Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Saturday, July 22, 2023

උමර් ගේ අවසාන ඉල්ලීම

 

මුහම්මද් තුමා මිය ගියේ ක්‍රි.ව. 632 දී. එතුමාගේ නිවස පිහිටා තිබුණේ මදීනා නගරයේ පිහිටි "දිවැසිවරයාගේ මස්ජීදය" (අල්-මස්ජීද් අන්-නබවි) ට යාබදව. නිවස කිව්වට ඒක තාප්පයකින් වටවුනු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටි ගණනාවක්. මේ එක් එක් කුටියේ මුහම්මද් තුමාගේ බිරින්දෑවරු සහ එතුමාගේ දියණිය වුනු ෆාතිමා සහ ඇගේ සැමියා වුනු අලී වාසය කළා.
 

මුහම්මද තුමා මිය ගියේ ඔහුගේ එක් බිරිඳක් වුනු ආයිෂාගේ කුටියේදී. ඔහුගේ අනුගාමිකයන් ඔහුව මිහිදන් කළේ ඔහු මියගිය තැනමයි (ඒ කියන්නේ ආයිෂා ගේ කුටිය තුළ). මුහම්මද් තුමාගේ සොහොන් ගැබ තිබියදීම ආයිෂා මේ කුඩා කුටියේ දිගටම වාසය කළා.
 

මුහම්ම්ද් තුමාගෙන් පසුව ඉස්ලාමීය රාජ්‍යයේ නායකත්වයට පත් වුනේ ආයිෂා ගේ පියා වුනු අබු බක්ර්. ඔහු කලීෆා තනතුර දැරුවේ අවුරුදු දෙකක් පමණයි. 634 දී ඔහුත් මිය ගියා. ආයිෂාගේ ඉල්ලීම අනුව ඔහුවත් මිහිදන් කෙරුනේ මුහම්මද් තුමාගේ සොහොන් ගැබ අසලින්මයි. කුඩා කුටියේ සොහොන් දෙකකට ඉඩ වෙන්වුනු පසු ආයිෂාට ඉතිරි වුනේ කුඩා බිම් තීරුවක් විතරයි. ඇය ඒ බිම් කොටසේ දිගටම වාසය කළා. ඇගේ බලාපොරොත්තුව වුනේ ඇය මිය ගිය පසු ඒ බිම් කොටසේ ඇගේ සැමියා සහ පියා අසලින්ම මිහිදන් වෙන්න.
 

අබු බක්ර් ගෙන් පසු කලීෆා තනතුරට පත් වුනේ උමර් ඉබ්න් අල්-කත්තාබ්. උමර් අවුරුදු 10 ක් කලීෆා තනතුර දැරුවා. ඔහු ගේ පාලන සමයේදී ඉස්ලාමීය රාජ්‍යය ලෝකයේ විශාලම, ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය බවට පත් වුනා.
 

උමර් මරණ මංචකයේ සිටියදී ඔහුගේ අවසාන කැමැත්ත වුනේ මුහම්මද් තුමා සහ අබු බක්ර් ගේ අසලින් මිහිදන් වෙන්න. ඒත් එතැන ඉඩ තිබුණේ තවත් එක් සොහොන් ගැබකට පමණක් බවත්, ආයිෂා ඒ ඉඩ තමා වෙනුවෙන් වෙන් කරගෙන සිටි බවත් ඔහු දැන සිටියා.
 

කලීෆා වරයා විදිහට ඔහුට තිබුණේ අණක් නිකුත් කරන්න විතරයි. ඒත් ඔහු තමාගේ අවසාන අණ එවැන්නක් වීම ප්‍රිය කළේ නෑ. මේ නිසා ඔහු තමාගේ පුතා වුනු අබ්දුල්ලා ඉබ්න් උමර් කැඳවා ඔහුට උපදෙස් දුන්නා.
 

"ආයිෂා වෙත ගිහින් ඇයගෙන් මගේ අවසාන ඉල්ලීම කරන්න. ඒත් ඉල්ලීම කරන්නේ "කලීෆා උමර්" කියල කියන්න එපා. ඉල්ලීම කරන්නේ "මගේ පියා උමර්" කියලා කියන්න. ඇය ප්‍රතික්ෂේප කළොත් හෝ පැකිළුනොත් වචනයක් වත් නොකියා අපහු හැරිලා එන්න. ඇය එකඟ වුනොත් ගෞරවයෙන් එය පිළිගන්න."
 

අබ්දුල්ලා තමාගේ පියාගේ ඉල්ලීමත් සමඟ ආයිෂා වෙත ගියා.
 

"මම උමර් ඇර වෙන කිසිම කෙනෙක් මේ ඉල්ලීම කළා නම් එකඟ වෙන්නේ නෑ. ඒත් උමර් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මට බෑ"
 

ආයිෂා එයට එකඟ වුනා. ඒ අනුව උමර් ඉබ්න් අල්-කත්තාබ් මුහම්මද් තුමා සහ අබු බක්ර් අසලින්ම මිහිදන් කෙරුනා.
 

එතෙක් ආයිෂා ගේ කුටියේ තිබුණේ ඇගේ සැමියාගේ සහ සහ පියාගේ සොහොන් පමණයි. ඒත් උමර් කියන්නේ ඇගේ නෑයෙක් නෙවෙයි. ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවකට තම නෑයෙක් නොවන පිරිමියෙක් ඉදිරියේ සිරුර ආවරණය නොකර ඉන්න බෑ. මේ නිසා ආයිෂා සොහොන් තුන ආවරණය වෙන විදිහට ඇගේ කුටිය හරහා තිරයක් එල්ලුවා.
 

සොහොන් ගැබ් තුනකට ඉඩ වෙන්වූ පසු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටියෙන් ආයිෂාට ඉතිරි වුනේ ඉතා කුඩා ඉඩක් පමණයි. නමුත් ඇය මේ කුඩා කුටියේ තවත් අවුරුදු 34 ක් ජීවත් වුනා.
 

678 දී ඇය මිය ගිය පසු ඇයව මදීනා නගරයේ පොදු සුසාන භූමියේ මුහම්මද් තුමාගේ අනෙක් බිරින්දෑ වරුන් අසලින් මිහිදන් කෙරුණා.

ආමෙගඩන්

 

හීබෲ භාෂාවෙන් "ටෙල්" කියලා හඳුන්වන්නේ දීර්ඝ කාලයක් මිනිස් වාසයන් පැවතීම නිසා ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වූ තැනකට. මේ වගේ තැනක් හැදෙන්නේ තැනි බිමක තියෙන මිනිස් ජනාවාසයක්  දීර්ඝ කාලයක් තිස්සේ එක මත එක ගොඩනැගිලි ඉඳි කිරීමෙන් ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වීමෙන්. අවුරුදු දහස් ගානක් තිස්සේ ජනාවාස පැවතුනු ඊශ්‍රායලයේ මේ වගේ "ටෙල්" කියල හඳුන්වන තැන් රාශියක් තියෙනවා. වර්තමාන ඊශ්‍රායලයේ අගනුවර වන "ටෙල් අවිව්" නගරයත් ඊට උදාහරණයක්.
 

ඊශ්‍රායලයේ උතුරට වෙන්න තියෙනවා "ටෙල් මෙගීඩෝ" කියල හඳුන්වන පැරණි නගරයක්. මේ නගරය ඉතාම වැදගත් වෙන්නේ ඊජිප්තුව සහ ආසියාව යා කළ වෙළඳ මාර්ගය මේ නගරය අසලින් වැටී තිබීම නිසා. ටෙල් මෙගිඩෝ නගරය ක්‍රි.පූ. 5000 පමණ සිට අඛන්ඩ මිනිස් ජනාවාසයක්ව පැවතුනා.
 

ටෙල් මෙගීඩෝ නගරය අවට පිහිටි තැනි බිම් වලින් ඉහලට එසැවුනු තරමක් විශාල කඳු ගැටයක ස්වරූපයෙන් වර්තමානයේ දකින්න පුළුවන්.
 

නව තෙස්තමේන්තුව හෙවත් ක්‍රිස්තියානි බයිබලයේ අවසාන පොත වෙන්නේ "එළිදරව්ව" (Book of Revelation). මේ පොතේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෝක විනාශය ගැන. එහිදී ලෝකාවසාන සමයේ සිදුවන බිහිසුණු යුද්ධයක් ගැන කියැවෙනවා.
 

එළිදරව්වේ 16 වැනි පරිච්ඡේදයේ 12 සිට 16 දක්වා වන වාක්‍යයන් වෙන් වෙන්නේ මේ යුද්ධය ගැන කියන්න. එහි කියැවෙන අන්දමට,
 

"සය වැනි දේව දූතයා තමා අත වූ බඳුන යුප්‍රටීස් ගංගාව වෙත හැලීය. එවිට එහි ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගියේය. ඒ පෙරදිග සිට පැමිණෙන රජවරුන්ට [තමාගේ හමුදාව ගඟ තරණය කරවීමට] මග සූදානම් කළ හැකි ලෙසය." (16:12)
 

"මම එවිට ගෙම්බන් වැනි අශුද්ධ ආත්මයන් තුනක් මකරාගේ, මෘගයාගේ සහ ව්‍යාජ දිවැසිවරයාගේ මුවින් නික්මෙනු දුටුවෙමි." (16:13)
 

"ඔවුන් යක්ෂයන් ගේ ආත්මයන් ය. ඔවුන් නොයෙකුත් ප්‍රාතිහාර්‍යයන් පෑ අතර, ඒවා ලෝකයේ රජවරුන් සහ මිනිසුන් අතරට ගොස් දෙවියන් වහන්සේ ගේ විශිෂ්ඨ [යේසුස් වහන්සේ නැවත පැමිණෙන] දිනයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් ඒකරාශි කරවීය." (16:14)
 

"බලනු, මම සොරෙක් ලෙස ඔබ වෙත පැමිණෙමි. සූදානමින් බලාසිටින්නා සහ තමාගේ වස්ත්‍රයන් ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලද්දෝය. එසේ නොවන්නා නිරුවතින් ඇවිද යනු ලබන අතර, ඔහුගේ ලජ්ජාව ප්‍රදර්ශනය කරයි" [යේසුස් වහන්සේ කීය]." (16:15)
 

"එවිට ඔවුන් සියල්ලෝම හීබෲ බසින් ආමෙගඩන් නමින් හැඳින්වෙන ස්ථානයට එක් රැස් වූහ." (16:16)
මේ කියැවෙන ආකාරයට යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට ලෝකයේ සියළුම රටවල පාලකයන් එතුමන්ට එරෙහිව හමුදා රැස් කොට යුප්‍රටීස් ගංගාව තරණය කොට "ආමෙගඩන්" නමින් හැඳින්වෙන තැනකට රැස් වෙනවා. හොඳ සහ නරක අතර බිහිසුණු සටනක් මෙතැනදී සිදුවන අතර, එහිදී යේසුස් වහන්සේ තමාට එරෙහිව එන සේනාව පරදවා ජය ගැනීමට සමත් වෙනවා.
 

මේ "ආමෙගඩන්" නමින් ග්‍රීක් බසට පරිවර්තනය කරල තියෙන්නේ "හර් මෙගීඩෝ" කියන හීබෲ වචනය. ඒ කියන්නේ "මෙගීඩො කන්ද". එහෙම නැත්තම් ටෙල් මෙගීඩෝ නගරය.

නිරයේ නිම්නය

 

ඊශ්‍රායලයේ ජෙරුසෙලම් නගරයට යාබදව තියෙන නිම්නයක් හැඳින්වෙන්නේ "වදි අර්-රබාබි" නමින්. වදි අර්-රබාබි කියන අරාබි නමේ තේරුම "රෙබාබ් නිම්නය". රෙබාබ් කියන්නේ අරාබි ජාතිකයන් අතර භාවිතා වෙන වයලීනයකට සමාන සංගීත භාණ්ඩයක්. මේ නිම්නයට මේ නම ලැබුණේ පලස්තීනය අරාබි රාජ්‍යයක්ව පැවති කාලයේ. 

ඒත්, ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ව පැවති අතීතයේ මේ නිම්නය හැඳින්වුනේ "ගේ බෙන් හින්නොම්" නැතිනම් "ගේ හින්නොම්" කියන නම් වලින්. මේ හීබෲ නමේ තේරුම "හින්නොම් ගේ පුතාගේ නිම්නය" නැත්නම් "හින්නොම් ගේ නිම්නය".
 

හින්නොම් නිම්නය තියෙන්නේ පැරණි ජෙරුසෙලම් නගරයට දකුණින් නගරයට යාබදව. නිම්නය සහ පැරණි ජෙරුසෙලම් නගරය අතර තමයි සයොන් කන්ද පිහිටලා තියෙන්නේ.


හින්නොම් නිම්නය බයිබලයේ සඳහන් වෙන්නේ ඉතාම බිහිසුණු කටයුත්තක් වෙනුවෙන්. ඒ කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කළ ස්ථානයක් විදිහට.
 

මේ සිරිත පටන් ගන්නේ ජුදා රාජධාණියේ අහාස් රජතුමා විසින්. අහාස් රජතුමා ඇසිරියානු අධිරාජ්‍යය සමඟ මිත්‍ර සන්ධානයකට එළැඹී, ඇසිරියානු ආගම අනුව යුදෙව් ආගම වෙනස් කිරීමට උත්සහ කළ කෙනෙක්. ඔහු තමාගේ ප්‍රධාන බිරිඳගේ පුතා හැර අනෙක් පුතුන් හින්නොම් නිම්නයේදී මොලොක් නම් දෙවියාට ගින්නෙක් දවා පූජා කළ බව සඳහන්. සමහරවිට මෙය කරන්න ඇත්තේ ඔහුගෙන් පසු සිහසුනට ඇතිවිය හැකි ආරවුල් වලින් මිදීමට වෙන්න ඇති. මේ සිරිත ඔහුගේ මුණුපුරා වූ මනාස්සේ රජු ගේ කාලයේත් දිගටම පැවතුනු බව බයිබලයේ සඳහන් වෙනවා.
මේ නිසා හින්නොම් නිම්නයේදී කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කිරීම ක්‍රි.පූ. 730-640 අතර කාලයේ යුදෙව්වන් අතර පැවති සිරිතක් බව හිතන්න පුළුවන්. මේ සිරිත බයිබලයේ දැඩි ලෙස පිළිකෙව් කරමින් හෙළා දකින අතර, දෙවියන් ගේ ශාපය යුදෙව්වන්ට සහ හින්නොම් නිම්නයට එල්ල වූ බව සඳහන් වෙනවා.
 

මුල් කාලීන යුදෙව් ආගමේ මරණින් මතු ජීවිතයක් හෝ ජීවත්ව සිටි කාලයේ සිදු කරන අයහපත් ක්‍රියා වෙනුවෙන් දඬුවම් ලැබීමක් ගැන සඳහන් වෙන්නේ නෑ. මිය ගිය අයගේ ආත්ම "ෂෙඕල් (Sheol)" නමින් හැඳින්වුන ස්ථානයකට යන බව සඳහන් වුනත්, ඔවුන්ව විනිශ්චය කිරීමක් හෝ අපායක්, දිව්‍යලෝකයක් ගැන සඳහන් වෙන්නේ නෑ.
 

නමුත් බැබිලෝනියානු පිටුවහල් කාලයේදී විනිශ්චය, මරණින් මතු ජීවිතය, අපාය සහ දිව්‍ය ලෝකය පිළිබඳ අදහස් යුදෙව් ආගමේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහිදී අපාය වෙනුවෙන් ඔවුන් යොදා ගන්න නම වෙන්නේ "ගෙහින්නොම්". දෙවියන්ගේ ශාපයට ලක් වූ හින්නොම් නිම්නය සහ එහි සිදු කළ බිහිසුණු බිලි පූජාවන් පිළිබඳ අඳුරු මතකයන් මේ සඳහා පාදක වෙන්න ඇති.
 

ක්‍රිස්තියානි ආගම බිහි වෙනවිට, "ගෙහින්නොම්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "ගෙහෙන්නා (Gehenna)" විදිහට. "ෂෙඕල්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "හේඩ්ස් (Hades)" විදිහට. හේඩ්ස් කියන්නේ මළවුන්ට අධිපති ග්‍රීක දෙවියා. බයිබලය ඉංග්‍රීසි බසට පරිවර්තනය වෙද්දී "ගෙහෙන්නා" පරිවර්තනය වුනේ "හෙල් (Hell)" විදිහට.
 

ඒ විතරක් නෙවෙයි. ඉස්ලාම් ආගමේ අපාය හැඳින්වෙන්නේ "ජහන්නම් (Jahannam)" නමින්. ඒ වචනයේ මූලයත් "ගෙහෙන්නා" කියන හීබෲ වචනයමයි.
 

අතීතයේ සිදුවුනු බිලි පූජාවන්ගේ බිහිසුණු මතකයන් රඳවා ගත් නිරයේ නිම්නය හෙවත් "ගේ හින්නොම්" නිම්නය අදටත් ජෙරුසෙලම් නගරයේදී දකින්න පුළුවන්. බිලි පූජා සඳහා භාවිතා කළා යැයි සිතිය හැකි අල්තාරයන්ගේ නටබුන් අදටත් දකින්න පුළුවන්.



Tuesday, July 4, 2023

ඉස්ලාමය වැළඳගත් ප්‍රංශ අධිරාජ්‍යයා

 


1798 දී ප්‍රංශයේ අධිරාජ්‍යයා වුනේ නැපෝලියන් බොනපාර්ටේ.

1798 වෙද්දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යුධ වදිමින් හිටියේ. තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය 1536 ඉඳලා දීර්ඝ කාලීන ප්‍රංශ මිතුරෙක්.

මේ වෙද්දි ඊජිප්තුව මම්ලුක් වාංශික සුල්තාන් වරු යටතේ ඔටෝමන් අධිරාජ්‍යයෙන් වෙන් වෙලා ස්වාධීන රාජ්‍යයක් විදිහට් කටයුතු කරමින් හිටියා.

1798 දී 40,000 ක ප්‍රංශ හමුදාවක් නැපෝලියන් යටතේ ඊජිතුව ආක්‍රමනය කළා. නැපෝලියන් ගේ සැලසුම වුනේ ඊජිප්තු වැසියන්ට තමා "ඔටෝමන් අධිරාජ්‍යයා වෙනුවෙන්" ඊජිප්තුව අල්ලා ගත්ත බව පෙන්වලා, ඔවුන්ගේ සිත් දිනාගෙන ඊජිප්තුවේ බලය තහවුරු කරගන්න. ඊට පසුව ඔහු සැලසුම් කලා පෙරදිග බ්‍රිතාන්‍යය යටත් විජිත වලට එරෙහිව ආක්‍රමනයක් දියත් කරන්න. විශේෂයෙන් ඉන්දියාව ඔහුගේ ඉලක්කයක් වුනා. එහිදී ඔහු ඒ වනවිට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගසමින් සිටි ඉන්දියාවේ ටීපු සුල්තාන් ගේ සහය අපේක්ෂා කළා.

ඊජිප්තු වැසියන්, ටීපු සුල්තාන් මෙන්ම පෙරදිග බ්‍රිතාන්‍යය යටත් විජිත වල වැසියන් ගෙන් සැලකිය යුතු ප්‍රමානයක් ඉස්ලාම් බැතිමතුන්. මේ නිසා මේ සැලසුමට නැපෝලියන් ඉස්ලාම් ආගමේ මිතුරෙක් විදිහට පෙනී සිටීම අත්‍යාවශ්‍යය වුනා.

ඊජිප්තුවට ගොඩබැස්ස ප්‍රංශ හමුදාව පහසුවෙන්ම එය අල්ලා ගත්තා. නැපෝලියන් ඊළඟට ඊජිප්තුවේ සිටි ඉස්ලාමීය විද්වතුන් සමහර දෙනෙක් තමා දෙසට නවා ගන්න සමත් වුනා. කයිරෝ නුවර පැවැත්වුනු එක ප්‍රසිද්ධ උත්සවයකට නැපෝලියන් සහභාගී වුනේ අරාබි ජාතිකයෙක් ගේ ඇඳුමින් සැරසිලා.

මේ උත්සවයේදී ඔහු විශාල ජනකායක් ඉදිරියේ ෂහදාව හෙවත් ඉස්ලාම් ආගම වැළඳගැනීමේදී කිව යුතු පාඨය හඬනගා කියලා ඉස්ලාමය වැළඳ ගත්තා. ඔහුගේ "මිතුරු" විද්වතුන් ඔහුට "අලී" යන නම ප්‍රදානය කළා. ඉස්ලාම් ආගම වැළඳ ගැනීමේදී අරාබි නමක් ගැනීම සම්ප්‍රදායක්.

මේක නැපෝලියන්ගේ කපටි කමට දේශපාලන උපක්‍රමයක් විදිහට කළ දෙයක් මිස ඉස්ලාම් ආගම ගැන ඇතිවුනු කැමැත්තකින් කළ දෙයක් නොවෙන බවට කිසිම සැකයක් නෑ. ඒ වගේම කෙනෙක් සිය කැමැත්තෙන් ෂහදාව කිව්වෙ නැත්තම් ඔහු නියමාකාරයෙන් ඉස්ලාම් ආගම වැළඳ ගත් කෙනෙක් වෙන්නත් නෑ.

ඒත් "නිළ වශයෙන්" නැපෝලියන් ඉස්ලාමය වැළඳගෙන තියෙනවා.

නැපෝලියන්ගේ උපක්‍රමය සාර්ථක වුනේ නෑ. ඊජිප්තු වැසියන් ඔහු හිතපු තරම් ලේසියෙන් "අන්දන්න" පුළුවන් වුනේ නෑ. ප්‍රශ හමුදා වලට ඊජිප්තුවේ කැරලි ගණනාවකට මුහුණ දෙන්න සිදු වුනා.

කොරේ පිටට මරේ වගේ මුස්ලිම් භූමියකට යුරෝපීය හමුදාවක් පැමිණීම කලීෆා වරයා වශයෙන් තමාගේ තත්වයට මදිකමක් ලෙස සැලකූ ඔටෝමන් අධිරාජ්‍යයා ප්‍රංශ-ඔටෝමන් මිතුරුකම පසෙක දමා නැපෝලියන්ගේ ප්‍රංශ හමුදාවට එරෙහිව ජිහාඩයක් ප්‍රකාශ කරනවා. සිරියාවේ සහ පලස්තීනයේදී ඔටෝමන් සහ බ්‍රිතාන්‍යය හමුදා වලට එරෙහිව අසාර්ථක සටන් කීපයක් කරන නැපෝලියන් ආපහු ප්‍රංශය දක්වා පසු බසිනවා. ඊජිප්තුව නැවතත් ඔටෝමන් බලයට නතු වෙනවා.

Monday, July 3, 2023

අමරණීයත්වයේ මිනිසා, ගිල්ගමෙෂ්

 


සුමේරියාව කියන්නේ ලෝකෙ පළවෙනි ශිෂ්ඨාචාරය. ඒක තිබුනෙ ක්‍රි.පූ. 4000 - ක්‍රි.පූ. 2000 අතර කාලයේ වර්තමාන ඉරාකයට අයත් යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා දෙකට මැදි වන නිම්නයේ. "දෙගංමැදි ශිෂ්ඨාචාරය" කියල හඳුන්වන ශිෂ්ඨාචාරයේ පැරණිම අවධිය තමයි සුමේරියාව.

සුමේරියාව ක්‍රි.පූ. 2000 දි විතර අකේදියන් රාජ්‍යය විසින් යටත් කර ගත්තා. අකේදියන් රාජ්‍යය කියන්නේ සුමේරියාවට උතුරින් යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා ආශ්‍රිතවම ජීවත් වුනු සෙම්ටික් වර්ගයට අයත් ජන කොටසක්. සුමේරියාව යටත් කර ගත්තට පස්සෙ ඔවුන් සුමේරියානු සංස්කෘතියේ ගොඩක් දේවල් තමාගේ සංස්කෘතියට අවශෝෂනය කර ගත්තා.

පැරණි සුමේරියානු නගරයක් වන උරුක් නගරයේ නටබුන්

මේ තියෙන්නේ ඒ වගේ අකේදියන්වරු විසින් අවශෝෂනය කර ගත්ත සුමේරියන් පුරාවෘතයක් (ඇත්තටම පුරාවෘතයකින් ගත්ත කොටස් කීපයක්. සම්පූර්ණ කතාව මීට වඩා දිගයි. අවශ්‍යය කොටස් ටික විතරයි ගත්තේ)


ගිල්ගමෙෂ්

බොහෝම ඉස්සර සුමේරියාවේ "උරුක්" කියලා නගරයක් තිබුණා. මේ නගරය පාලනය කළේ "ගිල්ගමෙෂ්" කියලා රජ කෙනෙක්. මේ රජු ඉතාම බලවත්. ඒ වගේම ඉතාම දුෂ්ඨයි. තමාගේ වැසියන් දරුණු පීඩාවන්ට ලක් කළා. මිනිස්සු අනවශ්‍ය විදිහට වෙහෙසට පත් කරන වැඩ පැවරුවා. ඔහුගේ නරකම පුරුද්ද වුනේ උරුක් නගරයේ තරුණියන් පැහැර ගැනීම. ඔවුන් ගේ විවාහ දිනයේදී මනාලියන් පැහැර ගැනීමට ගිල්ගමෙෂ් පුරුදු වෙලා හිටියා.


එන්කිඩු

ගිල්ගමෙෂ් ගෙ දුෂ්ඨකම් ඉවසගන්න බැරි වුනු උරුක් නගරයේ මිනිස්සු දෙවියන්ට කන්නලව් කළා. දෙවිවරු මේ කන්නලව් වලට කන් දීලා ගිල්ගමෙෂ් දමනය කරන්න මිනිහෙක්ව මැව්වා. ඒ "එන්කිඩු".

එන්කිඩු වනචාරියෙක්. ඔහු ජීවත් වුනේ කැලේ සත්තු එක්ක. කෑවේ කැලේ සත්තුන්ගෙ කෑම. ඇඳුම් ඇන්දේ නෑ. කැලේ සත්තු ඔහුට සොහොයුරෙක්ට වගේ  සැලකුවා. ඔහු දඩයක්කාරයන්ගෙන් කැලේ සත්තු බේරගත්තා.

මෙහෙම ටික කාලයක් ගියාම දෙවිවරු එන්කිඩු ට සහකාරියක් මැව්වා. ඒ "ෂම්හට්". ෂම්හට් කැලේට ගිහින් එන්කිඩු හම්බවුනා. එන්කිඩු ෂම්හට්ව දැකපු ගමන් ඇයට වශී වුනා. ඔවුන් දවල් හයක් සහ රෑ හතක් එකට වාසය කළා.

හත්වෙනි දවසේ එන්කිඩු කැල්ට ගිහින් වන සත්තු මුණ ගැහුනා. ඒත් සත්තු ඔහුට බය වුනා. ඔහු දැකලා කැලේට දිව්වා. එන්කිඩුට මේක අදහ ගන්න බැරි වුනා. ඔහුට තවදුරටත් කැලේ ජීවත් වෙන්න බෑ. ෂම්හට් ඔහුට ශිෂ්ඨාචාරය කියල දුන්නා. ඔහුට අඳින්න ඇඳුම් දුන්නා. මිනිස්සුන් ගෙ කෑම පුරුදු කළා. ඔහුව එඬේරුන් ළඟට ගෙනැවිත් එඬේර රස්සාව පුරුදු කළා.

ෂම්හට් එක්ක එඬේරු ළඟ ජීවත් වුනු එන්කිඩු ට ගිල්ගමෙෂ් ගෙ දුෂ්ඨකම් ගැන අහන්න ලැබුනා. ඔහු කෝප වෙලා ගිල්ගමෙෂ් හමුවෙන්න ගියා.

එදා උරුක් නගරයේ විවාහ උත්සවයක්. එන්කිඩු ගිල්ගමෙෂ් මනාලිය පැහැරගන්න එනතුරු මග රැකගෙන හිටියා. රෑ බෝ වෙද්දි ගිල්ගමෙෂ් ආවා. එන්කිඩු ඔහුගේ මග වැළැක්වුවා. ඔවුන් දෙන්නා අතර බොහොම නපුරු පොරයක් ඇති වුනා.

බොහෝ වෙලා පොර බැදුවට පස්සෙ එන්කිඩු ගිල්ගමෙෂ් වඩා ශක්තිමත් බව පිළිගත්තා. ගිල්ගමෙෂ් එන්කිඩු ව තමාගේ මිතුරෙක් විදිහට පිළිගත්තා. ගිල්ගමෙෂ් තමාගේ දුෂ්ඨ ගති අඩු කරගෙන තමාගේ නව මිතුරත් එක්ක වීර චාරිකා වල නිරත වෙන්න පටන් ගත්තා. ඔවුන් දෙන්නා එකට බොහෝ වීර කම් කළා.

එක වීර චාරිකාවකදී එන්කඩු මිය ගියා. තමාගේ මිතුරාගේ මරණය නිසා ශෝකයෙන් මුසපත් වුනු ගිල්ගමෙෂ් මරණය පරාජය කර සදාකාලික අමරණීයත්වය සොයා යන්න පටන් ගත්තා. ඔහු බොහෝ දුර ඇවිදිමින් අමරණීයත්වය හෙව්වා. අන්තිමේදී ඔහුට අහන්න ලැබුනා "උට්නපිෂ්ටිම්" නම් අමරණීය මිනිහෙක් ගැන. ඔහු උට්නපිෂ්ටිම් හොයාගෙන මහමුහුදෙන් එතෙර වෙලා ඔහු ජීවත් වුනු දූපතට ගියා.


උට්නපිෂ්ටිම්

උට්නපිෂ්ටිම් ගිල්ගමෙෂ්ට තමාගේ කතාව කිව්වා 

අනූ, එන්ලිල් සහ එන්කි කියන්නේ පිළිවෙලින් අහසට,පොළවට සහ ජලයට අධිපති දෙවිවරු තුන්දෙනා. පොළවේ ජීවිය පවත්වා ගැනීමේ වගකීම තියෙන්නෙ මේ තුන්දෙනාට.

මොකක් හරි හේතුවක් නිසා (කතාව ලියල තියෙන මැටි පුවරුවේ මේ කෑල්ල තියෙන ටික බිඳිලා තියෙන නිසා ඒක කියවන්න බෑ) එන්ලිල් පොළවෙන් ජීවය නැති කරලා දාන්න තීරණය කළා. ඔහු අනු සහ එන්කි එකතු කරගෙන මේ සඳහා සැලසුමක් හැදුවා. මේ සැලසුම ගැන කාටවත් නොකියන්න ඔහු අනු සහ එන්කි ව පොරොන්දු කරගත්තා. ඔවුන් සැලසුම් කරන්නේ මහා කුණාටුවක් සහ ගංවතුරක් එවලා සියළුම මිනිස්සු සහ සත්තු මරා දාන්න.

ඒත් එන්කි බොහොම කරුණාවන්ත දෙවි කෙනෙක්. ඔහු රහසින් මේ ගැන මිනිහෙකුට හෙළි කරන්න තීරණය කළා. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ උට්නපිෂ්ටිම් ව. (කතාවේ එක වර්ෂන් එකක උට්නපිෂ්ටිම් ගෙ නම සඳහන් වෙන්නේ අත්‍රා-හසිස් කියලා. ඒකෙ තේරුම ඉතාමත් බුද්ධිමත් කියන එක).

උට්නපිෂ්ටිම් ජීවත් වුනේ පන් වලින් හදපු ගෙදරක. ඔහු නිදාගෙන ඉද්දි එන්කි පන් බිත්තියේ අනික් පැත්තේ ඉඳලා සිහිනයක් හරහා ඔහුට කතා කරලා දෙවිවරුන්ගේ සැලසුම ගැන කිව්වා. ඊට පස්සෙ ඔහුට දිගින් සහ පළලින් සමාන, පියස්සකින් ආවරණය කළ විශාල පන් බෝට්ටුවක් හදන්න අණ කළා. ඒත් මේ ගැන මිනිස්සුන්ට කියන්න තහනම් කළා.

උට්නපිෂ්ටිම් තමාගේ විශ්වාසවන්ත මිතුරු වඩුවන් සහ පන් වියන්නන් පිරිසක් සමඟ එකතු වෙලා එන්කි කියපු විදිහේ බෝට්ටුවක් හැදුවා. බෝට්ටුව ගැන අහන මිනිස්සුන්ට ඔහු කිව්වේ "එන්ලිල් මාව ප්‍රතික්ෂේප කරලා. ඒ නිසා මම එන්කි එක්ක ජීවත් වෙන්න අප්සු කියන වගුරු බිමට යනවා. මේ බෝට්ටුව ඒ ගමනට" කියලා.


දින පහකට පස්සේ ඔවුන් බෝට්ටුව හදලා නිම කළා. විශාල පරිශ්‍රමයක් දරලා ඔවුන් බෝට්ටුව වතුරට දැම්මා. ඊට පස්සේ උට්නපිෂ්ටිම් තමාගේ රත්තරන් සහ රිදී බෝට්ටුවට පිරෙව්වා. ඊටත් පස්සෙ තමා ඇති කරන ගවයන්, බැටළුවන් සහ ඌරන් බෝට්ටුවට නංවා ගත්තා. ඊටත් පස්සෙ බෝට්ටුව හදපු ශිල්පීන් සහ උට්නපිෂ්ටිම්ගේ පවුලේ අය බෝට්ටුවට නැග්ගා. අවසානයට "භූමියේ ඉන්න සියළුම සත්තු" බෝට්ටුවට නංවා ගත්තා. හැමෝම බෝට්ටුවට නැග්ගට පස්සෙ ඔවුන් බෝට්ටුවේ දොර වහලා මැලියම් වලින් මුද්‍රා තිබ්බා.

දවල් හයක් සහ රෑ හයක් පුරාවට ඉතාම නපුරු කුණාටුවක් හැමුවා. අකුණු පහර වලින් පොළව පුපුරලා කෑලි වලට කැඩිලා ගියා. හාත්පස හැමතැනම මහා අඳුරකින් වැහිලා ගියා. දකුණු දිශාවෙන් හමන මහා සුළඟකින් හැම දෙයක්ම සුනු විසුනු කරලා දැම්මා. වතුර මට්ටම ඉහළ නැගලා හැම දෙයක්ම වතුරෙන් යටවෙලා ගියා. කිසිම මිනිහෙක්ට ඔහුගේ පවුලේ අයටවත් උදව් කරන්න බැරි වෙලා හැමෝම ව්‍යසනයට පත් වුනා.

කුණාටුව කොයිතරම් දරුණුද කිව්වොත් දෙවිවරු පවා බය වෙලා අහසේ ඈතට පැනලා ගියා. යුද්ධයට සහ ප්‍රේමයට අධිපති දෙවඟන ඉෂ්තාර් විළිරුදාව හැදුනු ගැහැණියක් වගේ මොර දුන්නා. දෙවිවරු හැමෝම ශෝකයෙන් වැළපුනා.

හත්වෙනි දවසේ කුණාටුව පහවෙලා ගියා. වතුර බැහල යන්න පටන් ගත්තම උට්නපිෂ්ටිම් බෝට්ටුවේ දොර ඇරියා. සියළුම මිනිස්සු මැටි බවට පත්වෙලා තියෙන හැටි ඔවුන්ට පෙනුනා. හැමතැනම නිවෙසක පියස්සක් වගේ සමතලා වෙලා ගිහින්. බෝට්ටුව නිමුෂ් කන්දේ රැඳුනා. වතුර සම්පූර්ණයෙන්ම බැහැලා යනතුරු ඔවුන් නිමුෂ් කන්දේ දින කීපයක් ගත කළා.

හත්වෙනි දවසේ උට්නපිෂ්ටිම් පරවියෙක් නිදහස් කළා. පරවියා ආපහු පියාඹලා බෝට්ටුවට ආවා. ඊළඟ දවසේ ඔහු වැහිලිහිණියෙක් නිදහස් කළා. වැහිලිහිණියාත් ආපහු ආවා. ඊළඟ දවසේ ඔහු කපුටෙක් නිදහස් කළා. කපුටා ආපහු ආවේ නෑ. පොළව ජීවත් වෙන්න සුදුසු තත්වයට පත් වෙලා බව උට්නපිෂ්ටිම්ට වැටහුනා. ඔහු බෝට්ටුවේ දොරවල් ඇරලා සියළුම සත්තු නිදහස් කළා.

උට්නපිෂ්ටිම් බැටළුවෙක් මරලා දෙවියන්ට පූජාවක් පැවැත්වුවා. පූජාවට සියළු දෙවිවරු ආවා. සියළුම ජීවින් මරන්න හදපු තමාගෙ සැලසුම ව්‍යර්ථ වුනු බව එන්ලින් දැක්කා. ඔහු බොහෝම කෝප වෙලා එන්කිට චෝදනා කළා. ඒත් එන්කි එන්ලිල් ගේ දඬුවම බරපතල වැඩි බවත්, දයාවෙන් සහ කරුණාවෙන් මිනිසුන්ට සලකන්න ඕනෙ බවත් එන්ලිල්ට පැහැදිලි කරලා දුන්නා.

එන්ලිල් උට්නපිෂ්ටිම් සහ ඔහුගේ බිරිඳගේ හිස අතගාලා ඔවුන්ට ආශිර්වාද කළා. එදා ඉඳලා ඔවුන් අමරණීය වුනා.



‍යෞවනයේ ගස සහ සර්පයා

ඔහුට අමරණීයත්වය ලබා දෙන්නෙ දෙවිවරු බවත්, මිනිහෙකුට තනිවම අමරණීයත්වය ලබාගන්න බැරි බවත් උට්නපිෂ්ටිම් ගිල්ගමෙෂ්ට පැහැදිලි කළා. ඒත් ගිල්ගමෙෂ් ඒක පිළිගත්තෙ නෑ. එතකොට උට්නපිෂ්ටිම් ගිල්ගමෙෂ්ට අභියෝගයක් කළා. ඒ දවල් හයක් සහ රෑ හතක් එක දිහට ඇහැරගෙන ඉන්න. ගිල්ගමෙෂ් අභියෝගය පිළිගත්තා.

ඒත් අතරමගදි ගිල්ගමෙෂ්ට නින්ද ගියා. ඇහැරුනාට පස්සෙ තමාට මරණය තියා නින්ද වත් පරාජය කරන්න බැරි බව වැටහුන ගිල්ගමෙෂ් ලැජ්ජාවෙන් සහ ශෝකයෙන් ආපහු හැරුනා. එතකොට උට්නපිෂ්ටිම් ඔහුට කිව්වා "යෞව්වනයේ ගහ" ගැන. යෞව්වනයේ ගහ තමයි අමරණීයත්වයට වඩාත්ම සමීප දේ. ඒ ගහ අයිති කරගන්න කෙනෙකුට මරණය දක්වා තරුණයෙක් වෙලා ජීවත් වෙන්න පුළුවන්. යෞව්වනයේ ගහ තියෙන්නෙ සාගරය පතුලේ.

ගිල්ගමෙෂ් කකුල් දෙකට ගල් දෙකක් බැඳගෙන මුහුදේ කිමිදිලා යෞව්වනයේ ගහ හොයා ගත්තා. ඔහු ඒකත් අරගෙන ගොඩට ඇවිත්, ගහ වෙරළේ තියලා මුහුදේ නාන්න ගියා. ඒත් ඔහු නාන අතරේ සර්පයෙක් ගහ හොරකම් කළා. සර්පයාට යෞව්වනයේ තිළිණය හිමි වුනා. මේ නිසා මහළු වෙන හැම වෙලාවෙම සර්පයට පුළුවන් තමාගේ හම හළලා දාලා තරුණ වෙන්න.


සියල්ලම අහිමි වෙලා බලාපොරොත්තු කඩ වුනු ගිල්ගමෙෂ් ආපහු උරුක් නගරයට ආවා. ඈත තියාම උරුක් නගරයේ උස් බැමි සහ උස් ගොඩනැගිලි දුටු ඔහුගේ හිත සන්සුන් වුනා. අමරණීයත්වය තියෙන්නේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාළයේදී කරන ශ්‍රේෂ්ඨ නිර්මාන තුළ බව ඔහුට තේරුනා.

මලාලා

 


මලාලා යූසුෆායි නැත්තම් මලාලා යූසුෆ් කියන්නේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක්. ඇය පාකිස්ථානයේ පිටිසර ගමක ඉපදුනු පෂ්තුන් ජාතික තරුණියක්. ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි නිසා තලීබාන් සංවිධානයට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් ඇයට වෙඩි තැබීම නිසා ඇය ජාත්‍යන්තරව විශාල ප්‍රසිද්ධියක් සහ කීර්තියක් ලැබුවා.

මලාලා යූසුෆ්

නමුත් මේ කතාව ඒ මලාලා ගැන නෙවෙයි.

"මලාලා" කියන පෂ්තූන් නමේ තේරුම "ශෝකයට පත්වුනු" කියන එක. ඒ වගේ නමක් ඇගේ දෙමාපියන් ඇයට තිබ්බේ ඇයි?

1878 දී දෙවන ඇංග්ලෝ-ඇෆ්ගන් යුද්ධය ඇරඹුනා. බ්‍රිතාන්‍යය හමුදාවන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කරලා ඇෆ්ගනිස්ථානයේ එමීර් වරයා වුනු මුහම්මද් යාකුබ් ඛාන් බලයෙන් පහ කරලා ඒ වෙනුවට ඔවුන්ට හිතවත් එමීර් වරයෙක් බලයට පත් කළා. යාකුබ් ඛාන් ඉන්දියාවට පිටුවහල් කෙරුනා.

බ්‍රිතාන්‍යයන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කොනේ පිහිටි කාබුල් අගනුවර සහ දෙවන ප්‍රධාන නගරය වුනු කන්දහාර් හි බලය තහවුරු කර ගත්තා. නමුත් නිදහස් කාමී පෂ්තූන් ජාතිකයෝ සහ අනෙකුත් ඇෆ්ගන් ජාතිකයෝ බ්‍රිතාන්‍යයන්ට යටත් වීම අනුමත කළේ නෑ. ඇෆ්ගනිස්ථානයේ බටහිර කොනේ පිහිටි හෙරාත් නගරයේ ආණ්ඩුකාරයා වුනේ යාකුබ් ඛාන් ගේ සොහොයුරු අයූබ් ඛාන්. අයූබ් ඛාන් බ්‍රිතාන්‍යයන්ට පහර දෙන්න කුඩා හමුදාවකුත් එක්‍ රැස් කරගෙන පිටත් වුනා.

අයූබ් ඛාන්

මේ හමුදාවට අතරමග ගම්-නගර වලින් පිරිස් එකතු වුනා. කන්දහාර් නගරයට ළඟා වෙද්දී එය 25,000 ක විශාල හමුදාවක් බවට පත් වෙලා. ඔවුන් ගේ ඉලක්කය වුනේ කන්දහාර් හි ලැගුම් ගෙන සිටි 2500 ක බ්‍රිතාන්‍යය හමුදාව. මේ හමුදාවෙන් 500 ක් බ්‍රිතාන්‍යය ජාතිකයන් වුනු අතර, 2000 ක් ඉන්දියානු ජාතිකයන් වුනා. ඔවුන් සතුව තිබුනු ප්‍රධාන වාසිය වුනේ රාත්තල් නවයේ කාලතුවක්කු බතරොයිය.

ඇෆ්ගන් හමුදාව කන්දහාර් නගරයට නුදුරින් පිහිටි මයිවාන්ද් දුර්ගය වෙත ළඟාවුනු බව ඇසූ බ්‍රිතාන්‍යය අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෝර්ජ් බරෝව්ස් තම හමුදාවට මයිවාන්ද් දුර්ගය කරා යාමට අණ දුන්නා. මයිවාන්ද් නිම්නයේදී බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වුනේ ඔවුන්ගේ කාලතුවක්කු ප්‍රහාරයන්ගෙන් ඇෆ්ගන් ප්‍රහාරය බිඳ දමා ඇෆ්ගන් හමුදාව පසු බස්සවන්න.

නමුත් බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු නොවූ ආකාරයට ඇෆ්ගන් හමුදාව සතුව නවීන ආම්ස්ට්‍රෝං වර්ගයේ කාලතුවක්කු බතරොයියක් තිබුනා. මේ නිසා බ්‍රිතාන්‍යයන්ගේ කාලතුවක්කු ප්‍රහාරයට පිළිතුරු කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන්න ඔවුන් සමත් වුනා. ඒ නිසා බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වුනු ආකාරයට ඇෆ්ගන් හමුදාව බිඳ වැටුනේ නෑ.

පැය තුනක කාලතුවක්කු සටනක් මයිවාන්ද් දුර්ගයේ ඇතිවුනා. බ්‍රිතාන්‍යයන් ගේ වම් අංශයේ කාලතුවක්කු වල උණ්ඩ අවසන් වුනු නිසා නැවත උණ්ඩ ගෙන එන තුරු වම් අංශයේ කාලතුවක්කු නිහඬ කිරීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වුනා. ඒ අවසරයෙන් ඇෆ්ගන් පාබල සෙබළු බ්‍රිතාන්‍යය වම් අංශයට කඩා වැදුනා. සුළු වේලාවකින්ම බ්‍රිතාන්‍යය හමුදාවේ වම් අංශය බිඳවැටුනු අතර ඇෆ්ගන් ප්‍රහාරය බ්‍රිතාන්‍යයන්ගේ මධ්‍යය දෙසට යොමු වුනා. බ්‍රිතාන්‍යය හමුදාවේ මධ්‍යය සමන්විත වුනේ බ්‍රිතාන්‍යය ජාතික සෙබළුන් සේවය කළ 66 වෙනි බර්ක්ෂයර් රෙජිමේන්තුවෙන්.

66 වන බර්ක්ෂයර් රෙජිමේන්තුවේ සෙබළුන්

තත්වය බරපතල බව දුටු බ්‍රිගේඩියර් ජෝර්ජ් බරෝව්ස් තම හමුදාවට පසු බසින්නට අණ දුන්නා. බ්‍රිතාන්‍යය හමුදාව පසුබසින තුරු ඇෆ්ගන් ප්‍රහාරය නවතාගෙන සිටීමේ වගකීම පැවරුනේ කාලතුවක්කු බලඇණියකට සහ ඉන්දියානු සෙබළුන්ගෙන් සමන්විත ඉංජිනේරු බලඇණියකට. ඔවුන්ට අණදුන්නේ ලුතිනන් හෙන්.

ලුතිනන් හෙන් යටතේ බ්‍රිතාන්‍යය සෙබළුන් ඉතා නිර්භීත ලෙස සටන් වදිමින් තම සගයන් ගේ පසුබැසීම ආවරණය කළා. නමුත් ඇෆ්ගන් හමුදාවේ දරුණු ප්‍රහාර හමුවේ ඔවුන්ට ක්‍රමයෙන් පසුබසින්නට සිදු වුනා. ඔවුන් පසු බැස්සේ අසල තිබූ කුඩා ගමක් වුනු "කිග්" වෙත. මෙහිදී කුඩා ගෙවත්තක් සහ ඒ අවට තිබූ ගොඩනැගිලි කිහිපයක ආවරණය ලබාගත් ඔවුන් ඇෆ්ගන් ප්‍රහාරයට මුහුණ දුන්නා.

කිග් ගම්මානයේ වාසය කළ දුප්පත් එඬේරෙක් ඇෆ්ගන් හමුදාවට එක්ව සිටියා. ඔහුගේ දුව 19 හැවිරිදි පෂ්තුන් තරුණියක්. මේ තරුණියගේ පෙම්වතාත් ඇෆ්ගන් හමුදාවට එක්ව සිටියා. මේ තරුණියත් හමුදාව සමග සටන්බිම වෙත පමිණ සිටියේ තුවාල කරුවන්ට සාත්තු කිරීමට.

ලුතිනන් හෙන් ගේ බ්‍රිතාන්‍යය සෙබළු හොඳින් ආවරණය වී සිටි නිසා ඇෆ්ගන් හමුදාවන්‍ට තම ප්‍රහාරය එල්ල කිරීම පහසු වුනේ නෑ. ඇෆ්ගන් සටන්කරුවන් විශාල ප්‍රමානයක් ප්‍රහාරයෙන් මිය ගියා. ක්‍රමයෙන් ඔවුන්ගේ ධෛර්‍යය සිඳී යමින් පැවතුනා.

මේ වෙලාවේ ඇෆ්ගන් හමුදාවේ ධජය රැගෙන යන්නා බ්‍රිතාන්‍යය වෙඩි පහරකින් මිය ගියා. බිම වැටුනු ධජය ඔසවා ගන්නට වෙඩි පහර මැද සටන් බිමට දිව ගියේ අර පෂ්තුන් තරුණිය. ඇය නිකම්ම තරුණියක් නෙවෙයි, කිවිඳියක්. ඇෆ්ගන් ධජය ඉහළට ඔසවමින් ඇය "ලන්දායි" නමින් හැඳින්වෙන පෂ්තුන් ජනගීයක් ගැයුවා.

"මගේ පෙම්වත, අද මේ සටනින් 
ඔබ මිය ගියේ නැතිනම්
අල්ලාහ් ගේ නාමයෙන්, කෙනෙක් ඔබව
අවමානයේ සංකේතයක් ලෙස සලකාවි"

ඇගේ නිර්භීත කමින් සහ කවියෙන් දිරිවඩා ගත් ඇෆ්ගන් සෙබළු නව ප්‍රහාරයක් එල්ල කරමින් ඉදිරියට ඇදුනා. තරුණියත් ධජයද රැගෙන ජනගී ගයමින් ඔවුන් සමඟ ඉදිරියට ගියේ වෙඩි වර්ෂා මැද.

"මාගේ පෙම්වතාගේ ලේ බිඳුවක්
මව්බිම වෙනුවෙන් හෙළුවොත්
එයින් මොට්ටුවක් තබමි මම නළල මත
මේ ගෙවත්තේ ඇති රතු රෝස මල් පරදවන"

ඇෆ්ගන් සටන්කරුවන් වගේම ලුතිනන් හෙන් සහ ඔහුගේ සෙබළුන් එක එකා ඇද වැටුනා. ඉතාම දරුණු සටනක් ඇවිලී ගියා. අන්තිමේදී ඉතිරි වුනේ බ්‍රිතාන්‍යය සෙබළු එකොළොස් දෙනෙක් පමණයි. ඔවුන් බයිනෙත්තු සවි කරගෙන ඇෆ්ගන් සටන්කරුවන් වෙත කඩා වැදී අවසාන සෙබළාත් මිය යන තුරු ඇෆ්ගන් ප්‍රහාරය වැළක්වුවා.


සටනින් ඇෆ්ගන් සටන්කරුවන්ටත් දරුණු අලභානි අත් වුනා. ධජය ගෙන ගිය තරුණිය, ඇගේ පියා සහ ඇගේ පෙම්වතා යන තිදෙනාම සිටියේ මළවුන් අතර.

පසු බැසීම ආවරණය කළ බ්‍රිතාන්‍යය සෙබළුන් සියල්ල මරා දැමුණු පසු පසුබසිමින් සිටි බ්‍රිතාන්‍යය හමුදාව වෙත ඇෆ්ගන් හමුදාව කඩා වැදුනා. බ්‍රිතාන්‍යයන්ට අත් වුනේ දරුණු පරාජයක්. බ්‍රිතාන්‍යය හමුදාව නැවත කන්දහාර් නගරයට ළඟා වුනේ සෙබළු 948 ක් සහ නිලධාරීන් 21 ක් අහිමි කර ගනිමින්. ඒ බ්‍රිතාන්‍යය හමුදාවෙන් බාගයක්.

මයිවාන්ද් සටනින් ඇෆ්ගන් හමුදාව ජය ගත්තත්, කන්දහාර් නගරය අල්ලා ගන්න ඔවුන්ට හැකි වුනේ නෑ. කන්දහාර් නගරය වටලා පහර දෙමින් සිටියදී කාබුල් සිට පැමිණි බ්‍රිතාන්‍යය ආධාරක හමුදාවක් ඔවුන්ට දරුණු පරාජයක් අත් කර දුන්නා. අයුබ් ඛාන් බ්‍රිතාන්‍යය සිරකරුවෙක් විදිහට ඉන්දියාවට ගෙන ගියා.

දෙවන ඇංග්ලෝ-ඇෆ්ගන් යුද්ධයෙන් ඇෆ්ගනිස්ථානයට අත්වුනේ පරාජයක්. 1880 සිට 1919 දක්වා ඇෆ්ගනිස්ථානය පාලනය වුනේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ප්‍රදේශයක් විදිහට. නමුත් මයිවාන්දි හි සටන ඇෆ්ගන් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු පරිච්ඡේදයක්.

ඇෆ්ගන් ධනය රැගෙන ගිය තරුණිය ඇෆ්ගනිස්ථානයේ ජාතික වීරයෙක් ගේ තත්වයට පත් වුනා. අදටත් ඇගේ සොහොන කිග් ගම්මානයේ දකින්න පුළුවන්. ඇෆ්ගන් ජාතිකයෝ අදටත් ඒ සොහොනට අචාර කරනවා.

තරුණිය ගේ සොහොන

නමුත් කවුරුත් ඇගේ නම දන්නේ නෑ. ඇයව ඇෆ්ගන් වරු හැඳින්වුවේ "ශෝකයට පත්වූ" කියන තේරුම ඇති "මලාලා" යන නමින්.

ඓතිහාසික යුදෙව්වෝ

 

වර්තමානයේ ඊශ්‍රායලයේ ඉන්න යුදෙව්වන් බහුතරය විසිවන සියවසේ මුල ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් ඊශ්‍රායලයට සංක්‍රමනය වූ අය සහ ඔවුගෙන් පැවත එන අය. 1 වන සියවසේදී ඇති වුන රෝම-යුදෙව් යුද්ධ වලින් පසුව රෝම පාලකයන් ඊශ්‍රායලයේ වාසය කළ යුදෙව්වන්ගෙන් විශාල ප්‍රමානයක් වහලුන් ලෙස විකුණා දැම්මා. මේ නිසා ඔවුන් අවුරුදු 2000 ක් පමණ වාසය කළේ තම නිජබිමෙන් පිටත.

අවුරුදු දහස් ගානක් තිස්සේ විවිධ ජාති එක්ක, විශේෂයෙන්ම යුරෝපීයයන් එක්ක මිශ්‍ර වෙලා තියෙන නිසා ඔවුන් ගේ හැඩ හුරුව ඓතිහාසික හෙවත් පිටුවහල් කිරීමට පෙර ඊශ්‍රායලයේ සිටි ඔරිජිනල් යුදෙව්වන් ගේ හැඩ හුරුව නෙවෙයි.

ඔරිජිනල් යුදෙව්වෝ මොන වගේද?

1901 දී ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙක් වුනු හර්මන් බර්ෂාඩ්ට් යෙමනයට යනවා. ඔහුට එහිදී යුදෙව් ප්‍රජාවක් හමු වෙනවා. මේ යෙමනි යුදෙව්වන් රෝම-යුදෙව් යුධ සමයේ ඊශ්‍රායලයෙන් පලා ගිය යුදෙව් ප්‍රජාවකින් පැවත එන පිරිසක්. ඔහු මේ යෙමනි යුදෙව්වන් ගේ පින්තූර ගන්නවා.

හර්මන් බර්ෂාඩ්ට්
 

පසු කාලීනව කරන DNA පරීක්ෂන වලින් හෙළි වෙනවා යෙමනි යුදෙව්වන් තමයි සියළුම යුදෙව්වන් අතරින් අඩුවෙන්ම මිශ්‍ර වෙලා තියෙන්නේ කියලා. මේකට හේතුව යුදෙව්වන්ගේ සහ යෙමනයේ බහුතර ජනයා වූ  මුස්ලිමුන් ගේ ආගමික නීති.

යුදෙව් ආගමික නීති අනුව "යුදෙව්වෙක්" කියල සලකන්නේ යුදෙව් කාන්තාවකගේ දරුවෙක්. ඒ කියන්නේ යුදෙව් ජාතික පිරිමියෙක් යුදෙව් නොවන කාන්තාවක් එක්ක විවාහ වුනොත් ඒ විවාහයේ දරුවන් යුදෙව්වන් කියලා සැලකුනේ නෑ.

ඒ වගේම ඉස්ලාමීය නීතියෙන් මුස්ලිම් පිරිමියෙකුට යුදෙව් කාන්තාවක් විවාහ කරගත හැකි වුනත්, මුස්ලිම් කාන්තාවකට යුදෙව් පිරිමියෙක් විවාහ කරගන්න අවසර ලැබුණේ නෑ.

මේ නිසා මුස්ලිම් කාන්තාවන් සහ යුදෙව් පිරිමින් අතර විවාහ සිදුවුනේ ඉතාම අඩුවෙන්. මුස්ලිම් පිරිමින් සහ යුදෙව් කාන්තාවන් අතර සිදු වූ විවාහ වලින් බිහිවුන දරුවන් යුදෙව් ප්‍රජාවට ඇතුල් වුනේ නෑ. මේ හේතුව නිසා යෙමනෛ යුදෙව්වන් මිශ්‍ර වුනේ ඉතාම අඩුවෙන්.

ඒ නිසා ඓතිහාසික යුදෙව්වන් යෙමනි යුදෙව්වන් වගේ කියලා හිතන එක බොහෝ දුරට සාදාරනයි.

මේ පින්තූර වල දැක්වෙන්නේ 20 වන සියවසේ මුල යෙමනයේ සිටි යුදෙව්වන්.

















රොබින් ඔෆ් ෂර්වුඩ්

 

රොබින් ඔෆ් ෂර්වුඩ් කියන්නෙ රොබින් හුඩ් පුරාවෘතය මත පදනම් වුන ටීවී සීරිස් එකක්. ඒක අපි හැමෝම පොඩි කාලෙ ආසාවෙන් බලපු එකක්. අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෙ නෑ.

නවීන යුගයේ බිහි වුන තවත් රොබින් හුඩ් කතා රැසක් තිබුනත් ඒ කිසිම එකක නැති විශේෂත්වයක් රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ තියෙනවා. ඒ තමයි අනෙක් සියළු රොබින් හුඩ් කතා හුදෙක් දුප්පත්-පොහොසත් අරගලය ගැන අවධානය යොමු කරත්, රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ ඒ කාලේ එංගලන්තයේ සහ යුරෝපයේ තිබුනු ජනවාර්ගිකත්වය මත පදනම් වුන දේශපාලනය ගැන අවධානය යොමු කර තිබීම.

ඒ කාලේ එංගලන්තයේ දේශපාලනයට වැදගත් වුන සියළුම ජනවර්ග සහ ඒවා අතර අන්තර් සබඳතා සියල්ලම වගේ රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවෙන් පෙන්නනවා.

ඇංග්ලෝ-සැක්සන්

ඒ කාලේ එංගලන්තයේ ජනගහණයෙන් බහුතරය වුනේ "ඇංග්ලෝ-සැක්සන්" (කෙටියෙන් සැක්සන් කියලත් කියන) ජනවර්ගය. ඔවුන් ඊට සියවස් කීපයකට පෙර වර්තමාන ජර්මනියේ සිට සංක්‍රමනය වුන ජර්මැනික් වර්ගයට අයත් ගෝත්‍ර කීපයක එකතුවක්. ඒ අතරින් ප්‍රධාන ගෝත්‍ර වුනේ ඇංගල් සහ සැක්සන් කියන ගෝත්‍ර. ඒ ජන වර්ගයට නම ලැබුනේ ඒ ගෝත්‍ර දෙකේ නමින්.  ඔවුන් ගේ භාෂාව ඉංග්‍රීසි  (වර්තමාන ඉංග්‍රීසි ම නෙවෙයි. වර්තමාන ඉංග්‍රීසි ඒ කාලේ ඉංග්‍රීසි භාෂාවෙන් පරිණාමය වුන භාෂාවක්).

1066 වන තුරු එංගලන්තයේ දේශපාලන බලය හිමිකරගෙන හිටියේ සැක්සන් වරු. 1066 ට පසු සමහර සැක්සන් වංශවතුන් ඉඩම් හිමි ධනවතුන් විදිහට හිටියත්, ඔවුන්ගේ බලය ගොඩක් පිරිහුනා.

රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ රොබින් හුඩ් (දෙන්නම), මැරියන්, රොබින් හුඩ් ගේ කල්ලියේ සියළු සාමාජිකයන් (නසියර් හැර), ගම් වාසීන් සැක්සන් ජන වර්ගයේ සාමාජිකයන්. රොබට් ඔෆ් හන්ටින්ඩන් සහ මැරියන් වංශවත් සැක්සන් පවුල් වලින් පැවත එන අය.

නෝමන්

දෙවෙනි ජනවර්ගය වෙන්නේ නෝමන් වරු. නෝමන් වරු කියන්නේ වර්තමාන ඩෙන්මාර්කයේ ඉඳලා ඇවිත් උතුරු ප්‍රංශයේ පදිංචි වුන වයිකිං ගෝත්‍රිකයන්. ඔවුන් ප්‍රංශයට එන්නෙ මංකොල්ල කන්න. උතුරේ සිට එන නිසා ඔවුන් ප්‍රංශ ජාතිකයන් විසින් "නෝමන්" (North-Men) කියලා හැඳින්වුවා. ඔවුන් ගේ කරදරයෙන් බේරෙන්න ප්‍රංශ රජු ප්‍රංශයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයක් ඔවුන්ට පදිංචි වෙන්න පවරලා දෙනවා. නෝමන් වරු පදිංචි වුන ප්‍රදේශය හැඳින්වුනේ නෝමන්ඩිය කියලා. නෝමන්ඩියේ පදිංචි වුන වයිකිං වරු පසුව ප්‍රංශ සංස්කෘතියට අනුගත වෙනවා. ඔවුන් කතා කළේ ප්‍රංශ භාෂාව.

1066 දී එංගලන්තයේ සැක්සන් රජ පවුලට නෑකමක් තිබුන නෝමන් වාංශික කුමාරයෙක් වුන විලියම් එංගලන්තය ආක්‍රමනය කරලා එංගලන්තයේ සිහසුන පැහැරගන්නවා. එතැන් සිට අවුරුදු 700 විතර එංගලන්තය පාලනය කරන්නේ ඔහුගෙන් පැවත එන අය. නෝමන් වරු එංගලන්තයේ බලය අල්ල ගත්තට පස්සේ එහි ඉඩම් හිමි ධනවතුන් වෙන්නේ ඔවුන්. සැක්සන් වරුන් අතේ තිබුන දේශපාලන බලය සම්පූර්නයෙන්ම උදුරා ගන්න නෝමන් වරු සමත් වෙනවා. නෝමන් සහ සැක්සන් සංස්කෘතීන් දෙක මුහු වීමෙන් තමයි වර්තමාන ඉංග්‍රීසි ජාතිය බිහි වෙන්නේ.

රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ "දුෂ්ඨයන්" ඔක්කොම වගේ නෝමන් වරු. නොටිංහැම් හි ෂෙරීෆ්, ගයි ඔෆ් ගිස්බොන්, රිචඩ් රජතුමා, ජෝන් රජතුමා, ඇබට් හියුගෝ සහ කතාවේ එන වංශවතුන්ගෙන් බහුතරය නෝමන් වරු.

රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවට පසුබිම් වෙන්නේ නෝමන් වරු සහ සැක්සන් වරු අතර පැවතුන බල අරගලය. රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ තියෙන ප්‍රධාන "වැරැද්දක්" තමයි ෂෙරීෆ්, ගිස්බොන් ඇතුළු නෝමන් වරු ඉංග්‍රීසියෙන් කතා කිරීම. ඇත්තටම ඔවුන් කතා කළේ ප්‍රංශ භාෂාව. සැක්සන් වරු ඔවුන් සැලකුවේ විදේශිකයන් විදිහට. The Kings Fool කතාවේ විල් ස්කාලට් විසින් රිචඩ් රජතුමාව "A fancy Frenchman" කියලා හඳුන්වන අවස්ථාවක් තියෙනවා. ඒක ඉතාම නිවැරදියි.

වෙල්ෂ්

තුන්වෙනි ජනවර්ගය වෙල්ෂ් වරු. වෙල්ෂ් වරු කියන්නේ සැක්සන් වරු ඇතුළු ජර්මැනික් ජනවර්ග එංගලන්තයට එන්න කලින් එංගලන්තයේ හිටපු සෙල්ටික් වර්ගයට අයත් ජනවර්ගයක්. ස්කොට් සහ අයිරිෂ් වරු ඔවුන් ගේ ළඟ නෑයෝ. ජර්මැනික් ගෝත්‍රයන් විසින් ඔවුන්ව වර්තමාන වේල්සයට පලවා හරිනවා. සෙල්ටික් සංස්කෘතියේ සිටි වෙල්ෂ් වරු ක්‍රිස්තියානිය වැළඳ ගත්තේ අනෙක් ජනවර්ග වලට පසුව. ඔවුන් කතා කළ භාෂාව වෙල්ෂ්.

රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ එන ඕවන් ඔෆ් ක්ලන් සහ ඔහුගේ කට්ටඬියා වන ගල්නර් වෙල්ෂ් ජාතිකයන්. ඕවන් ඔෆ් ක්ලන් ගේ බලකොටුවේ ජීවිතය (ද්වන්ද්ව සටන්, මන්තර ගුරුකම්) සහ පසුව ගල්නර් විසින් ගොඩ නගන වෘකයාගේ කල්ලිය වෙල්ෂ් සංස්කෘතිය සහ සැක්සන්-නෝමන් සංස්කෘතීන් පැහැදිලිව වෙන් කරලා දකින්න පුළුවන් අවස්ථා.

ප්‍රංශ

ඊළඟට අපිට හමු වෙන්නේ ප්‍රංශ ජාතිකයන්. ඒ Seven Poor Knights from Acre කතාවේ එන ටෙම්ප්ලාර් නයිට් වරු විදිහට. මේ කාලයේ කුරුස යුද්ධ සඳහාම බිහි කළ ආගමික-මිලිටරි සංවිධානයක් වුන ටෙම්ප්ලාර් නයිට් වරුන්ගේ මූලස්ථානය තිබුනේ ප්‍රංශයේ. ඔවුන්ගේ සාමාජිකයන් බහුතරයක් ප්‍රංශ ජාතිකයන්. රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ ටෙම්ප්ලාර් නයිට් වරු කතා කරන්නේ විදේශීය ඌරුවකින්.

අරාබි

අන්තිමට අපිට හමුවෙනවා අරාබි ජාතිකයෙක්. ඒ නසියර්, එහෙම නැත්තම් "නසීර් මලික් කෙමල් ඉනාල් ඊබ්‍රහිම් ෂම්ස් අද්-දුල්ලා වත්තාබ් ඉබ්න් මහ්මූද්".

නසීර් අරාබියේ ඉපදුනු අරාබි ජාතිකයෙක්. යුරෝපීයන් හඳුන්වන විදිහට සැරසන් වරයෙක්. ඔහු පලස්තීනයේදී කුරුස යුද්ධ කරුවන්ගේ සිරකරුවෙක් වෙලා එංගලන්තයට එනවා.

කතාවේ එන විදිහට නසීර් "හෂ්ෂාෂින්" නමින් හැඳින්වුනු සංවිධානයට අයත් නිසා අපිට ඔහු ඉස්මයිලී ෂියා නිකායට අයත් මුස්ලිම් වරයෙක් ලෙස හඳුනාගන්න පුළුවන්. හෂ්ෂාෂින් කියන්නේ වර්තමාන ඉරානයේ සහ සිරියාවේ හිටපු ඉස්මයිලි ෂියා නිකායට අයත් මුස්ලිම් වරුන් ගේ සංවිධානයක්.

රොබින් ඔෆ් ෂර්වුඩ් කතාවේ නසීර් ඌරු මස් අනුභවයෙන් සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම කතා රචකයන් කතාවේ නිවැරදි බව ගැන දක්වපු සැලකිල්ලට හොඳ උදාහරණයක්.

නසීර්ට අමතරව  The Sheriff of Nottingham කතාවේ සැරැක් නම් නසීර් ගේ පැරණි සගයෙක් අපිට හමු වෙනවා. The Greatest Enemy කතාවේදීත් නසීර් ගේ පැරණි සගයන් දෙදෙනෙක් ඉන්නවා. මේ සියළු දෙනා අරාබි ජාතිකයන්.

තවත් එකක් - රොබින් හුඩ් ගේ සගයෙක් විදිහට අරාබි ජාතිකයෙක් ඇතුල් වීමේ සම්ප්‍රදාය පටන් ගන්නේ රොබින් ඔෆ් ෂර්වුඩ් කතා මාලාවෙන්. එතැන් සිට හැදුනු හැම රොබින් හුඩ් කතාවකම රොබින් හුඩ් ට අරාබි සගයෙක් ඉන්නවා.

Sunday, July 2, 2023

බලු ෂෝගුන්

 

1646 ඉඳලා 1709 වෙනතුරු ජපානයේ පාලකයා වුනේ තොකුගාවා ත්සුනයෝෂි නම් ෂෝගුන් වරයා. ඔහුගේ අගනුවර වුනේ එදෝ (වර්තමාන තෝකියෝ) නගරය​.

ත්සුනයෝෂි ඉතා දැඩි ආගමික භක්තියක් තිබුන අයෙක්. බැතිමත් බෞද්ධයෙක් වුනු ඔහු රාජ්‍ය පාලනයේදී කොන්ෆියුසියස් ගේ අදහස් මත දැඩිව පදනම් වුනා. ඔහුගේ ආගමික ලැදියාව නිසා "නුසුදුසු" විනෝද මාර්ග ලෙස ඔහු දුටු බොහෝ දේවල් තහනම් කළා. විනෝදයට ලැදි එදෝ නගර වැසියන් අතර ෂෝගුන් වරයා ගැන තිබුනේ යහපත් හැඟීමක් නෙවෙයි.

ත්සුනයෝෂි 1690 දී එදෝ නගරයේ සිටි වීදි සුනඛයන් ආරක්‍ෂා කරන නීති මාලාවක් හඳුන්වා දුන්නා. මේ නීති වලට අනුව බල්ලන්ට හිංසා කිරීම තහනම් වුනු අතර​, වීදි සුනඛයන් නගරයෙන් පිට ඉඳිකළ විශාල "බලු නිවාස​" වල පදිංචි කෙරුනා. රජයේ බදු වියදමින් මේ සුනඛයන්ට කෑම ලබා දුන්නා. මෙය ලෝක ඉතිහාසයේ සත්ව අයිතීන් පිළිබඳව ගත් මුල්ම පියවරක් ලෙස සැලකෙනවා.

එදෝ නගර වැසියන් මේ ගැන ෂෝගුන් වරයාට උපහාර දැක්වුවේ කොහොමද​? ඔහුට "ඉනු කුබෝ" යන නාමය පටබැඳීමෙන්.

ඉනු කුබෝ කියන එකේ තේරුම "බලු ෂෝගුන්"

උතුර දකුණ මාරු වීම

 

අබු අබ්දුල්ලා මුහම්මද් අල්-ඉදිරිසි කියන්නේ 12 වැනි සියවසේ ජීවත් වුන අරාබි ජාතික භූගෝල ශාස්ත්‍රඥයෙක්. ඒ කාලයේ සිසිලිය පාලනය කළේ නෝර්මන් වාංශික රජ පෙළපතක්. මුහම්මද් අල්-ඉදිරිසි සිසිලියේ රජු වුන දෙවන රොජර් ගේ රාජ සභාවේ සේවය කළා.

රොජර් රජතුමා මුහම්මද් අල්-ඉදිරිසි ට 1138 දී රාජකාරියක් පැවරුවා. ඒ එවකට දැන සිටි ලෝකයේ විස්තරාත්මක වාර්තාවක් සකසන්න. ඔහු පුරා අවුරුදු 15ක් තිස්සේ ඉතාම විස්තරාත්මක වාර්තාවක් සැකසුවා. මේක සැලකෙන්නේ මානව ඉතිහාසයේ භූගෝල විද්‍යා ක්ෂේත්‍රයේ බිහිවුන විශිෂ්ඨතම නිර්මානයක් විදිහට.

මේ වාර්තාව අද හැඳින්වෙන්නේ "ටැබියුල රොජරීනා" හෙවත් "රොජර් ගේ සිතියම" නමින්. ඒ එහි අඩංගු වුන සිතියමක් ඇසුරෙන්. මේ සිතියම එවකට දැන සිටි ලෝකයේ සැලකිය යුතු නිවැරදිතාවයකින් දක්වනවා. ආසියාව සහ යුරෝපය සම්පූර්නයෙන්මත්, අප්‍රිකාවේ උතුරු වෙරළබඩ ප්‍රදේශත් මේ සිතියමට ඇතුළත්. පින්තූරයේ තියෙන්නෙ ඒ සිතියම.

දැක්ක ගමන් හිතෙයි "මේ මොන මනෝ විකාරයක් ද?" කියලා. අපි දන්න ලෝක සිතියමට කිසිම සමාන කමක් නෑ.

ඒත් හොඳින් බැලුවොත් දකියි මේ සිතියමේ "ඉහළින්" තියෙන්නෙ දකුණ. "පහළින්" තියෙන්නේ උතුර. ඒ කියන්නේ අපිට පුරුදු ක්‍රමය උඩ යට මාරු කරලා තමයි ඇඳලා තියෙන්නේ.

සිතියමක උතුර "ඉහළින්" තියෙන්න ඕනෙ කියල එකක් නෑ. ඒක අපි විසින් මනසින් පනවාගත්ත නීතියක් පමණයි. මේ පනවා ගැනීම කොයිතරම් තදින් කාවැදිලද කිව්වොත්, මේ වගේ සිතියමක් දැක්ක ගමන් අපිට හිතෙන්නෙ ඒක "වැරදියි" කියලා.

ගොඩක් දේවල් ඒ වගේ තමයි.

අබ්ද් අල්-රහ්මන්

 

ක්‍රි.ව. 661 ඉඳන් 750 වෙනකං ඉස්ලාමීය රාජ්‍යය පාලනය කළේ උමයියා වංශයට අයත් කලීෆා වරු. ඔවුන් ගේ අගනුවර පිහිටා තිබුනේ සිරියාවේ දමස්කස් නගරයේ. මේ කාලයේ ඉස්ලාමීය රාජ්‍යය බටහිරින් අල්-අන්දලූස් (ස්පාඤ්ඤය) සිට නැගෙනහිරින් ඇෆ්ගනිස්ථානය දක්වා විහිදුනු දැවැන්ත අධිරාජ්‍යයක්. ඒක ලෝකයේ ධනවත්ම, විශාලම සහ බලවත්ම රාජ්‍යය වුනා.

ක්‍රි.ව. 731 දී උමයියා කලීෆා වරයා වුනේ "හිෂාම් ඉබ්න් අබ්ද් අල්-මාලික්". ඔහුට "මුආවියා ඉබ්න් හිෂාම්" නමින් පුතෙක් හිටියා. මුආවියා ගේ එක් බිරිඳක් උතුරු අප්‍රිකාවේ බර් බර් ජාතික කාන්තාවක්. මේ බර් බර් කුමාරියට පුතෙක් ලැබුනා. මුආවියා ඔහුට "අබ්ද් අල්-රහ්මන්" කියල නම තිබ්බා.

ක්‍රි.ව. 748 දී අබ්බාසි වාංශිකයන් උමයියා කලීෆා වරුන්ට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කළා. අබ්බාසි වංශය පැවත එන්නේ මුහම්මද් තුමාගේ මාමා කෙනෙක් වුනු අබ්බාස් ගෙන්. මේ නිසා ඔවුන්ට විශාල ජනතා සහයෝගයක් ලැබුනා. කැරැල්ල දරුණු විදිහට පැතිරිලා ගියා. ක්‍රි.ව. 750 වෙද්දී අබ්බාසි කැරලිකාරි හමුදාවන් දමස්කස් නගරය අල්ලා ගත්තා.

මේ වෙද්දී අබ්ද් අල්-රහ්මන් අවුරුදු 20 ක තරුණයෙක්. ඔහුට යහියා නම් 14 හැවිරිදි සොහොයුරෙක් සහ සොහොයුරියන් කීප දෙනක් හිටියා.

බලය අල්ලා ගත් අබ්බාසි කැරලි කරුවන් ඉතාමත් කෲර විදිහට උමයියා වංශයේ සියළුම පිරිමි සහ පිරිමි දරුවන් ඝාතනය කලා. ඒ පසුව ඇතිවිය හැකි කැරැල්ලකට බියෙන්. උමයියා වංශයට අයත් අය සොයන්න අබ්බාසි හමුදා කණ්ඩායම් මුළු සිරියාව පුරාම සැරිසැරුවා. ඔවුන්ට හමුවුන සියළුම උමයියා වාංශිකයන් කිසිම අනුකම්පාවකින් තොරන එතැනම මරා දැම්මා.

අබ්ද් අල්-රහ්මන් තමාගේ සොහොයුරා, සොහොයුරියන් සහ ග්‍රීක ජාතික සේවකයා වුනු බෙදර් සමඟ සිරියාවෙන් පලා ගියා. ඔවුන් ගැන ඉව වැටුනු අබ්බාසි හමුදා කණ්ඩයක් ඔවුන්ව ලුහුබැන්දා. අබ්ද් අල්-රහ්මන් යුප්‍රටීස් ගඟ අසබඩ තිබුණු කුඩා ගමක හැංගුනා. අබ්බාසි හමුදා සෙබළු ඔහු සොයාගෙන එන අතරේ මේ ගමටත් ආවා.

අනතුර ගැන ඉව වැටුනු අබ්ද් අල්-රහ්මන්, යහියා සහ බෙදර් යුප්‍රටීස් ගඟට පැනලා එහා ඉවුරට පීනන්න පටන් ගත්තා. යුප්‍රටීස් ගඟ විශාල ගඟක්. එහි වතුර පාර සැරයි. ඒත් මරණ බිය නිසාම ඔවුන් ඉතා අපහසුවෙන් එහා ඉවුර බලා පීනුවා. එතකොට අබ්බාසි සෙබළු ගං ඉවුරට ආවා. ඔවුන් පලායන අයට නැවත එන ලෙසත් ඉල්ලා සිටියේ අනතුරක් නොකරන බවට පොරොන්දු වෙමින්.

14 හැවිරිදි යහියා හිටියේ අධික ලෙස වෙහසට පත් වෙලා. ඔහු ආපසු හැරී මෙහා ඉවුර කරා පීනුවා. මේ බව දැකපු අබ්ද් අල්-රහ්මන් "මල්ලියේ, මම ළඟට එන්න, මම ළඟට එන්න" කියා කෑ ගැහුවා. ඒත් යහියාට එහා ඉවුරට පීනන්න තරම් ශක්තියක් තිබුනේ නෑ. ඔහු මෙහා ඉවුරට ගොඩ වුනා. ඔහු ගොඩට ආ සැනින් අබ්බාසි සෙබළු ඔහු අල්ලාගෙන හිස සිඳ දැම්මා.

යහියා ගේ හිස සුන් මල කඳ ගං ඉවුරේ දාපු අබ්බාසි සෙබළු ගඟ ඉහළට ගියේ ගඟ තරණය කරන්න සුදුසු තැනක් හොයාගෙන. ඒ අතරේ අබ්ද් අල්-රහ්මන් සහ බෙදර් එහා ඉවුරට ගොඩ වී හැකි තරම් වේගයෙන් පයින්ම පලා ගියා. අබ්බාසි සෙබළුන්ට ඔවුන්ව අල්ලා ගන්න බැරි වුනා.

මුළු මහත් උමයියා වංශයෙන්ම පණපිටින් ඉතිරි වුනේ අබ්ද් අල්-රහ්මන් පමණයි. අනෙක් සියළුම අය අබ්බාසි සෙබළුන්ගේ කඩු පතට ගොදුරු වුනා.

යුප්‍රටීස් නදිය තරණය කළ අබ්ද් අල්-රහ්මන් බෙදර් එක්ක ඉරාකය හරහා පලස්තීනයට ආවා. ඒ දුප්පත් වෙළෙන්දන් විදිහට වෙස්වලාගෙන. පලස්තීනයෙන් ඊජිප්තුවට ආපු ඔවුන් දෙදෙනා එතැනින් ගියේ "ඉෆ්‍රිකියා" ප්‍රාන්තයට (ටියුනීසියාව). අබ්ද් අල්-රහ්මන් ගේ මව නෆ්සා නම් බර් බර් ගෝත්‍රයේ කාන්තාවක්. නෆ්සා ගෝත්‍රිකයන් වාසය කලේ ඉෆ්‍රිකියා ප්‍රාන්තයේ.

ඉෆ්‍රිකියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා උමයියා වරුන්ගේ හිතවතෙක්. මේ නිසා එහිදී තමා ආරක්ෂිත වෙයි කියලා අබ්ද් අල්-රහ්මන් හිතුවා. අවුරුදු පහක දුෂ්කර ගමනකට පස්සෙ අබ්ද් අල්-රහ්මන් නෆ්සා ගෝත්‍රය වෙත ආවා. නෆ්සා ගෝත්‍රයේ නායකයෙක් ඔවුන්ට තමාගේ කූඩාරමේ නවාතැන් දුන්නා.

ඒත් ඉෆ්‍රිකියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා මේ "රාජද්‍රෝහී පලායන්නා" තමාගේ ප්‍රාන්තයේ සිටීම තමාගේ ආරක්ෂාවටත් තර්ජනයක් කියලා හිතලා රහසින්ම සෙබළ පිරිසක් නෆ්සා ගෝත්‍රය වෙත යැව්වේ අබ්ද් අල්-රහ්මන් මරා දාන්න. ඒත් ගෝත්‍ර ප්‍රධානියාගේ බිරිඳ කල්තියා සෙබළුන් පිරිස දැකලා අබ්ද් අල්-රහ්මන් සහ බෙදර් ව ඇයගේ රෙදි ගොඩක් අස්සේ හැංගුවා. සෙබළුන්ට ඔහුව හොයා ගන්න බැරි වුනා.

අබ්ද් අල්-රහ්මන් එතැනින් පලා ගියේ මොරොක්කෝවේ සෙවුටා නගරයට. සෙවුටා නගරය තියෙන්නේ මොරොක්කෝව අල්-අන්දලූස් හෙවත් ස්පාඤ්ඤයෙන් වෙන් කෙරෙන සමුද්‍ර සන්ධියේ කෙලවර. අබ්ද් අල්-රහ්මන් අදහස් කළේ අල්-අන්දලූස් කරා පලා යන්න.

අල්-අන්දලූස් කරා පලා යන්න කලින් එහි තත්වය සුරක්ෂිත කරන්න බෙදර් ව එහි යවන්න අබ්ද් අල්-රහ්මන් තීරණය කලා. මේ වන විට අල්-අන්දලූස් ප්‍රාන්තය තිබුනේ දේශපාලනික වශයෙන් අස්ථාවර තත්වයක.

අල්-අන්දලූස් ප්‍රාන්තයේ පාලකයන් සහ හමුදාවෙන් කොටසක් සමන්විත වුනේ අරාබි ජාතිකයන් ගෙන්. මේ අරාබීන් ක්වයිස් සහ යෙමනි ලෙස කඳවුරු දෙකකට බෙදී හිටියා. ඒ ඔවුන් ගේ මුල් ගෝත්‍ර වල නිජබිම් අනුව. ක්වයිස් ගෝත්‍රිකයන් ගේ නිජබිම වුනේ සිරියාව. ඔවුන් සාමාන්‍යයෙන් උමයියා වාංශිකයන්ට පක්ෂපාතී වුනා. යෙමනි ගෝත්‍රිකයන් ගේ නිජබිම වුනේ යෙමනය. ඔවුන් සාමාන්‍යයෙන් අබ්බාසි වාංශිකයන්ට පක්ෂපාතී වුනා. ඒ අතරේ හමුදාවෙන් වැඩි පිරිස සමන්විත වුනේ උතුර් අප්‍රිකානු බර් බර් ජාතිකයන් ගෙන්.

අල්-අන්දලූස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වුනේ යූසුෆ්. ඔහු සහ ඔහුගේ පුරෝහිතයා වුනු සුමයිල් අතර බලය වෙනුවෙන් සීතල යුද්ධයක් හටගෙන තිබුනා. මෙහිදී ක්වයිස් කඳවුරේ සහය සුමයිල්ට ලැබුණු අතර යෙමනි කඳවුරේ සහය ලැබුනේ ‍යූසුෆ්ට.

ක්වයිස් ගෝත්‍රිකයන් සාමාන්‍යයෙන් උමයියා වරුන්ට පක්ෂපාත නිසා බෙදර් මුලිම ගියේ ක්වයිස් ගෝත්‍රික හමුදා ප්‍රධානීන් ළඟට. හමුදා ප්‍රධානීන් තුන් දෙනෙක් අබ්ද් අල්-රහ්මන්ට ආරක්ෂාව සපයන්න කැමති වුනා. ඊළඟට බෙදර් ඔවුන් සමඟ සුමයිල් හමුවට ගියා.

ඒත් නොසිතූ විදිහට සුමයිල් ඔවුන්ට ආරක්ෂාව දෙන්න ප්‍රතික්ෂේප කලා. ඒ අබ්ද් අල්-රහ්මන් තමාගේ දේශපාලන අභිලාෂයන්ට හරස් වෙයි කියලා බයෙන්. ඒ විතරක් නෙවෙයි, අබ්ද් අල්-රහ්මන් අල්-අන්දලූස් ප්‍රාන්තයට ගොඩ බැස්සොත් ඔහුව වහාම මරා දමන බවට සුමයිල් තර්ජනය කලා.

මේ නිසා බෙදර් අකැමැත්තෙන් යෙමනි ගෝත්‍රික හමුදා ප්‍රධානීන් හමුවට ගියා. යෙමනි ගෝත්‍රිකයන් අබ්බාසි වරුන්ට පක්ෂපාත නිසා බෙදර් ගත්තේ විශාල අවදානමක්. ඒත් සුමයිල් ගේ බලය මැඩපවත්වන්න යූසුෆ් අපොහොසත් වුනු නිසා යෙමනි හමුදා ප්‍රධානින් හිටියේ යූසුෆ් ගැන නොසතුටෙන්. අබ්ද් අල්-රහ්මන්ට ආරක්ෂාව දුන්නොත් ඒ හරහා සුමයිල් බලයෙන් ඉවත් කරන බව බෙදර් ඔවුන්ට පොරොන්දු වුනා. නොසිතූ විදිහට අබ්බාසි හමුදා ප්‍රධානින් අබ්ද් අල්-රහ්මන්ට ආරක්ෂාව දෙන්න කැමති වුනා.

ආපසු සෙවුටා වෙත පැමිණි බෙදර් තමාගේ සැලසුම් අබ්ද් අල්-රහ්මන්ට කියා සිටියා. ඉතාම සතුටු වුනු අබ්ද් අල්-රහ්මන් වහාම අල්-අන්දලූස් බලා යන්න සූදානම් වුනා.

ඒත් ඔවුන් බෝට්ටුවට නගිද්දිම ඒ ප්‍රදේශයේ සිටි බර් බර් ගෝත්‍රිකයන් පිරිසක් බෝට්ටුව වටකරලා ඔවුන්ට පිටත් වෙන්න දෙන්න බැරි බවත්, පිටත් වෙන්න අවශ්‍යය නම් මුදල් ලබා දිය යුතු බවටත් තර්ජනය කලා. අබ්ද් අල්-රහ්මන් සතුව තිබුනේ සුළු මුදල් ප්‍රමානයක්. ඒ සියල්ලම බර් බර් ගෝත්‍රිකයන්ට දෙන්න ඔහුට සිදු වුනා. ඒ පිරිස ඉවත්ව යනවාත් සමඟම තවත් ගෝත්‍රිකයන් පිරිසක් ආයෙත් බෝට්ටුව වට කලේ ඔවුන්ටත් මුදල් ලබා දිය යුතු බව කියමින්. අබ්ද් අල්-රහ්මන් ළඟ මුදල් නොතිබුනු නිසා ඔහු බලෙන්ම බෝට්ටුව දියත් කලා. එක් බර් බර් ගෝත්‍රිකයෙක් බෝට්ටුව තදින් අල්ලා ගත්තේ ඔවුන්ට පිටත් වෙන්න බැරි විදිහට. අබ්ද් අල්-රහ්මන් කඩුව අරගෙන බර් බර් ජාතිකයාගේ දෑත වෙන්වී යන පරිදි කපා දැම්මා. දෑතම සිඳී ගිය බර් බර් ජාතිකයා වෙරළේ ඉතුර් වෙද්දී බෝට්ටුවේ සවි වී තිබූ ඔහුගේ අත් දෙකත් එක්කම අබ්ද් අල්-රහ්මන් ගේ බෝට්ටුව අල්-අන්දලූස් බලා ගියා.

අල්-අන්දලූස් වලදී අබ්ද් අල්-රහ්මන්ට උදාවුනේ වාසනාවක්. ඒ උතුරේ ඇතිවුනු කැරැල්ලක් මැඩ පවත්වන්න යූසුෆ් සහ සුමයිල් දෙදෙනාම උතුරට ගිය නිසා. ඔවුන් නැති වුනු අවසරයෙන් අබ්ද් අල්-රහ්මන් ඔහු සමඟ එක්වුනු ක්වයිස් හමුදා ප්‍රධානීන් තිදෙනා සහ යෙමනි හමුදා ප්‍රධානීන් සමඟ හමුදාවක් එක් රැස් කලා.

මෙහිදී අබ්ද් අල්-රහ්මන්ට වාසියකට හිටියේ ඔහුගේ මව බර් බර් ජාතිකයෙක් වීම. පාලක අරාබීන් ගැන නොසතුටෙන් සිටි බර් බර් ජාතිකයන් මේ බාගයක් බර් බර් වුනු කුමාරයා ගේ හමුදාවට කැමැත්තෙන්ම එක් වුනා.

උතුරේ සිට ආපසු පැමිනි යූසුෆ් සහ සුමයිල් තමාගේ එදිරිවාදිකම් අමතක කර පොදු සතුරා වුනු අබ්ද් අල්-රහ්මන්ට එරෙහිව සටනට පැමිණියා. ගුවාඩල්කුයිවීර් ගඟ අසලදී හමුදාවන් දෙක මුණ ගැසුනා.

අබ්ද් අල්-රහ්මන් ගේ හමුදාව කුසගින්නේ සිටින බව දැනගත් යූසුෆ් ඔවුන්ට පෙනෙන විදිහට තමාගේ හමුදාවට විශාල භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. මේ "සන්දර්ශනයෙන්" සිද්ධ වුනේ අබ්ද් අල්-රහ්මන්ගේ හමුදාව කෝපයට පත් වීම.

ඒ අතරේ අබ්ද් අල්-රහ්මන් සමඟ සිටි යෙමනි හමුදා ප්‍රධානීන් අබ්ද් අල්-රහ්මන් ඉස්තරම්ම ස්පාඤ්ඤය අසෙකු පිට නැගී සිටිම ගැන සිටියේ නොසතුටෙන්. "ඒ අශ්වයා පළා යන්න කදිම සතෙක්" ඔවුන් කියා සිටියා.

මේ ගැන කණ වැටුනු අබ්ද් අල්-රහ්මන් කොටළුවෙක් පිට නැගී සිටි යෙමනි හමුදා ප්‍රධානියෙක් වෙත තම අසු එලවාගෙන ගියා.

"යාළුවා, මේ අශ්වයා ටිකක් මුරණ්ඩුයි වගේ. මට ඌව පාලනය කරන්න අමාරුයි. තමුසෙ මේ අශ්වයා ගන්නවා. තමුසෙගෙ කොටළුවා මට දෙනවා."

මුළු හමුදාවම බලාගෙන සිටියදී අබ්ද් අල්-රහ්මන් කොටළුවා පිට නැගී හමුදාවේ පෙරමුණ ගත්තා. මේ ක්‍රියාවෙන් යෙමනි හමුදා ප්‍රධානීන් සහ හමුදාව අබ්ද් අල්-රහ්මන් ගැන අතිශයින් පැහැදුනා. ඔවුන් එකාමෙන් ඉදිරියට ගිහින් යූසුෆ් ගේ හමුදාවට දරුණු පරාජයක් අත් කර දුන්නා.

සුමයිල් අල්ලා ගැනුනු අතර, ඔහු සිරගත කෙරුනා. පලා ගිය යූසුෆ් ටොලේඩෝ නගරය වෙත ගියා. එහිදී ඔහු අල්ලා ගත් නාගරිකයෝ ඔහුගේ හිස කපා අබ්ද් අල්-රහ්මන් වෙත එව්වා. අබ්ද් අල්-රහ්මන් එය කොර්දෝබා නගරයේ පාලමක තබා ඇණ ගැසුවා.

අල්-අන්දලූස් ප්‍රාන්තයේ පාලනය අතට ගත් අබ්ද් අල්-රහ්මන් එය අබ්බාසි පාලනය යටතේ පැවති ඉස්ලාමීය රාජ්‍යයෙන් වෙන් කර වෙනම රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශ කොට තමාව එහි එමීර් වරයා ලෙස පත් කර ගත්තා. මෙය ඉස්ලාමීය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වෙන්නේ කලීෆා වරයාගේ පාලනයෙන් ගිලිහුනු ස්වාධීන ඉස්ලාමීය රාජ්‍යයක් ඇතිවුනු පළමු අවස්ථාව මෙය නිසා.

අබ්ද් අල්-රහ්මන් මිය ගියේ ක්‍රි.ව. 788 දී. ඔහු වසර 32 ක් "කොර්දෝබා හි එමීර්" තනතුර දරමින් ස්වාධීන රාජ්‍යයක් ලෙස අල්-අන්දලූසය පාලනය කළා. ඔහුගෙන් පසුව උමයියා වාංශිකයන් ක්‍රි.ව. 1031 වන තුරු "කොර්දෝබා හි එමීර්" තනතුර දැරුවා. ඔවුන්ගේ පාලන සමයේදී අල්-අන්දලූසය බලයෙන්, ධනයෙන් සහ දැණුම ගවේෂනය අතින් ඉස්ලාමීය ලෝකයේ ඉතාම ඉදිරි තැනක් ඉසිලුවා. ඉබ්න් අරාබි, ඉබ්න් රුෂ්ද්, ඉබ්න් තුෆයිල් වගේ ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයන් රැසක් අල්-අන්දලූසයෙන් බිහි වුනා.

අබ්බාසි කලීෆා වරුන්ට කිසිම දිනෙක අල්-අන්දලූසයේ තමාගේ බලය පවත්වන්න නොහැකි වුනා.

තාරික් ගේ කන්ද

 

ක්‍රි.ව. 711 වෙද්දි උතුරු අප්‍රිකාව (වත්මන් මොරොක්කෝව සහ ඇල්ජීරියාව) අයිති වෙලා තිබුනේ උමයියා වාංශික ඉස්ලාමීය කලීෆාවරුන්ට. මොරොක්කෝවේ ආණ්ඩුකාරයා වුනේ මූසා ඉබ්න් නුසායිර්.

වත්මන් ස්පාඤ්ඤයෙන් වැඩි ප්‍රමානයක් අයිති වෙලා තිබුනේ විසිගොත් රාජධාණියකට. එහි රජතුමා වුනේ රොඩ්‍රික්.

ස්පාඤ්ඤය සහ මොරොක්කෝව වෙන් වුනේ කිලෝමීටර් 14 ක් පළල ඉතාම පටු සමුද්‍ර සන්ධියකින්. මේ සමුද්‍ර සන්ධියෙන් ස්පාඤ්ඤය පැත්ත දිග තුඩුවකින් සමන්විත වුනා. මේ තුඩුවේ උස් කඳුගැටයක් තිබුනා. ඒ නිසා මේ සමුද්‍ර සන්ධිය තරණය කිරීම ඉතාම අපහසු කටයුත්තක්.

ක්‍රි.ව. 711 දී මේ සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිටි විසිගොත් ජාතික වංශවතෙක් වුනු ජුලියන් රොඩ්‍රික් රජතුමා සමඟ ආරවුලක් ඇති කරගත්තා. ඒ රජතුමා ඔහුගේ දියණිය දූෂනය කිරීම නිසා. ජුලියන් රජුගෙන් පළි ගන්න හිතාගෙන මොරොක්කෝවේ මුස්ලිමුන්ට සමුද්‍ර සන්ධිය තරණය කරන්න සහය දෙන්න කැමැත්ත පළ කලා.

ඒ වෙද්දි මුස්ලිමුන්ට විශාල හමුදාවක් හිටියේ නෑ. ඒත් අවස්ථාව අපතේ යවන්න අකැමැති වුනු මූසා ඉබ්න් නුසායිර් හනිකට 7000 ක හමුදාවක් පිළියෙල කරා. ඒ හමුදාව වැඩි වශයෙන් සමන්විත වුනේ ස්වදේශික බර් බර් ජාතිකයන් ගෙන්. හමුදාවේ අණදෙන නිලධාරියා විදිහට පත් කෙරුනේ 19 හැවිරිදි තරුණයෙක්. ඒ තාරික් ඉබ්න් සියාද්.

තාරික් ජුලියන් ගේ උදව්වෙන් සමුද්‍ර සන්ධිය තරණය කරලා ස්පාඤ්ඤයට ගොඩ බැස්සා. ආක්‍රමනික හමුදාවක් ආ බව දැනගත් රොඩ්‍රික් රජතුමා 30,000 ක පමණ විශාල හමුදාවක් රැගෙන ඔවුන් හමුවට ආවා. ඒත් 19 හැවිරිදි තාරික් විසිගොත් හමුදාවට දරුණු පරාජයක් අත් කර දුන්නා. රොඩ්‍රික් රජතුමා සටනින් මියගියා.

තාරික් තම හමුදාව උතුරට මෙහෙයවමින් ස්පාඤ්ඤය නගර එකින් එක අල්ලා ගත්තා. 712 දී මූසා ඉබ්න් නුසායිර් 12,000 ක තවත් හමුදාවක් රැගෙන ස්පාඤ්ඤයට ගොඩබැස්සා. උමයියා හමුදාවන් අවුරුදු තුනක් ඇතුලත ස්පාඤ්ඤයෙන් විශාල ප්‍රදේශයක් අල්ලාගෙන එය නව ප්‍රාන්තයක් විදිහට ඉස්ලාමීය රාජ්‍යයට එක් කළා. එය හැඳින්වුනේ "අල්-අන්දලූස්" නමින්.

ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ආගම් තුනම එක විදිහට අල්-අන්දලූස් ප්‍රාන්තයේ තිබුනු අතර, ඒ සංස්කෘතීන් තුනේම සංකලනයෙන් අපූරු සංස්කෘතියක් බිහිවුනා. කෙටි කලකින්ම අල්-අන්දලූස් මුළු මහත් ඉස්ලාමීය ලෝකයේම ධනවත් බව සහ දැණුම ගවේෂනය අතින් ඉදිරියෙන්ම තිබුනු ප්‍රදේශයක් බවට පත් වුනා. 15 වන සියවසේදී ක්‍රිස්තියානි ස්පාඤ්ඤය වරු නැවත අල්ලා ගන්නා තුරු අල්-අන්දලූස් පැවතුනේ ඉස්ලාමීය පාලනයක් යටතේ.

අර සමුද්‍ර සන්ධියේ පිහිටා තිබුනු කඳුගැටය මුස්ලිමුන් නම් කළේ 19 හැවිරිදි තරුණ හමුදා සෙනවියාගේ නමින්. ඒ "තාරික් ගේ කන්ද " යන අරුත ඇති "ජබල් තාරික්" නමින්.

අද එය හැඳින්වෙන්නේ "ජිබ්‍රෝල්ටාර්" විදිහට.

Saturday, July 1, 2023

ඔයිඩිපස්

 

ක්‍රි.පූ. 6 වන සියවසේ ග්‍රීසියේ හිටපු නාට්‍යකරුවෙක් වුනු සොෆොක්ලස් ගේ නාට්‍යයක් තමයි "ඔයිඩිපස් රෙක්ස්" (ඔයිඩිපස් රජතුමා) කියන්නේ. මේක සෑහෙන ජවනිකා සහ කතාංග තියෙන දිග නාට්‍යයක්.
 

මේකෙ එක කතාංගයක් තමයි ඔයිඩිපස් ගේ අනාවැකිය සම්බන්ධ කතාව.
 

ග්‍රීසියේ තීබ්ස් නුවර රජතුමා වුනු ලයිසස් සහ ඔහුගේ බිසව වුනු ජොකස්ටා ට පුතෙක් ඉපදෙනවා. අනාවැකි කරුවෙක් (ඔරකල් කෙනෙක්) මේ ළදරුවා ගැන අනාවැකියක් පළ කරනවා. ඒ කවදාහරි ඔහු තම පියා මරලා මව විවාහ කර ගන්නවා කියන එක. මේ නිසා ලයිසස් රජතුමා සහ ජොකස්ටා බිසව ළදරුවාට දණගාන්න බැරි වෙන්න ඔහුගේ විළුඹ දෙක විදලා, එකට ගැටගහලා කැලයේ අතහැරලා එන්න සේවිකාවකට දෙනවා.
 

ඒත් සේවිකාව ළදරුවා ගැන අනුකම්පාවෙන් ඔහුව කොරින්තයේ එඬේරෙක්ට ලබා දෙනවා. කොරින්තයේ රජු වන පොලිබස් සහ ඔහුගේ බිසව වන මෙරෝපි ට දරුවන් නැති නිසා එඬේරා ළදරුවාව ඔවුන්ට හදාගන්න දෙනවා. ප්ලොබස් රජතුමා සහ මෙරෝපි බිසව ළදරුවා නම් කරන්නේ "ඔයිඩිපස්" කියලා. ඒකෙ තේරුම "ඉදිමුණු කකුල". ඒ විළුඹ විදපු තුවාල පැසවලා ඔහුගේ කකුල ඉදිමිලා තිබුණ නිසා.
 

ඔයිඩිපස් තරුණ වයසට ආවම ඔහුට අර අනාවැකිය ගැන දැනගන්න ලැබෙනවා. මේ අනාවැකියෙක් භීතියට පත් වෙන ඔහු කොරින්තය හැරදාලා පළා යනවා. ඒ අනාවැකිය බොරු කරන්න හිතාගෙන (ඔයිඩිපස් හිතාගෙන ඉන්නෙ පොලිබස් සහ මෙරෝපි තමාගේ දෙමාපියන් කියල නෙ).
 

ඔයිඩිපස් ඇවිදගෙන යද්දි ඔහුට කරත්තයක එන මිනිහෙක් මුණගැහෙනවා. පාර ඉඩදීම ගැන ඇතිවන කතාබහක් දුරදිග ගිහිල්ලා දෙන්නා අතර ගැටුමක් ඇති වෙනවා. ඔයිඩිපස් කරත්තයේ එන මිනිහා මරල දානවා.
 

ඔයිඩිපස් එනවා තීබ්ස් නුවරට. ඒ කාලෙයේ තීබ්ස් නුවරට එන පාරේ ස්පින්ක්ස් කෙනෙක් (මිනිස් ඔළුවක් සහ සිංහ ඇඟක් තියෙන සතෙක් - අර ඊජිප්තුවේ පිරමීඩ ඉස්සරහ ඉන්න එකා) ඉන්නවා. මේ ස්පින්ක්ස් පාරෙ යන අයගෙන තේරවිල්ලක් අහනවා. තෝරන්න බැරි වුනොත් මරල දානවා.
 

තේරවිල්ල තමයි "උදේට කකුල් හතරෙන් යන, දවල්ට කකුල් දෙකෙන් යන, හවසට කකුල් තුනෙන් යන සතා මොකාද?" මේ තේරවිල්ල කවුරුවත් තෝරන්නේ නෑ. මිනිස්සු ගොඩ දෙනෙක් ස්පින්ක්ස් ගෙන් මැරුම් කනවා. මේ නිසා තීබ්ස් නුවර මිනිස්සු ජීවත් වුනේ බොහෝම කරදරයෙන්.
 

ඔයිඩිපස් ස්පින්ක්ස් ළඟට ආවම ස්පින්ක්ස් තේරවිල්ල අහනවා. ඔඩිපස් උත්තර දෙනවා "මිනිහා" කියලා. මිනිහා ජීවිතේ මුල් කාලෙ කකුල් හතරෙන් දණ ගානවා. තරුණ කාලෙ කකුල් දෙකෙන් ඇවිදිනවා. මහළු කාලේ හැරමීටියෙන් යනවා. උත්තරේ හරි නිසා ස්පින්ක්ස් ඔයිඩිපස් ට යන්න දෙනවා.
 

ඔයිඩිපස් තීබ්ස් නුවරට එද්දි තීබ්ස් නුවර රජු වුන ලයිසස් අතුරුදහන් වෙලා. බිසව වුනු ජොකස්ටා ගේ සොහොයුරා තාවකාලිකව රාජ්‍ය පාලනය කරනවා. ඔහු කියනවා ස්පින්ක්ස් ව මරන්න පුළුවන් වෙන කෙනෙක්ට ජොකස්ටා විවාහ කරගෙන රජ වෙන්න පුළුවන් කියලා.
 

ඔයිඩිපස් ස්පින්ක්ස් ව මරනවා. ඊට පස්සෙ ජොකස්ටා ව විවාහ කරගෙන තීබ්ස් නුවර රජ වෙනවා. පස්සෙ ඔහුට දැන ගන්න ලැබෙනවා ඔහු එදා පාරේ දී මරා දාන කරත්තයේ ආපු මිනිහා ලයිසස් රජතුමා කියලා.
ඔයිඩිපස් නොදැනුවත්වම අනාවැකිය සම්පූර්න වෙනවා.
 

මේ කතාව පුරාණ ග්‍රීසියේ භාවිතා වුනේ කෙනෙක් ගේ ඉරණම වෙනස් කරන්න කොච්චර උත්සහ කළත්, "වෙන්න තියෙන දේ වෙනවා" කියන්න.
 

හැබැයි සිග්මන් ෆ්‍රොයිඩ් ඔයිඩිපස් කියන නම පාවිච්චි කළේ ඉතාම පිළිකුල් සහගත මනෝ විකාරයක් සඳහා. ඒක සිග්මන් ෆ්‍රොයිඩ් වගේ විපරිත මනසක් තියෙන එකෙක් ගෙ මනසේ විතරක් පහළ වෙන්න පුළුවන් විකෘති අදහසක්.

කඩුල්ල

 

කඩුල්ල කියන්නේ 1992 වර්ෂයේදී විකාශනය වුන ටෙලි නාට්‍යයක්. කතාව තිලක් ජයරත්න ගේ. අධ්‍යක්ෂනය ධර්මසේන පතිරාජ ගේ.

ධර්මසේන පතිරාජ

කඩුල්ලට පසුබිම් වෙන්නේ 19 වෙනි සියවසේ අග භාගයේදී සහ 20 වෙනි සියවසේ මුල භාගයේදී බ්‍රිතාන්‍යය යටත් විජිතවාදයත් එක්ක ලංකාවේ ආර්ථික ක්‍රමයේ සහ ඒ අනුව සමාජ ක්‍රමයේ සිද්ධ වෙන වෙනස්කම්. කතාව සැකෙවින් කිව්වොත් මෙහෙමයි:

කළුතර ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව තියෙන කුඩා ගමක "කංකානම් මහත්තයා" (සිරිල් වික්‍රමගේ) කියලා තරමක් ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ධනවත් වෙලා තියෙන්නෙ සුද්දන් ගෙ රබර් වතු වල වැඩ කරලා. ඔහු මිනිරන් පතලක් හාරනවා. මිනිරන් නොලැබෙන නිසා ඔහුට තමාගේ සියළු වතුපිටි උගස් කරන්න සිද්ධ වෙනවා. තාත්තගෙ මේ මිනිරන් බිස්නස් එකට ඔහුගේ පුතා වෙන "මනුවෙල්" (ක්ලීටස් මෙන්ඩිස්) විරුද්ධයි. අන්තිමේ මිනිරන් සෙල්ලමෙන් නට්ටං වෙන කංකානම් මහත්තයා කළු ගඟේ පැනලා දිවි නසා ගන්නවා.


මිනිරන් පතලේ හෙඩ් බාස් "කුරුතේරිස්" (ජැක්සන් ඇන්තනී). ඔහු සුද්දන්ගෙ පාරවල් කපන්න ඉන්දියාවේ ඉඳන් ආපු මලයාලම් ජාතිකයෙක් ට සහ ගමේ සිංහල කාන්තාවකට දාව උපදින අයෙක්. මලයාලම් ජාතිකයා ආපහු ඉන්දියාවට යනවා. සිංහල කාන්තාව කුරුතේරිස් පොඩි කාලෙම මැරෙනවා. මේ නිසා ඔහු හැදෙන්නෙ අනාථයෙක් විදිහට. "කොච්චිය ගෙ පුතා" නිසා කුරුතේරිස්ට සමාජ තත්වයක් නෑ. කංකානම් මහත්තයා මැරුණට පස්සෙ කුරුතේරිස් තනියම පතල කරගෙන යනවා. ඒ කංකානම් මහත්තයෙගෙන්ම හොරකම් කරපු පවුම් 25 කින්.


ඒ අස්සෙ කුරුතේරිස් සහ කංකානම් මහත්තයගෙ දුව "පොඩි නෝනා" (වසන්ති චතුරානි) යාළුයි. දෙන්නා පැනලා යනවා. පැනල ගීහින් පදිංචි වෙන්නෙ පතලේ වාඩියේ. පහුවදාම "පොඩි නෝනගෙ වාසනාවට" මිනිරන් හම්බෙනවා.

 මිනිරන් විකුණලා කුරුතේරිස් විශාල ධනවතෙක් වෙනවා. ලංකාව පුරාම ඉඩම් ගන්නවා. අරක්කු රේන්ද ගන්නවා. තව තව බිස්නස් කරනවා. ධනපතියෙක් වෙනවා. දානපතියෙක් වෙනවා.

කුරුතේරිස්ට බිස්නස් කරන්න උපදෙස් දෙන්නේ බැස්ටියන් කුරේ. ඔහු යුරෝපීය ඇඳුම් අඳින, ඉංග්‍රීසි දන්න, ක්‍රිස්තියානි ආගම වැළඳගත්ත බටහිරකරණය වුන සිංහලයෙක්. බැස්ටියන් කුරේ ගේ උපදෙස් පිට කුරුතේරිසුත් ක්‍රිස්තියානි ආගමට හැරෙනවා. ආණ්ඩුකාරයා එක්ක එක මේසෙ කෑම ගන්න ලෙවල් එකටම එනවා.

කුරුතේරිස්ගෙ පුතා "රිචඩ්" (පීටර් අල්මේදා) ඉගෙන ගන්නෙ එංගලන්තෙ. එංගලන්තෙ ඉඳන් ලංකාවට එන රිචඩ් තාත්තගෙ බිස්නස් එක බාර ගන්නවා. රිචඩ් ධර්මපාල තුමාගේ අදහස් අනුව ජාතිකවාදී දේශපාලනයක නිරත වෙනවා. අනුරාධපුරයේ වංශවත් පවුලකින් විවාහ වෙනවා. බුද්ධාගමට හැරෙනවා.

ඒත් කුරුතේරිස් සහ ඔහු වටේට ඉන්න හැමෝම ජීවත් වෙන්නේ ඉතාම අතෘප්තිකර ජීවිතයක්. පොඩි නෝනා දිවි නසා ගන්නවා. එක පුතෙක් එංගලන්තේ නවතිනවා. අන්තිමේදී කුරුතේරිසුත් අතෘප්තිමත් මිනිහෙක් විදිහට මැරෙනවා.


කලාත්මක සහ තාක්ෂනික පැත්තෙන් ගත්තම කඩුල්ල නාට්‍යයෙ අඩුපාඩු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම සමකාලීන වෙද හාමිනේ, දඬුබස්නාමානය වගේ නාට්‍යය එක්ක බැලුවම. පළිඟු මැණිකේ වගේ නාට්‍යයක් වුනත් කලාත්මකව වඩා උසස් කියල කියන්න පුළුවන්.

කුරුතේරිස්ට මිනිරන් හම්බවෙන තැනට එනකං කොටස සහ ඊට පස්සෙ කොටස ගලා යන්නෙ රිද්මයන් දෙකකට. මුල කොටස ඉතාම හෙමින් යන අතර, දෙවෙනි කොටස ඉතාම වේගවත්. අවුරුදු තුන හතරක කෑලි ස්කිප් කරල තියෙනවා. දෙවෙනි කොටසේ දී මුල් තැන දීලා තියෙන්නෙ කතාවේ අදහස කියන්න මිස කලාත්මක ඉදිරිපත් කිරීමට නෙවෙයි.

පොසිටිව් දේවල් කිව්වොත් ජැක්සන් ඇන්තනී ඉතාම විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මම හිතන්නේ ඔහුගේ හොඳම ටෙලි නාට්‍යය රංගනය කියල කියන්න පුළුවන්. සමස්තයක් වශයෙන් සියළුම නළු නිළියන් ගේ රඟපෑම් උසස් මට්ටමක තියෙනව කියන්න පුළුවන්.

කඩුල්ලේ සුවිශේෂී බව තියෙන්නෙ කලාත්මක පැත්තට වඩා සමාජ විග්‍රහයේදී. ලංකාවේ 19 වෙනි සියවසේ අග සහ 20 වෙනි සියවසේ මුල දේශීය ධනපති පන්තියක් වර්ධනය වුනා. ඒ වර්ධනය වීම තමයි කඩුල්ලේ කතාවට පදනම් වෙන්නේ.

ලංකාවේ සාම්ප්‍රදායික සිංහල ගැමියා නිරූපනය වෙන්නේ මනුවෙල්ගෙන්. මනුවෙල් ආඩම්බරයි. කාටවත් අත පන්න කැමති නෑ. "සුද්දගෙ වැඩ" ඔහුට අල්ලනෙ නෑ. ව්‍යාපාර කරන්න තේරෙන්නෙ නෑ. ව්‍යාපාර කරන හැටි ඉගෙන ගන්න ආසාවකුත් නෑ. කළු ගඟේ ඔරුවක් පැදගෙන නිවිහැනහිල්ලෙ ඉන්න තමයි මනුවෙල් ආස. කුරුතේරිස් ගේ නැගීමත් එක්ක මනුවෙල් විනාශ වෙලා යනවා.


නැගී එන ධනපති පන්තිය නිරූපනය කෙරෙන්නේ කුරුතේරිස්ගෙන්. කුරුතේරිස් සාම්ප්‍රදයික වංශවතෙක් නෙවෙයි. කොච්චියගෙ පුතෙක්. අනාථයෙක්. දුප්පතෙක්. ඒත් වැඩට සූරයෙක්. සරළ භාෂාවෙන් කිව්වොත් "ගේමක් ගහල" ඉන්න දන්න කෙනෙක්. කුරුතේරිස්ට සමාජ අත්දැකීම් වලින් ආපු ව්‍යාපාර ඉවක් තියෙනවා. ඒක මනුවෙල්ට නෑ. සුද්දා එක්ක වෙනස් වෙන රැල්ලට එකතු වෙලා තමාගේ ගමන යන්න කුරුතේරිස් දන්නවා. ඒ ගමන යද්දි ඕනම කුපාඩි වැඩක් කරන්න කුරුතේරිස් පසුබට වෙන්නෙ නෑ. ඒත් කුරුතේරිස්ට සුද්දගෙ ධනවාදය හරියටම තේරෙන්නෙ නෑ. කුරුතේරිස් ව්‍යාපාර කරන්නෙ තමාට අහිමි වුන සමාජ තත්වය ලබා ගැනීමේ අරමුණෙන්.


සුද්දගෙ ධනවාදයේ නාඩි හරියටම අල්ලගෙන ඉන්නෙ බැස්ටියන් කුරේ. සල්ලිකාරයෙක් නොවෙන බැස්ටියන් කුරේට බිස්නස් කරන්න ප්‍රාග්ධනයක් නෑ. ඒත් කුරුතේරිස් ගෙ බිස්නස් එක මෙහෙයවන්නෙ ඔහු. බටහිර පන්නයට හැදුනු, බටහිර පන්නයට ජීවත් වෙන, ක්‍රිස්තියානි ආගම අදනය බැස්ටියන් කුරේට ධනවාදය හොඳටම තේරෙනවා. ඔහු කුරුතේරිස්ට දෙන එක උපදෙසක් මෙහෙමයි : "මුදලාලි මහත්තයෝ, සල්ලි හම්බකරාට මදි. සල්ලි වලට නීදහසේ හැසිරෙන්න දෙන්න ඕනෙ. නැත්තම් සල්ලි කැරලි ගහනවා."


රිචඩ් ගෙන් නිරූපනය වෙන්නේ දේශීය ධනපති පන්තියේ දෙවෙනි පරම්පරාව. රිචඩ් හැදෙන්නෙ වැඩෙන්නෙ සුද්දෙක් වගේ. ඒත් ඔහු දේශපාලනිකව සිංහල ජාතිකවාදියෙක්. ඔහු බිස්නස් කරන්නේ දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙන්. ඔහු දේශපාලනය කරන්න වංශවත් පවුලකින් විවාහ වෙනවා. බුද්ධාගම වැළඳගන්නවා. ඒ වගේම කුරුතේරිස්ගේ නිෂ්පාදනය මත පදනම් වුන (මිනිරන්, පොල්, රබර්, තේ, දේශීය මත්පැන්) බිස්නස් වෙනුවට ඔහු අත ගහන්නෙ ආනයන අපනයන ව්‍යාපාරවලට. ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකයක් දියුණු නොවෙන්න හේතුව මේකද?

වාමාංශික අදහස් තියෙන ධර්මසේන පතිරාජ මේක දිහා බලන්නෙ වාමාංශික සමාජවාදී කෝණයකින්. ධනවාදයට වගේම ජාතිකවාදයටත් ඔහු සියුම් ව පහර දෙනවා. කුරුතේරිස් මැරෙන්නෙ අතෘප්තිකර මිනිහෙක් විදිහට. සිංහල ජාතිකවාදියෙක් වෙන රිචඩ් ගෙ සීයා කොච්චියෙක්. රිචඩ් ජීවත් වෙන්නෙ සුද්දෙක් වගේ. ඇත්තම සිංහල සංස්කෘතිය ඔහුට ආගන්තුකයි.

ලංකාවේ නිදහසෙන් පස්සෙ දේශපාලනය කළ/කරන බොහෝ දේශපාලකයන් ගෙ මුල් තියෙන්නේ කුරුතේලිස්ලා ගාව.

ලංකාවේ බිහිවුන විශිෂ්ඨතම ටෙලි නාට්‍යය කීපයෙක් එකක් විදිහට කඩුල්ල නම් කරන්න පුළුවන්.