Saturday, July 22, 2023

අලී ගේ ගණිත දැණුම

 

අලී ඉබ්න් අබු තාලිබ් කියන්නේ රෂිදුන් කිලාෆාතයේ හතරවැනි කලීෆා වරයා. ඔහු ප්‍රසිද්ධ වුනේ ඉතාම බුද්ධිමත් සහ ඉතාම සාධාරන කලීෆා වරයෙක් විදිහට.
 

=====================================

පබළු

දවසක් මිනිස්සු  දෙන්නෙක් කාන්තාරය මැදින් ගමනක් ගියා. ඔවුන් දෙදෙනාගෙන් එක්  අයෙක් ළඟ පාන් ගෙඩි (ගෙඩි කිව්වට ඒ කාලයේ අරාබි ජාතිකයන් කෑවේ පැතලි පාන්  වර්ගයක්) පහක් තිබුණා. අනෙක් කෙනා ළඟ පාන් ගෙඩි තුනක් තිබුණා.
 

ඔවුන්  දෙන්නා කෑම වෙලාව ආවම ගමන නතර කරලා, ඔටුවන් ගැට ගහලා, හෙවන ඇති  තැනක පලසක් එලලා කෑමට වාඩි වුනා. එතකොටම ඔවුන් දැක්කා තවත් මගියෙක් ඔටුවෙක්  පිටේ ඒ මගම එන හැටි. ඔවුන් තුන්වැනි මගියාටත් කෑමට ආරාධනා කළා. තුන්වැනියාත් ඔවුන් එක්ක කෑමට  වාඩි වුනා.
 

ඔවුන් තමන් ළඟ තිබුණ පාන් ගෙඩි අට සමානව බෙදා ගන්නේ  කොහොමද කියලා කල්පනා කළා. අට තුනට බෙදන්න බෑ නොවැ. අන්තිමේ ඔවුන් තීරණය කළා  හැම පාන් ගෙඩියම සමාන කොටස් තුනකට කඩන්න. ඒ විදිහට පාන් ගෙඩි අට කෑලි විසි  හතරකට කඩපු ඔවුන් එක් අයෙක් කෑලි අට බැගින් කෑවා.
 

කෑම වේල ඉවර කරලා  තුන්වැනි මගියා ඔවුන්ට ස්තූති කරලා යන්න පිටත් වුනා.  යන්න කලින් ඔහු  තමාගේ සත්කාරකයන් දෙන්නට තෑග්ගක් දෙන්න කල්පනා කළා.
 

"මම ළඟ තමුසෙලට දෙන්න කෑම මොකුත් නෑ. ඒ නිසා කෑම වේල වෙනුවෙන් තෑග්ගක් විදිහට මේ පබළු අට තියා ගන්න."
 

ඔහු අලංකාරව ඔප දැමූ පාට පබළු අටක් දීලා තමන්ගේ ගමන යන්න ගියා.
 

දැන් මේ පබළු අට බෙදා ගන්නේ කොහොමද? යාළුවෝ දෙන්නා අතරේ වාදයක් ඇති වුනා.
 

"මම පාන් ගෙඩි පහක් කෑමට දැම්මා. තමුසෙ දැම්මෙ තුනයි. ඒ නිසා මට පබළු පහක් ඕනෙ. තමුසෙ තුනක් ගන්නවා."
 

"එහෙම හරියන්නේ නෑ. අපි දෙන්නම ආගන්තුක සත්කාරය කරා. ඒ නිසා අපි පබළු හතර ගානෙ බෙදා ගමු."
ඔවුන්  අතරේ දිගටම වාදය ගියා. කූෆා නගරයට එනතුරුම එකඟතාවයකට එන්න බැරි වුනා.  අන්තිමේදි ඔවුන් තීරණය කළා කලීෆා වරයාට මේ නඩුව කියන්න. ඔවුන් අලී හමුවට  ගිහිල්ලා, අලී සහ රැස්ව සිටි පිරිස ඉදිරියේ තමාගේ කතාව කිව්වා.
 

අලී  සාවධානව ඔවුන්ගේ කතාවට ඇහුම් කන් දුන්නා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන  මොහොතක් කල්පනා කළා. රැස්ව සිටි පිරිස මුණු මුණු හඬින් තමාගේ අදහස් පළ  කරන්න පටන් ගත්තා.
 

අලී අතක් ඔසවලා පිරිස නිහඬ කළා. ඔහු තීන්දුව දෙන්න සූදානම්.
 

"පළමුවැන්නාට පබළු හතක් හිමි වෙන්න ඕනේ. දෙවැන්නාට එක පබළුවයි."
 

පිරිසට විමතියෙන් එකිනෙකාගේ මූණු බැළුවා. අලීට වැරදුනාවත් ද?
"කලීෆා තුමනී, අපිට මේ තීන්දුව තේරෙන්නේ නෑ"
 

අනුගාමිකයෙක් කිව්වා.
 

"පාන්  කෑලි විසි හතරක් තිබුණා. තුන් දෙනාම පාන් කෑලි අට බැගින් කෑවා. පාන් කෑළි  විසි හතරෙන් කෑලි පහළොවක් පළමුවැන්නා ගේ. නවයක් දෙවැන්නාගේ. ඒ කියන්නේ  පළමුවැන්නා තමාගේ කෑලි හතක් ආගන්තුකයාට දීලා තියෙනවා. දෙවැන්නා දීලා  තියෙන්නේ එකයි."
 

===================================== 

බෙදිල්ල

දවසක් අලී ගේ අනුගාමිකයෙක් ඔහුට ගණිත ගැටළුවක් ඉදිරිපත් කළා.
 

"කලීෆාතුමනී, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 යන සංඛ්‍යයා වලින් ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකද්ද?
 

අලී තමාගේ රැවුල අතගාලා උත්තර දුන්නා.
 

"අවුරුද්දකට තියෙන දවස් ගාන සතියකට තියෙන දවස් ගානෙන් වැඩි කරන්න. ඔබට පිළිතුර ලැබෙයි."
 

(අරාබි කැලැන්ඩරයට අනුව අවුරුද්දකට තියෙන්නේ දවස් 360 යි. එතකොට උත්තරය වෙන්නේ 360 x 7 = 2520)
 

=====================================

ඔටුවන් බෙදපු හැටි

දවසක් නගරයේ වෙළඳපොළේ මහ කලබගෑනියක්. ඔටුවන් විකුණන වෙළෙන්දෝ තුන් දෙනෙක් ඔටුවන් බෙදා ගන්න බැරුව වාද කරනවා.
 

වෙළඳාමට කලින් ඔවුන් ඇති කර ගත්ත එකඟතාවය අනුව ඔටුවන් බෙදා ගන්න ඕනේ පළවැනියාට ඔටුවන්ගෙන් බාගයකුත්, දෙවැනියාට ඔටුවන්ගෙන් තුනෙන් එකකුත්, තුන්වැනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකකුත් ලැබෙන විදිහට. ඒත් ඔවුන් ළඟ හිටියේ ඔටුවන් දහ හතක්. එකඟතාවයට අනුව ඔටුවන් බෙදාගන්න හැටි තමයි ඔවුන් වාද කළේ.
 

මේ වෙලාවේ අලී තමාගේ ඔටුවා පිටින් එතැනින් යන්න ගියා. කලබගෑනිය දැකලා ඔහු එතැනට ගියා. හැමෝම අයින් වෙලා කලීෆාවරයාට ඉඩ දුන්නා.
 

අලී මුලින්ම සාවධානව වෙළෙන්දන්ගේ කතාවට ඇහුම්කන් දුන්නා. ඊට පස්සෙ ඔහු ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළා. ඊට පස්සෙ ඔහු හිස ඔසවලා වෙළෙන්දන් තුන් දෙනා දිහා බැළුවා.
 

"මට අද ත්‍යාගශීලී බවක් දැනෙනවා. මම කැමතියි මගේ ඔටුවා ඔබට තෑගි දෙන්න."
 

ඔහු තමාගේ ඔටුවා ඔටුවන් රැළට එක් කළා. දැන් ඔටුවන් දහ අටක් ඉන්නවා.
 

"පළවෙනියට ඔටුවන්ගෙන් බාගයයි. ඔහුට ඔටුවන් නවයක් හිමියි."
 

අලී පළවෙනි වෙළෙන්දාට ඔටුවන් නවයක් දුන්නා.
 

"දෙවෙනියාට ඔටුවන් ගෙන් තුනෙන් එකයි. ඔහුට ඔටුවන් හයක් හිමියි."
 

අලී දෙවෙනි වෙළෙන්දාට ඔටුවන් හයක් දුන්නා.
 

"තුන්වෙනියාට ඔටුවන්ගෙන් නවයෙන් එකක්. ඔහුට ඔටුවන් දෙන්නෙක් හිමියි."
 

අලී තුන්වෙනි වෙළෙන්දාට ඔටුවන් දෙන්නෙක් දුන්නා.
 

9+6+2=17. දැන් එක ඔටුවෙක්, අලීගේ ඔටුවා, ඉතුරුයි.
 

"ආ, එහෙනං මම මේ ඔටුවා ගන්නම්."
 

අලී තමාගේ ඔටුවා පිට නැගලා තමාගේ ගමන යන්න පිටත් වුනා.
 

=====================================
 

මේ කතා ඇත්තද, හදපු කතාද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් වැදගත් වෙන්නේ මේ කතා ඇත්ත වුනත් හදපු කතා වුනත්, මේ කතා අරාබි ජන සාහිත්‍යයේ නිර්මානය වීම සහ පැවත ඒම. ඊටත් වඩා වැදගත් ඔවුන් මේ කතා කලීෆා වරයාට ආරෝපණය කිරීම. අරාබි සංස්කෘතියේ ගණිතයට තිබුණු තැන ඒකෙන් අපිට පේනවා.

Band of Brothers සහ Generation Kill

 

ලෝකයේ යුද්ධ ගැන චිත්‍රපටි සහ මාලා නාටක (TV series) ඉහේ කෙස් ගානට නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් විශිෂ්ඨ ගණයට දාන්න පුළුවන් චිත්‍රපටි විශාල සංඛාවක් තිබුණත්, විශිෂ්ඨ ගණයට දාන්න පුළුවන් මාලා නාටක තියෙන්නෙ අතළොස්සයි. ඒ අතරිනුත් වඩාත්ම විශිෂ්ඨ මාලා නාටක දෙක කියලා සලකන්න පුළුවන් Band of Brothers සහ Generation Kill.
 

Band of Brothers නිර්මාණය වෙන්නේ 1992 දී ස්ටීවන් ඇම්බ්‍රෝස් විසින් රචිත Band of Brothers පොත ඇසුරෙන් 2001 දි. මේක කොටස් 10 කින් සමන්විත මාලා නාටකයක්. මේ නිර්මාණයට මූලික වෙන්නේ හොලිවුඩයේ දැවැන්තයන් වෙන ටොම් හෑන්ක්ස්, එරික් ජෙන්ඩර්සන් සහ ස්ටීවන් ස්පිල්බර්ග්. මේ නිර්මානයට රංගනයෙන් දායක වුන නළුවන් රැසක් පසු කළෙක හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් බවට පත් වුනා.
 

Generation Kill නිර්මාණය වෙන්නේ 2004 දී එවාන් රයිට් විසින් රචිත Generation Kill පොත ඇසුරෙන් 2008 දී. මේක කොටස් 7 කින් සමන්විතයි. මේ නිර්මාණයට මූලික වෙන්නේ ඩේවිඩ් සිමොන්, එඩ් බර්න්ස්, එවාන් රයිට් සහ සුසානා වයිට්. මෙහි නිර්මාණ කරුවන් වගේම රංගනයෙන් දායක වුන නළුවන් හොලිවුඩ් සිනමාවේ එතරම් ප්‍රසිද්ධ අය නෙවෙයි.
 

නිර්මාණ දෙකේ මූලික සමානකම වෙන්නේ නිර්මාණයේ ආකෘතිය. නිර්මාණ දෙකටම පාදක වෙන්නේ ඇමරිකානු හමුදා භට පිරිසක් යුද්ධයේදී ලබන අත් දැකීම්.
 

Band of Brothers නිර්මාණයට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේ සටන් කළ ඇමරිකානු යුධ හමුදාවේ 506 වෙනි පැරෂුට් පාබල හමුදා රෙජිමේන්තුවේ E ඛන්ඩයේ (E Company, 506 Parachute Infantry Regiment) අත්දැකීම්.
 

Generation Kill නිර්මාණයට පාදක වෙන්නේ ඉරාක ආක්‍රමනයේ සටන් කළ ඇමරිකානු මැරීන් හමුදාවේ පළමුවෙනි පිරික්සුම් බැටෑලියනයේ (1st Reconnaissance Battalion) අත්දැකීම්.
 

නිර්මාණ දෙකේ ප්‍රධාන වෙනසක් වෙන්නේ කතාව කියන්නාගේ දෘෂ්ටි කෝණය. Band of Brothers පොත ලියැවෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් බොහෝ කලකට පසුව, අදාල හමුදා ඒකකයේ සෙබළුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරෙන්. මේ නිසා කතාව කියැවෙන්නේ සෙබළුන් ගේ දෘෂ්ටි කෝණයෙන්.
 

නමුත් Generation Kill පොත ලියැවෙන්නේ කතුවරයා යුධ වාර්තාකරුවෙක් විදිහට අදාල හමුදා ඒකකය සමඟ ඉරාක යුද්ධයේදී ගත කළ කාලයේ තමන් ලද අත්දැකීම් ඇසුරෙන්. මේ නිසා කතාව කියැවෙන්නේ පිටස්තරයෙකුගේ (වාර්තාකාරයාගේ) දෘෂ්ටි කෝණයෙන්.
 

මේ නිසාම Band of Brothers මාලා නාටකයේ ප්‍රධාන චරිත වෙන හමුදා සෙබළුන් නිරූපනය කෙරෙන්නේ යම්කිසි වීරත්වයකින්. ඒ නිරූපනය වඩා සමීප වෙන්නේ සාම්ප්‍රදායික "යුධ වීරයන්ගේ" භූමිකාවට. සමස්තයක් වශයෙන් හමුදාව සහ එහි සේවය කරන සෙබළු "සුදු" ආකාරයකට නිරූපණය කෙරෙනවා. නමුත් Generation Kill මාලා නාටකයේ ප්‍රධාන චරිත වෙන හමුදා සෙබළුන් නිරූපනය කෙරෙන්නේ වඩා යථාර්තවාදීව. හමුදාව සහ එහි සේවය කරන සෙබළුන් නිරූපනය කෙරෙන්නේ වඩා විවේචනාත්මකව.
 

නිර්මාණ දෙකේ තියෙන වඩාත්ම කැපී පෙනෙන වෙනස තමයි දෙවෙනි ලෝක යුද්ධයේදී සහ ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදා සෙබළුන් ලබන අත්දැකීම් වල ඇති වෙනස.
 

Band of Brothers මාලා නාටකයේදී අපිට හමුවන ඇමරිකානු සෙබළු සටන් වදින්නේ තාක්ෂනිකව තමන් සමඟ කරට කර ඉන්න සතුරෙක් සමඟ. බොහෝ අවස්ථා වලදී ජර්මන් හමුදාවේ ගිනි බලය ඔවුන්ගේ ගිනි බලය අභිබවා යනවා. මේ නිසා ඔවුන් මුහුණ දෙන සටන් ඉතාම බිහිසුණුයි. මාලා නාටකය පුරාවට අපිට හමුවන චරිත බොහෝ දෙනෙක් සටනින් මිය යනවා හෝ තුවාල ලබනවා. අවසාන අදියරේදී බොහෝ සෙබළුන් ඉන්නේ බිහිසුණු සටන් වලට දිගින් දිගටම මුහුණ දීම නිසා ඇතිවන අධික මානසික කම්පනයකින්.
 

Generation Kill මාලා නාටකයේදී ඇමරිකානු සෙබළු සටන් වදින්නේ තාක්ෂනිකව තමාට වඩා අතිශයින් පහත් තැනක ඉන්න සතුරෙක් සමඟ. ඇමරිකානු සෙබළු නවීන ප්‍රහාරක රයිෆල, මැෂින් තුවක්කු, ගුවන් සහ කාලතුවක්කු සහය සහිතව සටනට පිවිසෙන අතර, ඔවුන්ගේ සතුරා බොහෝ විට සන්නද්ධ වෙන්නේ AK47 රයිෆල සහ සුළු අවි වලින්. මේ නිසා අපි දකින බොහෝ සටන් අසමාන සටන්. ඇමරිකානු සෙබළු ඉතා පහසුවෙන් සටන් වලට මුහුණ දෙන අතර, මුළු මාලා නාටක පුරාවටම එකම ඇමරිකානු සෙබෙළෙක් වත් මිය යන්නේ නෑ. ඇමරිකානු 

සෙබළුන්ගේ මානසික කම්පනයට හේතුවන ප්‍රධාන කරුණ වෙන්නේ තමා මුහුණ දෙන අවදානම නොව, තමාගේ දැවැන්ත ගිනි බලය හමුවේ ඉරාකයෙ සිවිල් වැසියන් බුරුතු පිටින් මියයාම.
 

මේක දෙවෙනි ලෝක යුද්ධ සමයේ සහ නිරවි යුද්ධයට පසු සමයේ ලෝක දේශපාලනයේ බල තුළනය වෙනස් වූ ආකාරය පිළිබඳ හොඳ දර්ශකයක්.
 

නිර්මාණ දෙක අතර තියෙන තවත් පැහැදිලි වෙනසක් වෙන්නේ ඇමරිකානු සෙබළුන් යුද්ධය ගැන දක්වන ආකල්පය. නිර්මාණ දෙකටම පාදක වෙන හමුදා ඒකක ඇමරිකානු හමුදාවේ උසස්ම පුහුණුවක් සහිත, විශිෂ්ඨ සෙබළුන්ගෙන් සමන්විත ඒකක දෙකක්. නමුත් Band of Brothers හි සෙබළුන් යුද්ධය ගැන දක්වන්නේ තමා මුහුණ දිය යුතු ඍනාත්මක අත්දැකීමක් විදිහට. ඔවුන් කිසි ලෙසකින්වත් බියගුළුබවක් ප්‍රදර්ශනය නොකළත්, ඔවුන් සටන් වැදීම ප්‍රිය කරන්නේත් නෑ. නමුත් Generation Kill හි සෙබළුන් ඉන්නේ සටන් වැදීමට ඉතා දැඩි ආශාවෙන්. සටනට වැදී සතුරා මරා දැමීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වෙනවා. සතුරා මුණ නොගැසෙන අවස්ථා වලදී ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් වෙනවා.


මේකට හේතු දෙකක් දකින්න පුළුවන්. දෙවෙනි ලෝක යුධ සමයේ ඇමරිකානු හමුදාවේ සේවය කළ සෙබළුන්ගෙන් අති බහුතරය අනිවාර්‍ය යුධ සේවය (draft) යටතේ හමුදාවය බඳවාගත් අය. නමුත් වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකාව මේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තමාගේ හමුදාවන් 100% ක් ම ස්වේච්ඡා සෙබළුන්ගෙන් සමන්විත වෘත්තීය හමුදාවක් බවට පත් කළා. මේ වෙනස නිර්මාණ දෙකේ පැහැදිලිවම දකින්න පුළුවන්.
මේක ඇමරිකානු හමුදාව පසුගිය අඩ සියවස තුළ පරිනාමය වුනු ආකාරය ගැන හොඳ දර්ශකයක් සපයනවා.
 

අනෙක් හේතුව වෙන්නේ නිර්මාණ දෙකට පාදක වෙන හමුදා ඒකක වල වෙනස. Band of Brothers නිර්මාණයට පාදක වෙන්නේ ඇමරිකානු යුධ හමුදාවේ ඒකකයක් වන අතර, Generation Kill නිර්මාණයට පාදක වෙන්නේ ඇමරිකානු මැරීන් හමුදාවේ ඒකකයක්. මැරීන් සෙබළුන් ගේ ආකල්ප වඩා ආක්‍රමනශීලී සහ රණකාමීයි.
 

නිර්මාණ දෙකේ වැදගත්ම වෙනස වෙන්නේ නිර්මාණය සහ නිර්මාණයේ සිටින චරිත යුද්ධයේ අරමුණ දකින ආකාරය. Band of Brothers යුද්ධය බිහිසුණු ආකාරයෙන් නිරූපණය කළත්, එහි අවසාන අරමුණ යහපත් බව පෙන්වනවා. සෙබළුන් තුළ "මම සටන් කරන්නේ ඇයි?" කියන සැකය මතු වුනත්, 9 වැනි කථා අංගයේ දී (Why We Fight) නාසි ඝාතක කඳවුරක් හරහා ඒ සැකය දුරු කර දැමෙනවා. පොදුවේ ඇමරිකානු සමාජය දෙවෙනි ලෝක යුද්ධය දකින ආකාරය මෙහිදී පිළිබිඹු වෙනවා. දෙවෙනි ලෝක යුද්ධය පොදු සමාජයේ දකින්නේ අතිශය කුරිරු සතුරෙකුට එරෙහිව කළ "හොඳ යුද්ධයක්" විදිහට. මේ නිසා යුද්ධයේ සටන් වදින සෙබළුන් හට අනිවාර්‍යයෙන්ම දේශපාලන අරමුණක් ලැබෙනවා.
 

නමුත් Generation Kill යුද්ධය සහ එහි අරමුණ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. මෙහිදී වැදගත්ම සාධකය වෙන්නේ සටනට වැදීමට නොඉවසිල්ලෙන් බලාසිටින අතිශය ආක්‍රමනශීලී මැරීන් සෙබළු යුද්ධය ගැන දරන්නේ "මේක නිරර්ථක යුද්ධයක්" යන ආකල්පය වීම. ඔවුන් යුද්ධයට එලැඹෙන්නේ හුදෙක් වෘත්තීයමය ස්වරූපයකින් පමණයි. ඇමරිකාවේ ඉරාක ආක්‍රමනය දේශපාලනිකව නිෂ්ඵල ව්‍යායාමයක් බව ඔවුන් මුල සිටම දන්නවා. ඒත් ඔවුන් ඒ ගැන තැකීමක් කරන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමාගේ වෘත්තීයේ විශිෂ්ඨයන් බවට පත් වීම.
මෙහිදී දකින්න පුළුවන් වැදගත් දෙය තමයි ඇමරිකාව විසින් තමාගේ ප්‍රශ්නකාරී යුධ ව්‍යාපෘතීන් සඳහා යොදවා ගැනීමට දේශපාලනයෙන් සම්පූර්නයෙන්ම වගේ වියුක්ත කළ වෘත්තීය සෙබළෙක් නිර්මානය කිරීමට සමත් වීම. මේ නිසා තව දුරටත් දෙවෙනි ලෝක යුද්ධයේදී මෙන් සටන් කිරීම සඳහා සෙබළුන්ට "සාධාරණ අරමුණක්" ලබාදීමේ අවශ්‍යතාවයක් නෑ. තමා සහභාගී වෙන යුද්ධය කොයි තරම් ප්‍රශ්නකාරී වුනත් තමාගේ උපරිමය ඒ සඳහා දායක කරන සෙබළෙක් ඇමරිකාවට ඉන්නවා.
 

නමුත් Generation Kill හි අපිට හමුවෙන දේශපාලනයෙන් වියුක්ත වෘත්තීය මැරීන් සෙබළු තමා අතින් බුරුතු පිටින් මිය යන සිවිල් වැසියන් ගැන කම්පා වෙනවා. ඇත්තෙන්ම මෙහිදී රචකයා මතු කරන ප්‍රධාන කරුණක් වෙන්නේ ඇමරිකානු හමුදා සෙබළුන් ඇමරිකානු සාමාන්‍යය පොදු සමාජයට වඩා මේ මරණ ගැන සංවේදී  බව. රචකයා ගේ පුද්ගලික අත්දැකීම් මත කතාව ලියැවී ඇති නිසා මේක ඇත්තක් බව හිතන්න පුළුවන්.
 

දෙකෙන් වඩා හොඳ නිර්මාණය මොකද්ද? මගේ අදහස නම් සිනමාත්මක අතින් Band of Brothers වඩා ඉදිරියෙන් සිටින බවයි. කලාත්මක සහ තාක්ෂනික අංශ දෙකෙන්ම Band of Brothers ඉතාම උසස් නිර්මාණයක්. ඒ වගේම එහි හොඳින් වර්ධනය කළ කථාවක් තියෙනවා. සමස්තයක් විදිහට Band of Brothers පුළුල් ප්‍රේක්ෂක පිරිසකට රස විඳින්න පුළුවන් නිර්මාණයක්.
 

නමුත් Generation Kill අනුගමනය කරන්නේ සිනමාත්මක රීතියකට වඩා වාර්තාමය රීතියක්. එය ආකෘතියෙන් වාර්තා චිත්‍රපටියකට සමාන වෙනවා. ඇත්තෙන්ම නිරවද්‍යතාවය අතින් එය වාර්තා චිත්‍රපටියකටත් වඩා ඉදිරියෙන් තියෙනවා කියන්නෙ පුළුවන්. එහි වර්ධනය වුනු කථාවක් නෑ. තියෙන්නේ හුදෙක් සිදුවීම් ටිකක් විතරයි. නිර්මාණයේ අරමුණ "මෙහෙම දේවල් ටිකක් සිද්ධ වුනා" කියන එක.
 

ඔබට අවශ්‍යය වෙන්නේ උසස් සිනමාත්මක අත්දැකීමක් නම් Band of Brothers තෝරා ගත යුතුයි.
නමුත් ඔබට අවශ්‍යය වෙන්නේ යුද්ධයේ නිරුවත් සොබාවය අමුඅමුවේ අත් විඳින්න නම් Generation Kill තෝරා ගත යුතුයි.

උමර් ගේ අවසාන ඉල්ලීම

 

මුහම්මද් තුමා මිය ගියේ ක්‍රි.ව. 632 දී. එතුමාගේ නිවස පිහිටා තිබුණේ මදීනා නගරයේ පිහිටි "දිවැසිවරයාගේ මස්ජීදය" (අල්-මස්ජීද් අන්-නබවි) ට යාබදව. නිවස කිව්වට ඒක තාප්පයකින් වටවුනු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටි ගණනාවක්. මේ එක් එක් කුටියේ මුහම්මද් තුමාගේ බිරින්දෑවරු සහ එතුමාගේ දියණිය වුනු ෆාතිමා සහ ඇගේ සැමියා වුනු අලී වාසය කළා.
 

මුහම්මද තුමා මිය ගියේ ඔහුගේ එක් බිරිඳක් වුනු ආයිෂාගේ කුටියේදී. ඔහුගේ අනුගාමිකයන් ඔහුව මිහිදන් කළේ ඔහු මියගිය තැනමයි (ඒ කියන්නේ ආයිෂා ගේ කුටිය තුළ). මුහම්මද් තුමාගේ සොහොන් ගැබ තිබියදීම ආයිෂා මේ කුඩා කුටියේ දිගටම වාසය කළා.
 

මුහම්ම්ද් තුමාගෙන් පසුව ඉස්ලාමීය රාජ්‍යයේ නායකත්වයට පත් වුනේ ආයිෂා ගේ පියා වුනු අබු බක්ර්. ඔහු කලීෆා තනතුර දැරුවේ අවුරුදු දෙකක් පමණයි. 634 දී ඔහුත් මිය ගියා. ආයිෂාගේ ඉල්ලීම අනුව ඔහුවත් මිහිදන් කෙරුනේ මුහම්මද් තුමාගේ සොහොන් ගැබ අසලින්මයි. කුඩා කුටියේ සොහොන් දෙකකට ඉඩ වෙන්වුනු පසු ආයිෂාට ඉතිරි වුනේ කුඩා බිම් තීරුවක් විතරයි. ඇය ඒ බිම් කොටසේ දිගටම වාසය කළා. ඇගේ බලාපොරොත්තුව වුනේ ඇය මිය ගිය පසු ඒ බිම් කොටසේ ඇගේ සැමියා සහ පියා අසලින්ම මිහිදන් වෙන්න.
 

අබු බක්ර් ගෙන් පසු කලීෆා තනතුරට පත් වුනේ උමර් ඉබ්න් අල්-කත්තාබ්. උමර් අවුරුදු 10 ක් කලීෆා තනතුර දැරුවා. ඔහු ගේ පාලන සමයේදී ඉස්ලාමීය රාජ්‍යය ලෝකයේ විශාලම, ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය බවට පත් වුනා.
 

උමර් මරණ මංචකයේ සිටියදී ඔහුගේ අවසාන කැමැත්ත වුනේ මුහම්මද් තුමා සහ අබු බක්ර් ගේ අසලින් මිහිදන් වෙන්න. ඒත් එතැන ඉඩ තිබුණේ තවත් එක් සොහොන් ගැබකට පමණක් බවත්, ආයිෂා ඒ ඉඩ තමා වෙනුවෙන් වෙන් කරගෙන සිටි බවත් ඔහු දැන සිටියා.
 

කලීෆා වරයා විදිහට ඔහුට තිබුණේ අණක් නිකුත් කරන්න විතරයි. ඒත් ඔහු තමාගේ අවසාන අණ එවැන්නක් වීම ප්‍රිය කළේ නෑ. මේ නිසා ඔහු තමාගේ පුතා වුනු අබ්දුල්ලා ඉබ්න් උමර් කැඳවා ඔහුට උපදෙස් දුන්නා.
 

"ආයිෂා වෙත ගිහින් ඇයගෙන් මගේ අවසාන ඉල්ලීම කරන්න. ඒත් ඉල්ලීම කරන්නේ "කලීෆා උමර්" කියල කියන්න එපා. ඉල්ලීම කරන්නේ "මගේ පියා උමර්" කියලා කියන්න. ඇය ප්‍රතික්ෂේප කළොත් හෝ පැකිළුනොත් වචනයක් වත් නොකියා අපහු හැරිලා එන්න. ඇය එකඟ වුනොත් ගෞරවයෙන් එය පිළිගන්න."
 

අබ්දුල්ලා තමාගේ පියාගේ ඉල්ලීමත් සමඟ ආයිෂා වෙත ගියා.
 

"මම උමර් ඇර වෙන කිසිම කෙනෙක් මේ ඉල්ලීම කළා නම් එකඟ වෙන්නේ නෑ. ඒත් උමර් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මට බෑ"
 

ආයිෂා එයට එකඟ වුනා. ඒ අනුව උමර් ඉබ්න් අල්-කත්තාබ් මුහම්මද් තුමා සහ අබු බක්ර් අසලින්ම මිහිදන් කෙරුනා.
 

එතෙක් ආයිෂා ගේ කුටියේ තිබුණේ ඇගේ සැමියාගේ සහ සහ පියාගේ සොහොන් පමණයි. ඒත් උමර් කියන්නේ ඇගේ නෑයෙක් නෙවෙයි. ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවකට තම නෑයෙක් නොවන පිරිමියෙක් ඉදිරියේ සිරුර ආවරණය නොකර ඉන්න බෑ. මේ නිසා ආයිෂා සොහොන් තුන ආවරණය වෙන විදිහට ඇගේ කුටිය හරහා තිරයක් එල්ලුවා.
 

සොහොන් ගැබ් තුනකට ඉඩ වෙන්වූ පසු අඩි 10-12 ප්‍රමානයේ කුඩා කුටියෙන් ආයිෂාට ඉතිරි වුනේ ඉතා කුඩා ඉඩක් පමණයි. නමුත් ඇය මේ කුඩා කුටියේ තවත් අවුරුදු 34 ක් ජීවත් වුනා.
 

678 දී ඇය මිය ගිය පසු ඇයව මදීනා නගරයේ පොදු සුසාන භූමියේ මුහම්මද් තුමාගේ අනෙක් බිරින්දෑ වරුන් අසලින් මිහිදන් කෙරුණා.

ආමෙගඩන්

 

හීබෲ භාෂාවෙන් "ටෙල්" කියලා හඳුන්වන්නේ දීර්ඝ කාලයක් මිනිස් වාසයන් පැවතීම නිසා ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වූ තැනකට. මේ වගේ තැනක් හැදෙන්නේ තැනි බිමක තියෙන මිනිස් ජනාවාසයක්  දීර්ඝ කාලයක් තිස්සේ එක මත එක ගොඩනැගිලි ඉඳි කිරීමෙන් ක්‍රමයෙන් උස් බිමක් බවට පත් වීමෙන්. අවුරුදු දහස් ගානක් තිස්සේ ජනාවාස පැවතුනු ඊශ්‍රායලයේ මේ වගේ "ටෙල්" කියල හඳුන්වන තැන් රාශියක් තියෙනවා. වර්තමාන ඊශ්‍රායලයේ අගනුවර වන "ටෙල් අවිව්" නගරයත් ඊට උදාහරණයක්.
 

ඊශ්‍රායලයේ උතුරට වෙන්න තියෙනවා "ටෙල් මෙගීඩෝ" කියල හඳුන්වන පැරණි නගරයක්. මේ නගරය ඉතාම වැදගත් වෙන්නේ ඊජිප්තුව සහ ආසියාව යා කළ වෙළඳ මාර්ගය මේ නගරය අසලින් වැටී තිබීම නිසා. ටෙල් මෙගිඩෝ නගරය ක්‍රි.පූ. 5000 පමණ සිට අඛන්ඩ මිනිස් ජනාවාසයක්ව පැවතුනා.
 

ටෙල් මෙගීඩෝ නගරය අවට පිහිටි තැනි බිම් වලින් ඉහලට එසැවුනු තරමක් විශාල කඳු ගැටයක ස්වරූපයෙන් වර්තමානයේ දකින්න පුළුවන්.
 

නව තෙස්තමේන්තුව හෙවත් ක්‍රිස්තියානි බයිබලයේ අවසාන පොත වෙන්නේ "එළිදරව්ව" (Book of Revelation). මේ පොතේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෝක විනාශය ගැන. එහිදී ලෝකාවසාන සමයේ සිදුවන බිහිසුණු යුද්ධයක් ගැන කියැවෙනවා.
 

එළිදරව්වේ 16 වැනි පරිච්ඡේදයේ 12 සිට 16 දක්වා වන වාක්‍යයන් වෙන් වෙන්නේ මේ යුද්ධය ගැන කියන්න. එහි කියැවෙන අන්දමට,
 

"සය වැනි දේව දූතයා තමා අත වූ බඳුන යුප්‍රටීස් ගංගාව වෙත හැලීය. එවිට එහි ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගියේය. ඒ පෙරදිග සිට පැමිණෙන රජවරුන්ට [තමාගේ හමුදාව ගඟ තරණය කරවීමට] මග සූදානම් කළ හැකි ලෙසය." (16:12)
 

"මම එවිට ගෙම්බන් වැනි අශුද්ධ ආත්මයන් තුනක් මකරාගේ, මෘගයාගේ සහ ව්‍යාජ දිවැසිවරයාගේ මුවින් නික්මෙනු දුටුවෙමි." (16:13)
 

"ඔවුන් යක්ෂයන් ගේ ආත්මයන් ය. ඔවුන් නොයෙකුත් ප්‍රාතිහාර්‍යයන් පෑ අතර, ඒවා ලෝකයේ රජවරුන් සහ මිනිසුන් අතරට ගොස් දෙවියන් වහන්සේ ගේ විශිෂ්ඨ [යේසුස් වහන්සේ නැවත පැමිණෙන] දිනයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන් ඒකරාශි කරවීය." (16:14)
 

"බලනු, මම සොරෙක් ලෙස ඔබ වෙත පැමිණෙමි. සූදානමින් බලාසිටින්නා සහ තමාගේ වස්ත්‍රයන් ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලද්දෝය. එසේ නොවන්නා නිරුවතින් ඇවිද යනු ලබන අතර, ඔහුගේ ලජ්ජාව ප්‍රදර්ශනය කරයි" [යේසුස් වහන්සේ කීය]." (16:15)
 

"එවිට ඔවුන් සියල්ලෝම හීබෲ බසින් ආමෙගඩන් නමින් හැඳින්වෙන ස්ථානයට එක් රැස් වූහ." (16:16)
මේ කියැවෙන ආකාරයට යේසුස් වහන්සේ නැවත පැමිණෙන විට ලෝකයේ සියළුම රටවල පාලකයන් එතුමන්ට එරෙහිව හමුදා රැස් කොට යුප්‍රටීස් ගංගාව තරණය කොට "ආමෙගඩන්" නමින් හැඳින්වෙන තැනකට රැස් වෙනවා. හොඳ සහ නරක අතර බිහිසුණු සටනක් මෙතැනදී සිදුවන අතර, එහිදී යේසුස් වහන්සේ තමාට එරෙහිව එන සේනාව පරදවා ජය ගැනීමට සමත් වෙනවා.
 

මේ "ආමෙගඩන්" නමින් ග්‍රීක් බසට පරිවර්තනය කරල තියෙන්නේ "හර් මෙගීඩෝ" කියන හීබෲ වචනය. ඒ කියන්නේ "මෙගීඩො කන්ද". එහෙම නැත්තම් ටෙල් මෙගීඩෝ නගරය.

නිරයේ නිම්නය

 

ඊශ්‍රායලයේ ජෙරුසෙලම් නගරයට යාබදව තියෙන නිම්නයක් හැඳින්වෙන්නේ "වදි අර්-රබාබි" නමින්. වදි අර්-රබාබි කියන අරාබි නමේ තේරුම "රෙබාබ් නිම්නය". රෙබාබ් කියන්නේ අරාබි ජාතිකයන් අතර භාවිතා වෙන වයලීනයකට සමාන සංගීත භාණ්ඩයක්. මේ නිම්නයට මේ නම ලැබුණේ පලස්තීනය අරාබි රාජ්‍යයක්ව පැවති කාලයේ. 

ඒත්, ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ව පැවති අතීතයේ මේ නිම්නය හැඳින්වුනේ "ගේ බෙන් හින්නොම්" නැතිනම් "ගේ හින්නොම්" කියන නම් වලින්. මේ හීබෲ නමේ තේරුම "හින්නොම් ගේ පුතාගේ නිම්නය" නැත්නම් "හින්නොම් ගේ නිම්නය".
 

හින්නොම් නිම්නය තියෙන්නේ පැරණි ජෙරුසෙලම් නගරයට දකුණින් නගරයට යාබදව. නිම්නය සහ පැරණි ජෙරුසෙලම් නගරය අතර තමයි සයොන් කන්ද පිහිටලා තියෙන්නේ.


හින්නොම් නිම්නය බයිබලයේ සඳහන් වෙන්නේ ඉතාම බිහිසුණු කටයුත්තක් වෙනුවෙන්. ඒ කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කළ ස්ථානයක් විදිහට.
 

මේ සිරිත පටන් ගන්නේ ජුදා රාජධාණියේ අහාස් රජතුමා විසින්. අහාස් රජතුමා ඇසිරියානු අධිරාජ්‍යය සමඟ මිත්‍ර සන්ධානයකට එළැඹී, ඇසිරියානු ආගම අනුව යුදෙව් ආගම වෙනස් කිරීමට උත්සහ කළ කෙනෙක්. ඔහු තමාගේ ප්‍රධාන බිරිඳගේ පුතා හැර අනෙක් පුතුන් හින්නොම් නිම්නයේදී මොලොක් නම් දෙවියාට ගින්නෙක් දවා පූජා කළ බව සඳහන්. සමහරවිට මෙය කරන්න ඇත්තේ ඔහුගෙන් පසු සිහසුනට ඇතිවිය හැකි ආරවුල් වලින් මිදීමට වෙන්න ඇති. මේ සිරිත ඔහුගේ මුණුපුරා වූ මනාස්සේ රජු ගේ කාලයේත් දිගටම පැවතුනු බව බයිබලයේ සඳහන් වෙනවා.
මේ නිසා හින්නොම් නිම්නයේදී කුඩා දරුවන් ගින්නෙන් දවා බිලි පූජා කිරීම ක්‍රි.පූ. 730-640 අතර කාලයේ යුදෙව්වන් අතර පැවති සිරිතක් බව හිතන්න පුළුවන්. මේ සිරිත බයිබලයේ දැඩි ලෙස පිළිකෙව් කරමින් හෙළා දකින අතර, දෙවියන් ගේ ශාපය යුදෙව්වන්ට සහ හින්නොම් නිම්නයට එල්ල වූ බව සඳහන් වෙනවා.
 

මුල් කාලීන යුදෙව් ආගමේ මරණින් මතු ජීවිතයක් හෝ ජීවත්ව සිටි කාලයේ සිදු කරන අයහපත් ක්‍රියා වෙනුවෙන් දඬුවම් ලැබීමක් ගැන සඳහන් වෙන්නේ නෑ. මිය ගිය අයගේ ආත්ම "ෂෙඕල් (Sheol)" නමින් හැඳින්වුන ස්ථානයකට යන බව සඳහන් වුනත්, ඔවුන්ව විනිශ්චය කිරීමක් හෝ අපායක්, දිව්‍යලෝකයක් ගැන සඳහන් වෙන්නේ නෑ.
 

නමුත් බැබිලෝනියානු පිටුවහල් කාලයේදී විනිශ්චය, මරණින් මතු ජීවිතය, අපාය සහ දිව්‍ය ලෝකය පිළිබඳ අදහස් යුදෙව් ආගමේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහිදී අපාය වෙනුවෙන් ඔවුන් යොදා ගන්න නම වෙන්නේ "ගෙහින්නොම්". දෙවියන්ගේ ශාපයට ලක් වූ හින්නොම් නිම්නය සහ එහි සිදු කළ බිහිසුණු බිලි පූජාවන් පිළිබඳ අඳුරු මතකයන් මේ සඳහා පාදක වෙන්න ඇති.
 

ක්‍රිස්තියානි ආගම බිහි වෙනවිට, "ගෙහින්නොම්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "ගෙහෙන්නා (Gehenna)" විදිහට. "ෂෙඕල්" නම් හීබෲ වචනය ග්‍රීක් බසට පරිවර්තනය වෙන්නේ "හේඩ්ස් (Hades)" විදිහට. හේඩ්ස් කියන්නේ මළවුන්ට අධිපති ග්‍රීක දෙවියා. බයිබලය ඉංග්‍රීසි බසට පරිවර්තනය වෙද්දී "ගෙහෙන්නා" පරිවර්තනය වුනේ "හෙල් (Hell)" විදිහට.
 

ඒ විතරක් නෙවෙයි. ඉස්ලාම් ආගමේ අපාය හැඳින්වෙන්නේ "ජහන්නම් (Jahannam)" නමින්. ඒ වචනයේ මූලයත් "ගෙහෙන්නා" කියන හීබෲ වචනයමයි.
 

අතීතයේ සිදුවුනු බිලි පූජාවන්ගේ බිහිසුණු මතකයන් රඳවා ගත් නිරයේ නිම්නය හෙවත් "ගේ හින්නොම්" නිම්නය අදටත් ජෙරුසෙලම් නගරයේදී දකින්න පුළුවන්. බිලි පූජා සඳහා භාවිතා කළා යැයි සිතිය හැකි අල්තාරයන්ගේ නටබුන් අදටත් දකින්න පුළුවන්.



Saturday, July 15, 2023

යුදෙව් ආගමේ විකාශය

 

යුදෙව් ආගමේ ආරම්භය

යුදෙව් ආගමික මූලාශ්‍ර වලට අනුව දෙවියන් වහන්සේ හොරෙබ් කන්ද මතදී ගිනිගෙන දැවෙන පඳුරක වෙසින් මෝසස් වෙත පෙනී සිටීම යුදෙව් ආගමේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. මීට කලින් අවස්ථා වලදී දෙවියන් වහන්සේ නෝවා සහ ඒබ්‍රහම් ඇතුළු වෙනත් දිවැසි වරු ගණනාවක් සමඟ සන්නිවේදය කළත්, යුදෙව් ආගමේ නිශ්චිත ආරම්භය කියලා සලකන්න පුළුවන් වෙන්නේ ඉහත අවස්ථාව.

නමුත් මේ සිද්ධිය ඓහික ඉතිහාසඥයන් පිළිගන්නේ නෑ. ඒ නිසා ඓහික කෝණයකින් බලන විට යුදෙව් ආගමේ ආරම්භය අවිනිශ්චිතයි.

කෙසේ වෙතත්, ක්‍රි.පූ. 1000 පමණ වන විට වර්තමාන ඊශ්‍රායලය සහ පලස්තීනයට අයත් භූමියේ (කනානයේ) ඊශ්‍රායල් සහ යුදා නම් රාජධාණි දෙකක් පැවතුනු බවත්, මේ රාජධාණි දෙකේ ජනතාව එකම භාෂාවක් (හීබෲ) කතා කළ, එකම ආගමක් ඇදහූ, එකම සංස්කෘතියකට අයත් වූ බව ඓතිහාසික සත්‍යයක් වශයෙන් පිළිගන්න පුළුවන්.

ඊශ්‍රායල් සහ යුදා රාජධානි

 මේ ජනතාව "ඊශ්‍රායල්" නමින් හැඳින්වුන එකම ජනවර්ගයකට අයත් වුනා. මේ ජන වර්ගය ගෝත්‍ර දොළහකින් සමන්විත වුනා. මේ ගෝත්‍ර දොළහෙන් යුදා සහ බෙන්ජමින් ගෝත්‍ර දෙක ජෙරුසෙලම අගනුවර කරගත් යුදා රාජධානියේ වාසය කළ අතර, අනෙක් ගෝත්‍ර දහය සමාරියා නගරය අගනුවර කරගත් ඊශ්‍රායල් රාජධානියේ වාසය කළා.

මේ ජනතාවගේ ආගම වර්තමාන යුදෙව් ආගමේ මූලාරම්භක අවස්ථාව වශයෙන් සලකන්න පුළුවන්.

මේ ආගම "යාහ්වේහ්" නමින් හැඳින්වුනු එක දෙවියෙක් කෙරෙහි විශ්වාසය තැබූ අතර, එහි ප්‍රධාන විශ්වාසයන් වුනේ:

1. යාහ්වේහ් ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන් බව
2. ඊශ්‍රායල් ජනතාව දෙවියන් ගේ තෝරාගත් ජනතාව බව
3. ඊශ්‍රායල් ජනතාව දෙවියන් විසින් දිවැසි වරු හරහා ලබා දුන් දැණුම් සහ නීති පද්ධතියකට අනුව ජීවත් විය යුතු බව
4. කනානය ඊශ්‍රායල් ජනතාවගේ භූමිය ලෙස ඔවුන්ට ලබා දෙන බවට දෙවියන් ඔවුන්ට පොරොන්දු වූ බව

මේ දෙවියන්ගේ ප්‍රධාන දේවස්ථානය ජෙරුසෙලම් නගරයේ පිහිටා තිබුණු අතර, ආගම කේන්ද්‍රගත වුනේ මේ දේවස්ථානය වටා. මේ දේවස්ථානයේ සේවය කළ පූජකයන් ආගමේ ප්‍රධාන බලධාරීන් වුනා. 

මේ ආගම ආගමික වතාවත්, සිරිත් විරිත් සහ ආගමේ සංවිධානය අතින් වර්තමාන යුදෙව් ආගමට වඩා සෑහෙන වෙනස් ස්වරූපයක් ගත්තා.


විදෙස් ආක්‍රමන සහ බැබිලෝනියානු පිටුවහල් කිරීම

ක්‍රි.පූ. 732-720 කාලයේදී ඇසිරියානු අධිරාජ්‍යය ඊශ්‍රායල් රාජධානිය ආක්‍රමනය කළ අතර, එය සම්පූර්ණයෙන් විනාශයට පත් කර දැමුනා. එහි ජනතාවගෙන් කොටසක් අසල්වැසි යුදා රාජධානියට පළා ගියා. ඉතිරිවුනු අයෙගෙන් බහුතරය ඇසිරියානු අධිරාජ්‍යයේ ඈත ප්‍රදේශ වලට පිටුවහල් කෙරුණා.

ක්‍රි.පූ. 589 දී බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් යුදා රාජධානිය ආක්‍රමනය කළ අතර එයටත් අත් වුනේ ඊශ්‍රායල් රාජධානියට අත්වුනු ඉරණම මයි. ජෙරුසෙලමේ දේවස්ථානය විනාශ කෙරුණු අතර නගරය සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය කෙරුනා. යුදාවේ වංශවතුන්ගෙන් බහුතරයක් බැබිලෝනියාවට වහලුන් ලෙස පිටුවහල් කෙරුණු අතර සාමාන්‍යය වැසියන් බහුතරයක් අසල්වැසි ප්‍රදේශ වලට පලා ගියා.

යුදා රාජධානියේ ආගමික විද්වතුන් බොහෝ දෙනා බැබිලෝනියාවට පිටුවහල් කෙරුණු අතර, බැබිලෝනියාවේදී ඔවුන්ගේ ආගම විශාල පරිවර්තනයකට ලක් වුනා.

ප්‍රධාන වෙනස වුනේ එතෙක් කල් දේවස්ථානය, එහි සිදු කෙරුණු ආගමික වතාවත් සහ ඒ ආගමික වතාවත් කළ පූජකයන් වටා කේන්ද්‍රගත වුනු ආගමට දේවස්ථානයේ විනාශයත් සමඟම ඒ කේන්ද්‍රය අහිමි වීම. ඒ නිසා බැබිලෝනියාවේදී ආගමේ කේන්ද්‍රය ආගමික ලියැවිලි සහ ඒ ලියැවිලි පවත්වාගෙන ගිය, ඒවා ගැන හැදෑරීම් කළ ආගමික විද්වතුන් වෙත මාරු වුනා. 

ක්‍රි.පූ. 550 දී බැබිලෝනියාව පර්සියානු අධිරාජ්‍යයට යටත් වුනා. පර්සියානු අධිරාජ්‍යයා වුනු මහා සයිරස් ක්‍රි.පූ. 539 දී ඔවුන්ට නැවතත් මව්බිම කරා පැමිණීමට අවසර දුන්නා. එතැන් සිට ඔවුන් පැවතුනේ පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට. පර්සියානුවන්මේ ප්‍රාන්තය හැඳින්වූයේ "යෙහූද්" (යුදා කියන වචනය පර්සියානු භාෂාවට පැමිණීමේදී විකෘති වුනු ආකාරය) නමින්. යෙහූද් හි වැසියන් "යුදෙව්වන්" ලෙසත්, ඔවුන්ගේ ආගම "යුදෙව් ආගම" ලෙසත් හැඳින්වුනා.

මේ කාලයේදී පර්සියානු ආගමේ බලපෑමට යුදෙව් ආගම ලක් වුනු අතර, ප්‍රධානම බලපෑම වුනේ මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයන් යුදෙව් ආගමට ඇතුළු වීම. පසුව මේ ප්‍රාන්තය මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක පාලනයටත් ඉන්පසු රෝම පාලනයටත් නතු වූ අතර, ඒ හරහා ග්‍රීක ආගමේ බලපෑමටත් ලක් වුනා.

ඊට අමතරව ලෝකය නිර්මාණය, ප්‍රථම මිනිසා වූ ආදම් නිර්මාණය සහ ජල ගැල්ම පිළිබඳ කතා පැරණි සුමේරියානු ආගමික කතා වලට විශාල වශයෙන් සමාන නිසා ඒ කතා බැබිලෝනියානු පිටුවහල් සමයේදී බැබිලෝනියානු ආගමෙන් යුදෙව් ආගමට එකතු වුනු බව සමහර ඉතිහාසඥයන් අදහස් කරනවා. ඒත් ඒක හරියටම නිශ්චිත නෑ. වසර 50 ක් වගේ කෙටි කාලයක් තුළදී ඒ තරම් විශාල බලපෑමක් වුනා කියල හිතන්න අමාරුයි.


දෙවන දේවස්ථාන යුදෙව් ආගම (Second Temple Judaism)

ක්‍රි.පූ. 516 දී ජෙරුසෙලමේ දේවස්ථානය නැවත ඉඳි කෙරුණු අතර, පැරණි ආගමික වතාවත් නැවතත් ආරම්භ කෙරුණා. යුදෙව් ආගමේ මෙතැනින් ආරම්භ වන කාල සීමාව හැඳින්වෙන්නේ "දෙවන දේවස්ථාන යුදෙව් ආගම" ලෙස.

දෙවන යුදෙව් දේවස්ථානය

දේවස්ථානය නැවත ඉඳිකෙරුණු පසු යුදෙව් ආගමේ පැරණි ස්වරූපයේ පූජකයන් සහ වතාවත් නැවත ආරම්භ වුනු නමුත්, බැබිලෝනියානු පිටුවහල් සමයේදී ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන්ට ලැබුණු තැන නැතිවුනේ නෑ. මේ නිසා දෙවන දේවස්ථාන යුදෙව් ආගම දේවස්ථානය හා බැඳුණු ධාරාවක් සහ ලියැවිලි හා බැඳුණු ධාරාවක් වශයෙන් ප්‍රධාන ධාරාවන් දෙකකින් සමන්විත වුනා.

පූජකවරු ජෙරුසෙලම ප්‍රධාන කොටගෙන සිටි අතර, සියළුම ප්‍රධාන ආගමික වතාවත් කෙරුණේ ඔවුන් අතින්. මේ නිසා ඔවුන් සැලකිය යුතු ආගමික සහ දේශපාලන බලයක් අත් කරගෙන හිටියා.

යුදෙව් ආගමේ ආගමික ලියැවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනා. ඒ ප්‍රධාන ආගමික ලියැවිලි සහ ඒවායේ අර්ථ දැක්වීම් වශයෙන්.

මින් පළමුවැනි කොටස "ටෝරා" (ඉගැන්වීම්), "නෙවීම්" (දිවැසිවරු) සහ "කෙටුවිම්" (ලියැවිලි) නමින් හැඳින්වෙන පොත් තුනකින් සමන්විත වෙනවා. මේ පොත් තුන එකට ගත් කළ "තනාක්" නමින් හැඳින්වෙනවා. එය සාමාන්‍යය ව්‍යවහාරයේදී "යුදෙව් බයිබලය" හෙවත් "පැරණි තෙස්තමේන්තුව" නමින් හැඳින්වෙනවා. මේවා බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර සමයේ සහ ඒ ආසන්නයේ ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි.

දෙවැනි කොටස ප්‍රධාන වශයෙන් මුඛ පරම්පරාගතව ඇවිත්, පසු කාලීනව ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි. මේවා යුදෙව් ආගමික නීති, ඒවායේ අර්ථ දැක්වීම්, වැඩිදුර විභාග කිරීම් සහ අර්ථ දැක්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් වලින් සමන්විතයි. මේ ලියැවිලි හැඳීන්වෙන්නේ "තල්මුද්" නමින්.

මේ ආගමික ලියැවිලි පවත්වාගෙන ගිය සහ ඒවා හැදෑරීම් කළ උගතුන් හැඳින්වුනේ "රැබි" නමින්.


දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ නිකායන්

දෙවන දේවස්ථාන සමයේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් (sects) තුනක් තිබුණා.

1. සෙඩුසි (Sadducees)
2. ෆාරිසි (
Pharisees)
3. එසින්ස් (
Essenes) 

මේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනට අමතරව මේ සමයේදී යුදෙව් ආගමෙන් අපගමන (offshoots) දෙකකුත් ඇති වුනා.

1. සමාරිටන් ආගම
2. ක්‍රිස්තියානිය

 

සෙඩුසි

දේවස්ථානය හා බැඳුනු ධාරාව නියෝජනය කළේ සෙඩුසි සම්ප්‍රදාය විසින්. "සෙඩුසි" කියන නමේ මූලය වුනේ පැරණි දේවස්ථානයේ පළමුවන ප්‍රධාන පූජක ධූරය දැරූ "සෙඩොක්" ගේ නම.

ඔවුන් පූජකයන්, ධනවතුන් සහ  දේශපාලන ප්‍රධානීන් අතර ප්‍රධාන වශයෙන් පැතිරී තිබුණා. මේ සම්ප්‍රදාය වතාවත් සහ සැකැස්ම අතින් බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර ආගමට වඩාත් සමීප වුනා. සෙඩුසි සම්‍ප්‍රදාය මුල්තැන දුන්නේ දේවස්ථානය මුල් කරගෙන කෙරුණු වතාවත් සහ පුද පූජා ආදියට. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ පූජකයන් අත. සෙඩුසි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතීය (ග්‍රීක සහ රෝම) සමඟ මුහුවීම ගැන ලිහිල් ස්ථාවරයක් දැරුවා.

සෙඩුසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:

1. මරණින් මතු ජීවිතයක් විශ්වාස නොකිරීම
2. මිනිසාට සම්පූර්ණ නිදහස් ස්වකැමැත්තක් (free will) ඇති බව
3. තනාක් පමණක් විශ්වාස කිරීම සහ තල්මුද් ලියැවිලි විශ්වාස නොකිරීම
4. ආගමික ලියැවිලි වල වචනාර්ථ අර්ථ දැක්වීම (literal interpretation) පිළිගැනීම

ෆාරිසි

ෆාරිසි සම්ප්‍රදාය නියෝජනය කළේ ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන් හා බැඳුනු ධාරාව. ෆාරිසි කියන නමේ මූලය වුනේ "ෆාරුස්" කියන හීබෲ වචනය. ඒකෙ තේරුම "වෙන් වුනු". ෆාරිසි සම්ප්‍රදාය සෙඩුසි දේශපාලන බල අධිකාරියෙන් වෙන්වීම සහ යුදෙව්වන් නොවන ජනතාව සමඟ ගනුදෙනු කිරීමේදී දැක්වූ දුරස්ථ බව මේ නමට මුල් වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. තවත් මතයකට අනුව ෆාරිසි නමේ මූලය පර්සියානු ජාතිකයන් හැඳින්වූ "පාර්සි" කියන වචනය.

ෆාරිසි සම්ප්‍රදාය ජනප්‍රිය වුනේ සාමාජ්‍යය ජනතාව අතර. බැබිලෝනියානු පිටුවහල් කිරීම සමයේ ඇතිවුනු දේවධාර්මික වෙනස්කම් නියෝජනය වුනේ මේ සම්ප්‍රදායෙන්. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ රැබි වරුන් අත. ෆාර්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම ගැන තරමක් දැඩි ස්ථාවරයක් දැරුවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ නෑ. 

ෆාරිසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:

1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
2. නැවත උට්ඨානය (resurrection) සහ අවසාන විනිශ්චය විශ්වාස කිරීම
3. සමහර අවස්ථා වලදී පමණක් මිනිසාට නිදහස් ස්වකැමැත්තක් ඇති බව
4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
5. ආගමික ලියැවිලි වල විද්වතුන් විසින් කරන විශ්ලේෂනාත්මක අර්ථ දැක්වීම් පිළිගැනීම

 

එසින්ස්

මේ ධාරාවන් දෙකටම බැහැර වුනු පිරිසක් එසෙන්සි සම්ප්‍රදාය නියෝජනය කළා. එසෙන්සි කියන නමේ මූලය ගැන නිශ්චිත අදහසක් වර්තමාන ඉතිහාසඥයන්ට නෑ. බොහෝ විට එය ග්‍රීක මූලයක් සහිත නමක් විය හැකි අතර, එසෙන්සි වරු තමාව හඳුන්වාගැනීමට ඒ නම භාවිතා නොකළ බව හිතන්න පුළුවන්.

එසෙන්සි සම්ප්‍රදාය අනුගමනය කළ යුදෙව්වන් ප්‍රධාන සමාජයෙන් බැහැර වුනු සමූහයන් විදිහට ජීවත් වුනු අතර, අල්පේච්ඡ සහ සාමූහික ජීවන රටාවක් අනුගමනය කළා. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ ඔවුන්ගේ සමූහයන්ගේ ප්‍රධානීන් අත. එසෙන්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.

එසෙන්සි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:

1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
2. මරණින් මතු ආත්මය අභෞතික පැවැත්මක් ලබා ගන්නා බව
3. මිනිසාට කිසිම නිදහස් ස්වකැමැත්තක් නොමැති බව සහ සියල්ල දෙවියන් ගේ කැමැත්තට සිදුවන බව
4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
5. ආගමික ලියැවිලි වල දෙවියන් විසින් කෙලින්ම ලබා දෙන (inspired) අර්ථ දැක්වීම් පිළිගැනීම


සමාරිටන් ආගම

සමාරිටන් ආගමේ ආරම්භය වෙන්නේ බැබිලෝනියානු පිටුවහල් කිරීම අවසන් වී යුදෙව්වන් නැවත ඊශ්‍රායලයට පැමිණ දෙවන දේවස්ථානය ඉඳිකිරීම. මෙහිදී දෙවන දේවස්ථානයේ අධිකාරීත්වය නොපිළිගත් උතුරුදිග වාසය කළ පිරිසක් ගෙරිසිම් කන්දේ වෙනත් දේවස්ථානයක් ඉඳි කර යුදෙව් ආගමෙන් වෙන් වී ගියා. සමාරියා නගරය අගනුවර කර ගත් නිසා ඔවුන් හැඳින්වුනේ සමාරිටන් වරු වශයෙන්

සමාරිටන් වරු යුදෙව්න්න මෙන්ම හීබෲ සහ ඇරමැයික් භාෂා කතා කළ අතර, ඔවුන්ගේ ආගම සහ සංස්කෘ තිය යුදෙව්වන්ට විශාල වශයෙන් සමාන වුනා. ඔවුන්ගේ මූලය, යුදෙව්වන්ට ඇති සම්බන්ධය සහ යුදෙව් ආගමෙන් වෙන් වීමට හේතුව පැහැදිලි නෑ. ඒ ගැන යුදෙව්වන් දරන අදහස් සහ සමාරිටන් වරු දරන අදහස් එකිනෙක් පරස්පරයි.

සමාරියාව

සමාරිටන් වරුන්ට අනුව ඔවුන් පැවත එන්නේ ඇසිරියානුවන් විසින් ඊශ්‍රායල රාජධානිය යටත් කරගෙන එහි වාසය කළ ඊශ්‍රායල ගෝත්‍ර දහයේ ජනගහණයෙන් වැඩි පිරිසක් පිටුවහල් කළ පසු එහි ඉතිරි වූ අයගෙන්. ඒ අනුව ඔවුන් පැරණි ඊශ්‍රායල් රාජධානියේ උරුමකරුවන් වෙනවා.

නමුත් යුදෙව්වන්ට අනුව සමාරිටන් වරු පැවත එන්නේ ඇසිරියානුවන් විසින් සමාරියාවේ පදිංචි කළ විදේශික ජනයා සහ මුශ්‍ර වුනු යුදෙව්වන් ගෙන්.

සමාරිටන් ආගම යුදෙව් ආගමට බොහෝ දුරට සමානයි. ඔවුන්ගේ මූලික විශ්වාසයන් වුනේ:

1. ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී යාහ්වේහ් නම් දෙවියෙක් සිටින බව
2. මෝසස් සහ ජෝශප් දෙවියන් ගේ දිවැසිවරු බව
3. ටෝරා (තනාක් ලියැවිලි වල මුල් කොටස) ලියැවිලි වල දෙවියන් විසින් මෝසස් ට ලබා දුන් දැණුම අඩංගු බව
4. දෙවියන් ගේ ප්‍රධාන දේවස්ථානය ගෙරිසිම් කන්දේ පිහිටා ඇති බව

සමාරිටන් වරු

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගේ ආක්‍රමනයෙන් පර්සියානු අධිරාජ්‍යය බිඳවැටුණු පසු මේ ප්‍රදේශය ග්‍රීක සෙලුසිඩ් අධිරාජ්‍යයට යටත් වුනා. සමාරියාව සහ ජුදියාව සෙලුසිඩ් අධිරාජ්‍යය යටතේ අර්ධ ස්වාධීන රාජ්‍යය දෙකක් ලෙස වෙන වෙනම පැවතුනා. මේ දෙකෙන් ජනගහණයෙන් වැඩි සහ වඩා ධනවත් වුනේ සමාරියාව. 

නමුත් ක්‍රි.පූ. 100 දී පමණ ජුදියාව සමාරියාව ආක්‍රමණය කළ අතර එය සම්පූර්නයෙන්ම වගේ විනාශ කර දැම්මා. එයින් සමාරියාවේ සමෘදිය පිරිහී ගියා. පසුව මහා හෙරෝද් රජු ගේ කාලයේදී සමාරියාව ජුදියාවට සම්පූර්ණයෙන්ම යටත් වුනා. සමාරිටන් වරු ජුදියාවේ වැසියන් ලෙස යුදෙව් පාලනයක් යටතේ වාසය කළා.

රෝම අධිරාජ්‍යයට එරෙහිව ඇතිවුනු යුදෙව් කැරලි වලදී ජුදියාව සම්පූර්ණයෙන්ම විනාශ කර යුදෙව්වන්ගෙන් වැඩි පිරිසක් යුරෝපයට වහලුන් ලෙස විකුණා දැමුණු පසු නැවතත් ප්‍රදේශයේ බහුතර ජනගහණය වුනේ සමාරිටන් වරු. නමුත් ක්‍රි.ව. 480-570 සමයේදී සමාරිටන්වරු අතර රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරලි තුනක් ඇතිවුන අතර මේ කැරලි අතිශය කෲර අන්දමට මර්ධනය කෙරුනා. සමාරිටන් වරු ලක්ෂ තුනක් පමණ මරා දැමුණු අතර, තවත් ලක්ෂ පහකට අධික පිරිසක් ප්‍රදේශයෙන් පලා ගියා. සමාරිටන් වරුන්ගේ ජනගහණය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වී ගියා.

වර්තමානයේ ලෝකයේ සමාරිටන් වරු ඉන්නේ 1000 පමණ පිරිසක්. ඔවුන් වර්තමාන ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ වාසය කරනවා.


ක්‍රිස්තියානිය

ලෝකාවසානය සහ මෙසායා වරයෙක් පිළිබද විශ්වාස කළ යුදෙව් ආගමික දේශකයෙක් වුනු යෙහොෂුවා (යේසුස්) වටා ගොඩ නැංවුනු ක්‍රිස්තියානිය මුල් කාලයේදී යුදෙව් ආගමේ නිකායක් ලෙස පැවතුනු නමුත්, පසුව එය යුදෙව්වන් නොවන ජනයා ඉලක්ක කරගැනීමත් සමඟ යුදෙව් ආගමෙන් දේව ධාර්මිකව දැඩි ලෙස වෙනස් වුනු වෙනම ආගමක් බවට පත් වුනා.

 

දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ අවසානය

ක්‍රි.ව. 60-140 සමයේදී යුදෙව්වන් රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරැලි කීපයක් ඇති කළ අතර මේ කැරලි මර්ධනය කෙරුණේ ඉතාමත් කෲර අන්දමින්. යුදෙව්වන් මිලියනයකට අධික ප්‍රමානයක් මිය ගිය අතර ඉතිරි වූවන්ගෙන් වැඩි දෙනෙක් වහලුන් ලෙස යුරෝපයට විකුණා දැමුණා. ජෙරුසෙලමේ දේවස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුණා. ඉතිරි වූ යුදෙව්වන්ට ජෙරුසෙලමට ඇතුළු වීම තහනම් කෙරුණා. මෙතැන් සිට යුදෙව්වන් පැවතුනේ ලෝකය පුරා විසිරී ගිය ජනගහණයක් හෙවත් ඩයස්පෝරාවක් ලෙස.

මේ විනාශය හමුවේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනෙන් ඉතුරු වුනේ ෆාරිසි සම්ප්‍රදාය පමණයි. දේවස්ථානයේ විනාශයත් සමඟ සෙඩූසි සම්ප්‍රදාය නැති වී ගිය අතර, සුළුතරයක් වූ එසෙන්සි සම්ප්‍රදායට සමූලඝාතනය හමුවේ විනාශයෙන් ගැලවීමට හැකි වුනේ නෑ.

නමුත් ඩයස්පෝරාවේ සිටි රැබි වරු ෆාරිසි සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන ගියා. මේ නිසා මෙතැන් සිට යුදෙව් ආගම ඉදිරියට වර්ධන වුනේ ෆාරිසි සම්ප්‍රදාය විදිහට.

මෙතැන් සිට යුදෙව් ආගම හැඳින්වෙන්නේ "රැබානික් යුදෙව් ආගම" (Rabbinic Judaism) ලෙස.

Tuesday, July 4, 2023

ශුද්ධ වූ ග්‍රන්ථ

 


ඒබ්‍රහමික ආගම් වල පොදු ලක්ෂණයක් තමයි ඒ හැම එකකම ආගමික කරුණු අඩංගු ශුද්ධ ග්‍රන්ථ තිබීම. ඒබ්‍රහමික ආගම් තුනේ ශුද්ධ ග්‍රන්ථ මේවා :

1. යුදෙව් ආගම - තනාක්

2. ක්‍රිස්තියානි ආගම - බයිබලය

3. ඉස්ලාම් ආගම - කුරානය

මේවායේ සමාන ලක්ෂණය තමයි මේ සියල්ලේම අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාට ලබා දුන් ආගමේ කරුණු වීම. හැබැයි සමානකම එතනින් ඉවරයි.


තනාක් 

තනාක් හෙවත් යුදෙව් බයිබලය හෙවත් පැරණි තෙස්තමේන්තුව කියන්නේ අවුරුදු දාහක විතර කාල පරිච්ඡේදයක් පුරා යුදෙව් ආගමේ විවිධ දිවැසිවරුන් සහ පූජකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.

යුදෙව් බයිබලයේ මූලික වශයෙන් තියෙන්නේ දෙවියන් ලෝකය මවපු කතාව, දෙවියන් සහ ඒබ්‍රහම් අතර ඇති කරගත් ගිවිසුම (තෙස්තමේන්තුව), යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය සහ විවිධ දිවැසිවරයන් (Prophets) විසින් ඉදිරිපත් කළ දේවල්.

ඒ වගේම යුදෙව් ආගමේ සියළු ලියැවිලි තනාක් හෙවත් යුදෙව් බයිබලයට ඇතුල් කරලා නෑ. ඊට ඇතුල් නොකළ වෙනත් ආගමික ලියැවිලි විශාල ප්‍රමානයක් යුදෙව් ආගමේ තියෙනවා. මේවායින් සමහරක් මුඛ පරම්පරාගතව දීර්ඝ කාලයක් ආව ඒවා. සමහරක් සාපේක්ෂව පසු කාලීනව ආපු දේවල්. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකට වෙනස්.

යුදෙව් බයිබලය ලියැවී ඇත්තේ හිබෲ භාෂාවෙන්.


බයිබලය

බයිබලය හෙවත් ක්‍රිස්තියානි බයිබලය හෙවත් නව තෙස්තමේන්තුව කියන්නේ

අවුරුදු දෙතුන් සීයක කාල පරිච්ඡේදයක් පුරා ක්‍රිස්තියානි ආගමේ මුල් කාලීන නායකයන් විසින් ලියන ලද ආගමික ලියැවිලි වල එකතුවක්.

සියළුම ක්‍රිස්තියානි බැතිමතුන් යුදෙව් බයිබලයත් තමාගේ ආගමික ග්‍රන්ථයක් විදිහට පිළිගන්නවා. ඊට අමතරව නව තෙස්තමේන්තුව එයට එක් කරනවා. මේ නිසා ක්‍රිස්තියානි බයිබලය පැරණි තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව විදිහට කොටස් දෙකකින් සමන්විතයි.

ක්‍රිස්තියානින් ගේ පැරණි තෙස්තමේන්තුවට යුදෙව් බයිබලයේ අඩංගු කරුණු සියල්ලම ඇතුළත් වෙනවා. ඊට අමතරව සමහර ක්‍රිස්තියානි නිකායන් යුදෙව්වන් තමාගේ බයිබලයට ඇතුල් නොකළ යුදෙව් ආගමික ලියැවිලි සමහරකුත් පැරණි තෙස්තමේන්තුවට ඇතුල් කරනවා. පෙරදිග පල්ලිය (Church of the East) ප්‍රාචීන ඕතඩොක්ස් පල්ලිය (Oriental Orthodox Church) සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලිය (Eastern Orthodox Church) මේ අතරින් ප්‍රධානයි.

නව තෙස්තමේන්තුව සමන්විත වෙන්නේ යේසුස් වහන්සේගේ ජීවිත කතාව, එතුමාගේ ඉගැන්වීම් සහ මුල් කාලීන ක්‍රිස්තියානියේ සිදු වූ වැදගත් සිදුවීම් වලින්. යුදෙව් බයිබලයට වගේම නව තෙස්තමේන්තුවටත් අඩංගු නොවුනු මුල් කාලීන ක්‍රිස්තියානි ආගමික ලියැවිලි රාශියක් තියෙනවා. මේ ලියැවිලි වලට ලැබෙන පිළිගැනීම එකිනෙකින් වෙනස්.

නව තෙස්තමේන්තුව මුලින්ම ලියැවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන්. පසුව එය ලතින් ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වුනා.


කුරානය

කුරානය මේ දෙකට වඩා වෙනස්. කුරානය කියන්නේ එක් කතුවරයෙක් විසින් ලියන ලද පොතක්. ඉස්ලාම් බැතිමතුන්ට අනුව මේ කතුවරයා දෙවියන් වහන්සේ. අනෙක් අයට අනුව මුහම්මද් තුමා. කුරානයේ අඩංගු සියළු කරුණු අවුරුදු තිහක විතර කාලයකදී එකතු වූ ඒවා.

ඒ වගේම යුදෙව් සහ ක්‍රිස්තියානි බයිබලයන් ගේ තියෙන්නේ මිනිස්සු ලියපු දේවල් වුනාට කුරානයේ තියෙනවා කියල අපේක්ෂා කරන්නේ (meant to be) කෙලින්ම දෙවියන් ගේ වචන. මේ නිසා අනෙක් පොත් දෙකට වඩා කුරානය වඩා සංවිධානාත්මක සහ සංගතික ස්වරූපයක් ගන්නවා.

කුරානයේ අනෙක් විශේෂත්වය වෙන්නේ මුහම්මද් තුමාගේ ජීවිත කාලය තුලදීම කුරානයේ අඩංගු කරුණු ග්‍රන්ථාරූඪ වීම සහ එතුමාගේ මරණයෙන් අවුරුදු 12 ක් වැනි කෙටි කාලයකදී එය සම්මතකරණය (standardize) වීම. මේ නිසා කුරානය එහි මූලික ස්වරූපයෙන්ම හෝ ඊට ඉතාම ආසන්න තත්වයෙන් පවතින බවට හිතන්න පුළුවන්.

ක්‍රිස්තියානින් යුදෙව් බයිබලය පිළිගත්තත්, මුස්ලිමුන් යුදෙව් හෝ ක්‍රිස්තියානි බයිබල පිළිගන්නේ නෑ. ඉස්ලාම් ආගමට යුදෙව් ආගමේ එන සියළුම දිවැසිවරයන් සහ යේසුස් වහන්සේ සත්‍ය දිවැසිවරයන් ලෙස පිළිගත්තත්, බයිබලයේ අඩංගු කරුණු මිනිසුන් අතින් විකෘති වී ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

නමුත්, කුරානයේ අඩංගු කරුණු බයිබලයේ අඩංගු කරුණු වලට බොහෝ සෙයින් සමානයි. නමුත් සමහර වැදගත් වෙනස්කමුත් දකින්න පුළුවන්.

කුරානයේ ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ දෙවියන් වහන්සේ විසින් වරින් වර මුහම්මද් තුමාට සහ එතුමා හරහා පොදුවේ මිනිස් වර්ගයාට ලබා දුන් පණිවුඩ. මේ පණිවුඩ ආගමික නීතිය, සදාචාරය, ආගමික වතාවත් සහ ආගමික මූලධර්ම වලින් සමන්විත වෙනවා.

කුරානය ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙන්.

අරාබි ජන සාහිත්‍යයේ එන අද්භූත ප්‍රාණීන්

 


අරාබි ජන සාහිත්‍යය ගැන ගොඩක් දෙනෙක් දන්නවා. විශේෂයෙන්ම අරාබි නිසොල්ලාසය හරහා. වෙනත් ඕනෙම ජන සාහිත්‍යයක වගේ අරාබි ජන සාහිත්‍යයේත් විවිධ අද්භූත ප්‍රාණීන් ගැන සඳහන් වෙනවා. මේ ඒ අතරින් කීපයක්.


ජින් (Jinn)

ජින් තමයි වඩාත්ම ප්‍රසිද්ධ සහ සුලභවම හමුවෙන අද්භූත ප්‍රාණියා. අපිට වඩාත්ම හුරුපුරුදු ජින් එන්නේ ඇලඩින් ගේ කතාවේ "පහනේ භූතයා" විදිහට.

ජින් කියලා හඳුන්වන අද්භූත ප්‍රාණියා සිංහල ජන සාහිත්‍යයේ එන භූතයෙක්ට සමානයි. "ජින්" කියන අරාබි වචනයේ "නොපෙනෙන" කියන එකට සමාන තේරුමක් තියෙනවා. ඒ අනුව ජින් කියල හඳුන්වන්නේ අපිට සාමාන්‍යයෙන් නොපෙනෙන ප්‍රාණියෙක්.

ජින් විවිධ ස්වරූප වලින් පෙනී සිටින්න පුළුවන්. වඩාත්ම සුලභව ජින් පෙනී සිටින්නේ සතෙකුගේ ස්වරූපයෙන්. බොහෝ විට බල්ලෙක් හෝ සර්පයෙක් විදිහට. වෙනත් සත්තුන්ගේ වේෂයෙනුත් ජින් පෙනී සිටින්න පුළුවන්. ඊට අමතරව ජින් ට වැලි කුණාටුවක්, හෙවනැල්ලක් වගේ සොබාවික සංසිද්ධියක ස්වරූපයෙනුත් ජින් පෙනී සිටිනවා. සමහර විට මනුෂ්‍ය ස්වරූපයට සමාන, ඒත් 100% සමාන නොවන ස්වරූපයෙනුත් ජින් පෙනී සිටින්න පුළුවන්.

ජින් බොහෝ වෙලාවට මොකක් හරි භාණ්ඩයක් හෝ තැනකට සම්බන්ධව තමයි ජීවත් වෙන්නේ (උදා : පහනක්). ජින් සමහර විට මිනිහෙක්ට "වැහෙන්න" පුළුවන්. බොහෝ විට ජින් මිනිස්සුන්ට හානි කරනවා. ඒත් සමහර ජින් (ඇලඩින්ගේ කතාවේ එන ජින් වගේ) මිනිස්සුන්ට උදව් කරන්නත් පුළුවන්.

ජින් සංකල්පය "ජීනී" (genie) විදිහට බටහිර සංස්කෘතියට ඇතුල් වෙලා තියෙනවා.

විවිධ ප්‍රභේද වල ජින් අපිට අරාබි ජන සාහිත්‍යයේ හමුවෙනවා.


හින් (Hinn)

"හින්" කියන අරාබි වචනයේ තේරුම "කුඩා". හින් කියල හඳුන්වන්නේ එතරම් බලවත් නොවන ජින් ප්‍රභේදයක්. 

හින් හැමවෙලේම පෙනී සිටින්නේ සතෙක් විදිහට. බොහෝ විට පුල්ලි වැටුනු හෝ තනි කළුපාට බල්ලෙක් වගේ.


ගූල් (Ghul)

"ගූල්" කියන අරාබි වචනයේ තේරුම "පැහැර ගන්නා". ගූල් කියලා හඳුන්වන්නේ ඉතා බලවත් වගේම නපුරු ජින් ප්‍රභේදයක්.

ගූල් සිංහල ජන සාහිත්‍යයේ එන යක්ෂයාට ඉතා සමානයි. බොහෝ විට ගූල් ජීවත් වෙන්නේ සොහොන් බිම් ආශ්‍රිතව හෝ පාළු කාන්තාරයේ. ගූල් ට මනුෂ්‍යය වේෂයෙන්, රාක්ෂ වේෂයෙන් හෝ සත්ව වේෂයෙන් පෙනී සිටින්න පුළුවන්. 

ගූල් හැම වෙලේම මිනිස්සුන්ට හානිකර නපුරු ප්‍රාණියෙක්. මිනිස්සු මරන්න, මිනිස්සුන්ගේ ලේ බොන්න සහ මල මිනී ආහාරයට ගන්න ගූල් ප්‍රසිද්ධයි.

ගූල් සංකල්පය Ghoul විදිහට බටහිර සංස්කෘතියට ඇතුල් වෙලා තියෙනවා.


මාරිද් (Marid)

"මාරිද්" කියන්නේ ඉතා බලවත් ජින් ප්‍රභේදයක්. මාරිද් බලවත් වුනත් මිනිස්සුන්ට හානිකර නෑ. ඒ වගේම විවිධ උපක්‍රම මගින් මාරිද් මිනිස්සුන්ට සේවය කරන්න යොදා ගන්න පුළුවන්. සොලමන් රජතුමා තමාගේ දේවස්ථානය හදන්න මාරිද් භූතයන් විශාල ප්‍රමානයක් යොදාගත්ත බව කියැවෙනවා.

අපිට හුරුපුරුදු ඇලඩින් කතාවේ එන මුද්දේ භූතයා සහ පහනේ භූතයා මාරිද් ලා.


ඉෆ්‍රීත් (Ifrit)

"ඉෆ්‍රීත්" කියන්නේ තවත් ඉතා බලවත් ජින් ප්‍රභේදයක්. පොළවේ ඇතුලේ ජීවත් වෙන ඉෆ්‍රීත් සමහර වෙලාවට පොළව මතුපිටට ඇවිල්ලා මිනිස්සුන්ට හානි කරනවා. ඉෆ්‍රීත් ඉතාම කපටි සහ නපුරු සොබාවයකින් යුක්තයි. සමහර වෙලාවට ඉෆ්‍රීත් පෙනී සිටින්නේ ගිනිසිළු වලින් හැදුනු පියාපත් එක්ක.


ෂික් (Shiqq)

"ෂික්" කියන්නේ දුර්වල ජින් ප්‍රභේදයක්. මිනිස්සුන්ට ඒතරම් හානියක් නොකරන ෂික් මිනිස්සු බය කරනවා, කෑම හොරකම් කරනවා වගේ දේවල් කරන්න පුළුවන්.

ෂික් ගේ ස්වරූපය වර්ධනය නොවුනු මිනිහෙක් වගේ. බොහෝ විට ෂික්ගේ බෙල්ල, පපුව සහ බඩ නියමාකාරයෙන් වර්ධනය වෙලා නෑ. මේ නිසා ෂික් අර්ධ මනුෂ්‍යයෙක් ගේ පෙනුම ගන්නවා.


නස්නස් (Nasnas)

"නස්නස්" කියන්නේ තවත් දුර්වල ජින් ප්‍රභේදයක්. මිනිස්සුන්ට හානියක් කරන්නේ නෑ.

නස්නස් ගේ ස්වරූපය මිනිහෙක් වගේ. ඒත් තියෙන්නේ මුහුණෙන් අඩක්, එක අතක් සහ එක කකුලක් පමණයි. නස්නස් ගමන් කරන්නේ එක කකුලෙන් පැන පැන. සාමාන්‍යය මනුස්සයෙක් දුවන තරම් වේගයෙන් මේ විදිහට පැන පැන යන්න නස්නස්ට පුළුවන්.

සමහර තැන්වල දැක්වෙන විදිහට නස්නස් උපදින්නේ ෂික් සහ මනුෂ්‍යෙක් අතර සංවාසයෙන්.


පාලිස් (Palis)

"පාලිස්" කියන්නේ කාන්තාරයේ ජීවත් වෙන ජින් ප්‍රභේදයක්. නපුරු, මිනිස්සුන්ට හානිකර ප්‍රාණියෙක්.

කාන්තාරයේ ගමන් කරන මිනිස්සු රාත්‍රියට නිදාගන්න විට ඔවුන්ගේ දෙපා අනාවරය වෙලා තිබුනොත් පාලිස් ඔවුන්ගේ යටිපතුල් ලෙවකාලා ඔවුන්ගේ ලේ උරා බොනවා.

නමුත් පාලිස් ඉතාම මෝඩයි සහ ලෙහෙසියෙන් රවට්ටන්න පුළුවන්.


සිලාත් (Silaat)

"සිලාත්" කියන්නේ ඉතාම නපුරු ඉතාම කපටි සහ ඉතාම දක්ෂ ජින් ප්‍රභේදයක්. 

සිලාත් ට නියම ස්වරූපයක් නෑ. විවිධ වේෂයෙන් පෙනී සිටින්න සිලාත් ට පුළුවන්. බොහෝ විට සිලාත් පෙනී සිටින්නේ සුරූපී කාන්තාවක් හෝ මහළු කාන්තාවක් විදිහට. සිලාත් බොහෝ විට ජීවත් වෙන්නේ පාළු කාන්තාර වල. කාන්තාරයේ ගමන් කරන මගීන් රවටාගෙන ඔවුන් මරා දාන්න සිලාත්ට පුළුවන්.


හතීෆ් (Hatif)

"හතීෆ්" කියන්නේ ඉතාම අද්භූත සොබාවයක් ගන්න ප්‍රාණියෙක්. හතීෆ්ට ශරීරයක් නෑ. තියෙන්නේ කටහඬක් පමණයි. පාළු කාන්තාරයේ තනිවම ගමන් කරන මගීන්ට සමහර වෙලාවට හතීෆ් ගේ හඬ ඇහෙනවා.


ජින් ට අමතරව තවත් මිත්‍යා ප්‍රාණීන් අපිට අරාබි ජන සාහිත්‍යයේ හමුවෙනවා. නමුත් මේ ප්‍රාණීන් ජින් වගේ අද්භූත (supernatural) ප්‍රාණින් නෙවෙයි. පියවි ලෝකයේ ජීවත් වෙනවා කියල විශ්වාස කරන ප්‍රාණීන්.


දන්දන් (Dandan)

"දන්දන්" කියන්නේ මුහුදේ ජීවත් වෙන ලොකුම මාළුවා. නැවක් එක කටකට ගිලලා දාන්න දන්දන්ට පුළුවන්.


අන්කා (Anqa)


"අන්කා" කියන්නේ විශාල කුරුල්ලෙක්. අන්කා මිනිස්සුන්ට පේන්න එන්නේ ඉතාම කලාතුරකින්. අන්කා ජීවත් වෙන්නේ "හිරු බැසයන තැන".

අන්කාට ඉතා ලස්සන සහ දිග බෙල්ලක් තියෙනවා. ඒ වගේම ලස්සන පිහාටු වලින් යුත් පියාපත් හතරක් තියෙනවා. අන්කා ගේ මුහුණ මිනිස් මුහුණකට සමානයි.


අල්-මිරාජ් (Al-Miraj)

"අල්-මිරාජ්" කියන්නේ කහ පාට ශරීරයක් තියෙන හාවෙක්. ඒත් මේ හාවාට නළලේ පිහිටි තනි කළු අඟක් තියෙනවා. අල්-මිරාජ් ජීවත් වෙන්නේ ඉන්දියන් සාගරයේ තියෙන දූපතක. අල්-මිරාජ් දකිනකොට අනික් සියළුම සත්තු පැන දුවනවා.


අර්-රූහ් (Ar-Ruhh)

"අර්-රූහ්" කියන්නේ ඉතා විශාල කුරුල්ලෙක්. චීනය අවට මුහුදේ ඇති දූපත් වල වාසය කරන අර්-රූහ් ඉතා විශාල බිත්තර දානවා.


ෂදාවර් (Shadhavar)

"ෂදාවර්" කියන්නේ මුවෙකුට සමාන සතෙක්. ඒත් ෂදාවර් ගේ නළලේ තනි අඟක් තියෙනවා. මේ අඟ කුහර සහිත අතු ගණනාවකින් කින් යුක්තයි. මේ අඟ හරහා හුළං හමන විට ඉතා මිහිරි සංගීත රාවයක් නිපදවෙනවා. ෂදාවර් ජීවත් වෙන්නේ බයිසැන්ටයින් අධිරාජ්‍යයේ.

ඉස්ලාමය වැළඳගත් ප්‍රංශ අධිරාජ්‍යයා

 


1798 දී ප්‍රංශයේ අධිරාජ්‍යයා වුනේ නැපෝලියන් බොනපාර්ටේ.

1798 වෙද්දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යුධ වදිමින් හිටියේ. තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය 1536 ඉඳලා දීර්ඝ කාලීන ප්‍රංශ මිතුරෙක්.

මේ වෙද්දි ඊජිප්තුව මම්ලුක් වාංශික සුල්තාන් වරු යටතේ ඔටෝමන් අධිරාජ්‍යයෙන් වෙන් වෙලා ස්වාධීන රාජ්‍යයක් විදිහට් කටයුතු කරමින් හිටියා.

1798 දී 40,000 ක ප්‍රංශ හමුදාවක් නැපෝලියන් යටතේ ඊජිතුව ආක්‍රමනය කළා. නැපෝලියන් ගේ සැලසුම වුනේ ඊජිප්තු වැසියන්ට තමා "ඔටෝමන් අධිරාජ්‍යයා වෙනුවෙන්" ඊජිප්තුව අල්ලා ගත්ත බව පෙන්වලා, ඔවුන්ගේ සිත් දිනාගෙන ඊජිප්තුවේ බලය තහවුරු කරගන්න. ඊට පසුව ඔහු සැලසුම් කලා පෙරදිග බ්‍රිතාන්‍යය යටත් විජිත වලට එරෙහිව ආක්‍රමනයක් දියත් කරන්න. විශේෂයෙන් ඉන්දියාව ඔහුගේ ඉලක්කයක් වුනා. එහිදී ඔහු ඒ වනවිට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගසමින් සිටි ඉන්දියාවේ ටීපු සුල්තාන් ගේ සහය අපේක්ෂා කළා.

ඊජිප්තු වැසියන්, ටීපු සුල්තාන් මෙන්ම පෙරදිග බ්‍රිතාන්‍යය යටත් විජිත වල වැසියන් ගෙන් සැලකිය යුතු ප්‍රමානයක් ඉස්ලාම් බැතිමතුන්. මේ නිසා මේ සැලසුමට නැපෝලියන් ඉස්ලාම් ආගමේ මිතුරෙක් විදිහට පෙනී සිටීම අත්‍යාවශ්‍යය වුනා.

ඊජිප්තුවට ගොඩබැස්ස ප්‍රංශ හමුදාව පහසුවෙන්ම එය අල්ලා ගත්තා. නැපෝලියන් ඊළඟට ඊජිප්තුවේ සිටි ඉස්ලාමීය විද්වතුන් සමහර දෙනෙක් තමා දෙසට නවා ගන්න සමත් වුනා. කයිරෝ නුවර පැවැත්වුනු එක ප්‍රසිද්ධ උත්සවයකට නැපෝලියන් සහභාගී වුනේ අරාබි ජාතිකයෙක් ගේ ඇඳුමින් සැරසිලා.

මේ උත්සවයේදී ඔහු විශාල ජනකායක් ඉදිරියේ ෂහදාව හෙවත් ඉස්ලාම් ආගම වැළඳගැනීමේදී කිව යුතු පාඨය හඬනගා කියලා ඉස්ලාමය වැළඳ ගත්තා. ඔහුගේ "මිතුරු" විද්වතුන් ඔහුට "අලී" යන නම ප්‍රදානය කළා. ඉස්ලාම් ආගම වැළඳ ගැනීමේදී අරාබි නමක් ගැනීම සම්ප්‍රදායක්.

මේක නැපෝලියන්ගේ කපටි කමට දේශපාලන උපක්‍රමයක් විදිහට කළ දෙයක් මිස ඉස්ලාම් ආගම ගැන ඇතිවුනු කැමැත්තකින් කළ දෙයක් නොවෙන බවට කිසිම සැකයක් නෑ. ඒ වගේම කෙනෙක් සිය කැමැත්තෙන් ෂහදාව කිව්වෙ නැත්තම් ඔහු නියමාකාරයෙන් ඉස්ලාම් ආගම වැළඳ ගත් කෙනෙක් වෙන්නත් නෑ.

ඒත් "නිළ වශයෙන්" නැපෝලියන් ඉස්ලාමය වැළඳගෙන තියෙනවා.

නැපෝලියන්ගේ උපක්‍රමය සාර්ථක වුනේ නෑ. ඊජිප්තු වැසියන් ඔහු හිතපු තරම් ලේසියෙන් "අන්දන්න" පුළුවන් වුනේ නෑ. ප්‍රශ හමුදා වලට ඊජිප්තුවේ කැරලි ගණනාවකට මුහුණ දෙන්න සිදු වුනා.

කොරේ පිටට මරේ වගේ මුස්ලිම් භූමියකට යුරෝපීය හමුදාවක් පැමිණීම කලීෆා වරයා වශයෙන් තමාගේ තත්වයට මදිකමක් ලෙස සැලකූ ඔටෝමන් අධිරාජ්‍යයා ප්‍රංශ-ඔටෝමන් මිතුරුකම පසෙක දමා නැපෝලියන්ගේ ප්‍රංශ හමුදාවට එරෙහිව ජිහාඩයක් ප්‍රකාශ කරනවා. සිරියාවේ සහ පලස්තීනයේදී ඔටෝමන් සහ බ්‍රිතාන්‍යය හමුදා වලට එරෙහිව අසාර්ථක සටන් කීපයක් කරන නැපෝලියන් ආපහු ප්‍රංශය දක්වා පසු බසිනවා. ඊජිප්තුව නැවතත් ඔටෝමන් බලයට නතු වෙනවා.

ඒබ්‍රහමික ආගම් වල එන මාංශ අනුභවය පිළිබඳ ස්ථාවරය

 


ගොඩක් දෙනෙක් අතර තියෙන මතයක් තමයි සත්තු මරලා මස් කෑම පිළිබඳ ඒ ආගම් වල ස්ථාවරය වෙන්නේ "සත්තු කියන්නෙ මිනිස්සුන්ගේ පරිභෝජනයට දෙවියන් විසින් මවපු දෙයක්, ඒ නිසා උන්ව මරලා මස් කන එක කිසිම අවුලක් නෑ" කියන එක.

ඒත් මේක සම්පූර්ණයෙන්ම වැරදියි.

බයිබලයේ එන උප්පත්ති කතාව අරගෙන බැලුවම, දෙවියන් වහන්සේ ලෝකය මවද්දී මිනිසා විතරක් නෙවෙයි, සියළුම සත්තු මවන්නේ ශාක භක්ෂකයන් (vegetarian) විදිහට.

"බලන්න, මම නුඹට (මිනිසාට) පොළව මත ඇති සියළුම ධාන්‍ය හටගන්නා පැලෑටි සහ පළතුරු හටගන්නා ගස් දෙමි; ඒවා නුඹේ ආහාරය වනු ඇත" දෙවියන් පැවසීය."
(උප්පත්‍ති 1:29)

"God said, "See, I give you (man) every seed-bearing plant that is upon all the earth, and every tree that has seed bearing fruit; they shall be yours for food."
(Genesis 1:29)

"පොළව මත සිටින සියළුම සතුන්ට, අහසේ සිටින සියළුම පක්ෂීන්ට සහ පොළව මත බඩ ගා යන, ප්‍රාණයක් සහිත, සියළුම ජීවීන්ට සියළුම හරිත ශාකයන් ආහාර වශයෙන් (මම දෙමි). එය එසේම විය."
(උප්පත්‍ති 1:30)

"And to all the animals on land, to all the birds of the sky, and to everything that creeps on earth, in which there is the breath of life, (I give) all the green plants for food." And it was so."
(Genesis 1:30)


මේ බයිබල් පාඨයන්ට අනුව දෙවියන් ලෝකය මවද්දී කිසිම සතෙකුට, මිනිසා ඇතුළුව, වෙනත් සතෙක් ආහාරයට ගන්න අවසර නෑ. ඔවුන්ට කෑමට අවසර දී ඇත්තේ ශාකමය දේ පමණයි.

ඒ දෙවියන් විසින් තමා මැවූ ජීවය ශුද්ධ වූ දෙයක් කොට සලකන නිසා.

ඒත් මිනිසාගේ දෙවෙනි පරම්පරාවේදීම කේන් විසින් තම සොහොයුරා වන ඒබල් ව මරා දමා මේ ශුද්ධත්වය කෙලසනවා.

මිනිසාට වෙනත් සතුන් ආහාරයට ගන්න අවසර ලැබෙන්නේ ගොඩක් පස්සෙ, මහා ජලගැල්මෙන් පසුව. 

දෙවියන් මහා ජලගැල්ම ඇති කරන්නේ මිනිසාගේ නපුරු දුෂ්ඨකම් වලින් ලෝකය මුදවාගෙන ලෝකයට නව ආරම්භයක් දීම සඳහා. මහා ජලගැල්මෙන් අනතුරුව දෙවියන් කියන දේ අනුව, මිනිසා සොබාවයෙන්ම දුෂ්ඨ බවත්, ඔහු ජීවය ශුද්ධ කොට නොසලකන බවත්, දෙවියන් වටහා ගත් බව ඇඟවෙනවා.

"සමිඳානන් සිත්කළු සුගන්ධය ආග්‍රණය කොට තමාටම මෙසේ පැවසීය: "මම නැවත කිසි දිනෙක මිනිසා නිසා ලෝකය විනාශ නොකරමි. මක් නිසාද, මිනිසාගේ සැලසුම් ඔහුගේ ආරම්භයේ සිටම දුෂ්ඨ වන බැවිනි. මම මේ වර කළ ලෙස නැවත කිසිම දිනෙක සියළුම ජීවීන් විනාශ නොකරමි."
(උප්පත්ති 8:21)

"The LoRD smelled the pleasing odor, and the LoRD said to Himself: "Never again will I doom the earth because of man, since the devisings of man's mind are evil from his youth; nor will I ever again destroy every living being, as I have done."
(Genesis 8:21)


මිනිසාගේ දුෂ්ඨ බව වටහා ගන්න දෙවියන් ඔහුට සත්තු මරලා මස් කන්න අවසර දෙනවා. ඒත් එක කොන්දේසියක් උඩ. ඒ ජීවයේ සලකුණ වන ලේ සියල්ල මළ සිරුරෙන් ඉවතට ගලා යන්න සැලැස්වීමෙන් තොරව මස් කෑම තහනම් කිරීමෙන්.

"ජීවත් වන සෑම ප්‍රාණියෙක්ම නුඹට කෑමට හැක; හරිත තණකොළත් සමඟ මේ සියල්ල මම නුඹට දෙමි."
(උප්පත්ති 9:3)

"Every creature that lives shall be yours to eat; as with the green grasses, I give you all these."
(Genesis 9:3)

"එනමුත්, නුඹ ජීව-රුධිරය අඩංගු මස් නොකෑ යුතුය."
(උප්පත්ති 9:4)

"You must not, however, eat flesh with its life-blood in it."
(Genesis 9:4)


යුදෙව් සහ ඉස්ලාම් ආගම් වල මස් කෑම සඳහා සතුන් මරන්න ඉතාම සංකීර්ණ නීති පද්ධතියක් හඳුන්වාදීලා තියෙන්නේ මේ හේතුව නිසා. දෙවියන් විසින් මවන ලද ජීවය ශුද්ධ වූ බවත්, ආහාරය සඳහා ජීවය විනාශ කරන්නේ නම් ජීවය ශුද්ධ වූ බව පිළිගත යුතු බවත් මේ නීති බව අදහසයි.

පසුව බයිබලයේ තවත් නීති මාලාවක් හඳුන්වා දීමෙන් ආහාරයට ගන්න පුළුවන් සතුන් වර්ග ගණන දැඩිව සීමා කරනවා.


ඉස්ලාම් ආගමේ ආහාර කෑමට අනුමත (හලාල්) වෙන ආකාරය බැලුවම මේ සංකල්පය ඉතාම පැහැදිලි වෙනවා.

ඉස්ලාමීය නීති අනුව, සියළුම ආහාර කෑමට අනුමත (හලාල්) බව තමයි සාමාන්‍යය (default) තත්වය. ආහාරයක් අනුමත නොවෙන්නේ මොකක් හරි ක්‍රමයකින් එය දූෂ්‍ය වී ඇති බව සහතිකයෙන්ම දැගත්තොත් විතරයි.

නමුත් මස් වලට විතරක් මේ තත්වය අනිත් පැත්ත.

සියළුම මස් කෑමට අනුමත නොවන බව තමයි සාමාන්‍යය (default) තත්වය. මස් කෑමය අනුමත (හලාල්) වෙන්නේ ඒ මස් නියමිත ක්‍රමයට සකස් කර ඇති බව සහතිකයෙන්ම දැනගත්තොත් විතරයි.

නමුත් ඒබ්‍රහමික ආගම් වල ප්‍රධාන ධාරාවේ අපගමනයක් (offshoot) විදිහට සලකන්න පුළුවන් ක්‍රිස්තියානි ආගමේ මේ සංකල්පය තදින් දකින්න ලැබෙන්නේ නෑ. ඒ ග්‍රීක-රෝම බලපෑම නිසා වෙන්න පුළුවන්. 

වර්තමාන නූතන සංස්කෘතියේ එන "සත්තු කියන්නේ මිනිසාගේ පරිභෝජනය සඳහා තියෙන දෙයක්" කියන එකේ මූලය ඒබ්‍රහමික ආගම් වලට වඩා ග්‍රීක-රෝම සංස්කෘතියෙන් එන දෙයක් කියන එක වඩා නිවැරදියි.

බයිබලයේ මැවීමේ කතාව

 


බයිබලයේ එන මැවීමේ කතාව යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වල මූලිකම පදනමක්. යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් මේ මැවීමේ කතාව බයිබලයේ ඇති ආකාරයට කෙලින්ම පිළිගන්නවා. මුස්ලිමුන් ඒ කතාවේ සාරයෙන් සමාන, ඒත් ඊට මදක් වෙනස් කුරානයේ ඇති මැවීමේ කතාව පිළිගන්නවා.

හැබැයි "බයිබලයේ එන මැවීමේ කතාව" කීයල කිව්වට බැයිබලයේ මැවීමේ කතා දෙකක් තියෙනවා. මේ කතා දෙක එක ළඟින්ම තියෙන නිසා බොහෝ දෙනා මේක සලකන්නේ එකම කතාව විදිහට. ඒත් සැලකිල්ලෙන් කියවලා බැලුවම මේ දෙක කතා දෙකක් බව ඉතාම පැහැදිලියි.

පළවෙනි මැවීමේ කතාව තියෙන්නේ Genesis 1:1 සිට 2:4 දක්වා. ඒ කියන්නේ බයිබලයේ මුල්ම පරිච්ඡේද කීපය. දෙවෙනි මැවීමේ කතාව Genesis 2:5 සිට 2:24 දක්වා තියෙනවා.

ඊට පස්සේ Genesis 2:25 ඉඳලා දෙවෙනි කතාවේම දිගුවක් විදිහට ආදම් සහා ඒවා ගේ කතාව දිවෙනවා.

මේ කතා දෙකේ ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා.


1. කතා දෙකේදී දෙවියන් හඳුන්වන නම් වෙනස්. පළවෙනි කතාවේ දෙවියන් හැඳින්වෙන්නේ "Elohim/God/දෙවියන්" (හීබෲ/ඉංග්‍රීසි/සිංහල) විදිහට. 

දෙවෙනි කතාවේ දෙවියන් හැඳින්වෙන්නේ "YHWH/Lord/සමිඳානන්" විදිහට.


2. පළවෙනි කතාවේ දෙවියන් අහස, පොළව, වතුර, ගස්වැල් නිර්මානය කර හැටි ගැන විස්තරාත්මකව සඳහන් වෙනවා. ඒ සඳහා පරිච්ඡේද කීපයක්ම වැය කරලා තියෙනවා. දෙවියන් දවස් හයකින් ලෝකය මවලා හත් වෙනි දවසේ විවේක ගත්ත කතාව තියෙන්නේ පළවෙනි කතාවේ. 

දෙවෙනි කතාවේ ඒ ගැන සඳහන් වෙන්නේ ඉතාම කෙටියෙන්, එක වාක්‍යයකින්.


3. පළවෙනි කතාවේ දින හයක් තිස්සේ එක් එක් දිනයේදී කළ නිර්මාන වෙන වෙනම විස්තරාත්මකව දක්වලා තියෙනවා. හත් වෙනි දවසේ දෙවියන් විවේක ගන්නවා.

දෙවෙනි කතාවේ එහෙම එකක් නෑ. දෙවියන් ලෝකය නිර්මානය කළා කියල විතරයි සඳහන් වෙන්නේ.


4. පළවෙනි කතාවේ මිනිසා මවපු හැටි ගැන විස්තරාත්මකව සඳහන් වෙන්නේ නෑ. මිනිහව නිර්මානය කරා කියලා විතරයි තියෙන්නේ. 

"And God created man in His image, in the image of God He created him;"
(Genesis 1:27)

දෙවෙනි කතාවේ ඒක ඊට වඩා විස්තරාත්මකයි. දෙවියන් දූවිලි වලින් මිනිහාගේ රූපය නිර්මානය කරලා ඊට ජීවන හුස්ම පිඹින හැටි තියෙන්නේ දෙවෙනි කතාවේ.


5. පළවෙනි කතාවේ මිනිහා නිර්මානය කරාට පස්සෙ ඔහුව කෙළින්ම ලෝකයට මුදා හරිනවා.

දෙවෙනි කතාවේ මිනිහාව තියන්නේ ඔහු සඳහාම නිර්මානය කළ විශේෂ උයනක. මිනිහා ලෝකයට යන්නේ තහනම් ගහේ ගෙඩි කෑවට පස්සෙ.


6. පළවෙනි කතාවේ මිනිහා සහ ගැහැණිය නිර්මානය කරන්නේ එකට. 

"Male and female He created them"
(Genesis 1:27)

දෙවෙනි කතාවේ මිනිහාව කලින් නිර්මානය කරනවා. පස්සේ ඔහුට උදව් කාරයෙක් (helper) සතුන් අතරින් හොයාගන්න බැරි වෙන නිසා උදව් කාරයෙක් විදිහට ඔහුගේ ඉළ ඇටයකින් ගැහැණිය නිර්මානය කරනවා. 

"So the LORD God cast a deep sleep upon the man; and, while he slept, He took one of his ribs and closed up the flesh at that spot. And the LORD God fashioned the rib that He had taken from the man into a woman;"
(Genesis 2:21, 2:22)


7. පළවෙනි කතාවේ මිනිහාගේ සහ ගැහැණියගේ නමක් සඳහන් වෙන්නේ නෑ.

දෙවෙනි කතාවේ මිනිසා සහ ගැහැණිය ආදම් සහ ඒවා විදිහට නම් කරනවා.


8. පළවෙනි කතාව බොහොම සංවිධානාත්මක ස්වරූපයක් ගන්නවා. ඒ වගේම ඒකෙ එන විස්තරය සාමාන්‍යයකරනය කළ (generic) වියුක්ත (abstract) එකක්.

දෙවෙනි කතාව විසුරුනු ස්වරූපයක් ගන්නවා. ඒක ළං වෙන්නේ ජනකතාවක ස්වරූපයට. ඒකෙ එන විස්තරයත් විශේෂ (specific) සං‍යුක්ත (compound) එකක්.


9. පළවෙනි කතාවේ එන දෙවියන් ඉතාම වියුක්ත සංකල්පයක්. දෙවියන් ගේ ස්වරූපයක් ගැන හෝ ඔහු මිනිහා එක්ක කෙලින්ම සම්බන්ධවීමක් ගැන සඳහන් වෙන්නේ නෑ.

දෙවෙනි කතාවේ එන දෙවියන් සං‍යුක්ත සංකල්පයක්. ඔහු මිනිහා එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. ඔහු උයනේ ඇවිදින හඬ මිනිහාට ඇහෙනවා. ඔහු මිනිහා එක්ක කතා කරනවා.


10. පළවෙනි කතාවේ දෙවියන් මිනිසා මවන අරමුණ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ ගහකොල සහ අනෙකුත් සත්තු පාලනය කරන්න. ඒ කියන්නේ දෙවියන් වෙනුවෙන් දෙවියන් ගේ කාර්‍යය ලෝකයේ ඉෂ්ඨ කරන්න.

"And God said, "Let us make man in our image, after our likeness. They shall rule the fish of the sea, the birds of the sky, the cattle, the whole earth,......."
(Genesis 1:26)

දෙවෙනි කතාවේ ඒ වගේ විශේෂ අරමුණක් සඳහන් වෙන්නේ නෑ.


මෙහෙම කතා දෙකක් තියෙන්නේ ඇයි?

යුදෙව් ආගම කියන්නේ ආගමික ශාස්තෲවරයෙක් විසින් බිහිකළ ආගමක් (බුද්ධාගම, ඉස්ලාමය) හෝ ආගමික නායකයෙක් වටා බිහිවුන ආගමක් (ක්‍රිස්තියානිය) නෙවෙයි. ඒක අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ අයගේ සහ විවිධ මූලාශ්‍ර වලින් ආපු අදහස් එකතු කර ගනිමින් ස්වාභාවිකව පරිනාමය වුනු ආගමක්. ඒ අතින් ඒක සමීප වෙන්නේ හින්දු ආගමට. මේ කතා දෙක යුදෙව් ආගමේ පරිනාමයේ කාල දෙකකදී බිහිවුනු කතා දෙකක් බව තමයි බයිබල් විශේෂඥයන් ගේ මතය.

දෙවෙනි කතාව මුල්කාලීන යුදෙව් ආගමේ පැවතුනු උප්පත්ති කතාව කියලා ඔවුන් අනුමාන කරනවා. පළවෙනි කතාව ඊට පසු කාලීනව යුදෙව් ආගම වඩාත් සංවිධානාත්මක සහ ඒකදේවවාදී ආගමක් බවට පත් වුනාට පස්සේ දෙවෙනි කතාවට ලියන ලද ඌන පූරණයක් බවයි ඔවුන් ගේ අදහස.


විකල්ප ප්‍රවාදයක්

සාමාන්‍යයෙන් ආගමික නොවන කෝණයකින් බයිබලය අධ්‍යයනය කරන බයිබල් වේදීන් ගේ මතය මේක කතා දෙකක් කියලා.

හැබැයි මේක එකම කතාවක් වෙන්න බැරිද​?

පළවෙනි කතාවේ කියන්නේ දෙවියන් ලෝකය​, අහස පොළව ඉර හඳ තාරකා, ලෝකයේ තියෙන ගහ කොළ​, සත්තු සහ අවසානයට මිනිසා මවපු හැටි. දෙවෙනි කතාවේ ආපහු මිනිසා මවපු හැටි ගැන කියනවා.

පළවෙනි කතාවේ "මිනිසා" කියල අදහස් වෙන්නේ සාධාරන (generic) අරුතකින්, ඒ කියන්නේ "මිනිස් වර්ගයා". එතැන තියෙන්නේ දෙවියන් මිනිස් වර්ගයා මවපු හැටි. ඒ කතාව අවසන් වෙන්නේ "අහස සහ පොළොව මැවීමේ කතාව එසේය​" කියලා.

"such is the story of heaven and earth when they were created"
(Genesis 2:4)

දෙවෙනි කතාව පටන් ගන්නේ "දෙව් සමිඳානන් පොළොව සහ අහස මැවූ පසු" කියලා. ඒ කියන්නේ දෙවෙනි කතාව පළවෙනි කතාවට පස්සෙ එන එකක් බවට සාධකයක් තියෙනවා.

"when the Lord God made earth and heaven"
(Genesis 2:5)

ඊට පස්සේ ආදම් නමින් මිනිහෙක් "තමාගේ ස්වරූපයට අනුව​" මැවූ හැටි සහ ඒවා නමින් ගැහැණියක් මැවූ හැටි විස්තර කෙරෙනවා.

මෙතැන කියන්නේ කලින් වගේ මිනිස් වර්ගයා මැවූ හැටි නෙවෙයි ආදම් කියලා එක මිනිහෙක් මවපු හැටි වෙන්න බැරිද​? ඒ කියන්නේ දෙවියන් මුලින් මිනිස් වර්ගයා මවනවා, ඊට පස්සේ ආදම් කියලා එක් සුවිශේෂී මිනිහෙක් මවනවා.


මේ ප්‍රවාදයට සාක්‍ෂි බයිබලයෙන් හමුවෙන්නේ නෑ. නමුත් කුරානයේ එන මැවීමේ කතාවේ මීට අනුබලයක් හොයාගන්න පුළුවන්.

කුරානයේ එන මැවීමේ කතාවට අනුව දෙවියන් ආදම් මවන්නේ පොළව මත "අනුප්‍රාප්තිකයෙක්" (කලීෆා) විදිහට​. එතැනදී දේවදූතයන් (angels) සහ දෙවියන් වහන්සේ අතර මේ වගේ සංවාදයක් ඇතිවෙනවා.

"මම පොළව මත අනුප්‍රාප්තිකයෙක් මවමි"

"ඔබ වහන්සේ පොළොව මත දූෂනය සහ මරණය ඇති කරන කෙනෙක් පිහිටුවන්නේ ද​? අපි ඔබ වහන්සේට නිරතුරුව වන්දනා නොකරන්නේද​?"

"මම ඔබ නොදන්නා දේ දනිමි"

"And [mention, O Muhammad], when your Lord said to the angels, “Indeed, I will make upon the earth a successive authority.” They said, “Will You place upon it one who causes corruption therein and sheds blood, while we declare Your praise and sanctify You?” Allah said, “Indeed, I know that which you do not know.”

(Surah al-Baqarah, Ayat 30 - Quran 2:30)


දැන් මෙතැන සංවාදය ඇති වෙන්නේ දෙවියන් මුලින්ම මිනිහෙක් මවන තැනදී නම්, මිනිසා පොළව මත දූෂනය සහ මරණය ඇති කරන කෙනෙක් කියලා දේවදූතයන් දන්නෙ කොහොමද​? දේවදූතයන් මිනිසා ගැන කලින් දැනගෙන හිටි බවට එතැනදී ඉඟි කෙරෙනවා. දේවදූතයන් මිනිසා ගැන දැනගෙන ඉන්නේ ආදම් මවදදී වෙනත් මිනිස්සු මවලා තිබුණු නිසාද​?

මේ කතාවට තවත් වඩා පැහැදිලි සාක්‍ෂියක් තියෙනවා ෂියා ඉස්ලාමයේ හදීතයක​. ඒ හදීතය කියන්නේ ඉමාම් ජාෆර් අල්-සදීක්. ජාෆර් අල්-සදීක් කියන්නේ මුහම්මද් තුමාගේ මී මුණුපුරෙක්, ෂියා ඉස්ලාමයේ එන ඉතා වැදගත් ඉමාම් වරයෙක් වගේම මුළු මහත් ඉස්ලාමීය ඉතිහාසයේම එන විශිෂ්ඨතම ආගමික විද්වතෙක්.

"මේ ආදම්ට පෙර දස දහස් ගණන් ආදම් ලා සිටිහය​."

"Before this Adam, there were a thousand thousand Adams."

(Bihar Al Anwar, Volume 2)

"සමහරවිට ඔබ සිතනවා ඇති දෙවියන් වහන්සේ ඔබට පෙර​මිනිසුන් නිර්මානය කළේ නෑ කියා. නැත​! මම දෙවියන් ගේ නාමයෙන් දිවුරා කියමි දෙවියන් ඔබට පෙර දස දහස් ගනන් මිනිසුන් නිර්මානය කලේය​. ඔබ එයින් අවසාන මනුෂ්‍යය පරපුරයි."

"Perhaps you think God has not created a humanity other than you. No! I swear to God that He has created thousands upon thousands of mankinds and you are the last among them."

(Behar al-Anwar, volume 14, page 79)


මේ හදීත වලින් පේන්නේ ආදම්ට පෙර පොළව මත මනුෂ්‍යයන් සිටි බවට ඔවුන් විශ්වාස කළ බව​. මිනිසාට පෙර පොළව මත "අර්ධ මිනිසුන්" සිටි බව සමහර ඉස්ලාමීය විද්වතුන් විශ්වාස කරන දෙයක්. විශේෂයෙන් ෂියා සහ සූෆි ඉස්ලාමීය විද්වතුන් අතර මේ විශ්වාසය පවතිනවා.

ඒ කියන්නේ දෙවියන් වහන්සේ මිනිසා මවලා යම්කිසි කාලයක් ගත වුනාට පසුව​, ආදම් නමින් විශේෂ මනුෂ්‍යයෙක් "ඔහුගේ ස්වරූපයට අනුව​" මවලා පොළවට එව්වාද​? ඒ එව්වේ බයිබලයේ එන ආකාරයට "පොළව පාලනය කිරීමට" සහ කුරානයේ එන ආකාරයට "අනුප්‍රාප්තිකයෙක්" විදිහට ද​?

ඒ කියන්නේ එතෙක් සතුන්ට වඩා වැඩි වෙනසක් නොමැතිව ජීවත් වුන මිනිසුන් "ශිෂ්ඨාචාර" කිරීමේ අරමුණෙන් ආදම් ව මැව්වාද​? ආදම්ට "දැණුම ලබා දීම" බයිබලයේ වගේම කුරානයේ දැඩිව අවධාරනය කරන දෙයක්. මිනිසා අනෙක් සතුන් ගෙන් වෙන් වෙලා සුවිශේෂී වෙන්නේ ආදම්ට ලබා දෙන මේ දැණුම නිසා.


සාමාන්‍යයෙන් ඒබ්‍රහමික ආගම් වල සැලකෙන්නේ ආදම් බිහිවෙන්නේ අවුරුදු 10,000 කට විතර කලින් කියලා. නව ශිලා යුගයේ බිහිවීම සහ මිනිසුන් කෘෂිකර්මාන්තයට යොමු වෙන්නේ අවුරුදු 10,000 කට විතර කලින් කියල තමයි පුරා විද්‍යාඥයන් සලකන්නේ.

Monday, July 3, 2023

අමරණීයත්වයේ මිනිසා, ගිල්ගමෙෂ්

 


සුමේරියාව කියන්නේ ලෝකෙ පළවෙනි ශිෂ්ඨාචාරය. ඒක තිබුනෙ ක්‍රි.පූ. 4000 - ක්‍රි.පූ. 2000 අතර කාලයේ වර්තමාන ඉරාකයට අයත් යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා දෙකට මැදි වන නිම්නයේ. "දෙගංමැදි ශිෂ්ඨාචාරය" කියල හඳුන්වන ශිෂ්ඨාචාරයේ පැරණිම අවධිය තමයි සුමේරියාව.

සුමේරියාව ක්‍රි.පූ. 2000 දි විතර අකේදියන් රාජ්‍යය විසින් යටත් කර ගත්තා. අකේදියන් රාජ්‍යය කියන්නේ සුමේරියාවට උතුරින් යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා ආශ්‍රිතවම ජීවත් වුනු සෙම්ටික් වර්ගයට අයත් ජන කොටසක්. සුමේරියාව යටත් කර ගත්තට පස්සෙ ඔවුන් සුමේරියානු සංස්කෘතියේ ගොඩක් දේවල් තමාගේ සංස්කෘතියට අවශෝෂනය කර ගත්තා.

පැරණි සුමේරියානු නගරයක් වන උරුක් නගරයේ නටබුන්

මේ තියෙන්නේ ඒ වගේ අකේදියන්වරු විසින් අවශෝෂනය කර ගත්ත සුමේරියන් පුරාවෘතයක් (ඇත්තටම පුරාවෘතයකින් ගත්ත කොටස් කීපයක්. සම්පූර්ණ කතාව මීට වඩා දිගයි. අවශ්‍යය කොටස් ටික විතරයි ගත්තේ)


ගිල්ගමෙෂ්

බොහෝම ඉස්සර සුමේරියාවේ "උරුක්" කියලා නගරයක් තිබුණා. මේ නගරය පාලනය කළේ "ගිල්ගමෙෂ්" කියලා රජ කෙනෙක්. මේ රජු ඉතාම බලවත්. ඒ වගේම ඉතාම දුෂ්ඨයි. තමාගේ වැසියන් දරුණු පීඩාවන්ට ලක් කළා. මිනිස්සු අනවශ්‍ය විදිහට වෙහෙසට පත් කරන වැඩ පැවරුවා. ඔහුගේ නරකම පුරුද්ද වුනේ උරුක් නගරයේ තරුණියන් පැහැර ගැනීම. ඔවුන් ගේ විවාහ දිනයේදී මනාලියන් පැහැර ගැනීමට ගිල්ගමෙෂ් පුරුදු වෙලා හිටියා.


එන්කිඩු

ගිල්ගමෙෂ් ගෙ දුෂ්ඨකම් ඉවසගන්න බැරි වුනු උරුක් නගරයේ මිනිස්සු දෙවියන්ට කන්නලව් කළා. දෙවිවරු මේ කන්නලව් වලට කන් දීලා ගිල්ගමෙෂ් දමනය කරන්න මිනිහෙක්ව මැව්වා. ඒ "එන්කිඩු".

එන්කිඩු වනචාරියෙක්. ඔහු ජීවත් වුනේ කැලේ සත්තු එක්ක. කෑවේ කැලේ සත්තුන්ගෙ කෑම. ඇඳුම් ඇන්දේ නෑ. කැලේ සත්තු ඔහුට සොහොයුරෙක්ට වගේ  සැලකුවා. ඔහු දඩයක්කාරයන්ගෙන් කැලේ සත්තු බේරගත්තා.

මෙහෙම ටික කාලයක් ගියාම දෙවිවරු එන්කිඩු ට සහකාරියක් මැව්වා. ඒ "ෂම්හට්". ෂම්හට් කැලේට ගිහින් එන්කිඩු හම්බවුනා. එන්කිඩු ෂම්හට්ව දැකපු ගමන් ඇයට වශී වුනා. ඔවුන් දවල් හයක් සහ රෑ හතක් එකට වාසය කළා.

හත්වෙනි දවසේ එන්කිඩු කැල්ට ගිහින් වන සත්තු මුණ ගැහුනා. ඒත් සත්තු ඔහුට බය වුනා. ඔහු දැකලා කැලේට දිව්වා. එන්කිඩුට මේක අදහ ගන්න බැරි වුනා. ඔහුට තවදුරටත් කැලේ ජීවත් වෙන්න බෑ. ෂම්හට් ඔහුට ශිෂ්ඨාචාරය කියල දුන්නා. ඔහුට අඳින්න ඇඳුම් දුන්නා. මිනිස්සුන් ගෙ කෑම පුරුදු කළා. ඔහුව එඬේරුන් ළඟට ගෙනැවිත් එඬේර රස්සාව පුරුදු කළා.

ෂම්හට් එක්ක එඬේරු ළඟ ජීවත් වුනු එන්කිඩු ට ගිල්ගමෙෂ් ගෙ දුෂ්ඨකම් ගැන අහන්න ලැබුනා. ඔහු කෝප වෙලා ගිල්ගමෙෂ් හමුවෙන්න ගියා.

එදා උරුක් නගරයේ විවාහ උත්සවයක්. එන්කිඩු ගිල්ගමෙෂ් මනාලිය පැහැරගන්න එනතුරු මග රැකගෙන හිටියා. රෑ බෝ වෙද්දි ගිල්ගමෙෂ් ආවා. එන්කිඩු ඔහුගේ මග වැළැක්වුවා. ඔවුන් දෙන්නා අතර බොහොම නපුරු පොරයක් ඇති වුනා.

බොහෝ වෙලා පොර බැදුවට පස්සෙ එන්කිඩු ගිල්ගමෙෂ් වඩා ශක්තිමත් බව පිළිගත්තා. ගිල්ගමෙෂ් එන්කිඩු ව තමාගේ මිතුරෙක් විදිහට පිළිගත්තා. ගිල්ගමෙෂ් තමාගේ දුෂ්ඨ ගති අඩු කරගෙන තමාගේ නව මිතුරත් එක්ක වීර චාරිකා වල නිරත වෙන්න පටන් ගත්තා. ඔවුන් දෙන්නා එකට බොහෝ වීර කම් කළා.

එක වීර චාරිකාවකදී එන්කඩු මිය ගියා. තමාගේ මිතුරාගේ මරණය නිසා ශෝකයෙන් මුසපත් වුනු ගිල්ගමෙෂ් මරණය පරාජය කර සදාකාලික අමරණීයත්වය සොයා යන්න පටන් ගත්තා. ඔහු බොහෝ දුර ඇවිදිමින් අමරණීයත්වය හෙව්වා. අන්තිමේදී ඔහුට අහන්න ලැබුනා "උට්නපිෂ්ටිම්" නම් අමරණීය මිනිහෙක් ගැන. ඔහු උට්නපිෂ්ටිම් හොයාගෙන මහමුහුදෙන් එතෙර වෙලා ඔහු ජීවත් වුනු දූපතට ගියා.


උට්නපිෂ්ටිම්

උට්නපිෂ්ටිම් ගිල්ගමෙෂ්ට තමාගේ කතාව කිව්වා 

අනූ, එන්ලිල් සහ එන්කි කියන්නේ පිළිවෙලින් අහසට,පොළවට සහ ජලයට අධිපති දෙවිවරු තුන්දෙනා. පොළවේ ජීවිය පවත්වා ගැනීමේ වගකීම තියෙන්නෙ මේ තුන්දෙනාට.

මොකක් හරි හේතුවක් නිසා (කතාව ලියල තියෙන මැටි පුවරුවේ මේ කෑල්ල තියෙන ටික බිඳිලා තියෙන නිසා ඒක කියවන්න බෑ) එන්ලිල් පොළවෙන් ජීවය නැති කරලා දාන්න තීරණය කළා. ඔහු අනු සහ එන්කි එකතු කරගෙන මේ සඳහා සැලසුමක් හැදුවා. මේ සැලසුම ගැන කාටවත් නොකියන්න ඔහු අනු සහ එන්කි ව පොරොන්දු කරගත්තා. ඔවුන් සැලසුම් කරන්නේ මහා කුණාටුවක් සහ ගංවතුරක් එවලා සියළුම මිනිස්සු සහ සත්තු මරා දාන්න.

ඒත් එන්කි බොහොම කරුණාවන්ත දෙවි කෙනෙක්. ඔහු රහසින් මේ ගැන මිනිහෙකුට හෙළි කරන්න තීරණය කළා. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ උට්නපිෂ්ටිම් ව. (කතාවේ එක වර්ෂන් එකක උට්නපිෂ්ටිම් ගෙ නම සඳහන් වෙන්නේ අත්‍රා-හසිස් කියලා. ඒකෙ තේරුම ඉතාමත් බුද්ධිමත් කියන එක).

උට්නපිෂ්ටිම් ජීවත් වුනේ පන් වලින් හදපු ගෙදරක. ඔහු නිදාගෙන ඉද්දි එන්කි පන් බිත්තියේ අනික් පැත්තේ ඉඳලා සිහිනයක් හරහා ඔහුට කතා කරලා දෙවිවරුන්ගේ සැලසුම ගැන කිව්වා. ඊට පස්සෙ ඔහුට දිගින් සහ පළලින් සමාන, පියස්සකින් ආවරණය කළ විශාල පන් බෝට්ටුවක් හදන්න අණ කළා. ඒත් මේ ගැන මිනිස්සුන්ට කියන්න තහනම් කළා.

උට්නපිෂ්ටිම් තමාගේ විශ්වාසවන්ත මිතුරු වඩුවන් සහ පන් වියන්නන් පිරිසක් සමඟ එකතු වෙලා එන්කි කියපු විදිහේ බෝට්ටුවක් හැදුවා. බෝට්ටුව ගැන අහන මිනිස්සුන්ට ඔහු කිව්වේ "එන්ලිල් මාව ප්‍රතික්ෂේප කරලා. ඒ නිසා මම එන්කි එක්ක ජීවත් වෙන්න අප්සු කියන වගුරු බිමට යනවා. මේ බෝට්ටුව ඒ ගමනට" කියලා.


දින පහකට පස්සේ ඔවුන් බෝට්ටුව හදලා නිම කළා. විශාල පරිශ්‍රමයක් දරලා ඔවුන් බෝට්ටුව වතුරට දැම්මා. ඊට පස්සේ උට්නපිෂ්ටිම් තමාගේ රත්තරන් සහ රිදී බෝට්ටුවට පිරෙව්වා. ඊටත් පස්සෙ තමා ඇති කරන ගවයන්, බැටළුවන් සහ ඌරන් බෝට්ටුවට නංවා ගත්තා. ඊටත් පස්සෙ බෝට්ටුව හදපු ශිල්පීන් සහ උට්නපිෂ්ටිම්ගේ පවුලේ අය බෝට්ටුවට නැග්ගා. අවසානයට "භූමියේ ඉන්න සියළුම සත්තු" බෝට්ටුවට නංවා ගත්තා. හැමෝම බෝට්ටුවට නැග්ගට පස්සෙ ඔවුන් බෝට්ටුවේ දොර වහලා මැලියම් වලින් මුද්‍රා තිබ්බා.

දවල් හයක් සහ රෑ හයක් පුරාවට ඉතාම නපුරු කුණාටුවක් හැමුවා. අකුණු පහර වලින් පොළව පුපුරලා කෑලි වලට කැඩිලා ගියා. හාත්පස හැමතැනම මහා අඳුරකින් වැහිලා ගියා. දකුණු දිශාවෙන් හමන මහා සුළඟකින් හැම දෙයක්ම සුනු විසුනු කරලා දැම්මා. වතුර මට්ටම ඉහළ නැගලා හැම දෙයක්ම වතුරෙන් යටවෙලා ගියා. කිසිම මිනිහෙක්ට ඔහුගේ පවුලේ අයටවත් උදව් කරන්න බැරි වෙලා හැමෝම ව්‍යසනයට පත් වුනා.

කුණාටුව කොයිතරම් දරුණුද කිව්වොත් දෙවිවරු පවා බය වෙලා අහසේ ඈතට පැනලා ගියා. යුද්ධයට සහ ප්‍රේමයට අධිපති දෙවඟන ඉෂ්තාර් විළිරුදාව හැදුනු ගැහැණියක් වගේ මොර දුන්නා. දෙවිවරු හැමෝම ශෝකයෙන් වැළපුනා.

හත්වෙනි දවසේ කුණාටුව පහවෙලා ගියා. වතුර බැහල යන්න පටන් ගත්තම උට්නපිෂ්ටිම් බෝට්ටුවේ දොර ඇරියා. සියළුම මිනිස්සු මැටි බවට පත්වෙලා තියෙන හැටි ඔවුන්ට පෙනුනා. හැමතැනම නිවෙසක පියස්සක් වගේ සමතලා වෙලා ගිහින්. බෝට්ටුව නිමුෂ් කන්දේ රැඳුනා. වතුර සම්පූර්ණයෙන්ම බැහැලා යනතුරු ඔවුන් නිමුෂ් කන්දේ දින කීපයක් ගත කළා.

හත්වෙනි දවසේ උට්නපිෂ්ටිම් පරවියෙක් නිදහස් කළා. පරවියා ආපහු පියාඹලා බෝට්ටුවට ආවා. ඊළඟ දවසේ ඔහු වැහිලිහිණියෙක් නිදහස් කළා. වැහිලිහිණියාත් ආපහු ආවා. ඊළඟ දවසේ ඔහු කපුටෙක් නිදහස් කළා. කපුටා ආපහු ආවේ නෑ. පොළව ජීවත් වෙන්න සුදුසු තත්වයට පත් වෙලා බව උට්නපිෂ්ටිම්ට වැටහුනා. ඔහු බෝට්ටුවේ දොරවල් ඇරලා සියළුම සත්තු නිදහස් කළා.

උට්නපිෂ්ටිම් බැටළුවෙක් මරලා දෙවියන්ට පූජාවක් පැවැත්වුවා. පූජාවට සියළු දෙවිවරු ආවා. සියළුම ජීවින් මරන්න හදපු තමාගෙ සැලසුම ව්‍යර්ථ වුනු බව එන්ලින් දැක්කා. ඔහු බොහෝම කෝප වෙලා එන්කිට චෝදනා කළා. ඒත් එන්කි එන්ලිල් ගේ දඬුවම බරපතල වැඩි බවත්, දයාවෙන් සහ කරුණාවෙන් මිනිසුන්ට සලකන්න ඕනෙ බවත් එන්ලිල්ට පැහැදිලි කරලා දුන්නා.

එන්ලිල් උට්නපිෂ්ටිම් සහ ඔහුගේ බිරිඳගේ හිස අතගාලා ඔවුන්ට ආශිර්වාද කළා. එදා ඉඳලා ඔවුන් අමරණීය වුනා.



‍යෞවනයේ ගස සහ සර්පයා

ඔහුට අමරණීයත්වය ලබා දෙන්නෙ දෙවිවරු බවත්, මිනිහෙකුට තනිවම අමරණීයත්වය ලබාගන්න බැරි බවත් උට්නපිෂ්ටිම් ගිල්ගමෙෂ්ට පැහැදිලි කළා. ඒත් ගිල්ගමෙෂ් ඒක පිළිගත්තෙ නෑ. එතකොට උට්නපිෂ්ටිම් ගිල්ගමෙෂ්ට අභියෝගයක් කළා. ඒ දවල් හයක් සහ රෑ හතක් එක දිහට ඇහැරගෙන ඉන්න. ගිල්ගමෙෂ් අභියෝගය පිළිගත්තා.

ඒත් අතරමගදි ගිල්ගමෙෂ්ට නින්ද ගියා. ඇහැරුනාට පස්සෙ තමාට මරණය තියා නින්ද වත් පරාජය කරන්න බැරි බව වැටහුන ගිල්ගමෙෂ් ලැජ්ජාවෙන් සහ ශෝකයෙන් ආපහු හැරුනා. එතකොට උට්නපිෂ්ටිම් ඔහුට කිව්වා "යෞව්වනයේ ගහ" ගැන. යෞව්වනයේ ගහ තමයි අමරණීයත්වයට වඩාත්ම සමීප දේ. ඒ ගහ අයිති කරගන්න කෙනෙකුට මරණය දක්වා තරුණයෙක් වෙලා ජීවත් වෙන්න පුළුවන්. යෞව්වනයේ ගහ තියෙන්නෙ සාගරය පතුලේ.

ගිල්ගමෙෂ් කකුල් දෙකට ගල් දෙකක් බැඳගෙන මුහුදේ කිමිදිලා යෞව්වනයේ ගහ හොයා ගත්තා. ඔහු ඒකත් අරගෙන ගොඩට ඇවිත්, ගහ වෙරළේ තියලා මුහුදේ නාන්න ගියා. ඒත් ඔහු නාන අතරේ සර්පයෙක් ගහ හොරකම් කළා. සර්පයාට යෞව්වනයේ තිළිණය හිමි වුනා. මේ නිසා මහළු වෙන හැම වෙලාවෙම සර්පයට පුළුවන් තමාගේ හම හළලා දාලා තරුණ වෙන්න.


සියල්ලම අහිමි වෙලා බලාපොරොත්තු කඩ වුනු ගිල්ගමෙෂ් ආපහු උරුක් නගරයට ආවා. ඈත තියාම උරුක් නගරයේ උස් බැමි සහ උස් ගොඩනැගිලි දුටු ඔහුගේ හිත සන්සුන් වුනා. අමරණීයත්වය තියෙන්නේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාළයේදී කරන ශ්‍රේෂ්ඨ නිර්මාන තුළ බව ඔහුට තේරුනා.