Showing posts with label ලංකාව. Show all posts
Showing posts with label ලංකාව. Show all posts

Saturday, July 1, 2023

කඩුල්ල

 

කඩුල්ල කියන්නේ 1992 වර්ෂයේදී විකාශනය වුන ටෙලි නාට්‍යයක්. කතාව තිලක් ජයරත්න ගේ. අධ්‍යක්ෂනය ධර්මසේන පතිරාජ ගේ.

ධර්මසේන පතිරාජ

කඩුල්ලට පසුබිම් වෙන්නේ 19 වෙනි සියවසේ අග භාගයේදී සහ 20 වෙනි සියවසේ මුල භාගයේදී බ්‍රිතාන්‍යය යටත් විජිතවාදයත් එක්ක ලංකාවේ ආර්ථික ක්‍රමයේ සහ ඒ අනුව සමාජ ක්‍රමයේ සිද්ධ වෙන වෙනස්කම්. කතාව සැකෙවින් කිව්වොත් මෙහෙමයි:

කළුතර ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව තියෙන කුඩා ගමක "කංකානම් මහත්තයා" (සිරිල් වික්‍රමගේ) කියලා තරමක් ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ධනවත් වෙලා තියෙන්නෙ සුද්දන් ගෙ රබර් වතු වල වැඩ කරලා. ඔහු මිනිරන් පතලක් හාරනවා. මිනිරන් නොලැබෙන නිසා ඔහුට තමාගේ සියළු වතුපිටි උගස් කරන්න සිද්ධ වෙනවා. තාත්තගෙ මේ මිනිරන් බිස්නස් එකට ඔහුගේ පුතා වෙන "මනුවෙල්" (ක්ලීටස් මෙන්ඩිස්) විරුද්ධයි. අන්තිමේ මිනිරන් සෙල්ලමෙන් නට්ටං වෙන කංකානම් මහත්තයා කළු ගඟේ පැනලා දිවි නසා ගන්නවා.


මිනිරන් පතලේ හෙඩ් බාස් "කුරුතේරිස්" (ජැක්සන් ඇන්තනී). ඔහු සුද්දන්ගෙ පාරවල් කපන්න ඉන්දියාවේ ඉඳන් ආපු මලයාලම් ජාතිකයෙක් ට සහ ගමේ සිංහල කාන්තාවකට දාව උපදින අයෙක්. මලයාලම් ජාතිකයා ආපහු ඉන්දියාවට යනවා. සිංහල කාන්තාව කුරුතේරිස් පොඩි කාලෙම මැරෙනවා. මේ නිසා ඔහු හැදෙන්නෙ අනාථයෙක් විදිහට. "කොච්චිය ගෙ පුතා" නිසා කුරුතේරිස්ට සමාජ තත්වයක් නෑ. කංකානම් මහත්තයා මැරුණට පස්සෙ කුරුතේරිස් තනියම පතල කරගෙන යනවා. ඒ කංකානම් මහත්තයෙගෙන්ම හොරකම් කරපු පවුම් 25 කින්.


ඒ අස්සෙ කුරුතේරිස් සහ කංකානම් මහත්තයගෙ දුව "පොඩි නෝනා" (වසන්ති චතුරානි) යාළුයි. දෙන්නා පැනලා යනවා. පැනල ගීහින් පදිංචි වෙන්නෙ පතලේ වාඩියේ. පහුවදාම "පොඩි නෝනගෙ වාසනාවට" මිනිරන් හම්බෙනවා.

 මිනිරන් විකුණලා කුරුතේරිස් විශාල ධනවතෙක් වෙනවා. ලංකාව පුරාම ඉඩම් ගන්නවා. අරක්කු රේන්ද ගන්නවා. තව තව බිස්නස් කරනවා. ධනපතියෙක් වෙනවා. දානපතියෙක් වෙනවා.

කුරුතේරිස්ට බිස්නස් කරන්න උපදෙස් දෙන්නේ බැස්ටියන් කුරේ. ඔහු යුරෝපීය ඇඳුම් අඳින, ඉංග්‍රීසි දන්න, ක්‍රිස්තියානි ආගම වැළඳගත්ත බටහිරකරණය වුන සිංහලයෙක්. බැස්ටියන් කුරේ ගේ උපදෙස් පිට කුරුතේරිසුත් ක්‍රිස්තියානි ආගමට හැරෙනවා. ආණ්ඩුකාරයා එක්ක එක මේසෙ කෑම ගන්න ලෙවල් එකටම එනවා.

කුරුතේරිස්ගෙ පුතා "රිචඩ්" (පීටර් අල්මේදා) ඉගෙන ගන්නෙ එංගලන්තෙ. එංගලන්තෙ ඉඳන් ලංකාවට එන රිචඩ් තාත්තගෙ බිස්නස් එක බාර ගන්නවා. රිචඩ් ධර්මපාල තුමාගේ අදහස් අනුව ජාතිකවාදී දේශපාලනයක නිරත වෙනවා. අනුරාධපුරයේ වංශවත් පවුලකින් විවාහ වෙනවා. බුද්ධාගමට හැරෙනවා.

ඒත් කුරුතේරිස් සහ ඔහු වටේට ඉන්න හැමෝම ජීවත් වෙන්නේ ඉතාම අතෘප්තිකර ජීවිතයක්. පොඩි නෝනා දිවි නසා ගන්නවා. එක පුතෙක් එංගලන්තේ නවතිනවා. අන්තිමේදී කුරුතේරිසුත් අතෘප්තිමත් මිනිහෙක් විදිහට මැරෙනවා.


කලාත්මක සහ තාක්ෂනික පැත්තෙන් ගත්තම කඩුල්ල නාට්‍යයෙ අඩුපාඩු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම සමකාලීන වෙද හාමිනේ, දඬුබස්නාමානය වගේ නාට්‍යය එක්ක බැලුවම. පළිඟු මැණිකේ වගේ නාට්‍යයක් වුනත් කලාත්මකව වඩා උසස් කියල කියන්න පුළුවන්.

කුරුතේරිස්ට මිනිරන් හම්බවෙන තැනට එනකං කොටස සහ ඊට පස්සෙ කොටස ගලා යන්නෙ රිද්මයන් දෙකකට. මුල කොටස ඉතාම හෙමින් යන අතර, දෙවෙනි කොටස ඉතාම වේගවත්. අවුරුදු තුන හතරක කෑලි ස්කිප් කරල තියෙනවා. දෙවෙනි කොටසේ දී මුල් තැන දීලා තියෙන්නෙ කතාවේ අදහස කියන්න මිස කලාත්මක ඉදිරිපත් කිරීමට නෙවෙයි.

පොසිටිව් දේවල් කිව්වොත් ජැක්සන් ඇන්තනී ඉතාම විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මම හිතන්නේ ඔහුගේ හොඳම ටෙලි නාට්‍යය රංගනය කියල කියන්න පුළුවන්. සමස්තයක් වශයෙන් සියළුම නළු නිළියන් ගේ රඟපෑම් උසස් මට්ටමක තියෙනව කියන්න පුළුවන්.

කඩුල්ලේ සුවිශේෂී බව තියෙන්නෙ කලාත්මක පැත්තට වඩා සමාජ විග්‍රහයේදී. ලංකාවේ 19 වෙනි සියවසේ අග සහ 20 වෙනි සියවසේ මුල දේශීය ධනපති පන්තියක් වර්ධනය වුනා. ඒ වර්ධනය වීම තමයි කඩුල්ලේ කතාවට පදනම් වෙන්නේ.

ලංකාවේ සාම්ප්‍රදායික සිංහල ගැමියා නිරූපනය වෙන්නේ මනුවෙල්ගෙන්. මනුවෙල් ආඩම්බරයි. කාටවත් අත පන්න කැමති නෑ. "සුද්දගෙ වැඩ" ඔහුට අල්ලනෙ නෑ. ව්‍යාපාර කරන්න තේරෙන්නෙ නෑ. ව්‍යාපාර කරන හැටි ඉගෙන ගන්න ආසාවකුත් නෑ. කළු ගඟේ ඔරුවක් පැදගෙන නිවිහැනහිල්ලෙ ඉන්න තමයි මනුවෙල් ආස. කුරුතේරිස් ගේ නැගීමත් එක්ක මනුවෙල් විනාශ වෙලා යනවා.


නැගී එන ධනපති පන්තිය නිරූපනය කෙරෙන්නේ කුරුතේරිස්ගෙන්. කුරුතේරිස් සාම්ප්‍රදයික වංශවතෙක් නෙවෙයි. කොච්චියගෙ පුතෙක්. අනාථයෙක්. දුප්පතෙක්. ඒත් වැඩට සූරයෙක්. සරළ භාෂාවෙන් කිව්වොත් "ගේමක් ගහල" ඉන්න දන්න කෙනෙක්. කුරුතේරිස්ට සමාජ අත්දැකීම් වලින් ආපු ව්‍යාපාර ඉවක් තියෙනවා. ඒක මනුවෙල්ට නෑ. සුද්දා එක්ක වෙනස් වෙන රැල්ලට එකතු වෙලා තමාගේ ගමන යන්න කුරුතේරිස් දන්නවා. ඒ ගමන යද්දි ඕනම කුපාඩි වැඩක් කරන්න කුරුතේරිස් පසුබට වෙන්නෙ නෑ. ඒත් කුරුතේරිස්ට සුද්දගෙ ධනවාදය හරියටම තේරෙන්නෙ නෑ. කුරුතේරිස් ව්‍යාපාර කරන්නෙ තමාට අහිමි වුන සමාජ තත්වය ලබා ගැනීමේ අරමුණෙන්.


සුද්දගෙ ධනවාදයේ නාඩි හරියටම අල්ලගෙන ඉන්නෙ බැස්ටියන් කුරේ. සල්ලිකාරයෙක් නොවෙන බැස්ටියන් කුරේට බිස්නස් කරන්න ප්‍රාග්ධනයක් නෑ. ඒත් කුරුතේරිස් ගෙ බිස්නස් එක මෙහෙයවන්නෙ ඔහු. බටහිර පන්නයට හැදුනු, බටහිර පන්නයට ජීවත් වෙන, ක්‍රිස්තියානි ආගම අදනය බැස්ටියන් කුරේට ධනවාදය හොඳටම තේරෙනවා. ඔහු කුරුතේරිස්ට දෙන එක උපදෙසක් මෙහෙමයි : "මුදලාලි මහත්තයෝ, සල්ලි හම්බකරාට මදි. සල්ලි වලට නීදහසේ හැසිරෙන්න දෙන්න ඕනෙ. නැත්තම් සල්ලි කැරලි ගහනවා."


රිචඩ් ගෙන් නිරූපනය වෙන්නේ දේශීය ධනපති පන්තියේ දෙවෙනි පරම්පරාව. රිචඩ් හැදෙන්නෙ වැඩෙන්නෙ සුද්දෙක් වගේ. ඒත් ඔහු දේශපාලනිකව සිංහල ජාතිකවාදියෙක්. ඔහු බිස්නස් කරන්නේ දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙන්. ඔහු දේශපාලනය කරන්න වංශවත් පවුලකින් විවාහ වෙනවා. බුද්ධාගම වැළඳගන්නවා. ඒ වගේම කුරුතේරිස්ගේ නිෂ්පාදනය මත පදනම් වුන (මිනිරන්, පොල්, රබර්, තේ, දේශීය මත්පැන්) බිස්නස් වෙනුවට ඔහු අත ගහන්නෙ ආනයන අපනයන ව්‍යාපාරවලට. ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකයක් දියුණු නොවෙන්න හේතුව මේකද?

වාමාංශික අදහස් තියෙන ධර්මසේන පතිරාජ මේක දිහා බලන්නෙ වාමාංශික සමාජවාදී කෝණයකින්. ධනවාදයට වගේම ජාතිකවාදයටත් ඔහු සියුම් ව පහර දෙනවා. කුරුතේරිස් මැරෙන්නෙ අතෘප්තිකර මිනිහෙක් විදිහට. සිංහල ජාතිකවාදියෙක් වෙන රිචඩ් ගෙ සීයා කොච්චියෙක්. රිචඩ් ජීවත් වෙන්නෙ සුද්දෙක් වගේ. ඇත්තම සිංහල සංස්කෘතිය ඔහුට ආගන්තුකයි.

ලංකාවේ නිදහසෙන් පස්සෙ දේශපාලනය කළ/කරන බොහෝ දේශපාලකයන් ගෙ මුල් තියෙන්නේ කුරුතේලිස්ලා ගාව.

ලංකාවේ බිහිවුන විශිෂ්ඨතම ටෙලි නාට්‍යය කීපයෙක් එකක් විදිහට කඩුල්ල නම් කරන්න පුළුවන්.



සේනානායක පවුල් ගස


ලංකාවේ දේශපාලනය පවුල් වටා කේන්ද්‍රගත වෙලා තියෙනව කියන එක රහසක් නෙවෙයි නෙ. මේ පවුල් අතරින් වැදගත්ම සහ බලවත්ම පවුලක් තමයි සේනානායක පවුල.
 

දොන් ස්පේටර් සේනානායක


සේනානායක පවුලේ මුල තමයි මීරිගම බෝතලේ ගමේ ඉපදුනු දොන් ස්පේටර්. දොන් ස්පේටර් ඉපදුනේ 1847 දි. ඔහුගේ පියා බෝතලේ ගමේ තරමක ධනයක් තිබුනු දොන් බරතොලමියු.
 

දොන් ස්පේටර් මිනිරන් කර්මාන්තයට අත ගහලා විශාල ධනයක් රැස් කර ගන්නවා. ඊට පස්සෙ අරක්කු රේන්ද හරහා ඒ ධනය වර්ධනය කර ගන්නවා. ඔහු බෝතලේ හදන විශාල නිවෙස ප්‍රසිද්ධ වෙන්නේ "බෝතලේ වලව්ව" කියලා. බ්‍රිතාන්‍යය පාලකයන් ගේ සුහද මිතුරෙක් වෙන ඔහුට "මුදලියර්" නම්බු නාමයත් හිමි වෙනවා.
 

දොන් ස්පේටර් විවාහ වෙන්නේ වංශවත් පවුලක කාන්තාවක් වුනු දෝන කැතරින එළිසබෙත් සමඟ. මේ විවාහයෙන් ඔවුන්ට පුතුන් තිදෙනෙක් සහ දියණියක් ලැබෙනවා.
 

දොන් චාල්ස් සේනානායක හෙවත් "DC"
මාරියා ෆ්‍රැන්සස් සේනානායක හෙවත් "මේරි ජේන්"
ෆ්‍රෙඩ්‍රික් රිචඩ් සේනානායක හෙවත් "FR"
දොන් ස්ටීවන් සේනානායක හෙවත් "DS"
 

දොන් චාල්ස් සේනානායක ("DC")

D.C. සේනානායක

 1878 දී ඉපදුනු වැඩිමල් පුතා වුනු දොන් චාල්ස් සේනානායක හෙවත් "DC" තමයි පවුලේ ව්‍යාපාර කටයුතු බලා ගන්නේ. ව්‍යාපාර කටයුතු සඳහා කොළඹ පදිංචි වෙන ඔහු පවුලේ සාමාජිකයන් අතර හැඳින්වෙන්නේ "කොළඹ ජෝන්" කියලා. ඔහු විවාහ වෙන්නේ ග්‍රේස් මිලිසන්ට් නම් යුරෝපීය කාන්තාවක් සමඟ. මේ විවාහයෙන් ඔවුන්ට ඊවී සේනානායක කියල දියණියක් ලැබෙනවා. දේශපාලනයට හවුල් නොවී ව්‍යාපාරික ලෝකයේ පමණක් කටයුතු කරන DC 1931 දී මිය යනවා.
 

ඊවී විවාහ වෙන්නේ දොස්තර එඩ්මන්ඩ් බුලන්කුලම සමඟ. ඊවී සහ එඩ්මන්ඩ් ට විශාකා නමින් දියණියක් ලැබෙනවා. විශාකා බුලන්කුලම ලේඛිකාවක් සහ චිත්‍ර ශිල්පිනියක්. ඇය විවාහ වෙන්නේ තිස්ස විජේවර්ධන සමඟ. තිස්ස විජේවර්ධන ගේ පියා එඩ්වින් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී සාමාජිකයෙක්. ඔහු 1948 රජයේ දේශීය කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය වරයා. නමුත් තිස්ස විජේවර්ධන දේශපාලනයට එන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන්. පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වෙලා තානාපති වරයෙක් වශයෙන් කටයුතු කරනවා.

විශාකා බුලන්කුලම

 

 මාරියා ෆ්‍රැන්සස් සේනානායක (මේරි ජේන්)

1880 දී ඉපදෙන දියණිය මාරියා ෆ්‍රැන්සස් සේනානායක. ඇයගේ සුරතල් නාමය වෙන්නේ "මේරි ජේන්". මේරි ජේන් විවාහ වෙන්නේ ෆ්‍රෙඩ්‍රික් ඩයස් බණ්ඩාරනායක සමඟ. ඔවුන්ට එෆී, රාණි, නීටා, නමින් දියණියන් තිදෙනෙක් සහ රාමචන්ද්‍ර නමින් පුතෙක් ඉන්නවා. මේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ.
 

නමුත් එෆී විවාහ වෙන්නේ හමුදා නිලධාරියෙක් වුනු ජෝන් ලයනල් කොතලාවල සමඟ. කොතලාවල කියන්නේ FR සේනානායකගේ බිරිඳ ගේ සොහොයුරිය ගේ පුතා. කොතලාවල ගේ පියා "නෙයිනගෙ සූදු පිටිය වටලපු" කොතලාවල. ලොකු කොතලාවල මිනී මැරුමකට අහු වෙලා මරණ දඬුවම ලැබිලා දිවි නසාගන්නවා. ඊට පස්සෙ පොඩි කොතලාවල හැදෙන්නේ සේනානායක පවුලත් එක්ක. ජෝන් ලයනල් කොතලාවල එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී සාමාජිකයෙක්. ඔහු ලංකාවේ තුන්වෙනි අගමැති තනතුරට පත් වෙනවා. ඔහු ජනප්‍රිය වෙන්නේ "සර් ජෝන්" නමින්.

ජෝන් කොතලාවල

"සර් ජෝන්" කොතලාවල

සර් ජෝන්ට ලක්ෂ්මී නමින් දියණියක් ඉන්නවා. ඇය විවාහ වෙන්නේ හෙන්රි ජෙරාල්ඩ් කොතලාවල සමඟ.
 

ෆ්‍රෙඩ්‍රික් රිචඩ් සේනානායක ("FR")

F.R. සේනානායක

දෙවැනි පුතා වෙන ෆ්‍රෙඩ්‍රික් රිචඩ් සේනානායක හෙවත් "FR" ඉපදෙන්නේ 1882 දී. FR තමයි සේනානායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා වෙන්නේ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් නීති විභාගය සමත් වෙලා නීතිඥයෙක් විදිහට ලංකාවට එන FR දේශපාලනයට බහිනවා. ඔහු පවුලේ සමාජිකයන් අතර හැඳින්වෙන්නේ "ලන්ඩන් ජෝන්" කියලා.
 

FR දක්ෂ දේශපාලකයෙක් වගේම බුද්ධිමතෙක්. බෞද්ධ ව්‍යාපාර සහ අමද්‍යප ව්‍යාපාරය හරහා දේශපාලනයට එන ඔහු බ්‍රිතාන්‍යය පාලකයන්ට විරුද්ධව සටන් කරනවා. 1919 දී ලංකා මහජන සභාව නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරලා ලංකා ජාතික කොංග්‍රසය හදන්න මූලික වෙනවා. ලංකාවට නිදහස ලැබුනොත් එහි නායකත්වයට හොඳම සුදුසුකම් තිබුණ අය අතරින් FR ඉදිරියෙන්ම ඉන්නවා.
 

ඒත් අවාසනාවන්ත අන්දමට 1926 දී ඇපෙන්ඩිසයිටිස් ශල්‍ය කර්මයක් වැරදීමෙන් FR මිය යනවා.
 

FR විවාහ වෙන්නේ එවකට ලංකාවේ සුපිරි ධනවතෙක් වුනු දොන් චාල්ස් ආටිගල ගේ දියණියක් වුනු එලන් ආටිගල සමඟ. ඔහුට දියණියන් පස් දෙනෙක් සහ පුතුන් තිදෙනෙක් ඉන්න්වා.
 

පුතුන් තුන් දෙනා රිචඩ් ගෝඨාභය ("RG"), උපාලි සහ තිස්ස. දියණියන් පස් දෙනා වෙන්නේ ෆිලිස් ("ගර්ලී"), ස්වර්ණා, චන්ද්‍රා, නීතා සහ රූපවතී.
 

"RG" පියා වගේම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය සමත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන RG පළමු කැබිනෙට්ටුවේ අමාත්‍ය ධූරයක් දරනවා. එක්සත් ජාතික පක්ෂ රජයේ ජාතිකවාදී ස්ථාවරයක් දැරූ RG, 1956 දී පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන වෙනවා. 1956 මැතිවරණයට ආසන දෙකකින් තරග කරන RG ආසන දෙකම දිනනවා. ඊට පස්සෙ බණ්ඩාරනායක රජයට එක් වෙලා වෙළඳ ඇමති තනතුර දරනවා. 

R.G. සේනානායක

බණ්ඩාරනායක මහතා ගේ මරණයෙන් පස්සෙ ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට දිගටම පාර්ලිමේන්තුවේ ඉන්න RG 1970 දී මිය යනවා.
 

RG විවාහ වෙන්නේ එරීන් සුබසිංහ සමඟ. ඔවුන්ට ජයන්ත කියලා පුතෙක් ලැබෙනවා.
 

උපාලි සහ තිස්ස දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ.
 

ෆිස්ලි "ගර්ලී" සේනානායක විවාහ වෙන්නේ සිරිපාල සමරක්කොඩි සමඟ. ලංකා රාජ්‍ය මන්ත්‍රන සභාවේ මන්ත්‍රීවරයෙක් වුනු සිරිපාල සමරක්කොඩි 1944 දී මිය යනවා. සිරිපාල සමරක්කොඩි ගේ සොහොයුරා වුනු එඩ්මන්ඩ් සමරක්කොඩි ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමී සාමාජිකයෙක් සහ ට්‍රොට්ස්කිවාදී දේශපාලකයෙක්.

එඩ්මන්ඩ් සමරක්කොඩි

දොන් ස්ටීවන් සේනානායක ("DS")

D.S. සේනානායක

බාල පුතා DS ඉපදෙන්නේ 1884. ව්‍යාපාර හෝ දේශපාලනයට ලොකු දායකත්වයක් නොදක්වන ඔහු බෝතලේ ගමට වෙලා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනවා. පවුලේ සාමාජිකයන් ඔහුට කියන්නේ "කැලෑ ජෝන්".
1915 සිංහල-මුස්ලිම් කෝලහලය වෙලාවේ බ්‍රිතාන්‍යය පාලකයන් FR සේනානායක හිර කරනවා. මේකට අහක හිටපු DS අහුවෙලා ඔහුටත් අයියා එක්ක හිරේ යන්න වෙනවා. මේ නිසා අහම්බෙන් ඔහුත් දේශපාලනයට සම්බන්ධ වෙනවා.
 

FR මිය ගියාට පස්සේ සේනානායක පවුලේ දේශපාලනය කරට ගන්න DS රාජ්‍ය මන්ත්‍රන සභාවට තේරී පත් වෙනවා. 1946 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන DS නිදහස් ලංකාවේ පළමුවන අගමැති තනතුරට පත් වෙනවා. 1952 දී අශ්වයෙක් පිටින් බිම වැටීමෙන් ඔහු මිය යනවා.
 

DS විවාහ වෙන්නේ වංශවත් පවුලක කාන්තාවක් වන මොලී දුණුවිල සමඟ. ඔහුට ඉන්නේ පුතුන් දෙදෙනෙක්.
වැඩිමල් පුතා ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක. ඔහු පියාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඇවිල්ලා තුන් වරක් ලංකාවේ අගමැති තනතුර දරනවා. ඩඩ්ලි මිය යන්නේ 1973 දී. විවාහ නොවෙන ඩඩ්ලිට දරුවන් නෑ.

ඩඩ්ලි සේනානායක

බාල පුතා රොබට් පරාක්‍රම සේනානායක. ඔහු විවාහ වෙන්නේ FR සේනානායකගේ දියණියක් වන ස්වර්ණා සමඟ. රොබට් සේනානායකට රුක්මන්, රංජිත්, දේවින්ද නමින් පුතුන් තුන් දෙනෙක් සහ රංජනී සහ යැස්මින් නමින් දියණියන් දෙදෙනෙක් ඉන්නවා.

රුක්මන් සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසිලා පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුන විට ඔහු පක්ෂයෙන් ඉවත් වෙලා ලිබරල් පක්ෂය නමින් අළුත් පක්ෂයක් පිහිටුවනවා. ප්‍රේමදාස මිය ගිය පසු නැවත පක්ෂයට එක් වෙලා ඇමති තනතුරක් සහ පක්ෂයේ උප නායක තනතුර දරනවා.

රුක්මන් සේනානායක
 

රංජිත් සේනානායක විවාහ වෙන්නේ DC සේනානායක ගේ මිනිපිරියක් වන සුවිනිතා සමඟ. ඔවුන්ට වසන්ත සේනානායක නම් පුතෙක් ඉන්නවා. ඔහු වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්.

වසන්ත සේනානායක

රංජනී සේනානායක විවාහ වෙන්නේ ලංකාවේ තවත් ධනවත් සහ බලවත් පවුලක් වන විජේවර්ධන පවුලේ සාමාජිකයෙක් වන රංජිත් විජේවර්ධන සමඟ. ජේ.ආර්. ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ මේ පවුලේ සාමාජිකයන්.
රංජනී-රංජිත් යුවලට රුවන්, නමින් පුතෙක් සහ ඉරූෂී නමින් දියණියක් ඉන්නවා. රුවන් විජේවර්ධන වර්තමනායේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා. ඔහු 2015-2019 යහපාලන රජයේ ඇමති වරයෙක්.

රුවන් විජේවර්ධන