Sunday, July 2, 2023

ඉබ්න් අරබි සහ පැවැත්මේ ඒකාත්මීය භාවය

 


ඉස්ලාම් ආගමේ දැනුම ලබා ගන්න ප්‍රධාන ක්‍රම තියෙන්නෙ දෙකයි.

පළවෙනි එක හෙළිදරව්ව (revelation). ඒ කියන්නේ මුහම්මද් තුමා හරහා දෙවියන්ගෙන් ලැබෙන දැණුම. ඒක අරාබි භාෂාවෙන් "නකල්" කියල හඳුන්වනවා.

දෙවෙනි එක තර්ක බුද්ධිය (intellect). ඒ කියන්නෙ මිනිස්සු තමාගේ බුද්ධියෙන් තර්ක කරලා ලබා ගන්න දැණුම. ඒක අරාබි භාෂාවෙන් "අකල්" කියලා හඳුන්වනවා.

ඉස්ලාමීය සංස්කෘතිය පුරාවටම දැණුම ලබා ගැනීමේදී අකල් සහ නකල් කොයි ප්‍රමාන වලින් යොදා ගන්න ඕනෙද, කියන එක පිළිබඳ විශාල සංවාදයන් රාශියක් ඇති වෙලා තියෙනවා. ඒක මුස්ලිම් ඉතිහාසයේ ප්‍රධානම අංගයක්.
නමුත් දොළොස් වන සහ දහතුන්වන සියවස් වල හිටපු අරාබි විද්වතෙක්, කවියෙක් සහ දාර්ශනිකයෙක් මේකට තුන්වන ක්‍රමයක් විදිහට අන්තර්ඥානය (intuition) හඳුන්වලා දෙනවා. ඒ අබු අබ්දුල්ලා මුහම්මද් ඉබ්න් අල්-අරාබි හෙවත්, ඉබ්න් අරාබි.

 

ඉබ්න් අරබි


12 වෙනි සියවසේදී වර්තමාන ස්පාඤ්ඤය පාලනය වුනේ "ටයිෆා" නමින් හැඳින්වුන ඉස්ලාමීය රාජ්‍යය ගණනාවක් විසින්. මේවා ඉස්ලාමීය-අරාබි ශිෂ්ඨාචාරයේ කොටසක් වශයෙන් පැවතුනු ස්වාධීන රාජ්‍යය. සම්පූර්න ස්පාඤ්ඤයම අරාබි ලෝකයේ හැඳින්වුනේ "අල්-අන්දලූස්" නමින්. අල්-අන්දලූස් ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ ධනවත්ම ප්‍රදේශයක් වුනු අතර, ඒ නිසාම බුද්ධිමතුන් විශාල ප්‍රමානයක් බිහි කළ බිමක් වුනා.

අල්-අන්දලූස් හි නැගෙනහිර වෙරළබඩ පැවතුනු කුඩා ටයිෆාවක් හැඳින්වුනේ එහි ප්‍රධාන නගරය වුනු "මුරිකා" නමින්. මේ නගරයේ වාසය කළ එක පවුලක පිය පාර්ශවය අරාබියේ සිට සංක්‍රමනය වුනු අරාබි ජාතිකයන් වුනු අතර, මව් පාර්ශවය උතුරු අප්‍රිකානු බර්බර් ජාතිකයන්.

1165 දී මේ පවුලේ උපත ලැබුවා "මුහම්මද් ඉබ්න් අලී". ඔහුගේ පියා මුරිකා හි සුල්තාන් වරයාගේ හමුදාවේ නිලධාරියෙක්. මුහම්මද් ඉබ්න් අලී පසු කාලයක ප්‍රසිද්ධ වුනේ "ඉබ්න් අරාබි" නමින් (ඉබ්න් අරාබි කියන එකේ තේරුම "අරාබි ජාතිකයාගේ පුතා"). 1172 දී උතුරු අප්‍රිකානු අල්මොහාද් වාංශික සුල්තාන් වරු මුරිකා රාජ්‍යය යටත් කරගත් පසුව ඉබ්න් අරාබි සහ පවුල දකුණු ස්පාඤ්ඤයේ සෙවිල් නගරයට සංක්‍රමනය වුනා. ඉබ්න් අරාබි හැදී වැඩුනේ සෙවීල් නගරයේ.

සෙවිල් නගරයේ ආණ්ඩුකාරයා යටතේ ඉබ්න් අරාබි ගේ පියා උසස් තනතුරක් දැරූ නිසා ඉබ්න් අරාබි තරුණ කාලයේ ගත කලේ ධනවත් තරුණයෙක් ගේ සෙල්ලක්කාර ජීවිතයක්. ඔහු අධ්‍යාපනය හෝ ආගම ගැන කිසිම උනන්දුවක් දැක්වූයේ නෑ.

එක දවසක් රෑ ඉබ්න් අරාබි සහ ඔහුගේ ධනවත් මිතුරන් පිරිසක් භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සිටියා. එහිදී හැමෝම වයින් පානය කළ අතර, ඉබ්න් අරාබිත් යහමින් වයින් පානය කරමින් සතුටු වුනා. තවත් වයින් වීදුරුවක් මුවට ඔසවද්දී ඔහුට එක පාරටම හඬක් ඇසුනා.

"මුහම්මද්, ඔබව නිර්මාණය කළේ මේ සඳහා නොවේ"

අධික භීතියට සහ කම්පනයට පත් ඉබ්න් අරාබි භෝජන සංග්‍රහයෙන් පලා ගියා. පැය කීපයක් ඉබාගාතේ ගිය ඔහු සේන්දු වුනේ සෙවිල් නගරයේ කනත්ත වෙත. එහිදී භාවනා කිරීමට පටන් ගත් ඔහු දින කීපයක්ම කනත්තේ භාවනා කරමින් ගත කලා (මේ භාවනා කියන්නේ බෞද්ධ භාවනා අර්ථයෙන් නෙවෙයි, ඉස්ලාමීය සංස්කෘතියේ එන භාවනා ක්‍රමයක් - ඒක බෞද්ධ භාවනා ක්‍රම වලට සමාන වෙන්න අවශ්‍යය නෑ).

මෙහෙම භාවනා කිරීමේදී ඔහුට දිගටම විවිධ දර්ශන පෙනෙන්නට සහ අන්තර්ඥානය හරහා දැණුම ලැබෙන්න පටන් ගත්තා. ඔහු පසුව සඳහන් කළ ආකාරයට ඒවා ඔහුට ලැබුනේ ඊසා (ජේසුස් වහන්සේ) හරහා. ඔහු පසුව සඳහන් කරන්නේ ඔහුගේ පළමු ගුරුවරයා ඊසා බව.

මෙහිදී ඔහුට විශ්වය පිළිබඳ පුළුල් දර්ශනයක (grand vision) දැණුමක් අන්තර්ඥානය හරහා ලැබෙනවා. ඉබ්න් අරාබි තම මුළු ජීවිත කාලයම ගත කරන්නේ මේ පුළුල් දර්ශනය වඩා හොඳින් වටහා ගන්න සහ එය ලේඛනගත කරන්න.

තම ධනවත් සෙල්ලක්කාර දිවිය අතහරින ඉබ්න් අරාබි ජීවත් වීමට අත්‍යාවශ්‍ය දේවල් කීපයක් පමණක් රැගෙන ගම් නගර පුරා සැරිසරන්නේ දැණුම සොයා යමින්. ඔහුට එහිදී ඉබ්න් රුෂ්ද් නම් සුෆී ගුරුවරයා හමුවෙනවා. ඉබ්න් රුෂ්ද් සමඟ හැදෑරීම් කරන ඉබ්න් අරාබි සූෆි දර්ශනය වෙත සමීප වෙනවා.

ඔහුගේ සංචාරයන් ඔහුව අන්දලූස්, මොරොක්කෝව සහ ටියුනීසියාව කරා ගෙන යනවා. 1202 දී ඉබ්න් අරාබි හජ් වන්දනාව සඳහා මක්කා නගරය වෙත පැමිණෙනවා. මක්කා හිදී ඔහුට තවත් දර්ශන ගණනාවක් හරහා දැණුම ලැබෙනවා. ඔහු අවුරුදු තුනක් මක්කාවේ ගත කරන අතර ඔහුගේ වඩාත්ම ප්‍රසිධ පොත වුනු "අල්-ෆුතුහත් අල්-මක්කීයා" (මක්කාවේ ප්‍රදීපන) ලියන්නේ එහිදී ලබාගත් දැණුම ඇසුරෙන්.

1205 දී මක්කාවෙන් පිටවන ඉබ්න් අරාබි සිරියාව, ජෙරුසෙලම, තුර්කිය සහ ඉරාකය ආදී ප්‍රදේශ වල සංචාරය කරනවා. මෙහිදී ඔහු සමකාලීන ඉස්ලාමීය විද්වතුන් සමඟ හැදෑරීම් වල නිරත වෙනවා. මේ හැදෑරීම් ඔහුව ඉස්ලාමීය ලෝකයේ විශිෂ්ඨතම බුද්ධිමතකුගේ සහ දාර්ශනිකයකුගේ මට්ටමට ඔසවා තබනවා.

ඉබ්න් අරාබි ගොඩනැගූ දැණුම පසු කාලීනව "වහ්දත් අල්-වුජූද්" හෙවත් පැවැත්මේ ඒකීයභාවය (Unity of Being) නම් සංකල්පය වෙත කැටි වෙනවා. එහිදී ඔහු කියා සිටින්නේ පවතින එකම පැවැත්ම දෙවියන් පමණක් බවත්, අනෙකුත් සියල්ල ඒ පැවැත්මේ ප්‍රතිබිම්බයක් පමණක් බවත්. මේ සංකල්පය සහ බෞද්ධ ලෝක දැක්මේ විශාල සමීපතාවයක් පවතිනවා.

ඔහුගේ අදහස් ඉස්ලාමීය දැණුම් පද්ධතියේ මධ්‍යයට දුරින් පිහිටන නිසා ඉබ්න් අරාබි සැකලෙන්නේ විවාදාත්මක චරිතයක් විදිහට. සමහරු (විශේෂයෙන් සුෆී දර්ශනය අනුගමනය කරන විද්වතුන්) ඔහුව විශිෂ්ඨයෙක් ලෙස දකින අතර, වඩා සාම්ප්‍රදායික විද්වතුන් ඔහුව දැඩි විවේචනයට ලක් කරනවා.

1240 දී ඉබ්න් අරාබි දමස්කස් නගරයේදී මිය යනවා.


පැවැත්මේ ඒකීය බව හෙවත් වහ්දත් අල්-වුජූද්

ඩිස්ක්ලේමර් 1 : ඉබ්න් අරාබි කිසිම විටෙක තමාගේ අදහස් හඳුන්වන්න "වහ්දත් අල්-වුජුද්" කියන යෙදුම පාවිච්චි කරලා නෑ. ඒ යෙදුම ඔහුගේ අනුගාමිකයන් පසු කාලයකදී ඔහු විසින් පෝෂණය කළ දැණුම හඳුන්වන්න නිර්මාණය කළ එකක්.

ඩිස්ක්ලේමර් 2 : මේ පෝස්ට් එකෙන් දක්වන්නේ ඉබ්න් අරාබි ගේ අදහස් වල ඉතාම සංෂික්ප්ත විස්තරයක්. ඉබ්න් අරාබි අවම වශයෙන් පොත් 16 ක් ලියලා තියෙනවා. ඉන් ප්‍රසිද්ධම පොත වෙන අල්-ෆුතුහාත් අල්-මක්කීයා විතරක් වෙළුම 9 කින් යුත් විශාල පොතක්.

"දෙවියන් වහන්සේ සැඟවුනු නිධානයක් ලෙස පැවතුනහ. උන් වහන්සේට තමා පිළිබඳ දැනීමක් ඇතිවීමට අවශ්‍යය විය. එමනිසා උන්වහන්සේ ලෝකය නිර්මාණය කළහ"

I was a hidden treasure. I wished to be known. So I created the creation in order to be known.


ඉබ්න් අරාබි ගේ ලෝක දැක්ම ඉහත ප්‍රකාශයෙන් කැටි කරලා දක්වන්න පුළුවන්. එමගින් දෙවියන් ගේ සොබාවය, නිර්මිතයේ (ලෝකයේ) සොබාවය සහ දෙවියන් විසින් ලෝකය නිර්මාණය කළ අරමුණ ප්‍රකාශ වෙනවා.

දෙවියන් (creator) ගේ සොබාවය

ඉබ්න් අරාබි ඉස්ලාමයේ එන ඒක දේව වාදය තවත් පියවරක් ඉදිරියට ගෙනියනවා. ඔහු කියන්නේ පවතින්නේ එක දෙවියෙක් පමණක් නෙවෙයි, පවතින එකම දේ දෙවියන් කියලා. ඉබ්න් අරාබි දෙවියන් හඳුන්වන්න "වුජුද්" (පැවැත්ම - the being) කියන වචනය පාවිච්චි කරනවා.

ඉබ්න් අරාබි දක්වන ආකාරයට, දෙවියන් වහන්සේ සීමා රහිතයි (Infinite), ලෞකික ගුණාංග වලින් තොරයි (transcendent), අමරණීයයි (immortal). මේ නිසා අපට දෙවියන්ගේ "නියම ස්වරූපය" කිසිවිටෙකත් දකින්න බෑ.
නමුත් අපි දෙවියන් සමග කරන අන්තර්ක්‍රියා වලින් දෙවියන් ගේ ගුණාංග අත්විඳිනවා. මේ ගුණාංග මිනිසුන් අත්විඳින ආකාරය අනුව ඔවුන් දෙවියන්ට විවිධ නම් භාවිතා කරන බව ඉබ්න් අරාබි කියනවා. උදාහරණ විදිහට, "රබ්" (අධිපතියා, Lord), "රහ්මාන්" (දයාන්විත, compassionate) "රහීම්" (කාරුණික, merciful) සහ "අල් හක්" (සත්‍යය, truth) දක්වන්න පුළුවන්. ඉබ්න් අරාබි දක්වන ආකාරයට දෙවියන් ගේ ගුණාංග අනන්තයක් ඇති නිසා දෙවියන්ට අනන්තයක් නම් තියෙනවා.

ඒ අනුව දෙවියන් ගේ සොබාවයන් දෙකක් ඉබ්න් අරාබි දක්වනවා.

1. සාරය (essence) හෙවත්, අල්-දත්. මේ අපිට අත්විඳිය නොහැකි දෙවියන් ගේ "සැබෑ" පරම සොබාවය
2. අන්තර්ක්‍රියා හරහා අපි අත්විඳින සොබාවය.

නිර්මිතයේ (created) සොබාවය

පවතින එකම දේ දෙවියන් නම්, ලෝකය මොකද්ද කියන ප්‍රශ්නය ඊළඟට එනවා.

"ලෝකය මායාවකි. එයට සැබෑ පැවැත්මක නැත. මේ පරිකල්පනයේ (කයාල්) අරුතයි. ඔබ ලෝකය වෙනම පැවැත්මක් සහිත, දෙවියන් ගෙන් පරිබාහිර දෙයක් ලෙස පරිකල්පනය කරයි. නමුත් සැබැවින්ම එය එසේ නොවේ"
- ඉබ්න් අරාබි


ලෝකයට දෙවියන් ගෙන් පරිබාහිර පැවැත්මක් නැතිනම් ලෝකය කියන්නේ දෙවියන් ද? ඉබ්න් අරාබි මෙයත් ප්‍රතික්ෂේප කරනවා. ලෝකය සොබාවයෙන්ම සීමිතයි (finite), ලෞකිකකයි (creaturely), නැසෙන සුළුයි (mortal).

ඉබ්න් අරාබි දක්වන ආකාරයට ලෝකය (පණැති, පණනැති සියළු දේ) කියන්නේ දෙවියන් ගේ නිරූපනයක් (manifestation). මෙහිදී ඔහු ප්‍රිස්මයක උදාරණය ගන්නවා.

සුදු ආලෝකය ප්‍රිස්මයක් හරහා යද්දී රතු, කහ ආදී වර්ණ හතකට කැඩෙනවා. මෙහිදී ඉබ්න් අරාබි සුදු ආලෝකය දෙවියන් ලෙසත්, වර්ණ හත ලෝකය ලෙසත් උපමා කරනවා.

රතු පාට හෝ කහ පාට වෙනම ගත්තම සුදු පාට නෙවෙයි. ඒ වගේම පාට හතම එකට ගත්තත් සුදු පාට නෙවෙයි. නමුත් සුදු ආලෝකයෙන් තොරව රතු සහ කහ ආලෝකයන් පවතින්නේ නෑ.

දෙවියන් සහ නිර්මිතය අතර සබඳකම හරියටම වැටහෙන්නේ නිර්මාණයේ සොබාවය දිහා බැලීමෙන්.

නිර්මාණයේ (creation) සොබාවය

"ඔබ කුමන දෙසට හැරුණත්, දෙවියන් ගේ මුහුණ එහි ඇත"
(කුරාණය 2:115)

Which ever way you turn, there is the face of God

(Al-Quran 2:115)

ඉබ්න් අරාබි විස්තර කරන ආකාරයට දෙවියන් සීමා රහිත නිසා දෙවියන් ගේ ගුණාංගත් (attributes) සීමා රහිතයි. දෙවියන්ගේ මේ ගුණාංග වල නිරූපණයක් විදිහට ලෝකය නිර්මාණය වෙනවා.

මේ නිර්මාණය ඉතිහාසයේ එක මොහොතක කරලා "පවතින" දෙයක් ලෙස ගැනීම ඉබ්න් අරාබි ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ දෙවියන් ගේ ගුණාංග වල නිරූපනයක් විදිහට සෑම මොහොතකම ලෝකය අළුතෙන් නිර්මාණය වන බව. එනම් ලෝකයට දෙවියන් ගෙන් පරිබාහිර පැවැත්මක් නැති අතර, දෙවියන් ගේ ගුණාංග වල නිරූපනයක් පමණක් ලෙස ගත යුතු බව (සරළව කිව්වොත් හැම මොහොතකම අළුතෙන් නිර්මානය වන දෙයක "පැවැත්මක්" නැත).

මේ නිර්මාණය සිදු වන්නේ දෙවියන් ගේ සාරය (essence), දෙවියන් ගේ දැණුම  සමග ගැටීමෙන්. ඉබ්න් අරාබි මේ "දෙවියන් ගේ දැණුම" කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ "අයියාන් අත්-තාබිතා" ලෙස ඔහු හඳුන්වන භූතාර්ථ (entities) උපයෝගී කරගෙන.

අයියාන් අත්-තාබිතා කියන්නේ දෙවියන් ගේ දැණුම කැටි කරගත් "නිර්මාණයේ අච්චු" කියල හඳුන්වන්න පුළුවන්. දෙවියන් ගේ සාරය අයියාන් අත්-තාබිතා සමඟ ගැටීමෙන් සිදුවන නිරූපනය ලෝකය හෙවත් නිර්මිතය ලෙස එළි දකිනවා.

ඉබ්න් අරාබි මේ නිරූපනය සෙවනැල්ලකට සමාන කරනවා. දෙවියන් ගේ සාරය ආලෝකයක් නම්, අයියාන් අත්-තාබිතා මොකක් හරි වස්තුවක් නම් වස්තුව මගින් ඇති කරන සෙවනැල්ල තමයි නිර්මිතය.

නමුත් අයියාන් අත්-තාබිතා කියන්නේ සැබැවින්ම "පවතින දෙයක්" නෙවෙයි. එමගින් ඇති කරන සෙවනැල්ල හෙවත් නිර්මිතයත් සැබැවින්ම "පවතින දෙයක්" නෙවෙයි. සැබැවින්ම පවතින්නේ දෙවියන් පමණයි.

නිර්මාණයේ (creation) සොබාවය තව දුරටත්

මේක වඩා හොඳින් අවබෝධ කරගන්න පුළුවන් සිනමා ප්‍රොජෙක්ටරයක් උපමා කරගැනීමෙන්.

සිනමා ප්‍රොජෙක්ටරයේ බල්බයෙන් නිකුත් වෙන්නේ සුදු ආලෝකයක්. ඒ තමයි දෙවියන්. ඒක සිනමා පටිය (film) හරහා යනවා. මේ සිනමා පටිය තමයි අයියාන් අත්-තාබිතා කියලා අබ්න් අරාබි හඳුන්වන්නේ. සිනමා පටිය හරහා යද්දී සුදු ආලෝකය විවිධ වර්ණ වලට කැඩෙනවා. මේ වර්ණ තිරය මත වැටුනු පසු තිරය මත විවිධ රූප නිර්මානය වෙනවා. මේ නිර්මානය වෙන රූප තමයි නිර්මිතය  හෙවත් අපි අත්දකින ලෝකය.

අපි චිත්‍රපටිය එක දිගට දිවෙන දෙයක් විදිට අත් වින්දාට ඇත්තටම එතැන තියෙන්නේ වේගයෙන් මාරු වෙන නිශ්චල රූප සමූහයක්. ඒ වගේ නිර්මිතයත් හැම මොහොතේම අළුතෙන් නිර්මාණය වෙනවා. අපි එය එක දිගට ගලා යන "පවතින දෙයක්" කියන මායාව අත්විඳිනවා.

චිත්‍රපටියේ ඉන්න නළු නිළියන්ට ප්‍රොජෙක්ටරය අත් විඳින්න බෑ වගේම අපිට දෙවියන් අත් විඳින්න බෑ. නමුත් චිත්‍රපටියේ හැම මොහොතක්ම ප්‍රොජෙක්ටරයේ ආලෝකයේ සහ සිනමා පටියේ ගැටීමක ප්‍රතිඵලයක්.

පරිපූන මිනිසා

ඉබ්න් අරාබි පරිපූර්න මිනිසා ලෙස දකින්නේ දෙවියන් ගේ සහ නිර්මිතයේ සොබාවය ඉතාම නිවැරදිව අවබෝධකරගත් මිනිසෙකු.

පරිපූර්න මිනිසකුගේ තත්වය ළඟා කරගැනීමට නම්, ලෝකයේ සියළුම දේ, තමා (හෙවත් මම) ඇතුළුව, "සැබැවින්ම නොපවතින" බව සහ "දෙවියන් ගේ නිරූපනයක්" බව වටහා ගත යුතුයි. මම නොපවතින බවත්, මම යනු දෙවියන් ගේ නිරූපනයක් බවත් වටහා ගත් පසු මිනිසා පරිපූර්ණ වශයෙන් දෙවියන් කෙරෙහි කැපවන බව ඉබ්න් අරාබි ප්‍රකාශ කලා.

ඔහු මේ "පවතින මම" පිළිබඳ මායාව නැති කරගත් පරිපූර්න මිනිසා "ඉන්සාන් අල්-කමිල්" කියලා හැඳින්වුවා.



"ඔබ ගැන දැන ගන්න. දෙවියන් ගැන දැනගැනීමට ඔබට හැකිවනු ඇත."

Know yourself, you will know your Lord

No comments:

Post a Comment