ක්‍රි.ව. අටවෙනි සියවස වෙද්දී ලෝකයේ බලවත්ම රාජ්‍යය වුනේ ඉස්ලාමීය රාජ්‍යය. එය වර්තමාන මොරොක්කෝවේ ඉඳලා ඇෆ්ගනිස්ථානය දක්වා විහිදී ගිය විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළා. එහි පාලකයන් වුනේ අරාබි ජාතික අබ්බාසි වාංශික කලීෆා වරු. ඔවුන් මුහම්මද් තුමාගේ මාමා කෙනෙක් වුනු අබ්බාස් ගෙන් පැවත එන කීර්තිමත් පරපුරකට උරුමකම් කී අය.
මේ කාලයේදී අබ්බාසි කලීෆා වරුන් ගේ පුරෝහිතයන් විදිහට කටයුතු කළේ පර්සියන් ජාතික බර්මකී වංශය. ඔවුන් වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පදිංචිව උන් ධනවත් සහ බලවත් පවුලක්. අබ්බාසි කලීෆා වරුන් ගේ හොඳ හිත දිනාගත් ඔවුන් පුරෝහිත තනතුර තම පවුලේ රඳවා ගන්න සමත් වුනා. මුළු ඉස්ලාමීය රාජ්‍යයේම හිටපු ධනවත්ම පවුල වුනේ බර්මකී වරු.
ධනවත් කමින් වගේම නැණවත් කමිනුත් ත්‍යාගශීලී බවෙනුත් බර්මකී වරු ප්‍රසිද්ධ වුනා.
ක්‍රි.ව. 760 පමණ වෙද්දී කලීෆා වරයාගේ අග්‍ර පුරෝහිත වුනේ "යහියා ඉබ්න් කාලිද් අල්-බර්මකී". ඔහු බර්මකී පවුලේ ප්‍රධානියා වුනා. ඔහුගේ පුතා වුනේ "ජාෆර් ඉබ්න් යහියා අල්-බර්මකී" ජාෆර් හැදී වැඩුනේ කලීෆා ගේ මාළිගයේ. කලීෆා ගේ පුතා වුනු හරූන් අල්-රෂීඩ් සහ ජාෆර් අතර වයස පරතරය වුනේ අවුරුදු හතරක් පමණයි. හරූන් අල්-රෂීඩ් කුඩා කාලයේ ඔහුගේ කිරි මව වුනේ ජාෆර් ගේ මව. මේ නිසා හරූන් සහ ජාෆර් හැදී වැඩුනේ සහෝදරයන් වගේ. ඔවුන් වයසින් වැඩෙනකොට මේ සහෝදර බැම්ම තවත් ශක්තිමත් වුනා.
ක්‍රි.ව. 786 දී 23 හැවිරිදි තරුණ හරූන් කලීෆා තනතුරට පත් වුනා. ඔහු තමාගේ අග්‍ර පුරෝහිත තනතුරට ජාෆර් ව පත් කළා. හරූන් සහ ජාෆර් ඉතා හොඳින් සහ බුද්ධිමත්ව රට පාලනය කළා. ඉස්ලාමීය රාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ හරූන් අල්-රෂීඩ් ගේ පාලන සමය.
ජාෆර් අනෙක් බර්මකී වරු වගේම ධනවත් කම, නැණවත් කම සහ ත්‍යාගශීලී කම ගැන මුළු අධිරාජ්‍යය පුරාම නමක් දිනා ගත්තා. ඔහු කවියන්ට සහ බුද්ධිමතුන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වුවා. කවියන් සහ බුද්ධිමතුන් ගණනාවකට අවුරුද්දකට සැරයක් මුළු අවුරුද්දම ජීවත් වෙන්න තරම් සෑහෙන මුදලක් තෑගි දෙන්න ඔහු පුරුදු වෙලා හිටියා.
මේ විදිහට සෑහෙන කාලයක් ගත වුනා. එක පාරටම හරූන් ගේ හිත වෙනස් වෙන්න යම්කිසි දෙයක් සිද්ධ වුනා. ඒ මොකද්ද කියලා කවුරුත් හරියටම දන්නෙ නෑ. ඒත් ක්‍රි.ව. 803 එක රාත්‍රියක හරූන් ගේ අනින් ක්‍රියාත්මක වුනු යුධ සෙබළු මුළු බර්මකී පවුලම, ජාෆර් ඇතුළුව, අත් අඩංගුවට ගත්තා. පසුවදා කලීෆා ගේ අණින් ඔවුන් සියළු දෙනාටම මරණ දඬුවම හිමි වුනා. ජාෆර් ගේ සිරුර බග්දාද් නගරයේ පාලමක් අසල කණුවක එල්ලා දැමුණා.
ජාෆර් ට අත්වුනු ඉරණම ගැන ආරංචි වුණු ඔහුගෙන් අවුරුදු පතා රන්කාසි තුන්සීයක් තෑගි ලැබුණු අරාබි ජාතික දුප්පත් කවියෙක් ඉතාමත් ශෝකයට පත් වෙලා බග්දාද් නගරයට ආවේ ඔහුගේ සිරුර බලා ගන්න. තමාගේ අනුග්‍රාහකයාට අත් වෙලා තිබුණු ශෝක ජනක ඉරණම දුටු ඔහු ශෝකයෙන් මුසපත් වෙලා ඔහුගේ සිරුර එල්ලා තිබුණු පාලම මත හඬා වැළපුනා. හඬමින් කවි පබඳිමින් බොහෝ වෙලා පාලම මත සිති ඔහුට පාලම උඩම නින්ද ගියා.
සිහිනෙන් ජාෆර් ඔහු වෙත පැමිණියා. කවියා හඬා වැළපෙමින් "දැන් දුප්පත් මාව බලාගන්නේ කවුදැ"යි විමසා සිටියා. එතකොට ජාෆර් ඔහුට මෙහෙම කිව්වා.
"බස් රා නගරයට යන්න. එහි සේද රෙදි වෙළඳාම් කරන ධනවත් වෙළෙන්දෙක් ඉන්නවා. ඔහු හමුවෙලා 'රටකජු ඇටයේ නාමයෙන්' මට උදව් කරන්න යි කියන්න."
කවියා නින්දෙන් අවදි වෙලා සිහිනය ගැන පුදුම වුනා. ඔහුට හිතුනේ එය කිසිම තේරුමක් නැති හීනයක් කියලා. ඒත් ඔහු ජාෆර් ගැන තිබුණු ගෞරවය නිසාම බස් රා නගරයට ගිහින් සේද රෙදි වෙළෙන්දා ගැන විමසා සිටියා. මිනිස්සු ඔහුව නගරයේ සිටි ධනවත්ම වෙළෙන්දෙක් ගේ නිවස වෙත යැව්වා. ඒ නිවස ඉතාම විශාල කිව නොහැකි තරම් වටිනා එකක්. කවියා පැකිලීමට පත් වුනත්, සිහිනය ගැන සිහි කරගෙන දිරිය වඩාගෙන වෙළෙන්දා හමුවට ගියා.
වෙළෙන්දා කරුණාවන්ත අයෙක්. ඔහු කවියා පිළිගෙන ඔහුට කෑම බීම වලින් සංග්‍රහ කළා.
"ඉතින් යාළුවා ඔබ මාව හමුවෙන්න ආවේ ඇයි?"
"මම දුප්පත් කවියෙක්. රටකජු ඇටයේ නාමයෙන් මට උදව් කරන්න."
කවියා ගැහෙන හදවතින් කියා සිටියා. ඔහු හිතුවේ ඔහු පිස්සෙක් කියලා වෙළෙන්දා ඔහුව එළවා දමයි කියලා.
ඒත් ඔහුව පුදුම කරමින් වෙළෙන්දා හඬා වැළපෙන්න පටන් ගත්තා. වෙළන්දා ඔහුගේ කතාව කිව්වා.
"මම ඉස්සර දුප්පතෙක්. මම ජීවත් වුනේ රටකජු විකුණලා. දවසක් මම රටකජු විකුණද්දී ජාෆර් ඔහුගේ බිරිඳ එක්ක නගරයේ සංචාරය කරනවා. ඔහු මාව දැකලා කරත්තය නවත්තලා මගෙන් විස්තර ඇහුවා. ඊට පස්සෙ මම ළඟ තිබුණු රටකජු සියල්ලම මිලදී ගත්තා.
මම රටකජු ඔක්කොම ඔහුට විකුණුවා. ඊට පස්සේ ඔහු දැක්කා මගේ රටකජු මල්ල පතුලේ එක රටකජු ඇටයක් ඉතුරු වෙලා තියෙනවා. ඔහු ඒක අතට අරගෙන දෙකට පැළුවා. ඒක රටකජු පළුවක් අල්ල උඩ තියාගෙන ඒක මට පෙන්නලා 'මේ රටකජු පළුව මම ඔබෙන් මිලදී ගන්නවා' කියලා ඔහු මට රත්තරන් කාසි පුරවපු මල්ලක් දුන්නා. මට අදහ ගන්න බැරි වුනා. ඊට පස්සෙ ඔහු අනිත් පළුව ඔහුගේ බිරිඳට දුන්නා. ඇය ඒ රටකජු පළුව වෙනුවෙන් මට රත්තරන් කාසි පුරවපු මළු දෙකක් දුන්නා.
මම මේ සේද රෙදි වෙළඳාම පටන් ගත්තේ ඒ මුදලෙන්. අද මම බස් රා නගරයේ ධනවත්ම වෙළෙන්දා"
ඔහු කවියාට රත්තරන් කාසි හයසීයක් තෑගි කළා. ඒ තෑග්ග ඔහු හැම අවුරුද්දකම කවියාට දුන්නා
No comments:
Post a Comment