Friday, June 30, 2023

උදව්වට ආ අමුත්තා


ඉස්ලාමීය රාජ්‍යයේ හතරවැනි කලීෆා වරයා වුනේ අලී ඉබ්න් අබු තාලිබ්. ඔහු මුහම්මද් තුමාගේ සමීපම අනුගාමිකයෙක් වගේම එතුමාගේ දියණිය වුනු ෆාතිමා ගේ සැමියා.

අලී ගේ පාලන සමයේ ඉස්ලාමීය රාජ්‍යය කැරලි සහ යුධ ගැටුම් වලින් ගහණ කාලයක් වුනා. දරුණු යුද්ධ තුනක් මේ කාලයේ ඇති වුනා. ඒවායින් දහස් ගණනක් මිය ගියා.

මේ කාලයේ ඉස්ලාමීය රාජ්‍යයයේ අගනුවර වුනු ඉරාකයේ කූෆා නගරයේ මහළු කාන්තාවක් වාසය කළා. ඇය ජීවත් වුනේ ඇගේ සැමියා සහ පුතා සමඟ. ඇගේ දියණිය විවාහ වී වෙනත් නගරයක වාසය කළා. ඔවුන් ජීවිකාව වශයෙන් කළේ පාන් විකිණීම.

යුධ ගැටුම් ඇතිවුනු විට මේ කාන්තාවගේ සැමියා සහ පුතා අලී ගේ හමුදාවට එක්වී සටන් බිමට ගියා. නහරවාන් නම් ස්ථානයේ සිදුවුනු දරුණු සටනකදී අලී ගේ හමුදාව සතුරන් පරදා ජය ගත්තත්, අර කාන්තාවගේ සැමියා සහ පුතා දෙදෙනාම සටනින් මිය ගියා.

දැන් ඇයට ජීවත් වෙන්න වුනේ තනියම. ඇය ඉතා අපහසුවෙන් පිටි ගෙනවිත් පිටි අනා පාන් සාදා ඒවා විකුණුවා. ඒත් ඇය මහළු නිසා ඒ දේවල් කළේ ඉතා අපහසුවෙන්. මේ නිසා ඇයට විකුණන්න පුළුවන් වුනේ පාන් සුළු ප්‍රමානයක් පමණයි. ඇය ගෙව්වේ ඉතාම දිළිඳු ජීවිතයක්.

තමාගේ ආදරණීයන් මිය යාම සහ ජීවිකාව අඩාල වීම ගැන ඇය සිටියේ පාළුවෙන්, කේන්තියෙන් සහ දුකෙන්. පාළුව දරාගන්න බැරි වුනු දවස් වල ඇය ඇගේ කෝපය සහ දුක තුනී කර ගත්තේ තනිවම අලී ට දොස් කීමෙන් සහ ශාප කිරීමෙන්.

දවසක් කවුදෝ මිනිහෙක් ඇගේ ගෙදර ඉදිරිපස වීදියේ ගමන් කරද්දී ඇය අලී ට දොස් නගනු ඇසී එතැන නතර වුනා. ඔහු ඇයට කතා කරලා අලීට ශාප කරන්න හේතුව ඇහුවා. ඇය තමන්ට සිදුවුන දේවල් ඔහුට විස්තර කරලා දුන්නා. අමුත්තාගේ මුහුණ ශෝකයෙන් බර වුනා. ඔහු බිම බලාගෙන මොහොතක් කල්පනා කළා.

"හොඳයි අම්මේ, මම ජීවත් වෙන්නේ මේ ළඟ. මම හැමදාම උදේට ඇවිත් ඔබට වෙළඳපොලෙන් පිටි ගෙනල්ලා ඒවා අනලා දෙන්නම්"

ඇය අමුත්තාට බොහොම ස්තූති කළා. ඒත් කවදාවත් දැකලා නැති අමුත්තෙක් එතරම් කාරුණික වීම ගැන ඇයට ඇතිවුනේ සැකයක්. "සමහර විට ඔහු මාව රවට්ටනවා ඇති" ඇයට එහෙම හිතුනා.

ඒත් පහුවදා උදේම පොරොන්දුවුන විදිහටම අමුත්තා ඇයගේ ගෙදර දොරකඩ පෙනී හිටියා. ඔහු ඇයගෙන් මුදල් ලබාගෙන වෙළඳපොළට ගිහින් පිටි ගෙනත් ඒවා අනලා දුන්නා. පිටි අනලා ඉවර වෙලා ඒවා පෝරණුවට දැම්මට පස්සෙ තමයි අමුත්තා ආපසු ගියේ. අමුත්තා බොහොම ශක්තිමත්. කඩිසරයි. ඒ නිසා ඔහු පිටි ගොඩක් ඇනුවා. ඇයට පාන් ගොඩක් පුළුස්සන්න පුළුවන් වුනා. ඇයට ඉතාම සතුටුයි.

මේ විදිහට අමුත්තා හැමදාම උදේට ඇයගේ ගෙදර ඇවිත් පිටි අනලා දුන්නා. ඇය පාන් ගොඩක් විකුණුවා. ඇගේ අගහිඟ කම් ටිකෙන් ටික දුරු වෙලා ගියා. අමුත්තා බොහොම කාරුණික බුද්ධිමත් කෙනෙක්. ඔහු පිටි අනන ගමන් ඇයත් එක්ක ගොඩක් දේවල් ගැන කතා කළා. ආගම ගැන, දෙවියන් ගැන, ඈත රටවල්, නගර ගැන. ඇය නැවතත් ප්‍රීතියෙන් ජීවත් වෙන්න පටන් ගත්තා.

ඔහොම මාස කීපයක් ගත වුනා. එක දවසක් ඇගේ දුව ඇයව බලන්න ආවා. දුව ඇගේ ගෙදරට එද්දිම අමුත්තා උදෑසන රාජකාරිය නිමවලා පිටව යනවා. අමුත්තාව දැක්ක ගමන් දුව පුදුමයෙන් ගල් ගැහුනා.

"අම්මේ, ඇයි ඔහු මෙහෙ එන්නේ?"

ඇය ගොත ගහමින් මවගෙන් ඇහුවා.

"දුවේ, එයා බොහොම කරුණාවන්ත මනුස්සයෙක්. හැමදාම උදේට ඇවිල්ලා මට පාන් හදන්න උදව් කරනවා. එයා නැත්තම් සමහර විට මම මැරිලා"

"අම්මේ, ඒ කවුද කියලා දන්නවද?"

"ඔව්. ඔහු මේ ළඟපාතමයි ජීවත් වෙන්නේ."

"අම්මේ ඒ අපේ කලීෆා වරයා, අලී"

කාන්තාව භීතියෙන් මුසපත් වුනා. ඇයගේ දෙපා පණ නැති වෙලා ඇය බිම ඇද වැටුනා. ඇගේ දුව ඇයව ඔසවා ගත්තට පස්සේ ඇය කරපු පළවෙනි දේ ගෙදරින් එළියට පැනලා වීදිය දිගේ අමුත්තා පසුපස හඹා යාම. ටික වේලාවකින් ඇය අමුත්තා අල්ලා ගත්තා.

"ඒ ඇත්තද? මට කියන්න, ඔබ අලී ද?"

අමුත්තා කිසිවක් කිව්වේ නෑ.

"කලීෆා තුමනී මට සමාවෙන්න. මම ඔබ කවුද කියලා දැනගෙන හිටියේ නෑ. මම දැනගෙන හිටියා නම් කවදාවත් ඔබට ශාප කරන්නේ නෑ....."

ඇය දිගින් දිගටම කියවාගෙන ගියත්, අලී අත ඔසවලා ඇයව නැවත්තුවා.

"නෑ. ඔබට හැකිනම් මම නිසා ඔබට සිත් තැවුලක් ඇතිවීම ගැන, මට සමාව දෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න."

No comments:

Post a Comment