Saturday, April 20, 2024

චිංගීස් අයිත්මාතව්

 

 

චිංගීස් අයිත්මාතොව් සහ මිඛායිලි ෂොලහොව් කියන්නේ සෝවියට් සාහිත්‍යයේ දැවැන්තයන් දෙන්නා. සාමාන්‍යය පිළිගැනීමට අනුව සෝවියට් සාහිත්‍යය (රුසියානු විප්ලවයෙන් පසු සමය) තියෙන්නේ රුසියන් සාහිත්‍යයට (විප්ලවයෙන් පෙර සමය) පසු පසින්. ඒත් ෂොලොහොව් සහ අයිත්මාතොව් රුසියානු සාහිත්‍යයේ දැවැන්තයන් එක්ක කරට කර තියන්න පුළුවන් ලේඛකයන් දෙදෙනෙක්.

ජන වර්ග සහ සංස්කෘතීන් රාශියක් සහිත විශාල රටක් වන සෝවියට් දේශයේ ප්‍රධාන සංස්කෘතික කේන්ද්‍රයන් කීපයක් දකින්න පුළුවන්. ප්‍රධාන කේන්ද්‍රය වෙන්නේ රුසියානු සංස්කෘතිය. රුසියන් සාහිත්‍යයේ දැවැන්තයන් සියල්ලම පාහේ බිහි වෙන්නේ මේ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ. නමුත් අයිත්මාතොව් සහ ෂොලහොව් දෙන්නම අයත් වෙන්නේ වෙනත් සුළුතර සංස්කෘතික කේන්ද්‍රයන්ට. ෂොලහොව් ගේ නිර්මාන වලට පදනම් වෙන්නේ වොල්ගා සහ දොන් ගංගා අසබඩ කොසාක් සංස්කෘතිය. අයිත්මාතොව් ගේ නිර්මාන වලට පදනම් වෙන්නේ මධ්‍යම ආසියාතික සංස්කෘතිය.

කිර්ගීස් ජාතිකයෙක් වෙන අයිත්මාතොව් උපදින්නේ 1928 කිර්ගීස් සෝවියට් සමූහාණ්ඩුවේ. ඔහුට වයස අවුරුදු 10ක් වන විට ඔහුගේ පියා ස්ටාලින් රජයේ භීෂනය යටතේ ප්‍රතිවිප්ලවවාදියෙක් ලෙස චෝදනා ලබලා මරා දැමෙනවා. ඔහුව හදා ගන්නේ ඔහුගේ මව.

කිර්ගිස් සෝවියට් සමූහාණ්ඩුව තිබුනේ සෝවියට් දේශයේ නැගෙනහිර කොනේම චීන දේශසීමාවේ. එහි වැසියන් ගෙන් බහුතරය කිර්ගීස් ජාතිකයන්. ඊට අමතරව කසාක් (කොසාක් නෙවෙයි), උස්බෙක්, තාජික් ආදී විවිධ තුර්කි සහ මොංගෝලියානු සම්භවයක් සහිත ජන වර්ග එහි වාසය කරනවා. මොවුන් බහුතරය ආගමෙන් ඉස්ලාම් භක්තිකයන්. රුසියානු විප්ලවයට පෙර ඔවුන් දැඩි සාම්ප්‍රදායික, ඉස්ලාමීය, ආසියාතික සහ පුරුෂ මූලික සංස්කෘතියක ජීවත් වුනු අය. අසුන් පිට යමින්, දඩයම් කරමින්, සංචාරක එඬේර ජීවිතයක් ගත කරන මොවුන් ගේ ජීවිතය සෝවියට් පාලනය යටතේ විශාල පෙරලියකට ලක් වෙලා සමූහ ගොවිපොළ, දුම්රිය, මහා මාර්ග, ට්‍රැක්ටර් ආදිය සහිත නවීන සමාජවාදී සමාජයක් බවට පත් වෙනවා.

අයිත්මතොව් ගේ නිර්මාන වලට පාදක වෙන්නේ මේ පෙරලිය.

ෂොලොහොව් සාහිත්‍යය නිර්මානයට එලැඹෙන්නේ 1925 දී එළිදැක්වුනු "දොන් පෙදෙසේ කතා" කෙටි කතා සංග්‍රහයත් සමඟ. දැඩි කොමියුනිස්ට් වාදියෙක් වුනු ෂොලහොව්, ස්ටාලින් වාදියෙක් නොවුනත්, ස්ටාලින් රජයේ ප්‍රසාදය දිනාගත් සාහිත්‍යය වේදියෙක්. තමා දැඩි කොමියුනිස්ට් වාදියෙක් වුනත් ෂොලොහොව් ගේ නිර්මාන සාමාන්‍යයෙන් විප්ලවයට විරුද්ධ වුනු දොන් සහ කුබාන් ප්‍රදේශ වල කොසාකයන් දිහා බලන්නේ සානුකම්පිතව. ඔහු "සෝවියට් යථාර්තවාදී" සාහිත්‍යය රීතියේ පුරෝගාමියෙක් ලෙස සැලකෙනවා. ඔහුගේ කෘතීන් සියල්ලේම මේ රීතිය දකින්න පුළුවන්.

අයිත්මාතොව් අයත් වෙන්නේ ඊට පසු පරම්පරාවට. ඔහු නිර්මානකරණයට එලැඹෙන්නේ 1956 දී. මේ වන විට සෝවියට් දේශයේ ස්ටාලින් යුගය අවසන් වෙලා කෘ‍ෂ්‍චෙව් පාලන සමයට මාරු වුන කාලය. අයිත්මාතොව් ෂොලොහොව් තරම් දැඩි මතධාරී කොමියුනිස්ට් වාදියෙක් නෙවෙයි. ඔහු සෝවියට් දේශයේ අවසන් නායක ගොර්බචොව් ගේ කිට්ටු හිතවතෙක් බව කියැවෙනවා. 

අයිත්මාතොව් ගේ රීතිය ෂොලහොව් ගේ රීතියට වඩා වෙනස්. ඔහුගේ නිර්මාණ වල සංකේත බහුලයි. යථාර්තයට වඩා අදහස් ප්‍රකාශනයට තැන දෙනවා. ෂොලහොව් ගේ නවකතා වෙළුම් තුන හතර දිග දැවැන්ත නිර්මාණ වුනාට අයිත්මාතොව් ලිව්වේ කෙටිනවකථා. අයිත්මාතොව් ගේ කතා වල දෙබස් ඉතාම අඩුයි. ඒ වෙනුවට පරිසර වර්ණනා බහුලයි. අදහස් ප්‍රකාශ වෙන්නේ වචන වලට වඩා හැඟීම් සහ සංකේත හරහා. උදාහරණයකට නවීකරණය වන සමාජය ඉදිරියේ දිගහැරෙන ලෝකය සංකේතවත් කරන්නේ කිර්ගීසියානු කඳුවැටි වලට ඔබ්බෙන් ඇති විශාල පරතෙරක් නැති ස්ටෙප්ස් තණබිම් වලින්. ඒ වගේම කතාව දිගහැරෙන්නේ රූපීය විදිහකට. ඔහුගේ කතා කීපයකම කතාව කියන්නා (narrator) චිත්‍ර ශිල්පියෙක් වීම අහම්බයක් නෙවෙයි.

වර්තමානයේදී වැඩිය කතා බහට ලක් නොවුනු කරුනක් වුනත් සෝවියට් දේශයේ පාලනය ඉතා දැඩි ලෙස ස්ත්‍රී වාදියි. ඒක බටහිර රටවල ස්ත්‍රීවාදය ප්‍රචලින වෙන්න කලින් ඉඳලම තිබුණු දෙයක්. ෂොලහොව් ගේ නිර්මාණ වල ස්ත්‍රීවාදයක් දකින්න බැරි වුනත්, අයිත්මාතොව් ගේ කතා වල ඉතා ප්‍රභල ස්ත්‍රී වාදයක් දකින්න පුළුවන්. පියා නොමැතිව මව සමඟ හැදී වැඩුණු ඔහු, තමාව තනියම ඇති දැඩි කළ මවගේ දිරිය දැකීම මෙයට හේතුවක් වුනාද?


ජමිලා


 අයිත්මාතොව් ජාතික කීර්තියට පත් වෙන්නේ 1958 දී ලියන ජමීලා කෙටි නවකතාවෙන්. ඔහුට පසුකාලීනව ලෙනින් ත්‍යාගය හිමිවෙන්න ප්‍රධාන නිමිත්ත වෙන්නේත් ජමීලා.

ජමීලා කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුධ සමයේ කිර්ගීසියානු ගමක්. එහි ඉන්න තරුණ කාන්තාවක් වන ජමීලා ගේ සැමියා හමුදාවට බැඳිලා යුද්ධයට යනවා. ජමීලා, ඇගේ සැමියාගේ බාල සොසොයුරා (කිචීනේ බාලා - පොඩි මස්සිනා) සහ තුවාල ලැබූ නිසා නැවත ගමට එන තරුණ යුධ සෙබළෙක් වෙන දනියාර් ගමේ සමූහ ගොවිපොළේ වැඩ කරනවා. එහිදී දනියාර් සහ ජමීලා පෙමින් බැඳිලා ගමෙන් පිටව යනවා. ආපසු ගමට එන ජමීලාගේ සැමියා ඇතුළු සියළුම ගැමියන් ජමීලා ට තදින් දොස් කියනවා. නමුත් ජමීලා සහ දනියාර් ගේ ප්‍රේමය වර්ධනය වෙන හැටි දිගටම දකින කිචීනේ බාලා පමණක් ඔවුන්ට දොස් පවරන්නේ නෑ. අනිතිමේදී ඔහු චිත්‍ර ශිල්පය හදාරන්න ගමෙන් යනවා. ඔහුට ධෛර්‍යය ලැබෙන්නේ ජමීලා සහ දනියාර් ගේ ප්‍රේමයෙන්.

ඉතා විශිෂ්ඨ නිර්මානයක් වන මේ කතාවෙන් සංකේතවත් වෙන්නේ සාම්ප්‍රදායික සමාජය සම්ප්‍රදායේ බැමි කඩාගෙන නවීකරණය වීම. ජමීලා ගෙන් සංකේත්වත් වෙන්නේ කිර්ගීස් සමාජය. දනියාර් ගෙන් සංකේතවත් වෙන්නේ සෝවියට් ක්‍රමය. ජමීලා දනියාර් සමඟ පෙමින් බැඳෙන්නේ ඔහුගේ ගීත ඇසීමෙන්. අයිත්මාතොව් ගේ මතවාදය ඔහු දනියාර් ගේ ගීත විස්තර කරන විදිහෙන් අපිට දකින්න පුළුවන්.

"එහි වචන නොවීය. මිනිස් හදවත සම්පූර්ණයෙන්ම විදහා පෙන්වීමට ඔහුගේ ඒ ගීතය සමත් විය ..... එය කිර්ගීස් හෝ කසාක් හෝ ගීතයකට සමාන නොවීය. කිසියම් වෙනත් බසකින් ගයන ලද එම ගීතය කසාක් සහ කිර්ගීස් ජනතාවගේ ඉතාම උසස් කලාත්මක රාග මුසු වූ අනගිතම ගීතයක් විය. එය කඳුකරය හා ස්ටෙප්ස් බිම පිළිබඳ ගීතයකි. කිර්ගීසියාවේ කඳු ගැන මෙන්ම කසාක් ස්ටෙප්ස් බිම්වල අලංකාරය ගැනද එම ගීය කියා පෑවේය."

නවීකරණය වෙනුවෙන් ඉතා දැඩිව පෙනී සිටින ගමන්ම අයිත්මාතොව් කිර්ගීස් සංස්කෘතියට තමා තුළ ඇති බැඳීම සම්පූර්ණයෙන්ම අතහරින්නෙත් නෑ.


පළමු ගුරුවරයා

අයිත්මාතොව් ගේ විශිෂ්ඨතම නිර්මාණය ජමීලා වුනාට මොකක් හරි හේතුවකට ලංකාවේ වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔහු විසින් 1962 දී ලියැවුණු "පළමු ගුරුවරයා (First Teacher)" කතාව.

මේ කෘතිය දැදිගම වී. රුද්‍රිගෝ විසින් "ගුරු ගීතය" නමින් පරිවර්තනය කරලා තියෙනවා. පරිවර්තන කෘතියේ පිටුගණන, පොතේ ප්‍රමානය සහ පොතේ මිල යන සියල්ලම සැලසුම් කරලා තියෙන්නේ ප්‍රචාරක කෘතියක් විදිහට කියලා හිතන්න පුළුවන්. පොත ලංකාවේ පාඨකයන් අතර ලබලා තියෙන ජනප්‍රියත්වය අනුව ඒ සැලසුම ඉතා සාර්ථකයි කියල නිගමනය කරන්නත් පුළුවන්.

නමුත් මගේ පුද්ගලික මතය නම්, මේ කෘතියේ තේමාව අනුව නම විදිහට වඩා ගැලපෙන්නේ මුල් නිර්මාණයේ ඍජු පරිවර්තනය වන "පළමු ගුරුවරයා". ඒ වගේම මුල් කෘතියේ තේමාව ඒ ආකාරයටම ලාංකික පාඨකයා අතරට ගිහිල්ලා නෑ කියලත් හිතෙනවා.

කතාවට පාදක වෙන්නේ කිර්ගීසියාවේ ගමක්. එහි පාසලක් විවෘත කරන්න ගමෙන් බිහිවුන කීර්තිමත් විශ්ව විද්‍යාල මහාචාර්‍ය වරියක් වන අල්තිනායි ට සහ තවත් ගමෙන් බිහිවුන චිත්‍ර ශිල්පියෙක්ට ගැමියන් ආරාධනා කරනවා. අල්තීනායිට ගමට ආවට පස්සේ ගමේ ලියුම් බෙදන නූගත් මහල්ලෙක් වෙන දුයිෂෙන් ගැන අහන්න ලැබෙනවා. කැලඹීමට පත්වෙන ඇය හදිසියේ ගමෙන් පිට වෙනවා. කතාව දිගහැරෙන්නේ අල්තීනායි ඇගේ අතීතය විස්තර කරමින් චිත්‍ර ශිල්පියාට එවන ලියුමක් හරහා.

දුයිෂෙන් කියන්නේ 1924 දී තරුණ කොමියුනිස්ට් සංවිධානය (කොම්සොමෝල්) විසින් ගමේ පාසලක් පටන් ගන්න ගමට එවන තරුණයෙක්. අල්තීනායි ඔහුගේ පාසලේ සිසුවියක් වන 14 හැවිරිදි තරුණියක්. දුයිෂෙන් ගේ පාසල ගැන ගැමියන් දක්වන්නේ උදාසීන ආකල්පයක්. දුයිෂෙන්ටත් හරියට අකුරු බෑ. නමුත් ඔහු විවිධ දුෂ්කරතා මධ්‍යයේ පාසල කරගෙන යනවා. ඒ අතරේ අල්තීනායි ගේ නැන්දා ඇයව බලෙන්ම පොහොසත් එඬේරෙකුට විවාහ කර දෙනවා. එඬේරාගේ කූඩාරම වෙත එන දුයිෂෙන් ඇයව බේරගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා නගරයට පිටත් කර හරිනවා. දුයිෂෙන් සහ අල්තීනායි අතර පවතින්නේ අප්‍රකාශිත ප්‍රේමයක්. නගරයේදී අධ්‍යාපනය ලබන අල්තීනායි මහාචාර්‍ය වරියක් බවට පත් වෙනවා. දෙවෙනි ලෝක යුධ සමයේදී හමුදාවට බැඳෙන දුයිෂෙන් යුධ පෙරමුණට යනවා. අල්තීනායි සහ දුයිෂෙන් එකිනෙකාගෙන වෙන් වෙනවා. අල්තීනායි හිතන්නේ ඔහු යුද්ධයෙන් මිය යන බව.

අල්තීනායි විවාහ වෙන අතර, ගමත් එක්ක ඇගේ සම්බන්ධකම් අඩු වෙනවා. දුයිෂෙන් යුද්ධයෙන් පසුව ගමට ඇවිත් ලියුම් බෙදන්නා සේ රැකියාව කරනවා. අල්තිනායි පාසල විවෘත කරන්න ගමට ආපසු දුයිෂෙන් තවම ජීවත් වෙන බව දැන ගන්නවා.

මේ කතාවෙන් කියැවෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයට පෙර කිර්ගීසියානු සමාජය සහ ඉන්පසු සමාජය අතර ගැටුම. දුයිෂෙන් ගෙන් සංකේතවත් වෙන්නේ කිර්ගීසියාවේ සෝවියට් ක්‍රමය ස්ථාපිත කළ දෙවෙනි ලෝක යුද්ධයට පෙර පරම්පරාව. අල්තීනායි ගෙන් සංකේතවත් වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයට පසු ලෝක බලවතෙක් සහ අභ්‍යාවකාශය තරණය කළ නූතන සෝවියට් දේශයේ සමාජය. 

ගැමියන් දුයිෂෙන් මහල්ලා ගැන "හරියට අකුරුවත් නොදැන ඉස්කෝලයක් කළ" වගේ උපහාසාත්මකව බලන අතර, මොස්කව් නුවර විශ්ව විද්‍යාලයක මහාචාර්‍ය වරියක් වන අල්තීනායි ගැන දක්වන්නේ ඉමහත් ගෞරවයක්. නමුත් අල්තීනායිව හදන්නේ දුයිෂෙන්. අකුරු නොදන්න නූගත් දුයිෂෙන් ගේ කැපවීම නොතිබුණා නම් අල්තීනායි මොස්කව් නුවර මහාචාර්‍ය වරියක් වෙනුවට එඬේරෙකුගේ බිරියක්. මේ කතාව 1962 සෝවියට් සමාජය තමාගේ අතීතය දැකපු හැටි ගැන කළ ස්වයං විවේචනයක්.

නමුත් ලංකාවේ පාඨකයා අතරට මේක ගිහින් තියෙන්නේ සමාජවාදී කැපවීම සහිත පරමාදර්ශී ගුරුවරයෙක් පිළිබඳ ආදර්ශමත් කතාවක් විදිහට. සමහරවිට ඒක පරිවර්තකයාගේ අරමුණ වෙන්න ඇති.

මේ කතාව ජමීලා තරම් විශිෂ්ඨ කෘතියක් නොවුනත්, සෑහෙන සාර්ථක නිර්මාණයක්.

Saturday, July 22, 2023

අලී ගේ ගණිත දැණුම

 

අලී ඉබ්න් අබු තාලිබ් කියන්නේ රෂිදුන් කිලාෆාතයේ හතරවැනි කලීෆා වරයා. ඔහු ප්‍රසිද්ධ වුනේ ඉතාම බුද්ධිමත් සහ ඉතාම සාධාරන කලීෆා වරයෙක් විදිහට.
 

=====================================

පබළු

දවසක් මිනිස්සු  දෙන්නෙක් කාන්තාරය මැදින් ගමනක් ගියා. ඔවුන් දෙදෙනාගෙන් එක්  අයෙක් ළඟ පාන් ගෙඩි (ගෙඩි කිව්වට ඒ කාලයේ අරාබි ජාතිකයන් කෑවේ පැතලි පාන්  වර්ගයක්) පහක් තිබුණා. අනෙක් කෙනා ළඟ පාන් ගෙඩි තුනක් තිබුණා.
 

ඔවුන්  දෙන්නා කෑම වෙලාව ආවම ගමන නතර කරලා, ඔටුවන් ගැට ගහලා, හෙවන ඇති  තැනක පලසක් එලලා කෑමට වාඩි වුනා. එතකොටම ඔවුන් දැක්කා තවත් මගියෙක් ඔටුවෙක්  පිටේ ඒ මගම එන හැටි. ඔවුන් තුන්වැනි මගියාටත් කෑමට ආරාධනා කළා. තුන්වැනියාත් ඔවුන් එක්ක කෑමට  වාඩි වුනා.
 

ඔවුන් තමන් ළඟ තිබුණ පාන් ගෙඩි අට සමානව බෙදා ගන්නේ  කොහොමද කියලා කල්පනා කළා. අට තුනට බෙදන්න බෑ නොවැ. අන්තිමේ ඔවුන් තීරණය කළා  හැම පාන් ගෙඩියම සමාන කොටස් තුනකට කඩන්න. ඒ විදිහට පාන් ගෙඩි අට කෑලි විසි  හතරකට කඩපු ඔවුන් එක් අයෙක් කෑලි අට බැගින් කෑවා.
 

කෑම වේල ඉවර කරලා  තුන්වැනි මගියා ඔවුන්ට ස්තූති කරලා යන්න පිටත් වුනා.  යන්න කලින් ඔහු  තමාගේ සත්කාරකයන් දෙන්නට තෑග්ගක් දෙන්න කල්පනා කළා.
 

"මම ළඟ තමුසෙලට දෙන්න කෑම මොකුත් නෑ. ඒ නිසා කෑම වේල වෙනුවෙන් තෑග්ගක් විදිහට මේ පබළු අට තියා ගන්න."
 

ඔහු අලංකාරව ඔප දැමූ පාට පබළු අටක් දීලා තමන්ගේ ගමන යන්න ගියා.
 

දැන් මේ පබළු අට බෙදා ගන්නේ කොහොමද? යාළුවෝ දෙන්නා අතරේ වාදයක් ඇති වුනා.
 

"මම පාන් ගෙඩි පහක් කෑමට දැම්මා. තමුසෙ දැම්මෙ තුනයි. ඒ නිසා මට පබළු පහක් ඕනෙ. තමුසෙ තුනක් ගන්නවා."
 

"එහෙම හරියන්නේ නෑ. අපි දෙන්නම ආගන්තුක සත්කාරය කරා. ඒ නිසා අපි පබළු හතර ගානෙ බෙදා ගමු."
ඔවුන්  අතරේ දිගටම වාදය ගියා. කූෆා නගරයට එනතුරුම එකඟතාවයකට එන්න බැරි වුනා.  අන්තිමේදි ඔවුන් තීරණය කළා කලීෆා වරයාට මේ නඩුව කියන්න. ඔවුන් අලී හමුවට  ගිහිල්ලා, අලී සහ රැස්ව සිටි පිරිස ඉදිරියේ තමාගේ කතාව කිව්වා.
 

අලී  සාවධානව ඔවුන්ගේ කතාවට ඇහුම් කන් දුන්නා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන  මොහොතක් කල්පනා කළා. රැස්ව සිටි පිරිස මුණු මුණු හඬින් තමාගේ අදහස් පළ  කරන්න පටන් ගත්තා.
 

අලී අතක් ඔසවලා පිරිස නිහඬ කළා. ඔහු තීන්දුව දෙන්න සූදානම්.
 

"පළමුවැන්නාට පබළු හතක් හිමි වෙන්න ඕනේ. දෙවැන්නාට එක පබළුවයි."
 

පිරිසට විමතියෙන් එකිනෙකාගේ මූණු බැළුවා. අලීට වැරදුනාවත් ද?
"කලීෆා තුමනී, අපිට මේ තීන්දුව තේරෙන්නේ නෑ"
 

අනුගාමිකයෙක් කිව්වා.
 

"පාන්  කෑලි විසි හතරක් තිබුණා. තුන් දෙනාම පාන් කෑලි අට බැගින් කෑවා. පාන් කෑළි  විසි හතරෙන් කෑලි පහළොවක් පළමුවැන්නා ගේ. නවයක් දෙවැන්නාගේ. ඒ කියන්නේ  පළමුවැන්නා තමාගේ කෑලි හතක් ආගන්තුකයාට දීලා තියෙනවා. දෙවැන්නා දීලා  තියෙන්නේ එකයි."
 

===================================== 

බෙදිල්ල

දවසක් අලී ගේ අනුගාමිකයෙක් ඔහුට ගණිත ගැටළුවක් ඉදිරිපත් කළා.
 

"කලීෆාතුමනී, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 යන සංඛ්‍යයා වලින් ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකද්ද?
 

අලී තමාගේ රැවුල අතගාලා උත්තර දුන්නා.
 

"අවුරුද්දකට තියෙන දවස් ගාන සතියකට තියෙන දවස් ගානෙන් වැඩි කරන්න. ඔබට පිළිතුර ලැබෙයි."
 

(අරාබි කැලැන්ඩරයට අනුව අවුරුද්දකට තියෙන්නේ දවස් 360 යි. එතකොට උත්තරය වෙන්නේ 360 x 7 = 2520)
 

=====================================

ඔටුවන් බෙදපු හැටි

දවසක් නගරයේ වෙළඳපොළේ මහ කලබගෑනියක්. ඔටුවන් විකුණන වෙළෙන්දෝ තුන් දෙනෙක් ඔටුවන් බෙදා ගන්න බැරුව වාද කරනවා.
 

වෙළඳාමට කලින් ඔවුන් ඇති කර ගත්ත එකඟතාවය අනුව ඔටුවන් බෙදා ගන්න ඕනේ පළවැනියාට ඔටුවන්ගෙන් බාගයකුත්, දෙවැනියාට ඔටුවන්ගෙන් තුනෙන් එකකුත්, තුන්වැනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකකුත් ලැබෙන විදිහට. ඒත් ඔවුන් ළඟ හිටියේ ඔටුවන් දහ හතක්. එකඟතාවයට අනුව ඔටුවන් බෙදාගන්න හැටි තමයි ඔවුන් වාද කළේ.
 

මේ වෙලාවේ අලී තමාගේ ඔටුවා පිටින් එතැනින් යන්න ගියා. කලබගෑනිය දැකලා ඔහු එතැනට ගියා. හැමෝම අයින් වෙලා කලීෆාවරයාට ඉඩ දුන්නා.
 

අලී මුලින්ම සාවධානව වෙළෙන්දන්ගේ කතාවට ඇහුම්කන් දුන්නා. ඊට පස්සෙ ඔහු ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළා. ඊට පස්සෙ ඔහු හිස ඔසවලා වෙළෙන්දන් තුන් දෙනා දිහා බැළුවා.
 

"මට අද ත්‍යාගශීලී බවක් දැනෙනවා. මම කැමතියි මගේ ඔටුවා ඔබට තෑගි දෙන්න."
 

ඔහු තමාගේ ඔටුවා ඔටුවන් රැළට එක් කළා. දැන් ඔටුවන් දහ අටක් ඉන්නවා.
 

"පළවෙනියට ඔටුවන්ගෙන් බාගයයි. ඔහුට ඔටුවන් නවයක් හිමියි."
 

අලී පළවෙනි වෙළෙන්දාට ඔටුවන් නවයක් දුන්නා.
 

"දෙවෙනියාට ඔටුවන් ගෙන් තුනෙන් එකයි. ඔහුට ඔටුවන් හයක් හිමියි."
 

අලී දෙවෙනි වෙළෙන්දාට ඔටුවන් හයක් දුන්නා.
 

"තුන්වෙනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකක්. ඔහුට ඔටුවන් දෙන්නෙක් හිමියි."
 

අලී තුන්වෙනි වෙළෙන්දාට ඔටුවන් දෙන්නෙක් දුන්නා.
 

9+6+2=17. දැන් එක ඔටුවෙක්, අලීගේ ඔටුවා, ඉතුරුයි.
 

"ආ, එහෙනං මම මේ ඔටුවා ගන්නම්."
 

අලී තමාගේ ඔටුවා පිට නැගලා තමාගේ ගමන යන්න පිටත් වුනා.
 

=====================================
 

මේ කතා ඇත්තද, හදපු කතාද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් වැදගත් වෙන්නේ මේ කතා ඇත්ත වුනත් හදපු කතා වුනත්, මේ කතා අරාබි ජන සාහිත්‍යයේ නිර්මානය වීම සහ පැවත ඒම. ඊටත් වඩා වැදගත් ඔවුන් මේ කතා කලීෆා වරයාට ආරෝපණය කිරීම. අරාබි සංස්කෘතියේ ගණිතයට තිබුණු තැන ඒකෙන් අපිට පේනවා.

Band of Brothers සහ Generation Kill

 

ලෝකයේ යුද්ධ ගැන චිත්‍රපටි සහ මාලා නාටක (TV series) ඉහේ කෙස් ගානට නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් විශිෂ්ඨ ගණයට දාන්න පුළුවන් චිත්‍රපටි විශාල සංඛාවක් තිබුණත්, විශිෂ්ඨ ගණයට දාන්න පුළුවන් මාලා නාටක තියෙන්නෙ අතළොස්සයි. ඒ අතරිනුත් වඩාත්ම විශිෂ්ඨ මාලා නාටක දෙක කියලා සලකන්න පුළුවන් Band of Brothers සහ Generation Kill.
 

Band of Brothers නිර්මාණය වෙන්නේ 1992 දී ස්ටීවන් ඇම්බ්‍රෝස් විසින් රචිත Band of Brothers පොත ඇසුරෙන් 2001 දි. මේක කොටස් 10 කින් සමන්විත මාලා නාටකයක්. මේ නිර්මාණයට මූලික වෙන්නේ හොලිවුඩයේ දැවැන්තයන් වෙන ටොම් හෑන්ක්ස්, එරික් ජෙන්ඩර්සන් සහ ස්ටීවන් ස්පිල්බර්ග්. මේ නිර්මානයට රංගනයෙන් දායක වුන නළුවන් රැසක් පසු කළෙක හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් බවට පත් වුනා.
 

Generation Kill නිර්මාණය වෙන්නේ 2004 දී එවාන් රයිට් විසින් රචිත Generation Kill පොත ඇසුරෙන් 2008 දී. මේක කොටස් 7 කින් සමන්විතයි. මේ නිර්මාණයට මූලික වෙන්නේ ඩේවිඩ් සිමොන්, එඩ් බර්න්ස්, එවාන් රයිට් සහ සුසානා වයිට්. මෙහි නිර්මාණ කරුවන් වගේම රංගනයෙන් දායක වුන නළුවන් හොලිවුඩ් සිනමාවේ එතරම් ප්‍රසිද්ධ අය නෙවෙයි.
 

නිර්මාණ දෙකේ මූලික සමානකම වෙන්නේ නිර්මාණයේ ආකෘතිය. නිර්මාණ දෙකටම පාදක වෙන්නේ ඇමරිකානු හමුදා භට පිරිසක් යුද්ධයේදී ලබන අත් දැකීම්.
 

Band of Brothers නිර්මාණයට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේ සටන් කළ ඇමරිකානු යුධ හමුදාවේ 506 වෙනි පැරෂුට් පාබල හමුදා රෙජිමේන්තුවේ E ඛන්ඩයේ (E Company, 506 Parachute Infantry Regiment) අත්දැකීම්.
 

Generation Kill නිර්මාණයට පාදක වෙන්නේ ඉරාක ආක්‍රමනයේ සටන් කළ ඇමරිකානු මැරීන් හමුදාවේ පළමුවෙනි පිරික්සුම් බැටෑලියනයේ (1st Reconnaissance Battalion) අත්දැකීම්.
 

නිර්මාණ දෙකේ ප්‍රධාන වෙනසක් වෙන්නේ කතාව කියන්නාගේ දෘෂ්ටි කෝණය. Band of Brothers පොත ලියැවෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් බොහෝ කලකට පසුව, අදාල හමුදා ඒකකයේ සෙබළුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරෙන්. මේ නිසා කතාව කියැවෙන්නේ සෙබළුන් ගේ දෘෂ්ටි කෝණයෙන්.
 

නමුත් Generation Kill පොත ලියැවෙන්නේ කතුවරයා යුධ වාර්තාකරුවෙක් විදිහට අදාල හමුදා ඒකකය සමඟ ඉරාක යුද්ධයේදී ගත කළ කාලයේ තමන් ලද අත්දැකීම් ඇසුරෙන්. මේ නිසා කතාව කියැවෙන්නේ පිටස්තරයෙකුගේ (වාර්තාකාරයාගේ) දෘෂ්ටි කෝණයෙන්.
 

මේ නිසාම Band of Brothers මාලා නාටකයේ ප්‍රධාන චරිත වෙන හමුදා සෙබළුන් නිරූපනය කෙරෙන්නේ යම්කිසි වීරත්වයකින්. ඒ නිරූපනය වඩා සමීප වෙන්නේ සාම්ප්‍රදායික "යුධ වීරයන්ගේ" භූමිකාවට. සමස්තයක් වශයෙන් හමුදාව සහ එහි සේවය කරන සෙබළු "සුදු" ආකාරයකට නිරූපණය කෙරෙනවා. නමුත් Generation Kill මාලා නාටකයේ ප්‍රධාන චරිත වෙන හමුදා සෙබළුන් නිරූපනය කෙරෙන්නේ වඩා යථාර්තවාදීව. හමුදාව සහ එහි සේවය කරන සෙබළුන් නිරූපනය කෙරෙන්නේ වඩා විවේචනාත්මකව.
 

නිර්මාණ දෙකේ තියෙන වඩාත්ම කැපී පෙනෙන වෙනස තමයි දෙවෙනි ලෝක යුද්ධයේදී සහ ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදා සෙබළුන් ලබන අත්දැකීම් වල ඇති වෙනස.
 

Band of Brothers මාලා නාටකයේදී අපිට හමුවන ඇමරිකානු සෙබළු සටන් වදින්නේ තාක්ෂනිකව තමන් සමඟ කරට කර ඉන්න සතුරෙක් සමඟ. බොහෝ අවස්ථා වලදී ජර්මන් හමුදාවේ ගිනි බලය ඔවුන්ගේ ගිනි බලය අභිබවා යනවා. මේ නිසා ඔවුන් මුහුණ දෙන සටන් ඉතාම බිහිසුණුයි. මාලා නාටකය පුරාවට අපිට හමුවන චරිත බොහෝ දෙනෙක් සටනින් මිය යනවා හෝ තුවාල ලබනවා. අවසාන අදියරේදී බොහෝ සෙබළුන් ඉන්නේ බිහිසුණු සටන් වලට දිගින් දිගටම මුහුණ දීම නිසා ඇතිවන අධික මානසික කම්පනයකින්.
 

Generation Kill මාලා නාටකයේදී ඇමරිකානු සෙබළු සටන් වදින්නේ තාක්ෂනිකව තමාට වඩා අතිශයින් පහත් තැනක ඉන්න සතුරෙක් සමඟ. ඇමරිකානු සෙබළු නවීන ප්‍රහාරක රයිෆල, මැෂින් තුවක්කු, ගුවන් සහ කාලතුවක්කු සහය සහිතව සටනට පිවිසෙන අතර, ඔවුන්ගේ සතුරා බොහෝ විට සන්නද්ධ වෙන්නේ AK47 රයිෆල සහ සුළු අවි වලින්. මේ නිසා අපි දකින බොහෝ සටන් අසමාන සටන්. ඇමරිකානු සෙබළු ඉතා පහසුවෙන් සටන් වලට මුහුණ දෙන අතර, මුළු මාලා නාටක පුරාවටම එකම ඇමරිකානු සෙබෙළෙක් වත් මිය යන්නේ නෑ. ඇමරිකානු 

සෙබළුන්ගේ මානසික කම්පනයට හේතුවන ප්‍රධාන කරුණ වෙන්නේ තමා මුහුණ දෙන අවදානම නොව, තමාගේ දැවැන්ත ගිනි බලය හමුවේ ඉරාකයෙ සිවිල් වැසියන් බුරුතු පිටින් මියයාම.
 

මේක දෙවෙනි ලෝක යුද්ධ සමයේ සහ නිරවි යුද්ධයට පසු සමයේ ලෝක දේශපාලනයේ බල තුළනය වෙනස් වූ ආකාරය පිළිබඳ හොඳ දර්ශකයක්.
 

නිර්මාණ දෙක අතර තියෙන තවත් පැහැදිලි වෙනසක් වෙන්නේ ඇමරිකානු සෙබළුන් යුද්ධය ගැන දක්වන ආකල්පය. නිර්මාණ දෙකටම පාදක වෙන හමුදා ඒකක ඇමරිකානු හමුදාවේ උසස්ම පුහුණුවක් සහිත, විශිෂ්ඨ සෙබළුන්ගෙන් සමන්විත ඒකක දෙකක්. නමුත් Band of Brothers හි සෙබළුන් යුද්ධය ගැන දක්වන්නේ තමා මුහුණ දිය යුතු ඍනාත්මක අත්දැකීමක් විදිහට. ඔවුන් කිසි ලෙසකින්වත් බියගුළුබවක් ප්‍රදර්ශනය නොකළත්, ඔවුන් සටන් වැදීම ප්‍රිය කරන්නේත් නෑ. නමුත් Generation Kill හි සෙබළුන් ඉන්නේ සටන් වැදීමට ඉතා දැඩි ආශාවෙන්. සටනට වැදී සතුරා මරා දැමීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වෙනවා. සතුරා මුණ නොගැසෙන අවස්ථා වලදී ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා.


මේකට හේතු දෙකක් දකින්න පුළුවන්. දෙවෙනි ලෝක යුධ සමයේ ඇමරිකානු හමුදාවේ සේවය කළ සෙබළුන්ගෙන් අති බහුතරය අනිවාර්‍ය යුධ සේවය (draft) යටතේ හමුදාවය බඳවාගත් අය. නමුත් වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකාව මේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තමාගේ හමුදාවන් 100% ක් ම ස්වේච්ඡා සෙබළුන්ගෙන් සමන්විත වෘත්තීය හමුදාවක් බවට පත් කළා. මේ වෙනස නිර්මාණ දෙකේ පැහැදිලිවම දකින්න පුළුවන්.
මේක ඇමරිකානු හමුදාව පසුගිය අඩ සියවස තුළ පරිනාමය වුනු ආකාරය ගැන හොඳ දර්ශකයක් සපයනවා.
 

අනෙක් හේතුව වෙන්නේ නිර්මාණ දෙකට පාදක වෙන හමුදා ඒකක වල වෙනස. Band of Brothers නිර්මාණයට පාදක වෙන්නේ ඇමරිකානු යුධ හමුදාවේ ඒකකයක් වන අතර, Generation Kill නිර්මාණයට පාදක වෙන්නේ ඇමරිකානු මැරීන් හමුදාවේ ඒකකයක්. මැරීන් සෙබළුන් ගේ ආකල්ප වඩා ආක්‍රමනශීලී සහ රණකාමීයි.
 

නිර්මාණ දෙකේ වැදගත්ම වෙනස වෙන්නේ නිර්මාණය සහ නිර්මාණයේ සිටින චරිත යුද්ධයේ අරමුණ දකින ආකාරය. Band of Brothers යුද්ධය බිහිසුණු ආකාරයෙන් නිරූපණය කළත්, එහි අවසාන අරමුණ යහපත් බව පෙන්වනවා. සෙබළුන් තුළ "මම සටන් කරන්නේ ඇයි?" කියන සැකය මතු වුනත්, 9 වැනි කථා අංගයේ දී (Why We Fight) නාසි ඝාතක කඳවුරක් හරහා ඒ සැකය දුරු කර දැමෙනවා. පොදුවේ ඇමරිකානු සමාජය දෙවෙනි ලෝක යුද්ධය දකින ආකාරය මෙහිදී පිළිබිඹු වෙනවා. දෙවෙනි ලෝක යුද්ධය පොදු සමාජයේ දකින්නේ අතිශය කුරිරු සතුරෙකුට එරෙහිව කළ "හොඳ යුද්ධයක්" විදිහට. මේ නිසා යුද්ධයේ සටන් වදින සෙබළුන් හට අනිවාර්‍යයෙන්ම දේශපාලන අරමුණක් ලැබෙනවා.
 

නමුත් Generation Kill යුද්ධය සහ එහි අරමුණ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. මෙහිදී වැදගත්ම සාධකය වෙන්නේ සටනට වැදීමට නොඉවසිල්ලෙන් බලාසිටින අතිශය ආක්‍රමනශීලී මැරීන් සෙබළු යුද්ධය ගැන දරන්නේ "මේක නිරර්ථක යුද්ධයක්" යන ආකල්පය වීම. ඔවුන් යුද්ධයට එලැඹෙන්නේ හුදෙක් වෘත්තීයමය ස්වරූපයකින් පමණයි. ඇමරිකාවේ ඉරාක ආක්‍රමනය දේශපාලනිකව නිෂ්ඵල ව්‍යායාමයක් බව ඔවුන් මුල සිටම දන්නවා. ඒත් ඔවුන් ඒ ගැන තැකීමක් කරන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමාගේ වෘත්තීයේ විශිෂ්ඨයන් බවට පත් වීම.
මෙහිදී දකින්න පුළුවන් වැදගත් දෙය තමයි ඇමරිකාව විසින් තමාගේ ප්‍රශ්නකාරී යුධ ව්‍යාපෘතීන් සඳහා යොදවා ගැනීමට දේශපාලනයෙන් සම්පූර්නයෙන්ම වගේ වියුක්ත කළ වෘත්තීය සෙබළෙක් නිර්මානය කිරීමට සමත් වීම. මේ නිසා තව දුරටත් දෙවෙනි ලෝක යුද්ධයේදී මෙන් සටන් කිරීම සඳහා සෙබළුන්ට "සාධාරණ අරමුණක්" ලබාදීමේ අවශ්‍යතාවයක් නෑ. තමා සහභාගී වෙන යුද්ධය කොයි තරම් ප්‍රශ්නකාරී වුනත් තමාගේ උපරිමය ඒ සඳහා දායක කරන සෙබළෙක් ඇමරිකාවට ඉන්නවා.
 

නමුත් Generation Kill හි අපිට හමුවෙන දේශපාලනයෙන් වියුක්ත වෘත්තීය මැරීන් සෙබළු තමා අතින් බුරුතු පිටින් මිය යන සිවිල් වැසියන් ගැන කම්පා වෙනවා. ඇත්තෙන්ම මෙහිදී රචකයා මතු කරන ප්‍රධාන කරුණක් වෙන්නේ ඇමරිකානු හමුදා සෙබළුන් ඇමරිකානු සාමාන්‍යය පොදු සමාජයට වඩා මේ මරණ ගැන සංවේදී  බව. රචකයා ගේ පුද්ගලික අත්දැකීම් මත කතාව ලියැවී ඇති නිසා මේක ඇත්තක් බව හිතන්න පුළුවන්.
 

දෙකෙන් වඩා හොඳ නිර්මාණය මොකද්ද? මගේ අදහස නම් සිනමාත්මක අතින් Band of Brothers වඩා ඉදිරියෙන් සිටින බවයි. කලාත්මක සහ තාක්ෂනික අංශ දෙකෙන්ම Band of Brothers ඉතාම උසස් නිර්මාණයක්. ඒ වගේම එහි හොඳින් වර්ධනය කළ කථාවක් තියෙනවා. සමස්තයක් විදිහට Band of Brothers පුළුල් ප්‍රේක්ෂක පිරිසකට රස විඳින්න පුළුවන් නිර්මාණයක්.
 

නමුත් Generation Kill අනුගමනය කරන්නේ සිනමාත්මක රීතියකට වඩා වාර්තාමය රීතියක්. එය ආකෘතියෙන් වාර්තා චිත්‍රපටියකට සමාන වෙනවා. ඇත්තෙන්ම නිරවද්‍යතාවය අතින් එය වාර්තා චිත්‍රපටියකටත් වඩා ඉදිරියෙන් තියෙනවා කියන්නෙ පුළුවන්. එහි වර්ධනය වුනු කථාවක් නෑ. තියෙන්නේ හුදෙක් සිදුවීම් ටිකක් විතරයි. නිර්මාණයේ අරමුණ "මෙහෙම දේවල් ටිකක් සිද්ධ වුනා" කියන එක.
 

ඔබට අවශ්‍යය වෙන්නේ උසස් සිනමාත්මක අත්දැකීමක් නම් Band of Brothers තෝරා ගත යුතුයි.
නමුත් ඔබට අවශ්‍යය වෙන්නේ යුද්ධයේ නිරුවත් සොබාවය අමුඅමුවේ අත් විඳින්න නම් Generation Kill තෝරා ගත යුතුයි.

උමර් ගේ අවසාන ඉල්ලීම

 

මුහම්මද් තුමා මිය ගියේ ක්‍රි.ව. 632 දී. එතුමාගේ නිවස පිහිටා තිබුණේ මදීනා නගරයේ පිහිටි "දිවැසිවරයාගේ මස්ජීදය" (අල්-මස්ජීද් අන්-නබවි) ට යාබදව. නිවස කිව්වට ඒක තාප්පයකින් වටවුනු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටි ගණනාවක්. මේ එක් එක් කුටියේ මුහම්මද් තුමාගේ බිරින්දෑවරු සහ එතුමාගේ දියණිය වුනු ෆාතිමා සහ ඇගේ සැමියා වුනු අලී වාසය කළා.
 

මුහම්මද තුමා මිය ගියේ ඔහුගේ එක් බිරිඳක් වුනු ආයිෂාගේ කුටියේදී. ඔහුගේ අනුගාමිකයන් ඔහුව මිහිදන් කළේ ඔහු මියගිය තැනමයි (ඒ කියන්නේ ආයිෂා ගේ කුටිය තුළ). මුහම්මද් තුමාගේ සොහොන් ගැබ තිබියදීම ආයිෂා මේ කුඩා කුටියේ දිගටම වාසය කළා.
 

මුහම්ම්ද් තුමාගෙන් පසුව ඉස්ලාමීය රාජ්‍යයේ නායකත්වයට පත් වුනේ ආයිෂා ගේ පියා වුනු අබු බක්ර්. ඔහු කලීෆා තනතුර දැරුවේ අවුරුදු දෙකක් පමණයි. 634 දී ඔහුත් මිය ගියා. ආයිෂාගේ ඉල්ලීම අනුව ඔහුවත් මිහිදන් කෙරුනේ මුහම්මද් තුමාගේ සොහොන් ගැබ අසලින්මයි. කුඩා කුටියේ සොහොන් දෙකකට ඉඩ වෙන්වුනු පසු ආයිෂාට ඉතිරි වුනේ කුඩා බිම් තීරුවක් විතරයි. ඇය ඒ බිම් කොටසේ දිගටම වාසය කළා. ඇගේ බලාපොරොත්තුව වුනේ ඇය මිය ගිය පසු ඒ බිම් කොටසේ ඇගේ සැමියා සහ පියා අසලින්ම මිහිදන් වෙන්න.
 

අබු බක්ර් ගෙන් පසු කලීෆා තනතුරට පත් වුනේ උමර් ඉබ්න් අල්-කත්තාබ්. උමර් අවුරුදු 10 ක් කලීෆා තනතුර දැරුවා. ඔහු ගේ පාලන සමයේදී ඉස්ලාමීය රාජ්‍යය ලෝකයේ විශාලම, ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය බවට පත් වුනා.
 

උමර් මරණ මංචකයේ සිටියදී ඔහුගේ අවසාන කැමැත්ත වුනේ මුහම්මද් තුමා සහ අබු බක්ර් ගේ අසලින් මිහිදන් වෙන්න. ඒත් එතැන ඉඩ තිබුණේ තවත් එක් සොහොන් ගැබකට පමණක් බවත්, ආයිෂා ඒ ඉඩ තමා වෙනුවෙන් වෙන් කරගෙන සිටි බවත් ඔහු දැන සිටියා.
 

කලීෆා වරයා විදිහට ඔහුට තිබුණේ අණක් නිකුත් කරන්න විතරයි. ඒත් ඔහු තමාගේ අවසාන අණ එවැන්නක් වීම ප්‍රිය කළේ නෑ. මේ නිසා ඔහු තමාගේ පුතා වුනු අබ්දුල්ලා ඉබ්න් උමර් කැඳවා ඔහුට උපදෙස් දුන්නා.
 

"ආයිෂා වෙත ගිහින් ඇයගෙන් මගේ අවසාන ඉල්ලීම කරන්න. ඒත් ඉල්ලීම කරන්නේ "කලීෆා උමර්" කියල කියන්න එපා. ඉල්ලීම කරන්නේ "මගේ පියා උමර්" කියලා කියන්න. ඇය ප්‍රතික්ෂේප කළොත් හෝ පැකිළුනොත් වචනයක් වත් නොකියා අපහු හැරිලා එන්න. ඇය එකඟ වුනොත් ගෞරවයෙන් එය පිළිගන්න."
 

අබ්දුල්ලා තමාගේ පියාගේ ඉල්ලීමත් සමඟ ආයිෂා වෙත ගියා.
 

"මම උමර් ඇර වෙන කිසිම කෙනෙක් මේ ඉල්ලීම කළා නම් එකඟ වෙන්නේ නෑ. ඒත් උමර් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මට බෑ"
 

ආයිෂා එයට එකඟ වුනා. ඒ අනුව උමර් ඉබ්න් අල්-කත්තාබ් මුහම්මද් තුමා සහ අබු බක්ර් අසලින්ම මිහිදන් කෙරුනා.
 

එතෙක් ආයිෂා ගේ කුටියේ තිබුණේ ඇගේ සැමියාගේ සහ සහ පියාගේ සොහොන් පමණයි. ඒත් උමර් කියන්නේ ඇගේ නෑයෙක් නෙවෙයි. ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවකට තම නෑයෙක් නොවන පිරිමියෙක් ඉදිරියේ සිරුර ආවරණය නොකර ඉන්න බෑ. මේ නිසා ආයිෂා සොහොන් තුන ආවරණය වෙන විදිහට ඇගේ කුටිය හරහා තිරයක් එල්ලුවා.
 

සොහොන් ගැබ් තුනකට ඉඩ වෙන්වූ පසු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටියෙන් ආයිෂාට ඉතිරි වුනේ ඉතා කුඩා ඉඩක් පමණයි. නමුත් ඇය මේ කුඩා කුටියේ තවත් අවුරුදු 34 ක් ජීවත් වුනා.
 

678 දී ඇය මිය ගිය පසු ඇයව මදීනා නගරයේ පොදු සුසාන භූමියේ මුහම්මද් තුමාගේ අනෙක් බිරින්දෑ වරුන් අසලින් මිහිදන් කෙරුණා.

ආමෙගඩන්

 

හීබෲ භාෂාවෙන් "ටෙල්" කියලා හඳුන්වන්නේ දීර්ඝ කාලයක් මිනිස් වාසයන් පැවතීම නිසා ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වූ තැනකට. මේ වගේ තැනක් හැදෙන්නේ තැනි බිමක තියෙන මිනිස් ජනාවාසයක්  දීර්ඝ කාලයක් තිස්සේ එක මත එක ගොඩනැගිලි ඉඳි කිරීමෙන් ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වීමෙන්. අවුරුදු දහස් ගානක් තිස්සේ ජනාවාස පැවතුනු ඊශ්‍රායලයේ මේ වගේ "ටෙල්" කියල හඳුන්වන තැන් රාශියක් තියෙනවා. වර්තමාන ඊශ්‍රායලයේ අගනුවර වන "ටෙල් අවිව්" නගරයත් ඊට උදාහරණයක්.
 

ඊශ්‍රායලයේ උතුරට වෙන්න තියෙනවා "ටෙල් මෙගීඩෝ" කියල හඳුන්වන පැරණි නගරයක්. මේ නගරය ඉතාම වැදගත් වෙන්නේ ඊජිප්තුව සහ ආසියාව යා කළ වෙළඳ මාර්ගය මේ නගරය අසලින් වැටී තිබීම නිසා. ටෙල් මෙගිඩෝ නගරය ක්‍රි.පූ. 5000 පමණ සිට අඛන්ඩ මිනිස් ජනාවාසයක්ව පැවතුනා.
 

ටෙල් මෙගීඩෝ නගරය අවට පිහිටි තැනි බිම් වලින් ඉහලට එසැවුනු තරමක් විශාල කඳු ගැටයක ස්වරූපයෙන් වර්තමානයේ දකින්න පුළුවන්.
 

නව තෙස්තමේන්තුව හෙවත් ක්‍රිස්තියානි බයිබලයේ අවසාන පොත වෙන්නේ "එළිදරව්ව" (Book of Revelation). මේ පොතේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෝක විනාශය ගැන. එහිදී ලෝකාවසාන සමයේ සිදුවන බිහිසුණු යුද්ධයක් ගැන කියැවෙනවා.
 

එළිදරව්වේ 16 වැනි පරිච්ඡේදයේ 12 සිට 16 දක්වා වන වාක්‍යයන් වෙන් වෙන්නේ මේ යුද්ධය ගැන කියන්න. එහි කියැවෙන අන්දමට,
 

"සය වැනි දේව දූතයා තමා අත වූ බඳුන යුප්‍රටීස් ගංගාව වෙත හැලීය. එවිට එහි ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගියේය. ඒ පෙරදිග සිට පැමිණෙන රජවරුන්ට [තමාගේ හමුදාව ගඟ තරණය කරවීමට] මග සූදානම් කළ හැකි ලෙසය." (16:12)
 

"මම එවිට ගෙම්බන් වැනි අශුද්ධ ආත්මයන් තුනක් මකරාගේ, මෘගයාගේ සහ ව්‍යාජ දිවැසිවරයාගේ මුවින් නික්මෙනු දුටුවෙමි." (16:13)
 

"ඔවුන් යක්ෂයන් ගේ ආත්මයන් ය. ඔවුන් නොයෙකුත් ප්‍රාතිහාර්‍යයන් පෑ අතර, ඒවා ලෝකයේ රජවරුන් සහ මිනිසුන් අතරට ගොස් දෙවියන් වහන්සේ ගේ විශිෂ්ඨ [යේසුස් වහන්සේ නැවත පැමිණෙන] දිනයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් ඒකරාශි කරවීය." (16:14)
 

"බලනු, මම සොරෙක් ලෙස ඔබ වෙත පැමිණෙමි. සූදානමින් බලාසිටින්නා සහ තමාගේ වස්ත්‍රයන් ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලද්දෝය. එසේ නොවන්නා නිරුවතින් ඇවිද යනු ලබන අතර, ඔහුගේ ලජ්ජාව ප්‍රදර්ශනය කරයි" [යේසුස් වහන්සේ කීය]." (16:15)
 

"එවිට ඔවුන් සියල්ලෝම හීබෲ බසින් ආමෙගඩන් නමින් හැඳින්වෙන ස්ථානයට එක් රැස් වූහ." (16:16)
මේ කියැවෙන ආකාරයට යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට ලෝකයේ සියළුම රටවල පාලකයන් එතුමන්ට එරෙහිව හමුදා රැස් කොට යුප්‍රටීස් ගංගාව තරණය කොට "ආමෙගඩන්" නමින් හැඳින්වෙන තැනකට රැස් වෙනවා. හොඳ සහ නරක අතර බිහිසුණු සටනක් මෙතැනදී සිදුවන අතර, එහිදී යේසුස් වහන්සේ තමාට එරෙහිව එන සේනාව පරදවා ජය ගැනීමට සමත් වෙනවා.
 

මේ "ආමෙගඩන්" නමින් ග්‍රීක් බසට පරිවර්තනය කරල තියෙන්නේ "හර් මෙගීඩෝ" කියන හීබෲ වචනය. ඒ කියන්නේ "මෙගීඩො කන්ද". එහෙම නැත්තම් ටෙල් මෙගීඩෝ නගරය.