Monday, July 3, 2023

මලාලා

 


මලාලා යූසුෆායි නැත්තම් මලාලා යූසුෆ් කියන්නේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක්. ඇය පාකිස්ථානයේ පිටිසර ගමක ඉපදුනු පෂ්තුන් ජාතික තරුණියක්. ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි නිසා තලීබාන් සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් ඇයට වෙඩි තැබීම නිසා ඇය ජාත්‍යන්තරව විශාල ප්‍රසිද්ධියක් සහ කීර්තියක් ලැබුවා.

මලාලා යූසුෆ්

නමුත් මේ කතාව ඒ මලාලා ගැන නෙවෙයි.

"මලාලා" කියන පෂ්තූන් නමේ තේරුම "ශෝකයට පත්වුනු" කියන එක. ඒ වගේ නමක් ඇගේ දෙමාපියන් ඇයට තිබ්බේ ඇයි?

1878 දී දෙවන ඇංග්ලෝ-ඇෆ්ගන් යුද්ධය ඇරඹුනා. බ්‍රිතාන්‍යය හමුදාවන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කරලා ඇෆ්ගනිස්ථානයේ එමීර් වරයා වුනු මුහම්මද් යාකුබ් ඛාන් බලයෙන් පහ කරලා ඒ වෙනුවට ඔවුන්ට හිතවත් එමීර් වරයෙක් බලයට පත් කළා. යාකුබ් ඛාන් ඉන්දියාවට පිටුවහල් කෙරුනා.

බ්‍රිතාන්‍යයන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කොනේ පිහිටි කාබුල් අගනුවර සහ දෙවන ප්‍රධාන නගරය වුනු කන්දහාර් හි බලය තහවුරු කර ගත්තා. නමුත් නිදහස් කාමී පෂ්තූන් ජාතිකයෝ සහ අනෙකුත් ඇෆ්ගන් ජාතිකයෝ බ්‍රිතාන්‍යයන්ට යටත් වීම අනුමත කළේ නෑ. ඇෆ්ගනිස්ථානයේ බටහිර කොනේ පිහිටි හෙරාත් නගරයේ ආණ්ඩුකාරයා වුනේ යාකුබ් ඛාන් ගේ සොහොයුරු අයූබ් ඛාන්. අයූබ් ඛාන් බ්‍රිතාන්‍යයන්ට පහර දෙන්න කුඩා හමුදාවකුත් එක්‍ රැස් කරගෙන පිටත් වුනා.

අයූබ් ඛාන්

මේ හමුදාවට අතරමග ගම්-නගර වලින් පිරිස් එකතු වුනා. කන්දහාර් නගරයට ළඟා වෙද්දී එය 25,000 ක විශාල හමුදාවක් බවට පත් වෙලා. ඔවුන් ගේ ඉලක්කය වුනේ කන්දහාර් හි ලැගුම් ගෙන සිටි 2500 ක බ්‍රිතාන්‍යය හමුදාව. මේ හමුදාවෙන් 500 ක් බ්‍රිතාන්‍යය ජාතිකයන් වුනු අතර, 2000 ක් ඉන්දියානු ජාතිකයන් වුනා. ඔවුන් සතුව තිබුනු ප්‍රධාන වාසිය වුනේ රාත්තල් නවයේ කාලතුවක්කු බතරොයිය.

ඇෆ්ගන් හමුදාව කන්දහාර් නගරයට නුදුරින් පිහිටි මයිවාන්ද් දුර්ගය වෙත ළඟාවුනු බව ඇසූ බ්‍රිතාන්‍යය අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෝර්ජ් බරෝව්ස් තම හමුදාවට මයිවාන්ද් දුර්ගය කරා යාමට අණ දුන්නා. මයිවාන්ද් නිම්නයේදී බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වුනේ ඔවුන්ගේ කාලතුවක්කු ප්‍රහාරයන්ගෙන් ඇෆ්ගන් ප්‍රහාරය බිඳ දමා ඇෆ්ගන් හමුදාව පසු බස්සවන්න.

නමුත් බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු නොවූ ආකාරයට ඇෆ්ගන් හමුදාව සතුව නවීන ආම්ස්ට්‍රෝං වර්ගයේ කාලතුවක්කු බතරොයියක් තිබුනා. මේ නිසා බ්‍රිතාන්‍යයන්ගේ කාලතුවක්කු ප්‍රහාරයට පිළිතුරු කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන්න ඔවුන් සමත් වුනා. ඒ නිසා බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වුනු ආකාරයට ඇෆ්ගන් හමුදාව බිඳ වැටුනේ නෑ.

පැය තුනක කාලතුවක්කු සටනක් මයිවාන්ද් දුර්ගයේ ඇතිවුනා. බ්‍රිතාන්‍යයන් ගේ වම් අංශයේ කාලතුවක්කු වල උණ්ඩ අවසන් වුනු නිසා නැවත උණ්ඩ ගෙන එන තුරු වම් අංශයේ කාලතුවක්කු නිහඬ කිරීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වුනා. ඒ අවසරයෙන් ඇෆ්ගන් පාබල සෙබළු බ්‍රිතාන්‍යය වම් අංශයට කඩා වැදුනා. සුළු වේලාවකින්ම බ්‍රිතාන්‍යය හමුදාවේ වම් අංශය බිඳවැටුනු අතර ඇෆ්ගන් ප්‍රහාරය බ්‍රිතාන්‍යයන්ගේ මධ්‍යය දෙසට යොමු වුනා. බ්‍රිතාන්‍යය හමුදාවේ මධ්‍යය සමන්විත වුනේ බ්‍රිතාන්‍යය ජාතික සෙබළුන් සේවය කළ 66 වෙනි බර්ක්ෂයර් රෙජිමේන්තුවෙන්.

66 වන බර්ක්ෂයර් රෙජිමේන්තුවේ සෙබළුන්

තත්වය බරපතල බව දුටු බ්‍රිගේඩියර් ජෝර්ජ් බරෝව්ස් තම හමුදාවට පසු බසින්නට අණ දුන්නා. බ්‍රිතාන්‍යය හමුදාව පසුබසින තුරු ඇෆ්ගන් ප්‍රහාරය නවතාගෙන සිටීමේ වගකීම පැවරුනේ කාලතුවක්කු බලඇණියකට සහ ඉන්දියානු සෙබළුන්ගෙන් සමන්විත ඉංජිනේරු බලඇණියකට. ඔවුන්ට අණදුන්නේ ලුතිනන් හෙන්.

ලුතිනන් හෙන් යටතේ බ්‍රිතාන්‍යය සෙබළුන් ඉතා නිර්භීත ලෙස සටන් වදිමින් තම සගයන් ගේ පසුබැසීම ආවරණය කළා. නමුත් ඇෆ්ගන් හමුදාවේ දරුණු ප්‍රහාර හමුවේ ඔවුන්ට ක්‍රමයෙන් පසුබසින්නට සිදු වුනා. ඔවුන් පසු බැස්සේ අසල තිබූ කුඩා ගමක් වුනු "කිග්" වෙත. මෙහිදී කුඩා ගෙවත්තක් සහ ඒ අවට තිබූ ගොඩනැගිලි කිහිපයක ආවරණය ලබාගත් ඔවුන් ඇෆ්ගන් ප්‍රහාරයට මුහුණ දුන්නා.

කිග් ගම්මානයේ වාසය කළ දුප්පත් එඬේරෙක් ඇෆ්ගන් හමුදාවට එක්ව සිටියා. ඔහුගේ දුව 19 හැවිරිදි පෂ්තුන් තරුණියක්. මේ තරුණියගේ පෙම්වතාත් ඇෆ්ගන් හමුදාවට එක්ව සිටියා. මේ තරුණියත් හමුදාව සමග සටන්බිම වෙත පමිණ සිටියේ තුවාල කරුවන්ට සාත්තු කිරීමට.

ලුතිනන් හෙන් ගේ බ්‍රිතාන්‍යය සෙබළු හොඳින් ආවරණය වී සිටි නිසා ඇෆ්ගන් හමුදාවන්‍ට තම ප්‍රහාරය එල්ල කිරීම පහසු වුනේ නෑ. ඇෆ්ගන් සටන්කරුවන් විශාල ප්‍රමානයක් ප්‍රහාරයෙන් මිය ගියා. ක්‍රමයෙන් ඔවුන්ගේ ධෛර්‍යය සිඳී යමින් පැවතුනා.

මේ වෙලාවේ ඇෆ්ගන් හමුදාවේ ධජය රැගෙන යන්නා බ්‍රිතාන්‍යය වෙඩි පහරකින් මිය ගියා. බිම වැටුනු ධජය ඔසවා ගන්නට වෙඩි පහර මැද සටන් බිමට දිව ගියේ අර පෂ්තුන් තරුණිය. ඇය නිකම්ම තරුණියක් නෙවෙයි, කිවිඳියක්. ඇෆ්ගන් ධජය ඉහළට ඔසවමින් ඇය "ලන්දායි" නමින් හැඳින්වෙන පෂ්තුන් ජනගීයක් ගැයුවා.

"මගේ පෙම්වත, අද මේ සටනින් 
ඔබ මිය ගියේ නැතිනම්
අල්ලාහ් ගේ නාමයෙන්, කෙනෙක් ඔබව
අවමානයේ සංකේතයක් ලෙස සලකාවි"

ඇගේ නිර්භීත කමින් සහ කවියෙන් දිරිවඩා ගත් ඇෆ්ගන් සෙබළු නව ප්‍රහාරයක් එල්ල කරමින් ඉදිරියට ඇදුනා. තරුණියත් ධජයද රැගෙන ජනගී ගයමින් ඔවුන් සමඟ ඉදිරියට ගියේ වෙඩි වර්ෂා මැද.

"මාගේ පෙම්වතාගේ ලේ බිඳුවක්
මව්බිම වෙනුවෙන් හෙළුවොත්
එයින් මොට්ටුවක් තබමි මම නළල මත
මේ ගෙවත්තේ ඇති රතු රෝස මල් පරදවන"

ඇෆ්ගන් සටන්කරුවන් වගේම ලුතිනන් හෙන් සහ ඔහුගේ සෙබළුන් එක එකා ඇද වැටුනා. ඉතාම දරුණු සටනක් ඇවිලී ගියා. අන්තිමේදී ඉතිරි වුනේ බ්‍රිතාන්‍යය සෙබළු එකොළොස් දෙනෙක් පමණයි. ඔවුන් බයිනෙත්තු සවි කරගෙන ඇෆ්ගන් සටන්කරුවන් වෙත කඩා වැදී අවසාන සෙබළාත් මිය යන තුරු ඇෆ්ගන් ප්‍රහාරය වැළක්වුවා.


සටනින් ඇෆ්ගන් සටන්කරුවන්ටත් දරුණු අලභානි අත් වුනා. ධජය ගෙන ගිය තරුණිය, ඇගේ පියා සහ ඇගේ පෙම්වතා යන තිදෙනාම සිටියේ මළවුන් අතර.

පසු බැසීම ආවරණය කළ බ්‍රිතාන්‍යය සෙබළුන් සියල්ල මරා දැමුණු පසු පසුබසිමින් සිටි බ්‍රිතාන්‍යය හමුදාව වෙත ඇෆ්ගන් හමුදාව කඩා වැදුනා. බ්‍රිතාන්‍යයන්ට අත් වුනේ දරුණු පරාජයක්. බ්‍රිතාන්‍යය හමුදාව නැවත කන්දහාර් නගරයට ළඟා වුනේ සෙබළු 948 ක් සහ නිලධාරීන් 21 ක් අහිමි කර ගනිමින්. ඒ බ්‍රිතාන්‍යය හමුදාවෙන් බාගයක්.

මයිවාන්ද් සටනින් ඇෆ්ගන් හමුදාව ජය ගත්තත්, කන්දහාර් නගරය අල්ලා ගන්න ඔවුන්ට හැකි වුනේ නෑ. කන්දහාර් නගරය වටලා පහර දෙමින් සිටියදී කාබුල් සිට පැමිණි බ්‍රිතාන්‍යය ආධාරක හමුදාවක් ඔවුන්ට දරුණු පරාජයක් අත් කර දුන්නා. අයුබ් ඛාන් බ්‍රිතාන්‍යය සිරකරුවෙක් විදිහට ඉන්දියාවට ගෙන ගියා.

දෙවන ඇංග්ලෝ-ඇෆ්ගන් යුද්ධයෙන් ඇෆ්ගනිස්ථානයට අත්වුනේ පරාජයක්. 1880 සිට 1919 දක්වා ඇෆ්ගනිස්ථානය පාලනය වුනේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ප්‍රදේශයක් විදිහට. නමුත් මයිවාන්දි හි සටන ඇෆ්ගන් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු පරිච්ඡේදයක්.

ඇෆ්ගන් ධනය රැගෙන ගිය තරුණිය ඇෆ්ගනිස්ථානයේ ජාතික වීරයෙක් ගේ තත්වයට පත් වුනා. අදටත් ඇගේ සොහොන කිග් ගම්මානයේ දකින්න පුළුවන්. ඇෆ්ගන් ජාතිකයෝ අදටත් ඒ සොහොනට අචාර කරනවා.

තරුණිය ගේ සොහොන

නමුත් කවුරුත් ඇගේ නම දන්නේ නෑ. ඇයව ඇෆ්ගන් වරු හැඳින්වුවේ "ශෝකයට පත්වූ" කියන තේරුම ඇති "මලාලා" යන නමින්.

No comments:

Post a Comment