සිංහල සංස්කෘතියේ සෘතු ගැන එච්චර අවධාරණය කෙරෙන්නේ නෑ. ලංකාව සමකයට ආසන්න රටක් නිසා සෘතු භේදයක් ලොකුවට දැනෙන්නෙ නැති එක ඒකට හේතුව වෙන්න ඇති. "වැස්ස කාලේ" සහ "පායන කාලේ" ට අමතරව සෘතු භේදයක් ගැන කතාවක් ඇත්තෙම නැති තරම් වගේ.
භාරත සංස්කෘතියේ සෘතු ගැන ඊට වඩා සැලකිල්ලක් තියෙනවා. සමකයට උඩින් තියෙන භාරතයට සෘතු භේදය අපිට වඩා දැනෙනවා. ගිම්හාන, වස්සාන, සරත්, වසන්ත, සිසිර කියලා සෘතු පහක් භාරත සංස්කෘතියේ තියෙනවා.
සෘතු භේදය තදින්ම දැනෙන යුරෝපයේ සෘතු හතරක් ගැන කතාවෙනවා. ඒ Summer, Spring, Winter සහ Autumn (Fall). මේවා දළ වශයෙන් ගිම්හාන, වසන්ත, සිසිර (ශීත) සහ සරත් කියලා පරිවර්තනය කරනවා.
ජපන් සංස්කෘතිය සෘතු භේදය ගැන මීටත් වඩා සංවේදියි. ජපන් සංස්කෘතිය සොබාදහමත් එක්ක තදින් බැඳිලා තියෙන නිසා සොබාදහමේ සිදුවන වෙනස්කම් ගැන ඉතා සියුම්ව බලනවා. ඒ අනුව සෘතු බෙදාගන්නවා.
ජපන් සංස්කෘතියේ අපිට සෘතු 72 ක් හමුවෙනවා. ඔව්, 72 ක්!
ප්‍රධාන සෘතු
අවුරුද්ද මූලික වශයෙන් ප්‍රධාන සෘතු හතරකට බෙදෙනවා. ඒවා යුරෝපීය සෘතු හතරට බොහෝ දුරට සමපාත කරන්න පුළුවන්.
1. හරු - Spring
2. නත්සු - Summer
3. අකි - Autumn
4. ෆුයු - Winter
මාස (ගත්සු)
ඊළඟට "ගත්සු" නමින් හැඳින්වෙන මාස 12 කට අවුරුද්ද බෙදනවා. මේ මාස දළ වශයෙන් යුරෝපීය මාස වලට සමපාත කරන්න පුළුවන්. නමුත් සුළු එහා මෙහා වීමක් තියෙනවා.
හැම ප්‍රධාන සෘතුවක්ම මාස තුනකින් සමන්විතයි.
හරු සෘතුවේ මාස:
1. කිසරගි (පෙබරවාරි 4 සිට මාර්තු 5)
මේ මාසය හැඳින්වෙන්නේ "ඇඳුම් ඕනෑවන මාසය" කියලා. ශීත සෘතුවේ අවසානය වුනත් මේ මාසයේ තදින් ශීතල තියෙනවා. ඒ නිසා යහපත් සෞඛ්‍යයෙන් ඉන්න නම් දිගටම උණුසුම් ඇඳුම් අඳින්න අවශ්‍යයි.
2. යයෝයි (මාර්තු 6 සිට අප්‍රේල් 4)
යයෝයි කියන්නේ "අළුත් ජීවය දෙන මාසය". වසන්ත සෘතුවේ ගහ කොළ අළුතෙන් දළු දැමීම ඊට හේතුවයි.
3. උසුකි (අප්‍රේල් 5 සිට මැයි 4)
උසුකි මාසය හැඳින්වෙන්නේ "ඌ නෝ හනා මාසය" කියලා. ඒ ඌ නෝ හනා කියන මල් පිපෙන නිසා.
නත්සු සෘතුවේ මාස:
4. සත්සුකි (මැයි 5 සිට ජූනි 5)
සත්සුකි මාසයට කියන්නේ "ගොයම් හිටවන මාසය". හේතුව පැහැදිලියි.
5. මිනසුකි (ජූනි 6 සිට ජූලි 6)
මිනසුකි මාසයට කියන්නේ "වතුර මාසය" කියලා. අධික වර්ෂාවක් ලැබීම සහ කඳුකරයේ හිම දියවීම නිසා ගංගා පිරී ඉතිරී යාම ඊට හේතුවයි.
6. ෆුමිසුකි (ජූලි 7 සිට අගෝස්තු 7)
ෆුමිසුකි මාසය හැඳින්වෙන්නේ "ලිවීමේ මාසය" කියලා. මේ මාසයේදී තමාගේ ප්‍රාර්ථනා උණ පතුරු වල ලියලා එල්ලා තැබීමේ සිරිත නිසා ඒ නම හැදිලා තියෙනවා.
අකි සෘතුවේ මාස:
7. හසුකි (අගෝස්තු 8 සිට සැප්තැම්බර් 7)
හසුකි කියන්නේ "කොළ මාසය" ඒ කියන්නේ ගස් වල කොළ හැලෙන්න පටන් ගන්න මාසය.
8. නගත්සුකි (සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 7)
නගත්සුකි හැඳින්වෙන්නේ "දීර්ඝ මාසය" කියලා. නගත්සුකි මාසයේදී තමයි රාත්‍රිය දහවලට වඩා දීර්ඝ වීම ආරම්භ වෙන්නේ.
9. කන්නසුකි (ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 6)
කන්නසුකි කියන්නේ "දෙවියන් ගේ මාසය". මේ මාසයේදී ජපානයේ දෙවියන් (කමි හෙවත් භූතාත්ම) සියල්ලෝම ඉසුමෝ ප්‍රධාන දේවාලයට එක් රැස් වෙනවා කියලා ජපන්නු විශ්වාස කරනවා.
ෆුයු සෘතුවේ මාස:
10. ෂිමොත්සුකි (නොවැම්බර් 7 සිට දෙසැම්බර් 6)
ෂිමොත්සුකි හැඳින්වන්නේ "තුහීන මාසය" කියලා. ශීතල උදෑසනට පිණිකැට මිදිලා තුහීන නිර්මානය වීම ඒකට හේතුව.
11. ෂිවාසු (දෙසැම්බර් 7 සිට ජනවාරි 4)
ෂිවාසු කියන එකේ තේරුම "භික්ෂූන් දුවන මාසය". මේ මාසයේදී බොහෝ දෙනා ආගමික වතාවත් වලට යොමු වීම නිසා ෂිවාසු මාසය භික්ෂූන්ට කාර්‍ය බහුල මාසයක්.
12. මුත්සුකි (ජනවාරි 5 සිට පෙබරවාරි 3)
මුත්සුකි මාසය හැඳින්වෙන්නේ "ආදරයේ මාසය" කියලා. අධික ශීතලෙන් යුතු මුත්සුකි මාසයේදී පවුලේ සාමාජිකයන් සියල්ලෝම ගෙදරට වෙලා කාලය ගත කිරීම ඒකට හේතුව.
සෙක්කි හෙවත් උප-සෘතු සහ අනු-සෘතු
හැම මාසයක්ම තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඒවා හැඳින්වෙන්නේ "සෙක්කි" කියලා. ඒ අනුව අවුරුද්ද සෙක්කි 24 කින් සමන්විතයි.
සෙක්කි බෙදීම සිදු වෙන්නේ සූර්‍ය්‍යාගේ ගමන් කිරීම අනුව. මේක ජපන් සංස්කෘතියේ ගොඩක් දේවල් වගේ කෙලින්ම චීන සංස්කෘතියෙන් ආපු එකක්. චීනයෙන් ආවට ඒක ජපානයේ දේශගුණයට ගැලපෙන ආකාරයට සකස් කරලා අරගෙන තියෙනවා.
හැම සෙක්කියක් ම තවත් කොටස් හෙවත් අනු-සෘතු තුනකට බෙදෙනවා. ඒ අනුව අවුරුද්ද අනු සෘතු 72 (24x3) කින් සමන්විතයි.
සෙක්කි සහ අනු-සෘතු බෙදලා සහ නම් කරලා තියෙන්නේ ඒ ඒ කාලයේදී සොබා දහමේ සිදුවන විපර්‍යාසයන්ට අනුව. අනු-සෘතු 72 හරහා යනවා කියන්නේ ජපනයේ සොබා දහම අවුරුද්දක් ඇතුළත අත් දකින වෙනස්කම් එක්ක යන අපූරු ගමනක් වගේ.
ඇත්තෙන්ම ජපන් සංස්කෘතිය මේ සොබාදමට වලට කොයිතරම් සංවේදීද කියන එක ගැන කදිම නිදසුනක්.
හැම සෙක්කියකටම සහ අනු-සෘතුවකටම ඊට හරියටම නියමිත දින තියෙනවා. හැම අනු සෘතුවක්ම දළ වශයෙන් දවස් 5 කින් සම්න්විතයි.
ඒ ඒ සෙක්කිය සහ ඊට අයත් අනු-සෘතු එන්නේ මේ වගේ
හරු (වසන්තය)
1. රිස්ෂුන් (වසන්තයේ ඇරඹුම)
● පෙරදිග සුළඟ අයිස් දිය කරයි
● උගුයිසු පක්ෂීන් ගීත ගැයුම අරඹයි
● මත්ස්‍යයින් අයිස් අතරින් මතු වෙයි
2. උසුයි (වැසිදිය)
● වැස්ස පොළව තෙමයි
● මීදුම හාත්පස වසා ගනී
● තණකොළ මතු වේ, ගස් දළු දමයි
3. කෙයිචිත්සු (කෘමීන් අවදිවීම)
● සිසිර නින්දේ සිටි කෘමීන් එළිබසී
● පීච් මල් පිපේ
● දළඹුවන් සමනළයන් බවට පත් වේ
4. ෂුන්බුන් (වසන්ත විෂූවය)
● ගේ කුරුල්ලන් කූඩු සැදීම අරඹයි
● පළමු සකුරා මල් පිපේ
● ඈතින් අකුණු හඬ ඇසේ
5. සෙයිමෙයි (පිරිසිදු සහ ශුද්ධ)
● වැහිලිහිණියන් ආපසු පැමිණේ
● වල් පාත්තයන් උතුර බලා පියාසර කරයි
● පළමු දේදුනු
6. කොකූ (ධාන්‍ය වැසි)
● පන් ගස් දළු දමයි
● අවසාන තුහීන; ගොයම් පැළ මතු වේ
● බෝතන් මල් පිපේ
නත්සු (ගිම්හානය)
7. රික්කා (ගිම්හානයේ ඇරඹුම)
● මැඩියන් ගී ගැයීම අරඹයි
● පණුවන් මසෙන් මතුවේ
● උණ ගස් දළු දමයි
8. ෂෝමන් (අස්වනු)
● සේද පණුවන් මල්බෙරි කොළ කෑම අරඹයි
● බෙනිබනා මල් පිපේ
● තිරිඟු අස්වැන්න නෙළීම ඇරඹේ
9. බෝෂු (ඉපනැල්ල)
● වන්දන් ඉපැදේ
● කුණු වුනු තණකොළ වලින් කණාමැදිරියන් හටගනී
● ප්ලම් ගෙඩි කහ පැහැ වේ
10. ගෙෂි (ගිම්හාන නිවෘත්තිය)
● නත්සුකරේකුසා මල් පරවේ
● අයමේ මල් පිපේ
● හංගේ පැල දළු දමයි
11. ෂෝෂො (සුළු උණුසුම)
● උණුසුම් සුළං හමයි
● පළමු නෙළුම් මල් පිපේ
● උකුස්සන් පියාසැරීම අරඹයි
12. ටයිෂෝ (මහා උණුසුම)
● මුසුබු ගස් වල ගෙඩි හට ගනී
● පොළව තෙත සහගත වේ; වාතය උණුසුම් වේ
● මහා වැසි ඇද හැලේ
අකි (සරත්)
13. රිස්ෂු (සරත් සෘතුවේ ඇරඹුම)
● ශීත සුළං හමයි
● සවස් කලට රැහැයියන් ගී ගයයි
● ඝන මීදුම් ඇතිවේ
14. ෂොෂෝ (දරාගත හැකි උණුසුම)
● කපු මල් පිපේ
● උණුසුම මැකී යයි
● සහල් අස්වැන්න නෙළීම ඇරඹේ
15. හකුරෝ (සුදු පිණී)
● තණ මත සුදු පිණි දිලිසේ
● වෙරළ වටුවන් ගී ගයයි
● වැහි ලිහිණියන් සංක්‍රමනය වීම අරඹයි
16. ෂූබුන් (සරත් විෂූවය)
● අකුණු ගැසීම නවතී
● කෘමීන් පොළව යට සැඟවෙති
● ගොවීන් කුඹුරු වල වතුර හැර දමයි
17. කන් රෝ (ශීත පිණි)
● වල් පාත්තයන් නැවත පැමිණේ
● කපුරු මල් පිපේ
● රැහැයියන් ගෙවල් අසල කෑගසයි
18. සෝකෝ (තුහීන)
● පළමු තුහීන ඇතිවේ
● සුළු වැසි ඇද වැටේ
● මේපල් කොළ කහ පැහැ වේ
ෆුයු (සිසිර)
19. රිත්තෝ (සිසිර සෘතුව ඇරඹුම)
● කැමීලියා මල් පිපේ
● පොළව මිදීම ඇරඹේ
● ඩැෆඩිල් මල් පිපේ
20. ෂෝසෙත්සු (සුළු හිම)
● දේදුනු මැකී යයි
● උතුරු සුළං ගස් වලින් කොළ හලා දමයි
● තචිබානා ගස් වල කොළ කහ පැහැ වේ
21. තයිසෙත්සු (මහ හිම)
● අධික ශීතල ඇරඹේ
● වළසුන් සිසිර නින්දට එළැඹේ
● සැමන් මසුන් උඩුගං බලා පිහිනීම අරඹයි
22. තෝජි (සිසිර නිවෘත්තිය)
● නත්සුකරේකුසා ගස් දළු දමයි
● මුවන්ගේ අං හැලේ
● තිරිඟු පැල හිම යටින් දළු දමයි
23. ෂෝකන් (සුළු ශීතල)
● අසමෝදගම් පැල වේ
● උල්පත් වල අයිස් මිදේ
● වල් කුකුළන් කෑ ගැසීම ඇරඹේ
24. දයිකන් (මහ ශීතල)
● ෆුකි පැල වල මල් පිපේ
● ගංගා වල අයිස් මිදේ
● කිකිළියන් බිත්තර දැමීම අරඹයි
No comments:
Post a Comment