Saturday, July 22, 2023

Band of Brothers සහ Generation Kill

 

ලෝකයේ යුද්ධ ගැන චිත්‍රපටි සහ මාලා නාටක (TV series) ඉහේ කෙස් ගානට නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් විශිෂ්ඨ ගණයට දාන්න පුළුවන් චිත්‍රපටි විශාල සංඛාවක් තිබුණත්, විශිෂ්ඨ ගණයට දාන්න පුළුවන් මාලා නාටක තියෙන්නෙ අතළොස්සයි. ඒ අතරිනුත් වඩාත්ම විශිෂ්ඨ මාලා නාටක දෙක කියලා සලකන්න පුළුවන් Band of Brothers සහ Generation Kill.
 

Band of Brothers නිර්මාණය වෙන්නේ 1992 දී ස්ටීවන් ඇම්බ්‍රෝස් විසින් රචිත Band of Brothers පොත ඇසුරෙන් 2001 දි. මේක කොටස් 10 කින් සමන්විත මාලා නාටකයක්. මේ නිර්මාණයට මූලික වෙන්නේ හොලිවුඩයේ දැවැන්තයන් වෙන ටොම් හෑන්ක්ස්, එරික් ජෙන්ඩර්සන් සහ ස්ටීවන් ස්පිල්බර්ග්. මේ නිර්මානයට රංගනයෙන් දායක වුන නළුවන් රැසක් පසු කළෙක හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් බවට පත් වුනා.
 

Generation Kill නිර්මාණය වෙන්නේ 2004 දී එවාන් රයිට් විසින් රචිත Generation Kill පොත ඇසුරෙන් 2008 දී. මේක කොටස් 7 කින් සමන්විතයි. මේ නිර්මාණයට මූලික වෙන්නේ ඩේවිඩ් සිමොන්, එඩ් බර්න්ස්, එවාන් රයිට් සහ සුසානා වයිට්. මෙහි නිර්මාණ කරුවන් වගේම රංගනයෙන් දායක වුන නළුවන් හොලිවුඩ් සිනමාවේ එතරම් ප්‍රසිද්ධ අය නෙවෙයි.
 

නිර්මාණ දෙකේ මූලික සමානකම වෙන්නේ නිර්මාණයේ ආකෘතිය. නිර්මාණ දෙකටම පාදක වෙන්නේ ඇමරිකානු හමුදා භට පිරිසක් යුද්ධයේදී ලබන අත් දැකීම්.
 

Band of Brothers නිර්මාණයට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේ සටන් කළ ඇමරිකානු යුධ හමුදාවේ 506 වෙනි පැරෂුට් පාබල හමුදා රෙජිමේන්තුවේ E ඛන්ඩයේ (E Company, 506 Parachute Infantry Regiment) අත්දැකීම්.
 

Generation Kill නිර්මාණයට පාදක වෙන්නේ ඉරාක ආක්‍රමනයේ සටන් කළ ඇමරිකානු මැරීන් හමුදාවේ පළමුවෙනි පිරික්සුම් බැටෑලියනයේ (1st Reconnaissance Battalion) අත්දැකීම්.
 

නිර්මාණ දෙකේ ප්‍රධාන වෙනසක් වෙන්නේ කතාව කියන්නාගේ දෘෂ්ටි කෝණය. Band of Brothers පොත ලියැවෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් බොහෝ කලකට පසුව, අදාල හමුදා ඒකකයේ සෙබළුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරෙන්. මේ නිසා කතාව කියැවෙන්නේ සෙබළුන් ගේ දෘෂ්ටි කෝණයෙන්.
 

නමුත් Generation Kill පොත ලියැවෙන්නේ කතුවරයා යුධ වාර්තාකරුවෙක් විදිහට අදාල හමුදා ඒකකය සමඟ ඉරාක යුද්ධයේදී ගත කළ කාලයේ තමන් ලද අත්දැකීම් ඇසුරෙන්. මේ නිසා කතාව කියැවෙන්නේ පිටස්තරයෙකුගේ (වාර්තාකාරයාගේ) දෘෂ්ටි කෝණයෙන්.
 

මේ නිසාම Band of Brothers මාලා නාටකයේ ප්‍රධාන චරිත වෙන හමුදා සෙබළුන් නිරූපනය කෙරෙන්නේ යම්කිසි වීරත්වයකින්. ඒ නිරූපනය වඩා සමීප වෙන්නේ සාම්ප්‍රදායික "යුධ වීරයන්ගේ" භූමිකාවට. සමස්තයක් වශයෙන් හමුදාව සහ එහි සේවය කරන සෙබළු "සුදු" ආකාරයකට නිරූපණය කෙරෙනවා. නමුත් Generation Kill මාලා නාටකයේ ප්‍රධාන චරිත වෙන හමුදා සෙබළුන් නිරූපනය කෙරෙන්නේ වඩා යථාර්තවාදීව. හමුදාව සහ එහි සේවය කරන සෙබළුන් නිරූපනය කෙරෙන්නේ වඩා විවේචනාත්මකව.
 

නිර්මාණ දෙකේ තියෙන වඩාත්ම කැපී පෙනෙන වෙනස තමයි දෙවෙනි ලෝක යුද්ධයේදී සහ ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදා සෙබළුන් ලබන අත්දැකීම් වල ඇති වෙනස.
 

Band of Brothers මාලා නාටකයේදී අපිට හමුවන ඇමරිකානු සෙබළු සටන් වදින්නේ තාක්ෂනිකව තමන් සමඟ කරට කර ඉන්න සතුරෙක් සමඟ. බොහෝ අවස්ථා වලදී ජර්මන් හමුදාවේ ගිනි බලය ඔවුන්ගේ ගිනි බලය අභිබවා යනවා. මේ නිසා ඔවුන් මුහුණ දෙන සටන් ඉතාම බිහිසුණුයි. මාලා නාටකය පුරාවට අපිට හමුවන චරිත බොහෝ දෙනෙක් සටනින් මිය යනවා හෝ තුවාල ලබනවා. අවසාන අදියරේදී බොහෝ සෙබළුන් ඉන්නේ බිහිසුණු සටන් වලට දිගින් දිගටම මුහුණ දීම නිසා ඇතිවන අධික මානසික කම්පනයකින්.
 

Generation Kill මාලා නාටකයේදී ඇමරිකානු සෙබළු සටන් වදින්නේ තාක්ෂනිකව තමාට වඩා අතිශයින් පහත් තැනක ඉන්න සතුරෙක් සමඟ. ඇමරිකානු සෙබළු නවීන ප්‍රහාරක රයිෆල, මැෂින් තුවක්කු, ගුවන් සහ කාලතුවක්කු සහය සහිතව සටනට පිවිසෙන අතර, ඔවුන්ගේ සතුරා බොහෝ විට සන්නද්ධ වෙන්නේ AK47 රයිෆල සහ සුළු අවි වලින්. මේ නිසා අපි දකින බොහෝ සටන් අසමාන සටන්. ඇමරිකානු සෙබළු ඉතා පහසුවෙන් සටන් වලට මුහුණ දෙන අතර, මුළු මාලා නාටක පුරාවටම එකම ඇමරිකානු සෙබෙළෙක් වත් මිය යන්නේ නෑ. ඇමරිකානු 

සෙබළුන්ගේ මානසික කම්පනයට හේතුවන ප්‍රධාන කරුණ වෙන්නේ තමා මුහුණ දෙන අවදානම නොව, තමාගේ දැවැන්ත ගිනි බලය හමුවේ ඉරාකයෙ සිවිල් වැසියන් බුරුතු පිටින් මියයාම.
 

මේක දෙවෙනි ලෝක යුද්ධ සමයේ සහ නිරවි යුද්ධයට පසු සමයේ ලෝක දේශපාලනයේ බල තුළනය වෙනස් වූ ආකාරය පිළිබඳ හොඳ දර්ශකයක්.
 

නිර්මාණ දෙක අතර තියෙන තවත් පැහැදිලි වෙනසක් වෙන්නේ ඇමරිකානු සෙබළුන් යුද්ධය ගැන දක්වන ආකල්පය. නිර්මාණ දෙකටම පාදක වෙන හමුදා ඒකක ඇමරිකානු හමුදාවේ උසස්ම පුහුණුවක් සහිත, විශිෂ්ඨ සෙබළුන්ගෙන් සමන්විත ඒකක දෙකක්. නමුත් Band of Brothers හි සෙබළුන් යුද්ධය ගැන දක්වන්නේ තමා මුහුණ දිය යුතු ඍනාත්මක අත්දැකීමක් විදිහට. ඔවුන් කිසි ලෙසකින්වත් බියගුළුබවක් ප්‍රදර්ශනය නොකළත්, ඔවුන් සටන් වැදීම ප්‍රිය කරන්නේත් නෑ. නමුත් Generation Kill හි සෙබළුන් ඉන්නේ සටන් වැදීමට ඉතා දැඩි ආශාවෙන්. සටනට වැදී සතුරා මරා දැමීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වෙනවා. සතුරා මුණ නොගැසෙන අවස්ථා වලදී ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා.


මේකට හේතු දෙකක් දකින්න පුළුවන්. දෙවෙනි ලෝක යුධ සමයේ ඇමරිකානු හමුදාවේ සේවය කළ සෙබළුන්ගෙන් අති බහුතරය අනිවාර්‍ය යුධ සේවය (draft) යටතේ හමුදාවය බඳවාගත් අය. නමුත් වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකාව මේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තමාගේ හමුදාවන් 100% ක් ම ස්වේච්ඡා සෙබළුන්ගෙන් සමන්විත වෘත්තීය හමුදාවක් බවට පත් කළා. මේ වෙනස නිර්මාණ දෙකේ පැහැදිලිවම දකින්න පුළුවන්.
මේක ඇමරිකානු හමුදාව පසුගිය අඩ සියවස තුළ පරිනාමය වුනු ආකාරය ගැන හොඳ දර්ශකයක් සපයනවා.
 

අනෙක් හේතුව වෙන්නේ නිර්මාණ දෙකට පාදක වෙන හමුදා ඒකක වල වෙනස. Band of Brothers නිර්මාණයට පාදක වෙන්නේ ඇමරිකානු යුධ හමුදාවේ ඒකකයක් වන අතර, Generation Kill නිර්මාණයට පාදක වෙන්නේ ඇමරිකානු මැරීන් හමුදාවේ ඒකකයක්. මැරීන් සෙබළුන් ගේ ආකල්ප වඩා ආක්‍රමනශීලී සහ රණකාමීයි.
 

නිර්මාණ දෙකේ වැදගත්ම වෙනස වෙන්නේ නිර්මාණය සහ නිර්මාණයේ සිටින චරිත යුද්ධයේ අරමුණ දකින ආකාරය. Band of Brothers යුද්ධය බිහිසුණු ආකාරයෙන් නිරූපණය කළත්, එහි අවසාන අරමුණ යහපත් බව පෙන්වනවා. සෙබළුන් තුළ "මම සටන් කරන්නේ ඇයි?" කියන සැකය මතු වුනත්, 9 වැනි කථා අංගයේ දී (Why We Fight) නාසි ඝාතක කඳවුරක් හරහා ඒ සැකය දුරු කර දැමෙනවා. පොදුවේ ඇමරිකානු සමාජය දෙවෙනි ලෝක යුද්ධය දකින ආකාරය මෙහිදී පිළිබිඹු වෙනවා. දෙවෙනි ලෝක යුද්ධය පොදු සමාජයේ දකින්නේ අතිශය කුරිරු සතුරෙකුට එරෙහිව කළ "හොඳ යුද්ධයක්" විදිහට. මේ නිසා යුද්ධයේ සටන් වදින සෙබළුන් හට අනිවාර්‍යයෙන්ම දේශපාලන අරමුණක් ලැබෙනවා.
 

නමුත් Generation Kill යුද්ධය සහ එහි අරමුණ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. මෙහිදී වැදගත්ම සාධකය වෙන්නේ සටනට වැදීමට නොඉවසිල්ලෙන් බලාසිටින අතිශය ආක්‍රමනශීලී මැරීන් සෙබළු යුද්ධය ගැන දරන්නේ "මේක නිරර්ථක යුද්ධයක්" යන ආකල්පය වීම. ඔවුන් යුද්ධයට එලැඹෙන්නේ හුදෙක් වෘත්තීයමය ස්වරූපයකින් පමණයි. ඇමරිකාවේ ඉරාක ආක්‍රමනය දේශපාලනිකව නිෂ්ඵල ව්‍යායාමයක් බව ඔවුන් මුල සිටම දන්නවා. ඒත් ඔවුන් ඒ ගැන තැකීමක් කරන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමාගේ වෘත්තීයේ විශිෂ්ඨයන් බවට පත් වීම.
මෙහිදී දකින්න පුළුවන් වැදගත් දෙය තමයි ඇමරිකාව විසින් තමාගේ ප්‍රශ්නකාරී යුධ ව්‍යාපෘතීන් සඳහා යොදවා ගැනීමට දේශපාලනයෙන් සම්පූර්නයෙන්ම වගේ වියුක්ත කළ වෘත්තීය සෙබළෙක් නිර්මානය කිරීමට සමත් වීම. මේ නිසා තව දුරටත් දෙවෙනි ලෝක යුද්ධයේදී මෙන් සටන් කිරීම සඳහා සෙබළුන්ට "සාධාරණ අරමුණක්" ලබාදීමේ අවශ්‍යතාවයක් නෑ. තමා සහභාගී වෙන යුද්ධය කොයි තරම් ප්‍රශ්නකාරී වුනත් තමාගේ උපරිමය ඒ සඳහා දායක කරන සෙබළෙක් ඇමරිකාවට ඉන්නවා.
 

නමුත් Generation Kill හි අපිට හමුවෙන දේශපාලනයෙන් වියුක්ත වෘත්තීය මැරීන් සෙබළු තමා අතින් බුරුතු පිටින් මිය යන සිවිල් වැසියන් ගැන කම්පා වෙනවා. ඇත්තෙන්ම මෙහිදී රචකයා මතු කරන ප්‍රධාන කරුණක් වෙන්නේ ඇමරිකානු හමුදා සෙබළුන් ඇමරිකානු සාමාන්‍යය පොදු සමාජයට වඩා මේ මරණ ගැන සංවේදී  බව. රචකයා ගේ පුද්ගලික අත්දැකීම් මත කතාව ලියැවී ඇති නිසා මේක ඇත්තක් බව හිතන්න පුළුවන්.
 

දෙකෙන් වඩා හොඳ නිර්මාණය මොකද්ද? මගේ අදහස නම් සිනමාත්මක අතින් Band of Brothers වඩා ඉදිරියෙන් සිටින බවයි. කලාත්මක සහ තාක්ෂනික අංශ දෙකෙන්ම Band of Brothers ඉතාම උසස් නිර්මාණයක්. ඒ වගේම එහි හොඳින් වර්ධනය කළ කථාවක් තියෙනවා. සමස්තයක් විදිහට Band of Brothers පුළුල් ප්‍රේක්ෂක පිරිසකට රස විඳින්න පුළුවන් නිර්මාණයක්.
 

නමුත් Generation Kill අනුගමනය කරන්නේ සිනමාත්මක රීතියකට වඩා වාර්තාමය රීතියක්. එය ආකෘතියෙන් වාර්තා චිත්‍රපටියකට සමාන වෙනවා. ඇත්තෙන්ම නිරවද්‍යතාවය අතින් එය වාර්තා චිත්‍රපටියකටත් වඩා ඉදිරියෙන් තියෙනවා කියන්නෙ පුළුවන්. එහි වර්ධනය වුනු කථාවක් නෑ. තියෙන්නේ හුදෙක් සිදුවීම් ටිකක් විතරයි. නිර්මාණයේ අරමුණ "මෙහෙම දේවල් ටිකක් සිද්ධ වුනා" කියන එක.
 

ඔබට අවශ්‍යය වෙන්නේ උසස් සිනමාත්මක අත්දැකීමක් නම් Band of Brothers තෝරා ගත යුතුයි.
නමුත් ඔබට අවශ්‍යය වෙන්නේ යුද්ධයේ නිරුවත් සොබාවය අමුඅමුවේ අත් විඳින්න නම් Generation Kill තෝරා ගත යුතුයි.

No comments:

Post a Comment