Friday, June 30, 2023

යහපත් ක්‍රියාවක ආනිසංශ

 


මුහම්මද් තුමා ඉස්ලාමයේ පණිවුඩය ලබා දුන්න මුල් දවස් වල එතුමාට සහ අනුගාමිකයන්ට මක්කා නගර වැසියන් ගෙන් විවිධ හිරිහැර වලට මූණ දෙන්න සිද්ධ වුනා. සමහරු මරණයට පත් වෙන්න තරම් මේ හිරිහැර දරුණු වුනා.

මේ හිරිහැර නිසා මුහම්මද් තුමා තම අනුගාමිකයන් සමඟ මක්කා නගරය අතහැර යාත්‍රිබ් (මදීනා) නගරය කරා සංක්‍රමනය වෙන්න තීරණය කළා. ඒ කාලයේ අරාබි සංස්කෘතිය අනුව පවුලට සහ ගෝත්‍රයට විශාල වැදගත් කමක් ලැබුණු නිසා තම ගෝත්‍රය අතහැර වෙනත් නගරයකට යාම අපිට හිතා ගන්න බැරි තරමේ විශාල කැප කිරීමක්.

ඒ වගේම තමාගේ පවුලේ/ගෝත්‍රයේ අය පවුල/ගෝත්‍රය හැර දමා යාම ඒ පවුලට/ගෝත්‍රයට කරන විශාල නිග්‍රහයක් වශයෙන් සැලකුනේ. ඒ නිසා මේ සංක්‍රමනය වෙන අයට පවුලේ/ගෝත්‍රයේ සාමාජිකයන් ගෙන් හිරිහැර එල්ල වුනා.

මේ විදිහට මක්කාව අත් හැරලා යන්න මුලින්ම ඉදිරිපත් වුනේ අබු සලමා, ඔහුගේ බිරිඳ වුනු උම්මි සලමා සහ ඔවුන් ගේ දෙහැවිරිදි බිළිදා.

එක් දවසක් උදේ අබු සලමා තමාගේ පවුලේ අයත් ඔටුවන් දෙදෙනෙක් මත නංවාගෙන මක්කාවෙන් පිටත් වෙන්න සැරසුනා. ඒත් නගරයෙන් පිට වෙන්න කලින් උම්මි සලමා ගේ පවුලේ (clan) අය ඔවුන් ව අල්ලා ගත්තා.

"උඹ යන තැනක පලයන්. ඒත් උම්මි සලමා අපේ කෙනෙක්. ඇයව ගෙනියන්න දෙන්න බෑ." 

ඔවුන් අබු සලමාට තර්ජනය කළා. ඔවුන් බලෙන්ම උම්මි සලමා සහ බිළිඳා මක්කාවේ නවතා ගත්තා. අබු සලමාට තම බිරිඳ සහ දරුවා හැරදමා තනියම පිටත් වෙනවා හැර කරන්න වෙනත් දෙයක් තිබුනේ නෑ.

උම්මි සලමා පවුලේ අයත් එක්ක ආපහු හැරුනා.

ඒත් සිද්ධ වුනු දෙය ගැන අබු සලමා ගේ පවුලේ අයට ආරංචි වුනාම ඔවුන් දැඩි කෝපයට පත් වුනා. අරාබි සංස්කෘතිය අනුව දරුවෙක් අයත් වෙන්නේ පියාගේ පවුලට. උම්මි සලමා ගේ පවුලේ අය අබු සලමා ගේ දරුවා බලෙන් රඳවා ගැනීම ඔවුන් දැක්කේ තමාගේ පවුලට කළ අපහාසයක් විදිහට. ඔවුන් වහාම උම්මි සලමා ගේ පවුලේ අය සොයාගෙන ඇවිත් දරුවා තමන්ට ලබා දෙන්න කියා තර්ජනය කළා. ඒත් උම්මි සලමා ගේ පවුලේ අය ඒක ප්‍රතික්ෂේප කරා.

පවුල් දෙකේ අය දරුවා අල්ලා දෙපැත්තට අදින්න පටන් ගත්තා. ඔවුන් වෛරයෙන් කොයිතරම් අන්ධ වෙලා හිටියාද කිව්වොත් දරුවාට වෙන හානිය කිසි කෙනෙක් දැක්කේ නෑ. අන්තිමේදී අවුරුදු දෙකක් වයස දරුවාගේ අතක් විසන්ධි වුනා.

දරුවා වේදනාවෙන් මොර දෙද්දී උම්මි සලමා හඬා වැටෙමින් දරුවා ගෙන යන්න අබු සලමා ගේ පවුලේ අයට ඉඩ දෙන්න කියා ඉල්ලා හිටියා. ඒ දරුවාට හානියක් වේ යැයි බයෙන්. අබු සලමා ගේ පවුලේ අය දරුවා ගෙන ගියා.

පැය කීපයක් ඇතුළත උම්මි සලමාට තම සැමියා සහ දරුවා දෙන්නම අහිමි වුනා.

එතැන් සිට උම්මි සලමා ගේ ජීවිතය අපායක් වුනා. ඇය කළ එකම දෙය මක්කා නගරයේ පිටතින් යාත්‍රිබ් දෙසට ඇති කුඩා වැලි පරයක් මතට නැගී හඬා වැළපීම.

මේ විදිහට සති දෙකක් ගත වුනා. පවුල් දෙකේම අයට උම්මි සලමා ගැන අනුකම්පාවක් ඇති වුනා. අබු සලමා ගේ පවුලේ අය ඇයට ආපහු දරුවා ලබා දුන්නා. උම්මි සලමා ගේ පවුලේ අය ඇයව මක්කාවෙන් පිට වීම වළක්වන්නේ නැති බවට පොරොන්දු වුනා.

උම්මි සලමා දරුවාත් එක්ක සැමියා ඉන්න යාත්‍රිබ් නගරය බලා පිටත් වුනා.

ඒත් දුප්පත් ඇයට ඔටුවෙක් හිටියේ නෑ. ඇය පිටත් වුනේ පයින්. මක්කාවේ සිට යාත්‍රිබ් බලා ඔටුවෙක් පිටේ යන්න සතියක් ගත වෙනවා. පයින් යන්න සමහර විට සති දෙක තුනක් ගත වෙයි. කාන්තාවක්. කුඩා දරුවෙක් එක්ක. තනිවම. කාන්තාරය මැදින්. කවදාවත් නොගිය ගමනක්.

ඒත් සැමියා ගැන තිබුණු ආදරය සහ ආගම ගැන තිබුණු භක්තිය නිසා උම්මි සලමා පිටත් වුනා.

එදා හවස් වෙද්දී ඇයට දඩයමේ ගිහින් ආපහු මක්කා නගරය බලා එන තරුණයෙක් මුණ ගැසුනා. ඒ උත්මාන් ඉබ්න් තල්හා.

උත්මාන් ඉබ්න් තල්හා මේ වෙද්දී ඉස්ලාම් ආගම වැළඳගෙන හිටියේ නෑ. නමුත් ඔහු දැකලා තිබුනා උම්මි සලමා පහුගිය සති දෙක ගත කළ ආකාරය.

"ඔබ කොහෙද මේ තනිවම යන්නේ?"

තමන් යාත්‍රිබ් බලා යන බව උම්මි සලමා ඔහුට කිව්වා.

"ඔබ තනිවම යවන්න මට බෑ. මම එන්නම් ඔබව ඇරලවන්න."

උත්මාන් තමාගේ ඔටුවා උම්මි සලමාට සහ ඇගේ දරුවාට ලබා දීලා ඔටුවාගේ පටියත් අතින් අරගෙන පයින්ම යාත්‍රිබ් බලා ගමන් කළා.

උම්මි සලමා පසු කාලයක මේ සිද්ධිය විස්තර කරද්දී උත්මාන් ඉබ්න් තල්හා ගැන කිව්වේ මෙහෙම:

"මම අරාබි ජාතිකයන් අතර ඔහු තරම් සංවර කෙනෙක් දැක්කේ නෑ. ඔහු ඔටුවාගේ පටිය අල්ලාගෙන අපිත් එක්ක පයින් ගමන් කළා. නවතින්න වෙලාව ආවම ඔහු ගහක් යටට ඇවිත් අපිව ඔටුවා පිටින් බස්සලා ඔටුවත් එක්ක ටිකක් ඈතට ගියා. අපි ගහ යට නිදා ගද්දි ඔහු නිදා ගත්තේ ඔටුවත් එක්ක. ආපහු පිටත් වෙද්දී ඔහු ඔටුවා අපි ළඟට ගෙනැවිත් මම ඔටුවා පිට නගින තුරු අහක බලාගෙන හිටියා. ආයෙත් ඔහු ඔටුවා ගේ පටිය අතින් අරගෙන අපිත් එක්ක පයින් ගමන් කළා."

මේ විදිහට ඔවුන් සතියක් පුරා කාන්තාරය මැදින් ආවම යාත්‍රිබ් නගරය ඈතින් පේන තෙක් මානයට ආවා.

"අර පේන්නේ යාත්‍රිබ් නගරය. මට එහෙට ඇතුල් වෙන්න බෑ. ඔබට මේ ටික තනිවම යන්න පුළුවන්."

උත්මාන් ඔටුවා උම්මි සලමා ට දීලා තනිවම පයින් ආපහු මක්කාව වෙත ගියා.

වසර ගණනාවක් ගත වුනා. ඉස්ලාමය බලවත් වුනා. උත්මාන් ඉබ්න් තල්හා ත් ඉස්ලාමය වැළඳ ගත්තා. මුහම්මද් තුමාට මක්කා නගරයේ බලය හිමි වුනා.

මක්කාවේ බලය හිමිවුනාට පසුව මුහම්මද් තුමා එක් එක් කාර්‍යය සඳහා වගකිව යුතු අය පත් කළා. එහිදී ඔහු කාබාවේ නඩත්තු කටයුතු භාර තනතුර හෙවත් "කාබාවේ යතුරු හිමිකරු" තනතුර ලබා දුන්නේ උත්මාන් ඉබ්න් තල්හාට.

"සාදින්" නමින් හැඳින්වෙන මේ තනතුර දරන්නා කාබාවේ යතුරේ හිමිකරුවා වන අතර සියළු නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ ඔහුගේ මෙහෙයවීම යටතේ. මේක ඉතාම ගරු කටයුතු තනතුරක්.

මුල් කාලයේ සිට ඉස්ලාමය වැළඳගත් තමාට ඉතාම සමීප අනුගාමිකයන් කොතෙක් හිටියත් මුහම්මද් තුමා සාදින් තනතුර ලබා දුන්නේ උත්මාන් ඉබ්න් තල්හාට. 

ඒ විතරක් නෙවෙයි, එදා සිට ලෝකාවසානය දක්වා ඒ තනතුර දැරීමට හිමිකම ඇත්තේ ඔහුගෙන් පැවතැන එන අයට පමණක් බවත්, කවුරුන් හෝ පාලකයෙක් ඒ තනතුර ඔහුගෙන් පැහැර ගත්තොත් ඔහු අසාධාරන ඒකාධිපතියෙක් බවත් මුහම්මුද් තුමා ප්‍රකාශ කළා.

එදා සිට අද දක්වා ඒ තනතුර දැරුවේ උත්මාන් ඉබ්න් තල්හා සහ ඔහුගෙන් පැවත එන අය.

ඒ ඔහු එදා කළ යහපත් ක්‍රියාවට කළගුණ සැලකීමක් ද?

වැරහැලි ඇඳි අමුත්තා


අලෙප්පෝ කියන්නේ සිරියාවේ තියෙන ඉපැරණි නගරයක්. 12 වැනි සියවසේදී අලෙප්පෝ නගරය මුළු ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේම තිබුනු ධනවත්ම සහ ප්‍රධානම නගරයක් වුනා. විද්වතුන් ගණනාවක් අලෙප්පෝ නගරයේ ජීවත් වුනා.

එක් දවසක් අලෙප්පෝ නගරයට අමුත්තෙක් ආවා. ඔහු ආවේ බූරුවෙක් පිටේ නැගලා. අමුත්තා තරුණයෙක්. ඔහුගේ ඇඳුම් වැරහැලි. ඔහු සන්තකයට තිබුනේ ඉරී ගිය රෙදි මල්ලක් විතරයි. ඔහුගේ පාවහන් ගෙවී ගිහින්. තලප්පාව කිළුටුයි.

මේ අමුත්තා ඉස්ලාමීය ධර්මය උගන්වන මද්‍රසා පාසලකට ගිහින් එහි නවාතැන් ඉල්ලුවා. මද්‍රසාවේ ප්‍රධාන ගුරුවරයා හිතුවේ මේ තරුණයා බූරුවන් බලාගන්නා කෙනෙක් කියලා. මේ අසරණ දිළින්දාට උදව්වක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු තරුණයාට නවාතැන් දුන්නා.

රාත්‍රියේ තරුණයා එක්ක කතාවට වැටුණු පසු ඔහුට තේරුණා තරුණයාට බොහෝ දේ ගැන විශිෂ්ඨ අවබෝධයක් තියෙන බව. මේ තරුණයා නිකම්ම බූරුවෝ බලාගන්නෙක් වෙන්න බෑ කියලා ගුරුවරයාට තේරුණා. ඔහු තරුණයාගෙන් ඔහුගේ නම සහ උපන් තැන විමසා සිටියා.

"මම යහියා ඉබ්න් හබාෂ්, මම උපන්නේ පර්සියාවේ සුහරවාර්ද් ගමේ" තරුණයා කිව්වා.

ගුරුවරයා ගල් ගැහුනා. "යහියා ඉබ්න් හබාෂ් සුහරවාර්දි" හෙවත් "ෂහාබ් අද්-දීන්" කියන්නේ මුළු ඉස්ලාමීය ලෝකයේම ඉතාම ප්‍රසිද්ධ විශිෂ්ඨතම විද්වතෙක්, දාර්ශනිකයෙක් සහ සූෆි ගුරුවරයෙක්.

ගුරුවරයා වහාම තමාගේ ගෙදර දුවගෙන ගිහින් තමාගේ ඇඳුම් වලින් හොඳ ඇඳුමක් තෝරා ගත්තා. පහුවදා උදේම ඔහු තම පුතා අතේ තරුණයාට ඒ ඇඳුම යැව්වා. යහියා ඉබ්න් හබාෂ් වගේ විශ්ෂ්ඨයෙක් ඒ වගේ වැරහැලි ඇඳගෙන් ඉන්න ඉඩදෙන්න ඔහුට හිත දුන්නේ නෑ.

යහියා තමාගේ රෙදි මල්ලෙක් විශාල මැණිකක් අරගෙන ගුරුවරයාගේ පුතාට දුන්නා.

"මේ මැණික අලෙප්පෝ නගරයේ ආණ්ඩුකාරයාට පෙන්වලා ඔහු ඊට කොපමණ මුදලක් ගෙවන්න කැමතිද කියල අහගෙන එන්න."

ආණ්ඩුකාරයාගේ නිවෙසට ගොස් ආපහු පැමිණි ගුරුවරයාගේ පුතා ආණ්ඩුකාරයා මැණිකට රිදී කාසි 30,000 ක් ගෙවන්න සූදානම් බව යහියාට කිව්වා.

මද සිනා පෑ යහියා මැණික නැවතත් ඉල්ලා ගත්තා.

"මට ඔබේ පියා ගේ ඇඳුම් වලට වඩා හොඳ ඇඳුම් ඕනෑම වෙලාවක මිලදී ගන්න පුළුවන්. ඒත් මට මේ ඇඳුම ඇති."

ගුරුවරයාගේ පුතා බලාගෙන ඉඳියදීම යහියා මැණික ගලක් උඩ තියලා කුඩා කෑලි වලට කුඩු වෙලා යන්න තවත් ගලකින් ගැහුවා.

යහියා දින ගණනාවක් මද්‍රාසාවේ නැවතී හිටියා. ඔහු දිගටම ඇන්දේ අර වැරහැලි ඇඳුම්. ඒත් එක දවසක් ඔහු ඉස්තරම්ම ඇඳුමකින් සැරසී සිටිනු ගුරුවරයා දැක්කා.

"හා ඔබ අන්තිමේදී හොඳ ඇඳුමක් මිලදී ගත්තා ද?"

"නෑ, මේ ඇඳුම මම ළඟ කලින් ඉඳන්ම තිබුන එකක්. මම ඉඳහිට මේ ඇඳුම අඳිනවා. ඒ වැරහැලි අඳින එක ගැන මට මම ගැනම ආඩම්බරයක් ඇතිවුනොත්, ඒක වලක්වා ගන්න."

අලී සහ ඉටිපන්දම්


අලී ඉබ්න් අබු තාලිබ් කියන්නේ මුහම්මද් තුමාගේ සමීපම අනුගාමිකයෙක්, එතුමාගේ දියණිය වුණු ෆාතිමාගේ සැමියා සහ ඉස්ලාමීය රාජ්‍යයේ හතරවෙනි කලීෆා වරයා.

අලී කලීෆා ධූරය දරන දවස් වල දවසක් ඔහු හමුවෙන්න ඔහුගේ මිතුරන් දෙදෙනෙක් ආවා. ඔවුන් ආවේ පුද්ගලික කටයුත්තක් ගැන කතා කරන්න.

ඔවුන් අලී ගේ නිවසට එද්දී රෑ බෝවෙලා. අලී ඉටිපන්දමක එළියෙන් ලියකියවිලි වල වැඩක් කරමින් හිටියා. මිතුරන් දෙදෙනා දුටු අලී ඔවුන්ව පිළිගෙන ඔවුන්ට ඉඳ ගන්න අසුනක් දීලා ඔවුන් ආපු කාරණාව විමසා සිටියා.

ඔවුන් ආවේ පුද්ගලික කටයුත්තකට කියල දැනගත් වහාම අලී අත ඔසවලා ඔවුන්ව නතර කළා. ඊට පස්සේ මේසය උඩ දැල්වෙමින් තිබුණු ඉටිපන්දම නිවලා ළඟ තිබුණු පෙට්ටියක් ඇතුළෙන් වෙනත් ඉටිපන්දමක් අරගෙන ඒක පත්තු කරලා මේසය උඩ තිබ්බා.

"ඔබ කරගෙන ආපු කතාව කියන්න"

අලී මිතුරන්ට අතින් සන් කරමින් කිව්වා.

මිතුරන් දෙදෙනා වික්ෂිප්ත වෙලා අලී දිහා බලාගෙන හිටියා.

"මොකද්ද ඔබ ඒ කරේ?"

ඔවුන් ඇහුවා.

"කලින් තිබුණු ඉටිපන්දම භාණ්ඩාගාරයේ මුදලින් ගත්ත එකක්. මේ ඉටිපන්දම මගේ පුද්ගලික මුදලින් ගත්ත එකක්. මගේ පුද්ගලික වැඩකට භාණ්ඩාගාරයේ මුදලින් ගත්ත ඉටිපන්දමක් වැය කරන්නේ කොහොමද?"

=====================================

අලී ගේ වැඩිමල් සොහොයුරාගේ නම අකීල්. අකීල් ජීවිතයේ අවසාන කාලයේ අන්ධ බවට පත් වෙලා හිටියා. ජීවිකාව කරගෙන යන්න නොහැකි වීම නිසා ඔහු ජීවත් වුනේ අපහසුවෙන්.

"ඔබේ මල්ලි අලී කලීෆා වරයා නේද? ඇයි ඔබ මේ වගේ දුක් විඳින්නේ? මල්ලිට කියලා මුදලක් ඉල්ලාගෙන පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් නේ?"

අකීල් ගේ අසල්වැසියන් ඔහුට කිව්වා. ඒ නිසා අකීල් දවසක් ඔහු ජීවත් වුන මදීනා නගරයේ ඉඳන් අලී හිටිය ඉරාකයේ කූෆා නගරයට පිටත් වුනේ අලී ගෙන් අධාරයක් බලාපොරොත්තුවෙන්.

සති කිහිපයක දුෂ්කර ගමනකට පසු අකීල් කූෆා නගරයට ඇවිත් අලී හමු වුනා. අලී ඔහුව සාදරයෙන් පිළිගෙන ආපු කාරනාව විමසා සිටියා. අකීල් ඔහුගෙන් මුදල් ආධාරයක් ඉල්ලුවා. අලී කලීෆා වරයා වුනත් ඔහු ජීවත් වුනේ කලීෆා වෙන්න කලින් ගත කළ සුපුරුදු විදිහටමයි. ඒ නිසා ඔහු ළඟ ගොඩක් මුදල් තිබුනේ නෑ. ඔහු ඒ බව අකීල් ට කිව්වම භාණ්ඩාගාරයෙන් මුදල් ටිකක් අරන් දෙන්න කියලා අකීල් යෝජනා කළා.

"මට ඔබේ අත දෙන්න"

අලී කිව්වා. අකීල් ඔහුගේ අත අලීට දිගු කලා. අන්ධයෙක් නිසා අකීල්ට අලී කරන දේ පෙනුනේ නෑ. එක වරම අකීල්ට තියුණු වේදනාවක් දැනුනා. ඔහු වේදනාවෙන් කෑ ගහලා අත ඇදලා ගත්තා.

අලී ඔහුගේ අත අරගෙන මේසය මත තිබුණු ඉටිපන්දමේ දැල්ලට අල්ලලා.

"ඔබ මොනවද මේ කරන්නේ? මගේ අත පිච්චුනා"

අකීල් කෝපයෙන් ඇහුවා.

"අකීල්, මගේ සොයුර, මේ ඉටිපන්දමේ පුංචි දැල්ලෙන් පිච්චුනාම ඔබට මේ තරම් වේදනාවක් දැනුනා නං, අපායේ ගිනිදැල් වලින් දැවෙනකොට කොච්චර වේදනාවක් දැනෙයි ද? ඔබව ඒ වේදනාවට පත් කරන්න මට බෑ."

උදව්වට ආ අමුත්තා


ඉස්ලාමීය රාජ්‍යයේ හතරවැනි කලීෆා වරයා වුනේ අලී ඉබ්න් අබු තාලිබ්. ඔහු මුහම්මද් තුමාගේ සමීපම අනුගාමිකයෙක් වගේම එතුමාගේ දියණිය වුනු ෆාතිමා ගේ සැමියා.

අලී ගේ පාලන සමයේ ඉස්ලාමීය රාජ්‍යය කැරලි සහ යුධ ගැටුම් වලින් ගහණ කාලයක් වුනා. දරුණු යුද්ධ තුනක් මේ කාලයේ ඇති වුනා. ඒවායින් දහස් ගණනක් මිය ගියා.

මේ කාලයේ ඉස්ලාමීය රාජ්‍යයයේ අගනුවර වුනු ඉරාකයේ කූෆා නගරයේ මහළු කාන්තාවක් වාසය කළා. ඇය ජීවත් වුනේ ඇගේ සැමියා සහ පුතා සමඟ. ඇගේ දියණිය විවාහ වී වෙනත් නගරයක වාසය කළා. ඔවුන් ජීවිකාව වශයෙන් කළේ පාන් විකිණීම.

යුධ ගැටුම් ඇතිවුනු විට මේ කාන්තාවගේ සැමියා සහ පුතා අලී ගේ හමුදාවට එක්වී සටන් බිමට ගියා. නහරවාන් නම් ස්ථානයේ සිදුවුනු දරුණු සටනකදී අලී ගේ හමුදාව සතුරන් පරදා ජය ගත්තත්, අර කාන්තාවගේ සැමියා සහ පුතා දෙදෙනාම සටනින් මිය ගියා.

දැන් ඇයට ජීවත් වෙන්න වුනේ තනියම. ඇය ඉතා අපහසුවෙන් පිටි ගෙනවිත් පිටි අනා පාන් සාදා ඒවා විකුණුවා. ඒත් ඇය මහළු නිසා ඒ දේවල් කළේ ඉතා අපහසුවෙන්. මේ නිසා ඇයට විකුණන්න පුළුවන් වුනේ පාන් සුළු ප්‍රමානයක් පමණයි. ඇය ගෙව්වේ ඉතාම දිළිඳු ජීවිතයක්.

තමාගේ ආදරණීයන් මිය යාම සහ ජීවිකාව අඩාල වීම ගැන ඇය සිටියේ පාළුවෙන්, කේන්තියෙන් සහ දුකෙන්. පාළුව දරාගන්න බැරි වුනු දවස් වල ඇය ඇගේ කෝපය සහ දුක තුනී කර ගත්තේ තනිවම අලී ට දොස් කීමෙන් සහ ශාප කිරීමෙන්.

දවසක් කවුදෝ මිනිහෙක් ඇගේ ගෙදර ඉදිරිපස වීදියේ ගමන් කරද්දී ඇය අලී ට දොස් නගනු ඇසී එතැන නතර වුනා. ඔහු ඇයට කතා කරලා අලීට ශාප කරන්න හේතුව ඇහුවා. ඇය තමන්ට සිදුවුන දේවල් ඔහුට විස්තර කරලා දුන්නා. අමුත්තාගේ මුහුණ ශෝකයෙන් බර වුනා. ඔහු බිම බලාගෙන මොහොතක් කල්පනා කළා.

"හොඳයි අම්මේ, මම ජීවත් වෙන්නේ මේ ළඟ. මම හැමදාම උදේට ඇවිත් ඔබට වෙළඳපොලෙන් පිටි ගෙනල්ලා ඒවා අනලා දෙන්නම්"

ඇය අමුත්තාට බොහොම ස්තූති කළා. ඒත් කවදාවත් දැකලා නැති අමුත්තෙක් එතරම් කාරුණික වීම ගැන ඇයට ඇතිවුනේ සැකයක්. "සමහර විට ඔහු මාව රවට්ටනවා ඇති" ඇයට එහෙම හිතුනා.

ඒත් පහුවදා උදේම පොරොන්දුවුන විදිහටම අමුත්තා ඇයගේ ගෙදර දොරකඩ පෙනී හිටියා. ඔහු ඇයගෙන් මුදල් ලබාගෙන වෙළඳපොළට ගිහින් පිටි ගෙනත් ඒවා අනලා දුන්නා. පිටි අනලා ඉවර වෙලා ඒවා පෝරණුවට දැම්මට පස්සෙ තමයි අමුත්තා ආපසු ගියේ. අමුත්තා බොහොම ශක්තිමත්. කඩිසරයි. ඒ නිසා ඔහු පිටි ගොඩක් ඇනුවා. ඇයට පාන් ගොඩක් පුළුස්සන්න පුළුවන් වුනා. ඇයට ඉතාම සතුටුයි.

මේ විදිහට අමුත්තා හැමදාම උදේට ඇයගේ ගෙදර ඇවිත් පිටි අනලා දුන්නා. ඇය පාන් ගොඩක් විකුණුවා. ඇගේ අගහිඟ කම් ටිකෙන් ටික දුරු වෙලා ගියා. අමුත්තා බොහොම කාරුණික බුද්ධිමත් කෙනෙක්. ඔහු පිටි අනන ගමන් ඇයත් එක්ක ගොඩක් දේවල් ගැන කතා කළා. ආගම ගැන, දෙවියන් ගැන, ඈත රටවල්, නගර ගැන. ඇය නැවතත් ප්‍රීතියෙන් ජීවත් වෙන්න පටන් ගත්තා.

ඔහොම මාස කීපයක් ගත වුනා. එක දවසක් ඇගේ දුව ඇයව බලන්න ආවා. දුව ඇගේ ගෙදරට එද්දිම අමුත්තා උදෑසන රාජකාරිය නිමවලා පිටව යනවා. අමුත්තාව දැක්ක ගමන් දුව පුදුමයෙන් ගල් ගැහුනා.

"අම්මේ, ඇයි ඔහු මෙහෙ එන්නේ?"

ඇය ගොත ගහමින් මවගෙන් ඇහුවා.

"දුවේ, එයා බොහොම කරුණාවන්ත මනුස්සයෙක්. හැමදාම උදේට ඇවිල්ලා මට පාන් හදන්න උදව් කරනවා. එයා නැත්තම් සමහර විට මම මැරිලා"

"අම්මේ, ඒ කවුද කියලා දන්නවද?"

"ඔව්. ඔහු මේ ළඟපාතමයි ජීවත් වෙන්නේ."

"අම්මේ ඒ අපේ කලීෆා වරයා, අලී"

කාන්තාව භීතියෙන් මුසපත් වුනා. ඇයගේ දෙපා පණ නැති වෙලා ඇය බිම ඇද වැටුනා. ඇගේ දුව ඇයව ඔසවා ගත්තට පස්සේ ඇය කරපු පළවෙනි දේ ගෙදරින් එළියට පැනලා වීදිය දිගේ අමුත්තා පසුපස හඹා යාම. ටික වේලාවකින් ඇය අමුත්තා අල්ලා ගත්තා.

"ඒ ඇත්තද? මට කියන්න, ඔබ අලී ද?"

අමුත්තා කිසිවක් කිව්වේ නෑ.

"කලීෆා තුමනී මට සමාවෙන්න. මම ඔබ කවුද කියලා දැනගෙන හිටියේ නෑ. මම දැනගෙන හිටියා නම් කවදාවත් ඔබට ශාප කරන්නේ නෑ....."

ඇය දිගින් දිගටම කියවාගෙන ගියත්, අලී අත ඔසවලා ඇයව නැවත්තුවා.

"නෑ. ඔබට හැකිනම් මම නිසා ඔබට සිත් තැවුලක් ඇතිවීම ගැන, මට සමාව දෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න."

කිරි වෙළෙන්දිය ගේ මුණුපුරා


ඉස්ලාමීය රාජ්‍යයේ දෙවෙනි කලීෆා වරයා වුනේ උමර් ඉබ්න් අල්-කත්තාබ්. ඔහු ඉස්ලාමීය ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්, වගේම මුහම්මද් තුමාගේ ළඟම සහචරයෙක් සහ එතුමාගේ අනුප්‍රාප්තිකයෙක්.

උමර් ගේ අගනුවර වුනේ අරාබියේ මදීනා නගරය. හවසට නගරයේ ඇවිදින එක ඔහුගේ පුරුද්දක් වෙලා තිබුනා. මෙහෙම ඇවිදපු එක සවසක ඔහුට මහන්සි දැනිලා වීදියේ කොණක තිබුන පරණ බැම්මකට පිට දීලා ඉඳගත්තේ මහන්සි අරින්න.

ඒ බැම්ම එහා පැත්තෙ තිබුනේ කුඩා ගෙදරක්. එහි වාසය කළේ දුප්පත් කාන්තාවක් සහ ඇගේ තරුණ දුව. ඔවුන් ජීවත් වුනේ කිරි විකුණලා. උමර් මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒත් බැම්මට හේත්තු වෙලා හිටපු ඔහුට බැම්මෙන් එහා පැත්තෙ කෙරෙන සංවාදය ඇහුනා.

කිරි වෙළන්දිය සහ දුව පහුවදා විකුණන කිරි සකස් කරමින් හිටියේ. කිරි වලට වතුර එක් කරන ලෙස වෙළෙන්දිය දුවට කිව්වා. එතකොට ඔවුන්ට වැඩිපුර කීයක් හරි හොයා ගන්න පුළුවන්. ඒත් දුව ඒක ප්‍රතික්ෂේප කලා.

"අපේ නායකයා උමර් අපිට අණ කරලා තියෙනවා නේද විකුණන කිරි වලට වතුර එක් කරන්න එපා කියලා?"

"උමර්ට අපිව පේන්නෙ නෑ නෙ, පැහිච්චකම් නැතුව ඕකට වතුර දාපන්"

"අම්මේ, උමර්ට අපිව පේන්නෙ නෑ තමයි, ඒත් දෙවියන්ට අපිව පේනවා"

උමර් මද සිනා පාලා හිස සැලුවා. ඔහු තමාගේ සේවකයාට කිව්වා බැම්මේ හුණු කෑල්ලකින් සලකුණක් තියන්න.
පහුවදා උමර් තමාගේ පුතුන් කැඳවලා සිදුවීම විස්තර කළා.

"නුඹලාගෙන් කවුද කැමති මේ තරුණිය විවාහ කරගන්න?"

උමර්වත්, ඔහුගේ පුතුන්වත් මේ තරුණිය ලස්සනද කැතද, උසද මිටිද, කළුද සුදුද කියල වත් දැකල තිබුනේ නෑ. ඒත්  උමර් ගේ තරුණ අවිවාහක පුතෙක් වුනු අසීම් එක පයින් ඇයව විවාහ කරගන්න කැමති වුනා.

උමර් සේවකයෙක් එක්ක ඔටුවෙක් යැව්වා කිරි වෙළෙන්දිය සහ තරුණිය තමා වෙත කැඳවාගෙන එන්න. ඔවුන් උමර් ගේ නිවසට ආවේ බියෙන් ගැහෙමින්. උමර් කිරි වෙළෙන්දියට තමාගේ පුතා ඇගේ දියණිය විවාහ කරගන්න කැමති බව කියා සිටියා. ඔවුන්ට අදහා ගන්න බෑ. විවාහය සිදු වුනා.

ඉතිහාසයේ මේ තරුණිය ගේ නම සඳහන් වෙන්නේ නෑ. ඒත් අසීම්ට සහ ඇයට ලැබෙන දියණිය ගැන සඳහන් වෙනවා. ඇගේ නම ලයිලා. ලයිලා විවාහ වෙන්නේ බලවත් සහ වංශවත් පවුලක තරුණයෙක් එක්ක. ඔහුගේ නම අබ්දුල් අසීස්.

පසු කාලෙක අබ්දුල් අසීස් ගේ පවුල වුනු උමයියා වංශය ඉස්ලාමීය රාජ්‍යයේ කලීෆා තනතුර හිමි කර ගන්නවා. අබ්දුල් අසීස් ගේ සොහොයුරා සහ සොහොයුරාගේ පුතා වුන සුලෙයිමාන් කලීෆා තනතුරට පත් වෙනවා. අබ්දුල් අසීස් ඊජිප්තුවේ ආණ්ඩුකාර තනතුර ලබනවා. මේ වන විට ඉස්ලාමීය රාජ්‍යය තමයි මුළු ලෝකයේම තිබුන බලවත්ම සහ ධනවත්ම රාජ්‍යය.

අබ්දුල් අසීස් ට සහ ලයිලා ට පුතෙක් ලැබෙනවා. ඔවුන් උමර් ඉබ්න් අල්-කත්තාබ් සිහි වෙන්න ඔහුට උමර් කියලා නම තියනවා. උමර් බුද්ධිමත් බව සහ ආගමික භක්තිය නිසා ඉමහත් ප්‍රසිද්ධියක් ලබනවා.
මේ කාලයේ කලීෆා තනතුර දැරූ සුලෙයිමාන් රෝගාතුර වෙලා මිය යන්න ලෙඩ ඇඳේ ඉද්දි ඔහුගේ පුරෝහිතයන් ඔහුගෙන් පසු කලීෆා තනතුර හිමි වෙන්නේ කාටද කියා අහනවා. සුලෙයිමාන් ට පුතුන් රැසක් හිටියත්, ඔහු තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගන්නේ උමර්.

දුප්පත් කිරි වෙළෙන්දියගේ මුණුපුරා ලෝකයේ බලවත්ම රාජ්‍යයේ පාලකයා වෙන්නේ එහෙමයි.

Thursday, June 29, 2023

ඊශ්‍රායල - පලස්තීන අර්බුදය - 3 (වර්තමාන අර්බුදය)

 


ඊශ්‍රායලය බිහිවීම

දෙවෙනි ලෝක යුධ සමය පලස්තීනයට සාමකාමී කාලයක් වුනා. මුළු ලෝකයම යුරෝපය සහ නැගෙනහිර ආසියාව දිහා අවධානය යොමු කළ නිසා පලස්තීනය කාගේවත් අවධානයට යොමු වුනේ නෑ. 1939 ධවල පත්‍රිකාවෙන් යුදෙව් සංක්‍රමන සීමා වුනු නිසා අරාබීන් සන්සුන් වුනා. තම ප්‍රධාන සතුරා වුනු ජර්මනිය සමඟ බ්‍රිතාන්‍යය යුධ වැදුනු නිසා බ්‍රිතාන්‍යයට සහය දෙන ප්‍රතිපත්තියක සිටි යුදෙව්වන් කලබල ඇති කිරීමෙන් බ්‍රිතාන්‍යයට හිරිහැර කිරීමෙන් වැළකුනා.

පලස්තීනය සාමකාමී වුනත් යුරෝපය අතිශය අමානුෂික අරගලයක පැටලී සිටියා. විශේෂයෙන්ම යුරෝපීය යුදෙව්වන්‍ට මේ කාලය අතිශය බිහිසුණු කාලයක් වුනා. නාසි ජර්මනිය සහ ඔවුන් ගේ මිතුරු නැගෙනහිර යුරෝපීය රටවල් වුනු හන්ගේරියාව, රුමේනියාව, ක්‍රොයේෂියාව, යුක්‍රේනය වැනි රටවල් ඉතිහාසයේ නොවී විරූ දැවැන්ත යුදෙව් සංහාරයක නිරත වුනා. 1938-1945 වකවානුව තුල යුරෝපීය යුදෙව්වන් මිලියන 6 ක් ඝාතනය වුනු බව ඇස්තමේන්තු කර තියෙනවා. මේ ගණනය කළ ක්‍රමවේදය එතරම් විශ්වාසනීය නොවුනත්, ඇදහිය නොහැකි තරම් විශාල යුදෙව්වන් පිරිසක් මරා දැමුණු බව අවිවාදිතයි.

මේ යුදෙව් සංහාරය නිසා යුදෙව් දේශපාලනයේ වැදගත් වෙනස් කම් කීපයක් සිදු වුනා.

1. මේ වන තුරු යුදෙව්වන් දෙස සතුරු ඇසකින් බැලූ යුරෝපීයයන් යුදෙව්වන් දෙස සානුකම්පිත ඇසකින් බැලීමට පටන් ගත්තා.

2. මෙතෙක් කල් යුදෙව් ආගමික මනෝ රාජික සිහිනයක් වශයෙන් පැවතුනු යුදෙව් රාජ්‍යයක් පිළිබඳ සංකල්පය ලෝකය පුරාම පිළිගත් සංකල්පයක් බවට පත් වුනා.

3. අෂ්කනාසි යුදෙව්වන් විශාල ප්‍රමානයක් මරණයට පත් වුනු නිසා යුදෙව්වන් අතර සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන් ගේ බලය වැඩි වුනා.

4. දක්ෂිණාංශික සයොන්වාදය බලවත් වෙන්න පටන් ගත්තා.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම පලස්තීනය නැවතත් ගිනියම් වෙන්න පටන් ගත්තා. යුද්ධය නිසා දුර්වල වුනු බ්‍රිතාන්‍යය කොයි මොහෙතේ හරි පලස්තීනයට නිදහස ලබා දෙන බව දැනගත් යුදෙව්වන්, ඒ නිදහස 1939 ධවල පත්‍රිකාවට අනුව සිදු වුනොත් යුදෙව් රාජ්‍යයක් පිළිබඳ සිහිනය බොඳ වන බව දැක්කා. ඒ නිසා ඔවුන් ඊට පෙර තමාට අවශ්‍යය ආකාරයේ නිදහසක් වෙනුවෙන් සටන් කිරීම ඇරඹුවා.


යුදෙව් කැරැල්ල

යුදෙව්වන් මුලින්ම කළේ සමාජවාදී හගනා මිලිෂියා සහ දක්ෂිණාංශික එට්සෙල් මිලිෂියා එක් කර සන්ධානගත වීම. මේ නව මිලිෂියාව හැඳින්වුනේ "හීබෲ විප්ලවකාරී ව්‍යාපාරය" නමින්. 30,000 ක මපණ සාමාජිකත්වයකින් යුතු මේ නව මිලිෂියාව බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ඇරඹුවා. ඒ අතර යුරෝපය පුරා "බ්‍රිහා" (පළායාම) නමින් හැඳින්වුනු ව්‍යාපාරයක් බිහි වුනා. බ්‍රිහා ව්‍යාපාරය මගින් කළේ යුරෝපයේ සංහාරයෙන් බේරුනු යුදෙව්වන් රහසිගතව පලස්තීනය කරා එවීමට පටන් ගත්තා.

බ්‍රිතාන්‍යය මේ දෙකටම එරෙහිව බලය යොදා මැඩ පැවැත්වීමට උත්සහ කළත්, එය සාර්ථක වුනේ නෑ. 1948 වන විට ලක්ෂ තුනකට අධික යුදෙව්වන් ප්‍රමානයක් පලස්තීනයට රහසිගතව ඇතුළු වුනා. ඒ අතර යුදෙව් මිලිෂියා වල ප්‍රචණ්ඩ ක්‍රියා එන්න එන්නම උත්සන්න වුනා. ඒ මැඩපැවැත්වීමට 100,000 ක හමුදාවක් පලස්තීනයට යැවීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වුනා.

යුදෙව්වන් ගේ බෝම්බ ප්‍රහාරයකින් විනාශ වුනු දුම්රියක්

1947 වන විට පලස්තීනය දිගටම යටත් විජිතයක් ලෙස පවත්වා ගැනීම අපහසු බව බ්‍රිතාන්‍යයන්ට වැටහී ගියා. නමුත් එයට නිදහස ලබා දිය යුතු ආකාරය ගැන ඔවුන්ට වැටහීමක් තිබුනේ නෑ. ඒ නිසා ඔවුන් කළේ පලස්තීනය පිළිබඳ ප්‍රශ්නය අළුතෙන් නිර්මාණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දී අත පිහිදා ගැනීම.


නිදහස

එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රධාන බලවතුන් දෙදෙනා වුනේ සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය. මේ වන විට ඇමරිකාවේ විශාල යුදෙව් ජනගහණයක් වාසය කළ අතර ඔවුන් ඇමරිකන් දේශපාලනයේ තීරණාත්මක බලවේගයක් වුනා. ඒ අතර සෝවියට් දේශය සමාජවාදීන්ට වැඩි බලයක් තිබූ පලස්තීන යුදෙව්වන් දැක්කේ සහෝදර සමාජවාදීන් විදිහට. මේ නිසා එක්සත් ජාතීන් ප්‍රශ්නය දිහා බැලුවේ යුදෙව්වන්ට වඩාත් වාසි සහගත ආකාරයට.

මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතර තුර යුදෙව්වන් දිගටම එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් වැඩ කළත්, අරාබීන් එම සාකච්ඡා වර්ජනය කළා. ඔවුන් පලස්තීනයට කෙලින්ම නිදහස අපේක්ෂා කළ අතර "සාකච්ඡා කිරීමට දෙයක් නැති බව" විශ්වාස කළා.

මේ වන විට පලස්තීනයේ යුදෙව් ජනගහණය 33% ක්. අරාබීන් සංඛ්‍යාවෙන් වැඩි වුනත්, යුදෙව්වන් සංවිධානාත්මකව ඔවුන්ට වඩා ඉතා ඉදිරියෙන් සිටියා. පලස්තීනයේ සියළු ඉඩම් වලින් 8% පමණ යුදෙව්වන් සතු වුනා. ජනගහණයෙන් 67% වූ අරාබීන් (ක්‍රිස්තියානි සහ මුස්ලිම් දෙකොටසම) ඉඩම් වලින් 20% කට පමණ හිමිකම් කීවා. ඉතුරු ඉඩම් කිසිවෙක් විසින් ප්‍රදිංචි නොවුනු ඉඩම්.

1947 දී පලස්තීනයේ යුදෙව් ජනාවාස

මේ වන විට පලස්තීන අරාබීන්ට නායකත්වය ලැබුනේ "අරාබි උත්තරීතර කමිටුව" නම් සංවිධානයකින්. විවිධ අරාබි දේශපාලන කණ්ඩායම් සහ ගෝත්‍ර වල එකතුවක් වූ මේ කමිටුවේ නායකත්වය දැරුවේ ජෙරුසෙලමේ මුෆ්ති වරයා වූ මුහම්මද් අමීන්. මුහම්මද් අමීන් දැඩි යුදෙව් විරෝධියෙක් වුනු අතර දෙවන ලෝක යුධ සමයේදී නාසි ජර්මනිය සමඟ සමීප සබඳතා පැවැත්වීමට තරම් මේ විරෝධය ප්‍රභල වුනා.

පලස්තීනයේ අසල්වැසි අරාබි රාජ්‍යයන් මේ වන විට අරාබි ලීගය පිහිටුවාගෙන තිබුණා. අරාබි ලීගයේ සහය පලස්තීන අරාබින්ට ලැබුනා. ඒ එක්කම අරාබි ලීගයේ නායකත්වය ගැනීමට ජෝර්දානය, ඊජිප්තුව සහ සිරියාව අතර තිබුණේ දැඩි තරගයක්. එනමුත් මේ අරාබි රටවල් හෝ පලස්තීන අරාබීන් සංවිධානාත්මක හැකියාව අතින් හිටියේ පලස්තීන යුදෙව්වන්ට වඩා ගව් ගණනක් පිටුපසින්. සුපුරුදු අසමඟිය තමයි අරාබීන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය.

එක්සත් ජාතීන් ගේ යෝජනාව වුනේ පලස්තීනය දෙකඩ කරලා යුදෙව්වන්ට එක රටක් සහ අරාබීන්ට තවත් රටක් ලෙස රටවල් දෙකක් බිහි කරන්න. ජෙරුසෙලම නගරය රටවල් දෙකටම අයත් නොවී එක්සත් ජාතීන් යටතේ තැබීමට යෝජනා වුනා. යෝජිත යුදෙව් රාජ්‍යයට සම්පූර්ණ ඉඩම් වලින් 56% ක් අයිති වුනු අතර, මුහුදු වෙරළෙන් වැඩි පංගුව අයත් වුනේත් එයට.

මේ යෝජනාව 1947 නොවැම්බර් 29 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත වුනා. රාජ්‍යය දෙකේ විසඳුම හෙවත් Two State Solution කියලා හැඳින්වෙන්නේ මේ විසඳුම.

"රාජ්‍යය දෙකේ විසඳුම"

අරාබි-ඊශ්‍රායල යුද්ධය (1947)

පළමු අදියර

මේ යෝජනාව සම්මත වීම පලස්තීන අරාබීන්ගේ දැඩි කෝපයටත්, පලස්තීන යුදෙව්වන් ගේ දැඩි සතුටටත් හේතු වුනා. 1947 නොවැම්බර් 30 වැනිදා අරාබීන් සහ යුදෙව්වන් අතර ප්‍රචන්ඩ ක්‍රියා පටන් ගත්තා.

යුදෙව් පාර්ශවය සමන්විත වුනේ වාමාංශික හගනා මිලිෂියාවන් සහ දක්ෂිනාංශික එට්සෙල් සහ ලෙහි මිලිෂියාවන් ගෙන්. මොවුන් සංඛ්‍යාවෙන් 35,000 ක් පමණ වුනා. ඊට අමතරව විදේශයන්ගෙන් පැමිණි යුදෙව් සහ යුදෙව් නොවන සටන් කරුවන් 4000 ක් පමණ ඔවුන්ට එක් වුනා. යුදෙව් පාර්ශවයේ නායකයා වුනේ සමාජවාදී මපායි පක්ෂයේ ඩේවිඩ් බෙන්-ගුරියොන්.

අරාබි පාර්ශවය ඒ තරම් සංවිධානාත්මක වුනේ නෑ. ඔවුන්ට හිටියේ ප්‍රාදේශීය සන්නද්ධ කල්ලි. මේ කණ්ඩායම් අතර ඒ තරම් සන්නිවේදනයක් තිබුනේ නෑ. අරාබි සන්නද්ධ කල්ලි යුදෙව් ජනාවාස වලට පහර දී යුදෙව්වන් මරා දැමූ අතර, යුදෙව් මිලිෂියාවන් ජනාකීර්න තැන්වල ස්ථානගත කළ බෝම්බ වලින් අරාබීන් මරා දැමුවා.

1948 ජනවාරි මාසයේදී පලස්තීන අරාබි නායකයෙක් වුනු අබ්දුල් කදීර් ඊජිප්තුවේ සිට පලස්තීන අරාබීන් 400 කගෙන් පමණ සමන්විත වුනු හමුදාවක් සමඟ පලස්තීනයට ඇතුල් වුනා. මේ හමුදාව හැඳින්වුනේ "ජායිස් අල්-ජිහාද්" (ශුද්ධ වූ යුද්ධයේ හමුදාව). ඔහු ගමන් කළේ ජෙරුසෙලම දෙසට. අතරමග පලස්තීන අරාබි ජනාවාස වලින් සටන්කාමීන් එක් කරගනිමින් ජෙරුසෙලමට ළඟා වන විට මේ හමුදාව 10,000 ක පමණ විශාලත්වයෙන් යුක්ත වුනා. ඔවුන් යුදෙව්වන් 100,000 පමණ ජීවත් වූ ජෙරුසෙලම වටලෑවා.

අබ්දුල් කදීර්

ඊට සමගාමීව අරාබි ලීගය මගින් සිරියාවේ ස්වේච්ඡා හමුදාවක් ගොඩ නැගුවා. මේ හමුදාව ප්‍රධාන වශයෙන් සමන්විත වුනේ සිරියානු, ජෝර්දාන, ඉරාක සහ ලෙබනන හමුදා සෙබළුන්ගෙන්. තවමත් නිල වශයෙන් පලස්තීනය බ්‍රිතාන්‍යය යටත් විජිතයක් නිසා අරාබි ලීගයට තම නිල යුද්ධ හමුදාව පලස්තීනයට එවීමට නොහැකි වුනා. මේ ස්වේච්ඡා හමුදාව බිහි කළේ ඊට විසඳුමක් ලෙස. අරාබි විමුක්ති හමුදාව ලෙස හැඳින්වුනු මේ හමුදාව සෙබළු 6000 කගෙන් සමන්විත වුනා.

අරාබි විමුක්ති හමුදාව

මේ අරාබි හමුදා දෙකේ ආගමනයත් සමඟ එතෙක් ගරිල්ලා යුද්ධයක ස්වරූපයෙන් පැවති යුද්ධය නියම යුද්ධයක් බවට පත් වුනා.

යුද්ධයේ මුල අවධිය අරාබීන්ට වාසි සහගත වුනා. විශේෂයෙන්ම අබ්දුල් කදීර් ගේ ජායිෂ් අල්-ජිහාද් හමුදාව ජෙරුසෙලම වටලෑම නිසා ඒ වට විසූ යුදෙව්වන් දැඩි අපහසුතාවයට පත් වුනා. ඒ අතර ලෙස දක්ෂිණාංශික යුදෙව් මිලිෂියා අරාබි ජනාවාස වල ඝාතන රැල්ලක් ඇරඹුවා. යුදෙව් බහුතරයක් විසූ ප්‍රදේශ වල සිටි අරාබීන් 100,000 පමණ අරාබි බහුතරයක් විසූ ප්‍රදේශ වලට පළා ගියා. මෙය වාර්ගික ශුද්ධ කිරීමක් ලෙස සලකන්න පුළුවන්.

අප්‍රේල් මාසයේදී ඩේවිඩ් බෙන්-ගුරියන් තමාගේ හගනා මිලිෂියාවන් සංවිධානගත කරලා ප්‍රතිප්‍රහාර දීම ඇරඹුවා. ඔවුන් මුලින්ම කළේ ජෙරුසෙලම මුදා ගැනීම. මේ ප්‍රහාරයේදී අබ්දුල් කදීර් මිය ගිය අතර ජෙරුසෙලම මුදා ගන්න යුදෙව්වන් සමත් වුනා. ඒ අතර උතුරු පලස්තීනයේ සිදු වූ සටන් කීපයකින්ම අරාබි විමුක්ති හමුදාවට තීරණාත්මක පරාජයන් අත් වුනා.

සටන් දරුණු වත්ම දෙපාර්ශවයම සිවිල් වැසියන් ඝාතනය කිරීම් උත්සන්න කළා. ස්ථාන කීපයකදීම සිවිල් වැසියන් සිය ගණන් අවි ගත් කල්ලි විසින් මරා දැමුනා. ඒ අතර දක්ෂිණාංශික යුදෙව් මිලිෂියාවන් ක්‍රමයෙන් යුදෙව් ප්‍රදේශ වල සිටි අරාබීන් ඉන් පළවා හරිමින් වාර්ගික ශුද්ධකරණය දිගටම ගෙන ගියා. මැයි මස වන විට මෙසේ පළාගිය අරාබීන් ගණන 350,000 පමණ වුනා. මෙය අරාබීන් හැඳින්වූයේ "නක්බා" (ව්‍යසනය) නමින්.

යුදෙව් මිලිෂියා හමුවේ පලා යන පලස්තීන අරාබි වැසියන්

බ්‍රිතාන්‍යය හමුදාව මේ ගැටුම් වලට කෙලින්ම මැදිහත් වුනේ නෑ. ඒ වෙනුවට ඔවුන් ක්‍රමයෙන් තම හමුදාවන් පලස්තීනයෙන් ඉවත් කර ගත්තා. 1948 මැයි 14 වැනිදා බ්‍රිතාන්‍යය හමුදාව සිය අවසන් කඳවුර ඉවත් කර ගැනීමත් සමඟම යුදෙව්වන් නිදහස් යුදෙව් රාජ්‍යයක් ඊශ්‍රායලය නමින් ප්‍රකාශ කළා. එය සමන්විත වුනේ එක්සත් ජාතීන්ගේ යෝජනාවේ යුදෙව් ප්‍රදේශ ලෙස වෙන් කළ ප්‍රදේශ වලින්.

නව ඊශ්‍රායල් රාජ්‍යය මුලින්ම පිළිගනු ලැබුවේ සෝවියට් දේශය විසින්. ඊට ටික දිනකට පසු ඇමරිකාවත් එය පිළිගත්තා.


දෙවන අදියර

බ්‍රිතාන්‍යය පලස්තීනයෙන් ඉවත් වීමත් සමඟම අරාබි ලීගයට කෙලින්ම යුද්ධයට මැදිහත් වීමේ අවස්ථාව ලැබුනා. ඒ අනුව ඊජිප්තුව දකුණෙන්, ජෝර්දානය සහ ඉරාකය නැගෙනහිරින්, සිරියාව සහ ලෙබනනය උතුරින් පලස්තීනයට ඇතුළු වුනා.

අරාබි ලීගයේ හමුදා මෙහෙයුම්

අරාබි රටවල් නිදහස් රාජ්‍යයන් ලෙස පැවතුනත්, ඒවා තවමත් නූතන බටහිර පන්නයේ රාජ්‍යයන් ලෙස හැඩ ගැසී තිබුනේ නෑ. ඒවායේ ශක්තිමත් මධ්‍ය පාලනයක් හෝ විධිමත් හමුදාවන් තිබුනේ නෑ. බටහිර පන්නයේ සංවිධානත්මක හමුදාවක් තිබුනේ බ්‍රිතාන්‍යය උපදේශකයන්ගෙන් සමන්විත වුනු ජෝර්දානයට පමණයි. නමුත් ඊශ්‍රායලයට නොතිබුනු එක් වාසියක් අරාබි ලීගයට තිබුනා. ඒ ඔවුන් සතුව යුධ ටැංකි සහ කාලතුවක්කු ඇතුළු බර අවි තිබීම.

එතෙක් මිලිෂීයාවන් ලෙස පැවතුනු යුදෙව් හමුදාවන්ට තිබුනේ සැහැල්ලු අවි පමණයි. ඊශ්‍රායලය මුලින්ම කළේ සියළුම මිලිෂීයා කණ්ඩායම් එක කර "ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව" (IDF) නමින් හමුදාවක් තැනීම. ඉන් පසු සියළුම වැඩිහිටි පිරිමි යුදෙව්වන්ට අනිවාර්‍ය යුද සේවය නියම වුනා. එමගින් ප්‍රමාණාත්මකව විශාල හමුදාවක් ගොඩ නැගීමට ඔවුන්ට හැකි වුනා. නව හමුදාවට ඇමරිකාවේ සහ යුරෝපයේ සිටි යුදෙව්වන් මූල්‍යමය ආධාර කළා. නමුත් බර අවි ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වුනේ අරාබි සරණාගත ප්‍රශ්නය නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දෙපාර්ශවයටම අවි විකිණීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම නිසා. නමුත් සෝවියට් දේශය චෙකොස්ලොවැකියාව හරහා බර අවි ඊශ්‍රායලයට ලබා දුන්නා. නමුත් අරාබි හමුදා ගිනි බලය අතින් සිටියේ බොහෝ ඉදිරියෙන්.

දකුණින් 11,000 ක ඊජිප්තු හමුදාවක් බලඇණි දෙකක් විදිහට උතුරට ගමන් කිරීම ඇරඹුවා. ඔවුන්ගේ ඉලක්කය වුනේ ඊශ්‍රායලයේ අගනුව වූ ටෙල් අවිවි නගරය. ඉතාම සාර්ථකව තම ඉලක්කය කරා ගමන් කිරීමට ඔවුන් සමත් වුවත්, ගුවන් ප්‍රහාර සහ ඉතා දුෂ්කර පාබල සටන් කිහිපයකින් පසු ඊජිප්තු හමුදාවේ ගමන නවතාලීමට ඊශ්‍රායලයට හැකි වුනා. නමුත් ඔවුන් පසු බැස්සවීමට හැකි වුනේ නෑ.

යුද්ධයේ දරුණුම සටන් ඇති වුනේ නැගෙනහිරින් ඇතුල් වුනු 5000 ක ජෝර්දාන් හමුදාව සහ ඊශ්‍රායල් හමුදා අතර. ජෝර්දාන් හමුදාව සටන් කීපයකින්ම ජය ගෙන ජෙරුසෙලමට පහර දුන්නා. ඉතා දරුණු සටනකින් පසු ජෙරුසෙලමේ නැගෙනහිර කොටස අල්ලා ගන්න ඔවුන් සමත් වුනා. නමුත් බටහිර ජෙරුසෙලම තම ග්‍රහණයේ පවත්වා ගන්න ඊශ්‍රායලය සමත් වුනා.

ඊශ්‍රායල් හමුදාව

ඒ අතර උතුරු ඊශ්‍රායලයේ ටයිබීරියස් විල අවට නගර වලට පහර දුන් 7000 ක ඉරාක හමුදාවක් සම්පූර්නයෙන්ම පරාජය කිරීමට ඊශ්‍රායලයට හැකි වුනා.

උතුරින් 4000 ක සිරියන් හමුදාවක් සහ 2000 ක ලෙබනන් හමුදාවක් ඊශ්‍රායලයට පහර දුන්නා. මේ හමුදා නගර කීපයක්ම අල්ලා ගැනීමට සමත් වුනත්, දරුණු සටන් කීපයකින් පසු ඔවුන්ගේ ප්‍රහාර නවතාලීමට ඊශ්‍රායල් හමුදා සමත් වුනා. ලෙබනන් හමුදා තමා අල්ලා ගත් නගර පලස්තීන අරාබි සටන්කරුවන්ට භාර දී නැවත ලෙබනනයට පසු බැස්සා.

අරාබි හමුදාවල ඉදිරි ගමන නවතන්න ඊශ්‍රායලයට හැකි වුනත්, ඔවුන් පළවා හරින්න හැකි වුනේ නෑ. අරාබි හමුදාවන්ටත් ඊශ්‍රායල් හමුදාවේ ආරක්ෂිත සටන් බිඳ හෙලා ඉදිරියට යන්න හැකි වුනේ නෑ. මාස කීපයක "එක තැන පල් වීමකට" පසු එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති වුනා.

ඊශ්‍රායල් හමුදාව

1948 ජූලි මාසයේ 8 සිට 18 දක්වා දින 10 ක කාලය තුල නැවතත් දරුණු සටන් ඇති වුනා. මේ සටන් වලින් දෙපිළටම පැහැදිලි ජයක් අත් වුනේ නෑ. නැවතත් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති වුනා.

මේ සටන් විරාමය ඇතුළත ස්වීඩන් ජාතික රාජ්‍ය තන්ත්‍රිකයෙක් වූ ෆෝක් බර්නඩට් නව විසඳුමක් යෝජනා කළා. එයට අනුව ඊශ්‍රායලය ගැලීලිය ප්‍රදේශයට සීමා කරන්නත්, අනෙක් ප්‍රදේශ පලස්තීනයට ලබා දෙන්නත් යෝජනා වුනා. දෙපාර්ශවයම මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ අතර, දක්ෂිණාංශික සයොන්වාදීන් ෆෝක් බර්නඩට් ඝාතනය කළා.

1948 ඔක්තෝබර් මාසයේදී නැවත සටන් ඇවිළුණු අතර, සටන් විරාමයේදී හොඳින් සංවිධානය වී සිටි ඊශ්‍රායල හමුදා අරාබි හමුදාවන්ට දරුණු ප්‍රහාර එල්ල කරන්නට සමත් වුනා. දුෂ්කර සටන් වලින් පසු උතුරෙන් සිරියන් හමුදා සම්පූර්නයෙන්ම පළවා හැරුනා. දකුණේ ඊජිප්තු හමුදා බොහෝ දුරට පසු බැස ගිය අතර, ඔවුන්ට අල්ලා ගැනීමට හැකි වුනේ වෙරළබඩ කුඩා තීරුවක් පමණයි. නමුත් නැගෙනහිරින් ජෝර්දාන හමුදා වඩා සාර්ථකත්වයක් ලැබුණු අතර, නැගෙනහිර ජෙරුසෙලමෙන් ඔවුන් පළවා හැරීමට ඊශ්‍රායලය අපොහොසත් වුනා. මළ මුහුදේ බටහිර වෙරළබඩ විශාල ප්‍රදේශයක් ජෝර්දාන හමුදා යටතේ තිබුනා.

1949 පෙබරවාරි-ජූලි කාලයේ දී එක්සත් ජාතීන් ගේ මැදිහත් වීමෙන් ඒ වන විට ඊශ්‍රායලය සහ අරාබි හමුදා විසින් අල්ලාගෙන සිටි ප්‍රදේශ ඒ ඒ පාර්ශවයන්ට ලැබෙන පරිදි සටන් නැවැත්වීමේ ගිවිසුම් මාලාවක් අත්සන් කෙරුනා.

ඒ අනුව පලස්තීනයේ භූමියෙන් වැඩි ප්‍රමානයක් ඊශ්‍රායලය යටතට පත් වුනා. අරාබීන්ට ලැබුනේ ඊජිප්තු දේශ සීමාවේ කුඩා බිම් තීරුවක් (ගාසා තීරය) සහ මළ මුහුදේ බටහිර වෙරළ ආශ්‍රිත ප්‍රදේශය (බටහිර ඉවුර) පමණයි.

1947 එක්සත් ජාතීන් ගේ යෝජනාව සහ 1949 යුද්ධය අවසානයේදී තත්වය

සටන් වලින් ඊශ්‍රායල් පාර්ශවයෙන් මිය ගිය ගණන 6000 ක්. මෙය පලස්තීනයේ සමස්ත යුදෙව් ජනගහණයෙන් 1% ක්. අරාබි පාර්ශවයෙන් 10,000 පමණ මිය ගියා. ඊට අමතරව අරාබීන් 350,000 කට අධික ප්‍රමානය අවතැන් වුනා. මේ අය ජෝර්දානයේ සහ ඊජිප්තුවේ සරණාගත කඳවුරු වල රඳවා තැබුනා.

සටනේ අවසන් ප්‍රතිඵලය වූයේ

1. ඊශ්‍රායලය නමින් යුදෙව් රාජ්‍යයක් බිහි වීම

2. පලස්තීනයේ භූමියෙන් වැඩි පංගුවක් ඊට අයිති වීම

3. පලස්තීනය නමින් එතෙක් පැවත් රාජ්‍යය අහෝසි වී යාම

4. පලස්තීන අරාබීන් විශාල ප්‍රමානයක් සරණාගතයක් වීම

යුද්ධය අවසානයේ ඊශ්‍රායල ධජය ඔසවන ඊශ්‍රායල් සෙබළුන්

1949 දී නිදහස් ඊශ්‍රායලයේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනු අතර, ආසන 120 කින් ආසන 71 ක් සමාජවාදී පක්ෂ විසින් දිනා ගත්තා. ආගමික සයොන්වාදීන් ආසන 16 ක් දිනාගත් අතර, දක්ෂිණාංශික සයොන්වාදීන් ආසන 15 ක් දිනා ගත්තා. ලිබරල් වාදීන්ට ආසන 13 ක් හිමිවුනු අතර, සෙෆාර්ඩි යුදෙව් පක්ෂ ආසන 5ක් දිනා ගත්තා.

මේ ගැටුම් නිසා අරාබීන් සහ මුස්ලිමුන් තුළ තම රටවල වාසය කළ යුදෙව්වන් පිළිබඳ තිබූ සහනශීලී ආකල්පය සම්පූර්නයෙන්ම නැතිවී ගියා. මුස්ලිම් රටවල වාසය කළ යුදෙව්වන් විශාල ප්‍රමානයක් ඊළඟ අවුරුදු කීපය තුල ඊශ්‍රායලයට සංක්‍රමනය වුනා. එහි ප්‍රතිඵලය වුනේ එතෙක් අෂ්කනාසි යුදෙව්වන් බලවත්ව උන් ඊශ්‍රායලයේ සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන්ට තීරණාත්මක තැනක් ලැබීම. යුරෝපීය සංස්කෘතියක හැඩ ගැසී උන් අෂ්කනාසි යුදෙව්වෝ පෙරදිග සංස්කෘතියක හැඩගැසී උන් සෙෆාර්ඩි යුදෙව්වන් දැක්කේ පසුගාමී නොදියුනු "ගමේ බයියන්" විදිහට. මේ නිසා සෙෆාර්ඩි යුදෙව්වන්ට එරෙහිව වර්ගවාදී ආකල්ප අෂ්කනාසි යුදෙව්වන් අතර ඇති වුනා.

1949 මාර්තු 8 වැනිදා සමාජවාදී මාපායි පක්ෂයේ නායක ඩේවිඩ් බෙන්-ගුරියන් ඊශ්‍රායලයේ ප්‍රථම අගමැති ලෙස තේරී පත් වුනා.

ඒත් මේ නව රාජ්‍යය බිහිවුනේ වෛරයේ ගිනිදැල් මැද. එයට කවදාවත් වෛරයේ ගිනිදැල් වලින් මිදීමට හැකි වුනේ නෑ.


අර්බුදය වර්තමානය දක්වා...

අළුතින් බිහිවන ඊශ්‍රායල් රාජ්‍යය 1950 දී නව නීතියක් හඳුන්වා දුන්නා. ඒ ලෝකයේ ඕනෑම තැනක වෙසෙන යුදෙව්වෙක්ට ඊශ්‍රායලයට සංක්‍රමනය වෙලා එහි පුරවැසිකම ගන්න පුළුවන් කියලා. නවීන ලෝකයේ වාර්ගික-ආගමික පදනමකින් මෙවැන්නක් කරපු එකම අවස්ථාව ඒක.

ඒත් එක්කම අති විශාල සංක්‍රමන රැල්ලක් ඊශ්‍රායලය වෙත සිද්ධ වුනා. ලක්ෂ තුනක පමණ සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන් ප්‍රමානයක් උතුරු අප්‍රිකාවේ සහ ආසියාවේ සිට සංක්‍රමනය වුනා. මේකට අරාබියේ වාසය කළ යෙමනි යුදෙව් ප්‍රජාවෙන් 99% පමණ අන්තර්ගතයි. සමස්තයක් වශයෙන් සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව්වන් ගෙන් 90% පමණ ඊශ්‍රායලයට සංක්‍රමනය වුනා. ඊට ප්‍රධාන හේතුව වෙන්නේ අරාබි-ඊශ්‍රායල් යුද්ධයත් එක්ක මුස්ලිම් රටවල ජන මතය යුදෙව්වන්ට එරෙහි එකක් බවට පත් වීම. ඒ එක්කම ලක්ෂ 5 කට අධික අෂ්කනාසි යුදෙව්වන් ප්‍රමානයකුත් නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයේ ඉඳලා ආවා.

1948 දී ඊශ්‍රායලයේ යුදෙව් ජනගහණය වෙන්නේ ලක්ෂ 7 ක්. 1955 වෙද්දී එය මිලියන 1.6 ක්.

ඒ අතර අවතැන් වුනු අරාබීන් ජෝර්දානයේ, ලෙබනනයේ, සිරියාවේ සහ ඊජිප්තවේ අනාථ කඳවුරු වල පදිංචි වුනා. මොවුන් හැඳින්වෙන්නේ පලස්තීන අරාබීන් නමින්. මේ අනාථයන් සහ පලස්තීන අර්බුදය ඒ රටවල ප්‍රධානම දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුනා.


සුවස් අර්බුදය (1956)

1953 දී ගමල් අබ්දුල් නසාර් ගේ ප්‍රධානත්වයෙන් ඊජිප්තුවේ විප්ලවයක් ඇති වෙලා විප්ලවකාරීන් රටේ බලය අල්ලා ගත්තා. මේ විප්ලවයේ සාර්ථකත්වයට එක හේතුවක් වෙන්නේ පැවතුනු රජය පලස්තීනයට ප්‍රමානවත් තරම් සහයක් ලබා දෙන්න අසමත් වීම. සමාජවාදී සහ අරාබි ජාතිකවාදී ප්‍රතිපත්ති වලින්‍ යුතු නව රජය කටයුතු කරන්නේ ඊජිප්තුව අරාබි ලෝකයේ නායකයා කරන අරමුණෙන්. ඒ නිසා ඔවුන් ඊශ්‍රාලයල කෙරෙහි දැඩි සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ එක්කම බටහිර රටවල අධිරාජ්‍යවාදයට දැඩි ලෙස එරෙහි වුනා. විශේෂයෙන්ම ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය කෙරෙහි නසාර් දක්වන්නේ දැඩි විරෝධයක්.

සෝවියට් දේශය තමාගේ සහය ඊජිප්තුව දෙසට යොමු කරන නිසා ඊශ්‍රායලයට එතෙක් තමාට සිටි ලොකුම ජාත්‍යන්තර මිතුරා අහිමි වුනා. මේ නිසා ඊශ්‍රායලය බටහිර දෙසය නැඹුරු වුනා. මෙතැන් සිට ඊශ්‍රායලයේ හොඳම මිතුරා වුනේ ප්‍රංශය.

1956 දී නසාර් එතෙක් බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ භාරය යටතේ තිබූ සුවස් ඇළ ජනසතු කළා. මේක බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ දේශපාලන අභිලාෂයන්ට එල්ල කළ මරු පහරක්. ඒත් ඊජිප්තුවට එරෙහිව කෙලින්ම යමක් කරන්න බැරි නිසා ඔවුන් ඒ සඳහා ඊශ්‍රායලය බළල් අතක් ගත්තා.

නසාර් සුවස් ඇළ ඊශ්‍රායල් නැව් වලට තහනම් කළා. මෙය අවසරයක් කරගෙන ඊශ්‍රායලය ඊජිප්තුව ආක්‍රමනය කළා. නමුත් සැබෑ අරමුණ වෙන්නේ බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට සුවස් ඇළ අල්ලා ගැනීමට අවකාශයක් ලබා දීම. ප්‍රංශ ගුවන් යානා සහ යුද්ධ ටැංකි වලින් සන්නද්ධ වුනු නවීන ඊශ්‍රායල් හමුදාව දින හතක් ඇතුළත ක්ෂනික ප්‍රහාර මාලාවක් දියත් කරමින් ඊශ්‍රායල දේශ සීමාව සහ සුවස් ඇළ අතර ඇති සිනායි අර්ධ ද්වීපය සම්පූර්නයෙන්ම යටත් කරගනිමින් සුවස් ඇළ වෙත පැමිණුනා. ඒ අවස්ථාවේදී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සුවස් ඇළ ආරක්ෂා කිරීමේ මුවාවෙන් සුවස් ඇළ අවට ප්‍රදේශයට තම හමුදාව යවා එය අල්ලා ගත්තා.

බ්‍රිතාන්‍යය හමුදාව සුවස් ඇළ අසල

ඊජිප්තු හමුදාවට අවමන් සහගත පරාජයක් අත් වුනත්, නොසිතූ ලෙස සෝවියට් දේශය සහ ඇමරිකාව යන දෙරටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඊජිප්තුවට සහ දීම නිසා බ්‍රිතාන්‍යය-ප්‍රංශ-ඊශ්‍රායල හමුදාවන්ට සුවස් ඇළ ඊජිප්තුවට බාර දීලා නැවත තම දේශ සීමා කරා යන්න සිදු වුනා.

දේශ සීමා වෙනසක් සිදු නොවුනත් සුවස් අර්බුධයේදී නව ඊශ්‍රායල් හමුදාවේ කාර්‍යක්ෂම බව සහ ගිනි බලයේ ප්‍රභලත්වය මනාව ප්‍රදර්ශනය වුනා. මේ නිසා ඊශ්‍රායලයට තම අරාබි ප්‍රතිවාදීන්ට මුහුණ දීමට මනා විශ්වාසයක් ඇති වුනා.


ෆෙදායීන්

මේ කාලයේදී අවතැන් වූ පලස්තීන අරාබීන් අනාථ කඳවුරු වලදීම සන්නද්ධ සංවිධාන රැසක් පිහිටුවා ගන්නවා. මේ සංවිධාන සියල්ලම පාහේ සමාජවාදී-කොමියුනිස්ට්-වාමාංශික නැඹුරුවක් සහිත සංවිධාන. මේ කාලය වන විට අරාබි-ඊශ්‍රායල් ගැටුම් වලදී සෝවියට් දේශයේ සහය කෙලින්ම අරාබීන්ට ලැබුනා.

මේ සංවිධාන පලස්තීන අරාබීන් හැඳින්වූයේ "ෆෙදායීන්" නමින්. ෆෙදායීන් සංවිධාන රාශියක් තිබුණු අතර, ඒ අතරින් ප්‍රධාන වුනේ,

1. පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරය (ෆතා)

2. පලස්තීන විමුක්තිය සඳහා මහජන පෙරමුණ (PFLP)

3. පලස්තීන විමුක්තිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (DFLP)

මේ සංවිධාන බොහොමයක මූලස්ථාන පිහිටා තිබුනේ වැඩිම පලස්තීන සරණාගතයක් පිරිසක් සිටි ජෝර්දානයේ.

1964 දී මේ සංවිධාන සියල්ලම එක් වී පොදු සන්ධානයක් ගොඩ නගා ගත්තා. එය නම් කෙරුණේ "පලස්තීන විමුක්ති සංවිදානය (PLO)" නමින්. එහි නායකත්වය දැරුවේ ෆතා සංවිධානයේ නායක යසර් අර්ෆත්. ක්‍රමයෙන් යසර් අර්ෆත් පලස්තීන විමුක්ති අරගලයේ ප්‍රධාන චරිතය බවට පත්වුනා. 

යසර් අර්ෆත්

PLO තනි සන්ධානයක් හැටියට ක්‍රියාත්මක වුනත්, ඒ ඇතුළත විවිධ සංවිධාන ස්වාධීනව ක්‍රියාත්මක වුනා. ඒ සංවිධාන මතවාදීමය වශයෙන් සහ උපක්‍රමික අතින් විවිධ අදහස් දැරුවා. මේ සංවිධාන ඊශ්‍රාලයට එරෙහිව විවිධ ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වුනා.

මේ කාලයේදී සමාජවාදී කඳවුරේ සහ තුන්වන ලෝකයේ රටල සහය සහ අනුකම්පාව හිමිවුනේ පලස්තීන අරාබීන්ට. බටහිර ලෝකයේ සහය හිමිවුනේ ඊශ්‍රායලයට. බටහිර ලෝකය යුරෝපීය අෂ්කනාසි යුදෙව් සංස්කෘතියක බිහිවුනු ඊශ්‍රායලය දැක්කේ තවත් බටහිර රටක් විදිහට. තමා වටකරගෙන ඇති "ආසියානු ම්ලේච්ඡත්වයට" එරෙහිව බටහිර ශිෂ්ඨාචාරය වෙනුවෙන් සටන් වදින රටක් විදිහට ඊශ්‍රායලය දේශපාලන ප්‍රචාරන වලදී නිරූපනය කෙරුනා.


සය දින යුද්ධය (1967)

ජෝර්දානයේ සිට ක්‍රියාත්මක වන ෆෙදායීන් ගරිල්ලන් ඊශ්‍රායලයේ ප්‍රචන්ඩ ක්‍රියා කිරීමෙන් පසු ඊශ්‍රායල් හමුදාව ඊට ප්‍රතිචාර ලෙස ජෝර්දානයේ පිහිටි ෆෙදායීන් කඳවුරු වලට පහර දීම නිසා 1967 දී තත්වය නැවතත් උණුසුම් වුනා. ඊශ්‍රායලය සිරියානු දේශසීමාවේ හමුදා රැස් කරන බවට ලැබුණු බුද්ධි වාර්තා නිසා (පසුව දැනගන්නට ලැබුනේ මේ බුද්ධි වාර්තා සාවද්‍ය බව) ඊජිප්තුව සිරියාව සහ ජෝර්දානය යුද්ධයට සූදානම් වුනා. ඊජිප්තු හමුදාව ඊශ්‍රායල් දේශ සීමාවේ එක් රැස් වෙන්න පටන් ගත්තා.

මේ අවස්ථාවේදී ලෝක යුධ ඉතිහාසයේ දක්නට ලැබුණු විශිෂ්ඨම ප්‍රහාරයක් ඊශ්‍රායලය එල්ල කළා.

1967 ජූනි 5 වැනිදා ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා 200 ක් ඊජිප්තු ගුවන් කඳවුරු වලට හදිසි ප්‍රහාරයක් එල්ල කළා. සම්පූර්න ඊජිප්තු ගුවන් හමුදාවම පොළවේදීම විනාශ කර දමන්න ඔවුන්ට හැකි වුනා. එදිනම සවස සිරියානු සහ ජෝර්දාන ගුවන් කඳවුරු වලටත් එවැනිම ප්‍රහාරක් එල්ල වුනු අතර, එයින් සිරියාවේ සහ ජෝර්දානයේ ගුවන් හමුදාවල ප්‍රහාරක හැකියාව සම්පූර්නයෙන්ම අඩාල වී ගියා. මේ ප්‍රහාර වලින් විනාශ වුනු ගුවන් යානා ගණන 450 ක්.

ඊළඟට ඊශ්‍රායල් පාබල හමුදාව ඊජිප්තු-ඊශ්‍රායල් දේශසීමාවේ රැස් වී උන් ඊජිප්තු හමුදාවට පහර දුන්නා. ගුවන් ආවරණයක් නොමැති නිසා ඊජිප්තු හමුදාව දරුණු පරාජයක් ලැබුවා. දින තුනකදී සම්පූර්න ඊජිප්තු හමුදාවම පසු බස්වමින් සිනායි අර්ධද්වීපය සම්පූර්නයෙන්ම අල්ලා ගැනීමට ඊශ්‍රායලය සමත් වුනා.

ඊශ්‍රායල් හමුදාව සිනායි අර්ධද්වීපයේ

ඒ අතර ඊට සමගාමීව ජෝර්දාන හමුදා යටතේ තිබූ බටහිර ඉවුරට ඊශ්‍රායල් හමුදා පහර දුන්නා. දින දෙකක් ඇතුළත ජෙරුසෙලම් නගරයත් ඇතුළුව බටහිර ඉවුරෙන් ජෝර්දාන් හමුදා සම්පූර්නයෙන්ම පළවා හරින්න ඊශ්‍රායලය සමත් වුනා.

ජූනි 6 වැනිදා සිරියානු හමුදා උතුරින් ඊශ්‍රායලයට පහර දුන්නා. ඒ ප්‍රහාරය මැඩ පැවැත්වූ ඊශ්‍රායල් හමුදාව, සිරියානු දේශසීමාව තුලට ගමන් කරමින් ඊශ්‍රායල්-සිරියානු දේශසීමාවේ තිබූ ගෝලාන් කඳුරකය අල්ලා ගත්තා. මේ ගෝලාන් කඳු ෆෙදායීන් සටන්කාමීන් ගේ කඳවුරු පිහිටා තිබූ ප්‍රදේශයක්.

දින හයක් ඇතුළත අරාබි හමුදා වලට අවමන් සහගත පරාජයක් අත් වුනා. ඔවුන්ට සාම ගිවිසුමක් අත්සන් කරනාවා හැරෙන්න වෙනත් විකල්පයක් තිබුනේ නෑ. ජූනි 11 වැනිදා සාම ගිවිසුමක් අත්සන් කෙරුනා. සටනින් මිය ගිය ඊජිප්තු සෙබළු ගණන 15,000 ක්. සිරියානු සෙබළු 2000 ක් සහ ජෝර්දාන සෙබළු 700 කුත් මිය ගියා. මිය ගිය ඊශ්‍රායල් සෙබළු ගණන 900 ක්. අරාබි රටවල් සතු ගුවන් යානා, යුධ ටැංකි සහ වෙනත් උපකරණ රාශියක් මේ සටන් වලින් විනාශ වුනා.

සටන් අවසානයේ ඊශ්‍රායලයට විශාල භූමි ප්‍රමානයක් අත් වී තිබුනා. ගාසා තීරය සහ සීනායි අර්ධ ද්වීපය ඊජිප්තුවෙනුත්, බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසෙලම ජෝර්දානයෙනුත්, ගෝලාන් කඳුකරය සිරියාවෙනුත් අල්ලා ගන්න ඔවුන් සමත් වුනා. වසර 2000 කට පමණ පසු ජෙරුසෙලමේ යුදෙව් ආගමේ වැදගත් සිද්ධස්ථාන යුදෙව් පාලනයක් යටතට පත් වුනා. ඒ එක්කම කුරුස යුද්ධ සමයෙන් පසු අල්-අක්සා පල්ලිය මුස්ලිම් පාලනයෙන් ගිලිහුනා.

සයදින යුද්ධයේදී ඊශ්‍රායලය විසින් අල්ලා ගත් ප්‍රදේශ

පලස්තීන වැසියන් ලක්ෂ හතරක් පමණ අළුතෙන් අවතැන් වුනා. ඒ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පදිංචිව සිටි අය. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පදිංචිව හුන් අවතැන් නොවූ පලස්තීන අරාබීන් ලක්ෂ 7 ක් පමණ ඊශ්‍රායල් පාලනය යටතට පත් වුනා. ගෝලාන් කඳුකරයේ සහ නැගෙනහිර ජෙරුසෙලමේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල් පුරවැසිකම ලබා දුන්නත්, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන්ට පුරවැසිකම ලැබුනේ නෑ. 

සුවල් ඇළ දක්වාම ඊශ්‍රායල් හමුදාවන්ට අත් වීම ඊජිප්තුවේ කීර්තියට විශාල කැළලක් වුනා. සුවස් ඇළ දෙපසේ සිට දෙරටේ හමුදා නිරතුරුවම සුළු ගැටුම් වල නිරත වුනා.

යුද්ධයෙන් වැඩිම බලපෑම වුනේ පලස්තීන අරාබීන් සහ අරාබි රටවල් අතර සබඳතා වලට. පලස්තීන අරාබීන් අරාබි රටවල් තම ආරක්ෂකයා ලෙස දැකීම නවතා දැමුවා. තමන් ආරක්ෂා කිරීමට ඔවුන්ට නොහැකි බවත්, තම අරගලය තමා විසින්ම කළ යුතු බවත් ඔවුන් විශ්වාස කළා. මේ විශ්වාසය වඩාත් තහවුරු වූයේ 1968 ජෝර්දානයේ පිහිටි ෆතා කඳවුරකට ඊශ්‍රායල් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායල් හමුදාවට දරුණු අලාභානි කිරීමට ෆතා සටන් කරුවන් සමත් වීමෙන් පසු. මේ ප්‍රහාරයෙන් පසු ෆතා සංවිධානය ප්‍රධානම පලස්තීන සටන්කාමී සංවිධානය ලෙස ඉදිරියට ආවා.

මේ තත්වය ක්‍රමයෙන් උත්සන්න වෙත්ම ජෝර්දාන රජය සහ ෆෙදායීන් සටන්කාමීන් අතර සබඳතා බිඳ වැටෙන්න පටන් ගත්තා. ජෝර්දානයේ පිහිටි කඳවුරු වලට ඊශ්‍රායල් හමුදා පහරදීම ජෝර්දාන් රජය දැක්කේ තම රටේ ස්වාධීනත්වයට කෙරෙන අභියෝගයක් විදිහට. ඒ එක්කම ෆෙදායීන් සටන්කරුවන් දිගින් දිගටම ජෝර්දාන් රජයේ හමුදා නොසලකා හරින්න පටන් ගත්තා. මේ තත්වය 1970 දී පුපුරා ගිය අතර, ජෝර්දාන් හමුදාව තම රටේ පිහිටි ෆෙදායීන් කඳවුරු වලට පහර දී ෆෙදායීන් සටන් කාමීන් එළවා දැමුවා. එතැන් සිට ෆෙදායීන් සටන්කාමීන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වුනේ ලෙබනනය. දකුණු ලෙබනනයේ ඔවුන්ට සීමිත ස්වයංපාලනයක් සහිත කොටසක් ලබා දෙන්න ලෙබනන් රජය කටයුතු කළා.

ලෙබනනයේ ෆෙදයීන් සටන්කාමීන්ගේ පෙළපාලියක්

යොම්-කිපූර් යුද්ධය (1973)

1973 දී සිරියාව සහ ඊජිප්තුව තමාට සය දින යුද්ධයෙන් අහිමි වුනු ප්‍රදේශ අල්ලා ගැනීමේ අරමුණෙන් ඊශ්‍රායලයට පහර දුන්නා. එකම දවසක සිදු කෙරුනු මේ පහර දීම් දෙක කෙරුනේ යුදෙව්වන් ගේ ආගමික නිවාඩු දිනයක් වූ යොම්-කිපූර් දිනයේදී.

ලක්ෂයක දැවැන්ත ඊජිප්තු හමුදාවක් සුවස් ඇළ තරණය කර ඇළට නැගෙනහිරින් උන් ඊශ්‍රායල් හමුදාවන්ට පහර දුන්නා. මුලදී ඊශ්‍රායල් හමුදා පසුබැසීමකට ලක් වුනත්, නැවත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඔවුන් සමත් වුනා. දින 20 කට පසු සටන් නවතිද්දී දෙපිළම විශාල ජයග්‍රහණයන් අත් කරගෙන තිබුනේ නෑ සුවස් ඇළ දිගට උතුරින් ඊජිප්තු හමුදා ඇළට නැගෙනහිරින් තිබූ ඊශ්‍රායල් ප්‍රදේශ අල්ලාගෙන තිබූ අතර, දකුණින් ඊශ්‍රායල් හමුදා ඇළට බටහිරින් තිබූ ඊජිප්තු ප්‍රදේශ අල්ලාගෙන තිබුනා.

30,000 සිරියානු හමුදාවක් ගෝලාන් කඳුකරයට පහර දුන් අතර, එහි දකුණු කොටසින් ඊශ්‍රායල් හමුදා පළවා හරින්න ඔවුන් සමත් වුනා. නමුත් ඊශ්‍රායල් හමුදා නැවත ප්‍රතිසංවිධානය වී සිරියානු හමුදා පළවා හරිමින් සිරියානු දේශසීමාව තුළට ගමන් කළා. දමස්කස් නගරයට කිලෝමීටර 30 ක දුරකට ළං වෙන්න ඔවුන් සමත් වුනා. මේ අවස්ථාවේදී ජෝර්දාන සහ ඉරාක හමුදා සිරියානු සහයට තම හමුදා සිරියාවට එව්වා, ඊශ්‍රායල් ගුවන් හමුදාව ඒවාට පහර දුන්නා. තවත් අරාබි සහ මුස්ලිම් රටවල් සිරියාවට සහ ඊජිප්තුවට සහය පළ කරමින් හමුදා සූදානම් කළා.

ඊශ්‍රායල් හමුදාව

සටන් උත්සන්න වෙත්ම ඇමරිකාව සහ සෝවියට් දේශය මැදිහත් වී සටන් නවත්වන්න සමත් වුනු අතර, සියළු පාර්ශවයන් සාකච්ඡා කරන්න එකඟ වුනා. සටන් වලින් ඊජිප්තු සෙබළුන් 5000 ක් සිරියානු සෙබළුන් 3000 ක් සහ ඊශ්‍රායල් සෙබළුන් 2800 ක් මිය ගියා.

සිරියානු හමුදාව විසින් හිර භාරයට ගත් ඊශ්‍රායල් සෙබළු

යොම් කිපූර් යුද්ධය නිසා වැදගත් ප්‍රතිඵල කීපයක් ම අත් වුනා. කලින් වතාවේදී මෙන් අරාබි හමුදා වලට තීරණාත්මක පරාජයක් අත් කරදෙන්න ඊශ්‍රායල් හමුදා අසමත් වුනා. ඒ වගේම අරාබි හමුදා වල සංග්‍රාමික හැකියාව වර්ධනය වී තිබුනා. ඒ වගේම ඔපෙක් සංවිධානය විසින් ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කරන රට වලට තෙල් සැපයීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලෝක ආර්ථික අර්බුධයක් ඇති වුනා. නොබැඳි ජාතීන්ගේ රටවල් ඊශ්‍රායලය වර්ජනය කරන ප්‍රතිපත්තියකට ගියා. ආසියානු ක්‍රීඩා තරග වලින් ඊශ්‍රායලය ඉවත් කෙරුනා.

ඊශ්‍රායලයේ දක්ෂිණාංශික දේශපාලනය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණා. ඇමරිකාව සමඟ සමීප සබඳතා පැවැත්වීම, සෝවියට් දේශය අරාබි රටවලට සහ දීම ෆෙදයීන් ගරිල්ලන්ගේ ප්‍රහාර සහ අරාබි ආක්‍රමනයක අනතුර මීට හේතු වුනා. 1948 සිට ඊශ්‍රායලය පාලනය වුනේ සමාජවාදී රජයන් ගෙන් වුනත් 1977 මැතිවරණයේදී පළමු වරට දක්ෂිණාංශික ලිකුද් පක්ෂය ජයග්‍රහණය කළා.


ඊශ්‍රායල්-ඊජිප්තු සාම සාකච්ඡා

ඇමරිකාවේ මැදිහත් වීමෙන් 1978 දී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර සාම සාකච්ඡා ඇති වුනා. ඩේවිඩ් කඳවුරේ එකඟතාවය ලෙස හැඳින්වෙන්නේ මෙය. මේ එකඟතාව පදනම් කරගෙන ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර සාකච්ඡා ගණනාවක් ඇති වුනා. මේ සාකච්ඡා වල අවසන් ප්‍රතිඵල තුනක් දකින්න පුළුවන්.

1. ඊශ්‍රායලයට රාජ්‍යයක් ලෙස පැවතීමට ඇති අයිතිය ඊජිප්තුව විසින් පිළිගැනීම

2. සය දින යුද්ධයේදී අල්ලාගත් සීනායි අර්ධද්වීපය ඊජිප්තුවට භාර දීමට ඊශ්‍රායලය එකඟ වීම

3. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පදිංචි පලස්තීන අරාබීන්ට ස්වයං පාලනයක් සහිත ප්‍රදේශයක් ලබා දීමට ඊශ්‍රායලය එකඟ වීම

මේ එකඟතාවය නිසා ඊජිප්තුවට අරාබි ලෝකයේ නායකයා වශයෙන් 1947 සිට පැවති තත්වය නැතිවී ගියා. ඊශ්‍රායල රාජ්‍යය පිළිගැනීම නිසා එය අනෙකුත් අරාබි රටවල් අතර ද්‍රෝහියෙක් ලෙස නම් කෙරුනා. ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් දැඩිමතධාරී ජාතිකවාදීන් විසින් ඝාතනය කෙරුනා. 1979 දී ඊජිප්තුව අරාබි ලීගයෙන් ඉවත් කෙරුනා. එතැන් සිට අරාබි ලෝකයේ නායකයා ලෙස සැලකුනේ සවුදි අරාබිය. සවුදි අරාබියේ සලාෆි නිකායේ ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත වීමට එයත් එක හේතුවක් විදිහට දකින්න පුළුවන්.

1983 දී ලෙබනනය ෆෙදායීන් සටන්කාමීන්ට ලෙබනනයෙන් ඉවත්වන ලෙස දැන්වුවා. ඒ අනුව ෆතා සංවිධානය තම මූලස්ථානය ටියුනීසියාවට ගෙනගියා. ඒ එක්කම ලෙබනනයේ ක්‍රිස්තියානි සටන්කාමීන් පිරිසක් පලස්තීන සරණාගත කදවුරු කීපයකට පහරදීලා 3500 ක් පමණ පලස්තීන අරාබීන් පිරිසක් මරා දැම්මා. මේ ඝාතනයට ඊශ්‍රායල විදේශ ඇමති සම්බන්ධ බව හෙළි වීමත් සමඟම ඊට එරෙහිව ටෙල් අවිව් නගරයේ දැවැන්ත උද්ඝෝෂනයක් ඇති වුනා. ඊශ්‍රායල් අගමැතිට ඉල්ලා අස්වෙන්න සිදු වුනා. 1984 මැතිවරණයෙන් දක්ෂිණාංශික ලිකුද් පක්ෂය පරාජය වෙලා සමාජවාදීන් ජය ගත්තා.


ජනාවාස ප්‍රශ්නය සහ ඔස්ලෝ සම්මුතිය

1985 න් පමණ පස්සේ පලස්තීන අර්බුධය බොහෝ විට විදේශීය අත පෙවීම් වලින් මිදිලා ඊශ්‍රායලය සහ පලස්තීන අරාබීන් අතර ගැටුමක් බවට පත් වුනා. එතැන් සිට ප්‍රශ්නයේ වැදගත්ම අංගය වෙන්නේ ජනාවාස ප්‍රශ්නය.

මේ වන විට පලස්තීන අරාබීන් බහුතරයක් වාසය කළ ප්‍රදේශ වුනේ ගාසා තීරය සහ බටහිර ඉවුර. ඊශ්‍රායලය විසින් ක්‍රමිකව මේ ප්‍රදේශ වල යුදෙව්වන් පදිංචි කරා. ඒ සඳහා විවිධ උපක්‍රම යොදාගෙන අරාබීන් තම නිවෙස් වලින් ඉවත් කරන්න කටයුතු කරා. සමහර අවස්ථා වලදී අවුරුදු 100 පමණ පරණ ඔප්පු මේ සදහා යොදා ගත්තා. මේ ඔප්පු වල නීතිමය තත්වය සැක සහිතයි. 

ෆෙදායීන් සටන්කාමීන් මේකට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රචන්ඩ ක්‍රියා උත්සන්න කිරීමෙන්. 1987 සිට 1993 දක්වා පැවතෙන මේ ප්‍රචන්ඩ ක්‍රියා රැල්ල හඳුන්වන්නේ පළමු ඉන්තිෆ්හාදය කියලා.

පලස්තීන සටන්කාමීන්

පළමු ඉන්තිෆාදය අවසන් වෙන්නේ ඇමරිකාව මැදිහත් වී කරන එකගතාවයකින්. ඊශ්‍රායල් අගමැති යිට්ෂැක්‍ රාබින් සහ PLO නායක යසර් අර්ෆත් එළැඹෙන මේ එකඟතාවය හඳුන්වන්නේ ඔස්ලෝ සම්මුතිය කියලා.

ඔස්ලෝ සම්මුතියට අනුව පලස්තීන අරාබීන්ට ස්වයං පාලනයක් ලබා දෙන්න ඊශ්‍රායලය එකඟ වුනා. නමුත් ඔවුන්ට ස්වාධීන රටක තත්වය හිමි වන්නේ නෑ. මේ ස්වයංපාලිත ප්‍රදේශයට ගාසා තීරය සහ බටහිර ඉවුරේ සමහර ප්‍රදේශ අයත්. මේ ප්‍රදේශ වලින් ඊශ්‍රායලය තම හමුදාව ඉවත් කර ගත්තා. ඒ ප්‍රදේශ පාලනයට පලස්තීන ජාතික අධිකාරිය (PNA) නම් කමිටුවක් පත් කෙරුනා. එයට නියෝජිතයන් තෝරා ගත්තේ මහජන ඡන්දයෙන්.

ඔස්ලෝ සම්මුතිය

මේ සම්මුතියට දෙපාර්ශවයේම අන්තවාදීන් දැඩි විරෝධය දැක්වූවා. පලස්තීන අරාබීන් අතර හමාස් නම් සංවිධානයක් බිහි වුනා. මේ සංවිධානය ඉස්ලාමීය ජාතිකවාදයක් වෙනුවෙන් පෙනී සිටින අතර, එහි සමහර කොටස් ඉස්ලාමීය අන්ත්වාදීන්. ඒ අතර 1995 දී ඊශ්‍රායල් අගමැති ඊශ්‍රායල් න්තවාදී සයොන්වාදීන් විසින් ඝාතනය කෙරුනා.

1996 පැවැත්වෙන පළමු පලස්තීන මැතිවරණයෙන් ජය ගන්නේ ෆතා පක්ෂය. යසර් අර්ෆත් පළමු අගමැති වරයා ලෙස තේරී පත් වුනා.


ඊශ්‍රාලයේ සහ පලස්තීනයේ දක්ෂිණාංශයේ නැගීම

2000 න් පමණ පසු දක්ෂිණාංශික දේශපාලනයේ පැහැදිලි වර්ධනයක් දකින්න පුළුවන්. ඊශ්‍රායලයේ අවසන් වරට සමාජවාදීන් බලය ලබා ගන්නේ 1996 දී. ඉන් පසු දිගටම මැතිවරණ වල ජය හිමි වෙන්නේ දක්ෂිණාංශිකයන්ට හෝ මධ්‍ය දක්ෂිණාංශිකයන්ට.

ඒ අතර යසර් අර්ෆත් ගේ මරණයෙන් පසු ෆතා සංවිධානය අභිබවා හමාස් සංවිධානය පලස්තීනයේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත් වුනා. 2006 පැවැත්වෙන මැතිවරණයෙන් ජය ගන්නේ ඔවුන්. ඔවුන්ට වැඩි බලය තියෙන්නේ ගාසා තීරයේ. හමාස් සංවිධානය සහ ෆතා සංවිධානය අතර ඇතිවන මතභේද නිසා පලස්තීනයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අඩාල වෙනවා. නියමිත කලට මැතිවරණ තියන්න හැකි වෙන්නේ නෑ.


වර්තමානය

ප්‍රචන්ඩ ක්‍රියා දිගටම සිදු වෙනවා. ඊශ්‍රායලය විසින් අරාබීන් ගේ ඉඩම් අල්ලා ගැනීම්, අරාබීන් නිවෙස් වලින් පළවා හැරීම්, පලස්තීන ප්‍රදේශ වල සීමාවේ විශාල බැමි ඉඳි කිරීම්, ආර්ථික සම්බාධක පැනවීම් ආදී ක්‍රියා මගින් පලස්තීනයට හිරිහැර කරනවා. හමාස් සංවිධානය බෝම්බ සහ රොකට් ප්‍රහාර මගින් ඊශ්‍රායලයට හිරිහැර කරනවා. ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර, මිසයිල සහ යුධ ටැංකි වලින් ප්‍රතිචාර දක්වනවා.

ඉතින් ඕක තමයි ඊශ්‍රායල්-පලස්තීන අර්බුධය. අවුරුදු 3000 කට වැඩි ඉතිහාසයක් සහිත ඉතාම සංකීර්ණ අර්බුධයක්.

එක පැත්තකින් අවුරුදු 3000 කට වැඩි ඉතිහාසයක් හිමි, ආගමික, සංස්කෘතික පුරාවෘත වලින් භූමිය සමඟ වෙන් කළ නොහැකි සේ බැඳුනු, ඉතිහාසය පුරාම අසාධාරන වලට ලක් වුනු, තම ජාතියේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් ජාතියක්.

අනික් පැත්තෙන් අවුරුදු 2000 කට පෙර හිස් භූමියකට ඇවිත් පදිංචි වුනු, අවුරුදු 2000 ක් පුරා ඒ භූමියේ සහජීවනයෙන් වාසය කළ, හදිසියේම පැමිණි පිටස්තරයන් පිරිසකගේ බලහත්කාරයෙන් තම වාසභූමිය අහිමි වූ නොයෙක් අඩන්තේට්ටම් මැද මව් බිමේ අනාථයන් වූ ජාතියක්.

හරි කවුද වැරදි කවුද? තීරණය කිරීම ඔබ සතුයි.

ඊශ්‍රායල - පලස්තීන අර්බුදය - 2 (වර්තමාන යුදෙව් රාජ්‍යයේ උපත)

 

සයොන් වාදය

මේ කාලයේදී යුරෝපයේ විසූ අෂ්කනාසි යුදෙව්වන්ගේ චින්තනයේ විශාල වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. මේ වන විට අෂ්කනාසි යුදෙව්වන්ගෙන් බහුතරය වාසය කළේ රුසියානු අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වල. ඔවුන් එහි ජීවත් වුනේ ඉතාම අයහපත් තත්ව යටතේ. වරින් වර ඇති වූ සමූහ ඝාතන සහ අසාධාරන නීති යටතේ ඔවුන් ජීවත් වුනා. ඒ වගේම ඔවුන්ට ජීවත් විය හැකි ප්‍රදේශ රුසියානු අධිරාජ්‍යයේ බටහිර ප්‍රදේශ වලට (යුක්‍රේනය, බෙලෝරුසියාව, ලිතුවේනියාව etc.) සීමා වුනා. මේ ප්‍රදේශ වල ජීවත් වුනු පෝලන්ත, යුක්‍රේන, බෙලෝරුසියන්, ලිතුවේනියන් ආදී "ස්වදේශීක" ජනයා යුදෙව්වන් ව දැක්කේ රුසියානු සාර් වරයා විසින් තමන් මත පටවල ලද "අනවශ්‍යය ප්‍රශ්නයක්" විදිහට.
 

මෙවැනි අයහපත් ජීවන තත්වයක් යටතේ ජීවත් වුනු නැගෙනහිර යුරෝපීය යුදෙව්වන් හැකි සෑම විටම වඩා යහපත් ජීවන තත්වයන් සොයා සංක්‍රමනය වෙන්න පෙළඹුනා. ඔවුන් ප්‍රධාන වශයෙන් සංක්‍රමනය වුනේ ඇමරිකාවට. නමුත් සමහර යුදෙව්වන් අතර නැවත "මව්බිම" (සයොන්) කරා යාමේ අදහස් ඇතිවෙන්න පටන් ගත්තා. ප්‍රශ්නය වුනේ ඇමරිකාවේ ආර්ථික වශයෙන් සාර්ථක වීමට ඕනෑ තරම් අවස්ථා තිබුනත්, දුප්පත් පලස්තීනයේ ඒ අවස්ථා අඩු වීම. මේ නිසා පලස්තීනයට සංක්‍රමනය වන යුදෙව්වන්ට ආර්ථික උදව් කිරීමේ සමාජයන් යුරෝපයේ ධනවත් යුදෙව්වන් අතර බිහි වුනා.
 

මේ තමයි සයොන්වාදයේ උපත.
 

සයොන්වාදය සඳහා වන මූලධාර්මික පසුබිම යුදෙව් ආගමික ග්‍රන්ථ වල වගේම ඔවුන්ගේ ඉතිහාසයේත් අපිට හමුවෙනවා. ඊජිප්තුවේ වහල් මෙහෙයේ යෙදුනු යුදෙව්වන් මෝසෙස් විසින් ඊශ්‍රායලයට ගෙන ඒම සහ බැබිලෝනියාවේ වහල් මෙහෙයේ යෙදුනු යුදෙව්වන් නැවත ඊශ්‍රායලයට පැමිණීම ඉන් ප්‍රධානයි. පළමු සිද්ධිය කෙලින්ම දෙවියන්ගේ මැදිහත් වීමෙන් සිදුවුනු බව යුදෙව් ආගමේ කියැවෙන අතර, දෙවැනි අවස්ථාවත් දෙවියන්ගේ මැදිහත් වීමෙන් සිදුවුනු බව ඔවුන් ඇදහුවා. මේ නිසා දුක්ඛිත ජීවිතයක් ගත කටන යුදෙව්වන් දෙවියන්ගේ මැදිහත් වීමෙන් නැවත සයොන් කරා පැමිණ දෙවියන් වහන්සේ ඒබ්‍රහම්ට පොරොන්දු වූ ලෙස ආර්ථිකව සමෘද්ධිමත් වීම යුදෙව්වන්ට ඉමහත් ආකර්ශනයක් ලබා දුන් අදහසක් වුනා.
 

සයොන්වාදී අදහස් යුරෝපීය යුදෙව්වන් අතර මුලින්ම ඉදිරිපත් කළ අය වශයෙන් යෙහුදා බිබාස්, ‍යෙහූදා අල්කලයි සහ මෝසස් හෙස් සලකන්න පුළුවන්. මේ අය සයොන්වාදයේ පියවරු කියල සැලකුවොත් නිවැරදියි.

යෙහූදා බිබාස්

යෙහූදා අල්කලයි

මෝසස් හෙස්

බටහිර යුරෝපයේ, විශේෂයෙන්ම ජර්මනියේ, ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ වාසය කළ සුපිරි ධනවතුන් වූ යුදෙව් පවුල් කීපයක් මේ සඳහා අවශ්‍යය මූල්‍ය ආධාර ලබා දුන්නා. ඒ සඳහා අවශ්‍යය මතවාදීමය පසුබිම වර්ධනය වුනේ නැගෙනහිර යුරෝපයේ.
 

සයොන්වාදයේ අදහස් යුරෝපීය යුදෙව්වන් අතර පැතිරී යද්දී සයොන්වාදය විවිධාකාර මුහුණුවර වලින් පරිණාමය වුනා.
 

දේශපාලන සයොන්වාදය

සයොන් හි පදිංචිවන යුදෙව්වන් හුදෙක් ජනාවාස පිහිටුවීමෙන් නොනැවතී දේශපාලන බලය ලබාගත යුතුයි යන අදහස මුලින්ම ඉදිපත් කළේ ඕස්ට්‍රියානු යුදෙව්වන් තිදෙනෙක් වූ නේතන් බර්න්බෝම්, තියොඩෝර් හෙර්ස්ල් සහ මැක්ස් නොර්ඩෝ. මේ අදහස් හැඳින්වෙන්නේ "දේශපාලන සයොන්වාදය" කියලා.

නේතන් බර්න්බෝම්

තියොඩෝර් හෙර්ස්ල්

මැක්ස් නොර්ඩෝ

ප්‍රායෝගික සයොන්වාදය

දේශපාලන සයොන්වාදීන් දේශපාලන බලය ලබා ගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරද්දී, ඉන් බිඳී ගිය පිරිසක් දේශපාලන බලය පසුව ලබා ගත හැකි බවත්, යුදෙව් ජනාවාස කුමන තත්වයක් යටතේ හෝ මුලින් බිහි කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, යුදෙව් ජනාවාසපිහිටවූ පසු දේශපාලන බලය ලබා ගැනීමට පහසු වනු ඇති බවත් අදහස් ඉදිරිපත් කළා. මේ අදහස් හැඳින්වුනේ "ප්‍රායෝගොක සයොන්වාදය" නමින්. මේ ව්‍යාපාරය බිහි කළේ රුසියානු යුදෙව්වන් දෙදෙනෙක් වූ මොෂේ ලිලින්බ්ලම් සහ ලියොන් පින්ස්කර්.

මොෂේ ලිලින්බ්ලම්

ලියොන් පින්ස්කර්

සංස්කෘතික සයොන්වාදය

කලින් කී කණ්ඩායම් දේශපාලන බලයට මුල් තැන දී කටයුතු කරන විට රුසියානු යුදෙව්වෙක් වූ අහඩ් හාම් විසින් පලස්තීනයේ යුදෙව් සංස්කෘතික නැවත පිබිදීමක් ඇති කිරීමට මුල තැන දිය යුතු බවට අදහස් පළ කලා. ඔහුගේ අදහස වුනේ යුදෙව් සක්ස්කෘතික පිබිදීමකින් තොරව කරන ජනාවාස කරණය නිෂ්ඵල බව. මේ "සංස්කෘතික සයොන්වාදය" යි.

අහඩ් හාම්

ආගමික සයොන්වාදය

සයොනය කරා නැවත යාම යුදෙව් ආගමේ ඉදිරිපත් කරන ආගමික යුතුකමක් බව රුසියානු යුදෙව්වන් දෙදෙනෙක් වූ යිට්ෂැක් යාකොව් රෙයින්ස් සහ ඒබ්‍රහම් අයිසැක් කූක් අදහස් ඉදිරිපත් කළා. දේශපාලනික සහ ආර්ථික මුහුණුවරකින් මිදී සම්පූර්ණ ආගමික මුහුණුවරක් ගත් මේ අදහස් හැඳින්වුනේ "ආගමික සයොන්වාදය" නමින්.

යිට්ෂැක් යාකොව් රෙයින්ස්

ඒබ්‍රහම් අයිසැක් කූක්

කම්කරු සයොන්වාදය

මේ වන විට නැගෙනහිර යුරෝපය පුරා සමාජවාදී අදහස් තදින් පැතිර යමින් තිබුනා. සමාජ අසාධාරණයට තදින් ලක් වුනු යුදෙව්වන් සමාජවාදයට දැඩි ලෙස ආකර්ෂනය වුනා. මේ නිසා යුරෝපීය සමාජවාදී ව්‍යාපාරයේ සංඛ්‍යාත්මකව විශාල යුදෙව්වන් ප්‍රමානයක් දැකිය හැකි වුනා. යුරෝපීය සමාජවාදයේ වැදගත්ම චරිතය වන කාල් මාක්ස් යුදෙව් මූලයකින් පැවත එන අයෙක් (මාක්ස් උපදින්න පෙර ඔහුගේ පවුල ක්‍රිස්තියානි ආගමට හැරුනා).
සමාජවාදී ව්‍යාපාර වලට සම්බන්ධ වුනු සමහර යුදෙව්වන් තමන් ජීවත් වුනු රටවල සමාජවාදී පාලනයක් බිහි කිරීම වෙනුවට පලස්තීනයේ සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීම කෙරෙහි උනන්දු වුනා. මේ කාලයේදී විශාල වශයෙන් යුදෙව්වන් ඇමරිකාවට සංක්‍රමනය වුනු අතර, සමාජවාදයට හොඳ පසුබිමක් නොතිබුනු ඇමරිකාවට යුදෙව්වන් සංක්‍රමනය වීම ඔවුන් දැක්කේ "අපතේ යාමක්" විදිහට. ඒ වෙනුවට පලස්තීනයේ සමාජවාදී සංකල්ප මත ගොඩනැගුනු විශාල සමූහ ගොවිපළ බිහි කිරීම ඔවුන්ගේ අරමුණ වුනා.
 

මේ ව්‍යාපාරයේ නායකයන් තද ආගමික අදහස් දැරූ අය නොවුනු අතර, ඔවුන් සයොන්වාදී ආගමික අදහස් තම සමාජවාදී ඉලක්ක කරා ළඟා වීමට අවස්ථාවක් සහ උපක්‍රමයක් ලෙස දුටුවා. රුසියානු යුදෙව්වන් වූ නක්මන් සයිර්කින්, බර් බොරොෂොව්, හයිම් අර්ලොසොරොෆ්, බර්ල් කැට්ස්නෙල්සන් මේ ව්‍යාපාරයේ පුරෝගාමීන්.

නක්මන් සයිර්කින්

බර් බොරොෂොව්

බර්ල් කැට්ස්නෙල්සන්

අනෙක් සමාජවාදී යුදෙව්වන් මේ ව්‍යාපරයට තදින්ම විරුද්ධ වුනා. ඔවුන්ගේ අදහස වූයේ සමාජවාදය බිහි කිරීම පහසු වර්ධනය වූ කම්කරු පන්තියක් ඇති යුරෝපයේ බව. මේ අදහස දැරූ ප්‍රධාන පුද්ගලයා වූයේ කාල් මාක්ස්. ලියොන් ට්‍රොට්ස්කි, ජුලියස් මාර්තොව්, පාවෙල් ඇක්සල්‍ රොඩ්, ලෙව් කමනෙව්, ග්‍රිගෝරි සිනොවිව් වැනි අය මේ අදහස් දැරූ අනෙක් ප්‍රධාන යුදෙව් සමාජවාදීන්.

සියළුම සයොන්වාදී ව්‍යාපාර අතරින් සංඛ්‍යාත්මකව විශාලම ව්‍යාපාරය වූයේ කම්කරු සයොන්වාදය. නූතන ඊශ්‍රායලය බිහි කිරීමේදී කම්කරු සයොන්වාදය අති විශාල කාර්‍ය භාරයක් ඉටු කළා.
 

මේ විවිධ සයොන් වාදී ව්‍යාපාර වලින් මෙහෙයවනු ලැබූ යුදෙව්වන් යුරෝපයේ ඔවුන් ගත කළ දුක්ඛිත තත්වයෙන් මිදී නව දිවියක් සොයා පලස්තීනය වෙත සංක්‍රමනය වෙන්න පටන් ගත්තා. 1881 දී නැගෙනහිර යුරෝපයේ පැතිරී ගිය යුදෙව් ඝාතන රැල්ලක් එක්ක මේ සංක්‍රමන වැඩි වුනා. 1882 සිට "ආලියා" නමින් හැඳින් වුනු "සංක්‍රමනික රැළි" යුරෝපයේ සිට පලස්තීනය කරා එන්න පටන් ගත්තා.
 

කෙසේ නමුත් යුදෙව්වන් අති බහුතරය සංක්‍රමනය කරා තෝරා ගත්තේ පලස්තීනය නෙවෙයි ඇමරිකාව. උදාහරණයකට 1881-82 කාලයේදී යුදෙව්වන් මිලියන 1.5 ක් ඇමරිකාවට සංක්‍රමනය වෙද්දී පලස්තීනයට සංක්‍රමන වුනේ 35,000 ක් පමණයි. 

නමුත් මේ කුඩා සංක්‍රමනික ප්‍රජාව විශාල ගසක් බිහි කිරීමට අවශ්‍යය බීජයන් පලස්තීනයේ රෝපණය කළා.


යුදෙව් සංක්‍රමන


19 වන සියවසේ අග භාගයේදී ලෝකයේ ගමනාගමන ක්‍රම දියුණුවීමත් එක්කම ලෝකය පුරා සංචරණය කිරීම පහසු වුනා. මේ නිසා යුරෝපයේ තාඩන පීඩන වලට ගොදුරු වුන යුදෙව්වන් යුරෝපයෙන් ඉවතට සංක්‍රමනය වීම ඇරඹුවා. ඔවුන් ගේ ප්‍රධාන ගමනාන්තය වුනේ ඇමරිකාව. සුළුතරයක් සයොන්වාදය මගින් පලස්තීනය කරා මෙහෙයවනු ලැබුවා. පලස්තීනයට සංක්‍රමනය වුනු යුදෙව්වන් "ආලියා" නමින් හැඳින්වුනු සංක්‍රමන රැළි විදිහට පලස්තීනය කරා ඇදී ආවා.

පළමු ආලියාව

1880 පමණ වන විට පලස්තීනයේ ජනගහණ සං‍යුතිය වුනේ මුස්ලිම් 85%, ක්‍රිස්තියානි 10% සහ යුදෙව් 5% විදිහට. 1881 දී නැගෙනහිර යුරෝපය හරහා පැතිර ගිය යුදෙව් සමූහ ඝාතන රැල්ලක් සමඟ පළමු ආලියාව 1881 දී ඇරඹුනා. 1903 දක්වා පැවතුනු පළමු ආලියාව තුල යුදෙව්වන් 35,000 පමණ පලස්තීනයේ පදිංචි කෙරුනා. මේ අයගෙන් අති බහුතරය රුසියාවේ සිට පැමිණි දුප්පත් ගැමියන්. ඔවුන් ගොවියන් සහ සුළු කර්මාන්ත ශිල්පීන් ලෙස ජීවත් වුනු අය. ඊට අමතරව යෙමනි යුදෙව්වන් පිරිසකුත් මේ කාලයේදීම පලස්තීනයට සංක්‍රමනය වුනා.

මේ සංක්‍රමනිකයන් වෙනුවෙන් ඉඩම් අක්කර 350,000 ක් මිලදී ගෙන ඔවුන්ට ගොවිතැන සඳහා ලබා දෙන්න සයොන්වාදී සංවිධාන කටයුතු කළා. ඒ සඳහා මුදල් ලැබුනේ ප්‍රධාන වශයෙන් ධනවත් යුදෙව් පවුලක් වූ රොත්ස්චයිල්ඩ් පවුලෙන්. එවකට සිටි ප්‍රධානම සයොන්වාදියා වුනු තියොඩෝර් හෙර්ස්ල් ඔටෝමන් රජයෙන් යුදෙව්වන් සඳහා අර්ධ ස්වාදීන පාලන ප්‍රදේශයක් ලබා ගන්න උත්සහ කළත් එය සාර්ථක වුනේ නෑ. ඒ අතර මුදල් හිඟවීම නිසා නව සංක්‍රමනිකයන් නොයෙක් පීඩාවලට මුහුණ දුන්නා. සමහරු නැවත සංක්‍රමනය වුනා. මේ නිසා පළමු ආලියාව ලැබුවේ මිශ්‍ර සාර්ථකත්වයක්. ඒත් සයොන්වාදී අත්හදාබැලීම සාර්ථක බව ඔප්පු වුනා.

රොත්ස්චයිල්ඩ්


දෙවන ආලියාව

දෙවන ආලියාව ඇරඹෙන්නේ 1904 දී. එය 1914 පළමු ලෝක යුද්ධය ඇරඹීම දක්වා පැවතුනා. දෙවන ආලියාව වඩා සංවිධානාත්මක ස්වරූපයක් ගත්තා. සයොන්වාදීන් විසින් පලස්තීනයේ "එරෙට්ස්" නම් කාර්‍යාලයක් පිහිටුවා සියළු සංක්‍රමනිකයන්ට උදව් කිරීම ඇරඹුවා. එමගින් සංක්‍රනිකයන්ට නව දිවිය ඇරඹීම වඩා පහසු කෙරුනා.
දෙවන ආලියාවේ වඩා ක්‍රියාකාරි භූමිකාවක් රඟපෑවේ සමාජවාදී කම්කරු සයොන්වාදීන්. ඔවුන් "කිබුට්ස්" නමින් හැඳින්වුනු සමූහ ගොවිපළ ආරම්භ කර සංක්‍රමනිකයන් ඒවායේ පදිංචි කළා.

කිබුට්ස් සමූහ ගොවිපොළක්

දෙවන ආලියාව හරහා යුදෙව්වන් 40,000 පමණ පලස්තීනයට සංක්‍රමනය වුනා. 1914 වෙද්දී පලස්තීනයේ යුදෙව් ජනගහණය 13% දක්වා වැඩිවී තිබුනා.

පළමුවන ලෝක යුද්ධය

1914 දී පළමු ලෝක යුද්ධය ඇරඹීමත් සමඟම බ්‍රිතාන්‍යය පලස්තීනයට කෙළින්ම මැදිහත් වෙන්න පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කළේ බ්‍රිතාන්‍යයට ඉතිහාසය පුරාවටම සුපුරුදු නිර්ලජ්ජිත, අවස්තාවාදී, කපටි, වංචනික සොබාවයෙන්.

තුර්කි පාලනය යටතේ වාසය කළ අරාබීන් තුර්කීන්ට එරෙහිව කැරලි ගැසීමට පොළඹවා ගන්න බ්‍රිතාන්‍යයන් සමත් වුනා. ඒ සඳහා ඔවුන්ට ආයුධ සහ යුධ උපදේශකයන් බ්‍රිතාන්‍යයෙන් ලබා දුන් අතර, යුද්ධය බ්‍රිතාන්‍යය ජය ගත්තොත් අරාබිය, පලස්තීනය, සිරියාව සහ ඉරාකය අයත් වන විශාල අරාබි රාජ්‍යයක් ගොඩ නැංවීමට සහය දෙන බව අරාබි නායකයන්ට පොරොන්දු වුනා. ඒ අනුව හෙජාස් (මක්කා නගරය ආශ්‍රිත ප්‍රදේශය) ප්‍රාන්තයේ අරාබි නායකයෙක් වූ හුසේන් ඉබ්න් අලී යටතේ අරාබි ජාතිකයන් තුර්කීන්ට එරෙහිව කැරැල්ලක් ඇරඹුවා.

පළමුවන ලෝක යුද්ධයේ අරාබි කැරලි හමුදාව

ඒ අතර ඔවුන් යුදෙව්වන්ගේ සහය ලබා ගැනීමට වෙනම ව්‍යාපරයක් ගෙන ගියා. යුදෙව්වන්ගේ සහය බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වුනේ අරමුණු දෙකක් සඳහා. ඒ රොත්ස්චයිල්ඩ් වැනි ධනවත් යුදෙව්වන් ගේ මුදල් යුධ ව්‍යාපාරයට ලබා ගැනීම සහ ඇමරිකන් යුදෙව්වන් හරහා ඇමරිකාව යුද්ධයට ඇඳා ගැනීම. ඒ නිසා ඔවුන් යුද්ධයෙන් පසු යුදෙව්වන්ට පලස්තීනයේ ස්වාධීන පාලනයක් ලබා දීමට කැමති බව ඇඟවෙන ප්‍රකාශයක් නිකුත් කළා. "බෙල්ෆෝඩ් ප්‍රකාශය" ලෙස හැඳින්වෙන්නේ ඒ ප්‍රකාශය. ඒ හරහා යුරෝපයේ සහ පලස්තීනයේ වාසය කළ යුදෙව්වන් ගේ සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය සමත් වුනා. පලස්තීන යුදෙව්වන්ගෙන් සමන්විත බලඇණියක් බ්‍රිතාන්‍යය හමුදාව යටතේ යුද්ධයට එක් වුනා. යුදෙව්වන්ගේ සහය බ්‍රිතාන්‍යයට ලැබීමත් එක්කම ඔටෝමන් තුර්කීන් පලස්තීනයේ වාසය කළ යුදෙව්වන් 14,000 ක් පිටුවහල් කළා.

අරාබීන්ට සහ යුදෙව්වන්‍ට මේ ආකාරයේ නිළ නොවන පොරොන්දු ලබා දුන් බ්‍රිතාන්‍යය, රහසිගතවම ප්‍රංශ රජය සමඟ සැබෑ නිළ ගිවිසුමක් අත්සන් කර තිබුනා. ඒ ගිවිසුම අනුව යුද්ධයෙන් පසු වර්තමාන සිරියාව සහ ලෙබනනය ප්‍රංශයටත්, ඉරාකය, ජෝර්දානය, පලස්තීනය සහ ඊජිප්තුව බ්‍රිතාන්‍යයටත් අයිති වෙන්න නියමිත වුනා. ඒ ගිවිසුම හැඳින්වුනේ "සයික්ස්-පිකොට් ගිවිසුම" නමින්.

සයික්ස්-පිකොට් ගිවිසුම

යුද්ධයෙන් තුර්කිය පරාජය වීමත් සමඟම ඔවුන්ට තම යටත් වීජිත සියල්ලම අහිමි වුනා. සයික්ස්-පිකොට් ගිවිසුමේ ආකාරයටම ඒ යටත් විජිත බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය තමන් අතර බෙදා ගත්තා. අරාබීන්ට ලැබුනේ හෙජාස් ප්‍රාන්තය පමණයි. පලස්තීනය, ඉරාකය සහ ජෝර්දානය බ්‍රිතාන්‍යයේ "ආරක්ෂක ප්‍රදේශ" ලෙස පාලනය වුනා. අරාබි කැරැල්ලේ නායකයා වුනු හුසේන් ඉබ්න් අලී සැනසීමට ඔහුගේ පුතුන් දෙදෙනෙකු බ්‍රිතාන්‍යය පාලනය යටතේ ජෝර්දානයේ සහ ඉරාකයේ නාමික "රජුන්" ලෙස කිරුළු පැළඳුවා. පලස්තීනය කෙලින්ම බ්‍රිතාන්‍යය පාලනයට නතු වුනා. යුදෙව්වන්ට කිසිවක් ලැබුනේ නෑ.

පළමු ලෝක යුද්ධය අවසානයේ පලස්තීනයේ ජනගහණයෙන් යුදෙව් ප්‍රතිශතය වුනේ 8% ක්.

තුන්වන අලියාව

පළමුවන ලෝක යුද්ධය අවසන් වීමත් එක්ක නැවතත් යුදෙව් සංක්‍රමන ඇරඹුනා. 1919 සිට 1923 දක්වා පැවතුනු තුන්වල ආලියාවේ දී යුදෙව්වන් 40,000 ක් පලස්තීනය වෙත පැමිණුනා. මොවුන් ප්‍රධාන වශයෙන් පැමිණුනේ රුසියාවේ සහ පෝලන්තයේ සිට.

බ්‍රිතාන්‍යයන් තමන් ව රැවටුවා යන හැඟීම සහ දිගින් දිගටම සිදුවන යුදෙව් සංක්‍රමන නිසා අසහනයට පත් පලස්තීන අරාබින් ගේ වෛරය 1920 දී පුපුරා යන්නේ නෙබි මූසා කැරැල්ල හරහා. එහිදී යුදෙව් ජනාවාස වලට අරාබීන් පහර දුන්නා. බ්‍රිතාන්‍යයන් කැරැල්ල මැඩ පවත්වන්න ලොකු උනන්දුවක් දැක්වූයේ නෑ. අරාබීන් ගේ ප්‍රචන්ඩත්වය තමන් කෙරෙහි යොමු නොවී යුදෙව්වන් කෙරෙහි යොමු වීම ඔවුන්ගේ සතුටට හේතු වුනා.
තම ආරක්ෂාව සඳහා යුදෙව්වන් "හගනා" නමින් හැඳින්වුනු මිලිෂියා කණ්ඩායම් පිහිටුවා ගත්තා. 

කෙසේ නමුත් අරාබීන් සතුටු කිරීම සඳහා යුදෙව් සංක්‍රමන සීමා කරවීමේ නීති පනවන්න බ්‍රිතාන්‍යයන් කටයුතු කළා. ඒත් මේ සීමා පැනවුනේ දුප්පත් යුදෙව්වන්ට පමණයි. ධනවත් යුදෙව්වන්‍ට සහ උගතුන්ට ඒ සීමා බලපෑවේ නෑ.

හතරවන ආලියාව

1924 දී ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමනික නීති වෙනස් වීමත් සමඟම නැගෙනහිර යුරෝපීය යුදෙව්වන්‍ට ඇමරිකාවට සංක්‍රමනය වීම අපහසු වුනා. ඒ නිසා ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් පලස්තීනය කෙරෙහි යොමු වුනා. දුප්පතුන්ට බලපෑ, ධනවතුන්ට සහ උගතුන්ට බල නොපෑ පලස්තීනයේ සංක්‍රමනික සීමාවන් යුදෙව්වන්ට වෙස් වලාගත් ආශිර්වාදයක් වුනා. ඒ උගතුන් සහ ධනවතුන් විශාල ප්‍රමානයක් පලස්තීනයට ඇදී ඒමෙන්. මෙතෙක් දුප්පත් ගැමියන්ගෙන් සමන්විත වුනු පලස්තීන යුදෙව් ප්‍රජාවට උගතුන් සහ ධනවතුන් එක් වීමෙන් එය වඩා ශක්තිමත් වුනා.

1924 දී ඇරඹී 1928 තෙක් පැවති හතර වන ආලියාවේ දී යුදෙව්වන් 80,000 ක් පමණ පලස්තීනයේ පදිංචි වුනා. ඔවුන්ගෙන් බහුතරය නැගෙනහිර යුරෝපීය යුදෙව්වන් වුනු අතර, සුළු ප්‍රමානයක් යෙමනයේ සහ ඉරාකයේ සිට ආ අය.

පලස්තීන යුදෙව්වන් ගේ මුහුණුවර හතරවන ආලියාවත් සමඟ විශාල වෙනසකට මුහුණ පෑවා. යුදෙව්වන් නාගරික ජනාවාස බිහි කළ අතර, යුදෙව් ජනාවාස වල ජීවන තත්වය ඉහළ ගියා. ඒ එක්කම පලස්තීන යුදෙව්වන් තමාගේ පාලන කටයුතු සඳහා නියෝජිත සභාවක් මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා. 1920 දී පැවැත්වුනු පළමු මැතිවරණයෙන් සහ 1925 දී පැවැත්වුනු දෙවැනි මැතිවරණයෙන් වැඩි බලයක් හිමිකරගත්තේ සමාජවාදී පක්ෂ. වැඩිම පිළිගැනීමක් තිබුනු නායකයා වූයේ සමාජවාදියෙක් වූ ඩේවිඩ් බෙන් ගුරියන්.

ඩේවිඩ් බෙන් ගුරියන්

මේ යුදෙව් පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍යයන් නිළ වශයෙන් නොපිළිගත්තත්, යුදෙව්වන් තමාගේ පොදු කටයුතු ඒ හරහා ඉටු කර ගත්තා. රාජ්‍යයක් තුළ රාජ්‍යයක් ක්‍රමයෙන් නිර්මානය වෙන්න පටන් ගත්තා.

1928 වන විට පලස්තීනයේ යුදෙව් ජනගහණය 17% දක්වා ඉහළ ගොස් තිබුනා.

පලස්තීනයේ යුදෙව් දේශපාලන ධාරාවන්

1929 දී නැවතත් අරාබීන් සහ යුදෙව්වන් අතර ගැටුම් ඇති වුනා. මෙහිදී සමාජවාදී යුදෙව්වන්ට වැඩි බලයක් තිබුනු හගනා මිලිෂීයා කණ්ඩායම් ප්‍රමානවත් තරම් කාර්‍යයක් නොකළ බව චෝදනා කරමින් දක්ෂිණාංශික යුදෙව්වන් "එට්සෙල්" නමින් ඔවුන්ගේ මිලිෂියා කණ්ඩායම් පිහිටුවා ගත්තා. මෙය පලස්තීන යුදෙව් දේශපාලනයේ බෙදීම් වඩාත් පැහැදිලි වුනු අවස්ථාව කියල සලකන්න පුළුවන්.

මේ වන විට පලස්තීන යුදෙව් දේශපාලනයේ ප්‍රධාන ධාරාවන් හතරක් හඳුනා ගන්න පුළුවන්

1. කම්කරු සයොන් වාදීන් හා සමාජවාදීන්
2. දක්ෂිණාංශික ජාතිකවාදී සයොන්වාදීන්
3. ආගමික සයොන්වාදීන්
4. සෙෆාර්ඩි යුදෙව්වන්

පළමු කණ්ඩායම් තුන අෂ්කනාසි යුදෙව්වන් අතර තම බලය පතුරුවා සිටි අතර, සෙෆාර්ඩි සහ මිස්‍රාහි යුදෙව් ප්‍රජාවන් වෙනම සංවිධානය වී හිටියා. මේ වනවිට දේශපාලන කතිකාවලදී ඔවුන් දෙපිරිසම හැඳින්වුනේ සෙෆාර්ඩි යන පොදු නාමයෙන්.

1931 දී පැවැත්වුනු මැතිවරණයෙන් සමාජවාදීන් ආසන 27 ක් දිනා ගත් අතර, දක්ෂිණාංශිකයන් ආසන 15 ක් ද, ආගමික සයොන්වාදීන් සහ සෙෆාර්ඩි යුදෙව්වන් ආසන 5 බැගින් ද දිනා ගත්තා. 

පස්වන ආලියාව

1929 දී පස්වන ආලියාව ඇරඹෙන්නේ ජර්මනිය සහ නැගෙනහිර යුරෝපීය රටවල ෆැසිසිට් වාදී අන්ත දක්ෂිණාංශික දේශපාලනය බලවත් වීමත් සමඟම. තම කල දවස යහපත් නොවන බව වටහා ගත් යුරෝපීය යුදෙව්වෝ විශාල වශයෙ පලස්තීනයට සංක්‍රමනය වීම ඇරඹුවා. විශාලතම ආලියාව වූ පස්වන ආලියාව 1939 දී අවසන් වන විට ලක්ෂ තුනක පමණ පිරිසක් පලස්තීනය වෙත සංක්‍රමන වී හිටියා. 1937 වන විට පලස්තීනයේ ජනගහණයෙන් 28% ක් යුදෙව්වන්.

පස්වන ආලියාවෙන් පලස්තීනයට පැමිණෙන සංක්‍රමනික යුදෙව්වන් පිරිසක්

මේ අති විශාල යුදෙව් සංක්‍රමනය පලස්තීන අරාබීන් ගේ දැඩි නොසතුටට හේතු වුනා. මේ තත්වය පුපුරා ගියේ 1936 දී අරාබීන් බ්‍රිතාන්‍යයන්ට සහ යුදෙව්වන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹීමෙන්. මේ කැරැල්ල සමනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් පීල් කොමිසම හරහා ගැලීලියේ සහ මුහුදුබඩ පෙදස් වල යුදෙව් ජනාවාස සඳහා වෙන් කර දීමටත්, අනෙක් ප්‍රදේශ අරාබීන්ට පමණක් ලබා දීමටත් යෝජනා කළා. අරාබීන් මේ යෝජනා ප්‍රතිකෂේප කළා.

අරාබි කැරලිකරුවන්

බ්‍රිතාන්‍යයන් අරාබි ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව දැඩි ප්‍රතික්‍රියා දැක්වූ අතර, යුදෙව් මිලිෂියා කණ්ඩායම්, විශේෂයෙන් දක්ෂිණාශික එට්සෙල් මිලිෂියා කණ්ඩායම් බ්‍රිතාන්‍යයන්ට සහය දෙමින් අරාබීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළා. 1939 දී කැරැල්ල මැඩපවත්වන විට බ්‍රිතාන්‍යයන් 260ක් යුදෙව්වන් 300 සහ අරාබීන් 5000 ක් මිය ගොස් සිටියා.

යුදෙව් මිලිෂියා කණ්ඩායමක්

කෙසේ නමුත් කැරැල්ල නිසා බ්‍රිතාන්‍යයන් පලස්තීනයේ තත්වයට ස්ථිර විසඳුමක් වශයෙන් ධවල පත්‍රිකාවක් 1939 දී ඉදිරිපත් කළා. ඒ අනුව යුදෙව් සංක්‍රමන දැඩි ලෙස සීමා කෙරුණු අතර, අවුරුදු 10 කට පසු පලස්තීනයට නිදහස ලබා දීමටත්, එය අරාබි-යුදෙව් ජනවර්ග දෙකම ජීවත් වන තනි රටක් ලෙස පාලනය වීමට අවස්තාව දෙන බවටත් යෝජනා කෙරුණා.

නිදහස සඳහා අවුරුදු 10 ක් බලා සිටීමට සිදු වීම අරාබීන් ඉවසුවේ නෑ. ඒ අතරම සංක්‍රමන සීමා කිරීම සහ අරාබි බහුතරයක් සහිත රටක ජීවත් වීමට සිදුවීම යුදෙව්වන් ඉවසුවේ නෑ. මේ නිසා දෙපාර්ශවයෙන්ම ධවල පත්‍රිකාව ප්‍රතික්ෂේප කෙරුණා.

දෙවන ලෝක යුද්ධය ඇරඹේන්නේ මේ පසුබිම තුළ. දෙවන ලෝක යුද්ධය පලස්තීනයේ ඉරණම සදහටම වෙනස් කළා.