ගොඩක් දෙනෙක් අතර තියෙන මතයක් තමයි සත්තු මරලා මස් කෑම පිළිබඳ ඒ ආගම් වල ස්ථාවරය වෙන්නේ "සත්තු කියන්නෙ මිනිස්සුන්ගේ පරිභෝජනයට දෙවියන් විසින් මවපු දෙයක්, ඒ නිසා උන්ව මරලා මස් කන එක කිසිම අවුලක් නෑ" කියන එක.
ඒත් මේක සම්පූර්ණයෙන්ම වැරදියි.
බයිබලයේ එන උප්පත්ති කතාව අරගෙන බැලුවම, දෙවියන් වහන්සේ ලෝකය මවද්දී මිනිසා විතරක් නෙවෙයි, සියළුම සත්තු මවන්නේ ශාක භක්ෂකයන් (vegetarian) විදිහට.
"බලන්න, මම නුඹට (මිනිසාට) පොළව මත ඇති සියළුම ධාන්‍ය හටගන්නා පැලෑටි සහ පළතුරු හටගන්නා ගස් දෙමි; ඒවා නුඹේ ආහාරය වනු ඇත" දෙවියන් පැවසීය."
(උප්පත්‍ති 1:29)
"God said, "See, I give you (man) every seed-bearing plant that is upon all the earth, and every tree that has seed bearing fruit; they shall be yours for food."
(Genesis 1:29)
"පොළව මත සිටින සියළුම සතුන්ට, අහසේ සිටින සියළුම පක්ෂීන්ට සහ පොළව මත බඩ ගා යන, ප්‍රාණයක් සහිත, සියළුම ජීවීන්ට සියළුම හරිත ශාකයන් ආහාර වශයෙන් (මම දෙමි). එය එසේම විය."
(උප්පත්‍ති 1:30)
"And to all the animals on land, to all the birds of the sky, and to everything that creeps on earth, in which there is the breath of life, (I give) all the green plants for food." And it was so."
(Genesis 1:30)
මේ බයිබල් පාඨයන්ට අනුව දෙවියන් ලෝකය මවද්දී කිසිම සතෙකුට, මිනිසා ඇතුළුව, වෙනත් සතෙක් ආහාරයට ගන්න අවසර නෑ. ඔවුන්ට කෑමට අවසර දී ඇත්තේ ශාකමය දේ පමණයි.
ඒ දෙවියන් විසින් තමා මැවූ ජීවය ශුද්ධ වූ දෙයක් කොට සලකන නිසා.
ඒත් මිනිසාගේ දෙවෙනි පරම්පරාවේදීම කේන් විසින් තම සොහොයුරා වන ඒබල් ව මරා දමා මේ ශුද්ධත්වය කෙලසනවා.
මිනිසාට වෙනත් සතුන් ආහාරයට ගන්න අවසර ලැබෙන්නේ ගොඩක් පස්සෙ, මහා ජලගැල්මෙන් පසුව.
දෙවියන් මහා ජලගැල්ම ඇති කරන්නේ මිනිසාගේ නපුරු දුෂ්ඨකම් වලින් ලෝකය මුදවාගෙන ලෝකයට නව ආරම්භයක් දීම සඳහා. මහා ජලගැල්මෙන් අනතුරුව දෙවියන් කියන දේ අනුව, මිනිසා සොබාවයෙන්ම දුෂ්ඨ බවත්, ඔහු ජීවය ශුද්ධ කොට නොසලකන බවත්, දෙවියන් වටහා ගත් බව ඇඟවෙනවා.
"සමිඳානන් සිත්කළු සුගන්ධය ආග්‍රණය කොට තමාටම මෙසේ පැවසීය: "මම නැවත කිසි දිනෙක මිනිසා නිසා ලෝකය විනාශ නොකරමි. මක් නිසාද, මිනිසාගේ සැලසුම් ඔහුගේ ආරම්භයේ සිටම දුෂ්ඨ වන බැවිනි. මම මේ වර කළ ලෙස නැවත කිසිම දිනෙක සියළුම ජීවීන් විනාශ නොකරමි."
(උප්පත්ති 8:21)
"The LoRD smelled the pleasing odor, and the LoRD said to Himself: "Never again will I doom the earth because of man, since the devisings of man's mind are evil from his youth; nor will I ever again destroy every living being, as I have done."
(Genesis 8:21)
මිනිසාගේ දුෂ්ඨ බව වටහා ගන්න දෙවියන් ඔහුට සත්තු මරලා මස් කන්න අවසර දෙනවා. ඒත් එක කොන්දේසියක් උඩ. ඒ ජීවයේ සලකුණ වන ලේ සියල්ල මළ සිරුරෙන් ඉවතට ගලා යන්න සැලැස්වීමෙන් තොරව මස් කෑම තහනම් කිරීමෙන්.
"ජීවත් වන සෑම ප්‍රාණියෙක්ම නුඹට කෑමට හැක; හරිත තණකොළත් සමඟ මේ සියල්ල මම නුඹට දෙමි."
(උප්පත්ති 9:3)
"Every creature that lives shall be yours to eat; as with the green grasses, I give you all these."
(Genesis 9:3)
"එනමුත්, නුඹ ජීව-රුධිරය අඩංගු මස් නොකෑ යුතුය."
(උප්පත්ති 9:4)
"You must not, however, eat flesh with its life-blood in it."
(Genesis 9:4)
යුදෙව් සහ ඉස්ලාම් ආගම් වල මස් කෑම සඳහා සතුන් මරන්න ඉතාම සංකීර්ණ නීති පද්ධතියක් හඳුන්වාදීලා තියෙන්නේ මේ හේතුව නිසා. දෙවියන් විසින් මවන ලද ජීවය ශුද්ධ වූ බවත්, ආහාරය සඳහා ජීවය විනාශ කරන්නේ නම් ජීවය ශුද්ධ වූ බව පිළිගත යුතු බවත් මේ නීති බව අදහසයි.
පසුව බයිබලයේ තවත් නීති මාලාවක් හඳුන්වා දීමෙන් ආහාරයට ගන්න පුළුවන් සතුන් වර්ග ගණන දැඩිව සීමා කරනවා.
ඉස්ලාම් ආගමේ ආහාර කෑමට අනුමත (හලාල්) වෙන ආකාරය බැලුවම මේ සංකල්පය ඉතාම පැහැදිලි වෙනවා.
ඉස්ලාමීය නීති අනුව, සියළුම ආහාර කෑමට අනුමත (හලාල්) බව තමයි සාමාන්‍යය (default) තත්වය. ආහාරයක් අනුමත නොවෙන්නේ මොකක් හරි ක්‍රමයකින් එය දූෂ්‍ය වී ඇති බව සහතිකයෙන්ම දැගත්තොත් විතරයි.
නමුත් මස් වලට විතරක් මේ තත්වය අනිත් පැත්ත.
සියළුම මස් කෑමට අනුමත නොවන බව තමයි සාමාන්‍යය (default) තත්වය. මස් කෑමය අනුමත (හලාල්) වෙන්නේ ඒ මස් නියමිත ක්‍රමයට සකස් කර ඇති බව සහතිකයෙන්ම දැනගත්තොත් විතරයි.
නමුත් ඒබ්‍රහමික ආගම් වල ප්‍රධාන ධාරාවේ අපගමනයක් (offshoot) විදිහට සලකන්න පුළුවන් ක්‍රිස්තියානි ආගමේ මේ සංකල්පය තදින් දකින්න ලැබෙන්නේ නෑ. ඒ ග්‍රීක-රෝම බලපෑම නිසා වෙන්න පුළුවන්.
වර්තමාන නූතන සංස්කෘතියේ එන "සත්තු කියන්නේ මිනිසාගේ පරිභෝජනය සඳහා තියෙන දෙයක්" කියන එකේ මූලය ඒබ්‍රහමික ආගම් වලට වඩා ග්‍රීක-රෝම සංස්කෘතියෙන් එන දෙයක් කියන එක වඩා නිවැරදියි.
No comments:
Post a Comment