීති මත.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ නම "යේසුස්". මේක "යෙහොෂුවා" කියන හීබෲ නමේ ග්‍රීක ස්වරූපය.
මේ කාලයේ පැවති යුදෙව් ආගමික විශ්වාසයන්ට අනුව යුදෙව්වන් අතර පහළ වෙන නායකයෙක් යුදෙව් ආගම ප්‍රතිස්ථාපනය කර, ඊශ්‍රායල් වරුන් ගේ ගෝත්‍ර දොළහ නැවත ඊශ්‍රායලයට කැඳවා බලවත් සහ ධාර්මික ඊශ්‍රායල රාජ්‍යයක් නැවත ගොඩ නංවනවා. ඔවුන් මේ නායකයා හැඳින්වූයේ "මෙසියාහ්" නමින්.
යේසුස් වහන්සේ ගේ අනුගාමිකයන් විශ්වාස කළේ එතුමා යුදෙව් ආගමේ එන මෙසියාහ් බව. "මෙසියාහ්" යන හීබෲ වචනයේ ග්‍රීක පරිවර්තනය "ක්‍රිස්තෝස්". ඒක "ක්‍රයිස්ට්" විදිහට ඉංග්‍රීසියට ඇවිල්ලා තියෙනවා. එතකොට "ක්‍රිස්තුස්" කියන්නේ එතුමාගේ පදවි නාමය.
"යේසුස් ක්‍රිස්තුස්" කියන්නේ "යේසුස් නම් වූ ක්‍රිස්තුස් වරයා" (Messiah named Yehosua) කියන එක.
ක්‍රිස්තුවේදය (Christology)
ක්‍රිස්තුස් වහන්සේගේ සොබාවය පිළිබඳ වූ විෂය "ක්‍රිස්තුවේදය" (Christology) කියල හැඳින්වෙනවා. මෙහිදී කතා කෙරෙන්නේ උන්වහන්සේගේ මනුෂ්‍ය සහ දිව්‍යමය සොබාවයන් ගැන.
මෙහිදී විවිධ ක්‍රිස්තියානි නිකායන් විසින් මේ ගැන විවිධ අර්ථකතන දීලා තියෙනවා. මේ අර්ථකතන "යේසුස් වහන්සේ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක්" කියන අන්තයේ සිට "යේසුස් වහන්සේ සම්පූර්ණයෙන්ම දිව්‍යමය භූතාර්ථයක්" කියන අන්තය දක්වා දිවෙන අදහස් මාලාවක්.
මේ විවිධ අර්ථකතන මේ ආකරයට දක්වන්න පුළුවන්:
1. දිවැසිවර වාදය
2. පිළිගැනුම්වාදය (Adoptionism)
3. ද්විපුද්ගලවාදය (Dyoprosopism)
4. ද්විස්වභාවවාදය (Dyophystism)
5. ඒකීයස්වභාවවාදය (Miaphysitism)
6. ඇපොලිනරිවාදය (Apollinarism)
7. ඒකස්වභාවවාදය (Monophystism)
8. ඒරියන්වාදය (Ariyanism)
9. මායාවාදය (Docetism)
10. මාර්සියොන්වාදය (Marcionism)
දිවැසිවර වාදය
මේ මතයෙන් කියැවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ හුදෙක් දිවැසිවරයෙක් (Prophet) පමණක් කියලා. එතුමා සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක් වෙන අතර, දෙවියන් වහන්සේ ගේ පණිවුඩ ලබා ගත්ත දිවැසිවරයෙක්.
පැරණි ක්‍රිස්තියානි කණ්ඩායම් අතරින් සුළුතරයක් මේ මතය දැරූ අය. ඒ වගේම ඉස්ලාම් ආගම යේසුස් වහන්සේ ගැන දරන මතයත් මේක.
පිළිගැනුම්වාදය (Adoptionism)
පිළිගැනුම් වාදයෙන් කියැවෙන්නේ යේසුස් වහන්සේ සාමාන්‍යය මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලබා හැදී වැඩුනු අතර, එතුමාගේ ජීවිතයේ එක් තැනකදී දෙවියන් විසින් එතුමාව දිව්‍යමය තත්වයකට පත් කරනු ලැබූ බව (හෙවත්, දිව්‍යමය භූතාර්ථයක් වශයෙන් පිළිගත් බව).
මේ දිව්‍යමය තත්වයට පිළිගත් අවස්ථාව පිළිබඳ විවිධ අදහස් පළවෙනවා. ඒ එතුමන්ව බෞතීස්ම කළ අවස්ථාව, කුරුසිපත් කිරීමෙන් මරණයට පත් වූ අවස්ථාව, මළවුන්ගෙන් නැවත පැමිණි අවස්ථාව හෝ උට්ඨානය වුනු අවස්ථාව වශයෙන්.
පැරණි ක්‍රිස්තියානි කණ්ඩායම් අතරින් බහුතරයක් මේ මතය දැරූ අය. ඒ අතර "එබියෝනායි" සහ "නසාරින්" නමින් හැඳින්වුනු කණ්ඩායම් ප්‍රධානයි. මේවා ඊශ්‍රායලය අවට පැතිර තිබූ කණ්ඩායම්.
"නසාරින්" වරු යේසුස් වහන්සේගේ මව පිළිසිඳගත් අවස්ථාවේ ඇය කන්‍යාවක් බව විශ්වාස කළ අතර, "එබියෝනායි" වරු ඒ මතය ප්‍රතික්ෂේප කළා.
ද්විපුද්ගලවාදය (Dyoprosopism)
ද්විපුද්ගලවාදයෙන් කියැවුනේ යේසුස් වහන්සේ තුළ මනුෂ්‍යය පුද්ගලයෙක් (යේසුස් වහන්සේ - Jesus) සහ දිව්‍යමය පුද්ගලයෙක් (දිව්‍යමය පුත්‍රයා - Son of God) වශයෙන් "පුද්ගලයන්" දෙදෙනෙක් සිටින බව. මෙහිදී දිව්‍යමය පුත්‍රයා, යේසුස් වහන්සේ තුළ ජීවත් වන අතර, ජේසුස් වහන්සේ ගේ මනුෂ්‍යය පුද්ගලත්වය ඒ සමගම පවතින බව කියැවුනා.
ද්විපුද්ගලවාදය මුලින්ම ඉදිරිපත් කළේ කොන්ස්තන්තිනෝපල් නගරයේ ආච්බිෂොප් වරයා වුනු නෙස්ටෝරියස් විසින්. බහුතර ක්‍රිස්තියානිය විසින් මේ මතය ප්‍රතික්ෂේප කළ නිසා නෙස්ටෝරියස් ට තම ආච්බිෂොප් තනතුර අහිමි වුනු අතර ඔහුගේ අනුගාමිකයන් "නෙස්ටෝරියානු" ක්‍රිස්තියානි නිකාය පිහිටුවා ගත්තා.
නෙස්ටෝරියානු ක්‍රිස්තියානිය ප්‍රධාන වශයෙන් පැතිරගියේ පර්සියානු අධිරාජ්‍යයේ (වර්තමාන ඉරාකයේ සහ ඉරානයේ). නෙස්ටෝරියානු නිකායේ පල්ලි හැඳින්වුනේ "නැගෙනහිර පල්ලිය" (Church of the East) නමින්. එතැනින් මධ්‍යම ආසියානු මොංගෝලියානු ගෝත්‍රයන් අතරට සහ චීනයටත්, ඉන්දියාවටත් එය පැතිරුනා.
වර්තමානයේ "ඇසිරියානු නැගෙනහිර පල්ලිය" (Assyrian Church of the East) නෙස්ටෝරියානු ද්විපුද්ගලවාදය අනුගමනය කරනවා.
ද්විස්වභාවවාදය (Dyophystism)
ද්විස්වභාවවාදයේ කියැවෙන්නේ යේසුස් වහන්සේ එක් පුද්ගලයෙක් බව. එනමුත්, එතුමාට මනුෂ්‍ය ස්වභාවය සහ දිව්‍යමය ස්වභාවය යනුවෙන් ස්වභාවයන් දෙකක් පවතින බව මේ මතයෙන් කියැවෙනවා. මෙම ස්වභාවයන් දෙක සම්පූර්ණයෙන්ම සහ පරිපූර්ණ ආකාරයෙන් ඒකමිතික වී යේසුස් වහන්සේ තුළ පවතින අතර, එතුමා තනි පුද්ගලයෙක්.
මේ මතය දරනු ලැබුවේ නෙස්ටෝරියස් ගේ අදහස් ප්‍රතික්ෂේප කළ ආගමික විද්වතුන් විසින්. ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිෂොප් වරයා වුනු සිරිල් ඒ අතරින් ප්‍රධානයි.
ද්විස්වභාවවාදය ක්‍රිස්තියානියේ ප්‍රධාන මතවාදය බවට පත්වුනු අතර රෝමානු කතෝලික (Roman Catholic), නැගෙනහිර සාධර්මික (Eastern Orthodox), ඇන්ග්ලිකන් (Anglican) සහ ප්‍රොතෙස්තන්ත (Protestant) නිකායන් විසින් මේ මතවාදය පිළිගනු ලබනවා.
ඒකීයස්වභාවවාදය (Miaphysitism)
ඒකීයස්වභාවවාදයේ කියැවෙන්නේ යේසුස් වහන්සේ තුළ දිව්‍යමය සහ මනුෂ්‍යය ස්වභාවයන් සංයෝජනය වීමෙන් තනි ස්වභාවයක් නිර්මානය වී ඇති බව. මෙම තනි ස්වභාවය සම්පූර්ණයෙන්ම දිව්‍යමය වන අතරම, සම්පූර්ණයෙන්ම මනුෂ්‍යය වෙනවා.
ඒකීයස්වභාවවාදය පෙරදිග සාධර්මික නිකාය (Oriental Orthodox) විසින් පිළිගනු ලැබුවා. වර්තමානයේදී පෙරදිග සාධර්මික නිකාය පැතිර තියෙන්නේ ඊජිප්තුව (කොප්ටික්), තුර්කිය, ආමේනියාව, ඉන්දියාව සහ ඉතියෝපියාව යන රටවල. එය ඉතියෝපියාවේ සහ ආමේනියාවේ බහුතර ආගම වෙනවා.
ඇපොලිනරිවාදය (Apollinarism)
ඇපොලිනරිවාදයෙන් කියැවුනේ යේසුස් වහන්සේගේ ශරීරය සම්පූර්ණයෙන්ම මනුෂ්‍යය ශරීරයක් වුවත්, එතුමාගේ මනුෂ්‍ය මනස දිව්‍යයමය මනසක් මගින් විස්ථාපනය කෙරුණු බව. ඒ අනුව යේසුස් වහන්සේගේ මනුෂ්‍යය ශරීරය තුළ සම්පූර්ණයෙන්ම දිව්‍යයමය මනසක් පවතිනවා.
මේ මතවාදය ඉදිරිපත් කළේ සිරියාවේ ජීවත් වුනු ඇපොලිනරිස් නම් ක්‍රිස්තියානි ආගමික විද්වතෙක් විසින්. ඇපොලිනරිවාදය තුර්කිය අවට ප්‍රදේශ වල පැතිරී තිබුණු නමුත්, පසු කාලීනව සම්පූර්නයෙන්ම අතහැර දමනු ලැබුවා.
ඒකස්වභාවවාදය (Monophystism)
ඒකස්වභාවවාදයෙන් කියැවෙන්නේ යේසුස් වහන්සේ තුළ දිව්‍යමය සහ මනුෂ්‍යය ස්වභාවයන් සංයෝජනය වීමෙන් එක දිව්‍යමය ස්වභාවයක් නිර්මානය වී ඇති බව.
ඒකස්වභාවවාදය කොන්ස්තන්තිනෝපලයේ විසූ ආගමික විද්වතෙක් වුනු ඉයුටයිකස් විසින් මුලින්ම ඉදිරිපත් කෙරුනු අතර, ඔහුගේ මතවාදයන් පුළුල් පිළිගැනීමකට ලක් වුනේ නෑ. ඒවා කෙටි කාලයක් ඇතුළත සම්පූර්නයෙන්ම අතහැර දමනු ලැබුවා.
ඒරියන්වාදය (Arianism)
ඒරියන්වාදයෙන් කියැවෙන්නේ යේසුස් වහන්සේ සම්පූර්ණයෙන්ම දිව්‍යමය භූතාර්ථයක් බව. නමුත් මේ දිව්‍යමය භූතාර්ථය දිව්‍යමය පියා (Father) විසින් මවන ලද බවත්, ඒ නිසා යේසුස් වහන්සේ දිව්‍යමය පියා යටතේ පවතින බවත් ඒරියන් වාදයෙන් කියැවෙනවා.
ඒරියන්වාදය දිව්‍යමය පියා සහ පුත්‍රයා (Son of God) එක මට්ටමේ ලා නොසලකන නිසා එය ත්‍රිත්වවාදයෙන් (Trinitarian) බැහැර වීමක් ලෙස සලකන්න පුළුවන්. මේ නිසා එය ත්‍රිත්වවාදී ක්‍රිස්තියානි විද්වතුන් අතින් දැඩි විවේචනයට ලක් වුනා.
ඒරියන් වාදය මුලින්ම ඉදිරිපත් කළේ ලිබියාවේ වාසය කළ ආගමික විද්වතෙක් වුනු ඒරියස් විසින්. ඒරියන් වාදය ක්‍රිස්තියානි ලෝකයේ නැගෙනහිර ප්‍රදේශ වල පිළිගැනීමට ලක් වුනු නමුත් ඉක්මනින්ම එය අතහැර දමනු ලැබුවා. ඒත් යුරෝපයේ වැන්ඩල්, ඔස්ට්‍රෝගොත් සහ විසිගොත් ගෝත්‍රිකයන් ඒරියන්වාදී ක්‍රිස්තියානිය වැළඳගැනීම සහ ඔවුන් විසින් බටහිර යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ රාජ්‍යයන් පිහිටුවීම නිසා ඒරියන් වාදය බටහිර යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ විශාල වශයෙන් පැතිර ගියා. නමුත් පසුකාලීනව ඒරියන්වාදය ක්‍රමයෙන් අභාවයට ගොස් සම්පූර්නයෙන්ම අතහැර දමනු ලැබුවා.
වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (Jehovah's Witnesses) සහ පසුකාලීන ශාන්තුවරුන්ගේ පල්ලිය (The Church of Jesus Christ of Latter-day Saints) වැනි නිකායන් ගේ අදහස් සහ ඒරියන්වාදී අදහස් අතර දැඩි සමානකමක් දකින්න ලැබුනත්, ඔවුන් සහ ඒරියන්වාදය අතර ඍජු සබඳකමක් නෑ.
මායාවාදය (Docetism)
මායාවාදයෙන් කියැවුනේ යේසුස් වහන්සේ සම්පූර්ණයෙන්ම දිව්‍යමය භූතාර්ථයක් බව. නමුත් ඔහුගේ ශරීරය මනුෂ්‍යය ශරීරයක් වුනු අතර, දිව්‍යමය භූතාර්ථය මනුෂ්‍ය ශරීරයේ වාසය කළා. ඒ අනුව යේසුස් වහන්සේගේ මනුෂ්‍ය ස්වරූපය මායාවක් පමණක් වුනු අතර උන්වහන්සේගේ සත්‍ය ස්වරූපය සම්පූර්ණයෙන්ම දිව්‍යමයයි.
පැරණි ක්‍රිස්තියානියේ පැවති විශ්වාසයක් වුනු මායාවාදය පසුකාලීනව සම්පූර්නයෙන්ම අතහැර දමනු ලැබුවා.
මාර්සියොන්වාදය (Marcionism)
මාර්සියොන්වාදය මායාවාදයේ අන්තවාදී දර්ශනයක් ලෙස සලකන්න පුළුවන්. මර්සියොන් වාදයෙන් කියැවෙන්නේ යේසුස් වහන්සේ සම්පූර්නයෙන්ම දිව්‍යමය භූතාර්ථයක් බවත්, එතුමාගේ මනුෂ්‍ය ශරීරය මිනිසුන්ට දැකගැනීමට සැලැස්වූ මායාවක් මිස සැබැවින්ම පැවති එකක් නොවන බවත්.
මාර්සියොන්වාදය මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ ක්‍රිස්තියානියේ මුල් සමයේ තුර්කියේ වාසය කළ ක්‍රිස්තියානි විද්වතෙක් වුනු මාර්සියොන් විසින්. එය විශාල අනුගාමිකයන් පිරිසක් දිනාගත්තත්, පසු කාලීනව සම්පූර්නයෙන්ම අතහැර දමනු ලැබුවා.
No comments:
Post a Comment