ඒබ්‍රහමික ආගම් වල පොදු ලක්ෂණයක් තමයි ඒ හැම එකකම ආගමික කරුණු අඩංගු ශුද්ධ ග්‍රන්ථ තිබීම. ඒබ්‍රහමික ආගම් තුනේ ශුද්ධ ග්‍රන්ථ මේවා :
1. යුදෙව් ආගම - තනාක්
2. ක්‍රිස්තියානි ආගම - බයිබලය
3. ඉස්ලාම් ආගම - කුරානය
මේවායේ සමාන ලක්ෂණය තමයි මේ සියල්ලේම අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාට ලබා දුන් ආගමේ කරුණු වීම. හැබැයි සමානකම එතනින් ඉවරයි.
තනාක්
තනාක් හෙවත් යුදෙව් බයිබලය හෙවත් පැරණි තෙස්තමේන්තුව කියන්නේ අවුරුදු දාහක විතර කාල පරිච්ඡේදයක් පුරා යුදෙව් ආගමේ විවිධ දිවැසිවරුන් සහ පූජකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.
යුදෙව් බයිබලයේ මූලික වශයෙන් තියෙන්නේ දෙවියන් ලෝකය මවපු කතාව, දෙවියන් සහ ඒබ්‍රහම් අතර ඇති කරගත් ගිවිසුම (තෙස්තමේන්තුව), යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය සහ විවිධ දිවැසිවරයන් (Prophets) විසින් ඉදිරිපත් කළ දේවල්.
ඒ වගේම යුදෙව් ආගමේ සියළු ලියැවිලි තනාක් හෙවත් යුදෙව් බයිබලයට ඇතුල් කරලා නෑ. ඊට ඇතුල් නොකළ වෙනත් ආගමික ලියැවිලි විශාල ප්‍රමානයක් යුදෙව් ආගමේ තියෙනවා. මේවායින් සමහරක් මුඛ පරම්පරාගතව දීර්ඝ කාලයක් ආව ඒවා. සමහරක් සාපේක්ෂව පසු කාලීනව ආපු දේවල්. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකට වෙනස්.
යුදෙව් බයිබලය ලියැවී ඇත්තේ හිබෲ භාෂාවෙන්.
බයිබලය
බයිබලය හෙවත් ක්‍රිස්තියානි බයිබලය හෙවත් නව තෙස්තමේන්තුව කියන්නේ
අවුරුදු දෙතුන් සීයක කාල පරිච්ඡේදයක් පුරා ක්‍රිස්තියානි ආගමේ මුල් කාලීන නායකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.
සියළුම ක්‍රිස්තියානි බැතිමතුන් යුදෙව් බයිබලයත් තමාගේ ආගමික ග්‍රන්ථයක් විදිහට පිළිගන්නවා. ඊට අමතරව නව තෙස්තමේන්තුව එයට එක් කරනවා. මේ නිසා ක්‍රිස්තියානි බයිබලය පැරණි තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව විදිහට කොටස් දෙකකින් සමන්විතයි.
ක්‍රිස්තියානින් ගේ පැරණි තෙස්තමේන්තුවට යුදෙව් බයිබලයේ අඩංගු කරුණු සියල්ලම ඇතුළත් වෙනවා. ඊට අමතරව සමහර ක්‍රිස්තියානි නිකායන් යුදෙව්වන් තමාගේ බයිබලයට ඇතුල් නොකළ යුදෙව් ආගමික ලියැවිලි සමහරකුත් පැරණි තෙස්තමේන්තුවට ඇතුල් කරනවා. පෙරදිග පල්ලිය (Church of the East) ප්‍රාචීන ඕතඩොක්ස් පල්ලිය (Oriental Orthodox Church) සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලිය (Eastern Orthodox Church) මේ අතරින් ප්‍රධානයි.
නව තෙස්තමේන්තුව සමන්විත වෙන්නේ යේසුස් වහන්සේගේ ජීවිත කතාව, එතුමාගේ ඉගැන්වීම් සහ මුල් කාලීන ක්‍රිස්තියානියේ සිදු වූ වැදගත් සිදුවීම් වලින්. යුදෙව් බයිබලයට වගේම නව තෙස්තමේන්තුවටත් අඩංගු නොවුනු මුල් කාලීන ක්‍රිස්තියානි ආගමික ලියැවිලි රාශියක් තියෙනවා. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකින් වෙනස්.
නව තෙස්තමේන්තුව මුලින්ම ලියැවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන්. පසුව එය ලතින් ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වුනා.
කුරානය
කුරානය මේ දෙකට වඩා වෙනස්. කුරානය කියන්නේ එක් කතුවරයෙක් විසින් ලියන ලද පොතක්. ඉස්ලාම් බැතිමතුන්ට අනුව මේ කතුවරයා දෙවියන් වහන්සේ. අනෙක් අයට අනුව මුහම්මද් තුමා. කුරානයේ අඩංගු සියළු කරුණු අවුරුදු තිහක විතර කාලයකදී එකතු වූ ඒවා.
ඒ වගේම යුදෙව් සහ ක්‍රිස්තියානි බයිබලයන් ගේ තියෙන්නේ මිනිස්සු ලියපු දේවල් වුනාට කුරානයේ තියෙනවා කියල අපේක්ෂා කරන්නේ (meant to be) කෙලින්ම දෙවියන් ගේ වචන. මේ නිසා අනෙක් පොත් දෙකට වඩා කුරානය වඩා සංවිධානාත්මක සහ සංගතික ස්වරූපයක් ගන්නවා.
කුරානයේ අනෙක් විශේෂත්වය වෙන්නේ මුහම්මද් තුමාගේ ජීවිත කාලය තුලදීම කුරානයේ අඩංගු කරුණු ග්‍රන්ථාරූඪ වීම සහ එතුමාගේ මරණයෙන් අවුරුදු 12 ක් වැනි කෙටි කාලයකදී එය සම්මතකරණය (standardize) වීම. මේ නිසා කුරානය එහි මූලික ස්වරූපයෙන්ම හෝ ඊට ඉතාම ආසන්න තත්වයෙන් පවතින බවට හිතන්න පුළුවන්.
ක්‍රිස්තියානින් යුදෙව් බයිබලය පිළිගත්තත්, මුස්ලිමුන් යුදෙව් හෝ ක්‍රිස්තියානි බයිබල පිළිගන්නේ නෑ. ඉස්ලාම් ආගමට යුදෙව් ආගමේ එන සියළුම දිවැසිවරයන් සහ යේසුස් වහන්සේ සත්‍ය දිවැසිවරයන් ලෙස පිළිගත්තත්, බයිබලයේ අඩංගු කරුණු මිනිසුන් අතින් විකෘති වී ඇති බව ඔවුන් විශ්වාස කරනවා.
නමුත්, කුරානයේ අඩංගු කරුණු බයිබලයේ අඩංගු කරුණු වලට බොහෝ සෙයින් සමානයි. නමුත් සමහර වැදගත් වෙනස්කමුත් දකින්න පුළුවන්.
කුරානයේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් වරින් වර මුහම්මද් තුමාට සහ එතුමා හරහා පොදුවේ මිනිස් වර්ගයාට ලබා දුන් පණිවුඩ. මේ පණිවුඩ ආගමික නීතිය, සදාචාරය, ආගමික වතාවත් සහ ආගමික මූලධර්ම වලින් සමන්විත වෙනවා.
කුරානය ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙන්.
No comments:
Post a Comment