එකොළොස් වන සියවසේ මුල හරියේ ඉස්ලාමීය ලෝකය ප්‍රධාන කොටස් දෙකකට බෙදිලා තිබුණා. ඒ ඉරාකයේ බග්දාද් නගරය අගනුවර කරගත්ත සුන්නි ඉස්ලාමීය අබ්බාසි කලීෆාතය සහ ඊජිප්තුවේ කයිරෝ නගරය අගනුවර කරගත්ත ෂියා ඉස්ලාමීය ෆාතිමත් කලීෆාතය විදිහට.
මේ කාලයේ ඉරාකයේ බස්රා නගරයේ වාසය කළා පර්සියානු ජාතික ගණිතඥයෙක් සහ ඉංජිනේරුවෙක්. ඔහුගේ නම හසන් ඉබ්න් අල්-හයිතම්. ඔහුගේ දැණුම සහ බුද්ධිය ගැන මුළු ඉස්ලාමීය ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා තිබුණා.
ඒ කාලයේ ෆාතිමත් කලීෆාතයේ කලීෆා වරයා වුනේ මන්සූර් අල්-හකීම්. ඔහුට අවශ්‍ය වුනා නයිල් නදියේ වාර්ෂික පිටාර ගැලීම් පාලනය කරන්න ඒ හරහා වේල්ලක් බඳින්න. නමුත් ඒ වගේ වේල්ලක් ඉඳි කරන්න සමතෙක් ෆාතිමත් කලීෆාතයේ හිටියේ නෑ. මේ නිසා මන්සූර් අල්-හකීම් තීරණය කළා හසන් ඉබ්න් අල්-හයිතම් ට මේ වැඩේ බාර දෙන්න.
තමන්ගේ කීර්තිය අබ්බාසි කලීෆාතයෙනුත් ඔබ්බට පැතිරිලා කියල දැන ගත්තු ඉබ්න් අල්-හයිතම් බොහෝම සන්තෝසයට පත් වෙලා වැඩේ බාර ගත්තා. ඒ අනුව ඔහු කයිරෝ නගරයට ආවා.
ඒත් නයිල් ගඟ දැක්කම තමයි ඉබ්න් අල්-හයිතම්ට හීන් දාඩිය දැම්මේ. නයිල් ගඟ ඒ තරම් විශාලයි කියල ඔහු හිතුවේ නෑ. ඒ හරහා වේල්ලක් බඳින එක ඉතාම අසීරු වැඩක් කියලා ඔහුට තේරුනා.
ඒත් කලීෆා මන්සූර් අල්-හකීම් කියන්නේ සෙල්ලම් කරන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. සරළ භාෂාවෙන් කියනව නං "අප්සෙට් ජොකියෙක්". තමන්ව කෝප ගන්වන කෙනෙක් ගෙ හිස ගසා දමන්න ඔහු දෙපාරක් හිතුවේ නෑ. ඒ නිසා මේල්ල බඳින වැඩේ කරන්න බෑ කියල ඔහුට කෙලින්ම කියන එක සිය දිවි නසා ගැනීමක් වගේ වැඩක්.
ඒ නිසා ඉබ්න් අල්-හයිතම් තීරණය කළා බොරුවට පිස්සු වගේ රඟපාන්න. පිස්සෙක් ගෙ හිස ගසා දාන්න බැරි නිසා කලීෆා වරයා ඔහුව නිවාස අඩස්සියේ තියන්න අණ කළා.
ඉබ්න් අල්-හයිතම් ව රඳවා තිබ්බේ එකම එක ජනේලයක් විතරක් තියෙන කුඩා කාමරයක. ජනේලය වැහුවම මුළු කාමරයම සම්පූර්නයෙන්ම කළුවරයි. පණ බේරගන්න ඕන නිසා ඉබ්න් අල්-හයිතම් මේ කාමරයට වෙලා බොරු පිස්සුවක් මවා පාමින් අවුරුදු ගණනාවක් ගත කළා.
එක දවසක් උදේ ජනේලය අරින්න කලින් ඉබ්න් අල්-හයිතම් දැක්කා බිත්තියේ තිබුණු කුඩා සිදුරකින් ඇතුළට එන ආලෝකය කාමරයේ අනික් පැත්තේ බිත්තියේ රූප මවනවා. හරියට සිදුරු කැමරාවකින් (pinhole camera) වගේ. ඉබ්න් අල්-හයිතම් දැක්කා මේ රූප උඩ යට මාරු වෙලා තියෙනවා කියලා.
![]() |
ඉබ්න් අල්-හයිතම් ගේ පරික්ෂනය |
කාමරයට වෙලා තනියම කරන්න දේකුත් නැති නිසා ඔහු දිගින් දිගටම මේ ගැන කල්පනා කළා, සොයා බැළුවා. අනිතිමේදී ඔහු උපකල්පනය කළා ආලෝකය සරළ රේඛා විදිහට සිදුර හරහා ගිහින් බිත්තියේ රූප මවන බව (සිදුරු කැමරාවක මූලධර්මය අපි හැමෝම දන්නවා නෙ).
හැබැයි ඉබ්න්-අල් හයිතම් උපකල්පනය කරල නිකම් හිටියේ නෑ. ඔහු කල්පනා කළා ඒක තහවුරු කරන්න පරීක්ෂනයක් කරන්න. ඔහු දවසක් රෑ කාමරයෙන් පිටත දල්වපු ලන්තෑරුම් තුනක් තියලා ඒවායෙන් කාමරය ඇතුලේ රූප මැවෙන හැටි බැලුවා. ඔහු දැක්කා වම් පැත්තේ ලන්තෑරුම නිවපුවාම දකුණු පැත්තේ රූපය මැකෙන බව සහ දකුණු පැත්තේ ලන්තෑරුම නිවපුවාම වම් පැත්තේ රූපය මැකෙන බව. ඒ අනුව ඔහුගේ උපකල්පනය හරි බව ඔහුට තේරුනා.
ඔහු දිගටම ආලෝකය ගැන විවිධ පරීක්ෂන කළා. අලෝකය වර්තනය වෙන හැටි, පරාවර්තනය වෙන හැටි විතරක් නෙවෙයි මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වය ගැනත් ගොඩක් දේවල් හොයා ගන්න ඔහුට පුළුවන් වුනා.
1021 දී කලීෆා මන්සූර් අල්-හකීම් මිය ගියා. ඔහුගේ අනුප්‍රාප්තිකයා ඉබ්න් අල්-හයිතම් ව නිවාස අඩස්සියෙන් මුදා හැරියා. ඉබ්න් අල්-හයිතම් අවුරුදු ගණනාවකට පස්සෙ ආපහු බස්රා නගරයට ආවා. බස්රා නගරයේදී ඔහු තමාගේ සොයා ගැනීම් සහ ඒ සොයාගැනීම් වලට පාදක වුනු පරීක්ෂන ගැන පොතක් ලිව්වා. ඒ පොතේ නම "කිතාබ් අල්-මනාසීර්" (අලෝකය ගැන පොත - Book of Optics).
![]() |
ඉබ්න් අල්-හයිතම් ගේ පොතෙන් පිටුවක් |
No comments:
Post a Comment