අබු අබ්දුල්ලා මුහම්මද් අල්-ඉදිරිසි කියන්නේ 12 වැනි සියවසේ ජීවත් වුන අරාබි ජාතික භූගෝල ශාස්ත්‍රඥයෙක්. ඒ කාලයේ සිසිලිය පාලනය කළේ නෝර්මන් වාංශික රජ පෙළපතක්. මුහම්මද් අල්-ඉදිරිසි සිසිලියේ රජු වුන දෙවන රොජර් ගේ රාජ සභාවේ සේවය කළා.
රොජර් රජතුමා මුහම්මද් අල්-ඉදිරිසි ට 1138 දී රාජකාරියක් පැවරුවා. ඒ එවකට දැන සිටි ලෝකයේ විස්තරාත්මක වාර්තාවක් සකසන්න. ඔහු පුරා අවුරුදු 15ක් තිස්සේ ඉතාම විස්තරාත්මක වාර්තාවක් සැකසුවා. මේක සැලකෙන්නේ මානව ඉතිහාසයේ භූගෝල විද්‍යා ක්ෂේත්‍රයේ බිහිවුන විශිෂ්ඨතම නිර්මානයක් විදිහට.
මේ වාර්තාව අද හැඳින්වෙන්නේ "ටැබියුල රොජරීනා" හෙවත් "රොජර් ගේ සිතියම" නමින්. ඒ එහි අඩංගු වුන සිතියමක් ඇසුරෙන්. මේ සිතියම එවකට දැන සිටි ලෝකයේ සැලකිය යුතු නිවැරදිතාවයකින් දක්වනවා. ආසියාව සහ යුරෝපය සම්පූර්නයෙන්මත්, අප්‍රිකාවේ උතුරු වෙරළබඩ ප්‍රදේශත් මේ සිතියමට ඇතුළත්. පින්තූරයේ තියෙන්නෙ ඒ සිතියම.
දැක්ක ගමන් හිතෙයි "මේ මොන මනෝ විකාරයක් ද?" කියලා. අපි දන්න ලෝක සිතියමට කිසිම සමාන කමක් නෑ.
ඒත් හොඳින් බැලුවොත් දකියි මේ සිතියමේ "ඉහළින්" තියෙන්නෙ දකුණ. "පහළින්" තියෙන්නේ උතුර. ඒ කියන්නේ අපිට පුරුදු ක්‍රමය උඩ යට මාරු කරලා තමයි ඇඳලා තියෙන්නේ.
සිතියමක උතුර "ඉහළින්" තියෙන්න ඕනෙ කියල එකක් නෑ. ඒක අපි විසින් මනසින් පනවාගත්ත නීතියක් පමණයි. මේ පනවා ගැනීම කොයිතරම් තදින් කාවැදිලද කිව්වොත්, මේ වගේ සිතියමක් දැක්ක ගමන් අපිට හිතෙන්නෙ ඒක "වැරදියි" කියලා.
ගොඩක් දේවල් ඒ වගේ තමයි.
No comments:
Post a Comment