Sunday, July 2, 2023

ඉබ්න් රුෂ්ද්, බුද්ධියේ ඒකීය බව සහ බටහිර ඓහිකවාදයේ මුල්

 

"අබ්දුල් වලීඩ් මුහම්මද් ඉබ්න් අහ්මද් ඉබ්න් රුෂ්ද්" කියන්නේ 12 වෙනි සියවසේ අල්-අන්දලූස් (වර්තමාන ස්පාඤ්ඤය​) හි ජීවත් වුන ඉස්ලාමීය දාර්ශනිකයෙක් සහ ආගමික විද්වතෙක්. ඔහු ඉස්ලාමීය ලෝකයේ ප්‍රසිද්ධ වෙන්නේ "ඉබ්න් රුෂ්ද්" කියන නමින්. ඉබ්න් රුෂ්ද් කියන එක ලතින් බසට පෙරලෙන්නේ "අවේරෝයීස්" කියලා. ඒ නිසා බටහිර ලෝකයේ ඔහු ප්‍රසිද්ධ අවේරෝයීස් නමින්.

ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ මේ සමයේදී දැණුම ලබාගැනීම පිළිබඳ මූලික ක්‍රම තුනක් අනුගමනය කළා.

පළමුවැන්න​, හෙළිදරව්ව (revelation) ප්‍රධාන දැණුම ලබාගන්නා ප්‍රභවය කරගත් ගුරුකුලය​. මොවුන් "හදීතවාදීන්" (traditionalists) ලෙස හැඳින්වුනු අතර "ඉබ්න් තයිමියියා" මේ ගුරුකුලයේ ප්‍රමුඛම විද්වතා වුනා.

දෙවැන්න​, අන්තර්ඥානය (intuition) හරහා ප්‍රධාන වශයෙන් දැණුම ලබා ගත් ගුරුකුලය​. මොවුන් ප්‍රධාන වශයෙන් සූෆි සම්ප්‍රදායට අයත් වුනු අතර​, "ඉබ්න් අරාබි" සහ "ෆකර් අද්-දීන් ඉරාකි" වැන්නවුන් මේ ගුරුකුලයේ ප්‍රමුඛ විද්වතුන් වුනා.

තුන්වැන්න​, තර්කය (logic) සහ සහේතුක බුද්ධිය (rationality) හරහා ප්‍රධාන වශයෙන් දැණුම ලබාගත් ගුරුකුලය​. මොවුන් "දාර්ශනිකයන්" (ෆලාසිෆා) නමින් හැඳින්වුනු අතර​, "ඉබ්න් සීනා" (ලතින්: ඇවිසෙනා) සහ "අල් ෆරාබි" වැන්නවුන් ඔවුන් අතර ප්‍රධාන වුනා.

ඉබ්න් රුෂ්ද් අයත් වුනේ මින් තුන්වැනි ගුරුකුලයට​. මේ ගුරුකුලයේ ඉබ්න් සීනා වැනි දාර්ශනිකයන් මූලිකවම අනුගමනය කළේ ප්ලේටෝ ගේ දාර්ශනික සම්ප්‍රදාය​. නමුත් ඉබ්න් රුෂ්ද් ඊට පටහැනිව යමින් ඇරිස්ටෝටල් ගේ දාර්ශනික සම්ප්‍රදාය අනුගමනය කළා. මේ නිසා ඉස්ලාමීය විද්වතුන් අතර​, වඩාත්ම තර්කන බුද්ධියට වටිනාකමක් දුන් විද්වතා වන්නේ ඉබ්න් රුෂ්ද්.

ඉබ්න් රුෂ්ද් ගේ අදහස් අතර වැදගත්ම අදහසක් වුනේ "බුද්ධියේ ඒකීය බව​" (unity of intellect) පිළිබඳ ඔහුගේ අදහස්. මේ අදහස් ඇරිස්ටෝටල් ගේ අදහස් නැවත කියැවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙහිදී ඔහු දක්වන්නේ "බුද්ධිය​" පුද්ගලානුබද්ධ දෙයක් නොව​, පොදු එක් භූතාර්ථයක් බව​. ඔහු මේ පොදු බුද්ධිය "ක්‍රියාකාරී බුද්ධිය​" (active intellect) ලෙස හැඳින්වුවා. ක්‍රියාකාරී බුද්ධිය ඇසුරෙන් පවතින, එක් එක් මිනිසාට පාවිච්චි කළ හැකි තවත් පොදු බුද්ධියක් ඇති බව වැඩිදුරටත් සඳහන් කරන ඉබ්න් රුෂ්ද්, මේ දෙවන පොදු බුද්ධිය "භෞතික බුද්ධිය​" (material intellect) ලෙස හැඳින්වුවා.

"සිතීම​" (cogitation) යන ක්‍රියාවලිය හරහා මිනිසුන් භෞතික බුද්ධිය භාවිතා කරන අතර​, එමගින් භෞතික බුද්ධියේ අඩංගු පොදු දැණුම ඔවුන් ලබා ගන්නා බව ඉබ්න් රුෂ්ද් කියා සිටියා.

සිතීම​ (cogitation), ඉඳුරන් පහ හරහා ලැබෙන සංවේදන​ (senses), මතකය (memory) සහ තර්කන බුද්ධිය (reasoning) යන අංග හතරෙන් මනුෂ්‍යය ආත්මය සමන්විත වන බව ඉබ්න් රුෂ්ද් ගේ අදහස් වල දැක්වෙනවා. අවසාන වශයෙන් ඉබ්න් රුෂ්ද් සඳහන් කරන්නේ භෞතික දැණුම පරිපූර්ණ වශයෙන් ලබා ගැනීම මිනිස් ආත්මයට ලබාගත හැකි පරම තත්වය බව​.

භෞතික බුද්ධිය සියලුම මිනිසුන්ට පොදුවේ භාවිතා කළ හැකි නිසා "ලෝකයේ පවතින්නේ එක් පොදු නොවෙනස් සත්‍යයකි" යන අදහස ඉබ්න් රුෂ්ද් ගේ ලෝක දැක්මේ තදින්ම පවතින අංගයක්.

ඉබ්න් රුෂ්ද් ජීවත් වුනු කාලට සියවසකට පමණ පෙර සමයේදී ඉස්ලාමීය ශිෂ්ඨාචාරය තුළ ඉහත සඳහන් කළ ගුරුකුළ තුන අතර දැඩි වාද විවාද ඇති වුනා. නමුත් එකොළොස්වන සියවසේ අග භාගයේ ජීවත් වුනු "අල්-ගසාලි" නම් විද්වතා මේ ගුරුකුල තුනටම මැද මාවතක් අනුගමනය කරමින් නව ගුරුකුලයක් හඳුන්වාදුන් අතර​, එම ගුරුකුලය අනෙකුත් ගුරුකුල තුන මතවාදීමව පරාජය කරමින් ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ ප්‍රධාන ධාරාව බවට පත්වුනා. වර්තමානයේදීත් ඉස්ලාමයේ ප්‍රධාන ධාරාව වන්නේ අල්-ගසාලි ගේ ගුරුකුලය​.

විශේෂයෙන්ම තර්කය සහ සහේතුක බුද්ධිය උපයෝගී කරගත් ගුරුකුලය අල්-ගසාලි ගේ දැඩි විවේචනයට ලක් වුනු අතර​, එම ගුරුකුලය සම්පූර්ණයෙන්ම වාගේ අභාවයට ගියා.

ඉබ්න් රුෂ්ද් ජීවත් වුනේ අල්-ගසාලිට වසර 70 කට පමණ පසු. ඒ නිසා ඉබ්න් රුෂ්ද් ගේ කාලයේදී තර්කය සහ සහේතුක බුද්ධිය උපයෝගී කරගත් ගුරුකුලයට එතරම් වැදගත් තැනක් ලැබුනේ නෑ. මේ නිසා ඉබ්න් රුෂ්ද් ගේ අදහස් ඉස්ලාමීය ලෝකයේ ප්‍රචලිත වුනේ නෑ. ඔහු ඉස්ලාමීය ලෝකයේ සැලකෙන්නේ එතරම් වැදගත් චරිතයක් ලෙස නෙවෙයි.

නමුත්, 14 වන සහ 15 වන සියවස් වලදී ඉබ්න් රුෂ්ද් ඇරිස්ටෝටල් ගේ අදහස් ගැන ලියූ විචාර බටහිර යුරෝපයේ, විශේෂයෙන්ම ඉතාලියේ, ක්‍රිස්තියානි සහ යුදෙව් විද්වතුන් අතර අතිශය ප්‍රසිද්ධියට පත් වුනා. සමහරු ඔහුව තදින් විවේචනය කළ අතර​, සමහරු ඔහුගේ අදහස් වලින් ආභාෂයක් ලැබුවා. ඇත්තෙන්ම බටහිර ශිෂ්ඨාචාරයට වැඩිම බලපෑමක් කළ ඉස්ලාමීය විද්වතා ලෙස ඉබ්න් රුෂ්ද් හැඳින්වුවොත් එය නිවැරදියි (මේ අදහස් වලින් සැලකිය යුතු කොටසක් ඇරිස්ටෝටල් ගේ අදහස් වුනත්, ඒවා බටහිර ලෝකයට යන්නේ ඉබ්න් රුෂ්ද් හරහා).

"විශේෂයෙන්ම පුද්ගලානුබද්ධ නොවුනු ලෝකයටම පොදු එක දැණුමක් තිබේ සහ ඒ දැණුම ලබා ගැනීම මිනිසාට ලඟාවිය හැකි පරම තත්වය වේ" යන අදහස බටහිර විද්වතුන් අතර තදින්ම පැතිරගිය අදහසක්. එහිම දිගුවක් ලෙස "සියලුම මිනිසුන් එක පොදු දැණුමක් ලබා ගැනීම හරහා ලෝකයට පොදු වූ එක් දේශපාලන ආධිපත්‍යයක් ඇති කිරීම සහ එමගින් ලෝක සාමය උදා කර ගැනීම​" පිළිබඳ අදහස් ඔවුන් අතර බිහි වෙනවා.

මේ අදහස් වලින් ආභාෂය ලබන ඉතාලි ජාතික කවියෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විචාරකයෙක් වන "දාන්තේ" 1313 දී "රාජ්‍යත්වය​" (Da Monarchia) නමින් තීසිසයක් ඉදිරිපත් කරනවා. මේ තීසිසයෙන් දාන්තේ උත්සහ කරන්නේ ඔහු වාසය කළ ඉතාලියේ ෆ්ලොරස්න් නගරය එවකට පාප් වහන්සේ ගේ දේශපාලන ආධිපත්‍යයෙන් මිදීමට කළ අරගලයට මතවාදීමය පදනමක් සකස් කිරීමට​.

එවකට යුරෝපයේ තිබූ ප්‍රධාන ධාරාවේ අදහස වූයේ රාජ්‍යත්වය සඳහා අවශ්‍යය වල අධිකාරීත්වය (authority) දෙවියන් වහන්සේ ගෙන් පාප් වහන්සේ වෙත ලැබෙන බවත්, පාප් වහන්සේ එය රජවරුන්ට ලබා දෙන බවත්. මෙහිදී පාප් වහන්සේ ඉරටත්, රජු සඳටත් උපමා කෙරුනා. සඳට ආලෝකයක් නොමැති අතර, එය කරන්නේ ඉරේ ආලෝකය පරාවර්තනය කිරීම​.

නමුත් දාන්තේ රජතුමා සහ පාප් වහන්සේ යන දෙදෙනාටම වෙනස් ආකාරයක අධිකාරීත්වයක් දෙවියන් ගෙන් ලැබෙන බව ප්‍රකාශ කර සිටියා. එහිදී පාප් වහන්සේට ආගමික අධිකාරීත්වය ලැබෙන බවත්, රජතුමාට දේශපාලන අධිකාරීත්වය ලැබෙන බවත් ප්‍රකාශ කළ දාන්තේ, මේ දෙක වෙනම පැවතිය යුතු බවට අදහස් පල කළා.

භක්තිමත් කතෝලිකයෙක් වූ දාන්තේ පාප් වහන්සේ ගේ ආගමික අධිකාරීත්වය වඩා ශුද්ධ වූ උසස් එකක් බව ප්‍රකාශ කළත්, තමාගේ දේශපාලන අධිකාරීත්වයට අභියෝග කළ නිසා පාප් වහන්සේ දාන්තේ ගේ තීසිසය තහනම් කළා.

දාන්තේ ගේ මේ අදහස් පුනරුද සමයේ රජතුමා (රාජ්‍යය​) සහ පාප්වහන්සේ (ආගම​) අතර දේශපාලන බලය වෙන් කළ යුතු බවට විධිමත් ලෙස පළවූ ප්‍රථම අදහස ලෙස සැලකෙනවා.

මේ වර්තමාන බටහිර නූතනත්වයේ පදනම් සංකල්පයක් වූ ඓහිකත්වයේ (secularism) ආරම්භයයි.

No comments:

Post a Comment