පොරොන්දු දේශය හෙවත් යුදෙව්වන් ගේ ඉතිහාසය
වර්තමානයේ ඊශ්‍රායලය සහ පලස්තීනය කියලා හඳුන්වන ප්‍රදේශයේ මිනිස් ජනාවාස ඇති වෙන්නෙ වසර 5000 තරම් ඈත කාලයේ. මේ ප්‍රදේශය මිනිස් ඉතිහාසයේ මුල්ම ජනාවාස ඇති වුනු ප්‍රදේශයක්.
ඒ කාලෙ ඉඳලම විවිධ ජනවර්ග මේ ප්‍රදේශයේ ජීවත් වුනා. ඒකට ප්‍රධාන හේතුව වුනේ සරු පස සහ සතුන් ඇති කරන්න සුදුසු බිම්. මේ ප්‍රදේශය ඓතිහාසිකව හැඳින්වුනේ "කනාන්" කියලා. කනානය පුරාම එඬේර - ගොවි ජන කණ්ඩායම් විශාල ප්‍රමානයක් ජීවත් වුනා.
ක්‍රි.පූ. 1200 දී පමණ මේ එක් ජනවර්ගයක් තමාව "ඊශ්‍රායල් වරු" කියලා හඳුන්වාගන්න පටන් ගත්තා. ඔවුන්ගේ භාෂාව වුනේ හීබෲ. ඔවුන් කනානයේ විසූ අනෙක් ජන වර්ග වලට වඩා සුවිශේෂී වුනේ ඔවුන් ගේ ආගමෙන්. ඔවුන් ඇදහුවේ එක දෙවියෙක් පමණයි. මේ දෙවියන් ඔවුන් හැඳින්වූයේ "යෙහෝවා" නමින්. යෙහෝවා දෙවියන් විශ්වය නිර්මානය කළ බවත්, ලෝකයේ සියළු දේ පාලනය කරන බවත් ඔවුන් විශ්වාස කළා. ඒ වගේම යෙහෝවා දෙවියන් තමාට වැඳුම් පිදුම් කරන තමාගේ ජනවර්ගය ලෙස ඊශ්‍රායල් වරු තෝරාගත් බවත්, ඒ වෙනුවෙන් ඊශ්‍රායල් වරුන්ට ධනය සහ බලය ලබා දෙන බවත් ඔවුන් විශ්වාස කළා. ඔවුන් තමාගේ ආගමික විශ්වාසයන් "ටෝරා" නමින් හැඳින්වුනු පොත් වල සටහන් කළා.
ක්‍රි.පූ. 930 දී පමණ ඊශ්‍රායල් වරු කනානයේ රාජධාණි දෙකක් පිහිටුවාගෙන හිටියා. ඒ උතුරින් පිහිටි වඩා විශාල සහ වඩා බලවත් ඊශ්‍රායලය සහ දකුණින් පිහිටි ජුදාව. ඊශ්‍රායලයේ අගනුවර වුනේ සමාරියා නගරය. ජුදාවේ අගනුවර වුනේ ජෙරුසෙලම් නගරය. මේ වන විට කනානයේ සිටි බලවත්ම ජනවර්ගය මෙන්ම ප්‍රමානාත්මකව විශාලතම ජනවර්ගය වුනේ ඊශ්‍රායල් වරු.
![]() |
ඊශ්‍රායල් රාජධාණිය සහ ජුදියා රාජධාණිය |
ක්‍රි.පූ. 750 දී එවකට මැද පෙරදිග කලාපයේ සුපිරි බලවතා වූ ඇසිරියන් අධිරාජ්‍යය ඊශ්‍රායලය ආක්‍රමනය කරලා එය යටත් කර ගත්තා. ඊශ්‍රායලයේ විසූ ජනතාවගෙන් සමහරෙක් ජුදාව වෙත පලාගියා. සමහරෙක් ඇසිරියන් වරු විසින් වහලුන් ලෙස පැහැරගෙන ඔවුන්ගේ අධිරාජ්‍යයේ වෙනත් ප්‍රදේශ වලට රැගෙන ගියා. මේ සිද්ධිය ඊශ්‍රායල් වරුන්ගේ ඉතිහාසයේ මහා ඛේදවාචකයක් කියලා ඔවුන් විසින් සැලකෙනවා. මේ වහලුන් ලෙස රැගෙන ගිය ජනයා නැවත ඊශ්‍රායලයට පැමිනේවි යන විශ්වාසය ඔවුන්ගේ ආගමට ඇතුළු වුනා.
ඒ එක්කම තවත් වැදගත් වෙනසක් ඇති වුනා. ඒ එතෙක් කුඩා නගරයක්ව පැවති ජෙරුසෙලම ඊශ්‍රායලයෙන් ජුදාව වෙත පළා ආ සරනාගතයන් පදිංචි වීම නිසා විශාල වැදගත් නගරයක් බවට පත් වීම. ඇසිරියන් වරු ජෙරුසෙලමටත් පහර දුන්නත්, එය අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වුනා.
ක්‍රි.පූ. 586 දී ඒ වන විට මැද පෙරදිග සුපිරි බලවතා වුනු බැබිලෝනියානු අධිරාජ්‍යය ජුදාවට පහර දීලා එය අල්ලා ගෙන ජුදාවේ වැසියන්ගෙන් බහුතරය වහලුන් ලෙස බැබිලෝනියාවට ගෙන ගියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට කනානයේ ප්‍රධානම ජනවර්ගය ලෙස ඊශ්‍රායල් වරුන්ට තිබුනු තැන නැති වුනා. ඒ වගේම ඉතිහාසයේ ප්‍රථම වතාවය ඊශ්‍රායල් වරුන්ට තම දේශපාලන නිදහස අහිමි වුනා.
බැබිලෝනියාවේ වාසය කළ ඊශ්‍රායල් වරු නැවත තමාගේ මව් රටට යාමේ සිහින දැක්කා. ඔවුන් ජෙරුසෙලම හැඳින්වූයේ "සයොන්" යන නමින්. සයොනයට නැවත යාම ඔවුන්ගේ ආගමේ වැදගත් සංකල්පයක් බවට පත් වුනා. ඒ වගේම ලෝකයේ ඇති කෲර අධිපතිවාදී සොබාවය හැඳින්වීමේ පර්‍යාය පදයක් විදිහය "බැබිලෝනය" භාවිතා වුනා.
පසු කළෙක බැබිලෝනියන් අධිරාජ්‍යය පර්සියානුවන් විසින් යටත් කර ගත්තා. පර්සියානු අධිරාජ්‍යය සයිරස් විසින් ක්‍රි.පූ. 538 දී බැබිලෝනියාවේ වහලුන් ලෙස සිටි ඊශ්‍රායල් වරුන්ව නිදහස් කෙරෙනවා. ඊට පස්සෙ අවුරුදු 100 විතර කාලයක් පුරා බැබිලෝනියාවේ සිට ඊශ්‍රායල් වරු නැවතත් කනානය වෙත පැමිණුනා. ඔවුන් පර්සියන් රජුන් ගේ මිත්‍රශීලී යටත් වැසියන් ලෙස කනානයේ ජීවත් වුනා.
පසුව කනානය මහා ඇලෙක්සැන්ඩර් විසින් යටත් කර ගත්තා. ඔහුගේ මරණින් පසු ඔහුගේ අධිරාජ්‍යය කොටස් කීපයකට කැඩී ගිය අතර කනානය අයත් වුනේ සෙලූසිඩ් අධිරාජ්‍යයට.
ක්‍රි.පූ. 174 දී සෙලූසිඩ් අධිරාජ්‍යයා විසින් ඊශ්‍රායල් වරුන්ගේ ආගම ඇදහීම තහනම් කිරීමට උත්සහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායල් වරු කැරැල්ලක් ඇති කළා. මෙය හැඳින්වුනේ මැකබියන් කැරැල්ලා කියලා. මේ කැරැල්ලේ ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායල් වරු ජෙරුසෙලම අගනුවර කර ගත්ත අළුත් රාජධානියක් පිහිටුවා ගන්න සමත්වුනා. මේ රාජධාණිය හැඳින්වුනේ ජුදියාව කියලා. පැරණි ඊශ්‍රායල් සහ ජුදා රාජධාණි දෙකට අයත් වුනු ප්‍රදේශ වලින් වැඩි හරියක බලය පතුරුවාගන්න ඔවුන් සමත් වුනා. නැවතත් ඊශ්‍රායල් වරු කනානයේ බලවත්ම ජනවර්ගය බවට පත්වුනා. ජුදියාවේ පාලකයා රජු සහ ආගමේ ප්‍රධාන පූජකයා යන තනතුරු දෙකම දැරුවා.
![]() |
හැස්මෝනියන් ජුදියා රාජධාණිය |
ක්‍රි.පූ. 67 දී ජුදියාවේ සිහසුන වෙනුවෙන් ඇතිවුනු සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක් විදිහට ජුදියාව බලයෙන් පිරිහුනා. ඒ අවසරයෙන් එවකට කලාපයේ සුපිරි බලවතා වුනු රෝම අධිරාජ්‍යය සිවිල් යුද්ධයේ එක් පාර්ශවයකට උදව් කරන මුවාවෙන් ජුදියාව අල්ලා ගත්තා. ඔවුන් තමා සහය දුන් පාර්ශවයේ නායකයාට ප්‍රධාන පූජක තනතුර ලබා දුන්නත්, රජකම ලබා දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහු රෝමයේ යටත් වැසියෙක් ලෙස ජුදියාව පාලනය කළා. ජුදියාව රෝමයේ යටත් විජිතයක් බවට පත් වුනා
මේ කාලයේදී තවත් වැදගත් වෙනසක් සිදු වුනා. ඒ ඊශ්‍රායල් වරු හැඳින්වීමට රෝම වරු විසින් "යුදෙව්වන්" (ජුදියාවේ වැසියන්) යන පදය භාවිතා කිරීම. ක්‍රමයෙන් එය ඊශ්‍රායල් වරු යන යෙදුමට වඩා ප්‍රචලිත වුනා.
ක්‍රි.ව. 6 දී ජුදියාව කෙලින්ම රෝමයේ ප්‍රාන්තයක් බවට පත් වුනා.
මේ කාලයේදී යේසුස් නමින් හැඳින්වුනු යුදෙව් ආගමික දේශකයෙක් යුදෙව් ආගමේ ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනීසිටියා. යුදෙව් ආගමික පූජකයන් සහ (ඔහුගේ අනුගාමිකයන් කැරලි ගසතැයි බිය වුනු) රෝම පාලකයන් ඔහු මරණයට පත් කළා. නමුත් ඔහුගේ අනුගාමිකයන් රහසිගතව ඔහුගේ ඉගැන්වීම් ඉදිරියට ගෙන ගියා. පෝල් නම් වූ අනුගාමිකයෙක් මේ ඉගැන්වීම් යුදෙව් නොවන අයටත් පිළිපැදීමට හැකි වන ලෙස සංස්කරණය කළ පසු එම ඉගැන්වීම් රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර කොටසේ යුදෙව් නොවන ජනයා අතර වේගයෙන් පැතිර ගියා. මේ නව ආගම හැඳින්වුනේ ක්‍රිස්තියානි ආගම නමින්.
ක්‍රි.ව. 66 දී යුදෙව්වන් රෝමයට එරෙහිව කැරලි ගැහුවා. ඊශ්‍රායලය නමින් නව නිදහස් රටක් බිහි කිරීමේ අරමුණෙන් ඇති වුනු මේ කැරලි ඉතාමත් දරුණු සොබාවයක් ගත්තා. ක්‍රි.ව. 67-73, 115-117 සහ 132-136 යන කාල වලදී ප්‍රධාන කැරලි තුනක් ඇති වුනා. මේ කැරලි වලදී දෙපාර්ශවයම විශාල මිනිස් ඝාතන වල නිරත වුනා. ජයග්‍රහණය අබිමුවටම එන්න යුදෙව්වන් සමත් වුනත් අවසානයේදී කැරලි මැඩ පවත්වන්න රෝමය සමත් වුනා.
යුදෙව් කැරලි වල දරුණු බව සහ සාර්ථකත්වය නිසා රෝම පාලකයන් ඉතාමත් තදබල ලෙස කැරලි වලට ප්‍රතිචාර දැක්වුවා. ජුදියා ප්‍රාන්තයේ නම "පලස්තීනය" ලෙස වෙනස් කෙරුනා. ඒ වගේම ජෙරුසලමේ ප්‍රධාන යුදෙව් දෙව්මැදුර පොළවට සමතලා කර එතැන ජුපිටර් දෙවියන්ගේ දෙවොලක් ඉඳිකෙරුනා. යුදෙව්වන්ට ජෙරුසෙලමේ පදිංචිවීම තහනම් කෙරුනා. කැරලිකාර යුදෙව්වන් විශාල ප්‍රමානයක් එක්කෝ ඝාතනය කෙරුනා, නැතිනම් වහලුන් ලෙස රෝම අධිරාජ්‍යය පුරා විකුණා දැමුනා. රෝම පාලකයන්ගෙන් යුදෙව් වැසියන්ට එල්ල වුනු අඩත්තේට්ටම් නිසා විශාල යුදෙව් ජනගහණයක් ජුදියාවෙන් ඉවතට සංක්‍රමනය වුනා. ඔවුන් බොහෝ දෙනා සංක්‍රමනය වුනේ රෝම අධිරාජ්‍යයෙන් ඉවතට, නැගෙනහිරට. සමහරු යුරෝපයට සංක්‍රමනය වුනා. යුදෙව් ඩයස්පෝරාවේ මූලය වන්නේ මේ සංක්‍රමනය.
ජුදියාව හෙවත් පලස්තීනයේ ඉතිරි වුනු යුදෙව්වන් එහි සුළුතරයක් බවට පත් වුනා.
විදෙස් අධිරාජ්‍යය වල පාලනය යටතේ...
ක්‍රි.ව. 320 දී පමණ රෝම අධිරාජ්‍යයා වුනු කොන්ස්තන්තීන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා. එතැන් සිට රෝමයේ ප්‍රධාන ආගම වෙන්නෙ ක්‍රිස්තියානි ආගම. ඉන්පසුව ඔවුන් ජෙරුසෙලම සහ පලස්තීනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. රෝම අධිරාජ්‍යයේ විවිධ පළාත් වල ඉඳලා ක්‍රිස්තියානි බැතිමතුන් ජෙරුසෙලමට වන්දනා ගමන් ආවා. ඒ නිසා පලස්තීනයේ වෙළඳාම දියුණු වෙලා ධනවත් වුනා.
ක්‍රි.ව. 400 වෙන විට රෝම අධිරාජ්‍යය බටහිර-නැගෙනහිර විදිහට දෙකඩ වුනා. පලස්තීනය අයිති වුනේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසැන්ටයින් අධිරාජ්‍යයට. ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රධාන අනුග්‍රාහකයා වුනේ බයිසැන්ටයින් අධිරාජ්‍යය. ඒ නිසා පලස්තීනයේ සහ අවට ප්‍රදේශ වල ක්‍රිස්තියානි ආගම වේගයෙන් ව්‍යාප්ත වුනා.
මේ කාලය වෙද්දි බයිසැන්ටයින් අධිරාජ්‍යය විසින් පලස්තීනය පාලනය කෙරෙන්නේ ප්‍රාන්ත කීපයකට කඩලා. මේ ප්‍රාන්ත වල පදිංචි ජනතාව විවිධ ජන වර්ග වලය අයත් වුනා. ඈත අතීතයේ සිටම මේ ප්‍රදේශයේ වාසය කළ ජනතාව වගේම යුදෙව්වන්ගේ සංක්‍රමන නිසා හිස් වූ බිම් වල පදිංචියට අළුතෙන් එන ජනතාව මීට අයත්. මේ අය සංක්‍රමනය වෙන්නේ එක්කෝ ආගමික හේතු මත, එහෙම නැත්තම් ආර්ථික හේතු මත. මේ ජන වර්ග අතරින් යුදෙව්, සමාරිටන්, නවාර්, ඇසිරියන්, ඇනතෝලියන් ග්‍රීක (රූමි), මැරොනයිට්, යසිදි සහ අරාබි ජන වර්ග ප්‍රධානයි.
![]() |
රෝම අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් ලෙස |
මේ කාලයේදී පලස්තීනයේ යුදෙව් ජනගහණය වෙන්නේ 15% පමණ. ඔවුන් ප්‍රධාන වශයෙන් ජෙරුසෙලමට උතුරින් පිහිටි ගැලීලියේ පදිංචි වෙලා හිටියා. ඔවුන්ට තවමත් ජෙරුසෙලමේ පදිංචි වෙන්න තහනම් වුනත්, නටබුන් ව පැවති ඔවුනේ දෙවොල වන්දනා කිරීම සඳහා ජෙරුසෙලමට ඇතුල් වෙන්න අවසර තිබුනා.
පලස්තීනයේ වැසියන් බහුතරයකගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. ඔවුන් නෙස්තෝරියන්, සිරියැක් වගේ විවිධ ක්‍රිස්තියානි නිකායන් වලට අයත් වුනා. ප්‍රදේශයේ බහුතරයක් ජනතාව කතා කළේ ඇරමැයික් භාෂාව.
අරාබීන් පලස්තීනයේ පදිංචියට ආවේ ක්‍රි.ව. 100 දී පමණ. වර්තමාන ජෝර්දානය තියෙන ප්‍රදේශයේ බලවත් සහ ධනවත් වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනංවපු නැබටියන් අරාබි ගෝත්‍ර සහ යෙමනයේ ඉඳලා සංක්‍රමනය වෙලා ක්‍රිස්තියානිය වැළඳගෙන පලස්තීනයේ සහ සිරියාවේ පදිංචි වුනු ගසානි අරාබි ගෝත්‍ර ඒ අතරින් ප්‍රධානයි.
ඉඳහිට කැරලි ඇතිවුනත්, බයිසැන්ටයින් අධිරාජ්‍යය යටතේ පලස්තීනය සාපේක්ෂව සාමකාමීව පැවතුනා. නමුත් බයිසැන්ටයින් පාලනය යටතේ යුදෙව්වන් ජීවත් වුනේ දෙවැනි පෙළ පුරවැසියන් විදිහට. යුදෙව් කැරලි වල මතකය සහ ක්‍රිස්තියානින්ට යුදෙව්වන් එක්ක තිබුනු ආගමික තරහා (යේසුස් වහන්සේ මරා දැමීම නිසා) මේකට හේතු වුනා.
ක්‍රි.ව. 630 දී පමණ අරාබියේ වාසය කළ අරාබීන් ඉස්ලාම් ආගම වැළඳගෙන එක්සත් වීම නිසා මැදපෙරදිග බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. අරාබි හමුදාවන් අරාබියෙන් ඉවතට බයිසැන්ටයින් සහ පර්සියන් අධිරාජ්‍යයන්ට ඇදහිය නොහැකි තරම් වේගයෙන් එල්ල කළ ප්‍රහාරයන් හමුවේ ඒ අධිරාජ්‍යයන් දෙකම සම්පූර්නයෙන්ම වගේ බිඳවැටුනා. අවුරුදු 10 වගේ කෙටි කාලයක් ඇතුළත ඊජිප්තුවේ ඉඳලා පර්සියාව දක්වා සියළුම ප්‍රදේශ අරාබි ඉස්ලාමීය අධිරාජ්‍යය යටතට පත් වුනා.
635 දී අරාබි හමුදා පලස්තීනයත් යටත් කර ගත්තා. ඉස්ලාමීය අරාබි පාලනය යටතේ පලස්තීනයේ ඉරණමේ විශාල වෙනසක් ඇති වුනා. අරාබීන් යටතේ පලස්තීනය හැඳින්වුනේ "ෆිලස්තීන්" නමින්. ඔවුන් එය වර්තමාන සිරියාව මූලික කරගත්ත "අල්-ෂාම්" ප්‍රාන්තයේ කොටසක් විදිහට පාලනය කළා.
![]() |
ඉස්ලාමීය කලීෆාතයේ ප්‍රාන්තයක් ලෙස |
ඉස්ලාමීය ආගමේ යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානීන්ට දක්වන සහනශීලී ආකල්පය නිසා පලස්තීනයේ ක්‍රිස්තියානින්ට වගේම යුදෙව්වන්ටත් උදා වුනේ යහපත් කළ දවසක්. අරාබි පාලකයන් ජෙරුසෙලමේ පදිංචි වෙන්න යුදෙව්වන්ට තිබූ තහනම ඉවත් කළා. ඉස්ලාමීය නීතිය යටතේ යුදෙව්වන්ට රජයේ ආරක්ෂාව සහතික වුනා. ඒ වගේම ඔවුන්ට තමාගේ ආගම ඇදහීමේ අයිතියත් සුරක්ෂිත වුනා. බොහෝ දෙනෙක් සිතන ආකාරයට අරාබි ආක්‍රමන වල අරමුණ වුනේ ආගම ප්‍රචාරණය නෙවෙයි. මේ නිසා අරාබි පාලනය යටතේත් පලස්තීනයේ බහුතරයකගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. මේ ක්‍රිස්තියානින් අතර අරාබි ජාතිකයන් වගේම අරාබි නොවන අයත් හිටියා.
අරාබි ඉස්ලාමීය අධිරාජ්‍යයේ අගනුවර 661 දී මදීනාවේ සිට දමස්කස් නගරය දක්වා මරු වීමෙන් පසු පලස්තීනයට තිබූ වැදගත් කම වැඩි වුනා. පලස්තීනය යුදෙව්-ක්‍රිස්තියානි-ඉස්ලාම් ආගම් හැදෑරීමේ මධ්‍යස්ථානයක් සහ අධ්‍යාපනික කේන්ද්‍රයක් බවට පත් වුනා. මේ කාලයේදී අරාබි ජාතිකයන් පලස්තීනය කරා සංක්‍රමනය වීම වැඩි වුනා. ඒ වගේම අරාබි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය විදිහට ඉදිරියට ආවා. අරාබි භාෂාව ප්‍රධාන භාෂාව විදිහට පිළිගැනුනා. පලස්තීනයේ වාසය කළ විවිධ ජන වර්ග ක්‍රමයෙන් අරාබි කරණය වෙන්න පටන් ගත්තා. නමුත් මොවුන් ඉස්ලාම් ආගමට හැරුනේ අල්ප වශයෙන්. අරාබි-ක්‍රිස්තියානි සංස්කෘතියක් පලස්තීනයේ (සහ ලෙබනනය සිරියාව ප්‍රදේශයේ) බිහි වුනා.
ක්‍රි.ව. 700 දී පමණ අරාබි පාලකයන් ජෙරුසෙලමේ යුදෙව් දෙවොල තිබුණු භූමියේ "ගල උඩ දේවස්ථානය (Dome of the Rock)" සහ "අල්-අකුසා" නමින් ඉස්ලාමීය දේවස්ථන දෙකක් ඉඳි කළා. මේ දේවස්ථාන ඉස්ලාමයේ තුන්වැනියට වැදගත් ආගමික ස්ථාන බවට පත් වුනා (මක්කම සහ මදීනාවට පසු). නමුත් යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානින්ටත් මේ ස්ථාන වල තමාගේ ආගමික කටයුතු කිරීමේ නිදහස තිබුනා.
ක්‍රි.ව. 900 දී පමණ ඉරාකය සහ අරාබිය මූලික කරගත්ත සුන්නි ඉස්ලාමීය අබ්බාසි කලීෆාතයට (අරාබි ඉස්ලාමීය රාජ්‍යයන් හැඳින්වුනේ කලීෆාතය නමින්) එදිරිව උතුරු අප්‍රිකාව සහ ඊජිප්තුව මූලික කරගත්ත ෂියා ඉස්ලාමීය ෆාතිමත් කලීෆාතයක් ඇරඹුනා. 982 දී පලස්තීනය ෆාතිමත් කලීෆාතය යටතට පත් වුනා. මේ කාලය වෙද්දී අබ්බාසි කලීෆාතයේ බලය පිරිහුනු අතර, තුර්කිය සිරියාව ආදී ප්‍රදේශ ඉස්ලාමය වැළඳ ගත් තුර්කි ගෝත්‍රිකයන් යටතට පත් වුනා. මේ තුර්කි ගෝත්‍රිකයන් නාමිකව අබ්බාසි කලීෆාතයේ බලය පිළිගත්තත් ඇත්තෙන්ම ඔවුන් ස්වාධීනව කටයුතු කළ රාජ්‍යයන් කීපයක් පිහිටුවා ගත්තා.
![]() |
ෆාතිමත් කලීෆාතය |
මේ තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වුනේ 1095 දී කුරුස යුද්ධ ඇරඹීමත් එක්ක. 1099 දී යුරෝපයේ සිට පැමිණෙන ක්‍රිස්තියානි හමුදාවන් පලස්තීනය අල්ලා ගෙන එහි ජෙරුසෙලම් රාජධාණිය නමින් ක්‍රිස්තියානි රාජ්‍යයක් සහ මධ්‍යධරනී මුහුදේ වෙරළබඩ තවත් ක්‍රිස්තියානි රාජ්‍යයන් කීපයක් පිහිටුවා ගත්තා. මේ යුරෝපීය ක්‍රිස්තියානින් යුදෙව්වන් සහ මුස්ලිමුන් කෙරෙහි දක්වන්නේ අතිශය සතුරු ආකල්පයක්. ඔවුන් ජෙරුසෙලම අල්ලා ගන්නා අවස්ථාවේ එහි වාසය කළ යුදෙව්වන් සහ මුස්ලිමුන් විශාල ප්‍රමානයක් මරා දැම්මා. මීට පසු අවුරුදු 100 ක පමණ කාලයක් මුස්ලිමුන් සහ ක්‍රිස්තියානි රාජ්‍යයන් අතර නිරන්තර යුද්ධයක් පැවතුනු අතර ඉන් පලස්තීනය විනාශ වී ගියා.
![]() |
කුරුස යුද්ධ වලින් පසුව පිහිටවූ ක්‍රිස්තියානි රාජ්‍යය |
වරින් වර යුරෝපයේ සිට කුරුස යුද්ධ හමුදා පලස්තීනය වෙත පැමිණියත් දීර්ඝ කාලයක් පවතින ක්‍රිස්තියානි රාජධානියක් පලස්තීනයේ නැවතත් පිහිටුවන්න ඔවුන් සමත් වෙන්නේ නෑ.
මේ වන විට අබ්බාසි කලීෆාතය මෙන්ම ෆාතිමත් කලීෆාතයත් බලයෙන් පිරිහිලා ගිහින්. පලස්තීනය සහ අවට ප්‍රදේශ පාලනය වුනේ තුර්කි සුල්තාන් වරු යටතේ.
බල තුලනය නැවතත් වෙනස් වෙන්නේ 1258 දී සිදුවන මොංගෝලියානු ආක්‍රමනයත් එක්ක. මොංගෝලියානු හමුදාවන් බැග්ඩෑඩයට පහර දීලා එය සම්පූර්නයෙන්ම විනාශ කරලා දැම්මා. එතැනින් අබ්බාසි කලීෆාතය අවසන් වෙනවා. බැග්ඩෑඩයේ සිට පලායන මම්ලුක් නමින් හැඳින්වුනු හමුදා ප්‍රධානීන් පිරිසක් ඊජිප්තුවේ නව රාජ්‍යයක් පිහිටුවා ගත්තා. ඉරාකය, ඉරානය සහ සිරියාව අවට ප්‍රදේශ මොංගෝලියානුන් විසින් යටත් කර ගත්තා.
![]() |
මම්ලුක් රාජ්‍යය |
මොංගෝලියානු - මම්ලුක් දේශ සීමාව හැටියට පැවතුනේ පලස්තීනය. මේ නිසා පලස්තීනය මොංගෝලියානුන් සහ මම්ලුක් වරු අතර නිරන්තර යුධ ගැටුම් වලට පසුබිම් වුනා. එමගින් පලස්තීනයේ සෞභාග්‍යය සම්පූර්නයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා එය නොවැදගත්, දුප්පත් ප්‍රදේශයක් බවට පත් වුනා.
මේ වන විට පලස්තීනයේ අරාබි කරනය සහ ඉස්ලාමීය කරනය බොහෝ දුරකට ව්‍යාප්ත වෙලා තිබුනා. පලස්තීනයේ වැසියන් බහුතරයක් සංස්කෘතියෙන් සහ ආගමෙන් අරාබි වුනු අතර ආගමෙන් ඉස්ලාම් වුනා. මේ අයගේ මූලයන් වුනේ සංක්‍රමනික අරාබින් මෙන්ම අරාබිකරනය වුනු පලස්තීනයේ මුල් පදිංචි කරුවන්. මේ අය තමන් ගේ අනන්‍යතාවය හඳුන්වාගත්තේ "පලස්තීන-අරාබි" විදිහට.
14 වන සියවසේ ආරම්භයේ සිට ඇනතෝලියාවේ සිටි ඔටෝමන් වාංශික තුර්කි වරු බලවත් රාජ්‍යයක් ගොඩ නැගුවා. ඔවුන් මොංගෝලියානුවන් සම්පූර්නයෙන්ම පළවා හැරලා ඇනතෝලියාව, ඊජිප්තුව, සිරියාව ඇතුළත් විශාල සහ බලවත් අධිරාජ්‍යයක් ගොඩනැගුවා. මෙය හැඳින්වුනේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විදිහට. 1517 දී පලස්තීනයත් ඔටෝමන් තුර්කින්ට යටත් වුනා. ඔටෝමන් තුර්කීන් අරාබි පාලකයන් තරම් ක්‍රිස්තියානින්ට සහ යුදෙව්වන්ට සහනශීලී වුනේ නෑ. ඒ වගේම තුර්කීන් සහ අරාබීන් අතරත් සමහර අවස්ථා වලදී ගැටුම් ඇතිවුනා.
ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වුනේ ඇනතෝලියාව. පලස්තීනය අවැදගත්, දුප්පත්, ග්‍රාමීය ප්‍රදේශයක් බවට පත් වුනා.
![]() |
තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය |
1799 දී නැපෝලියන් බොනපාට් ඔහුගේ ප්‍රසිද්ධ ඊජිප්තු ආක්‍රමනයෙන් පස්සෙ ජෙරුසෙලම අල්ලා ගත්තා. ඊට පසුව ඔහු උතුරින් තිබූ ඒකර් නගරයට පහර දෙන්න සැලසුම් කළා. එහිදී ඔහු පලස්තීනයේ විසූ යුදෙව්වන්ගේ අධාර ලබා ගන්න උත්සහ කළා. ඊට හිලව්වට ජෙරුසෙලමේ යුදෙව් පාලනයක් ඇති කිරීමට යුදෙව්වන්ට යෝජනා කළා. නමුත් මේ උත්සහය සාර්ථක වුනේ නෑ. යුදෙව්වන් නැපෝලියන්ට සහය දුන්නේ නෑ. අක්‍රා නගරයේදී ප්‍රංශ හමුදාව දරුණු පරාජයකට ලක් වුනා. නැපෝලියන් ආපසු හැරුනා. ජෙරුසෙලම නැවතත් තුර්කින්ට ලැබුනා.
ඊජිප්තුවේ ආණ්ඩුකාරයා ලෙස ඔටෝමන් තුර්කින් පත්කර එවූ මොහොමඩ් අලී පාෂා ගේ ප්‍රතිපත්ති නිසා නැවතත් පලස්තීනයේ යුධ ගිනි ඇවිලුනා. ඔහු ප්‍රදේශයේ වැසියන්ට අනිවාර්‍ය යුධ සේවයක් පැනවීම නිසා පලස්තීනයේ අරාබීන් ඔහුට එරෙහිව කැරලි ගැහුවා. මේ කැරැල්ලේ දී යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අලී පාෂාට සහය දීම නිසා කැරලි කරුවන් යුදෙව් සහ ක්‍රිස්තියානි ජනවාස වලට පහර දී ඔවුන්ව මරා දැම්මා. අවසානයේදී කැරැල්ල මැඩ පවත්වන්න අලී පාෂා සමත් වුනා.
1872 දී ඔටෝමන් තුර්කි පාලකයන් පලස්තීනයේ යුදෙව්වන් සඳහා විශේෂ දිස්ත්‍රික්කයක් පිහිටෙව්වා. මෙය හැඳින්වුනේ "මුස්තසරීෆේට්" නමින්. ජෙරුසෙලම, බෙත්ලෙහෙම, හෙබ්‍රෝන්, ජෆා, ගාසා සහ බීර්ෂෙබා යන ප්‍රදේශ වලින් මේ දිස්ත්‍රික්කය සමන්විත වුනා. මේ කාලයේදී ජෙරුසෙලමේ යුදෙව් ජනගහණය ක්‍රමයෙන් වර්ධන වෙන්න පටන් ගත්තා. 1890 පමණ වන විට ජෙරුසෙලමේ ජනගහණයෙන් 50% කට වඩා සිටියේ යුදෙව්වන්. සම්පූර්ණ පලස්තීනයේ ජනගහනයෙන් 85% පමණ (අරාබි) මුස්ලිමුන් ද, 10% පමණ (අරාබි) ක්‍රිස්තියානින් ද, 5% පමණ යුදෙව්වන්ද සිටියා.
යුදෙව්වන් ගේ ඉරණම
රෝම හමුදා විසින් ජෙරුසෙලම විනාශ කර මුළු මහත් පලස්තීනයම ගිනිබත් කර යුදෙව්වන් පළවා හැරියට පස්සෙ යුදෙව්වන්ට අත් වුනේ මොන වගේ ඉරණමක් ද?
යුදෙව්වෝ එක්කෝ පළා ගියා, නැතිනම් වහලුන් විදිහට නොයෙක් ප්‍රදේශ වලට විකුණා දැමුණා. ඒ නිසා යුදෙව් ජාතිය එතැන් පටන් පවතින්නේ ලෝකය පුරා විසිරී ගිය ප්‍රජාවක් විදිහට. ඔවුන් හඳුන්වන්න "යුදෙව් ඩයස්පෝරාව" යන යෙදුම භාවිතා වුනා.
යුදෙව් ඩයස්පෝරාව සමන්විත වුනේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව පුරා විසිරී ගිය යුදෙව් ප්‍රජාවන් ගෙන්. මේ ප්‍රජාවන්ගෙන් බහුතරය ක්‍රි.ව. 67 දී රෝම වරුන් අතින් සිදුවූ සංහාරයෙන් පසු පළා ගිය අයගෙන් සමන්විත වුනා. නමුත් සුළුතරයක් ඊට පෙර සංක්‍රමනය වුනු යුදෙව්වන්ගෙන් ද සමන්විත වුනා.
මේ සියළු යුදෙව් ප්‍රජාවන් ජීවත් වුනේ සුළුතරයන් විදිහට. මේ නිසා ඔවුන් තමා විසූ රටවල අනෙක් ජාතීන් සමඟ මිශ්‍ර වුනා. ඒ සංස්කෘතීන්ට යම් තරමක් අනුගත වුනා. භාෂාවේ වෙනස්කම් ඇතිවුනා. ඒ වගේම දීර්ඝ කාලයක් වෙන්ව විසීම නිසා ඔවුන් ගේ ආගමික වතාවත් සහ ඇදහිලි වල වෙනස් කම් ඇති වුනා. මේ නිසා යුදෙව් ජාතිය විශාල බහුවිධකරණයකට ලක්වුනා.
යුදෙව් ඩයස්පෝරාව ප්‍රධන වශයෙන් සමන්විත වුනේ යුදෙව් ප්‍රජාවන් තුනකින්.
1. අෂ්කනාසි යුදෙව්වෝ (යුරෝපීය යුදෙව්වෝ)
"අෂ්කනාස්" කියන හීබෲ වචනයේ තේරුම ජර්මනිය.
රෝම වරු විසින් වහලුන් ලෙස යුරෝපයේ විකුණා දැමූ යුදෙව්වන් ගෙන් පැවත එන යුදෙව්වෝ හැඳින්වුනේ "අෂ්කනාසි" නමින්. අෂ්කනාසි යුදෙව්වන් ගේ DNA පරීක්ෂන වලින් හෙළි වෙලා තියෙන්නේ ඔවුන් යුදෙව් පියවරුන් ගේ සහ යුරෝපීය මව් වරුන්ගෙන් පැවත එන බව. මේ නිසා විකුණා දැමූ යුදෙව් වහලුන් යුරෝපීය කාන්තාවන් සමඟ විවාහ වුනු බව හිතන්න පුළුවන්. මේ නිසා අෂ්කනාසි යුදෙව්වන් ගේ යුරෝපීය පෙනුමක් දකින්න පුළුවන්. (අපි නිතර දකින රන්වන් හිසකේ සහ නිල්වන් ඇස් ඇති ඊශ්‍රායල හමුදා සෙබළියෝ අෂ්කනාසි මූලයක් ඇති අය. ඓතිහාසික යුදෙව්වෝ පෙනුමින් වර්තමාන අරාබි ජාතිකයන්ට සමානයි.)
ප්‍රථම අෂ්කනාසි යුදෙව් ප්‍රජාවන් ඇති වෙන්නේ ජර්මනියේ රයින් ගඟ අවට. ක්‍රමයෙන් ඔවුන් මුළු යුරෝපය පුරාම පැතිරී ගියා. කුරුස යුද්ධ සමයේදී බටහිර යුරෝපයේ ඇතිවුනු යුදෙව් සංහාර නිසා බොහෝ යුදෙව්වෝ නැගෙනහිරට පළා ගියා. ඒ නිසා නැගෙනහිර යුරෝපයේ සහ රුසියාවේ විශාල අෂ්කනාසි යුදෙව් ප්‍රජාවන් ඇතිවුනා.
විශාල වශයෙන් ඉඩම් මිලදී ගැනීමට ඔවුන්ට නොහැකි වුනු නිසා (ඔවුන්ට ඉඩම් විකුණන්න යුරෝපීයයෝ කැමති වුනේ නෑ) ඔවුන් කේන්ද්‍රගත වුනේ නගර වල. වෙළඳාම සහ මුදල් පොලියට දීම වැනි වාණිජ්‍යමය රැකියා වලත්, කාර්මික ශිල්පීන් ලෙසත්, ගුරු වෘත්තිය වැනි බුද්ධිමය වෘත්තීන්ගේත් ඔවුන් වැඩිවශයෙන් නිරත වුනා.
අෂ්කනාසි යුදෙව්වෝ ඉතිසහසය පුරාම තම අසල්වැසි ක්‍රිස්තියානින් අතින් දැඩි හිංසා පීඩා වලට ලක් වුනා. ආගමික වෛරය, වාර්ගික සැක කිරීම් සහ ආර්ථික හේතු ඒවාට පදනම් වුනා. වාර්ගික සංහාරයන් අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉතිහාසයේ සුලබයි.
අෂ්කනාසි යුදෙව්වන් ගේ භාෂාව වුනේ "යිඩිෂ්". යිඩිෂ් භාෂාව හැදෙන්නේ ජර්මන් භාෂාවට හීබෲ සහ ඇරමයික් වචන එක් වීමෙන්. අෂ්කනාසි යුදෙව්වන් නැගෙනහිර යුරෝපයට සංක්‍රමනය වුනාට පසුව ස්ලාව් වචනත් ඊට එකතු වුනා.
වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 50% පමණ අෂ්කනාසි මූලයන් ගෙන් පැවත එන්නන්.
![]() |
අෂ්කනාසි යුදෙව්වෙක් |
2. මිස්‍රාහි යුදෙව්වෝ (පෙරදිග යුදෙව්වෝ)
"මිස්‍රාහ්" කියන හීබෲ වචනයේ තේරුම පෙරදිග.
රෝම වරු විසින් පලස්තීනය විනාශ කර දැමූ පසු පෙරදිග බලා සංක්‍රමනය වුනු යුදෙව්වන්ගෙන් මිස්‍රාහි යුදෙව්වෝ පැවත එනවා. මේ යුදෙව්වන්ගෙන් බහුතරය පදිංචි වුනේ පර්සියන් අධිරාජ්‍යයේ. වර්තමාන ඉරාකය, ඉරානය සහ කොකේසස් ප්‍රදේශ වල ඔවුන් ජනාවාස පිහිටුවා ගත්තා.
පර්සියානු අධිරාජ්‍යය ඉස්ලාමීය අධීරාජ්‍යයට යටත් වුනු පසු මුළු ඉතිහාසය පුරාවටම මිස්‍රාහි යුදෙව්වෝ ජීවත් වුනේ මුස්ලිම් පාලනයක් යටතේ. ඔවුන්ගේ ඉරණම අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉරණමට වඩා යහපත් එකක් වුනා. මුස්ලිම් අසල්වැසියන් ඔවුන්ට සාපේක්ෂව යහපත් විදිහට සැලකුවා.
මිස්‍රාහි යුදෙව්වෝ අනෙක් යුදෙව් ප්‍රජාවන්ට සාපේක්ෂව මිශ්‍ර වුනේ අඩුවෙන්. මුස්ලිම් කාන්තාවන්ට යුදෙව් පිරිමින් සමඟ විවාහ වීම ඉස්ලාමීය නීතියෙන් තහනම් වීම ඊට හේතුව වෙන්න ඇති.
මිස්‍රාහි යුදෙව්වන්ගේ භාෂාව වුනේ හිබෲ. ඊට අමතරව ඔවුන් අරාබි, ඇරමැයි, පර්සියන් වගේ භාෂාත් කතා කළා.
වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 25% පමණ මිස්‍රාහි මූලයන් ගෙන් පැවත එන්නන්.
![]() |
මිස්‍රාහි යුදෙව් පවුලක් |
3. සෙෆාර්ඩි යුදෙව්වෝ (ස්පාඤ්ඤය යුදෙව්වෝ)
"සෙෆාර්ඩ්" කියන හීබෲ වචනයේ තේරුම ස්පාඤ්ඤය.
සෙෆාර්ඩි යුදෙව්වන් පැවත එන්නේ ස්පාඤ්ඤය අර්ධ ද්වීපයේ පදිංචි වුනු යුදෙව්වන්ගෙන්. මේ යුදෙව්වන් අෂ්කනාසි යුදෙව්වන් වගේම රෝම වරුන් විසින් පලස්තීනය විනාශ කළ පසු යුරෝපයට සංක්‍රමනය වුනු යුදෙව්වන්. නමුත් ඔවුන් ගේ ඉතිහාසය අෂ්කනාසි යුදෙව්වන් ගේ ඉතිහාසයෙන් වෙනස් වෙන්නේ ක්‍රි.ව. 720 දී පමණ ස්පාඤ්ඤය අර්ධ ද්වීපය මුස්ලිම් අරාබීන් විසින් යටත් කර ගැනීමෙන්.
මේ අරාබි පාලකයෝ ස්පාඤ්ඤය අර්ධ ද්වීපයේ "අල්-අන්දලුස්" නමින් රාජ්‍යයක් පිහිටුවා ගත්තා. අල්-අන්දලුස් රාජ්‍යයේ මුස්ලිම් ක්‍රිස්තියානි සහ යුදෙව් ජන කොටස් තුනම විශාල ප්‍රමාන වලින් වාසය කළ නිසා එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් විදිහට පැවතුනා. අල්-අන්දලූස් මුස්ලිම් ලෝකයේ සැලකුනේ අධ්‍යාපනික කේන්ද්‍රස්තානයක් විදිහට. මේ සමාජයේ යුදෙව්වෝ ඉතා සාර්ථක විදිහට ජීවත් වුනා. පසුව සෙෆාර්ඩි යුදෙව්වන් මුස්ලිම් අධිරාජ්‍යට අයත් උතුරු අප්‍රිකාවටත් සංක්‍රමනය වුනා.
නමුත් 15 වන සියවසේ අග භාගයේදී ක්‍රිස්තියානි රාජධානි විසින් ස්පාඤ්ඤය අර්ධ ද්වීපයෙන් මුස්ලිම් පාලකයන් පලවා හැරීමට සමත් වුනා. 1492 දී සියළුම යුදෙව්වන්ට එක්කෝ ආගම අතහැරීමට නැතිනම් පිටව යාමට අණ කෙරුනා. ස්පාඤ්ඤ යුදෙව්වන්ගෙන් අඩක් පමණ ක්‍රිස්තියානිය වැළඳ ගත් අතර, අනෙත් අය ස්පාඤ්ඤයෙන් ඉවතට සංක්‍රමනය වුනා. ඔවුන් ගෙන් සමහරු ඉතාලියේ පදිංචි වෙන අතර, අති බහුතරය ඔටෝමන් අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල පදිංචි වුනා.
මේ එන යුදෙව්වන් ඉතාලියේ පුනරුදය ඇති වීමට ප්‍රධන හේතුවක් කියලා ඉතිහාසවේදීන් විශ්වාස කරනවා.
සෙෆාර්ඩි යුදෙව්වන් ගේ භාෂාව වුනේ "ලැඩිනෝ". ලැඩිනෝ භාෂාව හැදිලා තියෙන්නේ ස්පාඤ්ඤය භාෂාවට හීබෲ වචන එක් වීමෙන්. පසුව මෙයට තුර්කි වචන විශාල ප්‍රමානයකුත් එක් වෙලා තියෙනවා.
වර්තමාන ලෝකයේ යුදෙව්වන් ගෙන් 20% පමණ සෙෆාර්ඩි මූලයන් ගෙන් පැවත එන්නන්.
![]() |
සෙෆාර්ඩි යුදෙව් පවුලක් |
මේ ප්‍රධාන යුදෙව් ප්‍රජාවන් තුනට අමතරව තවත් යුදෙව් ප්‍රජාවන් රාශියක් ලෝකය පුරා විසිරී පැවතුනා.
4. බැබිලෝනියානු යුදෙව්වෝ
බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් ජුදාව යටත් කර ගත්තට පස්සේ යුදෙව්වන් බැබිලෝනියාවට වහලුන් ලෙස ගෙන ගියා. ඉන් බහුතරයක් නැවත ඊශ්‍රායලයට ආවත්, සුළුතරයක් බැබිලෝනියාවේම නැවතුනා. ඔවුන් හැඳින්වුනේ බැබිලෝනියානු යුදෙව්වන් කියලා. බැබිලෝනියානු යුදෙව්වන් ගේ ආගමික ඇදහීම් මව් රටේ ආගමික ඇදහීම් වලට වඩා තරමක් වෙනස් මුහුණුවරක් ගත්තා. පසුව බැබිලෝනියානු යුදෙව්වන් මිස්‍රාහි යුදෙව් ප්‍රජාවන් සමඟි මිශ්‍ර වෙලා ඔවුන්ට අවශෝෂනය වුනා.
5. ඉතියෝපියානු යුදෙව්වෝ
ඇසිරියන් අධිරාජ්‍යය විසින් ඊශ්‍රායල් රාජධානිය විනාශ කළ පසු පළා ගිය යුදෙව් ප්‍රජාවක් වර්තමාන ඉතියෝපියාවට සංක්‍රමනය වුනා. ඔවුන්ගෙන් පැවත එන යුදෙව්වන් හැඳින්වෙන්නේ ඉතියෝපියානු යුදෙව්වන් නමින්. ඉතියෝපියානු යුදෙව්වන් ඉතියෝපියානුවන් සමඟ මිශ්‍ර වීම නිසා ඔවුන් පෙනුමෙන් ඉතියෝපියානුවන්ට සමානයි.
![]() |
ඉතියෝපියානු යුදෙව්වෙක් |
6. යෙමනි යුදෙව්වෝ
රෝම වරු විසින් පලස්තීනය විනාශ කළ පසු අරාබි අර්ධද්වීපයට සංක්‍රමනය වුනු යුදෙව්වන් යෙමනි යුදෙව්වන් ලෙස හැඳින්වෙනවා. මොවුන්ගෙන් බහුතරය ජීවත් වෙන්නේ වර්තමාන යෙමනයේ. මොවුන් අනෙකුත් මිස්‍රාහි යුදෙව්වන්ගෙන් හුදෙකලාව ජීවත් වීම නිසා සංස්කෘතියෙන් ඔවුන්ට වඩා වෙනස්. යෙමනි යුදෙව්වන් අරාබින් සමඟ මිශ්‍ර වෙලා තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. මේ නිසා වර්තමානයේ හැඩහුරුකමින් ඓතිහාසික යුදෙව්වන්ට වඩාත් සමාන වෙන්නේ යෙමනි යුදෙව්වන්.
![]() |
යෙමනි යුදෙව්වෙක් |
7. පලස්තීන යුදෙව්වෝ
සංක්‍රමනය නොවී පලස්තීනයේම රැඳුනු යුදෙව්වන් හැඳින්වෙන්නේ පලස්තීන යුදෙව්වන් නමින්. පලස්තීන යුදෙව්වන් කුරුස යුද්ධ සමයේදී සමූහ ඝාතන වලට ලක්වීම නිසා සංඛ්‍යාත්මකව පිරිහී ගියා. පසුව "මව් රට" බලා විවිධ කාල වලදී සංක්‍රමනය වුනු විවිධ යුදෙව්වන් ඔවුන්ගේ ප්‍රජාවට එක් වුනා. මේ නිසා පලස්තීන යුදෙව්වන් ජානමය වශයෙනුත්, සංස්කෘතිකවත් දැඩි ලෙස මිශ්‍ර වූ ජනතාවක්.
මීට අමතරව ඉන්දියාව, චීනය සහ අප්‍රිකාවේ සමහර තැන් වලත් යුදෙව් ප්‍රජාවන් පදිංචි වුනා.
![]() |
ලොව පුරා සිටින විවිධ යුදෙව් ප්‍රජාවන් |
මේ සියළු යුදෙව්වන් එක් කළ පොදු සාධකය වුනේ යුදෙව් ආගම.
No comments:
Post a Comment