Saturday, July 22, 2023

නිරයේ නිම්නය

 

ඊශ්‍රායලයේ ජෙරුසෙලම් නගරයට යාබදව තියෙන නිම්නයක් හැඳින්වෙන්නේ "වදි අර්-රබාබි" නමින්. වදි අර්-රබාබි කියන අරාබි නමේ තේරුම "රෙබාබ් නිම්නය". රෙබාබ් කියන්නේ අරාබි ජාතිකයන් අතර භාවිතා වෙන වයලීනයකට සමාන සංගීත භාණ්ඩයක්. මේ නිම්නයට මේ නම ලැබුණේ පලස්තීනය අරාබි රාජ්‍යයක්ව පැවති කාලයේ. 

ඒත්, ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ව පැවති අතීතයේ මේ නිම්නය හැඳින්වුනේ "ගේ බෙන් හින්නොම්" නැතිනම් "ගේ හින්නොම්" කියන නම් වලින්. මේ හීබෲ නමේ තේරුම "හින්නොම් ගේ පුතාගේ නිම්නය" නැත්නම් "හින්නොම් ගේ නිම්නය".
 

හින්නොම් නිම්නය තියෙන්නේ පැරණි ජෙරුසෙලම් නගරයට දකුණින් නගරයට යාබදව. නිම්නය සහ පැරණි ජෙරුසෙලම් නගරය අතර තමයි සයොන් කන්ද පිහිටලා තියෙන්නේ.


හින්නොම් නිම්නය බයිබලයේ සඳහන් වෙන්නේ ඉතාම බිහිසුණු කටයුත්තක් වෙනුවෙන්. ඒ කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කළ ස්ථානයක් විදිහට.
 

මේ සිරිත පටන් ගන්නේ ජුදා රාජධාණියේ අහාස් රජතුමා විසින්. අහාස් රජතුමා ඇසිරියානු අධිරාජ්‍යය සමඟ මිත්‍ර සන්ධානයකට එළැඹී, ඇසිරියානු ආගම අනුව යුදෙව් ආගම වෙනස් කිරීමට උත්සහ කළ කෙනෙක්. ඔහු තමාගේ ප්‍රධාන බිරිඳගේ පුතා හැර අනෙක් පුතුන් හින්නොම් නිම්නයේදී මොලොක් නම් දෙවියාට ගින්නෙක් දවා පූජා කළ බව සඳහන්. සමහරවිට මෙය කරන්න ඇත්තේ ඔහුගෙන් පසු සිහසුනට ඇතිවිය හැකි ආරවුල් වලින් මිදීමට වෙන්න ඇති. මේ සිරිත ඔහුගේ මුණුපුරා වූ මනාස්සේ රජු ගේ කාලයේත් දිගටම පැවතුනු බව බයිබලයේ සඳහන් වෙනවා.
මේ නිසා හින්නොම් නිම්නයේදී කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කිරීම ක්‍රි.පූ. 730-640 අතර කාලයේ යුදෙව්වන් අතර පැවති සිරිතක් බව හිතන්න පුළුවන්. මේ සිරිත බයිබලයේ දැඩි ලෙස පිළිකෙව් කරමින් හෙළා දකින අතර, දෙවියන් ගේ ශාපය යුදෙව්වන්ට සහ හින්නොම් නිම්නයට එල්ල වූ බව සඳහන් වෙනවා.
 

මුල් කාලීන යුදෙව් ආගමේ මරණින් මතු ජීවිතයක් හෝ ජීවත්ව සිටි කාලයේ සිදු කරන අයහපත් ක්‍රියා වෙනුවෙන් දඬුවම් ලැබීමක් ගැන සඳහන් වෙන්නේ නෑ. මිය ගිය අයගේ ආත්ම "ෂෙඕල් (Sheol)" නමින් හැඳින්වුන ස්ථානයකට යන බව සඳහන් වුනත්, ඔවුන්ව විනිශ්චය කිරීමක් හෝ අපායක්, දිව්‍යලෝකයක් ගැන සඳහන් වෙන්නේ නෑ.
 

නමුත් බැබිලෝනියානු පිටුවහල් කාලයේදී විනිශ්චය, මරණින් මතු ජීවිතය, අපාය සහ දිව්‍ය ලෝකය පිළිබඳ අදහස් යුදෙව් ආගමේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහිදී අපාය වෙනුවෙන් ඔවුන් යොදා ගන්න නම වෙන්නේ "ගෙහින්නොම්". දෙවියන්ගේ ශාපයට ලක් වූ හින්නොම් නිම්නය සහ එහි සිදු කළ බිහිසුණු බිලි පූජාවන් පිළිබඳ අඳුරු මතකයන් මේ සඳහා පාදක වෙන්න ඇති.
 

ක්‍රිස්තියානි ආගම බිහි වෙනවිට, "ගෙහින්නොම්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "ගෙහෙන්නා (Gehenna)" විදිහට. "ෂෙඕල්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "හේඩ්ස් (Hades)" විදිහට. හේඩ්ස් කියන්නේ මළවුන්ට අධිපති ග්‍රීක දෙවියා. බයිබලය ඉංග්‍රීසි බසට පරිවර්තනය වෙද්දී "ගෙහෙන්නා" පරිවර්තනය වුනේ "හෙල් (Hell)" විදිහට.
 

ඒ විතරක් නෙවෙයි. ඉස්ලාම් ආගමේ අපාය හැඳින්වෙන්නේ "ජහන්නම් (Jahannam)" නමින්. ඒ වචනයේ මූලයත් "ගෙහෙන්නා" කියන හීබෲ වචනයමයි.
 

අතීතයේ සිදුවුනු බිලි පූජාවන්ගේ බිහිසුණු මතකයන් රඳවා ගත් නිරයේ නිම්නය හෙවත් "ගේ හින්නොම්" නිම්නය අදටත් ජෙරුසෙලම් නගරයේදී දකින්න පුළුවන්. බිලි පූජා සඳහා භාවිතා කළා යැයි සිතිය හැකි අල්තාරයන්ගේ නටබුන් අදටත් දකින්න පුළුවන්.



Saturday, July 15, 2023

යුදෙව් ආගමේ විකාශය

 

යුදෙව් ආගමේ ආරම්භය

යුදෙව් ආගමික මූලාශ්‍ර වලට අනුව දෙවියන් වහන්සේ හොරෙබ් කන්ද මතදී ගිනිගෙන දැවෙන පඳුරක වෙසින් මෝසස් වෙත පෙනී සිටීම යුදෙව් ආගමේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. මීට කලින් අවස්ථා වලදී දෙවියන් වහන්සේ නෝවා සහ ඒබ්‍රහම් ඇතුළු වෙනත් දිවැසි වරු ගණනාවක් සමඟ සන්නිවේදය කළත්, යුදෙව් ආගමේ නිශ්චිත ආරම්භය කියලා සලකන්න පුළුවන් වෙන්නේ ඉහත අවස්ථාව.

නමුත් මේ සිද්ධිය ඓහික ඉතිහාසඥයන් පිළිගන්නේ නෑ. ඒ නිසා ඓහික කෝණයකින් බලන විට යුදෙව් ආගමේ ආරම්භය අවිනිශ්චිතයි.

කෙසේ වෙතත්, ක්‍රි.පූ. 1000 පමණ වන විට වර්තමාන ඊශ්‍රායලය සහ පලස්තීනයට අයත් භූමියේ (කනානයේ) ඊශ්‍රායල් සහ යුදා නම් රාජධාණි දෙකක් පැවතුනු බවත්, මේ රාජධාණි දෙකේ ජනතාව එකම භාෂාවක් (හීබෲ) කතා කළ, එකම ආගමක් ඇදහූ, එකම සංස්කෘතියකට අයත් වූ බව ඓතිහාසික සත්‍යයක් වශයෙන් පිළිගන්න පුළුවන්.

ඊශ්‍රායල් සහ යුදා රාජධානි

 මේ ජනතාව "ඊශ්‍රායල්" නමින් හැඳින්වුන එකම ජනවර්ගයකට අයත් වුනා. මේ ජන වර්ගය ගෝත්‍ර දොළහකින් සමන්විත වුනා. මේ ගෝත්‍ර දොළහෙන් යුදා සහ බෙන්ජමින් ගෝත්‍ර දෙක ජෙරුසෙලම අගනුවර කරගත් යුදා රාජධානියේ වාසය කළ අතර, අනෙක් ගෝත්‍ර දහය සමාරියා නගරය අගනුවර කරගත් ඊශ්‍රායල් රාජධානියේ වාසය කළා.

මේ ජනතාවගේ ආගම වර්තමාන යුදෙව් ආගමේ මූලාරම්භක අවස්ථාව වශයෙන් සලකන්න පුළුවන්.

මේ ආගම "යාහ්වේහ්" නමින් හැඳින්වුනු එක දෙවියෙක් කෙරෙහි විශ්වාසය තැබූ අතර, එහි ප්‍රධාන විශ්වාසයන් වුනේ:

1. යාහ්වේහ් ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන් බව
2. ඊශ්‍රායල් ජනතාව දෙවියන් ගේ තෝරාගත් ජනතාව බව
3. ඊශ්‍රායල් ජනතාව දෙවියන් විසින් දිවැසි වරු හරහා ලබා දුන් දැණුම් සහ නීති පද්ධතියකට අනුව ජීවත් විය යුතු බව
4. කනානය ඊශ්‍රායල් ජනතාවගේ භූමිය ලෙස ඔවුන්ට ලබා දෙන බවට දෙවියන් ඔවුන්ට පොරොන්දු වූ බව

මේ දෙවියන්ගේ ප්‍රධාන දේවස්ථානය ජෙරුසෙලම් නගරයේ පිහිටා තිබුණු අතර, ආගම කේන්ද්‍රගත වුනේ මේ දේවස්ථානය වටා. මේ දේවස්ථානයේ සේවය කළ පූජකයන් ආගමේ ප්‍රධාන බලධාරීන් වුනා. 

මේ ආගම ආගමික වතාවත්, සිරිත් විරිත් සහ ආගමේ සංවිධානය අතින් වර්තමාන යුදෙව් ආගමට වඩා සෑහෙන වෙනස් ස්වරූපයක් ගත්තා.


විදෙස් ආක්‍රමන සහ බැබිලෝනියානු පිටුවහල් කිරීම

ක්‍රි.පූ. 732-720 කාලයේදී ඇසිරියානු අධිරාජ්‍යය ඊශ්‍රායල් රාජධානිය ආක්‍රමනය කළ අතර, එය සම්පූර්ණයෙන් විනාශයට පත් කර දැමුනා. එහි ජනතාවගෙන් කොටසක් අසල්වැසි යුදා රාජධානියට පළා ගියා. ඉතිරිවුනු අයෙගෙන් බහුතරය ඇසිරියානු අධිරාජ්‍යයේ ඈත ප්‍රදේශ වලට පිටුවහල් කෙරුණා.

ක්‍රි.පූ. 589 දී බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් යුදා රාජධානිය ආක්‍රමනය කළ අතර එයටත් අත් වුනේ ඊශ්‍රායල් රාජධානියට අත්වුනු ඉරණම මයි. ජෙරුසෙලමේ දේවස්ථානය විනාශ කෙරුණු අතර නගරය සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය කෙරුනා. යුදාවේ වංශවතුන්ගෙන් බහුතරයක් බැබිලෝනියාවට වහලුන් ලෙස පිටුවහල් කෙරුණු අතර සාමාන්‍යය වැසියන් බහුතරයක් අසල්වැසි ප්‍රදේශ වලට පලා ගියා.

යුදා රාජධානියේ ආගමික විද්වතුන් බොහෝ දෙනා බැබිලෝනියාවට පිටුවහල් කෙරුණු අතර, බැබිලෝනියාවේදී ඔවුන්ගේ ආගම විශාල පරිවර්තනයකට ලක් වුනා.

ප්‍රධාන වෙනස වුනේ එතෙක් කල් දේවස්ථානය, එහි සිදු කෙරුණු ආගමික වතාවත් සහ ඒ ආගමික වතාවත් කළ පූජකයන් වටා කේන්ද්‍රගත වුනු ආගමට දේවස්ථානයේ විනාශයත් සමඟම ඒ කේන්ද්‍රය අහිමි වීම. ඒ නිසා බැබිලෝනියාවේදී ආගමේ කේන්ද්‍රය ආගමික ලියැවිලි සහ ඒ ලියැවිලි පවත්වාගෙන ගිය, ඒවා ගැන හැදෑරීම් කළ ආගමික විද්වතුන් වෙත මාරු වුනා. 

ක්‍රි.පූ. 550 දී බැබිලෝනියාව පර්සියානු අධිරාජ්‍යයට යටත් වුනා. පර්සියානු අධිරාජ්‍යයා වුනු මහා සයිරස් ක්‍රි.පූ. 539 දී ඔවුන්ට නැවතත් මව්බිම කරා පැමිණීමට අවසර දුන්නා. එතැන් සිට ඔවුන් පැවතුනේ පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට. පර්සියානුවන්මේ ප්‍රාන්තය හැඳින්වූයේ "යෙහූද්" (යුදා කියන වචනය පර්සියානු භාෂාවට පැමිණීමේදී විකෘති වුනු ආකාරය) නමින්. යෙහූද් හි වැසියන් "යුදෙව්වන්" ලෙසත්, ඔවුන්ගේ ආගම "යුදෙව් ආගම" ලෙසත් හැඳින්වුනා.

මේ කාලයේදී පර්සියානු ආගමේ බලපෑමට යුදෙව් ආගම ලක් වුනු අතර, ප්‍රධානම බලපෑම වුනේ මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයන් යුදෙව් ආගමට ඇතුළු වීම. පසුව මේ ප්‍රාන්තය මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක පාලනයටත් ඉන්පසු රෝම පාලනයටත් නතු වූ අතර, ඒ හරහා ග්‍රීක ආගමේ බලපෑමටත් ලක් වුනා.

ඊට අමතරව ලෝකය නිර්මාණය, ප්‍රථම මිනිසා වූ ආදම් නිර්මාණය සහ ජල ගැල්ම පිළිබඳ කතා පැරණි සුමේරියානු ආගමික කතා වලට විශාල වශයෙන් සමාන නිසා ඒ කතා බැබිලෝනියානු පිටුවහල් සමයේදී බැබිලෝනියානු ආගමෙන් යුදෙව් ආගමට එකතු වුනු බව සමහර ඉතිහාසඥයන් අදහස් කරනවා. ඒත් ඒක හරියටම නිශ්චිත නෑ. වසර 50 ක් වගේ කෙටි කාලයක් තුළදී ඒ තරම් විශාල බලපෑමක් වුනා කියල හිතන්න අමාරුයි.


දෙවන දේවස්ථාන යුදෙව් ආගම (Second Temple Judaism)

ක්‍රි.පූ. 516 දී ජෙරුසෙලමේ දේවස්ථානය නැවත ඉඳි කෙරුණු අතර, පැරණි ආගමික වතාවත් නැවතත් ආරම්භ කෙරුණා. යුදෙව් ආගමේ මෙතැනින් ආරම්භ වන කාල සීමාව හැඳින්වෙන්නේ "දෙවන දේවස්ථාන යුදෙව් ආගම" ලෙස.

දෙවන යුදෙව් දේවස්ථානය

දේවස්ථානය නැවත ඉඳිකෙරුණු පසු යුදෙව් ආගමේ පැරණි ස්වරූපයේ පූජකයන් සහ වතාවත් නැවත ආරම්භ වුනු නමුත්, බැබිලෝනියානු පිටුවහල් සමයේදී ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන්ට ලැබුණු තැන නැතිවුනේ නෑ. මේ නිසා දෙවන දේවස්ථාන යුදෙව් ආගම දේවස්ථානය හා බැඳුණු ධාරාවක් සහ ලියැවිලි හා බැඳුණු ධාරාවක් වශයෙන් ප්‍රධාන ධාරාවන් දෙකකින් සමන්විත වුනා.

පූජකවරු ජෙරුසෙලම ප්‍රධාන කොටගෙන සිටි අතර, සියළුම ප්‍රධාන ආගමික වතාවත් කෙරුණේ ඔවුන් අතින්. මේ නිසා ඔවුන් සැලකිය යුතු ආගමික සහ දේශපාලන බලයක් අත් කරගෙන හිටියා.

යුදෙව් ආගමේ ආගමික ලියැවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනා. ඒ ප්‍රධාන ආගමික ලියැවිලි සහ ඒවායේ අර්ථ දැක්වීම් වශයෙන්.

මින් පළමුවැනි කොටස "ටෝරා" (ඉගැන්වීම්), "නෙවීම්" (දිවැසිවරු) සහ "කෙටුවිම්" (ලියැවිලි) නමින් හැඳින්වෙන පොත් තුනකින් සමන්විත වෙනවා. මේ පොත් තුන එකට ගත් කළ "තනාක්" නමින් හැඳින්වෙනවා. එය සාමාන්‍යය ව්‍යවහාරයේදී "යුදෙව් බයිබලය" හෙවත් "පැරණි තෙස්තමේන්තුව" නමින් හැඳින්වෙනවා. මේවා බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර සමයේ සහ ඒ ආසන්නයේ ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි.

දෙවැනි කොටස ප්‍රධාන වශයෙන් මුඛ පරම්පරාගතව ඇවිත්, පසු කාලීනව ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි. මේවා යුදෙව් ආගමික නීති, ඒවායේ අර්ථ දැක්වීම්, වැඩිදුර විභාග කිරීම් සහ අර්ථ දැක්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් වලින් සමන්විතයි. මේ ලියැවිලි හැඳීන්වෙන්නේ "තල්මුද්" නමින්.

මේ ආගමික ලියැවිලි පවත්වාගෙන ගිය සහ ඒවා හැදෑරීම් කළ උගතුන් හැඳින්වුනේ "රැබි" නමින්.


දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ නිකායන්

දෙවන දේවස්ථාන සමයේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් (sects) තුනක් තිබුණා.

1. සෙඩුසි (Sadducees)
2. ෆාරිසි (
Pharisees)
3. එසින්ස් (
Essenes) 

මේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනට අමතරව මේ සමයේදී යුදෙව් ආගමෙන් අපගමන (offshoots) දෙකකුත් ඇති වුනා.

1. සමාරිටන් ආගම
2. ක්‍රිස්තියානිය

 

සෙඩුසි

දේවස්ථානය හා බැඳුනු ධාරාව නියෝජනය කළේ සෙඩුසි සම්ප්‍රදාය විසින්. "සෙඩුසි" කියන නමේ මූලය වුනේ පැරණි දේවස්ථානයේ පළමුවන ප්‍රධාන පූජක ධූරය දැරූ "සෙඩොක්" ගේ නම.

ඔවුන් පූජකයන්, ධනවතුන් සහ  දේශපාලන ප්‍රධානීන් අතර ප්‍රධාන වශයෙන් පැතිරී තිබුණා. මේ සම්ප්‍රදාය වතාවත් සහ සැකැස්ම අතින් බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර ආගමට වඩාත් සමීප වුනා. සෙඩුසි සම්‍ප්‍රදාය මුල්තැන දුන්නේ දේවස්ථානය මුල් කරගෙන කෙරුණු වතාවත් සහ පුද පූජා ආදියට. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ පූජකයන් අත. සෙඩුසි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතීය (ග්‍රීක සහ රෝම) සමඟ මුහුවීම ගැන ලිහිල් ස්ථාවරයක් දැරුවා.

සෙඩුසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:

1. මරණින් මතු ජීවිතයක් විශ්වාස නොකිරීම
2. මිනිසාට සම්පූර්ණ නිදහස් ස්වකැමැත්තක් (free will) ඇති බව
3. තනාක් පමණක් විශ්වාස කිරීම සහ තල්මුද් ලියැවිලි විශ්වාස නොකිරීම
4. ආගමික ලියැවිලි වල වචනාර්ථ අර්ථ දැක්වීම (literal interpretation) පිළිගැනීම

ෆාරිසි

ෆාරිසි සම්ප්‍රදාය නියෝජනය කළේ ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන් හා බැඳුනු ධාරාව. ෆාරිසි කියන නමේ මූලය වුනේ "ෆාරුස්" කියන හීබෲ වචනය. ඒකෙ තේරුම "වෙන් වුනු". ෆාරිසි සම්ප්‍රදාය සෙඩුසි දේශපාලන බල අධිකාරියෙන් වෙන්වීම සහ යුදෙව්වන් නොවන ජනතාව සමඟ ගනුදෙනු කිරීමේදී දැක්වූ දුරස්ථ බව මේ නමට මුල් වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. තවත් මතයකට අනුව ෆාරිසි නමේ මූලය පර්සියානු ජාතිකයන් හැඳින්වූ "පාර්සි" කියන වචනය.

ෆාරිසි සම්ප්‍රදාය ජනප්‍රිය වුනේ සාමාජ්‍යය ජනතාව අතර. බැබිලෝනියානු පිටුවහල් කිරීම සමයේ ඇතිවුනු දේවධාර්මික වෙනස්කම් නියෝජනය වුනේ මේ සම්ප්‍රදායෙන්. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ රැබි වරුන් අත. ෆාර්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම ගැන තරමක් දැඩි ස්ථාවරයක් දැරුවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ නෑ. 

ෆාරිසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:

1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
2. නැවත උට්ඨානය (resurrection) සහ අවසාන විනිශ්චය විශ්වාස කිරීම
3. සමහර අවස්ථා වලදී පමණක් මිනිසාට නිදහස් ස්වකැමැත්තක් ඇති බව
4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
5. ආගමික ලියැවිලි වල විද්වතුන් විසින් කරන විශ්ලේෂනාත්මක අර්ථ දැක්වීම් පිළිගැනීම

 

එසින්ස්

මේ ධාරාවන් දෙකටම බැහැර වුනු පිරිසක් එසෙන්සි සම්ප්‍රදාය නියෝජනය කළා. එසෙන්සි කියන නමේ මූලය ගැන නිශ්චිත අදහසක් වර්තමාන ඉතිහාසඥයන්ට නෑ. බොහෝ විට එය ග්‍රීක මූලයක් සහිත නමක් විය හැකි අතර, එසෙන්සි වරු තමාව හඳුන්වාගැනීමට ඒ නම භාවිතා නොකළ බව හිතන්න පුළුවන්.

එසෙන්සි සම්ප්‍රදාය අනුගමනය කළ යුදෙව්වන් ප්‍රධාන සමාජයෙන් බැහැර වුනු සමූහයන් විදිහට ජීවත් වුනු අතර, අල්පේච්ඡ සහ සාමූහික ජීවන රටාවක් අනුගමනය කළා. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ ඔවුන්ගේ සමූහයන්ගේ ප්‍රධානීන් අත. එසෙන්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.

එසෙන්සි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:

1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
2. මරණින් මතු ආත්මය අභෞතික පැවැත්මක් ලබා ගන්නා බව
3. මිනිසාට කිසිම නිදහස් ස්වකැමැත්තක් නොමැති බව සහ සියල්ල දෙවියන් ගේ කැමැත්තට සිදුවන බව
4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
5. ආගමික ලියැවිලි වල දෙවියන් විසින් කෙලින්ම ලබා දෙන (inspired) අර්ථ දැක්වීම් පිළිගැනීම


සමාරිටන් ආගම

සමාරිටන් ආගමේ ආරම්භය වෙන්නේ බැබිලෝනියානු පිටුවහල් කිරීම අවසන් වී යුදෙව්වන් නැවත ඊශ්‍රායලයට පැමිණ දෙවන දේවස්ථානය ඉඳිකිරීම. මෙහිදී දෙවන දේවස්ථානයේ අධිකාරීත්වය නොපිළිගත් උතුරුදිග වාසය කළ පිරිසක් ගෙරිසිම් කන්දේ වෙනත් දේවස්ථානයක් ඉඳි කර යුදෙව් ආගමෙන් වෙන් වී ගියා. සමාරියා නගරය අගනුවර කර ගත් නිසා ඔවුන් හැඳින්වුනේ සමාරිටන් වරු වශයෙන්

සමාරිටන් වරු යුදෙව්න්න මෙන්ම හීබෲ සහ ඇරමැයික් භාෂා කතා කළ අතර, ඔවුන්ගේ ආගම සහ සංස්කෘ තිය යුදෙව්වන්ට විශාල වශයෙන් සමාන වුනා. ඔවුන්ගේ මූලය, යුදෙව්වන්ට ඇති සම්බන්ධය සහ යුදෙව් ආගමෙන් වෙන් වීමට හේතුව පැහැදිලි නෑ. ඒ ගැන යුදෙව්වන් දරන අදහස් සහ සමාරිටන් වරු දරන අදහස් එකිනෙක් පරස්පරයි.

සමාරියාව

සමාරිටන් වරුන්ට අනුව ඔවුන් පැවත එන්නේ ඇසිරියානුවන් විසින් ඊශ්‍රායල රාජධානිය යටත් කරගෙන එහි වාසය කළ ඊශ්‍රායල ගෝත්‍ර දහයේ ජනගහණයෙන් වැඩි පිරිසක් පිටුවහල් කළ පසු එහි ඉතිරි වූ අයගෙන්. ඒ අනුව ඔවුන් පැරණි ඊශ්‍රායල් රාජධානියේ උරුමකරුවන් වෙනවා.

නමුත් යුදෙව්වන්ට අනුව සමාරිටන් වරු පැවත එන්නේ ඇසිරියානුවන් විසින් සමාරියාවේ පදිංචි කළ විදේශික ජනයා සහ මුශ්‍ර වුනු යුදෙව්වන් ගෙන්.

සමාරිටන් ආගම යුදෙව් ආගමට බොහෝ දුරට සමානයි. ඔවුන්ගේ මූලික විශ්වාසයන් වුනේ:

1. ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී යාහ්වේහ් නම් දෙවියෙක් සිටින බව
2. මෝසස් සහ ජෝශප් දෙවියන් ගේ දිවැසිවරු බව
3. ටෝරා (තනාක් ලියැවිලි වල මුල් කොටස) ලියැවිලි වල දෙවියන් විසින් මෝසස් ට ලබා දුන් දැණුම අඩංගු බව
4. දෙවියන් ගේ ප්‍රධාන දේවස්ථානය ගෙරිසිම් කන්දේ පිහිටා ඇති බව

සමාරිටන් වරු

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගේ ආක්‍රමනයෙන් පර්සියානු අධිරාජ්‍යය බිඳවැටුණු පසු මේ ප්‍රදේශය ග්‍රීක සෙලුසිඩ් අධිරාජ්‍යයට යටත් වුනා. සමාරියාව සහ ජුදියාව සෙලුසිඩ් අධිරාජ්‍යය යටතේ අර්ධ ස්වාධීන රාජ්‍යය දෙකක් ලෙස වෙන වෙනම පැවතුනා. මේ දෙකෙන් ජනගහණයෙන් වැඩි සහ වඩා ධනවත් වුනේ සමාරියාව. 

නමුත් ක්‍රි.පූ. 100 දී පමණ ජුදියාව සමාරියාව ආක්‍රමණය කළ අතර එය සම්පූර්නයෙන්ම වගේ විනාශ කර දැම්මා. එයින් සමාරියාවේ සමෘදිය පිරිහී ගියා. පසුව මහා හෙරෝද් රජු ගේ කාලයේදී සමාරියාව ජුදියාවට සම්පූර්ණයෙන්ම යටත් වුනා. සමාරිටන් වරු ජුදියාවේ වැසියන් ලෙස යුදෙව් පාලනයක් යටතේ වාසය කළා.

රෝම අධිරාජ්‍යයට එරෙහිව ඇතිවුනු යුදෙව් කැරලි වලදී ජුදියාව සම්පූර්ණයෙන්ම විනාශ කර යුදෙව්වන්ගෙන් වැඩි පිරිසක් යුරෝපයට වහලුන් ලෙස විකුණා දැමුණු පසු නැවතත් ප්‍රදේශයේ බහුතර ජනගහණය වුනේ සමාරිටන් වරු. නමුත් ක්‍රි.ව. 480-570 සමයේදී සමාරිටන්වරු අතර රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරලි තුනක් ඇතිවුන අතර මේ කැරලි අතිශය කෲර අන්දමට මර්ධනය කෙරුනා. සමාරිටන් වරු ලක්ෂ තුනක් පමණ මරා දැමුණු අතර, තවත් ලක්ෂ පහකට අධික පිරිසක් ප්‍රදේශයෙන් පලා ගියා. සමාරිටන් වරුන්ගේ ජනගහණය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වී ගියා.

වර්තමානයේ ලෝකයේ සමාරිටන් වරු ඉන්නේ 1000 පමණ පිරිසක්. ඔවුන් වර්තමාන ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ වාසය කරනවා.


ක්‍රිස්තියානිය

ලෝකාවසානය සහ මෙසායා වරයෙක් පිළිබද විශ්වාස කළ යුදෙව් ආගමික දේශකයෙක් වුනු යෙහොෂුවා (යේසුස්) වටා ගොඩ නැංවුනු ක්‍රිස්තියානිය මුල් කාලයේදී යුදෙව් ආගමේ නිකායක් ලෙස පැවතුනු නමුත්, පසුව එය යුදෙව්වන් නොවන ජනයා ඉලක්ක කරගැනීමත් සමඟ යුදෙව් ආගමෙන් දේව ධාර්මිකව දැඩි ලෙස වෙනස් වුනු වෙනම ආගමක් බවට පත් වුනා.

 

දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ අවසානය

ක්‍රි.ව. 60-140 සමයේදී යුදෙව්වන් රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරැලි කීපයක් ඇති කළ අතර මේ කැරලි මර්ධනය කෙරුණේ ඉතාමත් කෲර අන්දමින්. යුදෙව්වන් මිලියනයකට අධික ප්‍රමානයක් මිය ගිය අතර ඉතිරි වූවන්ගෙන් වැඩි දෙනෙක් වහලුන් ලෙස යුරෝපයට විකුණා දැමුණා. ජෙරුසෙලමේ දේවස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුණා. ඉතිරි වූ යුදෙව්වන්ට ජෙරුසෙලමට ඇතුළු වීම තහනම් කෙරුණා. මෙතැන් සිට යුදෙව්වන් පැවතුනේ ලෝකය පුරා විසිරී ගිය ජනගහණයක් හෙවත් ඩයස්පෝරාවක් ලෙස.

මේ විනාශය හමුවේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනෙන් ඉතුරු වුනේ ෆාරිසි සම්ප්‍රදාය පමණයි. දේවස්ථානයේ විනාශයත් සමඟ සෙඩූසි සම්ප්‍රදාය නැති වී ගිය අතර, සුළුතරයක් වූ එසෙන්සි සම්ප්‍රදායට සමූලඝාතනය හමුවේ විනාශයෙන් ගැලවීමට හැකි වුනේ නෑ.

නමුත් ඩයස්පෝරාවේ සිටි රැබි වරු ෆාරිසි සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන ගියා. මේ නිසා මෙතැන් සිට යුදෙව් ආගම ඉදිරියට වර්ධන වුනේ ෆාරිසි සම්ප්‍රදාය විදිහට.

මෙතැන් සිට යුදෙව් ආගම හැඳින්වෙන්නේ "රැබානික් යුදෙව් ආගම" (Rabbinic Judaism) ලෙස.

Tuesday, July 4, 2023

ශුද්ධ වූ ග්‍රන්ථ

 


ඒබ්‍රහමික ආගම් වල පොදු ලක්ෂණයක් තමයි ඒ හැම එකකම ආගමික කරුණු අඩංගු ශුද්ධ ග්‍රන්ථ තිබීම. ඒබ්‍රහමික ආගම් තුනේ ශුද්ධ ග්‍රන්ථ මේවා :

1. යුදෙව් ආගම - තනාක්

2. ක්‍රිස්තියානි ආගම - බයිබලය

3. ඉස්ලාම් ආගම - කුරානය

මේවායේ සමාන ලක්ෂණය තමයි මේ සියල්ලේම අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාට ලබා දුන් ආගමේ කරුණු වීම. හැබැයි සමානකම එතනින් ඉවරයි.


තනාක් 

තනාක් හෙවත් යුදෙව් බයිබලය හෙවත් පැරණි තෙස්තමේන්තුව කියන්නේ අවුරුදු දාහක විතර කාල පරිච්ඡේදයක් පුරා යුදෙව් ආගමේ විවිධ දිවැසිවරුන් සහ පූජකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.

යුදෙව් බයිබලයේ මූලික වශයෙන් තියෙන්නේ දෙවියන් ලෝකය මවපු කතාව, දෙවියන් සහ ඒබ්‍රහම් අතර ඇති කරගත් ගිවිසුම (තෙස්තමේන්තුව), යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය සහ විවිධ දිවැසිවරයන් (Prophets) විසින් ඉදිරිපත් කළ දේවල්.

ඒ වගේම යුදෙව් ආගමේ සියළු ලියැවිලි තනාක් හෙවත් යුදෙව් බයිබලයට ඇතුල් කරලා නෑ. ඊට ඇතුල් නොකළ වෙනත් ආගමික ලියැවිලි විශාල ප්‍රමානයක් යුදෙව් ආගමේ තියෙනවා. මේවායින් සමහරක් මුඛ පරම්පරාගතව දීර්ඝ කාලයක් ආව ඒවා. සමහරක් සාපේක්ෂව පසු කාලීනව ආපු දේවල්. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකට වෙනස්.

යුදෙව් බයිබලය ලියැවී ඇත්තේ හිබෲ භාෂාවෙන්.


බයිබලය

බයිබලය හෙවත් ක්‍රිස්තියානි බයිබලය හෙවත් නව තෙස්තමේන්තුව කියන්නේ

අවුරුදු දෙතුන් සීයක කාල පරිච්ඡේදයක් පුරා ක්‍රිස්තියානි ආගමේ මුල් කාලීන නායකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.

සියළුම ක්‍රිස්තියානි බැතිමතුන් යුදෙව් බයිබලයත් තමාගේ ආගමික ග්‍රන්ථයක් විදිහට පිළිගන්නවා. ඊට අමතරව නව තෙස්තමේන්තුව එයට එක් කරනවා. මේ නිසා ක්‍රිස්තියානි බයිබලය පැරණි තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව විදිහට කොටස් දෙකකින් සමන්විතයි.

ක්‍රිස්තියානින් ගේ පැරණි තෙස්තමේන්තුවට යුදෙව් බයිබලයේ අඩංගු කරුණු සියල්ලම ඇතුළත් වෙනවා. ඊට අමතරව සමහර ක්‍රිස්තියානි නිකායන් යුදෙව්වන් තමාගේ බයිබලයට ඇතුල් නොකළ යුදෙව් ආගමික ලියැවිලි සමහරකුත් පැරණි තෙස්තමේන්තුවට ඇතුල් කරනවා. පෙරදිග පල්ලිය (Church of the East) ප්‍රාචීන ඕතඩොක්ස් පල්ලිය (Oriental Orthodox Church) සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලිය (Eastern Orthodox Church) මේ අතරින් ප්‍රධානයි.

නව තෙස්තමේන්තුව සමන්විත වෙන්නේ යේසුස් වහන්සේගේ ජීවිත කතාව, එතුමාගේ ඉගැන්වීම් සහ මුල් කාලීන ක්‍රිස්තියානියේ සිදු වූ වැදගත් සිදුවීම් වලින්. යුදෙව් බයිබලයට වගේම නව තෙස්තමේන්තුවටත් අඩංගු නොවුනු මුල් කාලීන ක්‍රිස්තියානි ආගමික ලියැවිලි රාශියක් තියෙනවා. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකින් වෙනස්.

නව තෙස්තමේන්තුව මුලින්ම ලියැවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන්. පසුව එය ලතින් ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වුනා.


කුරානය

කුරානය මේ දෙකට වඩා වෙනස්. කුරානය කියන්නේ එක් කතුවරයෙක් විසින් ලියන ලද පොතක්. ඉස්ලාම් බැතිමතුන්ට අනුව මේ කතුවරයා දෙවියන් වහන්සේ. අනෙක් අයට අනුව මුහම්මද් තුමා. කුරානයේ අඩංගු සියළු කරුණු අවුරුදු තිහක විතර කාලයකදී එකතු වූ ඒවා.

ඒ වගේම යුදෙව් සහ ක්‍රිස්තියානි බයිබලයන් ගේ තියෙන්නේ මිනිස්සු ලියපු දේවල් වුනාට කුරානයේ තියෙනවා කියල අපේක්ෂා කරන්නේ (meant to be) කෙලින්ම දෙවියන් ගේ වචන. මේ නිසා අනෙක් පොත් දෙකට වඩා කුරානය වඩා සංවිධානාත්මක සහ සංගතික ස්වරූපයක් ගන්නවා.

කුරානයේ අනෙක් විශේෂත්වය වෙන්නේ මුහම්මද් තුමාගේ ජීවිත කාලය තුලදීම කුරානයේ අඩංගු කරුණු ග්‍රන්ථාරූඪ වීම සහ එතුමාගේ මරණයෙන් අවුරුදු 12 ක් වැනි කෙටි කාලයකදී එය සම්මතකරණය (standardize) වීම. මේ නිසා කුරානය එහි මූලික ස්වරූපයෙන්ම හෝ ඊට ඉතාම ආසන්න තත්වයෙන් පවතින බවට හිතන්න පුළුවන්.

ක්‍රිස්තියානින් යුදෙව් බයිබලය පිළිගත්තත්, මුස්ලිමුන් යුදෙව් හෝ ක්‍රිස්තියානි බයිබල පිළිගන්නේ නෑ. ඉස්ලාම් ආගමට යුදෙව් ආගමේ එන සියළුම දිවැසිවරයන් සහ යේසුස් වහන්සේ සත්‍ය දිවැසිවරයන් ලෙස පිළිගත්තත්, බයිබලයේ අඩංගු කරුණු මිනිසුන් අතින් විකෘති වී ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

නමුත්, කුරානයේ අඩංගු කරුණු බයිබලයේ අඩංගු කරුණු වලට බොහෝ සෙයින් සමානයි. නමුත් සමහර වැදගත් වෙනස්කමුත් දකින්න පුළුවන්.

කුරානයේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් වරින් වර මුහම්මද් තුමාට සහ එතුමා හරහා පොදුවේ මිනිස් වර්ගයාට ලබා දුන් පණිවුඩ. මේ පණිවුඩ ආගමික නීතිය, සදාචාරය, ආගමික වතාවත් සහ ආගමික මූලධර්ම වලින් සමන්විත වෙනවා.

කුරානය ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙන්.

අරාබි ජන සාහිත්‍යයේ එන අද්භූත ප්‍රාණීන්

 


අරාබි ජන සාහිත්‍යය ගැන ගොඩක් දෙනෙක් දන්නවා. විශේෂයෙන්ම අරාබි නිසොල්ලාසය හරහා. වෙනත් ඕනෙම ජන සාහිත්‍යයක වගේ අරාබි ජන සාහිත්‍යයේත් විවිධ අද්භූත ප්‍රාණීන් ගැන සඳහන් වෙනවා. මේ ඒ අතරින් කීපයක්.


ජින් (Jinn)

ජින් තමයි වඩාත්ම ප්‍රසිද්ධ සහ සුලභවම හමුවෙන අද්භූත ප්‍රාණියා. අපිට වඩාත්ම හුරුපුරුදු ජින් එන්නේ ඇලඩින් ගේ කතාවේ "පහනේ භූතයා" විදිහට.

ජින් කියලා හඳුන්වන අද්භූත ප්‍රාණියා සිංහල ජන සාහිත්‍යයේ එන භූතයෙක්ට සමානයි. "ජින්" කියන අරාබි වචනයේ "නොපෙනෙන" කියන එකට සමාන තේරුමක් තියෙනවා. ඒ අනුව ජින් කියල හඳුන්වන්නේ අපිට සාමාන්‍යයෙන් නොපෙනෙන ප්‍රාණියෙක්.

ජින් විවිධ ස්වරූප වලින් පෙනී සිටින්න පුළුවන්. වඩාත්ම සුලභව ජින් පෙනී සිටින්නේ සතෙකුගේ ස්වරූපයෙන්. බොහෝ විට බල්ලෙක් හෝ සර්පයෙක් විදිහට. වෙනත් සත්තුන්ගේ වේෂයෙනුත් ජින් පෙනී සිටින්න පුළුවන්. ඊට අමතරව ජින් ට වැලි කුණාටුවක්, හෙවනැල්ලක් වගේ සොබාවික සංසිද්ධියක ස්වරූපයෙනුත් ජින් පෙනී සිටිනවා. සමහර විට මනුෂ්‍ය ස්වරූපයට සමාන, ඒත් 100% සමාන නොවන ස්වරූපයෙනුත් ජින් පෙනී සිටින්න පුළුවන්.

ජින් බොහෝ වෙලාවට මොකක් හරි භාණ්ඩයක් හෝ තැනකට සම්බන්ධව තමයි ජීවත් වෙන්නේ (උදා : පහනක්). ජින් සමහර විට මිනිහෙක්ට "වැහෙන්න" පුළුවන්. බොහෝ විට ජින් මිනිස්සුන්ට හානි කරනවා. ඒත් සමහර ජින් (ඇලඩින්ගේ කතාවේ එන ජින් වගේ) මිනිස්සුන්ට උදව් කරන්නත් පුළුවන්.

ජින් සංකල්පය "ජීනී" (genie) විදිහට බටහිර සංස්කෘතියට ඇතුල් වෙලා තියෙනවා.

විවිධ ප්‍රභේද වල ජින් අපිට අරාබි ජන සාහිත්‍යයේ හමුවෙනවා.


හින් (Hinn)

"හින්" කියන අරාබි වචනයේ තේරුම "කුඩා". හින් කියල හඳුන්වන්නේ එතරම් බලවත් නොවන ජින් ප්‍රභේදයක්. 

හින් හැමවෙලේම පෙනී සිටින්නේ සතෙක් විදිහට. බොහෝ විට පුල්ලි වැටුනු හෝ තනි කළුපාට බල්ලෙක් වගේ.


ගූල් (Ghul)

"ගූල්" කියන අරාබි වචනයේ තේරුම "පැහැර ගන්නා". ගූල් කියලා හඳුන්වන්නේ ඉතා බලවත් වගේම නපුරු ජින් ප්‍රභේදයක්.

ගූල් සිංහල ජන සාහිත්‍යයේ එන යක්ෂයාට ඉතා සමානයි. බොහෝ විට ගූල් ජීවත් වෙන්නේ සොහොන් බිම් ආශ්‍රිතව හෝ පාළු කාන්තාරයේ. ගූල් ට මනුෂ්‍යය වේෂයෙන්, රාක්ෂ වේෂයෙන් හෝ සත්ව වේෂයෙන් පෙනී සිටින්න පුළුවන්. 

ගූල් හැම වෙලේම මිනිස්සුන්ට හානිකර නපුරු ප්‍රාණියෙක්. මිනිස්සු මරන්න, මිනිස්සුන්ගේ ලේ බොන්න සහ මල මිනී ආහාරයට ගන්න ගූල් ප්‍රසිද්ධයි.

ගූල් සංකල්පය Ghoul විදිහට බටහිර සංස්කෘතියට ඇතුල් වෙලා තියෙනවා.


මාරිද් (Marid)

"මාරිද්" කියන්නේ ඉතා බලවත් ජින් ප්‍රභේදයක්. මාරිද් බලවත් වුනත් මිනිස්සුන්ට හානිකර නෑ. ඒ වගේම විවිධ උපක්‍රම මගින් මාරිද් මිනිස්සුන්ට සේවය කරන්න යොදා ගන්න පුළුවන්. සොලමන් රජතුමා තමාගේ දේවස්ථානය හදන්න මාරිද් භූතයන් විශාල ප්‍රමානයක් යොදාගත්ත බව කියැවෙනවා.

අපිට හුරුපුරුදු ඇලඩින් කතාවේ එන මුද්දේ භූතයා සහ පහනේ භූතයා මාරිද් ලා.


ඉෆ්‍රීත් (Ifrit)

"ඉෆ්‍රීත්" කියන්නේ තවත් ඉතා බලවත් ජින් ප්‍රභේදයක්. පොළවේ ඇතුලේ ජීවත් වෙන ඉෆ්‍රීත් සමහර වෙලාවට පොළව මතුපිටට ඇවිල්ලා මිනිස්සුන්ට හානි කරනවා. ඉෆ්‍රීත් ඉතාම කපටි සහ නපුරු සොබාවයකින් යුක්තයි. සමහර වෙලාවට ඉෆ්‍රීත් පෙනී සිටින්නේ ගිනිසිළු වලින් හැදුනු පියාපත් එක්ක.


ෂික් (Shiqq)

"ෂික්" කියන්නේ දුර්වල ජින් ප්‍රභේදයක්. මිනිස්සුන්ට ඒතරම් හානියක් නොකරන ෂික් මිනිස්සු බය කරනවා, කෑම හොරකම් කරනවා වගේ දේවල් කරන්න පුළුවන්.

ෂික් ගේ ස්වරූපය වර්ධනය නොවුනු මිනිහෙක් වගේ. බොහෝ විට ෂික්ගේ බෙල්ල, පපුව සහ බඩ නියමාකාරයෙන් වර්ධනය වෙලා නෑ. මේ නිසා ෂික් අර්ධ මනුෂ්‍යයෙක් ගේ පෙනුම ගන්නවා.


නස්නස් (Nasnas)

"නස්නස්" කියන්නේ තවත් දුර්වල ජින් ප්‍රභේදයක්. මිනිස්සුන්ට හානියක් කරන්නේ නෑ.

නස්නස් ගේ ස්වරූපය මිනිහෙක් වගේ. ඒත් තියෙන්නේ මුහුණෙන් අඩක්, එක අතක් සහ එක කකුලක් පමණයි. නස්නස් ගමන් කරන්නේ එක කකුලෙන් පැන පැන. සාමාන්‍යය මනුස්සයෙක් දුවන තරම් වේගයෙන් මේ විදිහට පැන පැන යන්න නස්නස්ට පුළුවන්.

සමහර තැන්වල දැක්වෙන විදිහට නස්නස් උපදින්නේ ෂික් සහ මනුෂ්‍යෙක් අතර සංවාසයෙන්.


පාලිස් (Palis)

"පාලිස්" කියන්නේ කාන්තාරයේ ජීවත් වෙන ජින් ප්‍රභේදයක්. නපුරු, මිනිස්සුන්ට හානිකර ප්‍රාණියෙක්.

කාන්තාරයේ ගමන් කරන මිනිස්සු රාත්‍රියට නිදාගන්න විට ඔවුන්ගේ දෙපා අනාවරය වෙලා තිබුනොත් පාලිස් ඔවුන්ගේ යටිපතුල් ලෙවකාලා ඔවුන්ගේ ලේ උරා බොනවා.

නමුත් පාලිස් ඉතාම මෝඩයි සහ ලෙහෙසියෙන් රවට්ටන්න පුළුවන්.


සිලාත් (Silaat)

"සිලාත්" කියන්නේ ඉතාම නපුරු ඉතාම කපටි සහ ඉතාම දක්ෂ ජින් ප්‍රභේදයක්. 

සිලාත් ට නියම ස්වරූපයක් නෑ. විවිධ වේෂයෙන් පෙනී සිටින්න සිලාත් ට පුළුවන්. බොහෝ විට සිලාත් පෙනී සිටින්නේ සුරූපී කාන්තාවක් හෝ මහළු කාන්තාවක් විදිහට. සිලාත් බොහෝ විට ජීවත් වෙන්නේ පාළු කාන්තාර වල. කාන්තාරයේ ගමන් කරන මගීන් රවටාගෙන ඔවුන් මරා දාන්න සිලාත්ට පුළුවන්.


හතීෆ් (Hatif)

"හතීෆ්" කියන්නේ ඉතාම අද්භූත සොබාවයක් ගන්න ප්‍රාණියෙක්. හතීෆ්ට ශරීරයක් නෑ. තියෙන්නේ කටහඬක් පමණයි. පාළු කාන්තාරයේ තනිවම ගමන් කරන මගීන්ට සමහර වෙලාවට හතීෆ් ගේ හඬ ඇහෙනවා.


ජින් ට අමතරව තවත් මිත්‍යා ප්‍රාණීන් අපිට අරාබි ජන සාහිත්‍යයේ හමුවෙනවා. නමුත් මේ ප්‍රාණීන් ජින් වගේ අද්භූත (supernatural) ප්‍රාණින් නෙවෙයි. පියවි ලෝකයේ ජීවත් වෙනවා කියල විශ්වාස කරන ප්‍රාණීන්.


දන්දන් (Dandan)

"දන්දන්" කියන්නේ මුහුදේ ජීවත් වෙන ලොකුම මාළුවා. නැවක් එක කටකට ගිලලා දාන්න දන්දන්ට පුළුවන්.


අන්කා (Anqa)


"අන්කා" කියන්නේ විශාල කුරුල්ලෙක්. අන්කා මිනිස්සුන්ට පේන්න එන්නේ ඉතාම කලාතුරකින්. අන්කා ජීවත් වෙන්නේ "හිරු බැසයන තැන".

අන්කාට ඉතා ලස්සන සහ දිග බෙල්ලක් තියෙනවා. ඒ වගේම ලස්සන පිහාටු වලින් යුත් පියාපත් හතරක් තියෙනවා. අන්කා ගේ මුහුණ මිනිස් මුහුණකට සමානයි.


අල්-මිරාජ් (Al-Miraj)

"අල්-මිරාජ්" කියන්නේ කහ පාට ශරීරයක් තියෙන හාවෙක්. ඒත් මේ හාවාට නළලේ පිහිටි තනි කළු අඟක් තියෙනවා. අල්-මිරාජ් ජීවත් වෙන්නේ ඉන්දියන් සාගරයේ තියෙන දූපතක. අල්-මිරාජ් දකිනකොට අනික් සියළුම සත්තු පැන දුවනවා.


අර්-රූහ් (Ar-Ruhh)

"අර්-රූහ්" කියන්නේ ඉතා විශාල කුරුල්ලෙක්. චීනය අවට මුහුදේ ඇති දූපත් වල වාසය කරන අර්-රූහ් ඉතා විශාල බිත්තර දානවා.


ෂදාවර් (Shadhavar)

"ෂදාවර්" කියන්නේ මුවෙකුට සමාන සතෙක්. ඒත් ෂදාවර් ගේ නළලේ තනි අඟක් තියෙනවා. මේ අඟ කුහර සහිත අතු ගණනාවකින් කින් යුක්තයි. මේ අඟ හරහා හුළං හමන විට ඉතා මිහිරි සංගීත රාවයක් නිපදවෙනවා. ෂදාවර් ජීවත් වෙන්නේ බයිසැන්ටයින් අධිරාජ්‍යයේ.

ඉස්ලාමය වැළඳගත් ප්‍රංශ අධිරාජ්‍යයා

 


1798 දී ප්‍රංශයේ අධිරාජ්‍යයා වුනේ නැපෝලියන් බොනපාර්ටේ.

1798 වෙද්දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යුධ වදිමින් හිටියේ. තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය 1536 ඉඳලා දීර්ඝ කාලීන ප්‍රංශ මිතුරෙක්.

මේ වෙද්දි ඊජිප්තුව මම්ලුක් වාංශික සුල්තාන් වරු යටතේ ඔටෝමන් අධිරාජ්‍යයෙන් වෙන් වෙලා ස්වාධීන රාජ්‍යයක් විදිහට් කටයුතු කරමින් හිටියා.

1798 දී 40,000 ක ප්‍රංශ හමුදාවක් නැපෝලියන් යටතේ ඊජිතුව ආක්‍රමනය කළා. නැපෝලියන් ගේ සැලසුම වුනේ ඊජිප්තු වැසියන්ට තමා "ඔටෝමන් අධිරාජ්‍යයා වෙනුවෙන්" ඊජිප්තුව අල්ලා ගත්ත බව පෙන්වලා, ඔවුන්ගේ සිත් දිනාගෙන ඊජිප්තුවේ බලය තහවුරු කරගන්න. ඊට පසුව ඔහු සැලසුම් කලා පෙරදිග බ්‍රිතාන්‍යය යටත් විජිත වලට එරෙහිව ආක්‍රමනයක් දියත් කරන්න. විශේෂයෙන් ඉන්දියාව ඔහුගේ ඉලක්කයක් වුනා. එහිදී ඔහු ඒ වනවිට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගසමින් සිටි ඉන්දියාවේ ටීපු සුල්තාන් ගේ සහය අපේක්ෂා කළා.

ඊජිප්තු වැසියන්, ටීපු සුල්තාන් මෙන්ම පෙරදිග බ්‍රිතාන්‍යය යටත් විජිත වල වැසියන් ගෙන් සැලකිය යුතු ප්‍රමානයක් ඉස්ලාම් බැතිමතුන්. මේ නිසා මේ සැලසුමට නැපෝලියන් ඉස්ලාම් ආගමේ මිතුරෙක් විදිහට පෙනී සිටීම අත්‍යාවශ්‍යය වුනා.

ඊජිප්තුවට ගොඩබැස්ස ප්‍රංශ හමුදාව පහසුවෙන්ම එය අල්ලා ගත්තා. නැපෝලියන් ඊළඟට ඊජිප්තුවේ සිටි ඉස්ලාමීය විද්වතුන් සමහර දෙනෙක් තමා දෙසට නවා ගන්න සමත් වුනා. කයිරෝ නුවර පැවැත්වුනු එක ප්‍රසිද්ධ උත්සවයකට නැපෝලියන් සහභාගී වුනේ අරාබි ජාතිකයෙක් ගේ ඇඳුමින් සැරසිලා.

මේ උත්සවයේදී ඔහු විශාල ජනකායක් ඉදිරියේ ෂහදාව හෙවත් ඉස්ලාම් ආගම වැළඳගැනීමේදී කිව යුතු පාඨය හඬනගා කියලා ඉස්ලාමය වැළඳ ගත්තා. ඔහුගේ "මිතුරු" විද්වතුන් ඔහුට "අලී" යන නම ප්‍රදානය කළා. ඉස්ලාම් ආගම වැළඳ ගැනීමේදී අරාබි නමක් ගැනීම සම්ප්‍රදායක්.

මේක නැපෝලියන්ගේ කපටි කමට දේශපාලන උපක්‍රමයක් විදිහට කළ දෙයක් මිස ඉස්ලාම් ආගම ගැන ඇතිවුනු කැමැත්තකින් කළ දෙයක් නොවෙන බවට කිසිම සැකයක් නෑ. ඒ වගේම කෙනෙක් සිය කැමැත්තෙන් ෂහදාව කිව්වෙ නැත්තම් ඔහු නියමාකාරයෙන් ඉස්ලාම් ආගම වැළඳ ගත් කෙනෙක් වෙන්නත් නෑ.

ඒත් "නිළ වශයෙන්" නැපෝලියන් ඉස්ලාමය වැළඳගෙන තියෙනවා.

නැපෝලියන්ගේ උපක්‍රමය සාර්ථක වුනේ නෑ. ඊජිප්තු වැසියන් ඔහු හිතපු තරම් ලේසියෙන් "අන්දන්න" පුළුවන් වුනේ නෑ. ප්‍රශ හමුදා වලට ඊජිප්තුවේ කැරලි ගණනාවකට මුහුණ දෙන්න සිදු වුනා.

කොරේ පිටට මරේ වගේ මුස්ලිම් භූමියකට යුරෝපීය හමුදාවක් පැමිණීම කලීෆා වරයා වශයෙන් තමාගේ තත්වයට මදිකමක් ලෙස සැලකූ ඔටෝමන් අධිරාජ්‍යයා ප්‍රංශ-ඔටෝමන් මිතුරුකම පසෙක දමා නැපෝලියන්ගේ ප්‍රංශ හමුදාවට එරෙහිව ජිහාඩයක් ප්‍රකාශ කරනවා. සිරියාවේ සහ පලස්තීනයේදී ඔටෝමන් සහ බ්‍රිතාන්‍යය හමුදා වලට එරෙහිව අසාර්ථක සටන් කීපයක් කරන නැපෝලියන් ආපහු ප්‍රංශය දක්වා පසු බසිනවා. ඊජිප්තුව නැවතත් ඔටෝමන් බලයට නතු වෙනවා.