Showing posts with label සංස්කෘතිය. Show all posts
Showing posts with label සංස්කෘතිය. Show all posts

Saturday, July 1, 2023

ජපන් සංස්කෘතියේ සෘතු

 

සිංහල සංස්කෘතියේ සෘතු ගැන එච්චර අවධාරණය කෙරෙන්නේ නෑ. ලංකාව සමකයට ආසන්න රටක් නිසා සෘතු භේදයක් ලොකුවට දැනෙන්නෙ නැති එක ඒකට හේතුව වෙන්න ඇති. "වැස්ස කාලේ" සහ "පායන කාලේ" ට අමතරව සෘතු භේදයක් ගැන කතාවක් ඇත්තෙම නැති තරම් වගේ.
 

භාරත සංස්කෘතියේ සෘතු ගැන ඊට වඩා සැලකිල්ලක් තියෙනවා. සමකයට උඩින් තියෙන භාරතයට සෘතු භේදය අපිට වඩා දැනෙනවා. ගිම්හාන, වස්සාන, සරත්, වසන්ත, සිසිර කියලා සෘතු පහක් භාරත සංස්කෘතියේ තියෙනවා.
සෘතු භේදය තදින්ම දැනෙන යුරෝපයේ සෘතු හතරක් ගැන කතාවෙනවා. ඒ Summer, Spring, Winter සහ Autumn (Fall). මේවා දළ වශයෙන් ගිම්හාන, වසන්ත, සිසිර (ශීත) සහ සරත් කියලා පරිවර්තනය කරනවා.
 

ජපන් සංස්කෘතිය සෘතු භේදය ගැන මීටත් වඩා සංවේදියි. ජපන් සංස්කෘතිය සොබාදහමත් එක්ක තදින් බැඳිලා තියෙන නිසා සොබාදහමේ සිදුවන වෙනස්කම් ගැන ඉතා සියුම්ව බලනවා. ඒ අනුව සෘතු බෙදාගන්නවා.
ජපන් සංස්කෘතියේ අපිට සෘතු 72 ක් හමුවෙනවා. ඔව්, 72 ක්!


ප්‍රධාන සෘතු

අවුරුද්ද මූලික වශයෙන් ප්‍රධාන සෘතු හතරකට බෙදෙනවා. ඒවා යුරෝපීය සෘතු හතරට බොහෝ දුරට සමපාත කරන්න පුළුවන්.
 

1. හරු - Spring
2. නත්සු - Summer
3. අකි - Autumn
4. ෆුයු - Winter


මාස (ගත්සු)

ඊළඟට "ගත්සු" නමින් හැඳින්වෙන මාස 12 කට අවුරුද්ද බෙදනවා. මේ මාස දළ වශයෙන් යුරෝපීය මාස වලට සමපාත කරන්න පුළුවන්. නමුත් සුළු එහා මෙහා වීමක් තියෙනවා.

හැම ප්‍රධාන සෘතුවක්ම මාස තුනකින් සමන්විතයි.

හරු සෘතුවේ මාස:

1. කිසරගි (පෙබරවාරි 4 සිට මාර්තු 5)
මේ මාසය හැඳින්වෙන්නේ "ඇඳුම් ඕනෑවන මාසය" කියලා. ශීත සෘතුවේ අවසානය වුනත් මේ මාසයේ තදින් ශීතල තියෙනවා. ඒ නිසා යහපත් සෞඛ්‍යයෙන් ඉන්න නම් දිගටම උණුසුම් ඇඳුම් අඳින්න අවශ්‍යයි.


2. යයෝයි (මාර්තු 6 සිට අප්‍රේල් 4)
යයෝයි කියන්නේ "අළුත් ජීවය දෙන මාසය". වසන්ත සෘතුවේ ගහ කොළ අළුතෙන් දළු දැමීම ඊට හේතුවයි.


3. උසුකි (අප්‍රේල් 5 සිට මැයි 4)
උසුකි මාසය හැඳින්වෙන්නේ "ඌ නෝ හනා මාසය" කියලා. ඒ ඌ නෝ හනා කියන මල් පිපෙන නිසා.


 

නත්සු සෘතුවේ මාස:

4. සත්සුකි (මැයි 5 සිට ජූනි 5)
සත්සුකි මාසයට කියන්නේ "ගොයම් හිටවන මාසය". හේතුව පැහැදිලියි.


5. මිනසුකි (ජූනි 6 සිට ජූලි 6)
මිනසුකි මාසයට කියන්නේ "වතුර මාසය" කියලා. අධික වර්ෂාවක් ලැබීම සහ කඳුකරයේ හිම දියවීම නිසා ගංගා පිරී ඉතිරී යාම ඊට හේතුවයි.


6. ෆුමිසුකි (ජූලි 7 සිට අගෝස්තු 7)
ෆුමිසුකි මාසය හැඳින්වෙන්නේ "ලිවීමේ මාසය" කියලා. මේ මාසයේදී තමාගේ ප්‍රාර්ථනා උණ පතුරු වල ලියලා එල්ලා තැබීමේ සිරිත නිසා ඒ නම හැදිලා තියෙනවා.


අකි සෘතුවේ මාස:

7. හසුකි (අගෝස්තු 8 සිට සැප්තැම්බර් 7)
හසුකි කියන්නේ "කොළ මාසය" ඒ කියන්නේ ගස් වල කොළ හැලෙන්න පටන් ගන්න මාසය.


8. නගත්සුකි (සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 7)
නගත්සුකි හැඳින්වෙන්නේ "දීර්ඝ මාසය" කියලා. නගත්සුකි මාසයේදී තමයි රාත්‍රිය දහවලට වඩා දීර්ඝ වීම ආරම්භ වෙන්නේ.


9. කන්නසුකි (ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 6)
කන්නසුකි කියන්නේ "දෙවියන් ගේ මාසය". මේ මාසයේදී ජපානයේ දෙවියන් (කමි හෙවත් භූතාත්ම) සියල්ලෝම ඉසුමෝ ප්‍රධාන දේවාලයට එක් රැස් වෙනවා කියලා ජපන්නු විශ්වාස කරනවා.


ෆුයු සෘතුවේ මාස:

10. ෂිමොත්සුකි (නොවැම්බර් 7 සිට දෙසැම්බර් 6)
ෂිමොත්සුකි හැඳින්වන්නේ "තුහීන මාසය" කියලා. ශීතල උදෑසනට පිණිකැට මිදිලා තුහීන නිර්මානය වීම ඒකට හේතුව.


11. ෂිවාසු (දෙසැම්බර් 7 සිට ජනවාරි 4)
ෂිවාසු කියන එකේ තේරුම "භික්ෂූන් දුවන මාසය". මේ මාසයේදී බොහෝ දෙනා ආගමික වතාවත් වලට යොමු වීම නිසා ෂිවාසු මාසය භික්ෂූන්ට කාර්‍ය බහුල මාසයක්.


12. මුත්සුකි (ජනවාරි 5 සිට පෙබරවාරි 3)
මුත්සුකි මාසය හැඳින්වෙන්නේ "ආදරයේ මාසය" කියලා. අධික ශීතලෙන් යුතු මුත්සුකි මාසයේදී පවුලේ සාමාජිකයන් සියල්ලෝම ගෙදරට වෙලා කාලය ගත කිරීම ඒකට හේතුව.




සෙක්කි හෙවත් උප-සෘතු සහ අනු-සෘතු

හැම මාසයක්ම තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඒවා හැඳින්වෙන්නේ "සෙක්කි" කියලා. ඒ අනුව අවුරුද්ද සෙක්කි 24 කින් සමන්විතයි.
 

සෙක්කි බෙදීම සිදු වෙන්නේ සූර්‍ය්‍යාගේ ගමන් කිරීම අනුව. මේක ජපන් සංස්කෘතියේ ගොඩක් දේවල් වගේ කෙලින්ම චීන සංස්කෘතියෙන් ආපු එකක්. චීනයෙන් ආවට ඒක ජපානයේ දේශගුණයට ගැලපෙන ආකාරයට සකස් කරලා අරගෙන තියෙනවා.
 

හැම සෙක්කියක් ම තවත් කොටස් හෙවත් අනු-සෘතු තුනකට බෙදෙනවා. ඒ අනුව අවුරුද්ද අනු සෘතු 72 (24x3) කින් සමන්විතයි.
 

සෙක්කි සහ අනු-සෘතු බෙදලා සහ නම් කරලා තියෙන්නේ ඒ ඒ කාලයේදී සොබා දහමේ සිදුවන විපර්‍යාසයන්ට අනුව. අනු-සෘතු 72 හරහා යනවා කියන්නේ ජපනයේ සොබා දහම අවුරුද්දක් ඇතුළත අත් දකින වෙනස්කම් එක්ක යන අපූරු ගමනක් වගේ.
 

ඇත්තෙන්ම ජපන් සංස්කෘතිය මේ සොබාදමට වලට කොයිතරම් සංවේදීද කියන එක ගැන කදිම නිදසුනක්.
හැම සෙක්කියකටම සහ අනු-සෘතුවකටම ඊට හරියටම නියමිත දින තියෙනවා. හැම අනු සෘතුවක්ම දළ වශයෙන් දවස් 5 කින් සම්න්විතයි.
 

ඒ ඒ සෙක්කිය සහ ඊට අයත් අනු-සෘතු එන්නේ මේ වගේ

හරු (වසන්තය)

1. රිස්ෂුන් (වසන්තයේ ඇරඹුම)
● පෙරදිග සුළඟ අයිස් දිය කරයි
● උගුයිසු පක්ෂීන් ගීත ගැයුම අරඹයි
● මත්ස්‍යයින් අයිස් අතරින් මතු වෙයි
 

2. උසුයි (වැසිදිය)
● වැස්ස පොළව තෙමයි
● මීදුම හාත්පස වසා ගනී
● තණකොළ මතු වේ, ගස් දළු දමයි
 

3. කෙයිචිත්සු (කෘමීන් අවදිවීම)
● සිසිර නින්දේ සිටි කෘමීන් එළිබසී
● පීච් මල් පිපේ
● දළඹුවන් සමනළයන් බවට පත් වේ
 

4. ෂුන්බුන් (වසන්ත විෂූවය)
● ගේ කුරුල්ලන් කූඩු සැදීම අරඹයි
● පළමු සකුරා මල් පිපේ
● ඈතින් අකුණු හඬ ඇසේ
 

5. සෙයිමෙයි (පිරිසිදු සහ ශුද්ධ)
● වැහිලිහිණියන් ආපසු පැමිණේ
● වල් පාත්තයන් උතුර බලා පියාසර කරයි
● පළමු දේදුනු
 

6. කොකූ (ධාන්‍ය වැසි)
● පන් ගස් දළු දමයි
● අවසාන තුහීන; ගොයම් පැළ මතු වේ
● බෝතන් මල් පිපේ

නත්සු (ගිම්හානය)

7. රික්කා (ගිම්හානයේ ඇරඹුම)
● මැඩියන් ගී ගැයීම අරඹයි
● පණුවන් මසෙන් මතුවේ
● උණ ගස් දළු දමයි
 

8. ෂෝමන් (අස්වනු)
● සේද පණුවන් මල්බෙරි කොළ කෑම අරඹයි
● බෙනිබනා මල් පිපේ
● තිරිඟු අස්වැන්න නෙළීම ඇරඹේ
 

9. බෝෂු (ඉපනැල්ල)
● වන්දන් ඉපැදේ
● කුණු වුනු තණකොළ වලින් කණාමැදිරියන් හටගනී
● ප්ලම් ගෙඩි කහ පැහැ වේ
 

10. ගෙෂි (ගිම්හාන නිවෘත්තිය)
● නත්සුකරේකුසා මල් පරවේ
● අයමේ මල් පිපේ
● හංගේ පැල දළු දමයි
 

11. ෂෝෂො (සුළු උණුසුම)
● උණුසුම් සුළං හමයි
● පළමු නෙළුම් මල් පිපේ
● උකුස්සන් පියාසැරීම අරඹයි
 

12. ටයිෂෝ (මහා උණුසුම)
● මුසුබු ගස් වල ගෙඩි හට ගනී
● පොළව තෙත සහගත වේ; වාතය උණුසුම් වේ
● මහා වැසි ඇද හැලේ

අකි (සරත්)

13. රිස්ෂු (සරත් සෘතුවේ ඇරඹුම)
● ශීත සුළං හමයි
● සවස් කලට රැහැයියන් ගී ගයයි
● ඝන මීදුම් ඇතිවේ
 

14. ෂොෂෝ (දරාගත හැකි උණුසුම)
● කපු මල් පිපේ
● උණුසුම මැකී යයි
● සහල් අස්වැන්න නෙළීම ඇරඹේ
 

15. හකුරෝ (සුදු පිණී)
● තණ මත සුදු පිණි දිලිසේ
● වෙරළ වටුවන් ගී ගයයි
● වැහි ලිහිණියන් සංක්‍රමනය වීම අරඹයි
 

16. ෂූබුන් (සරත් විෂූවය)
● අකුණු ගැසීම නවතී
● කෘමීන් පොළව යට සැඟවෙති
● ගොවීන් කුඹුරු වල වතුර හැර දමයි
 

17. කන්‍ රෝ (ශීත පිණි)
● වල් පාත්තයන් නැවත පැමිණේ
● කපුරු මල් පිපේ
● රැහැයියන් ගෙවල් අසල කෑගසයි
 

18. සෝකෝ (තුහීන)
● පළමු තුහීන ඇතිවේ
● සුළු වැසි ඇද වැටේ
● මේපල් කොළ කහ පැහැ වේ

ෆුයු (සිසිර)

19. රිත්තෝ (සිසිර සෘතුව ඇරඹුම)
● කැමීලියා මල් පිපේ
● පොළව මිදීම ඇරඹේ
● ඩැෆඩිල් මල් පිපේ
 

20. ෂෝසෙත්සු (සුළු හිම)
●  දේදුනු මැකී යයි
●  උතුරු සුළං ගස් වලින් කොළ හලා දමයි
●  තචිබානා ගස් වල කොළ කහ පැහැ වේ
 

21. තයිසෙත්සු (මහ හිම)
● අධික ශීතල ඇරඹේ
● වළසුන් සිසිර නින්දට එළැඹේ
● සැමන් මසුන් උඩුගං බලා පිහිනීම අරඹයි
 

22. තෝජි (සිසිර නිවෘත්තිය)
● නත්සුකරේකුසා ගස් දළු දමයි
● මුවන්ගේ අං හැලේ
● තිරිඟු පැල හිම යටින් දළු දමයි
 

23. ෂෝකන් (සුළු ශීතල)
● අසමෝදගම් පැල වේ
● උල්පත් වල අයිස් මිදේ
● වල් කුකුළන් කෑ ගැසීම ඇරඹේ
 

24. දයිකන් (මහ ශීතල)
● ෆුකි පැල වල මල් පිපේ
●  ගංගා වල අයිස් මිදේ
● කිකිළියන් බිත්තර දැමීම අරඹයි



යුරෝපයේ පවුල් සංවිධාන ක්‍රම

 

යුරෝපීය රටවල සාම්ප්‍රදායික පවුල් සංවිධාන ක්‍රම ප්‍රධාන මාදිලි හතරකට බෙදන්න පුළුවන්.

1. න්‍යෂ්ටික
2. සමානාත්මවාදී
3. අධිපතිවාදී
4. සාමූහික

මේවා හුදෙක් පවුල් සංවිධාන ක්‍රම විතරක් නෙවෙයි. ඒ ඒ සංස්කෘතීන්ට ආවේනික චින්තන ක්‍රම වල පිළිබිඹුවක් වෙනවා වගේම ඒ ඒ රටවල ඉතිහාසය දිහා බලද්දි පවුල් සංවිධාන ක්‍රමය සහ ඉතිහාසය අතර පැහැදිලි සම්බන්ධකම් හඳුනා ගන්නත් පුළුවන් (ඒ කියන්නෙ ඉතිහාසය හැඩ ගහන්නෙත් චින්තනය නිසා).

මේ වර්ගීකරනය කරල තියෙන්නෙ ඒ ඒ රටවල සාම්‍ප්‍රදායික සංස්කෘතියේ පවතින පවුල් සංවිධාන ක්‍රමය අනුව. වර්තමානයේ මේවා වෙනස් වෙලා ඇති. විශේෂයෙන් නාගරිකව.

 

1. න්‍යෂ්ටික පවුල

න්‍යෂ්ටික පවුලක් සමන්විත වෙන්නේ මව, පියා සහ වැඩිහිටි වයසට පත් නොවූ ළමයින් ගෙන්. ළමයි වැඩිහිටි වයසට පත් වෙනකොට පවුලෙන් වෙන් වෙලා වෙනම තමාගේ පවුල් ඒකක හදා ගන්නවා. පියා තමාගේ දේපල බෙදන්නේ තමාට අභිමත පරිද්දෙන්.

මේ ක්‍රමය තියෙන්නේ එංගලන්තය, ඩෙන්මාකය සහ නෙදර්ලන්තය කියන රටවල. ප්‍රධාන වශයෙන් ඇංග්ලෝ-සැක්සන් සංස්කෘතිය සහිත රටවල්. ඉංග්‍රීසින් ගේ පූර්වජයන් වෙන ඇංග්ලෝ, සැක්සන් සහ ජූට් ගෝත්‍රිකයන් එංගලන්තයට ආවේ වර්තමාන ඩෙන්මාකයේ සහ නෙදර්ලන්තයේ ඉඳලා.

මේ ක්‍රමයේදී සාමූහිකතවයට වඩා පුද්ගලත්වයට තැන ලැබෙනවා. ඒ වගේම "පුද්ගලික දේපල කෙරෙහි සාමූහික අයිතියක් නැත" කියන අදහස (පියා තමාගේ දේපල බෙදන්නෙ තමාගේ අභිමතය පරිදි) තහවුරු කෙරෙනවා.
නූතන ලිබරල්වාදී/ධනවාදී/ප්‍රජාතන්ත්‍රවාදී අදහස් මුලින්ම වර්ධනය වුනේ එංගලන්තයේ සහ නෙදර්ලන්තයේ වීම අහම්බයක් නෙවෙයි. ඒ වගේම එංගලන්තය විසින් බිහි කරන ලද කොලනි (ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව) ලිබරල් ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්.


2. සමානාත්මවාදී පවුල

මේ ක්‍රමයේදී පවුලක් සමන්විත වෙන්නේ මව, පියා සහ වැඩිහිටි වයසට පත් නොවූ ළමයින් ගෙන්. ළමයි වැඩිහිටි වයසට පත් වෙනකොට පවුලෙන් වෙන් වෙලා වෙනම තමාගේ පවුල් ඒකක හදා ගන්නවා. න්‍යෂ්ටික පවුලෙන් මේ ක්‍රමය වෙනස් වෙන්නේ දේපල බෙදීමේදී. පියාගේ දේපල අඩු වැඩි වශයෙන් සමාන විදිහට පුතුන් අතරේ බෙදී යනවා.

මේ ක්‍රමය තියෙන්නේ ඉතාලිය, ප්‍රංශය, දකුණු ස්පාඤ්ඤය, පෘතුගාලය, පෝලන්තය සහ රුමේනියාව කියන රටවල. මේ ක්‍රමයේ මූලය වුනේ රෝම සංස්කෘතිය. මේවා තමයි රෝම අධිරාජ්‍යයේ සහ පසු කාලීනව රෝමානු කතෝලික පල්ලියේ සංස්කෘතික බලපෑම වඩාත් තදින් තිබුණු රටවල්.
මේ ක්‍රමයේදී පුද්ගලත්වයට තැන ලැබුනත්, ඒ එක්කම දේපල සඳහා සමාන අයිතිය තහවුරු කෙරෙනවා. ඒ නිසා සමාජයේ සාමූහිකත්වය සහ සමානාමතාවය පිළිබඳ යම්කිසි අදහසක් ඇති වෙනවා. ඒ වගේම දේපල සමානව බෙදීමෙන් සමාජයේ ඇති-නැති පරතරය සැලකිය යුතු දුරකට පාලනය කෙරෙනවා. රෝම අධිරාජ්‍යය මුල සමයේ ජනරජයක් බවත්, පසු කාලීනව අධිරාජ්‍යයන් යටතේ පාලනය වෙද්දී පවා අධිරාජ්‍යයා ගේ බලය වෙනත් අධිරාජ්‍යයන්ට සාපේක්ෂව අඩු වුනු බවත් අමතක කරන්න බෑ. ඒ වගේම කතෝලික සංස්කෘතියේ එන සමානාත්මතාවය පිළිබඳ අදහස් වලටත් මේක පෑහෙනවා.

පසුකාලීනව බටහිර යුරෝපයේ සාර්ථකම සමාජවාදී සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර ඇති වුනේ ප්‍රංශයේ, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී සමාජවාදී පාර්ශවය තමාගේ බලය පිහිටවූයේ දකුණේ. ඒ වගේම ස්පාඤ්ඤය විසින් බිහි කල කොලනි (ලතින් ඇමරිකාව) සමාජවාදයට සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා සරු බිම් වුනා.


3. අධිපතිවාදී පවුල

මේ ක්‍රමයේදීත් පවුලක් සමන්විත වෙන්නේ මව, පියා සහ වැඩිහිටි වයසට පත් නොවූ ළමයින් ගෙන්. ළමයි වැඩිහිටි වයසට පත් වෙනකොට පවුලෙන් වෙන් වෙලා වෙනම තමාගේ පවුල් ඒකක හදා ගන්නවා. නමුත් දේපල බෙදී යාමේ ක්‍රමය පැහැදිලිවම වෙනස්. මෙහිදී පවුලේ වැඩිමල් පුතාට පියාගේ සම්පූර්න ධනය හෝ සැලකිය යුතු වැඩි පංගුවක් හිමි වෙනවා

මේ ක්‍රමය තියෙන්නේ ජර්මනිය, ඕස්ට්‍රියාව, ග්‍රීසිය, ස්වීඩනය, නෝර්වේ, චෙකියාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශයේ වයඹ කෙලවර (බ්‍රිටනිය), දකුණු ප්‍රංශය, උතුරු ස්පාඤ්ඤය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ අයිස්ලන්තය කියන රටවල. මේ ක්‍රමයේ තනි මූලයක් නිර්නය කරන්න අපහසුයි. පැරණි ග්‍රීක සංස්කෘතිය සහ පැරණි යුරෝපයේ ජර්මැනික්-සෙල්ටික් සංස්කෘතිය කියන දෙකම මේකේ මූලයන් වෙන්න පුළුවන්. ඒ වගේම යුදෙව් සංස්කෘතියේ පවුල් සංවිධානයේ ධනය බෙදී යාමේ ක්‍රමයත් මේ ක්‍රමයම වීම සැලකිය යුතු කරුණක්.

මේ ක්‍රමයේදී පුද්ගලත්වයට තැන ලැබෙන්නේ කලින් ක්‍රම දෙකට වඩා අඩුවෙන්. ඒ ධනය බෙදී යාමේ අසමානතාවය නිසා සහ පියාගේ ධනයට වැඩිමල් පුතාට ඇති වැඩි අයිතිය පිළිබඳ සංකල්පය නිසා. මේ ධනය බෙදී යාමේ ක්‍රමය නිසා ප්‍රධාන ආර්ථික වර්ධනය වීම් දෙකක් මේ රටවල ඉතිහාසයෙන් හඳුනාගන්න පුළුවන්.

එක, පරම්පරාවෙන් පරම්පරාවට පවුලේ ධනය විශාල වශයෙන් බෙදී නොයාම නිසා ධනවත් සහ මධ්‍යම පාන්තික පවුල් විශාල වශයෙන් බිහිවීම. දෙක, ධනයට අඩු හිමිකමක් සහිත බාල පුතුන් සාපේක්ෂව දිළිඳු වීම.

මෙහිදී පියා, සහ වැඩිමල් පුතා පවුල තුළ අධිපතිවාදී ස්වරූපයකින් ක්‍රියා කිරීම, සහ බාල පුතුන් ඒ අධිපතිවාදය පිළිගැනීම මේ රටවල දේශපාලන ක්‍රමය තුලත් දකින්න පුළුවන්. ශක්තිමත්, ‍රණකාමී සහ ඒකාධිපති පාලන ක්‍රමයන් මේ රටවල සුලභයි. ජර්මනිය, ස්පාඤ්ඤය, වයිකිං රාජ්‍යයන් සහ ග්‍රීසිය උදාහරණ. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ඒකාධිපති පාර්ශවය තමාගේ බලය පිහිටවූයේ උතුරේ.

විශේෂයෙන්ම ජර්මනියේදී ධනය අහිමි වුනු බාල පුතුන් වැඩි වශයෙන් හමුදා සේවයට නැඹුරු වීම නිසා අනෙක් යුරෝපීය රටවලට වඩා ශක්තිමත් හමුදාවන් ගොඩ නැංවීමට ජර්මනියට හැකිවුන බව කියැවෙනවා.


4. සාමූහික පවුල

සාමූහික පවුල අනෙක් ක්‍රම වලින් පැහැදිලිවම වෙනස්. මෙහිදී පවුලක් සමන්විත වෙන්නේ මව, පියා, වැඩිහිටි වියට පත් නොවූ දරුවන්, වැඩිහිටි වියට පත්වුනු පුතුන්, ඔවුන් ගේ බිරිඳන් සහ ඔවුන් ගේ දරුවන් ගෙන්. මෙහිදී විශාල සාමූහික පවුලක් ඇති අතර පියා එහි මූලිකත්වය දරනවා. පියා මියගිය පසු පුතුන් අඩු වැඩි වශයෙන් සමාන ලෙස දේපල බෙදා ගනිමින් වෙනම පවුල් ඒකක බිහි කරන්න වෙන්වී යනවා.

මේ ක්‍රමය තියෙන්නේ රුසියාව, යුක්‍රේනය, බෙලරූස්, බෝල්ටික් රටවල්, ෆින්ලන්තය, බල්ගේරියාව, හන්ගේරියාව, ස්ලොවැකියාව සහ බෝල්කන් රටවල් වල. මේ ක්‍රමයේ මූලය විදිහට ස්ලාව සංස්කෘතිය සලකන්න පුළුවන්. මේ රටවල් බොහොමයක් ස්ලාව් ජනවර්ග සහිත රටවල්. ස්ලාව් වරුන්ට මේ ක්‍රමය ලැබුනේ මොංගෝලියානු ආක්‍රමනිකයන් ගෙන් වෙන්න ඉඩ තියෙනවා. චීනයේ සහ ආසියානු ස්ටෙප්ස් සංක්‍රමනික ගෝත්‍රිකයන් ගේ පවුල් සංවිධානයත් මේ ක්‍රමයට සමානයි.

මේ ක්‍රමයේදී පුද්ගලත්වය යටපත් කරලා සාමූහිකත්වයට තැන ලැබෙනවා. ඒ වගේම පියාට ඉතා විශාල බලයක් සහ පිළිගැනීමක් ලැබෙනවා. පවුල් ඒකකය සම්පූර්නයෙන්ම රඳා පවතින්නේ පියාට ඇති පිළිගැනීම මත. ඒ වගේම දේපල පිළිබඳ සාමූහික අයිතිය සහ සමානාත්මතාවය මේ ක්‍රමයේදී තහවුරු කෙරෙනවා.

තවත් වැදගත් වෙනසක් වෙන්නේ කාන්තාවට ලැබෙන තැන. කලින් ක්‍රම වලදී එක පවුලක සිටින්නේ එක කාන්තාවක් (මව) පමණක් නිසා ඇයට සැලකිය යුතු වටිනාකමක් පවුල් ඒකකය තුල ලැබෙනවා. නමුත් සාමූහික පවුල තුල කාන්තාවන් කීප දෙනක් (මව සහ ලේලියන්) සිටින නිසා කාන්තාවට ලැබෙන්නේ අඩු වටිනාකමක්. ඒ වගේම ගැටුම් අවම කර ගැනීම සඳහා කාන්තාවන් පිරිමින්ට අවනත ස්වරූපයකින් කටයුතු කිරීම අවශ්‍යතාවයක්.
මේ ක්‍රමය පවතින රටවල ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය සහ ධනවාදය පැතිර ගියේ අඩුවෙන්. ඒ වෙනුවට ප්‍රවේනිදාස ක්‍රමය සහිත රාජාණ්ඩු සහ පසු කාලීනව සමාජවාදී-කොමියුන්ස්ට්වාදී පාලන ක්‍රමයන් දකින්න පුළුවන්. මෙහිදී පියාට අවනත වීමේ සංකල්පය සහ රාජ්‍යයට (හෝ පක්ෂයට) අවනත වීම අතර සමානකම් දකින්න පුළුවන්.