Saturday, July 1, 2023

අපූරු මතකයක් සහිත තරුණයා

 

ක්‍රි.ව. 9 වන සියවසේදී ඉස්ලාමීය රාජ්‍යයේ අගනුවර වුනේ බග්දාද් නගරය. එහි ඉතාම ප්‍රසිද්ධ ආගමික විද්වතුන් රාශියක් තමාගේ අධ්‍යයන සහ ඉගැන්වීම් කටයුතු කළා. විශාල මද්‍රාසා (ඉස්ලාමීය ආගමික පාසල්) ගණනාවක් බග්දාද් නගරයේ තිබුනා.

ක්‍රි.ව. 830 දී විතර කුරාසාන් ප්‍රාන්තයේ (වර්තමාන ඉරානයේ නැගෙනහිර ප්‍රදේශය සහ මධ්‍යම ආසියාව) ඉඳලාඅවුරුදු 20 ක විතර තරුණයෙක් ආගමික හැදෑරීම් කරන්න බග්දාද් නගරයට ආවා. ඔහු පර්සියානු ජාතිකයෙක්. ඔහුගේ නම වුනේ "මුහම්මද ඉබ්න් ඉස්මයිල්". මේ තරුණයා වැඩිපුරම යොමු වුනේ හදීත ගැන අධ්‍යයනයට. කෙටි කලකින්ම මේ තරුණයාගේ දැණුම, බුද්ධිය සහ මතක ශක්තිය ගැන මුළු බග්දාද් නගරයේම පැතිරී ගියා.

බග්දාද් නගරයේ එවකට හිටපු ප්‍රසිද්ධ හදීත විද්වතුන් දහ දෙනෙක් එකතු වෙලා මේ තරුණයාව පරික්ෂා කරන්න තීරණය කලා. ඒ සඳහා ඔවුන් විශේෂ පරික්ෂනයක් සූදානම් කළා.

හදීතයක් කියන්නේ මුහම්මද් තුමාගේ ජීවිතයේ එතුමා කියපු දෙයක් හෝ කරපු ක්‍රියාවක් අඩංගු කතන්දරයක්. මේ කතන්දර වල තියෙන වැදගත් කම වුනේ ඉස්ලාමීය නීතිය සහ ධර්මය පිළිබඳ කරුණු අඩංගු වීම. ඉස්ලාම් ආගමේ කුරාණය ළඟට වැදගත් මූලාශ්‍රය වෙන්නේ හදීත.

හදීත ඉදිරියට ගෙන ගියේ "කතන්දර කියන්නන්" (narrators) මුඛ පරම්පරා ගතව. මේ කියන කාලය වනවිට මුහම්මද් තුමා මිය ගිහින් අවුරුදු 200 විතර ගත වෙලා නිසා හදීතයකට "කතන්දර කියන්නන් පරම්පරා" (chain of narrators) හතරක් පහක් විතර හිටියා. හැම හදීතයක් ම නිවැරදි ලෙස පිළිගැනුනේ නෑ. කන්තදර කියන්නන් පරම්පරා කීපයක් ඔස්සේ හදීතය ගලා එන විට සමහර හදීත විකෘති වුනා. හදීත පිළිබඳ හැදෑරූ විද්වතුන් ගේ කාර්‍ය භාරය වුනේ විකෘති හදීත සහ විකෘති නොවූ හදීත තෝරාබේරා ගෙන වෙන් කර ගැනීම.

සෑම හදීතයක්ම කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ "කතන්දර කියන්නන් පරම්පරාව" (chain of narrators) හෙවත් "ඉස්නාද්" සහ කතන්දරය හෙවත් "මතන්". විදිහට. හදීතය විකෘතිද නැද්ද කියල තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන් ඉස්නාදය මත නිසා මේ කොටස් දෙකම එක වගේ වැදගත්.

අර විද්වතුන් දහදෙනා මුහම්මද් ඉබ්න් ඉස්මයිල් තරුණයාව පරික්ෂා කරන්න අදහස් කලේ ඉස්නාද් සහ මතන් පිළිබඳ ඔහුගේ දැණුම පිරික්සීමෙන්. නියමිත දවසට බග්දාද් නගරයේ විශාලම මස්ජීදයට ආගමික විද්වතුන් සහ ශිෂ්‍යයන් විශාල ප්‍රමානයක් එක් රැස් වුනා. විද්වතුන් දහ දෙනා තරුණයාව තමා ඉදිරියට කැඳෙව්වා.

මුලින්ම පළමුවෙනි විද්වතා ප්‍රසිද්ධ හදීත දහයක් ප්‍රකාශ කළා. ඊට පස්සෙ ඔහු තරුණයාගෙන් ඇහුවා මේ හදීත ගැන ඔබ දන්නවද කියලා. මුහම්මද් ඉබ්න් ඉස්මයිල් කියා සිටියේ ඔහු ඒ එක හදීතයක් වත් නොදන්නා බව. ඒවා ඉතාම ප්‍රසිද්ධ හදීත. රැස්ව සිටි පිරිස සිනාසුනේ තරුණයාට සමච්චලයට වගේ.

දෙවැනි විද්වතාත් තවත් හදීත දහයක් ඉදිරිපත් කළා.

"මම මේ හදීත එකක් වත් දන්නෙ නෑ"

ඔහ විදිහට විද්වතුන් දහ දෙනාම හදීත දහය බැගින් හදීත 100 ක් ඉදිරිපත් කළා. මුහම්මද් ඉබ්න් ඉස්මයිල් තරුණයා කියා සිටියේ ඒ එක හදීතයක් වත් නොදන්නා බව.

රැස්ව සිටි පිරිස හිස සැලුවේ කනස්සල්ලෙන්. මේ තරුණයා ගැන පැතිර ගිය කතා බොරුද? සාමාන්‍යය මනුස්සයෙක් තරම්වත් ඔහුට දැණුමක් නැති පාටයි.

ඒත් පරික්ෂනය කළ විද්වතුන් දහ දෙනා එකිනෙකා දිහා බලලා හිස සැලුවේ ඉතාම තෘප්තියෙන්.

විද්වතුන් දහ දෙනා පොඩි උප්පරවැට්ටියක් කරලා තිබුනේ තරුණයාව අමාරුවේ දාන්න. ඔවුන් තමාගේ හදීත ඉදිරිපත් කලේ ඉස්නාද් සහ මතන් කලවම් කරලා. උදාහරණයකට පළවෙනි හදීතයේ ඉස්නාදය තුන්වෙනි හදීතයේ මතනය සමඟ. තුන්වෙනි හදීතයේ ඉස්නාදය හයවෙනි හදීතයේ මතනය සමඟ. ඔය විදිහට හදීත 100 ම ඉදිරිපත් කරලා තිබුනේ කලවම් කරලා. මුහම්මද් ඉබ්න් ඉස්මයිල් තරුණයා ඒ බව නිවැරදිව හඳුනාගෙන හදීත එකක් වත් නොදන්නා බව ප්‍රකාශ කලා. ඔහු පරික්ෂනය සමත්.

ඒත් තරුණයා පරික්ෂනය අවසන් කළේ නෑ.

"ඔබේ ප්‍රශ්න විමසීම ඉවරද?" ඔහු විද්වතුන් ගෙන් ඇහුවා.

"ඔව්"

තරුණයා පළවෙනි විද්වතා දෙසට හැරුනා.

"ඔබ කියපු හදීත දහයේ ඉස්නාදය සහ මතන් කලවම් වෙලා තිබුනේ. ඒවා නිවැරදිව කිව්වොත් මෙහෙමයි."

ඔහු හදීත දහයම නිවැරදි පිළිවෙලට කියාගෙන කියාගෙන ගියා.

ඊළඟට ඔහු දෙවැනි විද්වතා දෙසට හැරුනා. ඔහුගේ හදීත දහයත් නිවැරදි පිළිවෙලට කියාගෙන කියාගෙන ගියා. මේ විදිහට ඔහු හදීත 100 ම එකක් වත් නොවරද්දා නිවැරදි පිළිවෙලට ආපහු කිව්වා.

විද්වතුන් දහ දෙනා සහ රැස්ව සිටි පිරිස තරුණයා දෙස බලාගෙන හිටියේ කට ඇරගෙන. ඔහුගේ දැණුම, බුද්ධිය සහ මතක ශක්තිය ගැන කිසිම කෙනෙක් කවදාවත් කිසිම විදිහකින් ප්‍රශ්න කලේ නෑ.

මේ තරුණයා ගේ නම මුහම්මද් ඉබ්න් ඉස්මයිල් වුනාට ඔහු ප්‍රසිද්ධ වුනේ ඔහු උපන් නගරයේ නමින්. ඔහු ඉපදුනේ බුකාරා නගරයේ.

අද හැමෝම ඔහු හඳුනන්නේ "ඉමාම් බුකාරි" (බුකාරා හි විද්වතා) නමින්.

ඔහු විසින් රචිත "සහීහ් අල්-බුකාරි" නම් හදීත ග්‍රන්ථය ඉස්ලාමීය ඉතිහාසයේම ලියැවුනු විශිෂ්ඨතම හදීත ග්‍රන්ථය ලෙස සැලකෙනවා. ඒ පොතේ අඩංගු හදීත ඉස්ලාමයේ නීතිය, සිරිත්-විරිත්, ධර්මය, යාඥා ආදී හැම අංශයකටම විශාල වශයෙන් යොදා ගැනෙනවා.

සමහරවිට ඉස්ලාම් ආගමට මුහම්මද් තුමා ළඟට වැඩිම බලපෑමක් කළ පුද්ගලයා විදිහට ඉමාම් අල්-බුකාරි සලකන්න පුළුවන්)

No comments:

Post a Comment