රොබින් ඔෆ් ෂර්වුඩ් කියන්නෙ රොබින් හුඩ් පුරාවෘතය මත පදනම් වුන ටීවී සීරිස් එකක්. ඒක අපි හැමෝම පොඩි කාලෙ ආසාවෙන් බලපු එකක්. අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෙ නෑ.
නවීන යුගයේ බිහි වුන තවත් රොබින් හුඩ් කතා රැසක් තිබුනත් ඒ කිසිම එකක නැති විශේෂත්වයක් රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ තියෙනවා. ඒ තමයි අනෙක් සියළු රොබින් හුඩ් කතා හුදෙක් දුප්පත්-පොහොසත් අරගලය ගැන අවධානය යොමු කරත්, රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ ඒ කාලේ එංගලන්තයේ සහ යුරෝපයේ තිබුනු ජනවාර්ගිකත්වය මත පදනම් වුන දේශපාලනය ගැන අවධානය යොමු කර තිබීම.
ඒ කාලේ එංගලන්තයේ දේශපාලනයට වැදගත් වුන සියළුම ජනවර්ග සහ ඒවා අතර අන්තර් සබඳතා සියල්ලම වගේ රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවෙන් පෙන්නනවා.
ඇංග්ලෝ-සැක්සන්
ඒ කාලේ එංගලන්තයේ ජනගහණයෙන් බහුතරය වුනේ "ඇංග්ලෝ-සැක්සන්" (කෙටියෙන් සැක්සන් කියලත් කියන) ජනවර්ගය. ඔවුන් ඊට සියවස් කීපයකට පෙර වර්තමාන ජර්මනියේ සිට සංක්‍රමනය වුන ජර්මැනික් වර්ගයට අයත් ගෝත්‍ර කීපයක එකතුවක්. ඒ අතරින් ප්‍රධාන ගෝත්‍ර වුනේ ඇංගල් සහ සැක්සන් කියන ගෝත්‍ර. ඒ ජන වර්ගයට නම ලැබුනේ ඒ ගෝත්‍ර දෙකේ නමින්. ඔවුන් ගේ භාෂාව ඉංග්‍රීසි (වර්තමාන ඉංග්‍රීසි ම නෙවෙයි. වර්තමාන ඉංග්‍රීසි ඒ කාලේ ඉංග්‍රීසි භාෂාවෙන් පරිණාමය වුන භාෂාවක්).
1066 වන තුරු එංගලන්තයේ දේශපාලන බලය හිමිකරගෙන හිටියේ සැක්සන් වරු. 1066 ට පසු සමහර සැක්සන් වංශවතුන් ඉඩම් හිමි ධනවතුන් විදිහට හිටියත්, ඔවුන්ගේ බලය ගොඩක් පිරිහුනා.
රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ රොබින් හුඩ් (දෙන්නම), මැරියන්, රොබින් හුඩ් ගේ කල්ලියේ සියළු සාමාජිකයන් (නසියර් හැර), ගම් වාසීන් සැක්සන් ජන වර්ගයේ සාමාජිකයන්. රොබට් ඔෆ් හන්ටින්ඩන් සහ මැරියන් වංශවත් සැක්සන් පවුල් වලින් පැවත එන අය.
නෝමන්
දෙවෙනි ජනවර්ගය වෙන්නේ නෝමන් වරු. නෝමන් වරු කියන්නේ වර්තමාන ඩෙන්මාර්කයේ ඉඳලා ඇවිත් උතුරු ප්‍රංශයේ පදිංචි වුන වයිකිං ගෝත්‍රිකයන්. ඔවුන් ප්‍රංශයට එන්නෙ මංකොල්ල කන්න. උතුරේ සිට එන නිසා ඔවුන් ප්‍රංශ ජාතිකයන් විසින් "නෝමන්" (North-Men) කියලා හැඳින්වුවා. ඔවුන් ගේ කරදරයෙන් බේරෙන්න ප්‍රංශ රජු ප්‍රංශයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයක් ඔවුන්ට පදිංචි වෙන්න පවරලා දෙනවා. නෝමන් වරු පදිංචි වුන ප්‍රදේශය හැඳින්වුනේ නෝමන්ඩිය කියලා. නෝමන්ඩියේ පදිංචි වුන වයිකිං වරු පසුව ප්‍රංශ සංස්කෘතියට අනුගත වෙනවා. ඔවුන් කතා කළේ ප්‍රංශ භාෂාව.
1066 දී එංගලන්තයේ සැක්සන් රජ පවුලට නෑකමක් තිබුන නෝමන් වාංශික කුමාරයෙක් වුන විලියම් එංගලන්තය ආක්‍රමනය කරලා එංගලන්තයේ සිහසුන පැහැරගන්නවා. එතැන් සිට අවුරුදු 700 විතර එංගලන්තය පාලනය කරන්නේ ඔහුගෙන් පැවත එන අය. නෝමන් වරු එංගලන්තයේ බලය අල්ල ගත්තට පස්සේ එහි ඉඩම් හිමි ධනවතුන් වෙන්නේ ඔවුන්. සැක්සන් වරුන් අතේ තිබුන දේශපාලන බලය සම්පූර්නයෙන්ම උදුරා ගන්න නෝමන් වරු සමත් වෙනවා. නෝමන් සහ සැක්සන් සංස්කෘතීන් දෙක මුහු වීමෙන් තමයි වර්තමාන ඉංග්‍රීසි ජාතිය බිහි වෙන්නේ.
රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ "දුෂ්ඨයන්" ඔක්කොම වගේ නෝමන් වරු. නොටිංහැම් හි ෂෙරීෆ්, ගයි ඔෆ් ගිස්බොන්, රිචඩ් රජතුමා, ජෝන් රජතුමා, ඇබට් හියුගෝ සහ කතාවේ එන වංශවතුන්ගෙන් බහුතරය නෝමන් වරු.
රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවට පසුබිම් වෙන්නේ නෝමන් වරු සහ සැක්සන් වරු අතර පැවතුන බල අරගලය. රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ තියෙන ප්‍රධාන "වැරැද්දක්" තමයි ෂෙරීෆ්, ගිස්බොන් ඇතුළු නෝමන් වරු ඉංග්‍රීසියෙන් කතා කිරීම. ඇත්තටම ඔවුන් කතා කළේ ප්‍රංශ භාෂාව. සැක්සන් වරු ඔවුන් සැලකුවේ විදේශිකයන් විදිහට. The Kings Fool කතාවේ විල් ස්කාලට් විසින් රිචඩ් රජතුමාව "A fancy Frenchman" කියලා හඳුන්වන අවස්ථාවක් තියෙනවා. ඒක ඉතාම නිවැරදියි.
වෙල්ෂ්
තුන්වෙනි ජනවර්ගය වෙල්ෂ් වරු. වෙල්ෂ් වරු කියන්නේ සැක්සන් වරු ඇතුළු ජර්මැනික් ජනවර්ග එංගලන්තයට එන්න කලින් එංගලන්තයේ හිටපු සෙල්ටික් වර්ගයට අයත් ජනවර්ගයක්. ස්කොට් සහ අයිරිෂ් වරු ඔවුන් ගේ ළඟ නෑයෝ. ජර්මැනික් ගෝත්‍රයන් විසින් ඔවුන්ව වර්තමාන වේල්සයට පලවා හරිනවා. සෙල්ටික් සංස්කෘතියේ සිටි වෙල්ෂ් වරු ක්‍රිස්තියානිය වැළඳ ගත්තේ අනෙක් ජනවර්ග වලට පසුව. ඔවුන් කතා කළ භාෂාව වෙල්ෂ්.
රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ එන ඕවන් ඔෆ් ක්ලන් සහ ඔහුගේ කට්ටඬියා වන ගල්නර් වෙල්ෂ් ජාතිකයන්. ඕවන් ඔෆ් ක්ලන් ගේ බලකොටුවේ ජීවිතය (ද්වන්ද්ව සටන්, මන්තර ගුරුකම්) සහ පසුව ගල්නර් විසින් ගොඩ නගන වෘකයාගේ කල්ලිය වෙල්ෂ් සංස්කෘතිය සහ සැක්සන්-නෝමන් සංස්කෘතීන් පැහැදිලිව වෙන් කරලා දකින්න පුළුවන් අවස්ථා.
ප්‍රංශ
ඊළඟට අපිට හමු වෙන්නේ ප්‍රංශ ජාතිකයන්. ඒ Seven Poor Knights from Acre කතාවේ එන ටෙම්ප්ලාර් නයිට් වරු විදිහට. මේ කාලයේ කුරුස යුද්ධ සඳහාම බිහි කළ ආගමික-මිලිටරි සංවිධානයක් වුන ටෙම්ප්ලාර් නයිට් වරුන්ගේ මූලස්ථානය තිබුනේ ප්‍රංශයේ. ඔවුන්ගේ සාමාජිකයන් බහුතරයක් ප්‍රංශ ජාතිකයන්. රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ ටෙම්ප්ලාර් නයිට් වරු කතා කරන්නේ විදේශීය ඌරුවකින්.
අරාබි
අන්තිමට අපිට හමුවෙනවා අරාබි ජාතිකයෙක්. ඒ නසියර්, එහෙම නැත්තම් "නසීර් මලික් කෙමල් ඉනාල් ඊබ්‍රහිම් ෂම්ස් අද්-දුල්ලා වත්තාබ් ඉබ්න් මහ්මූද්".
නසීර් අරාබියේ ඉපදුනු අරාබි ජාතිකයෙක්. යුරෝපීයන් හඳුන්වන විදිහට සැරසන් වරයෙක්. ඔහු පලස්තීනයේදී කුරුස යුද්ධ කරුවන්ගේ සිරකරුවෙක් වෙලා එංගලන්තයට එනවා.
කතාවේ එන විදිහට නසීර් "හෂ්ෂාෂින්" නමින් හැඳින්වුනු සංවිධානයට අයත් නිසා අපිට ඔහු ඉස්මයිලී ෂියා නිකායට අයත් මුස්ලිම් වරයෙක් ලෙස හඳුනාගන්න පුළුවන්. හෂ්ෂාෂින් කියන්නේ වර්තමාන ඉරානයේ සහ සිරියාවේ හිටපු ඉස්මයිලි ෂියා නිකායට අයත් මුස්ලිම් වරුන් ගේ සංවිධානයක්.
රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ නසීර් ඌරු මස් අනුභවයෙන් සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම කතා රචකයන් කතාවේ නිවැරදි බව ගැන දක්වපු සැලකිල්ලට හොඳ උදාහරණයක්.
නසීර්ට අමතරව The Sheriff of Nottingham කතාවේ සැරැක් නම් නසීර් ගේ පැරණි සගයෙක් අපිට හමු වෙනවා. The Greatest Enemy කතාවේදීත් නසීර් ගේ පැරණි සගයන් දෙදෙනෙක් ඉන්නවා. මේ සියළු දෙනා අරාබි ජාතිකයන්.
තවත් එකක් - රොබින් හුඩ් ගේ සගයෙක් විදිහට අරාබි ජාතිකයෙක් ඇතුල් වීමේ සම්ප්‍රදාය පටන් ගන්නේ රොබින් ඔෆ් ෂර්වුඩ් කතා මාලාවෙන්. එතැන් සිට හැදුනු හැම රොබින් හුඩ් කතාවකම රොබින් හුඩ් ට අරාබි සගයෙක් ඉන්නවා.
No comments:
Post a Comment