මේ කියන්න යන්නේ ගබ්සාව පිළිබඳ ඉස්ලාමීය නීතියේ සඳහන් වන දේ ගැන.
මුලින්ම "ඉස්ලාමීය නීතිය"කියන එක ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්න ඕනෙ. "ඉස්ලාමීය නීතිය" කියල කිව්වට එහම "එක ඉස්ලාමීය නීතියක්" නෑ. ඉස්ලාමීය නීතිය අර්ථ දැක්වීම ඒ පිළිබඳ ප්‍රමානවත් දැනුමක් තියෙන ඉස්ලාමීය නීතිය පිළිබඳ විද්වතෙකුට (මුෆ්ති වරයෙකුට) කරන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු විය හැකි ආකාරයට විවිධ විද්වතුන් අතර එකම කාරණය ගැන විවිධ අර්ථ දැක්වීම් තියෙනවා.
ඊළඟට, ඉස්ලාමීය නීති සම්ප්‍රදායන් තියෙනවා. මේ සම්ප්‍රදායන් කරන්නේ නීතිය අර්ථ දැක්වීම පිළිබඳ ක්‍රමවේදයන් හඳුන්වා දීම. ඒ නිසා *බොහෝ විට* එකම සම්ප්‍රදායකට අයත් විද්වතුන් ගේ අර්ථ දැක්වීම් සමානයි. ඒත් සම්ප්‍රදායක් තුළත් වෙනස් අර්ථ දැක්වීම් තියෙන අවස්ථා තියෙනවා.
වර්තමාන ලෝකයේ ප්‍රධාන ඉස්ලාමීය නීති සම්ප්‍රදායන් පහක් තියෙනවා. ඒ හනෆි, මාලිකි, ෂාෆයී, හන්බලි සහ ජාෆරි. මේවා අතරින් පළමුවෙනි හතර සුන්නි මුස්ලිමුන් අතරත්, ජාෆරි සම්ප්‍රදාය ෂියා මුස්ලිමුන් අතරත් තියෙනවා. (ලංකාවේ මුස්ලිමුන් බහුතරය අනුගමනය කරන්නේ ෂාෆයී සම්ප්‍රදාය).
ඒ මූලික දැනුම එක්ක ගබ්සාව පිළිබඳ ඉස්ලාමීය නීතිය ගැන කතාවට යමු.
මූලිකවම ඉස්ලාමීය නීතිය ගබ්සාවට විරුද්ධයි. ඒ දෙවියන් විසින් ලබා දෙන ජීවයක් නැති කිරීමට මිනිසෙකුට අයිතියක් නැති නිසා. නමුත්, මේකට ව්‍යාතිරේඛයන් ගණනාවක් තියෙනවා.
වැදගත්ම කරුණ වන්නේ, කළලය මනුෂ්‍ය ජීවිතයක් වන්නේ මොන අවස්ථාවේදී ද කියන එක. මෙහිදී ඉස්ලාමීය විද්වතුන් ප්‍රධාන මත දෙකක් දරනවා. මේ අවස්ථාව වැදගත් වන්නේ එයින් පසු කළලය මනුෂ්‍ය ජීවිතයක් කියලා සැලකෙන නිසා ගබ්සාව මනුෂ්‍ය ඝාතනයකට සමාන කොට සැලකීම හේතුවෙන්.
සමහරු කළලය මනුෂ්‍ය ජීවිතයක් බවට පත් වන්නේ එයට ජීවය (රූහ්) ඇතුළු වන අවස්ථාවේ, හෙවත් පිළිසිඳ ගැනීමෙන් දින 120 කට පසු, කියලා සළකන අතර, සමහරු කළලය මනුෂ්‍ය ජීවිතයක් බවට පත් වන්නේ එහි අංග (ඉන් ද්‍රීයයන් සහ අවයව) වර්ධනය වන අවස්ථාවේ, හෙවත් පිළිසිඳ ගැනීමෙන් දින 40 කට පසු කියලා සලකනවා.
මෙහිදී මාලිකි සහ හන්බලි සම්ප්‍රදායන් දින 40 සීමාව පිළිගන්නා අතර, ෂාෆයි, හනෆි සහ ජාෆරි සම්ප්‍රදායන් දින 120 සීමාව පිළිගන්නවා.
කළලය මනුෂ්‍ය ජීවිතයක් ලෙස සලකන අවස්ථාවෙන් පසු කිසිම විද්වතෙක් ගබ්සාව සඳහා අවසර ලබා දෙන්නේ නෑ, එකම හේතුවකට හැර. ඒ මවගේ ජීවිතයට නියත තර්ජනයක් එල්ල වී ඇති අවස්ථාවක. එවැනි අවස්ථාවක මවගේ ජීවිතයට කළලයේ ජීවිතයට වඩා ප්‍රමුඛත්වය ලැබෙනවා. එවැනි අවස්ථාවක "ගස බේරා ගැනීමට අත්තක් කපා දමන්නාක් මෙන්" මවගේ ජීවිතය බේරා ගැනීමට කළලය ගබ්සා කිරීමට අවසර ලැබෙනවා.
දැන් අපි එක් එක් නීති සම්ප්‍රදාය ගබ්සාව ගැන දරන මතය විස්තරාත්මකව බලමු.
මාලිකි සම්ප්‍රදායේ බහුතරයක් විද්වතුන් කිසිම අවස්ථාවක ගබ්සාව සඳහා අවසර ලබා දෙන්නේ නෑ. ඔවුන් අවසර ලබා දෙන එකම අවස්ථාව මවගේ ජීවිතයට තර්ජනයක් ඇති විටෙක පමණයි.
මාලිකි සම්ප්‍රදායේ සුළුතරයක් සහ හන්බලි සම්ප්‍රදායේ විද්වතුන් ගබ්සාව සඳහා දින 40 ක් යනතුරු අවසර ලබා දෙනවා. නමුත් ඒ සඳහා "ප්‍රමානවත් හේතුවක්" තිබිය යුතුයි. ප්‍රමානවත් හේතුවක් කියලා ගන්න පුළුවන් හේතු කීපයක් පහත දැක්වෙනවා:
1. ස්ත්‍රී දූෂනයක් නිසා වුනු පිළිසිඳ ගැනීමක්
2. කළලයේ බරපතල විකෘති වීමක් නිසා ලැබෙන දරුවා බරපතල ආබාධිතයෙක් වීම
3. මව මවක් වීම සඳහා සුදුසු මානසික තත්වයක නොසිටීම
4. දරුවෙක් හදාවඩා ගැනීමට අපහසු තත්වයක් පැවතීම (උදා : දැනටමත් දරුවන් කීප දෙනෙක් සිටීම)
මෙහිදී ගබ්සාව සඳහා දරුවාගේ මව සහ පියා (ස්ත්‍රී දූෂනයක් නොවන අවස්ථාවක) දෙදෙනාම එකඟ වීම සහ ආගමික විද්වතෙක් විසින් එය ප්‍රමානවත් හේතුවක් ලෙස පිළිගැනීම ප්‍රමානවත්.
දින 40 පසුවුනු පසු ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ මවගේ ජීවිතයට තර්ජනයක් ඇතිනම් පමණයි.
ෂාෆයි, හනෆි සහ ජාෆරි සම්ප්‍රදායන් දින 40 ක් යනතුරු මත ගබ්සාව සඳහා අවසර ලබා දෙනවා. ඒ සඳහා "ප්‍රමානවත් හේතුවක්" තිබිය යුතුයි (ප්‍රමානවත් හේතු ලෙස ගැනෙන්නේ ඉහත දැක්වූ හේතු).
දින 40 ත් 120 ත් අතර කාලයේදී ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ "බරපතල හේතුවක්" ඇතිනම් පමණයි. බරපතල හේතුවක් ලෙස ගැනෙන්නේ ස්ත්‍රී දූෂනයක් නිසා ඇතිවුනු පිළිසිඳගැනීමක් සහ කළලයේ බරපතල විකෘති වීමක්.
මෙහිදී ගබ්සාව සඳහා දරුවාගේ මව සහ පියා (ස්ත්‍රී දූෂනයක් නොවන අවස්ථාවක) දෙදෙනාම එකඟ වීම සහ ආගමික විද්වතෙක් විසින් එය බරපතල/ප්‍රමානවත් හේතුවක් ලෙස පිළිගැනීම ප්‍රමානවත්. හනෆි සම්ප්‍රදායේ සුළුතරයක් විද්වතුන් මෙහිදී මවගේ කැමැත්ත පමණක් ප්‍රමානවත් කියලා සලකනවා.
දින 120 පසුවුනු පසු ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ මවගේ ජීවිතයට තර්ජනයක් ඇතිනම් පමණයි.
මෙහිදී සඳහන් කළයුතු වැදගත් කරුණක් වන්නේ දිළිඳුකම කිසිම අවස්ථාවක ගබ්සාව සඳහා ප්‍රමානවත් හේතුවක් කියලා සැලකෙන්නේ නෑ. ඒ එහිදී දෙමාපියන් විසින් දෙවියන් ගේ කරුණාව (රහ්මා) පිළිබඳ සැක පහළ කිරීමක් සිදුවන නිසා. ඒ කියන්නේ දරුවා බලාගැනීම සඳහා අවශ්‍ය සම්පත් දෙවියන් විසින් ලබා නොදේ යන්න සැක කිරීමක් සිදුවන නිසා.
දිළින්දන්ට අධාර කිරීම ඉස්ලාමයේ ඉතාම වැදගත් කොට සලකන නිසා මෙහි සාධාරනත්වයක් ඇත කියා සිතන්නට පුළුවන්.
No comments:
Post a Comment